Monday, February 27, 2012

මේ ලිපිය ලියන්නේ එක්තරා Gossip (ඕපාදූප) වෙබ් අඩවියක එක්තරා පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් පිළිබඳව පල කෙරුණු ලිපියක් සම්බන්ධයෙනුයි. ඒ වගේම ඒ ප්‍රකාශයන්ගේ හිස් බව සනාථ කිරීම සඳහායි. එය පවතී නම් එම ලිපියට මෙතනින් යා හැකියි. ඒ ලිපියට අමතරව එවන් ප්‍රකාශ පහුගිය කාලය පුරාවටම එවන් වෙබ් අඩවි වල පල වන්නට යෙදුනා. ඒ වගේම ඒවායේ අන්තර්ගතය පිළිබඳව මොන තරම් මට්ටමකින් එකඟ වෙන්නට හැකි ද යන සැකයත් පවතිනවා. මන්දයත් ඒ සඳහන් කරනා දෑ තුල පවතින පරස්පර විරෝධී බව සහ ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා, තාර්කික බුද්ධියට ඉඩ නොදුන්, මන්ද බුද්ධිකයන් වැනි පිරිස් තවමත් සමාජයේ සිටිනා බැවින් සහ එවන් පිරිස් පහසුවෙන්ම රැවටීමට සහ මෝඩයාට ඇන්දවිය හැකි බව මේ ප්‍රකාශ කරන්නන් දන්නා බැවින්.

ඉහත ලිපියේ ප්‍රකාශයන් කර ඇති තැනැත්තා නොදන්නා එක් කරුණක් වන්නේ බුදු දහමත්, හින්දු දහමේ එන විශ්ණු සංකල්පයේත් ඇති සම්බන්ධතාවක් නොමැති බව. අද බොහෝ නක්ෂත්‍රවේදීන්, දේවාල වල දේවගැතිවරුන් තමා වෙත එන සේවා දායකයන් හට අපල උපද්‍රව වලින් බේරී වැළකී සිටීමට පවසන්නේ, අනුදැන වදාරන්නේ බුදු දහමට අනුකූලව කල යුතු දෑයි. දාන මාන, බෝධි පූජා, පරිත්‍යාගයන් වැනි දේ ඉන් ප්‍රධානයි. ලෝක විනාශය ගැනත් පලවෙන අනාවැකි මේ දිනවල බොහෝ සේ දැක ගන්නට පුළුවන්. නමුත් ඒවායෙන් අතුරු ආන්තරාවක් සිදු නොවී සිටිමටත් එකම පිහිට පින් දහම් වල යෙදීම බව මෙවැන්නන් ප්‍රකාශ කරන්නට යෙදෙනවා. කෙසේ නමුත් බුදු දහමට අනුකූලව ජීවත් වන්නා, ජීවිතය හැඩ ගසා ගන්නා තැනැත්තා කවදා ලෝක විනාශය පැමිණියද බය වෙන්නේවත්, තැති ගන්නේවත් නැති තරම්. ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක් අතහැර දමා යන්නට එවන් අයට හැකියාව තිබිය යුතුයි. දෙවියන්ගේ අවශ්‍යතාවට අනුව පුවත්පත්, ජනමාධ්‍යයනට ප්‍රකාශ කරන්නට පෙළඹීමෙන් පෙනී යන්නේ මොවුන් දෙවියන්ගේ අතකොළු ලෙසින් හැසිරෙන බවත්, දෙවියන් හට තමා පිළිබඳ ප්‍රචාරයන් ජන මාධ්‍යයන්ට හෙළි කිරීමට, හඳුන්වා දීමට ඇති ආශාවක් ගැන නොවේද?

හින්දු දහම යනු සියල්ල නිත්‍යයි, සුඛයි, ආත්මයි යනුවෙන් කියා පාන දහමක්. එවන් දහමක මූලික ම දේව සංකල්පයක සිටින විශ්ණු දෙවියන්ගේ පණිවිඩ ලෝකයට කියා පාමින් සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යනුවෙන් උගන්වන බුදු දහමෙන් විසදුම් ලබා දීම බුද්ධ ධර්මයට කරන නිගාවක් මෙන්ම එසේ විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්නත් විමසුමට තුඩු දෙන කරුණක්.

