Saturday, March 19, 2011

මාතෘකාව දැක්කම නම් හැමෝටම හිතෙන්න පුළුවන් මේ ලිපිය හරිම අසභ්‍ය ගණයේ ලිපියක් වෙන්න ඇති කියලා. මොකද මාතෘකාවෙන් අදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ වගේ දෙයක් කියලා හිතන නිසාවෙන්. ඇත්තෙන්ම ඒක එක අතකට නිවැරදියි. ඒ වගේම එක අතකින් වැරදියි. මොකද මේ කියන්න යන දෙය අසභ්‍ය දේවල් කරන අය වෙනුවෙන් ලියැවෙන ලිපියක්. මේ ලිපියට අදාළ වෙන මූලාශ්‍ර පහුගිය කාලයේදී නිතර අහන්න දකින්න ලැබුනා ඔයාලට මතක ඇති. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ වගේම අන්තර්ජාල සන්නිවේදන හරහාත් බොහෝමයක් දෙනාට දැක දැන ගන්නට ලැබුණු දෙයක් හැටියටයි මේ ගැන කියන්න තියෙන්නේ. කාර්යබහුලත්වය නිසාම මේ ලිපිය ලියන්නට සිද්ධ වුනේ ඒ ප්‍රවෘත්තිය බෙහෙවින්ම කියවුනු කාලයත් පහු කරලායි. ඒත් එයින් සිද්ධ වුනු හානිය හරි, හොඳකම හරි ගැනයි මේ ලිපියෙන් කතා කරන්නට යන්නේ.

ලිපියේ මාතෘකාව දකිද්දී ඔයාලට හිතුන දේ යම් තරමක් නිවැරදියි. මේ මාතෘකාවට අඩංගු වෙන්නේ යම්කිසි බැන වැදීමකදී කියවෙන ආකාරයේ වචන කිහිපයක්. මේ වචන කිහිපය පහුගිය කාලයේදී සමහර නිවෙස් වලින්ම අහන්න ලැබෙන්නත් ඇති. සමහර විට ඔයාලගෙන් කාගෙ හරි ගෙදරකින්ම වෙන්නත් පුළුවන්.

ඇත්තෙන්ම මේ ලිපිය ලියැවෙන්නේ අන්න ඒ බැන වැදීම් වලට ලක් වුනු උදවිය පිළිබඳවයි. මෑතකදී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනු එක්තරා ප්‍රවෘත්තියක් තමයි අසැබි, ලිංගික දර්ශන සහිත වීඩියෝ පට සහ චායාරූප වලට පෙනී හිටි කාන්තා, පිරිමි දෙපාර්ශවයේම ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කොට පොලීස් භාරයට පැමිණෙන ලෙසට කළ ප්‍රචාරය. මේ හේතුව නිසා සාධාරණය ඉෂ්ඨ වුනු වගේම තවත් අගාධයට ඇද වැටුණු බොහෝමයක් ඒ ඡායාරූප අතරේ ඉන්නට ඇති. මන්දයත් ඒ සියළුම පුද්ගලයන් මෙරට පුරවැසියන් වීමත් ඒවා රට පුරාම ප්‍රචාරය කිරීමෙන් ඔවුනොවුන්ට සිදු වන අපකීර්තිමත් වළාවෙන් ඈත් වන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්ථාවක් මින් මතුවටත් නොලැබීම නිසා.

මේ වීඩියෝ පට වගේම ඡායාරූපයන් කැමරාගත කරන්නට හේතු වන කාරණා කීපයක්ම සඳහන් කරන්නට පුළුවනි. එක් කාරණාවක් මාගේ කලින් ලිපියකිනුත් සඳහන් කරන්නට යෙදුනා. ඒ තමයි අන්තර්ජාලය හරහා ස්කයිප් වැනි මෘදුකාංග ඔස්සේ සිදු වෙන වීඩියෝ ඇමතුම් මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, වීඩියෝ පට ආශ්‍රිත ඡායාරූප මෙන්ම එකිනෙකා හුවමාරු කර ගන්නා අතිශය පෞද්ගලික ඡායාරූපයන්.

එම ලිපියෙන් නොකියවුණු කරුණු කාරණා බොහෝමයක් ගැනත් මෙතනදී මතක් කරන්නට පුළුවන්. එක් දෙයක් තමයි පෙම්වතුන් දෙදෙනෙකු හෝ ලිංගික වෘත්තිකයන් සමග හෝ ලිංගිකව හැසිරෙන අවස්ථාවන් වලදී ජංගම දුරකතන මගින් ලබා ගන්නා වීඩියෝ දර්ශන, එම ලිංගික කාර්යයට සම්බන්ධ දෙපිරිසගේම කැමැත්ත පරිදි හෝ එක අයෙකුගේ පුද්ගලික කැමැත්ත මත හෝ, ද්වේශ සහගත පළිගැනීමක් නිසාවෙන් හෝ අන්තර්ජාලයට මුදා හැරීම වගේම සංයුක්ත තැටි මගින් සමාජය පුරා බෙදා හැරීම වගේ දේවල්. නමුත් සමහර අවස්ථාවන් වලදී එවන් අවස්ථාවන් වලදී ලබා ගන්නා ජංගම දුරකතන වීඩියෝ පට හෝ ඡායාරූප, තමාගේ නොදැනුවත්කමින් හෝ අනුදැනුමකින් තොරව වෙනත් පුද්ගලයන් වෙත සංසරණය වීම සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට හෝටල් කාමරයක මධුසමය ගත කරනා යුවලක් ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡායාරූප, ඒ යුවලගේ අනුදැනුමකින් තොරව, ජංගම දුරකතනය පිළිබඳව අවධානය යොමුව නැති විටකදී හෝටල් කාමරය පිරිසිදු කිරීමට පැමිණෙනා පුද්ගලයින් අතට පත් වීම වගේ කරුණු. ඒ වගේම සහකරුවාගේ හෝ සහකාරියගේ දැනීමකින් තොරව හොර රහසේ ලබා ගන්නා වීඩියෝ දර්ශන පවා මේ කාරණාවට සම්බන්ධ වීම.

