Monday, August 30, 2010

බියර්. බියර් බීම ගැන මගේ මිතුරෙක් පල කරපු ලිපියකට මම පල කරපු අදහසක් මේවිදියට ලිපියක් විදියට එළි දක්වන හිතුවා වැඩි විස්තරත් සහිතව. කියවන අය තරහක් මරහක් ඇති කර ගන්න වුවමනා නෑ. මොකද මේ දේවල් හරිම සාමාන්‍ය වෙලා තියෙන නිසා මගේ ලිපියකින් ලෝකය කනපිට පෙරලෙන්නේ නැති නිසා.

මාත් බීල නැතුවම නෙවෙයි. ඒත් චුට්ටක්. හැබැයි ඒ බීවේ මොනාද කියලා කියන්න නම් දන්නේ නෑ. සමහර විට විස්කි වෙන්නත් ඇති. නිකන් රස බලන්න දිවේ ගා ගත්තා විතරයි පොඩි කාලේ. ඒ කාලයේ මම ගොඩක් ප්‍රියතාවෙකින් බීවේ වයින් විතරයි. ඒත් මිදි වයින්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේත් දැන් බොන්නේ නෑ. නමුත් මම නම් දන්නේ නෑ ඒවායේ කොපමණ ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙනවාද කියලා. බියර් මීට වඩා වැඩි ඇල්කොහොල් ප්‍රමුඛතාවක් සහිත පානයක්. ඒක ඉතින් හැමෝම දන්නවා ඇතිනේ.

ඒත් අද කාලේ කොල්ලො ඕවා බීලා නටන පිස්සු වැඩ, විකාර, නැතිවන ලැජ්ජ බය දිහා දැක්කම ඕවට පුරුදු නොවී හිටපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවා. කෝම නමුත් සමහරු බියර් වලට ඇබ්බැහි නොවුනට පාටියකදි හරි වීදුරුවක් තොල ගාන බව නම් දන්නවා. ඒත් ඒවායේ වරදක් පෙන්නල දුන්නත් වැඩක් නෑ. මොකද ඕවායෙන් ජීවිතේ නැති නොවෙන නිසා. ඒත් බිව්වම ශරීරයේ ක්ෂය වීමක් නම් අනිවාර්යෙන්ම තියෙනව. මොකද ඇල්කොහොල් අඩංගු නිසා.

කැමති අය බීපුදෙන්. නොබොන අය නොබීපුදෙන්. ඒත් නොබොන අයට බලෙන් පොවන්න යන්න එපා. මොකද එයාලා නොබොන්නේ ජීවිතේට ප්‍රිය කරන නිසා. බොන අය බොන්නේත් ජීවිතේට ප්‍රිය කරන නිසා. ඒත් ජීවිතේ දිහා ඒ ඒ අය බලන කෝණය එකිනෙකට වෙනස්. මේවට අපේ තරුණ තරුණියො හුරු පුරුදු වෙන්නේ මිතුරු ආශ්‍රයන් නිසා. බෝඩිම් ආශ්‍රිතව, විනෝද චාරිකා වලදීත්, මඟුල් ගෙවල්, මළ ගෙවල් වලදීත් නැතුවම බැරි දෙයක් විදියට ඇල්කොහොල් සහිත පාන ප්‍රචලිත වෙලා ගිහින්. හැමෝම මතට තිත තියන්න උත්සාහ ගන්නේත් ඒ නිසාම වෙන්නත් ඇති.

කොල්ලෙක් වුනාම බියර් එකක්වත් බීලා නැත්නම් ඌ නපුංසකයෙක් ගාණට වැටෙන රටක් මේක. රට විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි හිතන්නේ. ඒත් ඒ දේවල් තම තම නැණ පමණ අනුව තම තමන්ගේ වාසිය, පෞද්ගලික හා තාවකාලික තෘප්තිය උදෙසා සිතා මතා ගත් දේවල් මිසක් ලෝක නීතියක් නෙවෙයි. මහා විශාල ධනස්කන්ධයක් පවුල් මට්ටමින් මේ දේවල් වලට යොදවද්දී ඉතින් දෙවියන්ගේම පිහිට නොපතා කොහොමද?

බේබදු කම පටන් ගන්නේ ඔය වගේ මූලික අඩිතාලමකින්. ඉස්සෙල්ලම බියර් බොනවා. යාළුවෝ විස්කි බොද්දි ඒකටත් හුරු වෙනවා. මොකද තිත්ත කට ගාලා හොඳට දිව හුරු වෙලා තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් මීලඟ පියවර විදියට පිළිවෙලින් අරක්කු, ගල් අරක්කු, වොඩ්කා, බ්ලැක් ඩැනියල් වගේ නා නා ප්‍රකාර ජාති මුළු සේසතම විකුණලා හරි අරන් බොන්න හුරු වෙනවා. ඉතින් සල්ලි බාගේ නැති වෙද්දි ණයටත් බොන්න ගන්නවා. පවුලක පරිහානිය වෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදියට.

තමන්ට ස්වයං පාලනයක් තියෙනවා නම් බියර් එකක් කලාතුරකින් බීවට වරදක් නෑ කියන්න පුළුවන්. ඒත් ඒක සාධාරනීකරණය කරන්න පෙළඹෙන්නේ නම් නෑ මම. හැබැයි අර කීවත් වගේ දොස්තර කෙනෙක් අරක්කු වීදුරුවක් ලෙඩෙකුට දවසකට බොන්න කියලා සීමාවක් පැනෙව්වාම බැරල් එකක් තරමේ වීදුරුවක් බොන එක නෙවෙයි ස්වයං පාලනය කියන්නේ. ඒ ඉතින් තම තමන් තමන්ගේ වාසියට පනව ගන්න සීමාවල්.

කොහොමින් කොහොම හරි මේ දේ කොච්චර සුළු දෙයක් වුනත් මිනිහෙක් වුනාම කාගේවත් අඟිල්ල තමන් දිහාට දික් නොවෙන ජීවිතයක් ගත කරනවා නම් තමයි වඩා හොඳ. බීමත් කම හෝ වේවා වෙන ඕනෑම දුරාචාරයක් වුනත් මේ දේ සාධාරණයි. මේ ලිපියට කී දෙනෙක් නම් බොන්න එපා කීව කියලා ඒකට විරුද්ධව අනම් මනම් කියලා අදහස් පල කරාවිද කියලා කියන්න නම් දන්නේ නෑ. මම මේ කිසි දුරාචාරයක් කරන්නට එපා කියන්නේ නෑ. මොකද මේ ලිපිය කියවන්න තරම් බුද්ධි මට්ටමක් ඇති ඈයො විතරක් මේ ලිපි කියවනවා ඇති කියලා මම හිතනවා. බුද්ධියෙන් හිතලා ඔයාලම තීරණයක් ගන්න. මොකද එක මිනිස් ජීවිතයක් හරි වටින නිසා.

Friday, August 27, 2010

මේ ලිපිය පෙර ලිපිය හා සබැඳියි. මෙය ලිපියක් වශයෙන් පල කෙරෙනුයේ පෙර ලිපියේ සිදු වුනු හරවත් සාකච්චාවක් නිසාවෙන්. එහි සාකච්චාවට භාජනය වුනු මා විසින් පල කළ අදහස් හා කරුනු ගොනු කොටයි මේ ලිපිය පල කරන්නේ.

බෞද්ධයන් වශයෙන් මූලධර්මවාදීන් හා සටන් කිරීමෙන් පලක් වෙන්නේ නෑ. ඔවුන් සමග සටන් කර වැඩකුත් නෑ. අපට ඇත්තේ එවැන්නන්ගේ ක්‍රියා බලාගෙන සිටීමත් නොවේ. ඒත් ඔවුන්ට හසු නොවන්නට අපේ බෞද්ධයාව අපි ආරක්ෂා කරගත යුතුයි. එවැන්නන්ගේ ගොදුරු නොවෙන තැනට බෞද්ධයා දැනුවත් කිරීම සහ ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමයි. ඒක වරදක් ලෙසින් දැකීම කොයි තරම් සාධාරණද කියලා ඔයාලාම තීරණය කරන්න. තමන්ගේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීම බුදු දහමට පටහැනි දෙයක් නොවේ. තමන්ට තමන්ගේ පවුල ආරක්ෂා කර ගන්නට පුළුවන් නම්, තමන්ට තමන්ගේ රැකියාව ආරක්ෂා කර ගන්නට පුළුවන් උනන්දුවක් තියෙනවා නම් ඇයි අපිට බැරි තමන්ගේ ආගම ධර්මය ආරක්ෂා කර ගන්න? රැක ගන්න? මේ රටේ විතරක් පිවිතුරුව පවතින බුදු දහම අපිම රැක ගන්නට ඕනේ. ඒක වටිනවා නේද?

කෙනෙක්ට මේ පිවිතුරු භාවය පිළිබඳව සැක මතු වන්නට පුළුවන්. ඇයි මේ වචනය යෙදුවේ යන්න පිළිබඳව. පිවිතුරු කියන වචනය යොදන්න හේතුවක් තියෙනවා. අපේ රටේ බෞද්ධ ධර්මයේ පැවැත්ම පිළිබඳ පිරිහීම් සිද්ධ වෙලා තිබෙන බව විවිධ අවස්ථා වලදී උපසම්පදාව මෙරටට වෙනත් රටවලින් ගෙන ඒමෙන් පැහැදිලි වෙනවා වගේම බෞද්ධ ඉතිහාසයේත් සඳහන් වෙනවා. නමුත් ථේරවාදී බුදු දහම රැකිලා තියෙන්නේ මේ රටේ පමණක් කියලායි මම හිතන්නේ. කිසිම දෙයක් වෙනස් වී නැතැයි මම කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. ඒත් ඒ බෞද්ධ දර්ශනය නෙවෙයි. එය වෙනස් විය නොහැකියි.

කතෝලික බැතිමතෙක් බුදු දහම රකින්නේ නෑ. ඉස්ලාම් භක්තිකයෙක් බුදු දහම රකින්නේ නෑ. වෙනත් ඕනෑම ආගමක භක්තිකයෙක් වුවත් එසේමයි. මේ රටේ සිංහල ජාතිය කියන කොටස පමණයි බුදු දහම රකින්නට ඉතිරි වෙලා සිටින්නේ. ලෝකයේ, සිංහල භාශාව ජාතික භාශාව වුනු එකම රට මේ රට පමණයි. මෙය ජාතිවාදය ලෙසින් හංවඩු ගැසීම සුදුසු නැත. අනිත් ආගම් වල උදවිය තම තමන්ගේ ධර්මය පිළිපැද හිටියාවෙ. ඒත් අපේ ධර්මය රකින්නට අපිට අයිතියක් තිබිය යුතුයි. ඇයි ඒ ගැන නොහිතන්නේ?

ජාතිය කියන දේ බුදු හාමුදුරුවෝ දෙවිදියකින් විස්තර කරා. එක අර්ථයක් තමයි ඉපදීම කියන එක. ඒක දුකට හේතුවක්. අනිත් තේරුම තමයි ජන කොට්ඨාසයක් කියන එක. ඒකට කුලයක් කියලා නම් කරන්න බැහැ. ශාක්‍ය වංෂිකයන්ට බුදු හාමුදුරුවෝ විශේෂ වරප්‍රසාද දීල තියෙනව එම වංශිකයෙක් පැවිදි දිවියට ඇතුලත් වීමට සැපිරිය යුතු අංග සඳහා. ඒ බුදු රජුන් ශාක්‍ය වංශිකයෙක් වීම හේතුවෙන් තම ජාතියට කළ ගරු කිරීමක්. ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම බුදුන්ගේ ප්‍රශංසාවට ලක් වුනා. මේ බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් උදාහරණ බුදු හාමුදුරුවෝ ජාතිය පහත් කරලා කතා නොකල වගට. මෙහෙම කීවම කෙනෙක් කියන්නට පුළුවන් බුදුන් විසින් ජාතියක් උසස් කොට සැලකුවාය කියලා. එය එසේ වරදවා වටහා ගත යුතු නැත. මන්දයත් එය තමන් උපන් ජාතියට විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට බුදුන් විසින් කළ තීරණයක් මිසක උසස් කොට සැලකීමක් නොවන නිසා.

අප තුල පිරිහී ඇති ස්වයං විනයට වග කිව යුත්තේ අපිමයි. තම තමන්ගේ පුද්ගලිකවම පිහිටුවා ගන්නා විනය මත සමාජයේම විනය රඳා පවතිනවා. මොකද මිනිහා හදන්නේ නැතිව රට හදන්න බැරි නිසා. තමන්ගේ ජාතිය, ආගම ආරක්ෂා කර ගන්න එක ජාතිවාදය කියලා කියන්න බැරි බව මම පෙරදීත් කීවා. තමන්ගේ ආගම හෝ ජාතිය පමණක් තිබිය යුතුයි කීවොත් නම් ඒක ජාතිවාදය වෙනවා. අන්න ඒ නිසයි ලේ වැගිරීම් ඇති වෙන්නේ.

තමන්ට තියෙන වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීම වරදක් නෙවෙයි. ඒකෙන් කාටවත් හානියක් සිද්ධ වෙනේ නැත්නම් ඒක වැරද්දක් වෙන්නට බැහැ නේද? අනෙකුත් ජාතින් තමන්ගේ ආගම ධර්මය රැක ගන්නට බුදු පිළිම පවා විනාශ කරත් අපි එහෙම වෙන්නට උවමනා නැත්තේ අපේ ආගම දහම අවිහිංසාව වගේම නිවුනු දහමක් නිසයි.
මූලධර්මවාදය මුල් පුරුක හා මූලාශ්‍රය කර ගත්තු විවිධාකාරයේ සමාගම්, ආයතන සහ ආගමික සංවිධාන බෞද්ධයන් කෙරෙහි දැඩි උනන්දුවකින් පහු වෙනවා. ඊට හේතුව අද කාලයේදී විඩේශයන්ගේ පවා උදවිය බෙහෙවින් බුදු දහමට නැඹුරු වීමට පටන් අරගෙන සිටින නිසා. ආගමේ වෙනසක් සිදු කරන්නේ නැතිව හෝ ඔවුන් කායික සහ මානසික සුවයක් ලැබීමට බුදුද් දහමට නැඹුරු වීම අපට යම් තාක් දුරකට සතුටු වීමට හැකි කාරණයක්. ඒත් ඒ දේ එසේ වුනත් එය මූලධර්මවාදයක් නම් නොවන බවත් අප සිහියට නගා ගත යුතුයි. මන්දයත් අපේ බුදු දහම ධර්මයක් සහ දර්ශනයක් මිසක ආගමක් නොවන විවෘත, මුළු විශ්වයටම විෂය වෙන දෙයක් නිසාවෙන්.

කෙනෙක්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට පුළුවන් ලාභ ප්‍රයෝජන තකා බුදු දහමින් වෙනත් ආගමකට පරිවර්තනය වෙනවා නම් ඒ වගේ අය බුදු දහම අත අරින එක වඩාත් හොඳයි කියලා. ඒත් ඒක අපිට එහෙම්මම ලේසියෙන් අමතක කරලා දමන්නට හැකියාවක් නැහැ. බුදු දහම රැකෙන්නේ එය අනුගමනය කරනා පිරිසක් ඇති විට මිසක් හිස් තිබූ පමණින් නෙවෙයි. බුදු දහම ලෝකයේ ආරක්ෂා වෙලා තියෙන එකම රට මේ ලංකාව විතරමයි. ලෝකයේ ජනතාවගෙන් බෞද්ධයින් වැඩි ප්‍රමාණයක් සිටින්නේත් මේ රටේ බව කාටත් පැහැදිලියි. වෙනත් රටවලත් බෞද්ධයින් වැඩි ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නමුත් පිවිතුරු බුදු දහම නැති නම් ථේරවාදී බුදු දහම තවමත් මැනවින් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ රටේ පමණක් කියායි මගේ දැක්ම නම්.

වෙනත් ආගමකට බුදු දහම අත හැරලා කෙනෙකු පරිවර්තනය වීමට දක්වන එකඟතාව හෝ නැති කම කෙසේ වෙතත් බලෙන් වෙනත් ආගමකට හරවන්නට කරන තැතෙන් හැරෙන අය ගැන නම් කතා කරලා වැඩක් නෑ තමයි. ඒත් අපි උත්සාහ කළ යුත්තේ බෞද්ධයින්ව දැනුවත් කිරීමයි. මිල මුදල් වලට කෑදරව වෙනත් ආගමකට යාමට ඉඩක් නැති වෙන පරිද්දෙන් අපේ බෞද්ධයන් මනා ලෙස දැනුවත් විය යුතුයි. මේ ධර්මයේ වැදගත්කම, වටිනාකම, ලැබිය හැකි සැප සම්පත් මොනවාද යන්න පිළිබඳව ආදියත් ඒ දැනුවත් කිරීම් වලට අදාළයි. අද අපේ රටේ බොහෝමයක් දෙනා බුදු දහම ගැන හරිම පටු විදියට හිතාගෙන ඉන්නේ. මොකද සැප ලබන්න බාධා වෙන ධර්මයක් විදියට බුදු දහම ගැන වැරදි අවබෝධයක් තබා ගෙන ඉන්න නිසා. ඒත් මෙච්චර බණ කියන, බණ අහන, පන්සල් බොහෝමයක් එහෙම තියෙන රටේ බෞද්ධ ජනතාව තවමත් ආශාවන් පස්සේ පිස්සුවෙන් වගේ දුවනවා. ඒක නැති කරන්න නම් තම තමන් වගේම දේශකයන්ගේත් උනන්දුව කැපවීම අවශ්‍යයි.

අද කාලයේ ධර්ම දේශනා වලට එක්කෝ ජාතක කතාවක් හරි කියලා අත සෝදා ගන්න ධර්ම දේශකයන් පිරිසකුයි සිටින්නේ. ඔවුනට එකහෙළා වරදක් පටවනවා නම් නෙවෙයි. ඒත් මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට ධර්ම දේශනාවක් කොයි තරමේ බලපෑමක් ඇති කරනවාද නැද්ද යන වග නම් සැක සහිතයි. අද අපේ මිනිස්සු බොහෝමයක් කැමති ළාමක බණ අසන්නටයි.අභිධර්මයෙන් දේශනා වෙන ධර්ම දේශනයකට ඌණ පූර්ණ සපයන්නේ "අද බණ හරි නෑ නේද? මුකුත් තේරුනේ නෑ. ඒ හාමුදුරුවන්ගෙ බණ එච්චර හරි නෑ නේද?" ලෙසින්. මේ වගේ කියමන් ඕනේ තරම් අපේ කන් වලට වැටිලා ඇති. මේක අපේ වගේම ඒ ඒ ධර්ම දේශකයානන් වහන්සේලාගේත් වැරදි ඉස්මතු කිරීමක්.

මේ තත්ත්වයෙන් මිදිලා හැමෝගෙම ලේ මස් ඇට නහර වලට කවදින විදියට ධර්ම දේශනා කළ බොහෝමයක් යතිවරුන් අද අප අතර නෑ. එක් අයෙක් තමයි සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මයෙන් ජීවිතයත්, තමන්ගේ ජාතියත් රැක ගන්නා ආකාරය හොඳින් දේශනා කරලා තියෙනවා. බුදු දහම රැක ගැනීමේ මූලිකාංගය වෙන පන්සිල් රැකීමෙන් පටන් අරගෙන උන්වහන්සේට අපේ රටේ බෞද්ධයින්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට හැකි වූ අන්දම ගැන අපිට උන්වහන්සේ අපවත් වෙන තුරුම තේරුනේ නැහැ.

මේ දේවල් අපි සිහියට ගත යුතුයි. පන්සල් වලත් අද පවතින්නේ ව්‍යාපාර හරහා මුදක් ගරා ගැනීමක්. හොඳම උදාහරණය දේවලය. ඉතින් මෙන්න මේ කරුණු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් දන්නේම නැතිව තම තමන් විතරක් මේ රටේ බෞද්ධයින් විදියට ඉතිරි වෙන්නත් බැරි නෑ.

Thursday, August 26, 2010

මේ ලිපිය ලියන්නේ මගේ බ්ලොග් අඩවියට ඇවිත් ලිපි කියවන හැම දෙනාටමයි. මුලින්ම ඒ අයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මගේ බ්ලොග් අඩවියෙන් පල වෙන ලිපියක් දෙකක් කියවන්න කාලය මිඩංගු කළාට.

ලිපියක් පල කරාට පස්සේ ලැබෙනා කමෙන්ට් සහ අදහ
ස් දිහා දකිද්දී නම් හිතෙනවා බොහෝමයක් දෙනා මේ බ්ලොග පිළිබඳවත්, රචනා කරන මා පිළිබඳවත් දැඩි උනන්දුවකින් පසු වෙන බව.

නමුත් පැමිණෙනා සමහර නිර්ණාමික කමෙන්ට් සහ අදහස් මින් මතුවට මෙහි පල නොකෙරෙන බවත් මතක් කරන්නට කැමතියි. මන්දයත් ඒවායේ අඩංගු කරුණු කාරනා අතිශය අසභ්‍ය භාවයකින් යුතු නිසා. ඒ වගේම එවැනි අදහස් වලට මගෙන් ද කිසිම ආකාරයක ප්‍රතිචාරයක් ද නොලැබෙන බවත් සඳහන් කරන්නට කැමතියි. අදහස් හා කමෙන්ට් පල කරන්නේ නම් ඔබ කවුරුන්ද යන වගත් සඳහන් කරන්නට මතක තියා ගන්න.

නිර්ණාමික අසභ්‍ය අදහස් පල නොකරන බවත් නිර්ණාමික නමුත් වැදගත් අදහස් පමණක් පල කරන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. පිළිතුරු සපයනවා නම් ඒ නාමික අදහස් සහ කමෙන්ට් වලට පමණක් බවත් මතකයේ තබා ගන්නා ලෙස කාරුණිකව ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබේ අදහස් පල කිරීමේදී ඔබ භාවිතා කරනා භාශාවේ සහ යෙදුම් වල යෝග්‍යතාව සහ සදාචාරාත්මක බවින් ඔබගේ හැදියාව, ඔබේ පවුල් පරිසරයත්, දෙමාපියන්ගේ ගතිගුණත් පිළිබිඹු වන බවත් මේ සමගම මතක් කරන්නට කැමතියි.

කෙසේ නමුත් එවැනි අදහසක් එවන්නට හෝ මේ පැත්තට පැමිණෙන සියළු දෙනාට මම ස්තූති පූර්වක වෙනවා. එක අතකට එයම ප්‍රමාණවත් මිතුරන්, හතුරන් සහ පල ඇති නැති රුක් තෝරා බේරා ගෙන හඳුනා ගන්නටත්.

මගේ මේ බ්ලොග් අඩවියේ වෙනස් විය යුතු තැන් සහ අඩු ලුහුඬු පවතිනවා නම් ඒවා මැනවින් පෙන්වා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම එවැනි වෙනස්කම් සාධාරණ ඒවා නම් වෙනස් කරන්නට සූදානම් බවත් පවසනවා.

