Showing posts with label චිත්‍රපට | Movies. Show all posts
Showing posts with label චිත්‍රපට | Movies. Show all posts

Sunday, April 22, 2012

ආයෙත් වතාවක් ලස්සන ගීතයක අරුත කියන්න මේ ලිපිය ලියන්නට හිතුවා. මේ ගීතය ඉන්දියානු චිත්‍රපටයක පැමිණෙන ගීතයක්. චිත්‍රපටය තමයි "ලාක්ශ්යා". ශන්කර් එහෙසාන් ලෝයි විසින් සංගීතය මුසු වුන මේ ගීතය නම් වන්නේ "කිත්නී බාතේන්" යනුවෙන්. එක්තරා තරුණයෙක් යුධ හමුදාවට බැඳිලා මුණ ගැසුණු විටෙකදී ඔහු ඔහුගේ පෙම්වතිය සමග සිතෙන් කරනා කතා බහක් ලෙසිනුයි මේ ගීතය ගලා යන්නේ. ලස්සන අරුතක් තියෙන නිසා මේ ගීතයේ තේරුම පරිවර්තනය කරලා පල කරන්නට සිතුන නිසාවෙන් මේ ආකාරයෙන් පල කෙරෙනවා. අදාල ගීතයේ චිත්‍රපටයේ අඩංගු රූප රාමු මෙන්ම මේ අරුතට අදාල වචන සහිත ගීතයත් ගීතයේ සිංහල අරුතට පහතින් පල කෙරෙනවා. චිත්‍රපටයේ අඩංගු ගීතයේ වචන වල වෙනසක් තිබුනත් පහත අදහස චිත්‍රපටයේ ඇල්බමයේ එන ගීතයට අනුකූලවයි. රස විඳීම ඔබට භාරයි.

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කෙසේ අමතක කරන්න ද? හදවතට කුමක් කියන්න ද?

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

ඇයි මේ කතාව සම්පූර්ණ නොවුනේ?
මේ දුරස් බව ඇති වුනේ කොහොම ද?

දෙදෙනාගේ ම හදවත් වල අසාමාන්‍ය දුකක් සැඟවිලා,
එය අඩු වේදෝ? කාටද කියන්න පුළුවන්?

දෙදෙනා ම වරකදී මේ ජීවිතේ සංධිස්ථානයක් පහු කලා
ඒක මොන වගේ පාළුවක් ද? කාටද කියන්න පුළුවන්?
මේ මොහොත කෙතරම් හුදෙකලා වෙලා ද?
පිටවෙන සුසුමත් එක්ක ම දුමාරයක් මැකිලා යන්නා සේ මේ දුරස් බව ඇති වුනේ කෙසේද?

කෙතරම් දේවල් මතකයේ සිතුවම් වෙලා තියෙනවද කියා ගන්නට,
ඒවා මම කොහොම අමතක කරන්න ද?

අද ඔබ මුණ ගැසුනායින් පසු පෙර දා ගත කළ මොහොත හදවතට සිහි වී
දෙනෙතින් කඳුළු පැන්නේ ඇයි? ඒත් දැන් කුමක් කියන්න ද?

ඔබව ඒ අයුරෙන් දුටුවාම හිතේ බලාපොරොත්තුවක් ඇති වුනා,
ඔබේ ආදරය ලබන්න, ඒත් දැන් කුමක් කරන්න ද?
අප පැමිණියේ කොහේට ද දැන් ?
හදවතේ ගමන් රිය හැරී බලන්නේ මේ දුරස් බව කෙසේ ආවාදෝ කියායි

කෙතරම් දේවල් කියන්නට තිබුනත් ඒත් ඒවා දෙතොල් අගදී නිහඬයි
දවසක ඒවාට සවන් දෙන්න, ඇයි ඒ ගැන අවධානයක් නැත්තේ?

කොයි තරම් දේවල් සිතුවම් වෙලා තියෙනවා ද මතකයේ කියන්න,
ඒවා මම කෙසේ අමතක කරන්නද? හදවතට කුමක් කියන්න ද?






