Wednesday, October 20, 2010

මෑත කාලයකදි මට අහන්නට ලැබුණු මගේ හිත ගිය ලස්සනම ගීතයක් ගැනයි මම මේ ලිපියෙන් කියන්නට යන්නේ. tee දුටු ලොවට පසුගිය කිසිම ලිපියකින් ගීත ඇතුලත් නොකෙරුණත් මේ ගීතය ගැන නම් කියන්නමයි හිත යන්නේ. හැබැයි මේ ගීතයේ අයිතිය තියෙන්නේ මට නම් නෙවෙයි. ඒ අයිතිය හිමි වෙන්නේ නව පරපුරේ ගායක යුගලයකට. ඒ අපි කවුරුත් දන්නා භාතිය හා සන්තුශ් දෙපලටයි.

ආදරේ සම්බඳව ලියැවුණු මේ ගීතය අපි අතට එන්නේ ඒ දෙපලගේ අලුත්ම ගීත එකතුවත් එක්කයි. ඒ කියන්නේ 2010 වසරේදී නිකුත් වෙන සරා සිහින ගීත එකතුවත් සමගයි. ගීතයේ නම, "සඳ රෑ". අහපු ක්ෂණයකින්ම මේ ගීතය හිතට කා වැදෙන්නට තරමටම සරල සුගමතාවෙකින් ලියැවිලා තියෙනවා වගේම සංගීත නිර්මාණයත් ඉතාමත්ම සංයමයකින් යුතුව එකතු වෙලා තියෙනවා කියන්නට පුළුවන්.

ගීතය ඇහෙනා ආකාරයට එහි වචන අමුණන්නට ගත් උත්සාහයක් තමයි මම මේ ලිපියත් සමගම පහලින් එකතු කරලා තියෙන්නේ. මට දැනෙනා හැතියට මේ ගීතය අහන්නට හොඳම කාලය රාත්‍රී වෙලාවයි. බොහෝ විට මධ්යම රාත්‍රිය ගෙවුනායින් පසුව වෙන්නට පුළුවන්. ඒ මට දැනුණු හැඟීමක් විතරයි. ඒත් ගීතයේ අඩංගු තේරුමත් එක්ක ගීතය වඩාත් ගැලපෙන්නේ ඒ වගේ අවස්ථාවකට කියලායි කියන්නට පුළුවන්. ඔයාලත් අහල බලලාම තීරණය කරන්න ඒ කරුණ කොයි තරම් සාධාරණද කියලා. මේ තියෙන්නේ මුලින් මා ගත් උත්සාහයයි.



සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ චායා...
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...
උතුරා සඳ රේණු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...

පායලා... මා ලයේ... ආදරේ... ගාවා...
තේරුනා... ආ කහේ... පාවෙනා... සේමා...
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලං වෙලා... //

සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ චායා...
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...
උතුරා සඳ රේනු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...

මා පැතූ... මා සිතූ... ආදරේ... දීලා...
මට සිහි වෙලා... රෑ පවා... ඈගෙ රූ... චායා...
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලං වෙලා... //

සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ චායා...
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා...
උතුරා සඳ රේනු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...

Tuesday, October 19, 2010

එක එක විධියේ ගිවිසුම් අපිට ජීවිතේදී දකින්නට ලැබිලා තියෙනවා. සාම ගිවිසුම්, විවාහ ගිවිසුම් ඔය වගේ අපි ජීවිතේදී අහලා දැකලා තියෙන දේවල්. ඔය අතරේ තියෙනවා සමහර ගිවිසුම් හරිම සුභදායක ගිවිසුම්. තවත් සමහරක් ගිවිසුම් වාසිදායකයි. එයිනුත් ගිවිසුම ඇති කර ගන්නේ පාර්ශව කීයක් බැගින් එකතු වෙලාද කියන එක මත ගිවිසුමෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ඒ ඒ ගිවිසුමට සම්බන්ධ පාර්ශව අතරේ බෙදිලා යනවා. ඔහොම බෙදෙද්දී සමහරුන්ට තනිකරම පාඩු සිද්ධ වෙන කොට තවත් පිරිසකට අති විශාල වශයෙන් ලාභත් සිද්ධ වෙනවා. මෙන්න මේ කියන ගිවිසුම් කඩ කරද්දී සමහරුන්ට ලැබෙමින් තිබුනු වාසි අහිමි වෙනවා. ඉන් සමහරුන්ට ගිවිසුම බිඳ හෙලීම නිසා දඬුවම් පවා විඳින්නට සිද්ධ වෙනවා. ගිවිස ගැනීම වලදී නීතිමය පැත්තකුත් බලපානවා. බල නොපාන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මම මේ ලිපියෙන් කියන්නට යන්නේ මගේ කලින් ලිපියේ මම සඳහන් කරපු හම යන ගිවිසුම ගැන. මේක මගේ කලින් ලිපියත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන තවත් ලිපියක් කීවත් වඩාත් නිවැරදියි.