මේ වගේ ඕනෑම අවස්ථාවකදී සිදු වෙන්නේ අදාල පුද්ගලයන්ගේ තත්ත්වය සහ පැවැත්ම සම්පූර්ණයෙන්ම වතුරේ ගසා ගෙන යාමක් හා සමාන දෙයක්. මෑතකදී පල වුණු ප්‍රවෘත්ති ඔස්සේත්, ජනමාධ්‍ය ඔස්සේත් හෙළි කළ, ඒ ආකාරයෙන් පැතිරී ගොස් තිබුණු අසභ්‍ය වීඩියෝ පට වල පෙනී සිටි සමහර දෙනාගේ ප්‍රකාශයන් වල තිබුනේ ඒවා තමන් නොදැනුවත්ව ලබා ගත් දේවල් ලෙසටයි. කෙනෙකු බිය වද්දවා, කළ රූපගත කිරීම් පිළිබඳවත් අදටත් ප්‍රවෘත්ති විකාශයන්ගෙන් අසන්නට ලැබෙන දෙයක්. නොදැනුවත්කම නිසාවෙන් හෝ සිද්ධ වෙන අසම්මත ලිංගික හැසිරීම්, නානාප්‍රකාරයේ කණ්ඩායම්, ගණිකාවන් සපයන්නන් විසින් හොර රහසේ ඡායාරූපගත කරලා ඒ ඡායාරූප අදාල තරුණියට හෝ තරුණයාට පෙන්වා බිය වදා ඔවුන් සදාකාලික ලිංගික සේවකයන් බවට පරිවර්තනය කළ බවට පුවත් වල සඳහන් වුණු අවස්ථා ඔයාලටත් අහන්නට ලැබිලා ඇති.

දෙමාපියන් අමාරුවන් හරි හම්බ කල දේවල් උපකාරක පංති වලට යට කරලා ඒ පංති වලටත් නොගිහින් පෙම්වතුන් පෙම්වතියන් එක්ක හිතේ පදමට සැරිසරලා අන්තිමේදී තමන්ගේම කිට්ටුවන්තයින්ගේ ගොදුරු බවට පත් වෙලා මේ වගේ දේවල් වලට පැටලීමම එක්තරා පැතිකඩකින් ඒ අය ලබන දඬුවම විදියටත් අර්ථකතනය කරන්න පුළුවනි. මේ වගේ දෙවල් වලට ගොදුරු වෙන්න කලින්ම මේ ගැන හිතලා වැඩ කිරීම, මට, ඔයලාට වගේම මේ මුළු සමාජයේම ජීවත් වෙන හැම දෙනාටම හැම අතින්ම වාසිදායක වේවි. ඒ නිසාවෙන් වල්මත් බවෙන් දුරස් වෙන්න පුරුදු පුහුණු වීමයි වඩාත් යෝග්‍ය වෙන්නේ.

Thursday, March 17, 2011

මෙම ලිපිය පෙර ලිපියට ඌණ පූර්ණයක් සපයනු වස් ලියැවෙන්නක්. ඒ වගේම පෙර ලිපියට පැමිණි පාඨක අදහස් වලට පිළිතුරු වශයෙනුත් දිග හැරෙන ලිපියක් ලෙසද සැලකිය හැක.

බුදු රජාණන් වහන්සේ කිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳව මෙන්ම නොකිරීමට අනුදැන වදාළ දෑ පිළිබඳවත් දේශණා කොට තිබෙනවා. ඒ අතරම, කිරීම හෝ නොකිරීම හෝ තමන් සිතැඟි පරිද්දෙන් කිරීමට බාධාවක් නැති බවටත් සඳහන් කර තිබෙනවා. බුදු රජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් එය තුන් කල්හිම සත්ත්‍ය වනවා මෙන්ම එය අකාලික ධර්මයකුත් වෙනවා. ඒ අකාලික ධර්මයේ සඳහන් බොහෝමයක් දෑ තමන්ගේ නුවණින් යුතුව අවබෝධ කරගත යුතු, පැහැදිලි කරගත යුතු දෑයි. යමක් කරන්නට කලින් සිතා බැලිය යුත්තාක් මෙන් කරනා ඕනෑම දෙයක් පසුපස ඒවායේ විපාක හෝ ආනිසංස පැමිණේ.

බුදු කෙනෙකුන් ලොවට පහළ වන්නේ මිනිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පහදා දෙන්නට නොවේ. බුදු කෙනෙකුන් වැනි දුර්ලභ වස්තුවක් ලොවට පහල වන්නේ ලොවේ සදාකාලිකවම පවතින චතුරාර්‍ය සත්ත්‍ය ධර්ම නැවතත් ඉස්මතු කොට අවබෝධ කොටගෙන අන් සත්ත්වයන් කෙරේ දයාවෙන් යුතුව ඔවුන්ද මේ සංසාරයෙන් එතෙර කරවීම සඳහායි. ඒ ගමනේදී උන් වහන්සේ දේශනා කොට වදාළ බොහෝමයක් දෑ කිරීමෙන් ඇතිවන ආනිසංස හෝ විපාකත්, යම් යම් දෑ නොකිරීමෙන් ඇතිවෙන ආනිසංස හෝ විපාකත් සඳහන් කර තිබෙනවා. බුද්ධිමත් මිනිසුන් හෝ වේවා මෝඩ මුග්ධයින් මිනිසුන් වේවා, තිරිසනුන් වේවා, තම සිතේ ඇතිවෙන ඕනෑම ආශාවක් තෘෂ්ණාවක් ලෙසින් අර්ථ දක්වන්නට පුළුවනි. බුදු දහම අප අපේ ජීවිත වලට යොදා ගත යුත්තේ ආශාවන් පසු පස හඹා යන්නට නොව ආශාවන්ට ඇති ඇල්ම, ලොල් බව අඩු කර ගැනීමටයි. මෙම ආශාවන් ඕනෑම දේකට අදාළයි. ඕනෑම දෙයක් සම්බන්ධව ඇති වී නැතිවී යා හැකියි. ඒ සදාතනික සත්‍යයක් වන සියළු දේ අනිත්‍ය යන්න මොනවට පැහැදිලි වන අවස්ථාවක්.

මිනිසත් බවක් ලබා උපදින්නට ඇති හැකියාවත්, පහසුකමත් බෙහෙවින්ම අඩු බැවිනුත්, බුද්ධෝත්පාද සමයක සත් බවක් ලබා උපත ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණාවක් බැවින් ඒ වකවානුව ඇතුලත තම ජීවිතය අර්ථවත් දේවල් සඳහා යොමු කිරීමයි වැදගත් වෙන්නේ. මන්දයත් සසර ගමන කෙටි නොවූවක් නිසා. දීර්ඝ වන සසර ගමන දුක් සහිත බැවින්, කටුක බැවින් එය කෙටි කර ගැනීමට කළ හැකි සියළු උත්සාහයන් දැරීමට මිනිස් ආයු කාලය නිමා වන්නට ප්‍රථමයෙන් කටයුතු කළ යුතුව තිබේ. අද විනෝද වී හෙට මියෙන්නට, අද ලැබිය යුතු සැප සම්පත් සියල්ල ලබාගෙන හෙට මිය යන්නට කැමති පිරිසක් වුවද කර ගන්නේ සසර ගමන කෙටි කර ගැනීමක් නොවේ දිගු කර ගැනීමක්. එයට තමන් උපන් දා සිට මැරෙන තුරාවටම කරන කියන සියළුම දෑ වල බලපෑම පවතී.