ඉහත සඳහන් කළ ලිපියේ සඳහන් වෙන තවත් කරුණක් තමයි දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්නට දෙවියන්ට ගෞරවයෙන් යුතුව පුද පූජා සත්කාර කළ යුතු බව. එමෙන්ම ඔවුනට වන්දනා මාන කළ යුතු ආකාරය පිළිබඳවත්. නමුත් සත්ත්‍ය කරුණ නම් දෙවියන්ගේ ආරක්ශාව ලබන්නට පුද පූජා පැවැත්විය යුතු නැති බව. මීට හේතුව වන්නේ දෙවියන් ආරක්ශා කරන්නට පෙළඹෙන්නේ සිල්වතුන් පමණක් වීම. දෙවියන්ගේ වන්දන මානනයන්ට සිල්වතුන් පත් වන්නේ නම්, අප දෙවියන්ට වන්දනා මාන කරමින්, පුද පූජා පවත්වමින්, යදිමින් නොසිට දෙවියන්ට ලඟා වන්නට සුදුසු සිල්වතුන් ලෙසින් කටයුතු කිරීම වඩාත්ම වැඩගත් නොවන්නේද? එමෙන්ම දෙවිවරුන් ඒ ඒ දිව්‍ය විමානයන්ගේ දිව්‍ය සැප සම්පත් බුක්ති විඳිමින්, අමෘතය වන් රසැති දිව්‍ය ආහාර පාන ලබමින් ජීවත් වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයක් පමණි. නමුත් එවන් දිව්‍යමය සැප සම්පත්තීන් ලබනා පිරිසක් නරයින්ගේ පලතුරු වලින් පිරුණු පූජා වට්ටි, පූජාවන් බුක්ති විඳීමට, ඒවායේ සුවඳ ආග්‍රාහණය කොට තම කුසගිනි නිවා ගැණීමට මෙලොව සැරිසරයි ද? ඒවායේ රසවත් කොටස් ලෙව කන්නට මේ මනුෂ්‍ය ලොවට වඩියි ද?

මෙහි සඳහන් වුනු තවත් දෙයක් නම් දේවාල වල ස්ත්‍රෝත්‍ර කියන්නන්, පූසාරි වරුන්, දේව ගැතිවරුන් දෙවියන් සමග ගනුදෙනු කරන්නන් පිරිසක් බව. නමුත් ඇත්ත තත්ත්වය සලකා බලන්නේ නම් ඔවුන් අමනුශ්‍යයන්ගේ බලපෑම් වලට ලක් වුනු පිරිසක්. ඒ අමනුශ්‍යයන්ට අනාගතයේදී සිද්ධ වෙන දේවල් දකින්නට හැකියාවක් තියෙනවා වගේම ඒ ඒ සේවා දායකයින්ගේ මියගිය ඥාතීන්ගේ විස්තර දැනගෙන එම ඥාතීන් ලෙසින්ම රඟපා, රවටා ඔවුනට අවශ්‍ය දේවල් ඒ අය ලවා කරවා ගන්නටත් හැකි දක්ෂතාවක් පවතිනවා. දෙවියන් විදියට පෙනී සිටින්නේත් ඒ වගේම මළගිය ප්‍රේත කොට්ඨාශයි. මෙලෙස දෙවියන් දකින්නටවත් නුසුදුසු මෙවන් අය පාපතර, මළගිය, බලවත් හෝ අප්‍රාණික හෝ ප්‍රේතයින් හෝ අමනුශ්‍යයින්, දෙවියන් ලෙසින් වරදවා වටහා ගෙන ඔවුන්ගේ දෘශ්ටියෙන් ලෝකය දකිති, අනාවැකි කියති.

අනිත් දෙය නම් භික්ෂූහූ මාංශ අනුභව කිරීමත් ඒවා දන් ලෙසින් පිළිගැන්වීමත් අධාර්මික ක්‍රියාවක් ලෙසින් දක්වා ඇති කරුණ. බුදු රජාණන්වහන්සේ වුවද භික්ෂුවක් නිර්මාංශ විය යුතු ලෙසින් නීතියක් පණවා නැත. කොටින්ම දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් පහේදිත් ඒ බව කියවෙද්දී කැමති නම් එයින් වැළකී ඉන්නටත් නො ඉන්නටත් හැකි බව දේශණා කර තිබෙනවා. එහෙයින් මස් මාංශ දන් වශයෙන් පිළිගැන්වීම හෝ වැළඳීම වරදක්, පාපතර ක්‍රියාවක්, අධර්මිශ්ඨ ක්‍රියාවක් වන්නට ඉඩක් නැත. නමුත් සතුන් ගැන අනුකම්පාවෙන් එයින් වැළකීමයි වඩාත් වැදගත් වන්නේ. ඒ හැර දානයට සතුන් රැගෙන විත් මරා සකසා පිළිගැන්වීමක් කිසිම ස්ථානයක සිදු වෙනවා යැයි සිතිය නොහැකිය. සිදු වේ නම් ඒ අල්ප වශයෙනි. විමසිය යුතු කරුණ නම්, ගිහි පූජ්‍ය පක්ෂ අධාර්මික වන්නට එකම හේතුව මෙය පමණක් නොවන බව. මෙය හුදෙක් ප්‍රකාශයක් ම පමණකි. මීට වඩා සැලකිය යුතු දරුණු පාපතර ක්‍රියා අද සමාජයේ ඕනෑ තරම් ගිහි පැවිදි දෙපිරිසම විසින් කරනු ලබයි.