Friday, January 27, 2012

හැමෝටම ලැබුවාවූ 2012 අවුරුද්ද සාර්ථක සුභම සුභ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම කැමතියි 2012 අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය පටන් ගන්න. ගිය අවුරුද්දේත් වැඩි යමක් පල කරනන් බැරි වුන නිසාවෙන්ම මේ වතාවේ ඉඳලාවත් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න කියලායි හිතාගෙන ඉන්නේ. කාර්ය බහුලත්වය නිසා සිද්ධ වෙන අතපසුවීම්, ඇතිවෙන කම්මැලිකම් නිසා බ්ලොග් එක දිහාවට එන්නවත් හිතෙන්නේ නැති තරමටමයි පහුගිය කාලෙදි ඉන්න සිද්ධ වුනේ.

ඉතින් මේ අවුරුද්ද සමහරුන්ට තීරණාත්මක අවුරුද්දක් වෙන එකක් නේ. මොකද, කියන හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විසි එක් වෙනිදාට ලෝක විනාශයත් සිද්ධ වෙන්න තියෙනවනේ. ඒත් ඉතින් මට නම් එහෙම දෙයක් වෙන බවක් පේන්න නෑ. මොකද මම ඔය විකාර විශ්වාස නොකරන නිසා. ඕනෙම කෙනෙක්ට ඕන මතයක් පල කරන්න නිදහස තියෙනවා වගේම ඒවා විචාරශීලී බුද්ධියෙන් යුතුව පිළි ගැනීමට හෝ නොගැනීමටත් කාට කාටත් නිදහසක් අයිතියක් තියෙනවා.

කොහොම නමුත් ඔය කියන ලෝක විනාසේ වගේ දේවල් ගැන වැඩි අවධානයක් මිනිස්සුන්ට යොමු කරන්න හිතුවිල්ලක් ආවා නම් ඒ 2009 වසරෙදි නිකුත් වුන 2012 කියන හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙන් තමයි. නැත්තම් අපේ උන්දැලා මායාවරුන්ගේ අනාවැකියක් අහලාවත් තිබුනාදෝ කියලා සැකයක් මතු වෙනවා. ලොකු විනාසයක් වෙලා මිනිස් සංහතිය නැති වෙන එක වෙන්න නම් තව කාලාන්තරයක් ගත වේවි. ඒත් මේ වසරේ ඉඳන් ගොඩක් නරක සිද්ධීන් සිදුවෙන, නරක කාලයක් ඉදිරියට උදා වෙන්නට පුළුවන් බව කෙනෙක් සමග පෞද්ගලිකව කරපු සාකච්ඡාවකදී දැන ගන්නට ලැබුනා.

ඉතින් කවදා මොන විනාසේ වුනත් අපි අපේ හිත් හරියට හදාගෙන ඉන්න තරමට ඕනෙම දවසක ඕනෙම විදියකට මැරෙන්න සූදානමකින් ඉන්න එක තමයි වටින්නෙ. මොකද අන්තිමට කොයි මොහොතේ කොයි විදියට අපිට කොහේ යන්න වේවිද කියල දන්නෙ නැහැ නේ. අන්න ඒ නිසා කවුරු කවුරුත් තම තමන්ගේ උත්සාහයෙන් මේ අවුරුද්දේ ඉඳලාවත් තමන් සතු, තමන්ට තිබුනු, තමන්ට ලැබෙන්න තියෙන හැම දෙයක් ගැනම වැඩි ඇලීමකින් තොරව, වැඩි බලාපොරොත්තු තියා ගන්නේ නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා නම් තමයි වටින්නේ.

ඉතින් ආයෙ වතාවක් මේ අවුරුද්දේ පළමු ලිපියේ අවසානයේදී ඔයාලා හැමෝගෙම හැම හොඳ වැඩ කටයුත්තක්ම සාර්ථකත්වය කරා පැමින දියුණුවෙන් දියුණුවට පැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.