සසර බැඳ තබන සංයෝජන ධර්ම 10 ක් පිළිබඳව බුදු රජුන් දේශණා කොට වදාරා තිබෙනවා. බුදු දහම, ඒ බැමි 10 එකින් එක ලිහන්නට උත්සාහ දරනවා වෙනුවට ආශාවන් ඔස්සේ හඹා ගොස් තෘෂ්ණාව හරහා කෙලෙස් අන්ධකාරයේ තනි වන්නට මග පෙන්වන දහමක් නොවේ.

බුදු දහමේ විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්වා ගැනීම හෝ නොගැනීම පිළිබඳව සඳහන් කිරීමක් සිදු වෙලා නැති වන්නට පුළුවනි. මාගේ දැනීමට අනුව, එසේ ප්‍රකාශ කිරීමත් වරදකි. නමුත්, බුදු දහම ලොව ඇති වීමටත් පෙර සිටම පැවති පෙහෙවස් සමාදන් වීම් හා අදාළ පංචශීලය බුදු රදුන් විසින් දේශණා කොට වදාළේ එය වැරදි වලින් මිනිසුන් ඈත් කොට තැබීමේ මූලිකම අඩිතාලම නිසා විය හැකිය. එයිනුත් තෙවැනියට සඳහන් ශික්ෂාව, විවාහයෙන් පසු තමන්ට අනයත් සහකරුවන් හෝ සහකාරියන් සමග කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකන ශික්ෂණය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වේ. නමුත් එහි ඇති එකම අර්ථය එයම පමණක් නොවන බව හොඳින් වටහා ගත යුතුය. එයින් සඳහන් නොකරන දෙය තුරුම්පුවක්, සහනදායී පිළිවෙතක් හෝ මාර්ගයක් කර ගැනීම සියළු දෙනාටම බොහෝ ලිංගික චර්යාවන් පහසුවෙන්ම සාධාරණීකරණය කරන්නට උපකාරී වන්නට ඇත. එනම් විවාහයට පසු අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා කොට තිබීම විනා විවාහයට පෙර අනාචාරයේ යෙදීම වරදක් බව දේශණා නොකොට තිබීම ලෙසින් වැරදි කොනකින් ධර්මය අල්ලා ගැනීමයි.

විපාක සහ ආනිසංස ගැන මැනවින් පැහැදිලි කර දී කළ යුත්ත සහ නොකළ යුත්ත තීරණය කිරීමේ නිදහස බුදු දහමින් මිනිසාට ලබා දී ඇත. ඕනෑම අයෙකුට බුදු දහම අධ්‍යයනය කිරීමට බාධාවක් නැත. ලිංගික ආශාවන් හෝ වෙනත් ඕනෑම ආශාවක් හෝ වේවා ඒ කුමන ආශාවක්ම ඇලීමක් දක්වා වර්ධනය වන්නට ගත වන්නේ ඉතාමත් සුළු මොහොතකි. බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්ත්ව සමයේදී සොළොස්වන වියෙහිදී විවාහ පත් වීමට ප්‍රථම, කාන්තාවන් සමග හෝ යශෝධරාවන් සමග රමණයේ යෙදුනු බවක් බෞද්ධ ඉතිහාසයේ හෝ, බුද්ධ චරිතයේ හෝ අට්ඨ කතාවල හෝ සඳහන් වී නැතැයි මා සිතනවා. යමෙක්, සොළොස් විය ලිංගිකාශාවන් සපුරා ගැනීමට සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය උදාහරණයට ගන්නේ නම් එවන් තර්කයක් ඉදිරිපත් කිරීමට සුදුසු බුද්ධියක් ඔහු සතුව අනිවාර්යෙන්ම මඳ විය යුතුය; බුද්ධ චරිතය පිළිබඳව ඇති අවබෝධය හා දැනුම මඳ විය යුතුය. මන්දයත් සිද්ධාර්ථ කුමරුන් සොළොස්වස් විය සපුරන්නේ සියළු ශිල්ප ශාස්ථ්‍රාදීන්ගෙන් හෙබි රජ කුමරෙකු ලෙසිනි. අදට එම කරුණ අපට ආදේශ කර ගත හැකිද? නැතහොත් විදේශයන්ගේ සිටිනා සොළොස් විය සැපිරූ තරුණ තරුණියන්ට සම කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක්ද පැන නගී.

"කාමේසුමිච්ඡාචාරා වේරමණී.." යන්න "නිවන් මග එලි කරන ආර්ය ධර්මය!" අඩවියේ ලිපියක විවරණය කොට ඇති පරිදි බුදු රජුන් විසින් දේශණා කොට ඇත්තේ,

“ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ ගාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරන්නේමය. උන්වහන්සේ අනුගමනය කරන්නා වූ මමද බ්‍රහ්මචරියාවෙන් වෙන්ව අබ්‍රහ්මචරියාව අතහැර, බ්‍රහ්මචාරී වූයේ නීච වූ කාම ධර්මයන්ගෙන් වෙන්වූ උතුම් වූ බ්‍රහ්මචාරී ගුණයන්ගෙන් යුතුව වාසය කරමි. මේ රැයත් දහවලත්, රෑ දහවලත් එලෙසින්ම උන්වහන්සේ අනුගමනය කරමි. මේ මාගේ තෙවෙනි සික්ඛාවයි” යන ලෙසිනි.