මම රැකියාවට බැඳුනු ආයතනයට මම මුලින්ම සම්බන්ධ වුනේ ඒ ආයතනයෙන් තෝරා ගැනුනු ශිෂ්‍යත්ව ලාභියෙකු විදියටයි. ඒ මීට වසර තුනකට පෙරාතුව ඒ කියන්නේ 2007 වසරේදියි. එම ශිෂ්‍යත්ව වැඩසටහනේ අන්තර්ගතය වෙන්නේ මෙන්න මේ විදියටයි. මේ ශිෂ්‍යත්ව වැඩසටහනට තෝරා ගැනුනු අයගේ සියළුම වියදම් දරනු ලබන්නේ එම ආයතනය විසින්ම බවත් මතක් කරන්නට ඕනේ. ශිෂ්‍යත්වයේ වලංගු කාලය අවුරුදු පහක්. මෙන්න මෙහෙමයි ඒ ශිෂ්‍යත්ව වැඩසටහනේ අන්තර්ගතය වෙන්නේ. ඇත්තෙන්ම කීවොත් මේ අර මම මුලින්ම කියපු ගිවිසුමේත් අන්තර්ගත වෙන එක්තරා කොටසක් කීවත් හරි.

පළමුවෙන්ම මාස හයක ඩිප්ලොමාවක්, තෝරා ගත් උදවියට නොමිලයේම හදාරන්නට සිද්ධ වෙනවා. විවිධ පරිගණක මෘදුකාංග වගේම ක්‍රමලේඛ භාශාවනුත් මේකෙදි ඉගැන්වෙනවා. ඊට පස්සේ එම ආයතනයේ වසරක පුහුණු කාලයක් ගත කළ යුතුයි. අනතුරුව වසර දෙකක අවම කාලයක් ආයතනයේ රැකියාව කළ යුතුද වෙනවා. මේ වසර තුනක කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයෙන් ලබා දෙන තොරතුරු තාක්ෂණ තුන් අවුරුදු බාහිර උපාධි පාඨමාලාවට නොමිලයේම හදාරන්නට සහභාගී වෙන්න ඕනේ. මේ පාඨමාලාවේත් විශ්ව විද්‍යාලයට වගේම උපකාරක පංති සඳහාත් සියළුම වියදම් දරන්නේ ආයතනය විසින්මයි. පුහුණු වසරත්, අනිත් අවම දෙවසරත් අවසන් වන විටදී කෙනෙකු උපාධියේත් අවසානයට පැමිණෙනවා. උපාධිය ලැබීමෙන් අනතුරුව තවත් වසර දෙකක් විධියට සම්පූර්ණයෙන්ම වසර පහක කාලයක් ආයතනය වෙනුවෙන් සේවය කළ යුතුයි යන්නයි මේ ගිවිසුම.

නමුත්, මේ ගිවිසුම අතරමැදදී බිඳ දමා යන සියළු දෙනාටම දඬුවමකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එනම්, ආයතනය ඔහු හෝ ඇය, ගිවිසුම අ'තැර යන මොහොත දක්වා දරා තිබූ අධ්‍යාපනයට සහ පුහුණු වැටුප් ප්‍රමාණයන් නැවතත් ආයතනයට ලබා දිය යුතු බවයි. ඒත් එක්කම එම ප්‍රමාණය වගේ සියයට සියයක මුදලකුත් නැවත ආයතනයට ලබා දිය යුතු වෙනවා. නමුත් මෙහි කිසිම ස්ථානයක නීතිමය කරුණක් පිළිබඳව නම් සඳහන් කරලා නෑ.