වරදක් පෙන්වා දෙන්නා නිධානයක් පෙන්වා දෙන්නෙක් වැනි යැයි බුද්ධ දේශනාවක්ද වෙන නිසා අඩු පාඩු පෙන්වා දුන් සියළු දෙනාට බොහෝමයක් ස්තූති පූරවක වෙනවා.

ඔබට ජය!!!
මරණය අපි හැමෝටම පොදුයි. ඒත් ඒක ලඟා වෙනවට අපි කවුරුත් කැමති නෑ. මොකද අපි ජීවිත කාලය පුරාවටම හරි හම්බ කර ගත්තු දේවල් හැම දෙයක්ම අපිට අත හැරලා දාලා යන්න සිද්ධ වෙන නිසාවෙන්. හරි හම්බ කරාය කීවේ මුදල් හදල් විතරක්ම නෙවෙයි. දරු මල්ලන්, තමන් සහ තමන්ට ආදරය කරන්නන්, දේපළ ඉඩකඩම් වගේ දේවලුත් අයිතියි. අපිට මේ හැම දෙයක්ම දාලා යන්නට නොහිතෙන්නේ අපි ඒවට ලොකු බැඳීමක් තියෙන නිසයි.

පවුලේ කෙනෙක්ට වුනත් අපිව අත හැරලා පරලොව යන්නට සිද්ධ වෙනවා. ඒත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ පවුලේ හැම දෙනාමත් එක්කම හැමදාම එකම විදියට කාලය ගත කරන්න නේ. ඒ අපි බැඳීම් වලින් උවමනාවටත් වඩා එකිනෙකා හා බැඳිලා තියෙන නිසා. ඒත් අපේම කෙනෙක් අපෙන් වෙන් වෙලා යද්දී තමයි දැනෙන්නේ මරණය කියලා දෙයක් අපිටත් ඒ වගේම සිද්ධ වෙන්න පුළුවන් නේද කියලා. සමහරු පිං දහම් කරන්නට හරි ආරම්භ කරන්නේ එවිටයි.

ප්‍රියයන්ගෙන් වෙන් වීමත්, අප්‍රියයන් හා එකතු වීමත් දුකක් බව නම් ඇත්තයි. ඒ බව අපි ඔයාලා හැමෝම අත් විඳලා ඇති. ඒ වගේමයි ප්‍රියයෙක් අපිව හැර දාලා යාමත් ඒ වගේමයි. ඒත් මේ දේ ගැන ඔයාලා හිතලා තියෙනවද? සමහර වෙලාවට අපේ ප්‍රේම සම්බන්ධයක් බිඳුනොත් ඊට හේතුව අපේ පෙම්වතිය හෝ පෙම්වතා වෙන අයෙක් වෙනුවෙන් අපිව අත හැරීම නම් අපිට ඒ ගැන හිත හදා ගන්නට හේතුවත් ඒකම බව. සමහර වෙලාව
මම මේ කියූ දෙය ඇත්තක් වෙන අවස්ථාත් තියෙනවා. මේ දේ මරණය සම්බන්ධවත් අපිට හිතන්නට බැරි ඇයි කියන එක මට තියෙන ප්‍රශ්නයක්. මොකද ඉතින් මේ දෙකේදිම නොසෑහෙන්න දුකක් අපේ හිත් වලට දැනෙන නිසා.

බැඳීම් අඩු කර ගන්න තරමට දුකත් අඩු කර ගන්න පුළුවන්. ඒක බුද්ධ දේශනයක්. කෙනෙක් අපෙන් වෙන් වෙලා යන්නේ තවත් අළුත් තැනකට. ඕනෙම වෙන් වීමක් දුක් සහිතයි හිතෙන් තියෙන බැඳීම වැඩි වෙද්දි. විශේෂයෙන් දෙමාපියන්, පෙම්වතුන්, සැමි
යා, බිරිඳ හෝ දරුවන් වෙන් වෙද්දී. ඒත්, අපිට දුකක් ඇති වෙන කෙනෙකුගේ මරණය, තවත් කෙනෙක්ට සතුටක් වෙනවා. ඒ ඇ‍යිද කියලා දන්නවද?

අපෙන් ඈත් වෙලා ගියාට ඒ කෙනා තවත් පවුලකට නොසෑහෙන්න සතුටක් ගේනවා කියලා අපිට හිතිලා තියෙනවද? මොකද මරණින් මතුවට ඔහු හෝ ඇය තවත් ජීවයක් ලබනවා වෙනත් මව් කුසක. ඒ බව දැන ගැනීම පවා ඒ මවට සතුටුදායක ආරංචියක් වෙනවා. හැබැයි ඒ අපිට දුකක් දුන්නු කෙනාමයි. අපිට ඒ ගැන හිතලා සතුටු වෙන්න හරි, නොසලකා හරින්නට හරි, සතුටු වෙන්නට හරි පුළුවන් නම් දුක තුනී කර ගන්න පුළුවන් නේද? මොකද, ඒ කෙනා අපෙන් වෙන් වුනත් අපි අතරෙම ඉන්න නිසා. සමහර විට මිනිස් ජීවිතයක් ලබලා නම් අපේම නෑයෙක්ගේ දරුවෙක් වෙන්නත් බැරි නෑ. ඒ වගේමයි ඉතින් සතෙක් වෙන්නත් පුළුවන්.

නිවන් දකින්න තරම් ගොඩක් දෙනාට පුළුවන් කමක් නැහැ නේ. ඉතින් මිය යන්නේ කවුරු වුනත් අනිවාර්යෙන්ම අපි අතරෙම ඉපදිලා ඉන්නවාය කියලා සුභවාදීව හිතන්න පුළුවන් නම් මරණය කියන්නේ තාවකාලික වෙන් වීමක් විතරයි කියලායි මගේ අදහස.
මේ කියන්න යන කතාව නම් මට මේ ලඟකදී මගේම යාළුවෙකුගෙන් අහන්නට ලැබුනු දෙයක්. හැබැයි ඇහුවම මට එක පාරටම හිතුනේ "අනේ හපොයි!" කියලයි. ඒ ඇයිද කියලා මේ ලිපිය කියවද්දී තේරුම් යාවි ඔයාලට. මේක එක විදියක ආගම් වෙනස් කිරීමක්. කිරීමකටත් වඩා කරන්නට සිද්ධ වීමක්. ඒත් ආගමක් වෙනස් කිරීම පිළිබඳව සලකා බැලිය යුතු දේවල් කීපයක්ම තියෙනවා. අන්න ඒ දේවල් සලකා බැළුවම නම් ඒ යාළුවා කී කතාවේ හැටියට අපරාධයක්.

මේකේ කතා නායිකාව වෙන්නේ ගැහැණු ළමයෙක්. ඇයගේ ඉගෙනුම සම්බන්ධයෙන් ඇය කරනා උපාධි පාඨමාලාවකදී ඇයට විදේශයක තියෙන විශ්ව විද්‍යාලයක ඉගෙනීමට යන්නට සිද්ධ වෙලා. නමුත් ඒක ක්‍රිස්තියානි එකක්. ඒ හින්දා මැය, ඇගේ ආගම වුනු බෞද්ධාගමෙන් මිදිලා ඒ දහම වැළඳගෙන. කිව යුතු තවත් දෙයක් තියෙනවා. මැයගේ මව බෞද්ධාගමිකයෙක් සහ පියා මුස්ලිම් භක්තිකයෙක්. කොටින්ම කීවොත් නම් එකම සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේ ගෙදරක් වෙලා ඇත්තේ
දැන්.

මට නම් කියන්න තියෙන්නේ ඉගෙනීම වෙනුවෙන් ආගම පාවා දීමක් විදියටයි. අපේ රටෙත් පෞද්ගලික අධ්‍යයන ආයතන තියෙනවා. නමුත් ඒවායේ ඉගෙන ගන්නට බෞද්ධයින්ට තහනමක් තවමත් උදා වෙලා නැහැ.

කෙටියෙන් කියනවා නම් උතුම් ධර්මයක් ඉවත දාලා අඳුරට ගිහින් කියලායි කියන්න තියෙන්නේ. මේක ඇත්තෙන්ම වෙනත් ආගම් වලට පහර ගහන්න ලියන ලිපියක් නෙවෙයි. ඒත් බෞද්ධයෙක් විදියට බුදු දහම අත හැරලා වෙන ආගමක් වැළඳ ගැනීම ගැන නම් කතා කළ යුතුමයි. ඒත් ඒ එයාලගේ කැමැත්ත. මේක පරිවර්තනය කිරීමක් නොවුනත් ඉගෙනීම වෙනුවෙන් පරිවර්තනය වීමක්. ලැබෙන ලාභ වාසි නිසා සිද්ධ කරන්නට වුනු දෙයක්.

විශ්ව විද්යාලයක බෞද්ධයින්ට ඉගෙනීමට අවස්ථාවක් නොලැබීම කියන්නේ ආගමික විශමතාවක් ඇතිව පැවතීමයි. යම් ආගමක උදවියට විශේෂ සැලකීම් ලබා දීමත්, තව ආගමකට, වෙනස්ව හෝ ඊට පහත්ව සැලකීම කතා බහට ලක් විය යුතු කාරණාවක්. මොකද මේ දේ අද අපේ රටේ විවිධ ක්‍රම වලින් රැකියා ස්ථාන වල සිද්ධ වෙනවා. නමුත් ආගම සම්බන්ධව නෙවෙයි. ගැහැණු පිරිමි බේදය වගේ දේවල්.

තමන් ඉන්න ආගමේම ඉඳලා අනිත් ආගම් වල ඉන්න අයට ලැබෙන වාසි සහ ප්‍රතිලාභ නොලැබෙනවා නම් ඒක මම දන්න හැටියට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වගේ දෙයක්. එහෙම වුනාම කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්න පුළුවන්.

මේ ලිපියෙන් මම අපේ බෞද්ධයන්ට කියන්න උත්සාහ ගන්නේ කිසිම හේතුවක් නිසා හෝ වේවා ලබන්න තියෙන වාසියක්, ටකරං කෑල්ලක්, කෑම බීම නිසා තමන්ගේ ආගම ධර්මය වෙනස් කරන්න එපාය කියලා. මොකද අපි බෞද්ධයන් විදියට ඒ වගේ ධර්මයක ආභාශය ලබන්නට ලොකු පිණක් අපට පිහිටලා තියෙනවා. ඒ බව බුදු රජාණන් වහන්සේති දේශණා කරලා තියෙනවා. නිර්වාණාවබෝධය අන්‍යගමිකයන්ට ලබන්න බැරි වන්නේ මිත්‍යා දෘශ්ටි පුරුදු පුහුණු කරන නිසාවෙන් බව. ඉතින් අපි තීරණය කළ යුතුයි වාසි වලට යටත්ව තම ආගම වෙනස් කරනවාද කියලා. හිතන්නට යමක් වගේම කතා බහ කරන්නට යමකුත් ඔන්න මම ඉතුරු කළා.

Wednesday, August 25, 2010

බඩුව. මේ වචනය අද කාලේ නම් අර්ථ කීපයක්ම ගන්න වචනයක්. බඩුව, භාණ්ඩය කියලත් හඳුන්වනවා. ඒ සම්මථ ආකාරය. ඒ වගේමයි බඩුව කියන වචනයට අසම්මථ අර්ථ දැක්වීමුත් තියෙනවා. ඒවා සමාජයේ කතා බහෙන් සහ ජන වහරෙන් ගොඩ නැගුණු දේවල්. කාන්තාවනුත් බඩුව කියලා හඳුන්වනවා. එහමත් නැත්නම් භාණ්ඩය. මේ වචනයේ ගැඹුරු අර්ථයක් තියෙනවා. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් මේක හරිම පහත් අර්ථයක් තියෙන වචනයක්.

ඒත් දන්නවද මේ වචනය කාන්තාවකට මුලින්ම යෙදුවේ කවුද කියලා? ඒ අපේ බුදු රජාණන් වහන්සේ. යම්කිසි රත්රන් භාණ්ඩයක් හරි වටිනා කියන භාණ්ඩයක් හරි රකින්නා වගේම කාන්තාවත් ඒ හා සමානව රැකිය යුතුයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කතාව අදටත් කොයි තරම් නම් සාධාරණද? අපි ගැහැණියකට, කාන්තාවකට බඩුව ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ කොයි තරම් නම් පහත් සිතුවිල්ලකින් වුනත් මේකේ නිවැරදි අර්ථය මීට අවුරුදු දෙදහස් පන්සියයකට එපිටදි උපමාවකට භාජනය වූවක්. ඒ, කාන්තාවක් සැමගෙන්ම ආරක්ෂා විය යුතු නිසා. කුඩා කාලයේදී දෙමාපියන්ගෙනුත්, විවාහ වුනාම සැමියාගෙනුත්, මහළු කාලයේදී දරුවන්ගෙනුත් ඇය ආරක්ෂාව ලැබිය යුතුයි.

අද සමාජයේ භාණ්ඩයක් ලෙසින් හඳුන්වන්නේ එක්කෝ ඇහැට කනට පේන කාන්තාවක්, නැතිනම් ගැණිකාවක්. එහෙමත් නැතිනම් ඉතින් ලිංගික සහචාරයේ යෙදීමට කැමැති කාන්තාවන්ට. මේ වගේ අයට නම් භාණ්ඩයක් හෝ බඩුවක් හෝ කීම මුලින් කී අදහසට අනුව කොයි තරම් නම් ගැලපෙනවාද කියලා හිතා ගන්නට පුළුවන් නේ.

අද අපේ සමාජයේ ගැහැණු පිරිමි අතරේ සිදු වන විවාහත් සාමාන්‍ය බැඳීමක් තත්ත්වයටම පත් වෙලා. විවාහයට පෙරදී පිරිමියෙකු සිදු කරනා කෙළිලොල් හා සල්ලාල ජීවිතය විවාහයෙන් අනතුරුව හෝ නැවතිය යුතු යන්න මගේ විශ්වාසයයි. මන්දයත් අවශ්‍ය සෑම අවශ්‍යතාවක් සඳහාම තමන්ටම කියා සහකාරියක් සිටීම හේතුවෙන්. නමුත් මේ දේට පරිබාහිරව, එහෙමත් නැතිනම් මේ සීමාව බිඳ හෙලා කටයුතු කරන උදවිය මා ආශ්‍රය කරලා තියෙනවා.

විවාහයට පත්ව සිටියත් තමන්ගේ බිරිඳට වඩා පෙනුමින් හා කාය සම්පත්තියක් හෙබි කාන්තාවන් ඇති තරම් සමාජ වෙබ් අඩවි හරහා හොයා ගන්න එක අද ඒ තරම් අපහසු දෙයක් නම් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, පාරෙ තොටේදී, බස් රියේදී, දුම්රියේදී හෝ එවැන්නියක් මුණ ගැසීමට ඇති හැකියාවකුත් තියෙනවා. සල්ලාල කම් හුරු පුරුදු ඇත්තන්ට නම් මේ වගේ අයත් එක්ක එකතු වීම විශාල ජයක් නොවෙයි. නමුත් තමන්ගේ බිරින්දෑවරුන්ගෙන් නොලැබෙනා දෑ නිසාවෙන් හෝ ඊට වඩා ස්වභා සෞන්දර්යෙන් හෙබි නිසා වෙන්නට ඇති වරදක් ලෙස නොසිතා හොර රහසේම අනාචාරී ක්‍රියාවන් වල නිරත වන්නේ.

මේ ලිපිය එහෙම කරන අයට නම් නෙවෙයි. මොකද මේ වගේ ලිපියක් දුටු පමණින් එවැන්නන් යහ මගට ගන්නවා කියන්නේ අත දරුවෙක් ලවා අලියෙක්ව අදිනවා වගේ වැඩක් නේ. කවුරුන් හෝ එවැනි දෙයකට හුරු වෙලා ඇති නම් විවාහය අසාර්ථක කර ගන්නට හොඳම විදියක් නිසායි මේ ලිපිය ලියලා ඒ අයට මතක් කරලා දුන්නේ. මේ දේවල් කරන්න කරන්න ම තමන්ගේ ආයු කාලය වැඩි වෙනවා. හැබැයි මිනිස් ලොවේදි ගත කරන ආයු කාලය නම් නෙවෙයි, නිරයේ.
බොහෝ ආගම් වලට ආගමික දර්ශන වලට පදනම් වුණු මූලකෘතිය තමයි දේව වන්දනාව. අදෘශ්‍යමන දෙවි වරයෙක් පදනම් කර ගෙන ගොඩ නැගෙන විශ්වාස සහ භක්ති පූර්වක ක්‍රියාකාරකම් මත සහ ජනප්‍රවාද හේතු කොට ගෙනයි අදෘශ්‍යමාන දේව ප්‍රතිරූපයක් වටා ආගමක් ගොඩ නැගෙන්නේ යනු මගේ පුද්ගලික අදහස. ඒ විදියට ගොඩ නැගුනු හැම ධර්මයකම පෙන්වන්නේ නියතතාවත්, සුවතාවත්, සහ ආත්මයත් යන කරුණු තුනයි. මීට පරිබාහිරව ගොඩ නැගුනු විශ්වීය ධර්මය බුදු දහමයි. බුදු දහම ආගමක් නොවන්නේ එහි ඇති නොසෙල්වෙන සහ නිකැලැල් ධර්මය අතීත වර්තමාන සහ අනාගත යන කාලත්‍රයටම වෙනසක් නැතිව බලපාන කරුණු කාරණා රාශියකින් ස්වායංපෝශිතයක් බැවින්.

දෙවියන් විශ්වාස කළ යුතු බව ඇත්තක්. නමුත් දෙවියන්ගෙන් ආයු සැප බල වර්ණ බලාපොරොත්තු වීමක් බුදු දහමේ හැටියට පිළි ගන්න බෑ. මොකද දෙවියන් සිටිය යුත්තේ තම සිත් තුල වීමයි. ඇදහීමෙන් හෝ යැදීමෙන් හෝ කිසිවක් ලබා ගන්නට බැරි බව බුදු දහමේ කියවෙනවා. ඒ නිසා අද කාලයේ බොහෝ දෙනා හින්දු දෙවි වරු පසු පස වැඳ වැටෙමින් යන ගමන බෞද්ධයන් හැටියට තම ආගමට කරනා නිගාවක් ලෙසයි මම දකින්නේ. බුදු දහමේ කියැවෙන දෙවිවරු සිල්වතුන්ගෙන් පුණ්‍යානුමෝදනා ලබා සැපයට පත්ව නිවන් මගේ සිටිනා අයයි.

අපි පූජා කරනා කෙසෙල් ගෙඩි, රෙදි පිළි, පොල්, මල්, හඳුන්කූරු පලතුරු වලින් ඔවුනට කිසිසේත් පලක් වන්නේ නම් නෑ. මොකද දිව්‍ය භෝජන තියෙද්දී නරයන්ගේ ආහාර පාන වලඳනවා කියාත් වෙනත් විදියකින් සිතන්නට පුළුවන්. ඒ වගේ ආහාර පාන දිව්‍ය භෝජන පරද්දන්නේ කොහොමද? කොටින්ම කියනවා නම් අපි පූජා කරන පලතුරු වට්ටි නම් ඔවුනට අසූචි හා සමානයි.

මා දන්නා ආකාරයට සතර මහා දෙවිවරු ලෝකය සිසාරා සිල්වතුන් සොයමින් සැරිසරන බවත් ඔවුනගෙන් පිං අනුමෝදන් වී ඔවුනට ආරක්ශාව සලසන බවත් බුදු දහමේ සඳහන් වෙනවා. හැබැයි මේ සතර මහා දෙවිවරු කීවේ අපි බොහෝමයක් දෙනා හිතාගෙන ඉන්න හින්දු දෙවිවරු වෙන විෂ්ණු, කතරගම වගේ අය නම් නෙවෙයි. ඔවුන් වෛශ්‍රවණ, විරූපාක්ශ, විරූදක සහ ධ්‍රතාරාස්ත්‍ර (මා වැරදි නම් නිවැරදි කරන සේක්වා) නමින් හඳුන් වන සතර වරම් දෙවිවරු.

තම තමන් සිල්වත්ව දුරාචාරයෙන් ඈත්ව වැසීම දෙවියන් හා මිත්‍ර වීමට ඇති එකම ක්‍රමයයි. පන්සිල් රැකීම ඒකට හොඳ උපකාරයක්. දෙවියන් ආශිර්වාද කරනුයේ ඔවුනට ලං විය හැකි අයට පමණයි. දුරාචාරයේ යෙදී සිටිනා අය හෝ වැරදි දිවි පැවතුම් ඇති කෙනෙක් දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලා යැදීමක් කරනවා නම් හෝ එසේ උපකාර ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටී නම් හෝ එයින් සිසිදු පලයක් ඇති වන්නේ නැහැ. මන්දයත් අර පෙර කියූ කාරණාව නිසා.

අපි බෝධි පූජාවක් කරත් දෙවියන්ගෙන් හරි බුදුන්ගෙන් හරි ඉල්ලන්නේ ආයු, වර්ණ, සැප, බල, යසස කියන කාරණා පහෙන් අඩුම තරමේ එකක් හරි. නිවැරදි බුදු දහම අධ්‍යයනය කරොත් වැටහේවි බුදු දහම කියන්නේ යැදීම අනුමත කරන දෙයක් නොවන බවත්, ප්‍රාර්ථනාවන් ඉශ්ට කර ගන්න පුළුවන් ආගමක් නොවන බවත්. කෙනෙකුට සැපවත් ජීවිතයක් ලබා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් බුදු දහමේ විස්තරාත්මකව ඇති නිසා දෙවියන්ගේ පිහිටක් බලාපොරොත්තු වන්නේ කුමටද?

Saturday, August 21, 2010

සාකච්ඡා වර්ග කීපයක් ගැනම අපි අහලා තියෙනවා. කරලාත් තියෙනවා. සුහද සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා වගේ එක එක වර්ගයේ ඒවා. මේ ලිපිය ලියන්නේ ඔය කීව සම්මුඛ සාකච්ඡාවන් ගැන. කොටින්ම කියනවා නම් මේක ලියන්නට හේතු වුනේ මම මේ ලඟකදී සහභාගී වුනු සම්මුඛ සාකච්ඡාවක් නිසා. හැබැයි මේ කියන්නේ සම්මුඛ පරීක්ෂණයකදී සිද්ධ වුන සාකච්චාවක් ගැන. මේ වගේ පරීක්ෂණයකදී නම් ඉතින් මුළින්ම පරීක්ෂණය කරලා ඊට පස්සේ නිරීක්ෂණයත් කරලා අන්තිමට තමයි නිගමනයකට එළැඹෙන්නේ ඒ අදාළ පුද්ගලයාව රැකියාවට බඳවා ගන්නවාද නැද්ද කියලා.