"බුදු සරණ අන්තර්ජාල කලාපය" ක විවරණය කොට ඇති පරිදි කාම මිත්‍යාචාරය සිදු වන්නට සැපිරිය යුතු කරුණු 4ක් ගැන සඳහන් කොට ඇත. ඒවා නම්,
1. සේවනය නො කළ යුතු පුද්ගලයෙකු වීම (ස්ත්‍රී /පුරුෂ)
2. වරදවා හැසිරීමේ චේතනාව
3. වරදවා හැසිරීමේ උත්සාහය
4. ආස්වාදය ඉවසීම හෙවත් සේවනය

ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙළීමට කිසිදු අවශ්‍යතාවක් මා හට නොමැත. ඒ මක් නිසාද යත්, වෛශ්‍යාවන් සමග නොමිලේම ලිංගික සේවනයන්ට මාගේ මිතුරන්ගෙන් මා ලද ආරාධනාවන් මා විසින් ප්‍රතික්ශේප කළ අවස්ථා බොහෝමයක් තිබූ නිසාවෙනි. ඊර්ෂ්‍යාවක් හට ගත යුත්තේ තමාට නැති, අනුන්ට ඇති සැපතක් හෝ වස්තුවක්, දායාදයක් තමන්ට නොමැති වීම හේතුවෙන් හිතේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව හට ගන්නා සිතුවිලි හා ද්වේශයන් අරමුණු කොට ගෙනයි.

කරන කියන හැම දෙයකටම සිත පදනම් වන නිසාවෙන් කිසිදු දෙයක් බුද්ධ ධර්මයෙන් බැහැරව අර්ථ දැක්වීමට නොහැකි බවත් සිහියෙහි තබා ගත යුතුය. බුදු දහම යනු පරලොව සෙත සලසන ධර්මයක් පමණක් නොවන බවත් සිහි ගැන්විය යුතුයි. බුදු දහමට අනුව ජීවත්ව සිටිනා කාලය තුරාවට රැස් කරනා කුසලාකුසල කර්ම පරලොව තීරණය වන්නට පිටිවහලක් වේ. ඒ කුසලාකුසලයන් ගෙවන ජීවිතයද සාර්ථකව ගෙන යාමට උපකාරී වේ. එහෙයින් වඩාත්ම බුදු දහමේ සඳහන් වී ඇත්තේ මෙලොව ජීවිතය සැපවත් කර ගන්නා ආකාරය පිළිබඳවයි. මෙලොවදී වැපිරූ බීජයන්ගේ ඵලදාව මෙලොවදීත්, පරලොවදීත් ලබන්නට උදව් වෙන එකම දහම බුදු දහම පමණකි.

Tuesday, March 15, 2011

මගේ කලින් ලිපියත් සමග මේ ලිපියත් සම්බන්ධයි. මොකද ඒ ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාරත් ගොඩක් වැඩියි. ඉතින් මට හිතුනා ඒ පාඨක ප්‍රතිචාර වලට මගෙන් ලැබුණු පිළිතුරු ප්‍රතිචාර එකතු කරලා වෙනමම ලිපියක් පල කරන්න. මේ ලිපිය ආරම්භ වෙන්නේ අන්න ඒ විදියට ලැබුණු පිටිවහලකින්.

සමහරු හිතනවා ඇඟේ පතේ වෙහෙස දුරු කර ගන්න තියෙන එකම තුරුම්පුව ලිංගික තෘප්තිය ලැබීම කියලා. ඒ වගේම විවාහයට පෙර ලිංගික තෘප්තිය ලබන්න තියෙන එකම ක්‍රමය ගැහැණු ළමයෙක් එක්ක ඒ සතුට බෙදා ගන්න එක කියන දේයි. ඒ දේ කරන අයට මේ ලිපියෙන්වත්, මගෙන්වත්, කාගෙන්වත් බාධාවක් නෑ. මොකද සතුට කියන දේ සාපේක්ෂයි. ඊටත් වඩා සතුට කියන දේ තාවකාලිකයි. ඔය ලබන තාවකාලික සතුට නිසා විඳින්න වෙන සදාකාලික දුක ගැන ඔය කොයි කවුරුත් ඕවා කරද්දී නම් හිතන්නේ නැති වගත් මතක් කරන්නට ඕනේ. ඕනෑම දෙයකට බලපාන එකම සාධකය සිතුවිලි විතරමයි. ඒ සිතුවිලි එහෙමත් නැත්නම් චේතනාවන් පහළ වෙන්නේ තමන් සතුව තියෙන අත්දැකීම්, පුරුදු, ජීවත් වෙන වටපිටාව, ආශ්‍රය කරන පිරිස වගේ දේවල් බොහෝමයක උදව්වෙන්. සමහර විට තමන්ගේම බිරිඳ, දුව, සැමියා, පුතා ලිංගික සේවකයන් බව දෙමාපියන්ගේ වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. කොහොමත් ඕවා කියලා කරන දේවල් නෙවෙයි නේ.

කෙනෙක්ට කියන්න පුළුවන් පෙම්වතුන්ට එකිනෙකාගේ කැමැත්තෙන් හොඳ ලිංගික අධ්‍යාපනයක් සහිතව එකිනෙකා අතරේ එකතුවීම, බෝඩිමකට ඇවිල්ලා කිරීමේ වරදක් නැහැ කියලා. නමුත් ඔය දේට බෝඩිම් විතරක්ම අවශ්‍යත් නෑ. ඒත් කියන්න තියෙන දෙයක් තියෙනවා. විවාහයකට කලින් පෙම්වතුන් දෙපලේම අයිතිය තියෙන්නේ, භාරකාරත්වය තියෙන්නේ, ඔවුනොවුන්ගේ දෙමාපියන්ටයි. ඒ කියන්නේ විවාහයක් වෙන තාක් ඔවුනොවුන් අනුන්ට අයිති දේවල් විදියටයි සැලකෙන්නේ. එහෙම ඉන්නා ගැහැණු ළමයෙක් හෝ වේවා, පිරිමි ළමයෙක් හෝ වේවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සිද්ධ වෙන එකතුවීම් වලින් සිද්ධ වෙන්නේ පවක් මිසක් හොඳක් නම් නෙවෙයි. කුමරි කුමර බඹසර හැසිරෙනවා කියලා දෙයක් තියෙන්නේ අන්න ඒ නිසයි. බුදු දහමට අනුව නම් විවාහ දිවියේදී අන්‍ය ස්ත්‍රී පුරුශයන් සමග අනියම් සබඳතා පැවැත්වීම වරදක් වෙනවා වගේම දෙයකුයි කුමරි කුමර බඹසර බිඳිනවා කියලා කියන්නෙත්.

මම මේ කල්පනා කරන්නේ ඇයි මිනිස්සු මේ දුරාචාරී දේවල්ම, ජීවිතේ නාස්ති වෙන දේවල්ම සහ ලිංගිකත්වය සම්බන්ධ දේවල්ම අත් හදා බලන්නේ කියලා. ඔය අත් හදා බැලීම් හොඳ දේකට පාවිච්චි කරා නම් නරකද?

