මට මේ ළඟකදී ආවා ඊමේල් එකක් දේව රූපයක් අන්තර්ගත කරලා. මීට කලිනුත් එහෙම ඊමේල් ඇවිත් තියෙනවා බුදු හාමුදුරුවන්ගේ රූපයක් පවා අන්තර්ගත කරලා. ප්‍රශ්නය කියන්නේ මෙහෙම ආපු එක නෙවෙයි. එහෙම එන ලියුම් වල මෙන්න මෙහෙම ලියලා තිබීම තමයි සාකච්චාවට ගන්න ඕනේ දේ. ඒ තමයි "මේ රූපය බලගතු රූපයක්. ප්‍රාතිහාර්යමය වටිනාකමක් ඇති රූපයක්. මේ රූපය සමග පැමිණි මේ ඊමේල් පණිවිඩය ඔබගේ මිතුරන්ට යැවීමෙන් ඔබට සභදායී ප්‍රතිපල ලැබෙනවා මෙන්ම, මෙය අහක දැමීමෙන් හෝ විනාශ කිරීමෙන් ඔබට අයහපතක්ම සිදු වෙනු ඇත. පහල දැක්වෙන්නේ එවැනි සත්‍ය සිදුවීම් කීපයකි".
ඔන්න ඕකයි වැඩේ. ඔය වගේ ලියලා අපිට ලැබුණ ඊමේල් පණිවිඩ ගැන මට හොඳ මතකයක් තියෙන්නේ. විශේෂතම වැඩේ කියන්නේ අර කිව්වා වගේම පහලින් ලියලා තියෙන සත්‍ය සිදුවීම් තමයි. කොටින්ම මේ වගේ පණිවිඩ අහක දාපු හැමෝටම කිසි හොඳක් සිද්ධ වෙලා නෑ. එක්කෝ ඒ කෙනා ජීවිතක්ෂයට පත් වෙලා, නැත්නම් රැකියාව අහිමි වෙලා. මේක තවත් අයට යවපු අයට හැම සැප සම්පතක්ම ලැබිලා. එක්කෙනෙක්ට මිලියන ගානක මුදල් ලැබිලා හෝ ලොතරැයියක් ලැබිලා. එහෙමත් නැත්නම් මොන මොනවා හරි ලියලා පල ඇත්ත විදියට පල කරපු දෙයක්. කියවද්දී හිතට බයක් වගේම ලොකු ප්‍රීතියකුත් ඇටි වෙන තරමටම සාහිත්‍යමය වටිනාකමක් සහිත ඊමේල් පණිවිඩ ගණයකට පවා ඇතුලත් කිරීමේ හැකියාව මේ ඊමේල් සතුයි.
ඇත්තෙන්ම මේ ක්‍රියාව මොන තරම් බොළඳ දෙයක්ද යන්න ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ. දෙවි කෙනෙක් හෝ බුදු රදුන් හෝ සිටින්නේ කෙනෙක්ට ලාභ පාඩු නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලබා දීමට නොවන බව අපි කවුරුත් දැන ගන්නට ඕනේ. ඕනෑම ආගම ධර්මයකින් මිනිස් වර්ගයාට සිද්ධ විය යුතු යුතුකම සහ බලපෑම වන්නේ තම තමන්ගේ සිත් පිරිසිදු කරගෙන තම ආගම ධර්මයේ සඳහන් උත්තරීතර තත්තවයට පත් විය හැකි ජීවන චර්යාවක් සහ හොඳ ගති පැවතුම් ඇති කර ගැනීමට මාර්ගෝපදේශයි. මේ ලෝකයේ එළිය දකින ඕනෑම මනුස්සයෙකුට ආගමකට බැඳීමක් ඇති වන්නේ ඒ හේතුව නිසා.
දෙවියන් හෝ බුදුන් හෝ මෙවැනි ලිපියක් කිසිම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් යවන්නේ නෑ. ඒ වගේම කෙනෙකු බියට පත් කරලා වැඩක් කරවා ගැනීමේ චේතනාවක් කිසිම ආගම ධර්මයක නොපැවතිය යුතුයි. නමුත් බිය වැද්දවීමෙන් හෝ නීති රීතිමාලාවන් වලින් වැට කොටු බැඳලා මිනිසුන් තුල ස්වයං පාලනයක් ඇති කරන ආගම් පවා අද ලෝකයේ නැතුවාම නොවෙයි.
බුදු රජාණන් වහන්සේ කිසිම දවසක කිසිම වරදක් කළ අයෙකු නොවේ. එහෙනම් ඒ වගේ උතුම් අයෙක් ඊමේල් පණිවිඩයක් තවත් කීප දෙනෙකුන් හට නොයැවීම සම්බන්ධයෙන් තරහා ගැනීමක් සිදු කරන්නේ නෑ. දෙවියෙක්ට හෝ දෙවියන් වහන්සේට වුවත් මිනිසුන් හට ඊමේල් පණිවිඩ යවනවා හැරුණු කොට කරන්නට වෙන වැඩක් නැති නම් අපට ඔය පණිවිඩ යම්තාක් විශ්වාස කරන්නට හරි පුළුවන් වේවි.
නමුත් මේ වගේ නිෂ්ඵල වැඩ කරන්නේ ආගම් ප්‍රචාරණය සඳහා ඒ ඒ ආගම් වල නියුතු වූවන් සහ අනුගාමිකයන් විසින්. ඒ නිසාවෙන් කිසිම ආගමක් නිසා යම් අයෙකුට හිංසනයක් වෙනවා නම් එය ආගමක් නොවන බවත් ඒ පුද්ගලික මති මතාන්තර හුවා දැක්වීමට කරනා ක්‍රියා පිලිවෙතක් බවත් අප තේරුම් ගත යුතුය.