සම්මුඛ
පරීක්ෂණ වලට ඔයාලත් සහභාගී වෙලා ඇති. මේවා බොහෝ වෙලාවට පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාශාවෙන්. අද කාලයේ සම්මුඛ පරීක්ෂණ වලට බොහෝ දෙනා යන්නට තියෙන අකමැත්තත් මේ ඉංග්‍රීසි භාශාවෙන් තියෙන කරදරය නිසාවෙන්මයි. නමුත් ඉංග්‍රීසි භාශාව හැම කෙනෙක්ම හොඳින් ඉගෙන ගත්තොත් සම්මුඛ පරීක්ෂණ හොඳින් ජය ගන්නත් පුළුවන් වේවි.

සම්මුඛ
පරීක්ෂණ කීවම ඒත් එක්කම බැඳිලා තියෙන ප්‍රසිද්ධ රහසක් වගේ දෙයක් තමයි බොරු කීම. මෙන්න මේ බොරු කීමට ඉංග්‍රීසි භාශාව දන්නා කෙනෙක් නම් ඒ හැකියාව උපරිමයෙන්ම පාවිච්චි කරන අවස්ථාත් ඇති තරම් තියෙනවා. ඇයි ඉතින් ඉංග්‍රීසිය ගැනම කියවන්නේ. සිංහලෙන් තියෙන සම්මුඛ පරීක්ෂණ වලදීත් මේ බොරු කීම පවතිනවා. පෙළක් වෙලාවට මේ සම්මුඛ පරීක්ෂණ වලදී අහන දෙයක් තමයි දුර පළාතක සේවයට දැම්මොත් යන්න පුළුවන්ද කියලා. මේකට ලැබෙන අනිවාර්ය පිළිතුර "ඔව්" කියන එකයි. මේ පිළිතුර සමහර වෙලාවට ගෙදරින්ම පුරුදු කරලායි සමහරුන්ව සම්මුඛ පරීක්ෂණ වලට පිටත් කරලා යවන්නේ.

ඉතින් ඇයි අපි අපේ ජීවිතේ වැදගත් දෙයක් ආරම්භ කරන්න යද්දී බොරු කන්දරාවක් කියන්න හිතාගෙන යන්නේ? ඇයි ඇත්ත කියලා ඕන දෙයක් වුනදෙන් කියලා ගිහින් එන්නට බැරි? දන්න දෙයක් ඇහුවොත් දන්න, නොදන්න දෙයක් ඇහුවොත් නොදන්න බවත් කියලා එනවා වෙනුවට දන්න නොදන්න හැම දෙයක්ම ඉතා ඉහලින් තමන්ට කරන්න පුළුවන් බව කියලා එන එකද වැදගත් කම?

මම සහභාගී වුනු සම්මුඛ පරීක්ෂණය ඇත්තෙන්ම හරිම සුහදශීලී එකක් වුනා. කොටින්ම කීවොත් එළිමහනකයි පැවැත්වූයේ. මේකේදී ඔවුන් පැවසූ දෙයක් තමයි, බොහෝමයක් දෙනා හැමදේම දන්නවා කියලා රැකියාවට ආවත් ඇත්තෙන්ම එයාලට වැඩි වැඩක් බැරි බව. ඒ විතරක්ම නෙවෙයි, ලිඛිත විභාගයකට මුහුණ දෙන්නට සලසන එකත් එයාලා විශ්වාස කරන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය දක්ෂයන් විතරමයි. මේක ඒ අයට විතරක් අදාළ දෙයක් නම් නෙවෙයි. ඕනෑම ආයතනයකට අවශ්‍ය වන්නේ උගත් කමට වඩා දක්ෂතාවය පිළිබිඹු කරන පිරිසක්. උගත්කම නිසි ආකාරයට භාවිතාවේ යොදන පිරිසක් මිසක දැනුම් සම්භාරයක් තියෙන උදවිය නම් නෙවෙයි.

මේ සම්මුඛ පරීක්ෂණයේදී බොහෝ දුරට තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඔවුන්ගෙන් ඉදිරිපත් වුනා. එයින් වැඩි කොටසකට පිළිතුරු දීමට මට හැකියාවක් තිබුනේ නෑ. ඒ භාවිතාවේ යොදා නොමැති වූ නිසාවෙන්. ඒත් ඊට හේතු වුණු කරුණුත්, ඒ සඳහා ඇති වී ඇති බාධක ගැනත් සඳහන් කරන්නට මම අමතක කළේ නෑ.

කෙනෙක්ගෙන් අහනවා නම් "ඇයි දැන් වැඩ කරන ආයතනය අත හරින්න හේතුව?" කියලා අර වගේ කියන පාඩම් කරන් ගිය පිළිතුර තමයි "අළුත් දේවල් ඉගෙන ගන්න / අළුත් අත්දැකීම් ලබන්න / තවත් ඉහලට යන්න අවස්ථාවක් උදා කර ගන්න" වගේ ඒවා. නමුත් ඒ කිසිවක් කියන්න මට උවමනාවක් තිබුනේ නෑ. මම ඊට හේතුව කෙලින්ම ඉදිරිපත් කළේ හැංගීමකින් තොරව ආයතනයේ වැටුප් සම්බන්ධවයි. වරදක් කරලා නැත්නම්, තමන් දන්නා දේ සැඟවිය යුතු නැතිනම් ඉතින් බොරු කියන්නේ අහවල් දේටද?

3 Idiots හෙවත් තකතීරු තුන් දෙනෙක් ගැන කියැවෙන හින්දි චිත්‍රපටයක් මෑතකදී ඔයාලා හැමෝටම නරඹන්නට අවස්ථාව උදා වෙලා ඇති. මේ චිත්‍රපටයේත් එක ජවනිකාවක සම්මුඛ පරීක්ෂණයක් පෙන්නනවා. එහිදී ඊට සහභාගී වෙන තරුණයා එයින් ජය ගන්නේ හැකියාවන් වලටත් වඩා ඇත්ත පැවසීම නිසා. ඒක නම් චිත්‍රපටය නරඹලාම ඔයාලා තීරණය කරන්නකෝ.

ඔන්න ඉතින් ඕකයි කතාව. ඔයාලා හැමෝටම කියන්නේ, බය නැතුව සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන්න. ඒක තමන්ගේ ජීවිත වලට අත්දැකීම් එකතු කරන නිතර නොලැබෙන අවස්ථාවක්. ඒ වගේමයි මිනිසුන් වගේම රැකියා ස්ථාන වල පරිසරය ගැන අවබෝධයක් ලබන්නත් උදව්වක් වෙන දෙයක්. මේ හැම දෙයකින්ම පොහොසත් වෙන්නේ තමන්ගේ අත්දැකීම් තමයි. ඉංග්‍රීසිත් හදා ගන්න. අද කාලයේ සම්මුඛ
පරීක්ෂණ වලට ඉංග්‍රීසියෙන් මුහුණ දීම තමන්ට වාසියක්. ඒ ඉතින් ඉබේම හැදුනු ක්‍රමවේදයක්.

Friday, August 20, 2010

මේ ලිපියේ මාතෘකාවට අදාළ වෙන ඉංග්‍රීසි වචනයේ තේරුම සමහර දෙනා තේරුම් ගන්නේ ඉංග්‍රීසියේ තියෙන තේරුමෙන්මයි. නමුත් මාතෘකාවත් එක්කම ගැලපුවාම ඒකේ අදහස වෙන එකක් බව පැහැදිලි වෙන්න ඕනේ. ඇත්තෙන්ම මොකද්ද මේ ජොයින්ට් කියන්නෙ? සාමාන්‍යයෙන් නම් තේරුම මූට්ටුවක් නැත්නම් පුරුකක් වගේ දෙයක්. ඒත් මේ කියන්නේ "ඉංග්‍රීසි බාසාවේ එන වචනයක් සහ අපි" ගැන නෙවෙයි. සමාජයේ සමහර දුරාචාරයට බැඳිලා ඉන්නා කීප දෙනෙක් කරනා දෙයක් ගැන. හැබැයි සමහරු මේ වචනය මෙහෙම දුරාචාරී වැඩකට පාවිච්චි කරන බවක්වත් දන්නේ නෑ. මමත් දැනන් හිටියේ නෑ මීට අවුරුදු දෙක තුනකට කලින්. නමුත් දැන් නම් හොඳට දන්නවා.

ජොයින්ට් විදියට මේ කියන්නේ ගංජා හෙවත් කංසා වලට. මත් ද්‍රව්‍යයක් කියලා දැන් නම් දන්නවා ඇති නේ ඔයාලා. මට මේ දේවල් පාවිච්චි කරන කිහිප දෙනෙකුත් ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. ඒත් කවදාවත් පාවිච්චි කරල තියා කරන්න හිතලාවත් නැහැ.

මේවා සමාජයේ බෙදාහරින්නේ බොහෝමයක් වෙලාවට කොළඹට එපිට පළාත්වල ඉඳලා. සමහරු කොළඹ වැඩ කරාට පදිංචිය බොහෝ දුර ප්‍රදේශ වලයි. ඉතින් නෑගම් යන ඔය දුරාචාර වලට යොමු වුන උදවිය පැකට් විදියට මේවා අරන් ඇවිත් අප්‍රසිද්ධියේ පාවිච්චි කරනවා. ඇත්තටම මේ පැකට් පොලිතීන් වලින් ඔතපු නිකන් තණකොළ වගේ පිටතට පේන වේලපු කොළ ජාතියක්. දුර ගමන් යන බස් වල එහෙම යද්දී සෝදිසියෙන් ඉන්න වේවි. තමන්ගේ ගමන් මල්ලට මේ වගේ ගුලියක් වගේ පාර්සලයක් ඇවිත් තියෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් නිවෙස් වලදී නම් මේ වගේ දේවල් පාවිච්චි වෙනවා අඩුයි. බොහෝ වෙලාවට නේවාසිකාගාර, බෝඩිම් නිවාස, විනෝද චාරිකා ආදිය වලදී මිතුරන් රැසක් එකතු වෙන අවස්ථා වලදී තමයි මේවා පාවිච්චියට ගැනෙන්නේ. සමහර විට තමන්ගේම යාළුවෙක් බෑග් එකෙන් එළියට මේ පැකට් එකක් ගන්නකම් තමන් ඒ යාළුවාව මේ වගේ දුරාචාරයකට යොමු වෙලා ඉන්නවාය කියලා දැන ගන්න එකක් නෑ.

මේ ජොයින්ට් ගහන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ. මොකද මම ඒ ගැන අමුතුවෙන් හොයන්න ගිහින් නොමැති වීමත්, එය කරනා හැටි දැක නොතිබීමත් නිසා. මා දන්නා තරමට පිච්චීමක් වගේ දෙයක් මාර්ගයෙන් එන දුම ආග්‍රහණය කරලායි මේ දේ කරන්නේ. මේ මට ඇසුන දේවල් වලින් මා නිගමනය කල දෙයක් විතරයි.

මේ දේවල් කරන අය කියන විදියට නම් මේ දේ කරාම තමන්ට හරියකට කෙලින් ඉන්නත් බැරි තරම්. ඒත් ඒ වගේ වෙලාවට කරන වැඩ නොහොත් මන්ද මානසිකත්ව ක්‍රියාකාරකම් ඒ ඒ අය අතරේම විහිළුවට තහළුවට නිතර පත් වෙන්නක්. මේ නිසා ඔවුනොවුන් ලබනා සහනය සහ සැපය නම් ඉතාමත්ම උපරිම එකක්. ඒත් සිහි විකල්ලෙන් ලබනා සැපයක්.

කෙනෙක් බොන්නට පුළුවන්. කෙනෙක් සිගරට් බොන්නට පුළුවන්. වාසිය තකා මේ දෙකම සාධාරිනීකරණය කරන්න සමාජයේ ඕනෙම කෙනෙක්ට පුළුවන්. ඒත් ඔය දෙකෙන් ඕන එකක් කරනා කෙනෙක්ට ජොයින්ට් ගැසීම තවත් මහා ලොකු වීර කමක් වනවා මිසක අවදානමක් බව වැටහෙන්නේ නම් නෑ. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් තේරුම් ගන්න වැටහීමක් තියෙනවා නම් ඔය දහ ජරාව පාවිච්චි කරන්නේ නැහැ නෙ ඉතින්.

එදා වේල කාලා බීලා ඉන්න සල්ලි බාගේ නැති උදවිය මේ ඕනෑම දුරාචාරයක් කරන්නට සතියක්, මාසයක් කාලා බීලා ඉන්න තියෙන වැටුප නාස්ති කරද්දී මට, මම ගැන ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා. මොකද මම මගේ මුදලින් අනුන්ට උදව් කරන නිසා. ඒත් ඉතින් සමාජයේ ඉන්න දුරාචාරී පුද්ගලයන් සමාජයෙන් ඈත් කරන්න නම් අපිට බැහැ. ඒක ඔවුනොවුන් තේරුම් ගන්නා කාලය එන කොට ජීවිතේ හොඳම හරිය සහ මුලින්ම විනාශ කරගෙන අවසන් කරගෙනත් ඉඳීවි. මොනා කරන්නද?
අපි ජීවතයේදී බොහෝ අවස්ථා වලදී පරාජයට පත් වෙනවා බොහෝ දේවල් වලින්. ඒ වගේම ඉතාමත් සුළු අවස්ථා කීපයකදී ජයග්‍රහණය කරන්නත් ලැබෙනවා. මේ දේ මීට වෙනස් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒත් අද මම මේ ලියන්න යන ලිපිය මගේම දෙයක් නෙවෙයි. ඒත් දීලා තියෙන පණිවිඩය නම් බොහෝමත්ම වටින නිසා තමයි මම මේ ලිපිය මෙහෙම පල කරන්නේ. පණිවිඩයකටත් වඩා කියලා තියෙන්නේ බොහෝමයක් ඇත්ත දේවල්. මමත් දැකලා තියෙන, අත් දැකලා තියෙන දේවල්.

මේක මට ආවේ ඊ මේල් පණිවිඩයක් හැටියටයි. හැබැයි ඉංග්‍රීසියෙනුයි තියෙන්නේ. ඒ දේවල සිංහල තේරුමත් මම පල කරන්නම්. මේ කියලා තියෙන දේවල් කොයි තරම් ඇත්තද, බොරුද කියන එක ඔයාලම තීරණය කර ගන්න.

The Winner is always part of the answer.
ජයග්‍රාහකයා සැමවිටම පිළිතුරක කොටසකි.
The Loser is always part of the problem.
පරාජිතයා සැමවිටම ප්‍රශ්නයක කොටසකි.

The Winner always has a program.
ජයග්‍රාහකයට සැමවිටම වැඩ සටහනක් ඇත.
The Loser always has an excuse.
පරාජිතයට සැමවිටම නිදහසට කරුණක් ඇත.

The Winner says, "Let me do it for you".
ජයග්‍රාහකයා "මම ඒක ඔයාට කරලා දෙන්නම්" කියයි.
The Loser says, "That is not my job."
පරාජිතයා "මේක මට අදාළ වැඩක් නෙවෙයි" කියයි.

The Winner sees an answer for every problem.
ජයග්‍රාහකයා හැම ගැටළුවකටම පිළිතුරක් දකියි.
The Loser sees a problem for every answer.
පරාජිතයා හැම පිළිතුරකම ගැටළුවක් දකියි.

The Winner says, "It may be difficult but it is possible".
ජයග්‍රාහකයා "ඒක අමාරු වුනත් කරන්න පුළුවන්" කියා කියයි.
The Loser says, "It may be possible but it is too difficult."
පරාජිතයා "ඒක කරන්න පුළුවන් වුනත් අමාරුයි" කියා කියයි.

When a Winner makes a mistake, he says, "I was wrong".
ජයග්‍රාහකයා අතින් වරදක් වුනොත් ඔහු, "ඒක මගේ වරදක්" කියා කියයි.
When a Loser makes a mistake, he says, "It wasn't my fault."
පරාජිතයා අතින් වරදක් වුනොත් ඔහු, "ඒක මගේ වරදක් නෙවෙයි" කියා කියයි.

A Winner makes commitments.
ජයග්‍රාහකයා කැප කිරීම් කරයි.
A Loser makes promises.
පරාජිතයා පොරොන්දු වෙයි.

Winners have dreams.
ජයග්‍රාහකයා සිහින දකියි.
Losers have schemes.
පරාජිතයා කූට උපක්‍රම සිතයි.

Winners say, "I must do something".
ජයග්‍රාහකයා "මම මොනවා හරි කළ යුතුයි" කියා කියයි.
Losers say, "Something must be done."
පරාජිතයා "මේකට මොනවා හරි කළ යුතුයි" කියා කියයි.

Winners are a part of the team.
ජයග්‍රාහකයා කණ්ඩායමක කොටසකි.
Losers are apart from the team.
පරාජිතයා කණ්ඩායමක කොටසක් නොවේ.

Winners see the gain.
ජයග්‍රාහකයා ප්‍රතිලාභයන් දකියි.
Losers see the pain.
පරාජිතයා වේදනාව දකියි.

Winners see possibilities.
ජයග්‍රාහකයා විය හැකියාවන් දකියි.
Losers see problems.
පරාජිතයා ගැටළුම දකියි.

Winners believe in win-win.
ජයග්‍රාහකයා හැමෝම දිනිය යුතු බව විශ්වාස කරයි.
Losers believe for them to win someone has to lose.
පරාජිතයා අනුන් පැරදී තමන් දිනිය යුතු බව විශ්වාස කරයි.

Winners see the potential.
ජයග්‍රාහකයා දියුණු කළ හැකි දෑ දකියි.
Losers see the past.
පරාජිතයා අතීතය දකියි.

Winners are like a thermostat.
ජයග්‍රාහකයා උශ්නත්ව පාලකයක් බඳුයි.
Losers are like thermometers.
පරාජිතයා උශ්නත්ව මානයක් බඳුයි.

Winners choose what they say.
ජයග්‍රාහකයා කියන දේ තෝරා ගනියි.
Losers say what they choose.
පරාජිතයා තෝරා ගත් දේ ගැන කියයි.

Winners use hard arguments but soft words.
ජයග්‍රාහකයා ලාමක වචනින් දැඩි තර්ක ඉදිරිපත් කරයි.
Losers use soft arguments but hard words.
පරාජිතයා ලාමක තර්ක දැඩි වචනින් ඉදිරිපත් කරයි.

Winners stand firm on values but compromise on petty things.
ජයග්‍රාහකයා සාරධර්ම තුල ස්ථිරව සිටිනමුත් නොවැදගත් දෑ හෙළා දකියි.
Losers stand firm on petty things but compromise on values.
පරාජිතයා නොවැදගත් දෑ තුල ස්ථිරව සිටිනමුත් සාරධර්ම හෙළා දකියි.

Winners follow the philosophy of empathy: "Don't do to others what you would not want them to do to you".
ජයග්‍රාහකයා සකම්පනය වී, යමෙක් තමාට කරනවාට අකමැති දෙයක් අනුන්ට කිරීමෙන් වැළකී සිටියි.
Losers follow the philosophy, "Do it to others before they do it to you."
පරාජිතයා අනුන් තමන්ට යමක් කරන්නට පෙර එය අනුන්ට කිරීමට සිතයි.

Winners make it happen.
ජයග්‍රාහකයා යමක් කරන්නට දායක වෙයි.
Losers let it happen.
පරාජිතයා යමක් සිදු වෙන තුරු සිටියි.

Sunday, August 15, 2010

අපි හැමෝටම මිතුරු මිතුරියන් සිටිනවා. අඩු තරමින් එක්කෙනෙක් හරි ඇති. මේ ලිපියෙන් මම කියන්නට යන්නේ මගේ මිතුරන් ගැන නම් නෙවෙයි. මගේ මිතුරන් කිහිප දෙනෙකුන්ගේ වැඩ කීපයක් ගැන.

සිංහල බ්ලොග් අවකාශයට පිය නගපු මගේ මිතුරන් කීප දෙනෙක්ම සිටිනවා. ඔවුන් ලියනා හැම බ්ලොග් අඩවියක් හරහාම විවිධ මාතෘකාවන් යටතේ ලිපි පල වෙනවා. ඒවා වල වටිනාකම සමහර විටක කියා නිම කරන්නටත් නොහැකියි. විශේෂයෙන් නොදන්නා, දැක නැති දේවල් බොහෝමයක් පිළිබඳව කරුනු කාරණා රාශියක් මටත් මේ බ්ලොග් හරහා ඉගෙන ගන්නට දැක බලා ගන්නට අවස්ථාව උදා වුනා. මින් සමහර මිතුරන් මගේ කීම මතම බ්ලොග් කරණයට යොමු වුන අය. ඉනුත් සමහර අයගෙන් යම් යම් විෂය කරුණු පිළිබඳව ලිපි පල කරන්නට හෝ අළුතින් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නය කියලා මම කරන ඉල්ලීම් අදටත් නතර වෙලා නෑ.

මේ කියන්නට යන බ්ලොග් අඩවිය නීති වෘත්තියේ යෙදී සිටිනා මාගේ මිතුරෙකුගේ නිර්මාණයක්. නීති වෘත්තියේ යෙදී ඉන්නා අතරේ නීතිය හරහා ජනතාවට දැනුම එක් කිරීමට ඔහු රචනා කරමින් පවතින මේ බ්ලොගය "නීතිය හා ඔබ" ලෙසින් ඔහු නම් කරනවා. නීතිමය උපදේශනයක් ලබා ගැනීමට වඩා නීතිය හැදෑරීමට ප්‍රියතාවක් දක්වන ඕනෑම අයෙකුට මේ ලිපි පෙළින් මනා අවබෝධයක් ලැබෙනු ඇතැයි මගේ විශ්වාසය. මේ බ්ලොග් අඩවියේ බැඳිය,
"http://neethiynyou.blogspot.com/" ලෙසින් වෙනවා.

මීලඟ බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. ඉතාමත්ම හරවත් ලිපි පෙළකින් ඔහු ඔබව හමු වන්නේ බුදු දහම පිළිබඳව කරුනු කාරණා රාශියක් ඔබ හමුවේ තබමින්. වැඩිපුරම අප අසා නැති නමුත් ගැඹුරු ධර්ම කොටස් වල විඝ්‍රහයක් මේ බ්ලොග් අඩවිය තුලින් නිරූපණය වෙනවා. ඔහු මෙය "බුද්ධ රශ්මි" නමින් හඳුන්වනවා. බුදු දහමේ ඔබ නොදත් සහ ශ්‍රද්ධා ගුණය වැඩි කරවන කරුණු ඉගෙනීමට දැක බලා ගැනීමට ඔයාලටයි මේ ආරාධනය පහල බැඳියෙන් එයට පිවිසීමට.
"http://budurashmiya.blogspot.com/"

මේ කියන්නට යන ලිපි පෙළ අඩංගු බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. නමුත් මෙය ඉහත ආකාරයේ බ්ලොග් ගණයට වැටෙන්නක් නොවෙයි. එය නව කතාවක්. ඇත්තෙන්ම විද්‍යා ප්‍රබන්ධයක් කීවොත් නිවැරදියි. "සිහින කොදෙව්ව" ලෙසින් මෙය නම් කරන ඔහු එහි බැඳිය ලෙස,
"http://sihinakodewwa.blogspot.com/" ඔබට ලබා දෙනවා.