නමුත් අපි හිතමුකෝ ගැහැණු ළමයෙක් තමන්ගේ පිරිමි ළමයව කවදා හරි බඳින හැඟීමෙන් ඔය දේ සිද්ධ වුනාය කියලා. ඒත් කාටද කියන්න පුළුවන් ඒ ප්‍රේම සම්බන්ධය විවාහෙට කලින් බිඳ වැටේවිද කියලා. එතකොට මොන ආකාරයක හරි ලිංගික සම්බන්ධතාවක් පවත්වලා තියෙන කොට ගැහැණු ළමයෙක්ට ඒ මානසික තත්ත්වයෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වේවි කියලා හිතන්න පුළුවන්ද? මේ දේ පිරිමි ළමයෙකුට නම් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද ගෙවල් වලින් පිරිමි ළමයින්ගේ නම්බුව ආරක්ශා කරන්නේ නැහැනේ. ගැහැණු ළමයින්ටත් පිරිමි අඟ පසඟම තිබුණා නම් ඉතින් ඕකේ බය වෙන්න දෙයක් නෑ. එතකොට රැකෙන්න නම්බුවකුත් නෑ නේ. අනික මේ දේවල් 21 වෙනි සියවසේ වුනත් නැතත් කවදටත් වලංගු දේවල්. හිත පාලනය කර ගන්න පුළුවන් කෙනයි නියම ජයග්‍රාහියා වෙන්නේ.

ඇත්තටම එහෙම කරන අය ගැන මගේ වෛරයක් නෑ. තරහවකුත් නෑ. ඇත්තම කියනවා නම් දුකයි. එක අතකින් කෙනෙක්ගේ නම්බුව කෙලෙසෙනවා. එහෙමත් නැතිනම් කෙනෙක්ගේ ආසාවන් හමුවේ තවත් කෙනෙක් රැවටෙනවා. මේවා මෙහෙම දකින්නේ සුචරිත කණ්නාඩියක් දමාගෙන ඉන්න නිසා කියලා හිතන්න එපා. කෙනෙක්ගේ සතුටට ඊර්ෂ්‍යා කරනවාත් නෙවෙයි. මොකද මම ඊර්ෂ්‍යාව පුරුදු කරපු කෙනෙක් නෙවෙයි. මට නොලැබෙන දෙයකට වග කියන්න ඕනේ මම මිසක වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අනුන්ට තියෙන මට නැති සතුටක් නිසා මම වෙන කෙනෙක්ට වෛර කරන්නෙවත්, ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ; ඒ වැඩක් නැති නිසා. ඒත් මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්තේ මෙහෙම දේවල් ගැන හැමෝටම මතක් කරලා දෙන්නයි. ඒ වගේම මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දැකලා නැති අයට ටිකක් ඒ ගැනත් පෙන්නලා දෙන්නයි. ඇත්තෙන්ම කීවොත් මම ආස්‍රය කරන සමහරු ඉන්නවා මේ වගේ දේවල් අහලවත් නැති. ඒ මොකද තමන් වටේ ඉන්න සුචරිතවත් යාළු මිත්‍රාදීන්ගෙන් විතරක් ඒ අය ලෝකය දකින නිසා.

මේ ලිපිය කියවන සමහරු විවාහකයි. ඒ නිසා දැන් මේ කියපු ගොඩක් දේවල් ජීවිතයේ අත්විඳලා ඇති. සමහර විට තවමත් අත්විඳිනවා වෙන්නත් පුළුවන්. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. කොහොම නමුත් මම සිල් රෙද්දක් පොරවන් කුපාඩිකම් ඔක්කොම කර කර වැදි බණ කියන්න හැදුවා නෙවෙයි. ඇත්තෙන්ම මම එහෙම කරන්නෙත් නෑ. මම මේ දේවල් ගැන සාකච්ඡාවට ගෙනාවේ මගේ සීමාවේ ඉඳලා. මම නොකරන දෙයක් ගැන, අනුන් කරන, ඒ වැරදිය කියලා මම හිතන දෙයක් ගැන අනිත් අයගේ අදහස් මොන වගේද කියලා සාකච්ඡාවට ලක් කරන්නයි මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ සතුටු වෙන්න ලබන්න, කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අතරට මේ ලිපියේ තියෙන දේවලුත් අඩංගුයි. ඒත් එයින් පරිබාහිරව සතුටක් ලබන්න පුළුවන් ක්‍රම විධි බොහෝමයකුත් තියෙනවා. ඒ ගැනත් මතක් කරගන්න ඕනේ.

ලිංගික තෘප්තිය, අඩියක් ගහලා ලබන තෘප්තිය විතරමද සැබෑ තෘප්තිය කියන ප්‍රශ්ණාර්ථය මම ඉතුරු කරන්න කැමතියි. කරන කෙනා විතරයි ඒකේ හැබෑ රසය දන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම කරන අය මේ ලිපිය හෙළා දකින්නත් පුළුවන්. කරන අයට මම බනින්නෙත් නෑ. නොකරන අයට කරන්න කියන්නෙත් නෑ. හැමෝටම බුද්ධියක් උපතින් ලැබිලා තියෙන්නේ මිනිසුන් හැටියට හිතලා මතලා වැඩ කරන්නයි. ඒ නිසා වින්දනය පස්සේ නොයන පිරිසක් ඇති වුනොත් මේ සමාජෙට ලොකු සම්පතක්, සැපතක් වේවි.

ලිංගික තෘප්තිය ඒ තරමින්ම අත්‍යවශ්‍යයි නම්, ස්වයං වින්දනය වගේ දෙයකින් ඔය දේ පිරිමහ ගන්නට විවාහෙ වෙනකන් බැරි ඇයි? ඔය දේ කරගන්න වාරු නැතිවද විවාහයකට කලින් ගැහැණු ළමයින් එක්ක එකතු වෙන්නේ? ඒ දේටවත් වාරු නැතිනම් විවාහයට පෙර හෝ පසු හෝ වේවා ස්ත්‍රියක් සමග එකතු වෙන්නත් වාරු තියෙන්න හැකියාවක් නැති විය යුතුයි. අර කියමනකුත් තියෙන්නේ විවාහ වුනු කොල්ලන්ට විහිළුවට කියන "අද ඉඳන් අතට නිවාඩු" කියලා.