නමුත් ආයතනයට ආර්ථික දුෂ්කරතා රාශියක් ඇති වෙන අවස්ථාවන් වලදී මේ ගිවිසුම කෙසේ වෙතත් ජීවත් වීම පවා අපහසු තත්ත්වයකට පත් වෙනවා; විශේෂයෙන් කොළඹින් පිටස්තර, එහෙත් කොළඹ පදිංචිව රැකියාවට පැමිණෙන ශිෂ්‍යත්ව ලාභීන්ට. ආයතනයේ ආදායම පහත වැටෙද්දී වැටුප් අග හිඟතාවන් සහ අතපසු වීම් වගේම පමා වීම් සිදු වීම නිසාවෙන් වෙනත් රැකියාවන් සොයන්නට ඕනෑම සේවකයෙකු පෙළඹීම අරුමයක් නෙවෙයි.

අධ්‍යාපනය වෙනුවෙන් දැරූ වියදම් ආපසු ගෙවීම සාධාරණ වෙතත්, ආයතනය වෙනුවෙන් සේවයේ යෙදී ආයතනයට කළ සේවයෙන් ඉපැයූ වැටුප ආපසු ලබා දීම නම් සාධාරණ දෙයක් නොවන බවයි මගේ මතය. වසරක් ලෙසින් සඳහන්ව තිබූ පුහුණු කාලය මාස සයකින් අවසන් වීම තවත් එක වාසියක්. නමුත් වක්‍රාකාරයෙන් ඊටත් වඩා වැඩි මුදලක් ආයතනය ලබා ගන්නට තැත් කිරීම තවත් අසාධාරණ තත්ත්වයක්. ඒ කෙසේද යත්, ශිෂ්‍යත්වලාභී සේවකයෙක්ගේ දක්ෂතාවයට සිදු වූ වැටුපේ සියළු වැඩි වීම් සහ දීමනා සියල්ලත් රැකියාවේ යෙදී සිටි සියලුම මාස සඳහා ආපසු ගෙවීමක් කළ යුතුය යන්නක් පහු ගිය කාලයක ප්‍රකාශ වුනා. මේ තමයි ඒ වක්‍රාකාර, අසාධාරණ, ගිවිසුමේ සඳහන් නොවූ අය කර ගැනීම. මේ ගිවිසුමේ සඳහන් තවත් නීතියක් විදියට සඳහන් වෙනවා, සියළුම අධ්‍යාපනික (සාමාන්‍ය පෙළ හා උසස් පෙළ) සහතික පත්‍ර වල මුල් පිටපත් ආයතනයට ලබා දිය යුතු බව. ඒවා ගිවිසුම කඩනා කිසිවෙකුට මුදල් ආපසු ගෙවනා තෙක් නොලැබීම තවත් අසාධාරණ තත්ත්වයක් විදියට දකින්නට පිලිවන්.

ගිවිසුමෙන් වෙන්ව යාම ආයතනයට කරනා දැඩි පාඩුවක් නම්, ආයතනයේ වසර තුනක් රැඳී හිඳ ආයතනය වෙනුවෙන් දහදිය මහන්සියෙන් කළ සේවාව වෙනුවෙන් ලද වැටුප එම ආයතනය වෙනුවෙන් ආපසු ගෙවිය යුතුද යන්න කාටත් සිතන්නට ඉතුරු කරන්නට පුළුවන් ගැටළුවක්. නමුත් ගිවිසුමෙන් ඈත් වීමෙන් ශිෂ්‍යත්වලාභී සේවකයන්ට සිදු වෙන තවත් දඬුවමක් විදියට ඈත් වූ සියළු දෙනාගේම නම් ගම් සහිත ලැයිස්තූන් සියළුම පරිගණක මෘදුකාංග සංවර්ධන ආයතන වෙත කළු ලැයිස්තූන් වශයෙන් ඉදිරිපත් කිරීමට ද සූදානමක් ඇති බවත් වරකදී ආයතන ප්‍රධානීන්ගෙන් මතු වූ අදහසක්. මන්දයත් ගිවිසුමෙන් ඉවත් වන්නන් හට ඉදිරි අනාගතයක් දැකීමට වෙනත් කිසිදු ආයතනයකින් ඉඩක් ලබා නොදිය යුතුයි අරමුණින් විය හැකියි.