මීලඟ නිර්මාණ පෙළ ඔබට ගෙනෙන්නේ මගේ පාසල් මිතුරෙකු අතින්. ඔහු සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන්නේ මාත් සමගම සමකාලීනවයි. නමුත් පාසලේ පැවති මිතුරු කම නිසාවෙන්ම ඔහුගේ මේ බ්ලොග් අඩවි කියවීමට මා ප්‍රිය කරනවා. ඔහු විසින් රචනා වෙමින් පවතින එක් බ්ලොග් අඩවියක් ඔහු විසින් ලබා ගත් නමුත් දුර්ලභ හා වටිනා ඡායාරූප එකතුවක්. මේ හැම ඡායාරූපයකටම බැඳි කතා වස්තුවකුත් එහිදී ඔහු දක්වන්නේ කියවන්නන් හට ප්‍රියතාවක් ඇති වන අයුරින්. "කැන්ඩිගේ ඇසින්" ලෙස එය නම් කරන්නට ඔහු සිතන්නේ ඔහු දුටු පාරිසරික අත්දැකීම අප වෙත "http://candyge-asin.blogspot.com/" නැමැති බැඳියෙන් ලබා දීමටයි.

මෙයත් ඔහුගේ නිර්මාණයක්. ඒ "කැන්ඩිගේ මතක සයුර" ලෙසින් පිළි ගැන්වෙන ඔහුගේම නිර්මාණශීලී කවි තතා මෙන්ම ඔහු සිත් ගත් එවැන්නන් පල කරනුවස් නිර්මිත බ්ලොග් අඩවියක්. කලාත්මක අදහස් රාශියක් මේ බ්ලොග් අඩවියෙන් ඔහු බ්ලොග් අවකාශයට මුදා හරින්නේ මේ පහත දැක්වෙන බැඳිය හරහායි. ඒ,
"http://chathurawind1.blogspot.com/" ගෙනි.

මීලඟ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයෙන් බැහැර වුනු එකක්. මෙය ඉංග්‍රීසි භාශාවෙන් රචනා වෙන පෙර කී මිතුරාගේම කවි, නිසදැස් සහ කතා පෙළක්. "The Story of Candy" ලෙසින් එය නම් කරන ඔහු ඔබට එහි පිවිසුම් දොර ලබා දෙන්නේ මෙන්න මේ බැඳිය හරහායි. එනම්,
"http://chathurawind.blogspot.com/" ගෙන්.

මේ ලිපි පල වන සමහර බ්ලොග් අඩවි මේ වෙද්දීත් සින්ඩිකේටරයකට ඇතුලත් නොවූ ඒවා විය හැකියි. ඒ නිසා ඒවා කියවීමට ඔයාලට අවස්ථාවක් උදා වෙන්නේ කලාතුරකින් විය හැකියි. ඒ නිසා ඔවුන්ගේ හැකියාවනටත්, ඔවුනගේ නිර්මාණ වලටත් ඇගයීමක් ලබා දීමට මේ ගන්නා උත්සාහය මල් පල ගැන්වේවි කියා මා සිතනවා.
අපි උපතින් හරිම පිරිසිදුයි. නමුත් අපි උපන් කාලය ගැන සිතද්දී අමතක වෙන එකම දේ නම් අපි ලේ වල පාට රතු බව. සමහරුන්ට මේ බව පැහැදිලි වෙන්නේ තුවාලයක් සිද්ධ වුනොත් විතරමයි. නමුත් අපි මේ ගැනත් හිත යොදන්නට ඕනේ. තමන්ගේ සිරුරේ පැය විසි හතර පුරා දුවනා රුධිරයේ පාටවත් මතක නැති උදවිය වර්ණ භේද ගැන කතා කිරීම කොයි තරම් නම් සාධාරණද කියන එක.

අපි මව් කුසකින් උපත ලබද්දි අපි ඇදහිය යුත්තේ කිනම් ආගමක්ද යන්න තීරණය වන්නේ නෑ. එය තීරණය වන්නේ අපි ජීවත් වන පරිසරය අනුවත් අපේ දෙමව්පියන්ගේ කැමැත්ත හා පසුබිම අනුවයි. නමුත් ඒ තෝරා ගැනීම කුමක් වුවත් අපේ ජීවිත හොඳ හෝ නරක දෙක පිළිබඳව ජීවිත ඉගැන්වීමකට නිසඟයෙන්ම යොමු කරනවා. ආගමක් කෙනෙකුට සාරධර්ම වර්ධනය සඳහා විතරක්ම නෙවෙයි වැදගත් වෙන්නේ. ආගමක වැදගත්කම තිබිය යුත්තේ යම්කිසි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය තුලින් තමන්ගේ මානසික හා කායික සුවය පවත්වා ගෙන යාම සඳහා කීවොත් වඩා නිවැරදියි.

ආගම ධර්මයකට වර්ණයක් බල පාන්නේ නෑ. නමුත් බෞද්ධ වුවත්, මුස්ලිම් වුවත්, කතෝලික වුවත් සිරුරේ දුවන්නේ එකම වර්ණයක රුධිරයක්. ආගමක් තීරණය වන්නේ ඒ රුධිරයේ තිබෙනා රතු රුධිරාණු ප්‍රතිශතය අනුව හෝ සුදු රුධිරාණු වල ප්‍රතිශතය අනුව නොවන බව වටහා ගත යුතුයි.

දේශපාලනය මින් අනිත් කරුණයි. මෙලොව එළිය දකින බොහෝ දෙනා ලේ කන්දරාවක් ඇඟ ගල්වාගෙන එන්නාක් වගේම දේශපාලනය නිසාවෙන් ලේ විල් මේ මහ පොළොව මත වගුරා නැතුවා නොවේ. පක්ෂ වලට බෙදී කරනා සටනක් අවසානයේ පක්ෂ පාට වලින් ස්වායක්ත එකම රතු පාටකින් අවසන් වෙනවා.

අපි උපතින් කිසිදු පක්ෂයක පුද්ගලයින් නොවේ. නමුත් ජීවත් වෙන පරිසරය අපි අදාළ විය යුත්තේ කිනම් දේශපාලන පක්ෂයකටද යන්න තීරණය කරනවා. හැබැයි ඒ ඕනෑම පාටක් දරනා පක්ෂයක සිටිනා මිනිසුන්ගේ සිරුරේ දුවන්නේ රතු පැහැති ලේ බව ඒ කිසි කෙනෙකුන් සිතන්නට පෙළඹෙන්නේ නෑ.

අපේ සමාජයේ එකිනෙකා මරා ගන්නේ, විවේචනයට ලක් කරන්නේ අපේම එකෙකුන් බව අමතක වෙලා ගොහින්. ඔවුනට දෘශ්‍ය වන්නේ ඔවුන් පැලඳ සිටිනා කණ්නාඩියේ වීදුරු වල වර්ණයට ගම්‍ය වන දෑ පමණයි. මේ නිසා අද මේ සමාජය දිනෙන් දින ආගාධයට වැටෙමින් සිටිනවා. එදාට වඩා අද මිනිසුන් තුල වෛරී තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඒ නිසාවෙන්.

අපි පැලඳ සිටිනා පාට ගැන්වූ ඇස් කණ්නාඩි ගලවනා තුරු මේ ලෝකයේ, මිනිසුන් මිනිසුන් අතරේ සුහදතාවක් ගොඩ නගන්නට අපහසු වනු ඇත. මේ කියූ දෙය දකින්න මේ පුංචි රූප රාමු පෙළින්. බොම්බේ චිත්‍රපටය මේ බව මැනවින් කියා පානවා.



තමන් ආදරේ කරන අතරතුරේදී හදිසියේම තමන්ට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාගෙන් දෝෂාරෝපණයක් එල්ල වුනොත් මොකද කරන්නේ? ඇත්තෙන්ම මේ වගේ සිදුවීම් නම් අනන්ත අප්‍රමාණව සමාජයේ සිද්ධ වෙනවා. කළ වරදක් නිසා හෝ නොකළ වරදක් නිසාවෙන් දෝෂාරෝපණ සිදු වීම නවත්වන්නට බැරි දෙයක්. ආදරය කියලා වෙනසක් නෑ. කොහොමත් සමාජයේදී වැඩ කරන නොකරන බොහෝමයක් දෙනාට දොස් පැවරීම මිනිසුන්, මිනිසුන්ය කියා හඳුනා ගැනීමේ ගති ලක්ෂණයක් බවටම පත් වෙලා.

හිතන්න තමන් ආදරේ කරන පෙම්වතා හෝ පෙම්වතිය තමන් නොසිතූ වෙලාවක තමන් නොකළ වරදකට තමන්ට දොස් පැවරුවාය කියලා. ඒ වගේ වෙලාවකට තමන් කොයි තරම් නම් අසරණ වෙනවාද කියලා ඒ වගේ දෙයක් සිද්ධ වුණු කෙ
ක්මයි දන්නේ. එක්කෝ කාගේ හෝ කේලමක් නිසා විය හැකියි. එක්කෝ හිතින් මවා ගත් මනස්ගාතයක් නිසාත් වෙන්නට පුළුවනි.

මේ වගේ වෙලාවල් වලදී සමහර විට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ නිදහසට කාරණා අසන්නට තැත් නොකරන්නට පුළුවනි. කොටින්ම, කියනා කිසිම දෙයක් පිළි නොගන්නටත් පුළුවන්. මේ වගේ සිදුවීම් බොහෝ විට සමාජයේත්, අපි අතරේත්, අපේ මිතුරන්ට පවා සිදු වෙලා තියෙන්නට පුළුවනි.

මේ විදියට ආරම්භ වෙන උභතෝකෝටික ගැටළු ආදරය අහිමි වීමෙන්, පෙම්වතුන් වෙන් වීමෙන් කෙලවර වෙන්නත් හැකියාවක් තියෙනවා. මේ වගේ වෙලාවන් වලට පුළුවන් තරමින් ඔහු හෝ ඇය සමග සුහදව කතා බහ කරන්නට මාර්ගය සලසා ගත යුතුයි. සිදුවී ඇත්තේ කුමක්දෝ කියා දැන නොගෙන දෝෂාරෝපණයක් එල්ල වීම තමන්ව නිකරුණේ සැක කිරීමක් හා සමාන දෙයක්. කවුද කැමති තමන් ආදරේ කරන කෙනා තමන්ව සැක කරනවට?

තරහවකින් ආරම්භ වෙන වචන හුවමාරුවක් සුහද කතා බහකට පෙරලා ගන්නට හැකියාවක් ලැබීමම මේ වගේ තත්ත්ව මග හරවා ගන්නට උදව්වක් වේවි. මා දැක තිබෙන බොහෝමයක් අවස්ථාවන් එසේ විසඳුනු ඒවායි. කෝපය සත්‍යය සඟවනවා කියලා කියන්නත් පුළුවනි. ඒකේ කිසි වරදක් නැතැයි සිතනවා. බොහෝ විට නිහඬව අසා සිටීම බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයනවා.

නමුත් නැති වරදක් පිළි ගෙන නිහඬතාවයේ පසු වීම නොකළ යුත්තක්. එය කළ යුත්තේ නිසි කාලය ආ විටයි. ඒ කාලය තීරණය කල යුත්තේ ඔහු හෝ ඇය සංසුන්ව සිටිනා මොහොතකදී කියායි මට හැඟෙන්නේ. ඔයාලගේත් මේ වගේ සිදුවීම් වෙලා තියෙනවද?
රහස් වචනයක්, නැතිනම් රහස් සංකේතයක් කියන්නේ කෙනෙක්ට පෞද්ගලිකවම භාවිතා කරන්න තියෙන, වෙනත් කිසිම අයෙකු නොදන්නා, තමන්ටම කියාපු අංකයක් හෝ අකුරු පෙළක්. අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට මෙහෙම දෙයක් තියෙන්නට පුළුවනි. කොටින්ම විද්‍යුත් තැපෑල පරිහරණය කරන්නෙකුගේ ඉඳන් මුහුණු පොතේ කල් යවන උදවිය දක්වාම රහස්‍ය වචන භාවිතා කරනවා ආරක්ෂාව උදෙසා. ආරක්ෂාව විතරක්ම නෙවෙයි මේ වගේ දෙයක පරමාර්ථය. තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමත් මෙහෙම රහස් වචනයක් භාවිතා කරන්නට හේතු මූලයක් වෙනවා.

ආදරේ ගත්තොත් දෙදෙනෙකු අතරේ ඇති වෙන අන්‍යෝන්‍ය බැඳීමක්. ඒක හිත් වල බැඳීමකුයි මුල්ම අවධිය ගත්තොත්. ඒ කියන්නේ ආදරයේ මුල්ම අවධියේදී නම් හිත් වල බැඳීමක්. විවාහය දක්වා යනවා නම් ඊට වඩා තවත් බැඳීම් ඇති වෙනවා.

ආදරය කරද්දී දෙදෙනෙකු අතර ඇති වන විශ්වාසය ප්‍රධාන තැනක් ගන්නවා. ආදරයක් පවතින්නේ විශ්වාසය මත කීවොත් වඩාත් නිවැරදියි. එකිනෙකා ගැන අවිශ්වාස සහගත සිතුවිලි මතු වෙනවා නම් එතන ආදරයකටත් වඩා ඇති වෙන්නේ දුකක් වගේම තරහවක්. මේවා දුර දිග යාමෙන් සිද්ධ වෙන්නේ ආදරය කටු ගා දමන්නටයි.

ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී අපි පාවිච්චි කරන විද්‍යුත් තැපෑල හෝ මුහුණු පොත වගේ සමාජ වෙබ් අඩවි වලට ඇතුල් වීමට යොදා ගන්නා රහස් වචනය තමන්ගේ පෞද්ගලිකත්වයට වගේම සියළු රහස් ගැබ් වුණු පරිසරයකට දොරගුළු විවෘත කරනවා.

සාමාන්‍යයෙන් ආදරය කරන අය අතරේ ඇති විශ්වාසනීයත්වය නිසාම එකිනෙකාගේ මෙවැනි රහස් වචන දෙදෙනා අතරේ හුවමාරු කර ගැනීම එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසය තහවුරු කර ගැනීමක්. සමහරු නම් මේ දේට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අකමැති අය ගැන කිව හැකි දේ බොහෝමයි.

තමගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තම සහකාරිය හෝ හසකරුවා දැන ගන්නවාට ඇති අකමැත්ත නිසාවෙන් විය හැකියි එක හේතුවක් වශයෙන් රහස් වචනයක් ඔහුට හෝ ඇයට නොදී සිටීම. තවත් දෙයක් තමයි ඇයට හෝ ඔහුට තමන්ව විශ්වාස නම් රහස් වචනයක් දැන ගෙන සෙවීමට සැක සහිත දෙයක් තිබිය නොහැකිය යන මතයේ සිටීම. එහෙමත් නැති නම් විශ්වාසය උඩ තමන්, ඔහුට හෝ ඇයට හොර රහසේ කරනා වැරද්දක් නොතිබීම නිසා එය ඔහුට හෝ ඇයට දීමට වැඩි උනන්දුවක් නොතිබීම.

ඔන්න ඔය වගේ කරුණු කාරනා නිසාවෙන් ආදරය කරන දෙපාර්ශවයන් අතරේ ගැටළු සහගත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. කෙනෙක් හිතාවි ඔහු හෝ ඇය තමන්ගේ රහස් වචනය නොදැන්වීමට තරම් තමන්ව ඔහුට හෝ ඇයට විශ්වාස නැති වීම හෝ තමාට හොරෙන් ගත කරන රහස්‍ය ජීවිතයක් ඇතියැයි සිතීම. මේ වගේ සිදුවීම් ඇති තරම් සමාජයේ දකින්නට තියෙනවා විතරක් නෙවෙයි රහස් වචනයක් නිසා දෙකඩ වුණු පෙම්වතුන් පවා සිටිනවා.

ඇත්තෙන්ම රහස් වචනයක් පෙම්වතුන් අතරේ හුවමාරු කර ගැනීමෙන් එකිනෙකා අතර තියෙන විශ්වාසය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන සැකයක් සිතීමට ඇති ඉඩ කඩ ඇහිරෙනවා. නමුත් රහස් වචනයක් හුවමාරු කර නොගත් පමණට ආදරයක් අහිමි වන්නට ඉඩ නොදිය යුත්තේත් තමන්ගේ සහකරු හෝ සහකාරියව විශ්වාස කළ යුතු නිසායි.

අන්තර්ජාලය කියන්නේ හොඳ නරක දෙකම ජීවත් වෙන නිවාස සංකීර්ණයක්. ආශ්‍රය කරන්නට ලැබෙන්නේ හොඳ, නරක දෙකින් කුමක්දෝ කියා තේරුම් ගැනීමටත් අපහසු පුද්ගලයන් ජීවත් වෙන නිවාස සංකීර්ණයක් වගෙයි. ඔන්න ඔය හේතුව නිසා අපි නොදැනුවත්වම අපේ පෙම්වතියගෙන් හෝ පෙම්වතාගෙන් දුරස් වන්නටත් ඉඩ කඩ වැඩියි. සමාජ වෙබ් අඩවි මීට හොඳ උදාහරණ තවමත් සපයනවා.

හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අන්තර්ජාලයේ විද්‍යුත් තැපෑල සේවයක් හෝ මුහුණු පොත වැනි සමාජ වෙබ් අඩවි නිසා හෝ ඒවායේ රහස්‍ය වචනයක් හෝ කේතයක් හේතු කර ගෙන තමන්ගේ ආදරය කවදාවත්ම බිලි දෙන්නට හිතන්නවත් එපා. මොකද විශ්වාසය නැති තැන ආදරයකුත් නැති නිසා. ආදරයත් විශ්වසයත් නැති තැන ඔය වෙබ් අඩවි වල වැදගත් කමකුත් නැති නිසා.

Saturday, August 14, 2010

මේ ලිපිය ලියන්නට මගේ දෑතට වාරු ලැබෙන්නේ කෙලෙසදැයි මම නොදනිමි. නමුත් ලිවිය යුතු නිසාවෙන් ලියන්නට මම උත්සාහ ගන්නේ හිතේ දැඩි ලෙස තද කර ගත් කණගාටුවක් හා දුකක්ද ඇතිවයි. යමක් තේරුම් ගැනීමටත් කෙනෙකුගේ දුකක් වේදනාවක් තේරුම් ගැනීමටත් එවන් යමක් සිදු වෙන තාක් හැකියාවක් නැත්තේ ඇයි දැයි මට තවමත් සිතා ගත නොහැකිය. මිනිසෙකුට යම් අනතුරක් සිදු වනවා වැනිම, සතෙකුට සිදු වන අනතුර කෙසේ නම් අමතක කරන්නද? තිරිසනෙකු වී උපත ලබා දුක් කන්දරාවක් මැද මරණයට පත් වන්නට පෙර, කතා කර, හඬ ගා කියන්නට කොයි තරම් නම් වේදනාවක් සතෙකුගේ සිතේ ඇතිද? බෙහෙතක් හේතක් ලබන්නට වාසනාවක් නැත. වේදනාවන් කියා පෑමට හැකියාවක් නැත. උන්ගේ හඬ තේරුම් ගන්නට අපට හැකියාවක්ද නැත. මිනිසෙකුට වඩා තිරිසනෙකු අනතුරකදී කෙතරම් නම් අසරණ වෙනවා ඇත්ද? උන්ට කාගේ නම් පිළිසරණක්ද? කතා කරන්නට හැකි නම් අපිට මොන තරම් නම් ආදරෙන් සලකන්නට හැකි වේවිද?

මේ හැම පැනයක්ම මගේ හිතට දැනුනේ මා වර්තමානයේ ලබමින් සිටින අත්දැකීමක මතකය අවදි කරවමින්. මීට මාසයකට ඉහතදී මෙලොව එළිය දුටු පුංචි සුරතල් බළල් පැටවුන් සතර දෙනෙකුගේ ඉරණම ඊයේ (2010.08.13) අළුයමදී තීරණය වූයේ තවත් එක් වෛරක්කාර තිරිසනෙකුගේ සිත් පිත් නැති උල් වූ දත් ඇඳි දෙපලට උන්ගේ ගෙලවල් හසුවීමෙන් අනතුරුවයි. අපේ නිවසේ උපත ලදුවද මාරයාගේ ආමන්ත්‍රණයෙන් උන්ගේ මව උන්ව රැගෙන ගියේ අපට අසල්වාසී නිවසේ තිබූ අගු පිළටය. ඒ එය මරු තුරුලක් බව දැන නොගෙනය. මින් දෙදෙනෙකුගේ ඉරණම එතැනම තීරණය වූයේ සී සී කඩ විසිරී ගිය අත් පා හිස් සහිතවය. ඉන් දෙදෙනෙකුගේ ඉරණම තවමත් ජීවිතයද, මරණයද යන වග තීරණය කළ නොහැකිව ඒ සුරතල් බළල් ජීවිත යුගලය පෙට්ටියක් තුල වැතිර සිටිනුයේ කවදා හෝ නැවත දිව පැන ඇවිදීමට අවස්ථාවක් ලැබේ යැයි අදිටනින් විය හැක.

ඒ පුංචි මොළකැටි අත් පා මේ වෙද්දී නිසොල්මන්ව ඇත. වතුර බිඳු බිඳු පෙවූවත් උගුරින් පහලට යවා ගන්නට නොහැකිව සිහින් හඬකින් කෑ ගැසීමට මුව විවර කරයි. ඒත් හඬක් පිට වන්නේ නැත. වතුර බිඳු ගිල ගන්නට හදද්දී ගුලි කර ගත් දෑත් වලින් ගෙල මතින් එහෙ මෙහෙ යවන්නේ එය ගිල ගැනීමට තිබෙන අපහසුව පෙන්වන්නාක් මෙන්ම වේදනාවෙනි. ඒ පුංචි දරුවන් කෙසේ නම් එවන් වේදනාවක් විඳිමින් සිටිනවාද කියා සිතා ගන්නටවත් නොහැකිය. කෙලෙස නම් ඒ වේදනාවන් දරා ගන්නද ඒ පුංචි හදවත්? ඒ තිරිසනුන් වුවද අපේ හිත් පවා දිය වී යන තරමේ වේදනාවක් අපේ හිත් තුලත් ඇති වන්නේ ස්වභාවයෙනි. ඒ අසරණ මුහුණු යුගලය දකිද්දී දෙනෙත් වලින් කඳුළු බිඳු කම්මුල් මතින් රූරා වැටෙන්නේ නිරායාසයෙනි. නමුත් අපට ඒ දෙස බලා සිටීමට සිදුව ඇත්තේ තිරිසනෙකුට පවා දුකක් දීමට හිතේ කිසිදු කැමැත්තක් නොමැති නිසාවෙනි. සිව් වරක්ම වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියත් ඔහුත් හැඛි පමණින් උත්සාහ ගන්නේ එන්නතකින් හෝ ඔවුනගේ දිවි රැක ගන්නටය. නමුත් ඔහුද පවසන්නේ සුවයක් ලැබෙනා තෙක් බලා සිටිය යුතු බවය.

