Friday, August 13, 2010

අපි ඇත්තටම හොරුද? අපි හොරකම් කරලා තියෙනවද? නැත්නම් නොදැනුවත්ව හරි හොරකමක් කරලා තියෙනවද? ඇත්තෙන්ම නොදැනුවත්ව නම් හොරකමක් කරන්නට බැහැ. ඒත් හොර කමකට දායක වෙන්නට නම් ඕනෑම කෙනෙක්ට පුළුවනි. මේ කතා බහට ගන්නට යන්නේ අපි හැමෝම හොරු වෙන්නේ කොහොමද කියලයි. අන්තර්ජාලය භාවිතා කරන අපි ගැන නම් ඉතින් කවර කතාද? ඒත් ඉතින් නොකරම බැරි කමට තමා අපි හැමෝම හොරකම් කරන්නේ.

හොර හිතක් පහල නොවී හොර කමක් සිද්ධ වෙන්නට බැහැ නේද? ඔව්. ඇත්තෙන්ම හොරකමක් කරනවා කියන්නේ හොඳ සංයමයකින් කළ යුතු දෙයක්. හිතා මතා කරන දෙයක්. හිතන්නේ නැතිව නොදැනුවත්ව සිද්ධ වෙන ඕනෑම වරදක් ඉතින් වැරදි නෙවෙයි නේ. ඒත් මේ කියන්නේ හොරකම් ගැන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම හිතා මතා සැලසුමක් ඇතිව හොරකම් කරන්නට අපේ හිත යොමු වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන පුංචි කතා බහක යෙදෙන්නටයි.

අන්තර්ජාලයේ නිතර සැරිසරන අපි හොරකමට බොහෝ විට ඇබ්බැහි වෙලා. අපි මේ දේවල් සමහර විට පුරුද්දක
අරගෙන ඉන්නවා විය හැකියි. ඒ නිසාම අපිට අපි කරන්නේ හොරකමක්ය කියලා හිතන්නට ඉඩක් අපේ හිතෙන් ලබා දෙන්නේ නෑ. ඇත්තෙන්ම මම මේ කියන්නට උත්සාහ ගන්නේ පරිගණක මෘදුකාංග හොරකම ගැනයි. මෙහෙම කිව්වාම ඔයාලා හැමෝටම තම තමන් කරපු හොරකම් ගැන එක දිගට මතක් වෙනවා ඇති නේද?

අපි අන්තර්ජාලයේ ගැවසෙද්දී හෝ වේවා පාරේ තොටේදී
හෝ වේවා පරිගණක මෘදුකාංග අපේ අවශ්‍යතාවය අනුව හොයාගෙන ගිහින් ලබා ගන්නවා. ඒ සංයුක්ත තැටි විදියට වෙන්න පුළුවන් නැතිනම් අන්තර්ජාලයෙන් භාගත කර ගෙන වෙන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයෙන් අපි මෘදුකාංග නොමිලයේ හෝ රුපියල් සියයකට හෝ දෙසීයකට ලබා ගත්තොත් අපි කරන්නේ හොරකමක් වගේම වංචාවක්. අපි මේ බව තේරුම් ගන්නට ඕනා. එහෙම කියන්නට හේතු කීපයක් තියෙනවා.

සාමාන්‍යයෙන් පරිගණක මෘදුකාංග, ක්‍රීඩා, මෙහෙයුම් පද්ධති ආදිය ඒ ඒ අදාල ආයතන මගින් නිපදවන්නේ ආදායම් ලැබීමේ පරමාර්ථයෙන් වගේම නිසි මිලක
ඒවා පාරිභෝගිකයනට ලබා දීලා හොඳ සේවයක් සපයන්නටයි. ඉතින් මෙහෙම නිකුත් කරන පරිගණක මෘදුකාංග හෝ ඒ සම්බන්ධ අනෙකුත් දේවල් ඉතාමත්ම ඉහල මිලකටයි අලෙවි වන්නේ. මෙහෙම අලෙවි වෙන යම්කිසි දෙයක් මිලදී ගත් කෙනෙක් ඒ දේ අන්තර්ජාලයේ නොමිලයේ හෝ සංයුක්ත තැටි හරහා යම් සුළු මුදලකට අලෙවි කරන්නට පෙළඹීම සාමාන්‍ය දෙයක්. මේ දේ ලංකාවේ නම් සුලභයි. ඉතින් ඔහොම පැටව් ගහන පරිගණක මෘදුකාංග ගැනීම අපිටත් වාසිදායක වගේම ලේසියෙන්ම හොයා ගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසාවෙන් අපිත් එක්කෝ අන්තර්ජාලයෙන් භාගත කරගන්නට හරි සංයුක්ත තැටි කඩයකට ගොහින් ඉතා සුළු ගාණක් දීලා හරි ලබා ගන්නට පෙළඹෙනවා.

ඔන්න ඉතින් අපේ හිතත් අනිවාර්යෙන්ම ඒකේ ලේසිය, පහසුව දන්නා නිසාවෙන්ම, ඉහළ මිලකට ඒ දේම ගන්නවාට වඩා අර හොර භාණ්ඩය ගන්නට හුරු වෙලා. අන්න ඒ හුරුව නිසාවෙන් ඒක හොරකමක් විදියට හැඟෙන්නේත් නෑ.