අනිත් ප්‍රධානම කාරණාව එම දෙවිවරුන් පල කරනා අනාවැකියි. ඇත්තෙන්ම දෙවිවරු පහල වී සිටින්නේ රටක ජනාධිපතිවරු, විපක්ෂ නායකවරු, අගමැතිවරු, සමුළු, සිරගත වූවන් පිළිබඳව අනාවැකි පල කරන්න ද? මේ දෙවල් ප්‍රකාශ කළ සැණින් විශ්වාස කරන්නට තරම් අපේ මිනිසුන්ට අංශු මාත්‍රීය බුද්ධියක්වත් නොමැති වීම බෙහෙවින් කණගාටුවට පත් වීමට කාරණාවක්. මෙවැන්නන් ප්‍රකාශ කරන්නන්, පූසාරියන්, ගුරුකම් කරන්නන් හුදෙක් උන්මත්තකයන් බව වටහා ගෙන විසීම නුවණට හුරු වේ.

Tuesday, February 14, 2012

මග ඵල ලාභීන් පිළිබඳව බොහෝ දෙනාගේ සිත් තුල පවතින්නේ සැකයක්. මන්දයත් ඔවූහූ සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ සේ අපහසු බැවින්. නමුත් තමන් අතරේත් මෙවන් මග ඵල ලාභීන් සිටිය හැකි බව ඔබ දන්නවාද? අදටත් මේ රටේ විතරක් මාර්ග ඵල ලාභීන් බොහෝ සේ ඇත. විශේෂයෙන්ම දත යුතු කරුණක් වන්නේ මගඵල ලාභීන් තමන් මග ඵල ලබා ඇති බව ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ඒ බව සැඟවී යාම. එය දත හැක්කේ ඔවුන් කමටහන් ලබා ගන්නා ආරණ්‍ය වාසී කම්මට්ඨානාචාරීන් සමග ගැඹුරු සාකච්ඡාවන් පැවැත්වීමෙන් සහ ඔවුන් පවසනා දෑ විශ්වාස කිරීමෙනි. එමෙන්ම ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් මාර්ග ඵලයන් ලබා ඇත්තේ යැයි කියා ගන්නා පුද්ගලයන්ද බොහෝ සේ ඇත. යතාර්ථය වැසී යන්නේ මේ මේ කරුණු හේතුවෙනි.

නමුත් ගැටළුව නම්, එසේ තමන් මාර්ග ඵල ලබා ඇත්තේ යැයි කියනා පුද්ගලයන්ගේ අනුගාමිකයින්ව ඔවුනට ඇප උපස්ථාන කිරීමට මිනිසුන් පෙළඹීමයි. ඒ වගේම එම මුග්ධයන්ගේ රැවටිලි ක්‍රියා හෙළි වීමත් සමගම මග ඵල ලාභීන් ඇති බව කීවත්, මෙන්න මේ මේ අය මග ඵල ලැබූ අය බව විශ්වාස කිරීමට පසුබට වීමත්, ඔවුන් කෙරේ සැක පහල කිරීමත්ය. එය සාමාන්‍ය තත්ත්වයක්. මන්දයත් වරක් රැවටුනු පුද්ගලයෙක් තවත් වරක් යම් සත්ත්‍යයක් වුවද විශ්වාස කිරීමට පැකිලීමයි. ඊට අමතරව යමෙක් මාර්ග ඵලයකට පත්ව ඇත් ද යන්න පිළිබඳව බාහිරෙන් දැක දැන ගැනීමට අපහසු බැවින් ද මෙවන් සැකයන් සාමාන්‍ය පුද්ගලයන් අතරේ හට ගනී. තවද ධර්මය පිළිබඳව මනා දැනුමක් නොමැති බවත් මේ දෙවල් පිළිබඳව වැරදි වැටහීම් ඇති වීමට හේතු කාරණා වේ. මේ උත්සාහය එවන් සැකයන්, වැරදි වැටහීම් කීපයකට පිළිතුරු සැපයීමටයි.