අනිත් දේ තමයි සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් අතෑරියොත් ඒ දේවල් නැති තිරිසනුන් ගානට අපිත් ඇද වැටෙන එක. තිරිසන්නු වගේ ජීවත් වෙන්නද මිනිසත් බවක් ලබලා ඉපදුනේ? සතුට නිසා ඕවා කරලා අන්තිමට පරලොව ගිහින් තිරිසනුන්ම වෙන්නද කල්පනාව? මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක් ලබන විදියෙ පවක් කියල. ඒත් නිවැරදිව යමක් කරනවා නම් තිරිසන් ජීවිතයක් ලබන්නත අවස්ථාවකුත් ලැබෙන එකක් නැති වේවි. අනිත් දේ තමයි ශරීරයේ තියෙන ප්‍රධානතම ලිංගික අවයවය මොළය කියන එක. ඒක වෛද්‍යවරුන්ගේ මතයක්. ඒකම මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරු සපයාවි.

කාට හරි කියන්න පුළුවන්ද මේ 21 වෙනි සියවස වෙලත්, ඇයි අපි වෙසක් එකට තාම කූඩු, තොරන්, සැරසිලි හදන්නෙ, කරන්නෙ කියලා? ඒ වගේම සිංහල අලුත් අවුරුද්දට නැකැත් වලට අනුව වැඩ කරන්නේ කියලා? විවාහ වෙද්දි ස්තෝත්‍ර කියන්නෙ කියලා? සංස්කෘතියක් සදාචාරයක් අනවශ්‍යයි නම්, පරණ සදාචාරයක් අදට හරි යන්නේ නැති නම්, හණමිටි අදහස් නම්, ඕවත් මහ හණමිටි දේවල්. ඕව ඉස්සර තිබුනු නමුත් තාම කරන දේවල්.

කෙනෙක් ප්‍රශ්ණයක් ඉදිරිපත් කරා එක අවස්ථාවක පටාචාරා බුදුන් දකින්න ගියා නම් අද කාලේ ගැහැණු අඩ නිරුවතින් පන්සල් යාම සාධාරණයි නේද කියලා. ඇත්තෙන්ම මම හිතන්නෙ නෑ පන්සල් එන හැමෝම පටාචාරල, කිසාගෝතමීල වගේ ජීවිතේදි තනි වෙලා, අසරණ වෙලා, පිස්සු වැටිලා ඇඳිවතවත් නැතිව පිස්සු විකාරයෙන් දුවන් එන කාන්තාවො කියලා. අනික පටාචාරලා, කිසාගෝතමීලා බුදු හාමුදුරුවො ගාවට ආවේ බුදු හාමුදුරුවන් සමග රමණයේ යෙදෙන්න හිතාගෙන නෙවෙයි. ඒත් අද කාලෙ ගැහැණු අය ගැන නම් විශ්වාසයක් නෑ. කොහොමත් එහෙම එන කෙනෙක්ව දූෂණය කරනවා වෙනුවට රෙදි කඩකින් හරි පොරවලා, කන්න බොන්න දීලා, සලකන්න මිනිහෙක් වුනාම පුළුවන් කමක් තියෙන්න ඕනේ.

අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කිසාගෝතමී, පටචාරාවනුයි අද කාලේ නාභිය, රහස් ස්ථාන පෙන්නන, කලවා පෙන්නන්න දගලන කාන්තාවන්ට සමාන කිරීමත් වරදක්. කොටින්ම අපි නමටවත් සංස්කෘතියක් කියල දෙයක් විශ්වාස කරලා ඒ දේවල් වලට පදනම් වෙලා කටයුතු කලේ නැත්නම් අපි සහ තිරිසනුන් අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක තමා, සංස්කෘතිය නීතියක්නොවීම. ඒක ඕනෙ කෙනෙක්ට කැමැත්තෙන් පිලිපදින්න පුලුවන් ආචාරධර්ම පද්ධතියක්. ඒ නිසා මේ දේ 100% ක් මේ විදියටම විය යුතුයි කියලා කියන්න බෑ. නමුත් ඒක පිලිපදින කොට අපි දැන ගන්න ඕනෙ ඒක හරි විදියට කරන්න.

උදහරණයක් විදියට සමහරු හිතන් ඉන්නවා සිංහල සංස්කෘතිය කියන්නේ කාන්තාවන්ට කලිසම් අඳින්න දෙන්නෙ නැති, කාන්තාවන්ට ඕනෙ කරන පහසු ඇඳුමක් අඳින්න දෙන්නෙ නැති දෙයක් කියලා. නමුත් සිංහල සංස්කෘතිය කියන්නේ ගැනුන්ට ඇඟ වැහෙන්න, වසා ගන්න ඕන තැන් වසාගෙන යන්න කියලා මිසක් කැමති ඇඳුමක් අඳින්න එපා කියලා කියන ආචාර ධර්ම පද්ධතියක් නෙවෙයි. කලිසමක් උනත් ඔනෑවට වඩා හිර නැතුව අඳිනවා නම් ඒකෙ ප්‍රශ්ණයක් නෑ. කාන්තාවන්ට කලිසම් අඳින්න කිසි තහනමක් නෑ. ඒත් කලිසම් අඳින කාන්තාවන් දැන ගත යුතුයි උඩුකය වැසෙන්නට දිග යමක් අඳින්නට. මොකද දිගට නොඇන්දොත් වාඩි වෙන ඕනෙම අවස්ථාවකදී ඉනෙන් ඉහල ඇඳුම එසවිලා පශ්චාත් භාගය, ඉන, නාභිය දර්ශනය වෙන්නට පුළුවන් නිසා. ඒ නිසා සංස්කෘතිය කියන්නේ ගොන් හණමිටි නීති ගොඩක් නෙවෙයි. ඒ අපි හිතල බලල තැනට සුදුසු විදියට පිලිපදින්න ඕනෙ දේවල්.