හිතන්න ඔයාලා ස්වයං රැකියාවක් විදියට පරිගණක මෘදුකාංග නිර්මාණය කරලා විකුණන ආදායම් මාර්ගයක් පටන් ගත්තාය කියලා. ඔයාලා මෘදුකාංගයට ඉහල මිලක් අනිවාර්යෙන්ම නියම කරන්නේ ඒ දේ වෙනුවෙන් තමන් කළ කැපවීම ගැනත්, යොදා ගැනුණු සම්පත් වල වටිනාකමත් තක්සේරු කරගෙන, තමන්ටත් ලාභයක් වෙන විදියට නේ. ඒ නිසා කොච්චර පොඩි මෘදුකාංගයක වුනත් මිල ඉහල යනවා. එහෙම හදපු එකක් කෙනෙක් මිලදී ගෙන පුංචි මිලකට රට වටේ පිටපත් කර කර බෙදා හැරියොත් ඔයාලට කොහොම දැනේවිද?

අපේ හිත දන්නවා, මෙන්න මේ මේ තැන් වලින් පුළුවන් ඒ මෘදුකාංගය භාගත කරගන්නය කියලා. අපි
ඉතින් , එතැනට ගිහින් ඒ වැඩේ කර ගන්නවා. මොකද අපේ හිත දැන් ඒකට හුඟාක් හුරු වෙලා හින්දා. ඒ නිසයි නොදැනුවත්වම අපි හොරකමක් කරා වෙන්නේ. එක අතකට හොර කමකට දායක වීමකුත් වෙනවා.

ඔන්න ඉතින් හිතන්නට යමක් මම ඉතුරු කළා. මේ දේ මමත් කරනවා. ඔයාලත් කරන බව මම දන්නවා. ලාංකිකයො හැටියට අපිට මේකෙන් ගැලවෙන්නට හැකියාවකුත් නැත්තේ ඒ ඒ මෘදුකාංග වල නියම මිල ඉතා ඉහල ගණනක් වීමයි. නමුත් අපි කරන්නේ වැරැද්දක් බව දැන හඳුන ගැනීම වඩාත් වැදගත්.

4 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

Guilty as charged............:D

Unknown said...

ඔයා කියන කතාව හරි. අපි මෘදුකාංග ව්‍යාජ විදියට පරිහරණය කිරීම වැරැද්දක් තමයි. අපි ලංකාවෙන් නිර්ව්‍යාජ මෘදුකාංගයක් මිල දී ගන්නවා නම් අපි ඒවා ගන්න ඕනෙ දියුණු රටවලට අලෙවි කරන මිලටමයි. ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම අපේ රටට වඩා විශාල ලෙස වැඩි දියුණු රටවල් මිල දී ගන්න ගානට. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය සාධාරණ මුදලක් වුවත් අපි වැනි තුන්වැනි ලෝකේ දුප්පතුන් බහුල රටකට නම් අතිශයින්ම අසාධාරණ මුදලක්.

මා දන්නා තරමින් ඉන්දියාව, පකිස්ථානය වැනි බොහො රටවලට මෘදුකාංග සමාගම් නිර්ව්‍යාජ පිටපත් ලබා දෙන්නේ ඔවුන් එය බටහිර රටවල් සඳහා අලෙවි කරන මිලට වඩා තුන් ගුණයක් අඩු මිලකට. අපේ රටටත් එවැනි පහසුකමක් ලබා දුන්නා නම් මේ තරම් ව්‍යාජ පිටපත් සංසරණය වන්නේ නැහැ. මන්ද යත් අපට දැරිය හැකි මිලකට නිර්ව්‍යාජ මෘදුකාංග පවතින විට ඒවා මිල දි ගැනීම කළ හැකියි. (උදාහරණයක් ලෙස කැස්පර්ස්කි ප්‍රතිවයිරස් මෘදුකාංගය ඔවුන් අපට ලබා දෙන්නේ සාමාන්‍ය විකුණන මිලට වඩා ඉතා අඩු මුදලකට.
එම නිසා අද බොහෝ දෙනෙක් එය මිල දී ගෙන භාවිතා කරනවා)

මෘදුකාංග සමාගම් සමග රජය එළඹි ගිවිසුම් වලට අනුවයි ඔවුන් අපට මෙම මිල ගණන් වලට මෘදුකාංග සපයන්නේ. වෙනත් රටවලට මෙන් අඩු මිලට මෘදුකාංග සපයන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නම් ඔවුන් අපට අනිවාර්යයෙන්ම සහනයක් සළසනවා. නමුත් අදූරදර්ශී, කොමිස් වලට කෑදර, ජනතාව ගැන අබමල් රේණුවක් තරම්වත් නොසිතන ඇමතිවරුන් හා රජයයන් තමන්ට එම සමාගම් වලින් ලැබෙන කොමිස් බලාපොරොත්තුවෙන් සමාගම් වලට අවැසි පරිදි ගිවිසුම් වලට එළැඹුනා.

එම නිසා අප ‍රටේ අනවසර මෘදුකාංග බහුල වීමට වරදකරුවන් විය යුත්තේ අසරණ ජනතාව‍ නොව, ජනතාව ගැන නොසිතා සමාගම වලට අවැසි පරිදි ගිවිසුම් වලට එළැඹුනු ඇමතිවරු හා ර‍ජයේ නිලධාරින්.

මේ ගැන තවත් කෝණයකින් හිතන්නට යමක් මමත් ඉතුරු කළා. ඔබ හිතන්න..... අධික මිලක් ගෙවා මෘදුකාංග මිල දි ගත නොහැකි නිසා, ව්‍යාජ පිටපත් භාවිතා කරන අපිද වැරදි? නැතිනම් අපිව ඒ තත්ත්වයට ඇද දැමූ අදූරදර්ශී රාජ්‍ය නිලධාරින් හා ඇමතිවරුද වැරදි.

යළිත් හිතන්න. යළි යළිත් හිතන්න.....

Anonymous said...

ඒන්න නිදහස් මෘදුකාංග භාවිතයට

Thidas said...

ane maath me horakamak karanna hoyanne.. thama hambune naa ne.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.