මීට අමතරව තවත් මේ හා සම්බන්ධ කිව නොහැකි කාරණා රැසක්ද පවතිනවා. නමුත් මේ ගිවිසුමට එකතු වූ බොහෝ ශිෂ්‍යත්වලාභියන් අද ගිවිසුමෙන් ඈත්ව ගොස් බොහෝ කාලයක් ගත වී හමාරයි. මන්දයත් ලිපියේ පෙර කී ආර්ථික අපහසුතාවන් නිසාවෙන්. මම ද ඉන් එක් අයෙක්. ආයතන ප්‍රධානීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිවැරදි වූවා නම්, මේ තාක් ඉවත්ව ගිය දක්ශයින් සියළුම දෙනාගෙන් ආයතනයට ආලෝකයක් උදා වන්නට තිබුනත්, ඒ ඉඩ කඩ ආයතනය විසින්ම නැති කර ගත්තාක් හා සමාන දෙයකුයි දැන් දකින්නට ලැබෙන්නේ. ලැබෙනා වන්දි මුදලින් හෝ ආයතනයේ වැටුප් ගෙවිය හැකි වේ යන සිතැ'ඟිය ආයතන පරිපාලකයන්ගේ තවත් ළාමක සිතුවිල්ලක් වන්නට පිළිවනි. ඒ නිසා ගිවිසුම් අත්සන් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් අනාගතය ගැන හිතන්නට අවශ්‍ය බව මතක් කළ යුතුයි.

Sunday, October 17, 2010

කලින් පල කරපු ලිපියත් එක්කම මගේ සිය වන ලිපියත් පල වුනා. ලිපි ශතකයක්ම ලියලා ටිකක් මහන්සි වුනත් ලිවීම නම් අත හරින්නට කිසිම කල්පනාවක් මට තවමත් ඇති වෙලා නෑ. ඒ ගැන නම් මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ඒත් මගේ ලිවීමේ බරපතලකම මෑතකදී මට පැහැදිලි වුනා. ඒ මගේ මේ ලිවීම් වලට ලැබෙන පාඨක අදහස් නිසා නම් නෙවෙයි. මේ කතාව ගැන එකසිය එක් වෙනි ලිපියෙන්ම මම කියන්නට හිතුවේ නොකියාම බැරි කමටයි. ඒත් මේ වගේ දේවල් ඔයාලා හැමෝටම සිද්ධ වෙන්න හරි නොවෙන්න හරි පුළුවනි. කාට කාටත් දැන ගන්නටයි මේ ලිපිය ලියන්නට හිතුවේ. එහෙනම් ඔන්න දෙවෙනි ශතකයට මේ ලිපියෙන්ම මම ආරම්භය ලබා ගන්නම්.

මේ සිද්ධිය වුනේ පහුගිය ඔක්තෝබරයේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ, 2010 ඔක්තෝබර් මාසයේ අග භාගයේදියි. මම රැකියාවේ නිරත වූයේ කවුරුන් හැටියටද කියන එක ඔයාලා සමහර දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒක ආයෙමත් මතක් කලොත් හොඳයි කියලා හිතනවා. ඇත්තෙන්ම මම වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි සංවර්ධක ක්‍රමලේඛ යොදවන්නෙක් විදියටයි පහුගිය වසර තුනක කාලය පුරාවටම රැකියාවේ නිරත වූයේ.