මාර්ග හා ඵල වශයෙන් ගත් කල නිර්වාණ ගමන සංධිස්ථාන 8කින් යුක්ත වේ. ඒ මාර්ග සිත් හා ඵල සිත් වශයෙන් ඵලයන් 4ත්, ඒ ඵලයන් වෙත ගමන් ගන්නා මාර්ගයන් 4ත්ය. මේ අට වැදෑරුම් සංධිස්ථාන වල ඉන්නා ඕනෑම පුද්ගලයෙක් ආර්යයෙක් ලෙසින් හඳුන්වන්නට පුළුවන.

සෝතාපත්ති (සෝවාන්) ඵලයට පැමිණි යමෙක් වේද ඔහු හෝ ඇය දරුණු පාපයන්ගෙන් මිදී, සතර අපායෙහි නොවැටී, මතු භවයන් 7ක් ඇතුලත අනිවාර්යයෙන්ම අර්හත්වයට පත්ව නිවන් අවබෝධ කර ගනී. මෙවන් ඇත්තෝ තමුන් සංසාරයට බැඳ තබන බැමි 10කින්, මුල් බැමි 3 වන සක්කාය දිට්ටි හෙවත් මම මගේ යන ආත්ම දෘශ්ටියත්, විචිකිච්ඡාව යන බුද්ධාදීන් සහ තෙරුවන් කෙරේ ඇති සැකයත්, සීලබ්බත පරාමාස යන වැරදි සීලයන්ගේ (කේන්දර, නැකැත්, නිමිති) සරණ යාම කියනා බැමි 3 සම්පූර්ණයෙන්ම බිඳ දමයි.

ඔවුනට කාමභෝගී දැහැමි ගිහි දිවියක් ගෙවීමට හැකියාව ඇත. උදාහරණයක් වශයෙන් බොහෝ තරුණ වයසේදී සෝවාන් වූ විශාඛාව සහ අනේපිඬු සිටුතුමන් දැක්විය හැක. ඔවුහූ තවමත් තමා ලස්සනට සිටිය යුතු බව සිතයි, පිරිසිදුව සිටීමට සිතයි, ආදරය විඳියි, විවාහ පත් වී දරුවන් සදයි, චිත්‍රපට නැරඹීමට, ගීත ඇසීමට ප්‍රිය කරයි, තමා කැමති අහාර පාන ගැණීමට ද පසුබට නොවේ, අන්තර්ජාලයේ සැරිසරයි (මුහුණු පොතේ, විද්‍යුත් තැපෑල අඩවි වල, මිතුරන් හා කතා බහ කරයි, ගීත, වීඩියෝ දර්ශන, ඡායාරූප පල කරයි) . එනම් සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකු කැමති සියළු දෑ කිරීමට කැමැත්ත පවතී. මන්දයත් ඔවුන් සතුව කාමරාඝ තවමත් පවතින බැවින්. නමුත් ඒවායේ නොඇලෙයි. ඕනෑම මොහොතක ඒවා ඇතෑරීමට තරම් ශක්තියක් ඔවුන් සතුව පවතී.

ඉහත කී බැමි 10න් මීලඟ බැමි 2 කාමරාඝ හා පටිඝයයි (ක්‍රෝධය). කාමරාඝ යනු හුදෙක් ලිංගික ඇසුරන්, ආශ්වාදයන් පමණක් නොව ඕනෑම සාමාන්‍ය මනුශ්ෂ්‍යයෙකුට ම පවතින සියළුම කාමයන් බවත් දැන ගත යුතුය. නමුත් සාමාන්‍ය මනුශ්ෂ්‍යයන්ට මෙන් බලවත් කාමයන් මොවුන් (සෝවාන් පුද්ගලයන්) සතුව නැති අතර සතර අපාගාමි වන අන්දමේ කාමරාඝ සහ පටිඝයන් ද නැත. එමෙන්ම ඔවුන් වෙන් කොට හඳුනා ගැනීම බොහෝ අපහසුය. එබැවින් සෝවාන් ඵලයේ පිහිටියෙකු පිළිබඳව ඔවුනට කාමයන් විඳීම කැපද යන ගැටළුව විමසීම නිෂ්ඵල වේ.