පෙර කර්මයකට තිරිසනුන්ව උපත ලදුවත් ඉන්ද ගැලවීමක් නොමැතිව අවාසනාවන්ත සිදුවීම් තිරිසනුන් හට සිදු වන්නේ මේ විදියටයි. අනිත් බළලුන් දෙදෙනා සමගම ඔවුනගේ ජීවිතද තුරන් වූවා නම් අද මෙලෙස වේදනාවෙන් ඇලලී යන්නේ නැත. මේ ලිපිය ලියනා මොහොතේත් මගේ දෙනෙත කඳුලින් තෙත්ව බරවී ඇත්තේ උන් විඳිනා දුක මටද දෑසින් දැකීමට සිදුවූ නිසාය. මන්ද යත් ඒ කිසිම දෙයක් නොදන්නා, උන්ගේ ලෝකයවත් හරි හැටි නොදුටු තිරිසන් වුවත් පුංචි පැටවුන් දෙදෙනෙකු නිසාවෙනි. කෙනෙකු මේ ලිපිය දැක විහිළු කරන්නට, සමච්චලයට ලක් කරන්නට අනිවාර්යෙන්ම පුළුවන. නමුත් සිතන්නට දෙයක් ඇත. එනම්, මිනිසත් බවක් ලබා උපත ලැබුවේ තිරිසන් සතුටක් නොලබන්නට බවය.

ඒ දරුවන්ගේ අසරණ මව දැඩි මව් සෙනෙහසින් උන් වැතිර සිටිනා පෙට්ටිය අසලම රැඳී වරින් වර ඒ පුංචි පැටවුන් දෙදෙනා ලෙව කා පිරිසිදු කරයි. නමුත් එයිනුත් ඒ පැටවුන් වේදනා ලබනවා විය හැකිය. ඒ පෙට්ටිය අසලම බළල් මව නින්දටද යන්නේ දරුවන් තනි කළ නොහැකි නිසාවෙන් විය හැකිය. අපිද හැකි උපරිමයෙන්ම වෛද්‍යවරයා හට පෙන්වන්නේ සුභාරංචියක් බලාපොරොත්තුවෙනි. නමුත් අපේ හිතේ යම් තාක් සුභදායී හැඟීමක් ඇත්තේ මේ තාක් උන් ජීවත්ව සිටිනා නිසාවෙනි. වරින් වර දරු සෙනෙහසින් බළල් මව කෑ මොර දෙමින් දරුවන් සොයමින් එහෙ මෙහෙ දුවයි. මෙවිටද අපේ දෙනෙත් තෙත් වෙන්නේ ඉබේටමය.

මේ පුංචි පැටවුන්ව මම පහළ පෙනෙන රූපයට අර ගත්තේ මීට සතියකට උඩදීයි. නමුත් ඉන් පහළින් මම එක් කරන රූපයේ ඉන් ජීවත්ව සිටිනා නමුත් ජීවිතයත්, මරණයත් අතර සටනක ඉන්නා පැටවුන් දෙදෙනා දිස් වේවි.


මීට සතියකට උඩදී ගත් රූපයක හුරතල් පැටවුන් සතර දෙනා දිස් වූ ආකාරය

ජීවිතයත් මරණයත් අතර සටන් වදිනා දුඹුරු පැහැති පිරිමි බළල් පැටවා සහ සුදු කළු පැහැති ගැහැණු බළල් පැටවා පෙට්ටියක නිසොල්මන්ව දැනටත් සිටිනා අයුරු
ඔයාලා හැමෝම ආදර කතා කියවලා ඇති, බලලා ඇති. ඒත් මේ වගේ ආදර කතාවක් කවදාවත් බලලා තියෙනවද කියලා සැකයකුත් ඇති වෙනවා. මේ ලිපියෙන් කියන්නට යන්නේ ඒ වගේ අමුතුම ගණයේ චිත්‍රපටයක් ගැන. මට මේක නරඹන්න ලැබුණේ 2008 වසරේදී. හැබැයි මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2002 වසරේදී.

කොහොමින් කොහොම හරි මේ කතාවේ කියවෙන්නේ ආදරය ගැන. හැබැයි අවසාන‍ය කඳුලින් ඉවර වෙන ආදරයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් කිව යුතු වැදගත්ම දේ නම් කිසිම ලිංගික දර්ශනයක් ඇතුලත්ව නෑ, සිප ගැනීම් දර්ශන කීපයක් හැරුණු විට. ලිංගිකත්වයෙන් ඉවර වෙන ආදර කතාවක් සිනමාවට නංවනවාට වඩා මම මේ නිර්මාණය බෙහෙවින් අගය කරනවා. ඇත්තෙන්ම බැලූ හැම දෙනාම මේ කතාව අමතක කරන එකක් නෑ.

කතාවේ නම "A Walk to Remember". මගේ වචනයෙන් කියනවා නම් මතකයේ රැඳුණු ආදරයක් කීවොත් යම්තාක් දුරකට නිවැරදි වේවි. මේ කතාව ගෙතෙන්නේ එක්තරා විද්‍යාලයක කෙළිලොල් තරුණ පිරිමි ළමයෙකු හා කිසි කෙනෙකුගේ වැඩි අවධානයක් නොලත්, නිතර සමච්චලයට ලක් වෙන ගැහැණු ළමයෙකුත් වටා. ඒ කොහොමද කියලා මේ චිත්‍රපටය හොයා ගෙනම බැලිය යුත්තක්.

චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම දකින්නට ලැබෙන්නේ මේ පිරිමි ළමයාගේ හිතුවක්කාර කෙළිලොල් ජීවිතයේ ක්‍රියාකාරකම් කීපයක්. නමුත් පාසලේ පැවැත්වෙන එක්තරා නාට්‍යයක පුහුණුවීම් අතරේදී තමයි ඔහුට අර ගැහැණු ළමයාට වඩාත් කිට්ටු වෙන්නට ඉඩ කඩක් ලැබෙන්නේ. ඇගේ පියා පල්ලියක පියතුමෙකු වන අතර මව ජීවතුන් අතර නැති, අහිංසක දියණියක්. ඒ නිසා පියාගේ අනු දැනුම ඇතිවයි බොහෝ දේවල් කරන්නේ.

කොහොම හරි අර මුලින් කියපු නාට්‍යයේ පුහුණු වීම් කටයුතු වලට උදව් ගන්නට අර පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගේ නිවසට පැමිණියත්, පසුව ඔහුගේ මිතුරන් සිදු කරන සමච්චලයක් නිසා එයත් ඔහුට අහිමි වෙනවා. කොහොමින් කොහොම හරි නාට්‍ය දිනයේදී මේ දෙදෙනාගේ ජවනිකාවෙදි මේ දෙපළගේ හිත් වල බැඳීමක් ඇති වෙනවා. එදායින් පසුව මේ කෙළිලොල් තරුණයා අර තරුණියත් සමග ආදරයක් පටන් ගත්තත් ඔහුගේ මිතුරන්ගෙන් ඊට ගැරහීම් වගේම අපහාසත් ලැබෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම දැක ගන්නට වේවි.

මෙහෙම පටන් ගත්තු ආදරයේ අඳුරු පැත්තකුත් තියෙනවා. ඒ බව මේ තරුණයාට දැන ගන්නට ලැබෙන්නේ ඇයගෙන්මයි. ඒ ඇයට ලේ පිළිකාවක් හෙවත් ලියුකේමියා රෝගී තත්ත්වය පැවතෙන බවයි. මෙය ඇසූ සැනින් ඔහුට එය පිළිගත නොහැකි වුවත් ඔහු එය සුව කිරීමට උදව් සොයා යන අන්දම කාගේත් ඇස් වලට කඳුළු ගෙන දෙන්නක්.

ඉතින් මොන ලෙඩේ කොහොම තිබුණත් මේ තරුණයා ඇයව තනි නොකර තවත් ආදරෙන් ඇය ලඟටම වෙලා රැක බලා ගන්නේ අර පියතුමා, නැතිනම් ඇගේ පියාගේත් අවසරය ඇතිවයි. ආදරය වෙනුවෙන්, තමන්ගේ සහකාරියගේ සතුට වෙනුවෙන්, ඇගේ බලාපොරොත්තු සහ ආශාවන් ඉශ්ඨ කරනා ආකාරය මේ චිත්‍රපතයෙන් මැනවින් පිළිබිඹු වෙනවා. ඒ කොහොමද කියලා මම සඳහන් කරන්නේ නෑ.

අවසානයේදී, ඇගේ මරණයට මාස කීපයකට උඩදී ඇයත් ඔහුත් විවාහ වෙන්නේ ඇගේ තවත් බලාපොරොත්තුවක් හා සිහිනයක් මල් පල ගන්වමින්.

ඉතින් මේ ආදර කතාව මම ඔයාලා හැමෝටම සොයා ගෙන බලන්නය කියලා යෝජනා කරන චිත්‍රපටයක්. මොකද හරිම සංවේගී දර්ශන රාශියක් තියෙන නිර්මාණයක්. ඕනෑම සංවේදී පුද්ගලයෙකුට මෙය නරඹද්දී ඇස් වලට කඳුලු පැමිණීම සාමාන්‍ය දෙයක්. ඒ කොහොමද යන්න නරඹලාම දැන ගත යුත්තක්.



කොහොමද කෙනෙක්ට මරණ තර්ජනයක් ආවොත් එහෙම. ඔයාට හරි මට හරි වෙන්නත් පුළුවන්. සමහර විට ඉපදෙන්න ඉන්න දරුවෙක්ට වෙන්නත් පුළුවන්. ඒත් ඕනෑම වෙලාවක මරණය දිහා මධ්‍යස්ථව දකින, උපේක්ෂාවෙන් දකින කෙනෙකුට මරණය කියන්නේ ජීවිතයේ තවත් එක පැතිකඩක් සහ අත්දැකීමක් පමණයි.

ඇත්තෙන්ම මම මගේ මේ බ්ලොග් අඩවිය හරහා ලියන බොහෝමයක් ලිපි සමහරුනට පහර ගැසීමකුත් සිදු කරනවා වගේම විවේචනයටත් ලක් කරනවා. මට දැක ගන්නට ලැබුණා පහුගිය දවසක අපේ බ්ලොග් කරුවෙක්ට ලැබිලා තියෙන මරණ තර්ජන ගැන. ඒ වගේම ඔහුට නීතියෙන් පිහිටක් ලබන්න විදියකුත් නැති වෙලා තිබුණු අන්දම. මටත් මේ වගේම දේවල් සිද්ධ වෙන්න බැරි කමක් නෑ. ඒ වගේම ඔයාලටත් ඒ දේ වෙන්න බැරි නෑ. නමුත් ඒ වගේ දෙයක් වෙනවට නම් මම තියා කවුරුත්ම කැමති වෙන්නේ නෑ.

මම මගේ ලිපි හරහා මම ආශ්‍රය කරන උදවියගේ නම් ගම් රහිතව ඔවුන්ගේ ජීවන චර්යාව ගැරහුමට වගේම විවේචනයට ලක් කරන බව ඒ අය තවමත් දන්නේ නැති තරම්. හැබැයි මම ගරහන්නේ කෙනෙක්ගේ වැරදි ගති පැවතුම් සහ සදාචාරයට පටහැනි යැයි මම සිතන දේවල් මිසක හොඳ ගති ගුණ නම් නෙවෙයි. නමුත් සමහරු මා ගැන වෛරී සිතුවිලි ඇති කරනුවස් අදාළ චරිත වලට නැතහොත් කතා නායකයින්ට කේලම් කීමට බොහෝ විට හැකියාවක් තියෙනවා. මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. හොඳ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හරස් කපන සහ වළ කපන අය ඇති තරම් අපේ සමාජයෙන් හොයා ගන්නට හැකියාව තියෙනවා.

මගේ ලිපි අතරින් සමහර ලිපි මා ආශ්‍රය කරන උදවියගේ නරක ගති පැවතුම් අලලා රචිත නිසාවෙන්ම ඔවුනගේ මැර බලයන් පවා මා වෙත යෙදවීමටත් අනාගතයේදී බැරි කමක් නෑ. ඉතින් ඒ දේවල් වලට තවම මට මුහුණ දීමට සිදු වෙලා නැත්තේ කුමක් හෝ වාසනාවකට කියලා මම හිතනවා. එහෙම දෙයක් වේවි කියා බලාපොරොත්තු වෙන්නේත් නෑ.

මේ ලිපිය අනාගතයේදී සිදු විය හැක්කක් ගැන මට දැණුනු දෙයක් මිසක දැනටමත් සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා කවදා හෝ මගේ ජීවිතයට තර්ජනයක් ඇති වුණොත් ඒකට හේතු මූලය කොහෙන්ද පැමිණියේ කියා සිතන්නට මම ඔයාලට භාර කරනවා.

Friday, August 13, 2010

අපි ඇත්තටම හොරුද? අපි හොරකම් කරලා තියෙනවද? නැත්නම් නොදැනුවත්ව හරි හොරකමක් කරලා තියෙනවද? ඇත්තෙන්ම නොදැනුවත්ව නම් හොරකමක් කරන්නට බැහැ. ඒත් හොර කමකට දායක වෙන්නට නම් ඕනෑම කෙනෙක්ට පුළුවනි. මේ කතා බහට ගන්නට යන්නේ අපි හැමෝම හොරු වෙන්නේ කොහොමද කියලයි. අන්තර්ජාලය භාවිතා කරන අපි ගැන නම් ඉතින් කවර කතාද? ඒත් ඉතින් නොකරම බැරි කමට තමා අපි හැමෝම හොරකම් කරන්නේ.

හොර හිතක් පහල නොවී හොර කමක් සිද්ධ වෙන්නට බැහැ නේද? ඔව්. ඇත්තෙන්ම හොරකමක් කරනවා කියන්නේ හොඳ සංයමයකින් කළ යුතු දෙයක්. හිතා මතා කරන දෙයක්. හිතන්නේ නැතිව නොදැනුවත්ව සිද්ධ වෙන ඕනෑම වරදක් ඉතින් වැරදි නෙවෙයි නේ. ඒත් මේ කියන්නේ හොරකම් ගැන. ඒ කියන්නේ අනිවාර්යෙන්ම හිතා මතා සැලසුමක් ඇතිව හොරකම් කරන්නට අපේ හිත යොමු වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන පුංචි කතා බහක යෙදෙන්නටයි.

අන්තර්ජාලයේ නිතර සැරිසරන අපි හොරකමට බොහෝ විට ඇබ්බැහි වෙලා. අපි මේ දේවල් සමහර විට පුරුද්දක
අරගෙන ඉන්නවා විය හැකියි. ඒ නිසාම අපිට අපි කරන්නේ හොරකමක්ය කියලා හිතන්නට ඉඩක් අපේ හිතෙන් ලබා දෙන්නේ නෑ. ඇත්තෙන්ම මම මේ කියන්නට උත්සාහ ගන්නේ පරිගණක මෘදුකාංග හොරකම ගැනයි. මෙහෙම කිව්වාම ඔයාලා හැමෝටම තම තමන් කරපු හොරකම් ගැන එක දිගට මතක් වෙනවා ඇති නේද?

අපි අන්තර්ජාලයේ ගැවසෙද්දී හෝ වේවා පාරේ තොටේදී
හෝ වේවා පරිගණක මෘදුකාංග අපේ අවශ්‍යතාවය අනුව හොයාගෙන ගිහින් ලබා ගන්නවා. ඒ සංයුක්ත තැටි විදියට වෙන්න පුළුවන් නැතිනම් අන්තර්ජාලයෙන් භාගත කර ගෙන වෙන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයෙන් අපි මෘදුකාංග නොමිලයේ හෝ රුපියල් සියයකට හෝ දෙසීයකට ලබා ගත්තොත් අපි කරන්නේ හොරකමක් වගේම වංචාවක්. අපි මේ බව තේරුම් ගන්නට ඕනා. එහෙම කියන්නට හේතු කීපයක් තියෙනවා.

සාමාන්‍යයෙන් පරිගණක මෘදුකාංග, ක්‍රීඩා, මෙහෙයුම් පද්ධති ආදිය ඒ ඒ අදාල ආයතන මගින් නිපදවන්නේ ආදායම් ලැබීමේ පරමාර්ථයෙන් වගේම නිසි මිලක
ඒවා පාරිභෝගිකයනට ලබා දීලා හොඳ සේවයක් සපයන්නටයි. ඉතින් මෙහෙම නිකුත් කරන පරිගණක මෘදුකාංග හෝ ඒ සම්බන්ධ අනෙකුත් දේවල් ඉතාමත්ම ඉහල මිලකටයි අලෙවි වන්නේ. මෙහෙම අලෙවි වෙන යම්කිසි දෙයක් මිලදී ගත් කෙනෙක් ඒ දේ අන්තර්ජාලයේ නොමිලයේ හෝ සංයුක්ත තැටි හරහා යම් සුළු මුදලකට අලෙවි කරන්නට පෙළඹීම සාමාන්‍ය දෙයක්. මේ දේ ලංකාවේ නම් සුලභයි. ඉතින් ඔහොම පැටව් ගහන පරිගණක මෘදුකාංග ගැනීම අපිටත් වාසිදායක වගේම ලේසියෙන්ම හොයා ගෙන පාවිච්චි කරන්න පුළුවන් නිසාවෙන් අපිත් එක්කෝ අන්තර්ජාලයෙන් භාගත කරගන්නට හරි සංයුක්ත තැටි කඩයකට ගොහින් ඉතා සුළු ගාණක් දීලා හරි ලබා ගන්නට පෙළඹෙනවා.

ඔන්න ඉතින් අපේ හිතත් අනිවාර්යෙන්ම ඒකේ ලේසිය, පහසුව දන්නා නිසාවෙන්ම, ඉහළ මිලකට ඒ දේම ගන්නවාට වඩා අර හොර භාණ්ඩය ගන්නට හුරු වෙලා. අන්න ඒ හුරුව නිසාවෙන් ඒක හොරකමක් විදියට හැඟෙන්නේත් නෑ.

හිතන්න ඔයාලා ස්වයං රැකියාවක් විදියට පරිගණක මෘදුකාංග නිර්මාණය කරලා විකුණන ආදායම් මාර්ගයක් පටන් ගත්තාය කියලා. ඔයාලා මෘදුකාංගයට ඉහල මිලක් අනිවාර්යෙන්ම නියම කරන්නේ ඒ දේ වෙනුවෙන් තමන් කළ කැපවීම ගැනත්, යොදා ගැනුණු සම්පත් වල වටිනාකමත් තක්සේරු කරගෙන, තමන්ටත් ලාභයක් වෙන විදියට නේ. ඒ නිසා කොච්චර පොඩි මෘදුකාංගයක වුනත් මිල ඉහල යනවා. එහෙම හදපු එකක් කෙනෙක් මිලදී ගෙන පුංචි මිලකට රට වටේ පිටපත් කර කර බෙදා හැරියොත් ඔයාලට කොහොම දැනේවිද?

අපේ හිත දන්නවා, මෙන්න මේ මේ තැන් වලින් පුළුවන් ඒ මෘදුකාංගය භාගත කරගන්නය කියලා. අපි
ඉතින් , එතැනට ගිහින් ඒ වැඩේ කර ගන්නවා. මොකද අපේ හිත දැන් ඒකට හුඟාක් හුරු වෙලා හින්දා. ඒ නිසයි නොදැනුවත්වම අපි හොරකමක් කරා වෙන්නේ. එක අතකට හොර කමකට දායක වීමකුත් වෙනවා.

ඔන්න ඉතින් හිතන්නට යමක් මම ඉතුරු කළා. මේ දේ මමත් කරනවා. ඔයාලත් කරන බව මම දන්නවා. ලාංකිකයො හැටියට අපිට මේකෙන් ගැලවෙන්නට හැකියාවකුත් නැත්තේ ඒ ඒ මෘදුකාංග වල නියම මිල ඉතා ඉහල ගණනක් වීමයි. නමුත් අපි කරන්නේ වැරැද්දක් බව දැන හඳුන ගැනීම වඩාත් වැදගත්.
මේ ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට පොඩි යෝජනාවක්. හැමෝටම අදාල කර ගන්න නම් අමාරු වෙයි. මොකද ඉතින් මාතෘකාවේ කියල තියෙන හැටියට නම් යම් කොට්ටාශයකට විතරක් අදාල කර ගන්න පුළුවන් යෝජනාවක්.

වැල් වටාරම් නැතුව කියනවා නම් ඉතින් ආදරේ කරන, බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝටමයි මේ පුංචි යෝජනාව. ආදරේ කියන්නේ හැමෝම ලබන්න කැමති කරන්න කැමති වටිනා කියන දෙයක් නේ. ඉතින් මේ දේට යෙදිලා ඉන්න අයම තමයි ඒකේ රසය වගේම රඟේ දන්නෙත්. ඒ වගේමයි සිතුවිලිත් බොහෝමයක් ඇති වෙන මාතෘකාවක් තමයි ආදරය කියන්නේ.

ඉතින් මේ ආරාධනාව එහෙම අයටයි. නරකද ඔයාලා අතරේ ඉන්න එහෙම අය ආදරේ ගැන වෙන් වුණු කවි බ්ලොගයක් පටන් ගත්තොත්. ඇත්තෙන්ම සිංහල භාශාවෙන් බ්ලොග් කරන ඔයාලට අලුත් මග පෙන්වීමකුයි මේ කරන්නේ. තවත් කලා අංශයකට යොමු වෙනවා නම් ඒකෙන් හොඳක් සිද්ධ වෙන්නේ තමන්ට වගේම බ්ලොග්කරණයට නේ.

ඉතින් පොඩි උදාහරණයක් තමයි මම මේ ලිපියෙන් ඔයාලට දුන්නේ. තමන්ගේ ආදර කතාව දැනට පවතින හෝ, නැති වුන හෝ, ඉදිරියට කරන්නට සිතා ගෙන ඉන්න හෝ ආදර කතාවක් වෙන්නට පුළුවන්. ඒ දේ අලලා කවි එකතුවක් ඔයාලාට බ්ලොගයක් හරහාම එළි දක්වන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අද කාලයේ ආදර කතාවල් නව කතා වශයෙන් පොත් වලින් ඇති තරම් මිල දී ගන්නත් තියෙනවා. ඒත් කතාවක් විදියට ලියැවෙන කවි පෙළක් කියවන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

මමත් මේ වගේම කවි බ්ලොගයක් හරහා උත්සාහයක් ගත්තා. ඒ "නිශා පෙම් හසරැල්" කියන කවි එකතුව. ආදරයක් සම්බන්ධයෙන් ලියැවෙන කවි එකතුවක්. හැබැයි එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. මගේ මේ බ්ලොග හරහා ඔයාලට ඒකත් බලන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න මුදල් නොගෙවා ප්‍රචාරය කරපු දැන්වීමකුත් මම පල කරා මගේ කවි බ්ලොගය ගැන.