හොඳයි කියලා කියන්න පුලුවන් ධර්මධර, විනයධර භික්ෂූණ් වහන්සේලා අද හොයන්න නැති තරම්. ඒත් නැතුවමත් නෙවෙයි. බුද්ධ පුත්‍රයො කෙසේ වෙතත්, තමන් කැමති දෙයක් ඇඳගෙන පාරෙ යන්න ගැහැණුන්ට අද බැරි වෙලා තියෙන්නෙ පිරිමින්ගේ දූෂමාන වුනු හිත් නිසා කියලයි කියන්න තියෙන්නේ. කවද හරි අංගුලිමාල කෙනෙක් වුනොත් තමන්ගේ අම්මගේ ඇඟිලි කපා ගැනීම කෙසේ වෙතත් අද කාලෙ නම් දූෂණය කරලවත් තමයි නවතින්නෙ. පන්සලකට යා යුතු පිළිවෙළක් තියෙනවා. වෛවාරණ, විච්චූරණ ඇඳුම් ඇඳලා පන්සල් යන සිරිතක් නම් නෑ. බුදු රදුන් තරමින් කෙලෙස් ප්‍රහීන නොකළ පෘතග්ජන භික්ෂූණ් වහන්සේලායි අද බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වුණු පාරිභෝගිකමය, වන්දනාමය සිහිවටන රැකීමට පන්සල් වල වැඩ වාසය කරන්නේ. ඒ නිසා එවැනි ස්ථාන වලට යාම සංවර ඇඳුමකින් සැරසී යන්න තරමටම නීති රෙගුලාසි මගින්ම මිනිසුන් යොමු කරන්න සිද්ධ වෙලාත් තියෙනවා.

කොහොම නමුත් මගේ මේ ලිපියෙන් ගොඩක් දෙනාගෙ හිත් රිදුනොත්, ඒ හැමෝම මේ දේ සාධාරණීකරණය කරන්නේ නම් ඒකේ අර්ථය, තමනුත් එහෙම වින්දනය ලැබීම වෙන්න පුළුවනි. ජීවත් වෙලා ඉන්න කාලේ හිතේ තද කරන් දුක් විඳින්නේ නැතිව ඒවා ඇති පමණට සපුර ගන්න උත්සාහ කරන උදවියට වැඩියෙන්ම මේ ලිපිය පහරක් වේවි. මගේ කලින් ලිපියකත් මම කියල තිබුනා බොන්න එපා කිව්වම පන්සිල් පදයකුත් වෙනස් කරපු යාළුවෙක් ගැන. ඒ "සුරාමේරය මජ්ජ පමා දට්ඨානා.." සිල් පදයේ තේරුම මද පමණින් ගත්තාට වරදක් නැහැ කියන විදියටයි. ඒ නිසා වින්දනය හොයාගෙන යන ගමනක නෙවෙයි අපි ඉන්නෙ. එහෙම හොයන අයට "කාමේසු මිච්ඡාචාරය.." මද පමණින්ම ඉෂ්ට කර ගත්තාට වරදක් නෑ කියලා හිතුනොත් පුදුමයක් නෙවෙයි.

අභ්‍යන්තරිකව හරි බාහිරින් හරි ලිංගිකව එකතු වුනත් ලැබෙන්නෙ වින්දනයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ ආශාවන් වැඩි කිරීමක් නේද? ඕක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් තියෙනවද කියලත් අහන්න කැමතියි.

අපි ජීවත් වෙනවා නෙවෙයි මරණයට ලං වෙනවා කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන් කරන කියන දේ තමන්ගෙ පසුපසින් එන හැටි ගැන අමුතුවෙන් කිව යුතු නෑ. බුදුන්ගේ ධර්මය වෙනස් කරන්නත් ඕනෙම කෙනෙක්ට පුළුවන්, තමන්ගේ සතුට වෙනුවෙන් බුද්ධ චරිතයේ එන එක එක සිද්ධීන් මතු කරලා. බුදු රජාණන් වහන්සේ සතුට ලැබිය යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒවායෙන් ලැබෙන ආදීනව වගේම විපාකත් පෙන්නලා දීලා තියෙනවා. වාද විවාද කරනවාට වඩා වින්දනයට ඉඩ දීල ජීවිතේ තාවකාලික සතුටක් ලබල ඉතිරිය නාස්ති කර ගන්නවාද කියලා හිතන්න ඔය හැමෝටම බාරයි.
Skype කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන පරිගණක මෘදුකාංගයක්. අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝමයක් දෙනා එකිනෙකා සමග කතා බහ කරන්නට යොදා ගන්න හොඳම මෘදුකාංගයක් විදියටත් මේ මෘදුකාංගය ගැන කියන්න පුළුවන්. මේ වගේ දෙයක් පාවිච්චි කර ගැනීමෙන් වියදමත් අඩු කර ගන්නට පුළුවන්. ඒ දෙරටක ඉන්නා දෙදෙනෙකු අතරේ හොඳ වාචික වගේම රූපමය සම්බන්ධතාවකුත් පවත්වා ගන්නට හැකියාවක් වියදමකින් තොරවම වාගේ ලැබීම. දෙරටක නොවුණත් ලඟපාත ඕනෑම දෙපිරිසක් අතරේත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, හොඳ සන්නිවේදන ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ, තාක්ෂණයට පිං සිද්ධ වෙන්නයි.

මේ ලිපියේ අන්තරගතයට Skype මෘදුකාංගයේ ප්‍රයෝජන ගැන නම් නෙවෙයි සඳහන් වෙන්නේ. මේක එක්තරා අත්දැකීමක්. ඒ මගේ යහළුවෙකුගේ නැගණියක් සම්බන්ධවයි. මගේම අත්දැකීමක් නොවුනාට යම්තාක් දුරකට මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිද්ධ වුනු නිසාවෙන් මේ ගැන ලිපියකින් පළ කරන්නට හිතුවා. ඊට අදාල පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ කිරීම සුදුසු නෑ කියලායි මම හිතන්නේ.

අද කාලයේ Skype තියෙන බොහෝමයක් දෙනාට මුහුණු පොතකුත් තියෙනවනේ. ඉතින් ඔය මුහුණු පොත හරහා සිද්ධ වෙන දේවල් ගැනත් මින් පෙර ලිපි කිහිපයකම කියවිලත් තිබුණා. ඒත් මේ Skype මෘදුකාංගය හරහා සිද්ධ වෙන දේවල් මුහුණු පොතින් සිද්ධ වෙන්න පුළුවන් බලපෑමටත් වඩා දරුණු දේවල්. බොහෝමයක්ම සිද්ධ වෙන්නේ පෙම්වතුන් අතරේ වීමත් මේ බලපෑම වැඩි වෙන්නට තවත් හේතුවක්.