ඉතින් කාලය ගතවෙලා යද්දී මට වගේම අපේ ආයතනයේ බොහෝමයක් දෙනාටත් තේරුම් ගන්නට බැරුව ගියා ආයතනයේ ඉදිරි දැක්ම මොන වගේ වේවිද කියලා. ඒ වගේම දැඩි අපහසුතා රාශියකටම රැකියාවේ යෙදුනු බොහෝ දෙනා මුහුණ පෑවා. කොහොමින් කොහොම හරි දාඩිය මහන්සියෙන් කරපු වැඩ වලට සරිලන මාසික පඩිය පවා මාස ගණන් පමා වෙන්නට පටන් ගත්තා. ලෝක ආර්ථික පසුබෑමක් 2009 වසරේ මුල් භාගයේදී හැම ආයතනයකටම වගේ දරුණු විදියට බලපෑවා. විශේෂයෙන්ම පරිගණක මෘදුකාංග සංවර්ධනයේ යෙදෙන ආයතන වලට. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටකට ඒ වගේ දෙයක බලපෑම, අනිවාර්යෙන්ම පුදුම වෙන්නට කාරණාවක් නම් නෙවෙයි. මේ බලපෑම නිසාවෙන් ආර්ථික අගහිඟතා වලට අවුරුද්දක්ම වාගේ අපේ ආයතනයත් 2008 අවුරුද්දේ ඉඳන්ම මුහුණ පෑවා. නමුත් දැන් ඒකේ බලපෑම ඉවත් වී තිබුණත්, තවමත් ගොඩ ඒමක් නැති පාටක් කාට කාටත් තේරුම් ගොස් තිබුනා.

මේ දේවල් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් හිටියා. අවසානයේදී ආයතනය සතුව තිබුණු වටිනා මානව වගේම ශ්‍රම සම්පත් රැසක් ආයතනය හැර දාලා ගියා. මේ දේවල් වලට ඇත්තෙන්ම ආයතනයේ ඉහල පරිපාලකයන්ගේ ක්‍රියා කලාපයත් බලපෑමත් එල්ල වුනා. සේවය කරපු බොහෝ දෙනා විවිධ අඩු පාඩු රැසකට මුහුණ දුන්නා. ගොඩක් දෙනා අමනාපෙන් ඒ දේවල් ගැන කතා කරා, බැන වැදුනා. මාසිකව ලැබිය යුතු වැටුප ඉල්ලා ලබා ගන්නා තැනටම පත්වුනා. මොකද එහෙම ඉල්ලුවේ නැතිනම් වැටුපක් ඒ මාසයට ලබන්නට හැකියාවකුත් නොතිබුණු නිසාවෙන්. මගේම මිතුරන් දැඩි අපහසුතා වලට මුහුණ දුන්නා. නවාතැන් වලට ගෙවනා මුදල ගෙවා ගැනීමටත් බැරි වුනා, සමහරු රෑට නොකා නොබී හිටියේ මාසෙට ලැබෙන මුදල මදි කමටමයි. ඇත්තෙන්ම මේ දේවල් බලාගෙන ඉන්නට බැරුව ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා සමගින් කතා බහ කළ බොහෝ දෙනාට සිද්ධ වුනේ තමන්ගේ නමට කළු ලකුණු එකතු කර ගැනීම හෝ ආයතනයෙන් ඉවත්ව යාම හෝ පමණයි.

මේ හේතුව හැරුනු කොට මා වැඩ කළ අංශයේ හිටි හැම දෙනාටම එක ව්‍යාපෘතියකට වඩා ප්‍රමාණයක් තනිවම කිසිම මග පෙන්වීමකින් තොරව කරගෙන යාමටත් සිද්ධ වෙලා තිබුණා. මේ ක්‍රමයත් ඒ තරම් හොඳ දෙයක් කියලා දකින්නට පුළුවන්කමක් තිබුණේ නෑ. මේ හේතූන් නිසාවෙන් ආරම්භ කරනා කිසිම ව්‍යාපෘතියක අවසානයක්, ඇරඹුණු ව්‍යාපෘති සියයට අසූවකම පාහේ දැක ගන්නට ලැබුණේ නෑ. ඒ දැනුම පමණක්ම ලබා දෙනවා හැරුණු කොට නිසි පිළිවෙලක්, මග පෙන්වීමක් නොලැබුණ නිසාවෙන් වගේම, විවිධාකාරයේ ක්‍රියා පිළිවෙලවල් ක්‍රියාවට නංවන්නට උත්සාහ ගැනීම් නිසාවෙන්. ලියකියවිලි පිරවීම් හැරුණුකොට වෙබ් අඩවි සංවර්ධන කාර්යයන් බෙහෙවින් අතපසු වීමත්, කල් ගත වීමත් අනිවාර්යෙන්ම දකින්නට ලැබුණු දෙයක් වුනා.