ආදරය විතරක් නෙවෙයි, ඕනෙම මාතෘකාවක් යොදා ගෙන කතාවක් විදියට ලියන්නට පුළුවන් නම් කියවන කෙනෙකුටත් ආසාවෙන් කියවන්නට හිතේවි. මොකද අද සමාජයේ වැඩි දෙනා කවි කියවන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා.

උත්සාහයක් දීලා බලන්න. වරදින එකක් නෑ. තමන්ගේ සිතුවිලි කවි හෝ නිසදැස් විදියට එළි දක්වන්න. ඒකෙන් ඔයාලා තුල තියෙන, ඔයාලා නොදැකපු, අඳුන ගන්නට බැරි වුනු තවත් දක්ෂතාවක් ඔප් නැංවේවි.

Thursday, August 12, 2010

හැම දෙනෙක්ගෙම අවධානය යොමු වුණ කාලයක් තමයි පහු ගිය වකවානුවේ තිබ්බේ. ඒත් යුද්ධයෙන් නිදහසක් ලැබුණු නිසා දැන් නිවි හැනහිල්ලේ පාරේ තොටේ බැහැලා යන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා.

ලාංකිකයෙකු වශයෙන් අමතක කළ නොහැකි දිනයක් ගැනයි මම මේ කියන්නට හදන්නේ. මේක මගේ ජීවිතේත් ලබපු නරකම අත්දැකීමක්. නමුත් කිව යුතුම දෙයක් නිසාවෙන් කියන්නට සිතුනා. මේ වගේ අත්දැකීම් නම් ආයෙත් අපිට අත් විඳින්නට ලැබෙනු නැතැයි සුභදායක සිතුවිල්ලක පසු වන්නට පුළුවන් වේ යැයි මම විශ්වාස කරනවා. මොකද අඳුරු අතීතයක හෙවනැල්ලවත් නැවතත් මේ රටට නොවැටෙනු ඇතැයි සිතන්නට අපි හැමෝම කැමති නිසා.

ඒ දෙදහස් අට වසරේ නොවැම්බර් මාසයේ විසි අට (2008-11-28) වෙනිදා. දවස මතක නම් එදා සිදු වුන සිද්ධියත් මතක් වෙනවා ඇති. එදා සුපුරුදු විදියට මමයි මගේ රැකියා ස්ථානයේ සහෝදර මිතුරියෙකුයි උදේ නුගේගොඩ මංසන්ධියේ ඉඳන් කොහුවල තිබුණු
රැකියා ස්ථානයට පයින් යමින් සිටියා. ඒ යන අතරතුරේදී අපි කතා කර ගත්තා හවස ආපහු එද්දී නිකමට වගේ නුගේගොඩ ප්‍රසිද්ධ රෙදි පිළි සලක් වන "නෝලිමිට්" රෙදි පිළි සලට ගොඩ වෙමු කියලා.

ඉතින් තවත් කාර්ය බහුල දවසක් ඉවර වුනා සුපුරුදු විදියටම. හැබැයි පහට විතර අපි වැඩපලෙන් පිටත් වෙන්න හිතා ගෙන හිටියට, යෙදුන තවත් වැඩක් නිසා ඒ පිටත් වෙන වෙලාව මග හැරුනා. කොටින්ම කියනවා නම් හවස හය වෙද්දිත් ඒ වැඩේ ඉවර කර ගන්න පුළුවන් වුනේ නෑ අපි වැඩ කරපු අංශයේ හැමෝම ඒකට උදව් වුනත්. කියන්න ඕනේ මේක බාහිර වැඩක්. අපි වැඩ කරගෙන යන අතරතුරේදී හවස පහයි පනහට විතර (මගේ මතකය නිවෑරදි නම්) ටිකක් ඈතකින් ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරෙන හඬක් වගේ දෙයක් ඇහුනා. ඒත් අපි කවුරුත් ගණන් ගත්තේ නෑ.

ඒ වෙලාවේ එතනට ඇවිත් හිටි අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයට ආපු ඇමතුමකින් තමයි හැම දේම දැන ගත්තේ. නුගේගොඩ "නෝලිමිට්" රෙදි පිලි සල ලඟ බෝම්බ පිපිරුමක් වෙලාය කියලා. අපි වැඩ කල අංශය තිබුණේ ඉහලම මාලයේ නිසා අපි හැමෝම බැල්කනියට ආව මොනාද වෙන්නේ බලන්නට. කාතාව ඇත්තක් බව තේරුනේ නුගේගොඩ පැත්තෙන් ඉහලට නැගෙන කළු දුමාරය දුටුවමයි. ඊට පස්සේ අපේ ආයතනය පිහිටලා තිබුණු පාරින් ලොරි වලින්, ත්‍රී රෝද රථ වලින් තුවාල වුනු වගේම මිය ගිය අයව කළුබෝවිල රෝහල දිහාවට ගෙනියනවා උඩ ඉන්න ගමන්ම දැක්කා.

ඇත්තෙන්ම ඒ අත්දැකීම නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඊට හේතු කීපයක් තියෙනවා. එකක් නම් එදා අපේ ජීවත අනූ නවයෙන් බේරුණ නිසා. අනිත් දේ තමා ඒ අනතුරින් අර මම උදෑසන වැඩට පැමිණි මිතුරියගේ බෝඩිම් නවාතැනේ සිටි ඇගේ අනිත් මිතුරිය නොසිතූ විදියට මිය යාම. ඉතින් කොහොම අමතක කරන්නද ඒ අනතුර?

යුද්ධය නම් දැන් නිමා වෙලා. ඒත් කොයි මොහොතේ ආයෙත් නපුරක් හිස ඔසවයිද කියලා හිතන්නට බෑ. ඒත් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ආයෙත් කිසිම විදියකින් බයෙන් සැකෙන් ජීවත් වෙන්න සිද්ධ නොවෙන වාතාවරණයක් මේ රටේ මින් ඉදිරියට පැවතේවා යන්නයි. ඔයාලගේ අත්දැකීමුත් මේ ලිපියට අදහස් වශයෙන් එකතු කරන්න විවෘතයි.

Wednesday, August 11, 2010

ලංකාවේ ඉංග්‍රීසි භාශාවට ලැබෙන්නේ ඉතාමත්ම ඉහල ස්ථානයක්. කොටින්ම කියනවා නම් සිංහලෙන් වැඩක් කර ගන්නවාට වඩා ඉංග්‍රීසියෙන් වැඩක් පලක් කරවා ගැනීම පහසු මට්ටමටම ලංකාවේ ඉංග්‍රීසි භාවිතාව වැඩි වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. භාශාවක් හැටියට ඕනෑම කෙනෙක් ඉංග්‍රීසි භාශාව ඉගෙන ගත යුතුයි. එය හැසිරවීම කළ යුත්තේ ඊට අදාල සහ ඊට ගැලපෙන අවස්ථාවන් වලදී පමණක් වුණොත් වඩාත් වටිනවා.

නමුත් සමහරු සිංහල වචන දහයක් අතරට ඉංග්‍රීසි වචන පණහක් විතර අන්තර්ගත කරලායි කතා බහ කරන්නේ. ඇත්තෙන්ම භාශා සම්මිශ්‍රණය සිදු වීම ලංකාවේ පමණක් නෙවෙයි විදේශයන්ගේත් සිදු වෙනවා. නමුත් එහිත් සීමාවක් තිබිය යුතුයි. බැරි බැ
රියාවෙන් හරි යමෙක් සිංහල අතරට ඉංග්‍රීසි වචන ඔබ්බවමින් කරන කතාවකට වඩා සිංහලෙන්ම විතරක් කරන කතාවක් මොන තරම් නම් වටිනවද?

අද අපේ රටේ දේවල් බොහෝමයක් ගැරහීමට පාත්‍ර වෙලයි තියෙන්නේ. ඉන් විශේෂ ගැරහීමකට ලක් වෙලා තියෙන අංගයක් තමයි සිංහල භාශාව. කොටින්ම කියනවා නම් සම්මුඛ පරීක්ශනයකදී පවා සිංහල භාශාවට ලැබෙන්නේ ඉතාමත්ම පහල තත්ත්වයක්. ඒ හැමෝටම තම තමන් පය ගසා සිටින්නේ සිංහල භාශාවේ මව් බිම වෙන ශ්‍රී ලංකාවේ බව අමතක වෙලා ගිහින්.

අද අ
ධ්‍යාපනික ක්‍රමවේදයත් ඉංග්‍රීසි භාශාවටම නතු වෙලා. මෙයින් කිසිසේත්ම අදහස් කරන්නේ නෑ ඉංග්‍රීසිය අත හැරලා සිංහලෙන් පමණක්ම ඉගැන්වීම් කටයුතු සහ අධ්‍යාපනික කටයුතු සිදු විය යුතුයි කියලා. නමුත් මේ එක මිතුරෙකුට සිදු වුණ දෙයක්. නරකක් නෙවෙයි, හොඳ පණිවිඩයක්.

එක මිතුරෙකු යම් විශයකට අදාළ අධ්‍යාපණික වැඩසටහනක පදනම් පාඨමාලාව සාර්ථකව සිංහල භාශාවෙන් නිම කරා. ඔහුට ලකුණුත් ඉහලින්ම තියෙනවා. මේ මිතුරා ඒ වැඩසටහනේ මීලඟ කඩඉම එනම් මීලඟ පාඨමාලාව ඉංග්‍රීසි භාශාවෙන් කිරීමට සිතාගෙනයි සිටියේ. නමුත් මේ වැඩසටහනේ අධ්‍යක්ෂවරයාගෙන් ඔහුට ලැබුණු උපදේශය නම් ඉතාමත්ම වැදගත්. එනම් මීලඟ පාඨමාලාවත් සිංහල මාධ්‍යයෙන්ම කිරීම වඩා සුදු බවයි. මොකද පලමු පියවරේදී සිංහල භාශාවෙන් ඉගෙන ගෙන විභාගයට මුහුණ දීලා ඉතා ඉහල ලකුණු මට්ටමක් ගත්තා නම් අනිවාර්යෙන්ම මීලඟ අදියරත් සිංහලෙන්ම කිරීම සාර්ථක බව. කෙනෙක් යම් විශයයක් තමන්ගේ මව් භාශාවෙන් ඉගෙනීමෙන් ඒ විශයය හොඳින් ධාර
ය කර ගන්නට පුළුවන් වෙනවා වගේම භාවිතාවත් ලේසි වෙනවා. තෝරා ගන්නේ සිංහලද, ඉංග්‍රීසිද යන්න වැදගත් නොවන්නේ උගත් දෙය භාවිතාවට ගන්නට තියෙන හැකියාව, භාශාව මත රඳා නොපවතින නිසා බවත් ඔහු විසින් පවසා තිබෙනවා. සම්මුඛ සාකච්චාවකදී වුවත් භාශාවට වඩා යමෙකු උගත් දෙයත්, ඒ දේ භාවිතාවේ යෙදවීමේ හැකියාවත් පමණයි සැලකිය යුතු වන්නේ. භාශාවක භාවිතය වැඩි දියුණු කර ගැනීමටත් එය ඔප මට්ටම් කර ගැනීමටත් ඉංග්‍රීසි භාශාව උපයෝගී කර ගන්නවා නම් වඩාත් හොඳ බව මගේ මිතුරාට ලැබුණු උපදෙසුයි.

මේ උපදෙස දී තිබෙන්නේ ජාත්‍යන්තර මානව සම්පත් කළමණාකරණ සම්මේලනයට පවා සහභාගී වුණු අයි.පී.එම්. ආයතනයේ ආචාර්‍ය වරයෙක්.

ඉතින් මෙන්න තවත් හිතන්නට දෙයක්. තමන්ට වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔප මට්ටම් කර ගත්තු පිට කරවරයක්ද? නැත්නම් අවශ්‍ය මොහොතේදී පමණක් පාවිච්චි කළ යුතු ආයුධයක් වශයෙන් ඉංග්‍රීසිය භාවිතා කිරීමත්ද කියන එක හිතන්නට ඔයාලට භාරයි.

ඕනෑම භාශාවක් එහි පරතෙරටම යාමට කළ යුතු ක්‍රියාකාරකම් හතරක් තිබෙනවා. සිංහල භාශාවෙදි නම් මේ හතර අපි ලාංකිකයන් නිසාවෙන්ම නොදැනුවත්වම උපන් දා සිටම කරනවා. ඒ කියවීම, ලිවීම, ඇසීම සහ කථා කිරීමයි. මේ හතර හොඳින් පුහුණු පුරුදු කර ගැනීම ඕනෑම භාශාවක් චතුරව භාවිතා කිරීමට උදව් වෙනවා.

නමුත් මොන භාශාව කොහොම ඉගෙන ගත්තත්, තමන්ගේ මව් භාශාවට දැනට පවතිනවාට වඩා ඉහළ මට්ටමක් අපි හැමදෙනාම ලබා දිය යුතු වෙනවා. මොකද අපි ශ්‍රී ලාංකිකයන් බැවින්.
අපි කවුරුත් කැළණි පන්සලට ගිහින් ඇති. මේ ලිපි කියවන බොහෝමයක් දෙනා ඒ වැකිය අනුමත කරනවා වගෙම කීප දෙනෙක් අනුමත නොකරාවි. නමුත් බෞද්ධයෙක් වශයෙන් ශ්‍රී ලාංකිකයෙක් විදියට අනිවාර්යයෙන්ම වැඳ පුදා ගත යුතු බෞද්ධ වගේම සංස්කෘතිකමය වටිනාකමකින් යුතු කලා නිර්මාණයන්ගෙන් පොහොසත් පුරාණ පුද බිමකුයි කල්‍යාණි සෑය හෙවත් කැළණි විහාරය කියන්නේ.

මේ පුදබිමේ වැදගත්කම ඒ විතරක්ම නෙවෙයි. බෞද්ධයන්ට විශේෂිත ස්ථානයක් විදියට මෙම පුදබිම හඳුන්වන්නේ බුදු රජාණන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවකදී මේ පුදබිම උන්වහන්සේගේ පාදස්පර්ශයට පාත්‍ර වීම නිසාවෙන්. ඉතින් මෙවැනි උතුම් පූජා භූමියකට ඔයාලා ගිහින් නැති නම් ජීවත්ව ඉන්නා කාලය තුලදී අනිවාර්යෙන්ම ගොහින් වැඳ පුදා ගන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.

මම කල ඉල්ලීම තමයි ඒ පුදබිම ගොහින් වැඳ පුදා ගන්නය කියපු එක. ඒත් ඔයාලගෙන් කවුරු හරි ආදර සබඳතාවයක් පටන් අරගෙන සිටිනවා නම් ඒ ආදර සම්බන්ධතාවය පවතිද්දී පළමු වරට තම තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගොහින් වැඳ පුදා ගන්නා බෞද්ධ පුද බිම විදියට කැළණි විහාරය තෝරා ගන්නට නම් එපා. මෙහෙම කියන්නේ මම නම් නෙවෙයි, අපේ සමාජයේ ජීවත් වෙන සමහර දෙනා. මේ ගැන නොදත් ඔයාලගෙන් සමහරු ඒ ඇයි කියලා මගෙන් අහයි. ඒත් ඔවුන් කියන හේතුව තමයි, කෙනෙක් ආදරේ කරද්දී පළමුවෙන්ම යන්නේ කැළණි විහාරයට නම් ඒ ආදර සම්බන්ධතාවය අනිවාර්යෙන්ම බිඳී යාමට ඉඩ ඇති බවට පවතින විශ්වාසයක් නිසාවෙන්.

ඔන්න ඉතින් හොරෙන් හෝ වේවා අසම්මත හෝ වේවා ප්‍රේම සබඳතා පටන් අරගෙන තියෙන දරුවො ඉන්න දෙමව්පියන්ට නම් මේක ඉහේ මල් පිපෙන ආරංචියක් වේවි. ඒ නිසා ඒ අය තම තමන්ගේ දරුවනුයි එයාලගේ සහකරු හෝ සහකාරියව හෝ කැටුව කැළණි වඳින්නට එක්කර ගෙන ගියා නම් තමයි හොඳ. හැබැයි පෙම් සබඳතාව තවත් උඝ්‍ර වෙයිද, බිඳෙයිද කියලා නම් මට සහතිකයක් දෙන්නට බැහැ.

මේ අන්ධ විශ්වාසයන් අපේ සමාජයේ කොයි තරම් නම් මුල් බැසගෙන තියෙනවාද? ඇත්තෙන්ම මේවා ඒ විදියටම පිළිපදින උගත් මෝඩ පිරිසකුත් සිටිනවා. කැළණිය කියන්නේ බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පුද බිමක් විනා ගුරුකම් හෝ හදි හූනියම් සිදු කෙරෙන ස්ථානයක් නොවෙයි. බෞද්ධයෙකු මෙවැන්නක් ඉහ මොළ තුලට කා වද්දව ගෙන මතක තියා ගෙන මේ වගේ විශ්වාස වලට තව තවත් ලුණු ඇඹුල් දමා සමාජය තුල මුල් බැස්සවීම සිදු කරන්නේ නොදැනුවත් කම නිසාද නැතහොත් සමාජයේ බලපෑම නිසාද යන්න ගැන නම් තවමත් ප්‍රශ්ණාර්ථයක්. ඒත් ඇත්ත එයයි.

කැළණි පන්සල තුලදී හෝ වේවා පෙම් සබඳතාවක් ආරම්භ කෙරුනා නම් එය අනිවාර්යෙන්ම ඒ සම්බන්ධතාවට ආශිර්වාදයක් වෙනවා විනා හානියක් හෝ විපතක් විය නොහැකියි. බුදු දහම කියන්නේ කෙනෙකුගේ සෙත සලසන, කෙනෙකුට නිවැරදි මග පෙනවන, අවිහිංසාවාදී ධර්මයක්. එවැනි ධර්මයකට අධිපතීත්වය දැරූ අප මහා බුදු රජාණන් වහන්සේ නම් කෙදිනක ආදරෙන් බැඳී ඇති කිසි අයෙකු වෙන් කරලා නැහැ. එහෙනම් උන් වහන්සේ වෙන් කරන්නේ මුලින්ම නකුල මාතා සහ නකුල පිතා යන භව ගණනාවක් පෙමින් බැඳී සිටි දෙදෙනාවයි.

එහෙනම් මෙතැනදී අපිට සිතන්නට යමක් ඉතුරුයි නේද? ඇයි අපි බෞද්ධයන් වෙලාත් බුදු පහස ලද පුදබිමකට, ප්‍රේම සම්බන්ධතාවක ආරම්භයෙන් පසුව ඒ දිහා ඇහැක්වත් ඇර නොබලන්නට උපදෙස්, අනුබල දෙන්නේ? එය එසේ නම් අපි බුදු දහම අත හැරිය යුතු වෙනවා නේද? මෙවැනි බොරු විශ්වාසයන් තව දුරටත් හිත් වල තබා ගැනීමෙන් හෝ ඉදිරියටම පරම්පරාවෙන් පරම්පරා වලට ගෙන යාමෙන් සිද්ධ වෙන්නේ, පෙම් කරන කාලයේදී පළමු වතාවට නොයා සිටීම නෙවෙයි, දරු මල්ලන් ලැබුණාට අනතුරවත් කැළණිය නොවඳින්නට සිත හදා ගත්තු පිරිසක් සමාජයේ ගොඩ නැගෙන එක.

ඒ නිසා නිර්මල බුදු දහමේ කියැවෙන ධර්මය හොඳින් දන්නේ නම් මෙවැනි වැරදි විශ්වාසයන්, මෙවැනි මිත්‍යා දෘශ්ඨීන් වලට හිස එසවීමට ඉඩක් ලැබිය නොහැකියි. නමුත් එය එසේ නොවෙන තාක් කල් ආදරේ කරන පෙම්වතුන්ට නම් දෙවියන්ගේම පිහිට පතන්නටයි අපි කාටත් සිද්ධ වෙන්නේ. බුදු මගේ ගියහොත් සැමට ආශිර්වාදයත්, සෙත ශාන්තියත් ලැබෙනා බව අපේ සිත් තුල කා වද්දවා ගත යුතුයි. එවිටවත් මෙවැනි පුහු අදහස් වලට මේ සමාජයේ කිසිදු ඉඩක් නැති වෙලා යාවි. මේ ඔයාලට හිතන්නට, ආකල්ප වෙනසක් සිදු කර ගන්නට මතක් කර දුන් අවස්ථාවක්.
මේ ලිපිය මම හිතන හැටියට යම් තාක් තරමකට කියවන හැම දෙනාගේම ගති ලක්ෂණ පිළිබිඹු කරන්නක් වේවි. මොකද මේ දෙයින් කියැවෙන්නේ ඕනෑම කෙනෙක් සතුව පවතින ගුණාංගයන් පිළිබඳවයි. කෙනෙක්ට මේ ගැන තර්ක ඉදිරිපත් කරන්නට පුළුවන් වගේම මේකට කෙලින්ම එකඟ වෙන්න හෝ නොවෙන්නත් පුළුවන්. ඒත් මේ ගැන දැන සිටීම වැදගත් කියලායි මම නම් හිතන්නේ.

ඇත්තෙන්ම මාතෘකාවෙන් කියැවෙන දෙයින් හැඟෙන්නේ කාන්තාවක් පිරිමියෙක් බවට පත් වීම හෝ පිරිමියෙක් කාන්තාවක් බවට පරිවර්තනය වීමක් ගැන නම් නොවෙයි. මොකද මෙයින් කියන්න යන දේ සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් සහිත දෙයක්. කොටින්ම කියනවා නම් එකිනෙකාගේ ගති ගු
වල හුවමාරු වීමක් පිළිබඳවයි.

ඕනෑම පුද්ගලයෙක් තුල කාන්තාවක් සහ පුරුශයෙක් ජීවත් වෙනවා කීවොත් එකඟ වෙනවාද? ඇත්තෙන්ම ඔව්. මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයින් ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්ව ඇත්තේ බාහිර ගති ලක්ෂණ හෝ හැසිරීම් සහ අභ්‍යයන්තර ක්‍රියාකාරීත්වයන් නිසා විය හැකියි. නමුත් සමස්ථයක් වශයෙන් ගතහොත් මේ බෙදුම්කරණයට අමතරව අපිට නොදැනෙන, වෙනත් විදියකින් කියනවා නම් අපේ දැනුවත් කමින් තොරව සිදු වෙන වෙනස් වීම් ගණනාවක්ම අපේ ගුණාංග වලින් ඉස්මතු වෙන අවස්ථාවන් බොහෝමයක්ම තියෙනවා.

ස්ත්‍රී ගුණාංග ගණයට හසු වන්නේ බොහෝමත්ම ලාලිත්‍යයෙන් යුතු ගති සහ හැසිරීම් රටාවන් නේ. ඉතින් මේ ස්ත්‍රී ගුණාංග ගණයට වැටෙන බොහෝ දේවල් සමාජයේ පවතිනවා. එකක් තමයි ආදරය, කරුණාව, දයාව, ඉවුම් පිහුම් වගේ දේවල් සහ ස්ත්‍රීන් අතින්ම පමණක් බොහෝමයක් වේලාවට සිදු වන ක්‍රියාකාරකම්. පුරුෂ ගුණාංග ගණයට වැටෙන්නේ දර දඬු බව, තරහව, සහ පිරිමින් අතින් පමණක් බොහෝ වේලාවට සිදු කෙරෙන වැඩ කොටස්.