සකදාගාමී (සකෘදාගාමී) ඵලයට පත් යමෙක් වේද ඔහු හෝ ඇය එක් වරක් පමණක් මෙලොව උපදියි. බොහෝ සෙයින් මොවුන් කාමරාඝයන් සහ පටිඝයන්ගෙන් වෙන් වී ඇත, එනමුත් ඒ සම්පූර්ණයෙන් ම නොවේ. මේ අවස්ථාවේදී ඒවා බොල්, තුනී වී ඇත. මොවුන් බොහෝ සේ ප්‍රිය කරන්නේ භාවනානුයෝගීව කාලය ගත කිරීමටයි. එමෙන්ම තම පවුල් වලින් බොහෝ සෙයින් ඇලීම් රහිතව වෙසෙයි. දරු මුණුපුරන්, ස්වාමි පුරුශයන් හෝ බිරිඳ හෝ පවුල හෝ රැකියාව යන මේ දේවල් පිළිබඳව නොබැඳෙයි; ඒවා කෙරේ නොඇලෙයි; ඕනෑම අවස්ථාවක අත හරියි. ඒවායෙන් දුරස්ව සිත දියුණු කරමින් භාවනානුයෝගීව හෝ දැහැමිව කාලය ගෙවයි. එමෙන්ම ගිහියෙකු ලෙසින් විසීම ද අපහසු කරුණක් වේ. නමුත් ඇලීම් අඩු බැවින් ගැටළුවක් කර නොගනී. මක් නිසාද යත් කාමරාඝ හා පටිඝ බොල් වී ගොස් ඇති බැවිණි.

මේ නිසාවෙන් යමෙක් සකදාගාමී අයෙක් පිළිබඳව ඔහු හෝ ඇය නිසාවෙන් ඔවුනගේ ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ එම ආර්‍ය පුද්ගලයන් නිසාවෙන් අසරණ වන්නේ දැයි විමසයි නම්, ඊට දිය හැකි පිළිතුර වනුයේ, එම ස්වාමි පුරුශයා හෝ බිරිඳ හෝ දරුවන් හෝ පවුලේ සාමාජිකයන් හෝ කර්මානුරූපීව තමන්ගේ කර්ම ඵලයන් ගෙවීමක් වශයෙන් එවන් ආර්යයන් සමග විසීමට සිදු වී ඇත යනුවෙනි. එවන් ආර්යයන් සමග දුකසේ ගිහි ගෙය විසීමට සිදු වන්නේ නම් ඒ ඔවුන්ගේ කර්මයන් පල දීමක් ලෙසින් පැහැදිලි කර ගත යුතුය.

මග ඵල ලාභීහූ තමන් මේ මේ තත්ත්වයේ සිටින බවක් ප්‍රකාශ නොකරයි. කරයි නම් ඒ තම කම්මට්ඨානාචාරීන් හෝ අනුගාමිකයන් අතරේ පමණකි. එසේ නොමැතිව සාමාන්‍ය මිනිසුන්ට දැනුම් දේ නම් ඔවුන් සෝවාන් මාර්ගයේවත් පිහිටා නැති බව දත යුතුය. මන්දයත් එවන් ගමනක් යන තැනැත්තා ඒවා හෙළි නොකරන බැවින් හා සක්කාය දිට්ටිය දුරලමින් හෝ දුරු කර ඇති බැවින් හා සාමාන්‍ය මිනිසුන් ඒ ගැන අවබෝධයකින් නොබලන නිසාවෙන් හා උම්මත්තකයන් ලෙසින් හංවඩු ගැසීමට පෙළඹෙන නිසාවෙන්.

එසේ නම් අද සමාජයේ සිටිනා සිවුරු පොරවාගත් තමන් සකෘදාගාමී කියා ගන්නා, නැතහොත් ආරිය සිංහල ඇඳුම අඳිමින් සපත්තු දමා දුම්වැටි උරනා තමන් මෛත්‍රීය බුදුන් යැයි කියා ගන්නා, නැතහොත් තමන් සෝවාන් භාවය ලැබූ බව කියා ගන්නා ශාකසාර දන්තාලේප හා සබන් නිශ්පාදනායතනයක අධිපති වරයන් ගැන කිනම් කතා ද? ඔවුන් හුදෙක් ආර්‍ය මාර්ගයෙන් බොහෝ දුරින් වෙසෙනා අන්ත අසරණ වූ පුද්ගලයන් පමණකි.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.