Skype මෘදුකාංගයකින් හඬ වශයෙන් ලබා ගන්නට පුළුවන් දුරකථන ඇමතුමක් හැරුනාම වීඩියෝ මාර්ගයෙන්ද ඇමතුමේ දෙකෙළවරේ සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වෙන්නටත් හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වීඩියෝ, වෙබ් කැමරාවක් ආධාර කරගෙන. Skype පාවිච්චි කරන උදවිය නම් මේ දේ ගැන හුඟක්ම දන්නවා. මෙන්න මේ වීඩියෝ ඇමතුම් ආශ්‍රිතවයි අර මුලින් සඳහන් කළ බලපෑම වැඩි දේවල් කරන්නට සමහරු පෙළඹෙන්නේ. එහෙමත් නැතිනම් කාගේ හරි පෙළඹවීමක් වෙන්නත් පුළුවනි. ඒ තමයි එකිනෙකා නිරුවතින් හරි, අඩ නිරුවතින් හරි කැමරාවක් ඉදිරියේ අනිත් පුද්ගලයා හට දැක ගැනීමට පෙනී සිටීම. මේ දේ බොහෝ විට සිද්ධ වෙන්නේ ආදරය කරන ගැහැණු සහ පිරිමි ළමුන් අතරේයි.

කලින් ලිපියේ වගේම මේ ලිපියේත් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තම පෙම්වතා සමග ලිංගිකව එකතු වීම වරදක් කියා නොසිතනා තරමටම කාන්තාවන්ගේ මානසික තත්ත්වය පහළ වැටී තිබීම. ඒ වගේම කාන්තාවකගෙන් අනිසි ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට පිරිමින්ගේ හිත් දූෂණය වී තිබීම. සාමාන්‍යයෙන් තමන්ගේ පෙම්වතාගේ කැමැත්ත පරිදි කාන්තාවකගෙන් අනිසි ඉල්ලීමක් කරනවා නම් ඒ කාන්තාවට ඊට ප්‍රතිරෝධයක් දැක්වීමට හැකියාවක් ඇති විය යුතුයි. එවැනි ප්‍රතිරෝධයක් නොදක්වන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ ඇය ඕනෑම දෙයක් තම පෙම්වතා වෙනුවෙන් හෝ නාදුනන පුද්ගලයෙක් වෙනුවෙන් කරන්නට සූදානම් බවයි.

මේ දෙයි බරපතලකම තවත් වැඩි වන්නේ ඒ දෙය අන්තර්ජාලය හරහා Skype වැනි මෘදුකාංගයක් හරහා සිද්ධ වීමේදීයි. Skype මෘදුකාංගයෙන් සපයා තියෙන තවත් අංගයක් තමයි එවැනි වීඩියෝ ඇමතුමක යෙදී සිටිද්දී ඕනෑම මොහොතකදී ඒ ඒ පුද්ගලයාගේ තිරයේ පෙන්නුම් කරන වීඩියෝ දර්ශනයේ නිශ්චල ඡායාරූපයක් ඕනෑම අවස්ථාවක ලබා ගැනීමට හැකියාව තිබීමයි. මේ දේ හේතු කොට ගෙන ඕනෑම පුද්ගලයෙක් හට අනිත් පුද්ගලයාගේ අසභ්‍ය ඡායාරූපයක් ඕනෑම අවස්ථාවකදී ලබා ගන්නත්, ඒ රූපයේ උපකාරීත්වයෙන් ඕනෑම බිය වැද්දවීමක් හරහා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමේත් හැකියාවක් තියෙනවා. එසේ නොවුනත් එහිදී මුහුණු සහිතව ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම ම තමන්ගේ පිරිසිදු චරිතය ඝාතනය විය හැකි අවදානම් තත්ත්වයක් වෙනවා.

අන්තර්ජාලය හරහා ලබා ගන්නා මේ වගේ වීඩියෝ ඇමතුමකදී අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් ඇඳුමක් ලිහන්නට පළමුව කිසි අයෙකු මේ ගැන හිතා බලා තියෙනවාද යන්නත් සැකයක්. මන්දයත්, මෑතකදී ජංගම දුරකතන මගින් පවා ලබා ගත්, පෙම්වතුන් අතරේ, ගණිකාවන් සමග සිදුවුනු ලිංගිකව එකතු වීම් සම්බඳ වීඩියෝ පටවල සිටි සැබෑ ජීවිතයේ නළු නිළියන්ගේ රූප, ජනමාධ්‍ය හරහා මුළු ලංකාවටම විවෘත වුනු නිසාවෙන්. අන්තර්ජාලය ඊටත් වඩා ප්‍රභල මාධ්‍යයක් බවත් අමතක කළ යුතු වන්නේ නෑ.

මා පෙර කිව්වාක් මෙන්ම මේ Skype සම්බන්ධ අත්දැකීම සිද්ධ වෙලා තිබුණේ වැඩිදුර ඉගෙනීමට විදේශගතව සිටි මාගේ මිතුරියකටයි. ඇය සම්බන්ධ Skype ඇමතුමේදී ලබා ගත් ඡායාරූප ඇතුලත් විද්‍යුත් ලිපියකට මගේ ඇස් යොමු වුණේ ඇගේ ඉල්ලීම පරිදි ඇගේ විද්‍යුත් තැපැල් ගිණුමෙහි රහස් වචනය නැවත සොයා දෙන ලෙස මගෙන් කළ ඉල්ලීමකදී එය සාර්ථක වීම හේතුවෙන්. කෙනෙක්ට සිතෙන්නට පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙකුගේ ගිණුමට හොරෙන් ඇතුල් වීම වරදක් බවත්, එහි තිබෙන ලිපි කියවීම වරදක් බවත්. නමුත් එහිදී කිව යුතු තවත් බරපතල දෙයක් නම් ඊට සම්බන්ධ පෙම් පලහිලව්ව මීට තෙවසරකට ආසන්න කාලෙකට ඉහතදී බිඳ වැටී තිබීමත්, ඒ පෙම්වතාගෙන් තවමත් ඇයට කරදර, හිරිහැර ජංගම දුරකතන හා Skype ඇමතුම් විදේශයට ලබා දීමෙන් සිදුවීමත් යන කරුණු නිසාවෙන්.

මේ වගේ දූෂිත හැඟීම් අවුස්සන්නට ඕනෑම අයෙකුට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊට වෙනයම් අයෙකු යොමු කර ගන්නටත්, පොළොඹව ගන්නටත්, පෙම් බස් වලින් රවටන්නටත් ඕනෑම කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බව හොඳින් වටහාගෙන මිනිසුන් ලෙස බුද්ධියෙන් යුතුව ජීවත් වීම කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයටත් අත්‍යවශ්‍යයෙන්ම අද තිබිය යුතු දෙයක්. තාක්ෂණයේ දියුණුව යහපත් දේවල් වෙනුවෙන් පාවිච්චි නොකිරීම ම තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමකට හේතුවක් වෙන බව මතක තබා ගත යුතු වැදගත් කාරණාවක්.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.