මේ ගුණාංග මිශ්‍රණයක් හැම පුද්ගලයෙක් තුලම පවතිනවා. නමුත් අවස්ථාවේ හැටියට කාන්තාවකගෙන් පිරිමි ගතිගුණත්, පිරිමියෙකුගෙන් කාන්තා ගතිගුණත් ඉස්මතු වෙනවා. නමුත් ඒ ඉස්මතු වීමෙන් ඔහු හෝ ඇය කාන්තාවක් හෝ පිරිමියෙකු වශයෙන් නාමකරණයකට ලක් කරන්නට සමාජයට වැටහීමක් නෑ. මන්ද ඒ ඒ අයගේ ශාරීරික ගති ලක්ෂණ වල බලපෑම ඒ ඉස්මතු වෙන ගති ලක්ෂණ වල
වඩා බෙහෙවින්ම වැඩි වීම.

හිතන්න යම්කිසි පුරුශයෙක් ඉවුම් පිහුම් කරනවාය කියලා, නැතිනම් කෙනෙකුට ආදරය කරනවාය කියලා. මේ දේවල් කාන්තා හැසිරීම් රටාවන්. ඒ කියන්නේ කාන්තාවක් සතුව තිබෙන ගුණාංග. හිතන්න යම් ස්ත්‍රියක් නිවසේ විදුලි බල්බයක් මාරු කරනවා, නැති නම් වාහනයක් සෝදනවා වගේ අවස්ථාවක්. ඒ දේවල් පුරුශයින් අතින් සිදු වන කර්තව්‍යයන් සාමාන්‍යයෙන්. කාන්තාවක් තුල දර දඬු ගති තියෙනවා නම් ඇය තුල පුරුශ ගති ඉස්මතු වෙනවා. පිරිමියෙකු තුල ස්ත්‍රී ගති ඉස්මතු වෙනවා නම් ඔහු
ස්ත්‍රී ගති ගුණ ප්‍රකට වන ලෙස හැසිරෙන්නෙක් වෙනවා. නමුත් මේ දේවල් ඉතාමත්ම ස්වල්ප වශයෙන් හා අවශ්‍ය මොහොතේදී පමණක් ස්මතු වෙන නිසාවෙන් කිසිම මොහොතකදී කාන්තාවක් හෝ පිරිමියෙක් හට පුරුශයෙක් හෝ ස්ත්‍රියක් ලෙසින් හංවඩු ගැසීමක් සිදු වන්නේ නෑ. එය එසේ සිදු කළ නොහැක්කක්. මන්ද එය උපතින්ම ඕනෑම පුද්ගලයෙක් තුල ඇති වන ජානමය සංසිද්ධියක් නිසාවෙන්.

කෙනෙකු උප්පත්තියෙන් ලද ලිංගික ස්වභාවය අභිබවා විරුද්ධ ලිංගික හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා නම් ඔහු හෝ ඇය සමාජයේ කැපී පෙනෙන සහ අවමානයට ලක් වන කොට්ඨාශයක් ලෙසින් නම් කෙරෙනවා. ඒ කෙලෙසද කියා මෙහි පැවසීම නොවැදගත් කියලා මම සිතනවා.

නමුත් මාතෘකාවට අදාලව යමක් කියනවා නම් ඕනෑම කෙනෙක් තුල කාන්තාවක් සහ පිරිමියෙකු ජීවත් වෙන බව තේරුම් ගත යුතුයි.

Tuesday, August 10, 2010

මිහිමත පන්සිළු ලිපි පෙළේ මීලඟ ලිපිය ලියන්නටයි මේ ලක ලැහැස්තිය. දන්නවනේ ඉතින් මේ ලිපි කවුරුන් ගැනද ලියැවෙන්නේ කියලා. ලියන්න ගත්තාම ඉතින් තොර තෝංචියක් නැතිව එක දිගටම ලියන්න හිතෙන මාතෘකාවක්නෙ මේ ලිපි පෙලට මම යොදා ගෙන තියෙන්නේ. සුපුරුදු විදියටම මේ ලිපියෙනුත් සඳහන් කරන්නේ ඉන්දියානු සංගීත ගාන්ධර්ව ඒ. ආර්. රෙහ්මාන් පිළිබඳවයි.

රෙහ්මාන්ගේ ගීත වල අඩංගු වෙන ලාලිත්‍යමය ස්වර සුසංයෝගය ගැන මම මීට කලින් ලිපි දෙකේදී සඳ
න් කරා මතක ඇතිනේ. මේ ගීත වලට ඒ ඒ තනු නිර්මාණය කෙරෙන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ඒ ගීත වල තනු වලට අසන්නාගේ හදවත එළියට ගැනීමට පවා හැකියාවක් ඇති මට්ටමේ රසාස්වාදනයක් සැපයෙන නිසාවෙන්. මේ කියන්නට යන්නේ ඔහු කොහොමද චිත්‍රපට ගීතයකට උපත දෙන්නේ කියා.

චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන් රෙහ්මාන්
තොරා ගත් පසුව ඔහු විසින් රෙහ්මාන් හට චිත්‍රපයේ කතාව පැහැදිලි කරායින් අනතුරුව රෙහ්මාන් ඒ කතාවට ප්‍රිය වේ නම් ඔහු එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉන් පසුව යම් ගීතයක පසුබිම හා ඒහි අන්තර්ගතය පිළිබඳව අධ්‍යක්ෂවරයාගේ මග පෙන්වීම ලැබීමෙන් අනතුරුවයි රෙහ්මාන් ගීතයට තනුවක් නිර්මාණය කර ඔහුගේම හඬින් පටිගත කරනු ලබනු ලබන්නේ. ගායක ගායිකාවන් තෝරා ගනු ලබන්නේ රංගනයෙන් දායක වන නළු නිළියන්ට ගැලපෙන ආකාරයටයි. කිසිම මොහොතක ගායක ගායිකාවන්ගේ පහසුව උදෙසා තනුවක් වෙනස් නොකරන්නා වගේම ගායක ගායිකාවන්ගේ වෙනස් වීම් පමණක් සිදු කරන්නට රෙහ්මාන් වග බලා ගන්නවා. මේ විදියට නිර්මාණය වුණු තනුවක හඬ පටිගත කිරීම සිදු කෙරෙන්නේ අළුයම දොළහෙන් පසුවයි. මෙය අනිවාර්යයෙන්ම සිදු වෙන්නක්. ඒ ඇයිද යන්න ඔයාලට සිතා ගන්නට පුළුවන් කියලා මම සිතනවා.

ශබ්ධාගාරයේ තිබෙන හැම හඬක්ම මෙහිදී පටිගත වෙනවා. අනතුරුව රෙහ්මාන් විසින් අනවශ්‍ය කොටස් කපා කොටා සංස්කරණය කරනු ලබනවා. සාමාන්‍යයෙන් ගීතයක ගායනය පටිගත කර අවසන් කිරීමට දින තුනත් හතරත් අතර කාලයක් ගත වෙනවා.

මින් අනතුරුව වාද්‍ය වෘන්දයගේ උදව්වෙන් ගීතයේ සංගීතමය කොටස නිම කෙරෙනවා. තනුවට ගැලපෙන පසුබිම් සංගීතය නිර්මාණය කරන්නට එහි සිටින වාදකයන්ටත් නිදහස ලබා දීමෙන් රෙහ්මාන් සමග වැඩ කිරීමේ නිදහස සහ පහසුව වගේම කෙනෙකුගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට දෙන අත හිත ගැනත් පිළිබිඹු වෙනවා. මින් සියයට අනූවක පමණ අවස්ථා වලදී රෙහ්මාන් විසින්ම පසුබිම් සංගීත තනුද නිම වෙනවා. අනතුරුව සංගීතයට හඬ මුසු කෙරෙනවා.

එහිදී නවීන තාක්ෂණය යොදා ගෙන, ඒ කියන්නේ පරිගණක මෘදුකාංග යොදා ගනිමින් ගීතයක හැම කොටසකම සංස්කරණ ක
යුතු සිදු කෙරෙන්නේ ඔහු අතින්මයි. මගේ කලින් ලිපියේ ඒ සඳහා ඔහු භාවිතා කරන මෘදුකාංගය ගැනත් සඳහන් කරා. ඒ "ලොජික්" නැමැති මෘදුකාංගයයි. නමුත් මම පෙර ලිපියෙන් කීවාක් වගේ කෙනෙක් සිතන්නට බැරි නෑ රෙහ්මාන් තාක්ෂණය පමණක් උපයෝගයෙන් ගීත නිර්මාණය කරන්නෙක් විතරමයි කියලා. නමුත් මගේ කලින් ලිපියේ පල වුණු වීඩියෝ පට නැරඹුවා නම් එසේ කියන්නේ නම් නෑ. මන්දයත් රෙහ්මාන් තාක්ෂණය උපයෝගී කර ගනුයේ ගීතයක් ඔප මට්ටම් කර එහි තත්ත්වය ඉතාමත්ම ඉහල මට්ටමකට ඔසවා තැබීමට මිසක කෙනෙකුගේ දක්ෂතාවක් හෝ හැකියාවක් කෘත්‍රිමව ප්‍රති නිර්මාය කිරීම නොවේ. කොටින්ම ගීතයක අවසාන ඉහළම තත්ත්වයේ සංස්කරණය නිකුත් කිරීම ඔහුට මාසයකටත් වඩා කාලයක් ගත වීමෙන්ම ඔහුගේ ගීතයන්ගේ ගැබව ඇති සෞන්දර්යාත්මක මෙන්ම දක්ෂතාවයේ ගුණාත්මක භාවයද මැනවින් පිළිබිඹු වන්නක්.

පහලින් මා පල කරන්නේ රෙහ්මාන්ගේ සංගීත චාරිකාවේ තවත් පැතිකඩක්. එනම් ඔහු විසින් පවත්වනු ලැබූ සංගීත සංදර්ශනයක වීඩියෝ පට කීපයක්. දස දහස් ගණන් ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවක් නිසොල්මනේ ඒ සංගීතය රස විඳිනා ආකාරයත් ලැබෙනා ඔල්වරසන් නාදයත් හොඳින් බලන්න, අසන්න. මේවා නරඹා ඔහුගේ සංගීත සංදර්ශන වල පවතින ගුණාත්මක භාවය පිළිබඳව මිම්මක් ඔයාලම තීරණය කර ගන්න.










ශ්‍රී ලංකාවේ මෙවැනි ශාස්ත්‍රීය පසුබිමක් සහිත ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වුණු සංගීත සංදර්ශනයක් කවදාක හෝ දැක තියෙනවාද ඔයාලා? වැඩිපුරම දකින්නට ලැබෙන්නේ කකුල් වලට හති වැටෙන සංගීත සංදර්ශන නේද? ඒ අතින් මෙවැනි ඉහල මට්ටමක සංගීත සංදර්ශනයක් කෙතරම් නම් වටිනවාද? හිතන්නට යමක්...
මගේ මුලින් ලිපියත් මේ ලිපිය හා බැඳියක්. එක ලිපියකින් පමණක් ලියා අවසන් කළ නොහැකි තරමේ කරුණු රාශියක් ඇති නිසයි මේ ලිපියත් ඉදිරියට ගෙන ඒමට සිතුවේ. තවත් තොරතුරු පසුවට කියන්නට සිතා ගෙනයි ඉන්නේ. මේ ලිපියත් ඒ. ආර්. රෙහ්මාන් පිළිබඳව ගැනයි.

රෙහ්මාන්ගේ සංගීතයට ශාස්ත්‍රීය සංගීතය මැනවින් මුසු වෙලා තියෙනවා. ඔහුගේ සංගීත නිර්මාණ රැසකටම රාගධාරී සංගීතයේ එන රාග බොහෝමයක ආභාශය පැමිණ තිබෙනවා. පෙරදිග සංගීතය විශයක් විදියට හදාරපු ඔයාලගෙන් සමහරක් දෙනා නම් රාගයකින් නිර්මාණය වෙන ගීත ගායනා කරලා වගේම ඉගෙන ගෙනත් ඇති. ඒ වගේම ලංකාවේ එහෙම නිම වුණු ගීත ගැනත් දන්නවා ඇති.

මේ කියන්න හදන්නේ රෙහමාන්ගේ ගීත වල රාගධාරී පසුබිම ඔහු විසින් ඈඳා ගෙන ඇති ආකාරය ගැනයි. දේශ් රාගය, භෛරවී රාගය, යමන් රාගය, යමන් කල්‍යාණි රාගය වගේ මම අහල තියෙන රාගයන් විතරක් නෙවෙයි කර්ණාටක සංගීතයේ එන බොහෝමයක් රාගයන්. රෝජා චිත්‍රපටයේ හින්දි ගීතය "රෝජා ජානේමන්" හෝ දෙමළ ගීතය "කාදල් රෝජාවේ" තුල ඇසෙන අත් වැල් ගායිකාවන්ගේ මිමිණුම් තනුව "දේශ්" රාගයෙන් නිර්මාණය වූවක්. "දිල්සේ" චිත්‍රපටයේ "ජිය ජලේ" ගීතය "භෛරවී" රාගයානුසාරයෙන් නිම වූවක්. "ගුරු" චිත්‍රපතයේ "ඒ හේරතේ" ගීය "යමන්" රාගයෙන් නිම වූවක්. මේ මා දන්නා ඔහුගේ ප්‍රකට ගීත කීපයක් පමණයි.

මේ ගීත වල නියම රසය විඳින්න නම් ඒ ඒ රාගයන්ගේ ගාන සමය හෙවත් වාදනය හෝ ගායනය කරන, දිනයේ ගැලපෙනම කාලයේදී පුළුවන් වේවි. ඒ රාග වල එන විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ රාගයක අලංකාරය රස විඳීමට එය වැයිය යුතු හෝ ගැයිය යුතු නියමිත වෙලාවක් තියෙනවා. ඒ උදේ වරුව, අළුයම් කාලය, රාත්‍රිය වශයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ රාග වලින් නිර්මිත ගීත වල නියම රසය ඒ ඒ රාගයේ ගාන සමයේදී රස විඳීමෙන් නියමාකාර රසයක් ලබන්න පුළුවන් වේවි. භෛරවී රාගය උදෑසන හෝ ඕනෙම වෙලාව වෙද්දී, දේශ් රාගය රාත්‍රී 11 සිට අළුයම 2 දක්වා පරාසය තුලදීත්, යමන් රාගය රාත්‍රී 11ට පෙර කාලයේදී ලෙසින් හඳුවලා දෙන්න පුළුවන්. (වැරදි නම් නිවැරදි කරන සේක්වා)

රාගධාරී ආභාශය පසෙකින් තැබුවහොත් රෙහ්මාන්, තම සංගීත නිර්මාණයන් සඳහා යොදා ගන්නා තාක්ෂණික උපක්‍රම ඉතාමත්ම මිලාධික වගේම ඒ උපක්‍රම සහ උපාංග සඳහා ඉහල තාක්ෂණයකුත් යොදා ගන්නවා. විශේෂයෙන්ම සංගීතය ප්‍රති උත්පාදනයට වගේම ගායක ගායිකාවන්ට ලඟා විය නොහැකි පරාස වලට හඬ නැංවීමට හෝ බැස්සවීමට. මා දන්නා තරමින් ඔහු සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නේ ඇපල් පරිගණක වල කියාත්මක වන, "ලොජික්" නැමැති දැවැන්ත තාක්ෂණික මෘදුකාංගයයි. මෙයින් අත්පත් කර ගන්නා ධාරිතා ප්‍රමාණය, ගිගාබයිට් පනහකුත් ඉක්මවනවා. නමුත් මොහුගේ හැම නිර්මාණයක්ම ඇත්තම වාදක ශිල්පියන්ගේ දායකත්වයෙන් නිම වන බව දැන ගත යුතුයි. ඒ නිසාවෙන්ම ඔහුට ඕනෙම ප්‍රසංගයකදී තම ගීත සජීවීව ප්‍රති වාදනය කිරීමට හැකියාවක් තිබෙනවා.

ගායකයෙක්ට හෝ ගායිකාවකට රෙහ්මාන්ගේ ගීතයකට
හඬ සැපයීමේදී ලැබෙන සහනය නම් රෙහ්මාන් අත ඉහලට ඔසවා නිවැරදියි ලෙස පැවසීමයි. ඒ කියන්නේ කෙනෙක්ට, රෙහ්මාන්ගේ මනසේ රැඳි තනුවට සියයට සියයකම සාධාරණීයත්වය ඉශ්ට වීමට නම් ගායන අවස්ථා අනේක වාරයක් සිදු කිරීමට සිදු වෙන නිසාවෙන්. ඒ සිදු වෙන මහන්සියේ ප්‍රතිපලයන් අද මල් පල ගැන්වී ඇත්තේ ඔහු මුළු ලොව පුරා අති දැවැන්ත සංගීතඥයෙකු ලෙසින් ප්‍රකටව ඇති හෙයිනි.

කෙනෙක්ට කියන්න පුළුවන් ඔහු මෘදුකාංග වලින් සංගීතය ප්‍රති උත්පාදනය කරන නිසා සැබෑ සංගීතඥයෙක් නෙවෙයි කියලා. ඒත් පහලින් මා දමා තියෙන වීඩියෝ දර්ශන නැරඹීමෙන් එය එසේ නොවන බව වටහා ගන්න.






මේ ලිපිය මෙතරම් කාලයක් පමා වීමට විශේෂ හේතුවක් නම් තිබුණේ නෑ. නමුත් කිව යුතුයැයි සලකන මගේ පුද්ගලික අදහසකුයි මම මේ ලිපිය හරහා කියන්නට යන්නේ. මේ ලිපියට ඔයාලගේ ප්‍රතිචාරයත් බොහෝමත්ම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ලිපිය ලියන්නේ හද පිරි සතුටකින් වගේම පුදුමාකාර ආශාවකින් නිසා. ඒ, මේ ලියන්න යන්නේ මගේ ජීවිතයේ මා වැඩියෙන්ම ගරු කරන පුද්ගලයෙක් පිළිබඳ නිසා.

මේ පුද්ගලයාව අපි, ඔයාලා හැමෝම හොඳින් අඳුරනවා. නමුත් ඒ පුද්ගලයා මෙලොව ඉපදිලා තියෙන්නේ දිව්‍යමය හැකියාවකුත් අතැතිව. ඒ සංගීතය. එනිසයි දිව්‍ය ලෝකයේ වීණා වාදනයට වගේම සංගීතයේ මනා කුසලතාවක් හිමි පංචසිඛ දේවේන්ද්‍රයන්ට මම ඔහුව සම කරන්නේ. මන්ද යත් ඔහුගේ නිර්මාණ වල ගැබ්ව ඇති, සිතට කාවදින සංගීතමය විවිධත්වය නිසාවෙන්.

ඔහු වෙනකෙකු නොව, ශ්‍රී ලංකාවේ නෑදෑ රාජ්‍යය වන ඉන්දියාවේ නැතහොත් හින්දුස්ථානයේ උපත ලද අල්ලාහ් රක්ඛා රෙහ්මාන් හෙවත් කවුරුත් අසා ඇති සුපුරුදු නමින් හඳුන්වනවා නම්, ඒ. ආර්. රෙහ්මාන් නැමැති ගාන්ධර්වයාණන්. මේ තමයි මගේ ජීවිතයේ මා වඩාත්ම ප්‍රිය කරන, ගරු කරන පුද්ගලයන්ගෙන් විශේෂතම ස්ථානයක් හිමි එකම පුද්ගලයා. මේ ලෝකයේ ඉන්දියානු හින්දි චිත්‍රපට වලට ප්‍රිය කරන, ඇළුම් කරන යමෙක් වේ නම්, ඒ හැමෝගේම කැමැත්ත වනුයේ සියයට වැඩි ප්‍රමාණයක්ම සියැසින් ෂාරුක් ඛාන් නැමැති සුපිරි, අති දක්ෂ කලාකරුවා දැකීමට හෝ මුණ ගැසීමට නම්, මගේ කැමැත්ත වනුයේ මේ ගාන්ධර්වයාණන් දැක ගැනීම මිසක අන් කිසිවක් නොවේ.

මොහුගේ නිර්මාණයක් මට මුලින්ම අසන්නට ලැබුනේ 1992 වසරේදී තිරගත වුනු රෝජා චිත්‍රපටයෙන්. නමුත් මා ඒ කාලයේ ගත කළ වයසේ හැටියට මෙහි නිර්මාපකයා කවුරුන්දෝහෝයි කියා දැනුමක් තිබුණේ නෑ. ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වූවා වගේම 1992 වසරේදී තම මුල්ම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ජාතික සම්මානයත් හිමි කර ගැනීමට හැකි වූ ලොව එකම පුද්ගලයාද වූයේ ඔහු සතු මනා කුසලතාවන් නිසා නොවේද? ඉන් පසුව ඔහුගේ මනෝරම්‍ය සංගීතයෙන් ලාලිත්‍යයට බඳුන් වුනු බොහෝමයක් චිත්‍රපට ප්‍රේක්ෂක ආකර්ෂණයටත්, සම්මානනයටත් පත් වුනා.

නමුත් කල් යත්ම ඉන්දියානු සිනමාවේ ඇසෙන ගීත නාදයන් සහ සංගීත විලාෂයන් කන වැකීමෙන්ම ඒ නිර්මාණය රෙහ්මාන් ගේ නිර්මාණයක් බව වටහා ගැනීමට දැඩි අපහසුවක් වූයේ නෑ. මන්දයත් ඔහුගේ නිර්මාණ වල තිබූ නැවුම් බවත්, රාගධාරී සංගීත ආභාශයත්, අසම සම නිර්මාණ හැකියාවත් නිසා සහ යොදා ගන්නා සංගීත සංධ්වනි වල විවිධත්වයත් නිසාවෙන්.

රූපවාහිණියේ හෝ වේවා, ගුවන් විදුලියේ හෝ වේවා රෙහ්මාන් ගේ නිර්මාණයක් රස විඳිද්දී දැනෙන හැඟීම ගැන වචනයෙන් පැහැදිලි කර කිව හැක්කක් නොවේ. මන්ද යත් ඇඟ කිළි පොලා යන, දෙනෙතට කඳුළු ගෙනන සංගීතමය ප්‍රාතිහාර්යන් ඔහු විසින් නිරන්තරයෙන්ම සිදු කෙරෙන නිසා. මම මෙතනදී දෙනෙතට කඳුළු ගෙනෙනවා ලෙසින් අදහස් කලා නම් ඒ බව සංගීතයට ලැදි, රාගධාරී සංගීතය උගත්, ප්‍රිය කරන්නෙක් වේ නම් ඔහු හෝ ඇය එය හොඳින්ම තේරුම් ගනු ඇත.

ඔයාලා නොදන්න කරුණකුත් තියෙනවා. ඒ ලෝක ප්‍රකට "ලෝඩ් ඔෆ් ද රිංග්ස්" චිත්‍රපටයේ වගේම වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයටත් මේ ගාන්ධර්වයාණන් සම්බන්ධ ඇති බව. ඉතින් කවර නම් කතාවක් ද? ඔහු අතින් මෙරට ගීතයක් නිර්මාණය වුවහොත් මුළු ලෝකයේම අවධානය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම හැකි වේවි. ඔහුගේ ගීත වලට බෙහෙවින් දායක වුණු ගායක ගායිකාවන් බොහෝමයක් දෙනාගේ හඬ රැල් ඔහුගේ සංගීතය නිසාම බොහෝ දෙනාගේ හිත් වල ලැගුම් ගෙන සිටින බව නම් නොරහසක්.

විශේෂයෙන්ම "තුහිරේ" ගීතය ගයනා හරිහරන් ගායකයාණන් සහ කවිතා ක්‍රිශ්ණමූර්ති ගායිකාව, ඒ විතරක් නෙවෙයි සෝනු නිගාම්, අල්කා යාග්නික්, ලතා මංගේශ්කාර් වැනි දැවැන්ත හඬවලට නියමිත සාධාරණයක් කිරීමට දායක වූ සංගීතවේදියෙකු ලෙසයි මම ඔහුව දකින්නේ. ලෝකයේ විවිධ සංගීතඥයන් සමගත්, අති දක්ෂ වාදන ශිල්පීන් සමගත් එකතුවී නිම කෙරුනු ගී බොහෝමයි. ලෝක ප්‍රකට වයලීන වාදන රැජිණ වන "වෙනේසා මේ" සමගින් එකතුවී නිම වූ "රාගාස් ඩාන්ස්" ගීය ඉන්දියානු සංගීතය බහිර ලොවට වයලීනයෙන් මුසු කල අවස්ථාවක්. ඒ වගේම "බොම්බේ ඩ්‍රීම්ස්" ගී එකතුව ඉන්දියානු ආභාශිත ඉංග්‍රීසි ගී එකතුවක්.

පසුගිය වසරේදී මේ ගාන්ධර්වයාණන් විසින් ලොව ප්‍රථම මට්ටමේ චිත්‍රපට සම්මාන උළෙල ලෙසින් නම් ලද ඔස්කාර් සම්මාන උලෙලේදී සංගීත අධ්‍යක්ෂණයන් වෙනුවෙන් ද්විත්ව සම්මානයකින් පිදුම් ලැබුවේ මුළු ආසියාවේම කීර්ති රාවය තවත් වැඩි කරවමින්.

මුළු ලොවේම අවධානයට ලක් වුනු මේ ගාන්ධර්වයාණන්, නැතහොත් මේ මිනිස් වෙසින් මෙලොව පහළ වී ඇති පන්සිළු වන් මේ ආශ්චර්යමත් පුද්ගලයා ගැන කතා කරන්නට දේ බොහෝමයි. ඒ හැම දෙයක් ගැනම පසුවට ලිවීමට තීරණය කරලායි තියෙන්නේ. මොකද, කී දේට වඩා නොකී දෑ බොහෝමයක් ඇති නිසා.

රෙහ්මාන්ගේ, ඔයාලට අසන්නට ලැබී නැතැයි මා සිතන දුලබ ගී දෙකක් මම මේ ලිපියත් සමග පල කරන්නට සිතුවා.

වෙනේසා මේ ගේ වයලීන රාවය රැගත් "රාගාස් ඩාන්ස්" ගීතය පහලින් භාගත කරගෙන රස විඳින්න.
Raga's Dance <- click to download

"බොම්බේ ඩ්‍රීම්ස්" ගීත එකතුවේ එන මනරම් ඉංග්‍රීසි ගීතයක් පහලින් භාගත කරගෙන රස විඳින්න.
Journey Home <- click to download

Monday, August 9, 2010

ඇයි අපි ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ අපේ හීන සැබෑ කර ගන්න. අපේ දෙමව්පියෝ අපි ගැන තියලා තියෙන විශ්වාසය ඉදිරියටම ගෙනියන්න. අපේ දෙමව්පියන්ගේ හීන සැබෑ කරන්න. එයාලට තවදුරටත් ණයක් නොවෙන්න. හොඳ රැකියාවක් කරලා, විවාහයක් කරගෙන ජීවිතේ සතුටින් ගත කරන්න.

මේ දේවල් මේ විදියටම පිහිටන්නේ බොහෝම කිහිප දෙනෙකුට විතරයි. නමුත් මින් එහාට අපි දකින දේවලුත් තියෙනවා. සමහර විට ඒ දේවල් කරන්නේ අපි අපිම වෙන්න පුළුවන්. නැතිනම් අපේම සහෝදර සහෝදරියො වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අපේ යාළු මිත්‍රයෝ හෝ නෑදෑයන් වෙන්නත් පුළුවන්. ඒ සමහර දේවල් ගණයට වැටෙන ප්‍රධාන කරුණක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න හදන්නේ. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ධනය විනාශ කරමින් සතුට හොයන උදවිය ගැන.

සමාජයේදී අපට විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒ අතර සමහරු බොහෝමත්ම උනන්දුවෙන් වගෙම කැපවීමෙන් තම ජීවිතේ සාර්ථකව ගෙනියනවා. තමන්ගේ ඉගෙනුම සම්පූර්ණ කර ගන්නට දරන උත්සාහය වගේම කරන කැප කිරීම් දිහා දකිද්දී ඕනෙම කෙනෙකුට හිතට ලොකු සතුටකුත් ඇති වෙනවා. ඒ වගේම කොතරම් හම්බ කලත් ඉගෙනීමක් නොකරන, තමන්ගේ ඉගෙනුමට වඩා සතුට වෙනුවෙන් මුදල් නාස්ති කරන දරුවොත් අපි පය ගහල ඉන්න මේ සමාජයේ අනේක වාරයක් අපිට දකින්න ලැබිලා තියෙනවා.

මගේ ජීවිතේදී මේ දෙපාර්ශවයේම පුද්ගලයින් මට මුණ ගැහිලා තියෙනවා. පිරිසක් හොඳින් ඉගෙන ගන්න වගේම ඉගෙනීමට මුදල් නැතුව දුක්ඛිත ජීවිතයක් ගත කරන හොඳ මිනිසුන් කොට්ඨාශයක්. අනිත් පිරිස තමයි කොච්චර සල්ලි තිබුණත් දුරාචාරයට වියදම් කරමින් දෙමව්පියන්ගේ ගෞරවය වගේම ධනයත් නැති නාස්ති කරන උදවිය.

මින් පළමු කොට්ඨාශයේ මිතුරන් කීප දෙනෙක් ගැන කියන්න වටිනවා. එක මිතුරෙක් තමන් කරන රැකියාවෙන් භාගයක්ම තමන්ගේ පවුලේ මාසික ආදායම විදියට දෙනවා. නමුත් ඒ කෙනා ඉතාමත්ම අඩු පඩියකට රැකියාවක නිරතවූ කාලයකුත් තිබුණා. ඒ කාලයේදී නිවසේ අග හිඟ කම් නිසා නිවසේ අයත් වේලක් දෙකක් නොකා නොබී සිටි දවස් ඇති තරම් තිබුණා. ඒ මුදල් නැති නිසාත්, පවුලේ වෙන කිසිම අයෙකුට වෙනත් ආදායමක් නොමැති වූ නිසාත්. ඒත් දැන්, ඒ කෙනා ඒ වගේ හතර ගුණයක වේතනයක් ලබන රැකියාවක නිරත වෙලා නිසා පවුලේ ප්‍රශ්න අඩු වෙලා. කිව යුතු වැදගත්ම කරුණ වෙන්නේ ඒ කෙනා කිසිම දුරාචාරයකට පුරුදු නොවී සිටීමයි. මත්පැන් බිඳක්වත් කටේ තියලා නැති අයෙක්. නමුත් උනන්දුව වගේම ඉගෙනීමට තියෙන දැඩි කැමැත්ත නිසාත්, කිසිම වරදක් සමාජයට හෝ තමන්ගේ දෙමාපියන්ට සිදු කරලා නැති නිසාත් ඔහුට අද හොඳ තැනකට එන්නට පුළුවන් කමක් ලැබිලා තියෙනවා.

මේ වගේම දෙමාපියන් නැති පුද්ගලයෙකුත් ඉන්නවා ඉගෙනීමෙන් ඉහලට ගිහින් හොඳ රැකියාවකින් ජීවිතය සාර්ථක කර ගත්තු. මේ වගේ චරිත අපේ ජීවිත වල ඇති තරම් දකින්නට පුළුවන්. ඒත් ඒ චරිත ගැන නිතර නිතර මතක් කරමින් අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයකුත් තියෙනවා.

මා සඳහන් කළ දෙවෙනි කොට්ඨාශය තමයි අර ධන හානිකාර දරුවෝ. කොටින්ම සමාජයට විතරක් නෙවෙයි පය ගහල ඉන්න පොළොවටත් බරක් වෙන උදවිය. ඉගෙන ගන්නා නියාවෙන් තම දෙමාපියන්ගේ මුදල් වලින්, තමාගේ කාමුක වගේම දුරාචාරී සන්තෘෂ්ටිය උදෙසා ජීවත් වෙන උදවියයි ඒ. රැකියා වල නිරත වුවත්, බීමත් කම නිසාත්, වෙනත් සමාජ විරෝධී දුරාචාර නිසාත් තම රැකියාවෙන් ලබන වැටුප පවා අහවර කරගෙන දෙමව්පියන් රවටා තව තවත් මුදල් කොල්ල කෑම ඒ උදවියගේ ඇට මස් ලේ නහර වලට හොඳින්ම කා වැදුනු දෙයක්. අවසානයේදී තම තමන්ගේ දෙමාපියන්ට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම ණය කරුවන් වී සමාජයේ ජීවත් වෙන පව්කාර පිරිසකුයි ඒ කොට්ඨාශයට අයත් වෙන්නේ.

ඒ උදවියට දුකකදි, සතුටකදි, තරහවකදි සිහියට නැගෙන්නේ මැත් පැන් බෝතලයක් විතරමයි. එපමණක් නෙවෙයි, අවශ්‍යතාවයේ හැටියට කාන්තාවන් සමග ලිංගික සේවනයේ මනා දක්ෂතාවකුත් ඔවුන් සතුව තියෙනවා. ඇත්තෙන්ම සමාජයේ ජීවත් වෙන ලිංගිකාචාර්යවරුන්, දුරාචාර්යවරුන් ලෙසින් ඔවුන් නාමකරණය කළත් වරදක් නෑ. මේ මොන නම කීවත් නැතත් තම තමන්ගේ හෘද සාක්ශ්‍යය දන්නවා තමන් හරිද වැරදිද කියලා. මේ වගේ කෙනෙක් සමාජයේ ඉහලින්ම වැජඹුනොත් ඒ දුරාචාරයකින්ම පමණක් කියලායි මගේ අදහස. දියුණු වූවත් ඒ වැරදි ක්‍රමයකින් විය හැකියි.

මාස නවයක් මව් කුසේ හිටි ණයවත් ගෙවා ගන්න බැරුවාට තවත් අවුරුදු විස්සක් තිහක් යන තාක්ම දෙමව්පියන්ගේ රීරි මාංශය සූරන් කන උදවිය අපි අතරේම ඕනෙ තරම් සිටිනවා. ඔවුන් සිතන්නේ තම තමන්ගේ සතුට ගැන විතරමයි. ඉඩකඩම්, දේපල සහෝදරයන් අතරේ බෙදද්දී, මූලික වශයෙන්ම ආරවුල් ඇති කර ගන්න පිරිස අතරේ මුල් තැනක ඔය වගේ දරුවෝ සිටිය යුතුමයි. මන්දයත් ඔවුනට අවශ්‍ය මුදල් පමණක් නිසා. නමුත් අවසානයේ ඔවුන්ගේ පාදඩ සහ අශීලාචාර ක්‍රියාවන් නිසා දෝශාරෝපණයට ලක් වෙන්නේ ඔවුන්ගේ අහිංසක දෙමාපියන් පමණමයි.

මෙවන් පුද්ගලයන් හට ගැහැණු හෝ පිරිමි හෝ වේවා සමාජයේ හොඳ තැනක් හිමි වෙනවා. නමුත් සදාචාරාත්මකව ජිවත් වෙන හොඳ මිනිසුන් හට කිසිම සැලකීමක් ගෞරවයක් හිමි වන්නේ බොහෝමත්ම කලාතුරකින්. එයිනුත් බොහෝ දෙනෙක් මිය ගියාටත් පසුවයි. මුදල් නැතිව, කන්නට බොන්නට නැතිව මැරිලා යන එක, මව්පියන් සූරන් කමින් ලබන වින්දනයට වඩා කෝටියකින් සැප ඇති වින්දනයක් බව අප සිහියට නගා ගත යුතුය.

මේ ලිපිය කියවන එවැනි සූරන් කන්නන් සිටිනවා නම්, මේ ලිපිය පල කරන මගේ, දෙමව්පියන් ගැන "හු" යන්න පෙරට යොදා ආවර්ජණය කරනවා නම් ඒ මව්පිය ස්ථානයෙහි තමන්ගේත් මව්පියන් සිටින බව අමතක නොකරන්න. මන්දයත් මව්පිය පදවිය ලබන්නෝ තමන්ට කිට්ටුම බුදුවරුන් නිසා.
මාතෘකාව දැක්කම නම් කවුරුත් අනිවාර්යෙන්ම බලන්න පෙළඹෙන දෙයක් තමයි මේ ලිපිය. හැබැයි කියන්න යන්නේ ඇත්තක්. කවුරු කොහොම පිළිගත්තත් නැතත් මේ ලිපිය කියවන අය ඔය මාතෘකාව මටත් ආදේශ කරන්න බැරි කමක් නෑ. ඒත් වැඩක් වෙන්නේ නෑ නේ. මොකද ඇත්ත කියන දේ හංගන්න පුළුවන් කමක් නම් නෑ. හැබැයි හිතන්න දෙයකුයි කියන්න යන්නේ.

අපි උප්පත්තියෙන් නම් හරිම පිරිසිදු උදවිය. කිසිම නරක සිතුවිල්ලක් හිතට නො එන, මානසිකව පිරිසිදු පුංචි අත දරුවන් තමා උපන් මොහොතේ ඉඳලා යම් කාලයක් වෙන තුරුම. නමුත් අපි ජීවත් වෙන සමාජයේ, පරිසරයේ හෝ වටපිටාවේ බලපෑම් මත අපි දැන අඳුන ගන්න දේවල් බොහෝමයක් තියෙනවා. එක දෙයක් තමයි භාශාව. අපිට යම්කිසි භාශාවක් අපේ මව් භාශාව විදියට හුරු වෙන්නේ කාගේවත් ඉගැන්වීමකින් තොරව, අපිට ඇහෙන දෙයින් සහ ඇසින්. කාලයාගේ ඇවෑමෙන් ඒ ඉගෙනුම වැඩි දියුණු වෙන්නේ මොළේ සීඝ්‍ර වර්ධනයත් එක්කමයි. එතකොට තමයි අපි පෙර පාසලට ගිහිල්ලා ඉන් පස්සේ පාසලකට ඇතුලත් වෙන්නේ. ඔය හැම දෙයකින්ම අනතුරුව අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා. ඉන් පස්සේ වැඩිදුර ඉගෙනුම ලබනවා හෝ විවාහ දිවියකට එළඹෙනවා රැකියාවකුත් සමගම. දරු මල්ලන් හදා වඩා ගෙන මැදි විය පසු කරන් මහළු වියේදී මුණුපුරු මිණිපිරියන් දැකලා මැරිලා යනවා. මේ තමයි අපේ මුළු ජීවිතයම කෙටි ඡේදයකින් කියනවා නම්. මේ කාලය තුල අපි නොයෙකුත් දේවල් බලෙන් වගේම ඉබේම
ත් ඉගෙන ගන්නවා. නමුත් අපිට වැඩිපුරම මතක හිටින්නේ ඉබේම ඉගෙන ගන්න දේවල්. විශේෂයෙන්ම කුණුහරුප.

කවුරුත් බලෙන් හෝ මනා අධ්‍යාපනයක් ලබද්දී 'කුණුහරුප පාඩම' කියලා දෙයක් ඉගෙන ගන්නේ නම් නෑ. නමුත් කුණුහරුප නොදන්න කිසි කෙනෙක් මේ සමාජයේ හොයන්නත් බෑ. දෙමව්පියෝවත්, ගුරුවරුන්වත් නෙවෙයි මේවා උගන්වන්නේ; අපිට පරිබාහිර සමාජයයි.

කුණුහරුප කියන්නේ කෙනෙක්ට නම් දැඩි ආයුධයක්. මේ ආයුධෙන් පහර කන ඕනෑම කෙනෙක්ට ඊට ප්‍රතිචාර දැක්වීමේ ආවේගයන් පහල වෙනවා. මේ ආයුධෙන් පහර දෙද්දී අනිවාර්යෙන්ම මතකයට නංවන, සහ නැංවෙන දෙදෙනෙක් ඉන්නවා. ඒ ප්‍රතිවාදියාගේ දෙමව්පියෝ. එයිනුත් බොහෝ විට අම්මාවරුන්. අනුන්ගේ අම්මාවරුන් නැමදීමේ මේ අමුතුම විදිය සමාජෙට ආවේ මීට බොහෝම කාලයකට උඩදී. මේ විශේෂ ක්‍රමයෙන් වඳිද්දී මුල'කුරට යොදන්නේ "හු" යන්නෙන් ආරම්භ වෙන වචන වල විවිධ ප්‍රභේදයන්. මේ හැම වචනයක්ම අර කුණුහරුප ගණයට අයත් ශබ්ධකෝෂයේ අනිවාර්ය වගේම බලවත් වචන රාශියක්.

ඔය නමස්කාරය ලබන ප්‍රතිවාදියෙකුට එය ඉවසීම කල නොහැක්කක්. මොකද තමන්ගේ වරදකට තමන්ගේ දෙමාපියන් නින්දිත ලෙස ආමන්ත්‍රණයට බඳුන් වෙන නිසා.

ඇත්තෙන්ම කෙනෙකුගේ වරදකට අපිට ඒ කෙනාගේ නෑදෑයොන්වත්, ඒ කෙනාගේ මව්පියන්වත් මතක් කිරීම කල යුත්තක් ද? මව්පියන් හොඳ නමුත් දරුවන් වැරදි කරන අවස්ථා ඕනේ තරම් මේ සමාජයේ තියෙනවා. ඒත් ප්‍රශ්නේ නම් ඒ බව දැන දැනත් දෙමව්පියන්ට කුණුහරුපෙන් කතා කිරීම. ඒත් අනුන්ගේ දෙමව්පියන්ට. කෙනෙක් වරදක් කරනවා නම් ඊට මූලික හේතුව ඒ කෙනාගේ දෙමව්පියන් නෙවෙයි. එහෙම වෙන අවස්ථා බොහෝමත්ම කලාතුරකිනුයි දකින්නට ලැබෙන්නේ. නමුත් සමස්ථයක් වශයෙන් මව්පියන් වැරදි මාර්ග වල නොගියත්, දරුවන්ගේ වැරදි සහ දුරාචාර නිසා ඒ දරුවා අසන බැනුමකට වඩා ඒ කෙනාගේ මව්පියන් බැනුම් අහන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තෙන්ම ඒකෙන් බනින කෙනාට ලැබෙන වාසිය කුමක්ද? ඇති පලේ කුමක්ද? ඊට වඩා තම තමන්ගේම මව්පියෝ ගැන සිහි කර ගත්තා නම් මදිද? නෑ. එය එසේ විය යුතුත් නෑ. කෙනෙක්ගේ වරදකට ඔහුගේ හෝ ඇයගේ මව්පියන්ට තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කිරීම බනින පුද්ගලයාගේ පහත් බව නොදැනුවත්වම හුවා දැක්වීමක් විදියටයි මම දකින්නේ.

දෙමාපියන්ගේ ණය ගෙවිය නොහැකි බව අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බවට හොඳ උදාහරණත් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේ තම තමන්ගේ ජීවිත වලට ජීවය දුන් අය වෙනුවෙන් කුණුහරුපෙන් නමස්කාර කිරීම කෙතරම් අශීලාචාරද කියලා හිතන්න පුළුවන් නේද? ඇයි අපි වෙනත් පුද්ගලයකුට ජීවය දුන්නු උත්තම දෙපලකට කුණුහරුප නමස්කාරය කරන්නේ? කෙනෙක්ගේ වරදකට දඬුවම් ලැබිය යුත්තේ හෝ දෝශාරෝපණයට ලක් විය යුත්තේ ඒ පුද්ගලයා මිසක ඔහු හෝ ඇයගේ මව්පියන්, නෑදෑයන් නෙවෙයි.

අපි මිනිසුන් වශයෙන් තරහක් පාලනය කර ගැනීමට ඉගෙන ගත යුතුයි. නැති නම් කටට එන හැම වචනෙකින්ම වෙනකෙකුට ප්‍රහාර එල්ල කිරීම අශෝභන වගේම තිරිසන් ගතියකුත් වෙනවා. මින් මතුවටවත් කෙනෙකුට බනිද්දී ඔවුනගේ මව්පියන් කුණුහරුපෙන් ආවර්ජණය නොකර සිටීමයි වඩාත් වැදගත්. ඉන් සිද්ධ වෙන්නේ දෙපාර්ශවයටම යහපතක්. කවදාකවත් කුණුහරුපයක් ආයුධයක් කර ගන්නට හිතන්න එපා. කෙනෙකුගේ කටින් කුණුහරුපයක් පිට වෙනවා නම් ඔහු හෝ ඇයගේ තත්ත්වය ගැන මිනුම් දණ්ඩක් මුළු සමාජයටම ඒ පුද්ගලයා විසින් එළි දැක්වීමකුයි සිද්ධ වෙන්නේ. තම තමන්ගේ තත්ත්වය, නම්බුව ගැන දෙවරක් සිතිය යුතු කාලයක් උදා වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසයි. කෙනෙක් සමාජයේ කොයි තරම් නම් ඉහල තලයක වැජඹුනත්, වචනින් ඔහුගේ ඒ තත්ත්වය බිඳ වැටෙන්න ගත වෙන්නේ හරිම සුළු මොහොතක් විතරයි. එයිනුත් අනුන්ගේ දෙමාපිය වර්ණනාවන් වලදී.

ඔය පිට වෙන හැම වචනයකටම වන්දි ගෙවන්න වෙන්නේ ලේසි පහසු විදියකට නම් නොවන බව මතකයේ තියා ගත යුතු වෙනවා. සතර නිරයන් සහ එහි අනු කොටස් වශයෙන් නිරයන් විදියට ශාකාවන් බෙදිලා තියෙන්නේ අපි වෙනුවෙන් සුපිරි ගණයේ සැලකිලි ලබා දෙන්නමයි.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.