මේ හැම දෙයක්ම එකතු කරගෙන, හැමෝගෙම අඳෝනාවල්, මති මතාන්තර, කියුම් කෙරුම්, හැසිරීම් ද අන්තර්ගත කරගෙන සුදුසු මාතෘකාවක් යොදාගෙන මට කවි පෙළක් ලියන්නට සිහියට ආවේ ඒ වගේ අවස්ථාවකදීයි. ඒ කවි බොහෝ විට ලියැවුනේ ඉතාමත්ම ආවේගශීලී ස්වරයකින්. ඒ නිසා බොහෝ දෙනාට ඒ කවි පෙළින් රිදීමේ හැකියාවත් දැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තිබුණා. හැබැ‍යි එකක් කිවයුතුමයි. මේ දේට කිසි කෙනෙකුගේ මග පෙන්වීමක්, උසි ගැන්වීමක් නම් මට ලැබුණේ නෑ. මේ සිතුවිලි හිතට එන හැටියට වචන ගලපලායි ඒ කවි පේළිය ලියැවුනේ. මේ කවි පෙළ පල වුනේ මගේ කවි නිර්මාණ එකතුව වුනු නිශා පෙම් හසරැල් බ්ලොග් අඩවියේයි.

මේ කවි පෙළට පළමුව, ආයතනයේම සොයුරියකගේ කවි පෙළකට ලියවුනු තවත් කවි පෙළකට මුළු ආයතනයේම බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ලැබුණා. ඒ මොකද ඒ දෙයින් කියා තිබූ දේවල් ඒ හැමෝම පිළිගන්න නිසාවෙන්. ඒ කවි පෙළ කිසිම අයෙකුට වැරදි කියූවක් නම් නෙවෙයි. නමුත් ඒ අයගෙන්ම සමහර දෙනා මේ සිද්ධියටත් සම්බන්ධ බව පස්සේ දැන ගන්නට ලැබුණා. මා කලින් කීවාක් වගේම බොහෝ දෙනාගේ වැරදි, අඩු පාඩුකම් සහ ආයතනයේ වැරදි රැසක් අන්තර්ගත කරලා ලියැවුණු මේ දෙවෙනි කවි පෙළ ආයතන ප්‍රධානියා වෙත යොමු කළේ මුලදී ආයතනයේ අඳුරු පසුබිම පිළිබඳව ලියැවුනු කවි පෙළට ප්‍රශංසා පල කළ උදවියගෙන් සමහර දෙනා විසින්මයි. එකට ඉන්නා බොහෝ දෙනා හතුරන්ටත් වඩා හපන් බව වටහා ගන්නට බොහෝ දෙනාට මගේ කවි පෙළ උදව්වක් වුනා කියන්නත් පුළුවනි. නමුත් මේ කවි පන්ති පිළිබඳව ආයතන ප්‍රධානී තුමන් හට මගේ නමත් සමගමයි දැනුම් දී තිබුණේ. ඒ නිසා කෙළින්ම දෝශාරෝපණය එල්ල වූයේ මට වගේම මා වැඩ කළ අංශයේ කීප දෙනෙකුටයි.

මතක් කළ යුතු අනිවාර්ය දෙයක් තියෙනවා. එනම් මේ කිසිම කවි පෙළක කිසිම අයෙකුගේ හෝ කිසිම ආයතනයක නමක්, ගමක් සඳහන් කර නොතිබීමයි. නමුත් අවසානයේදී නමත් හමත් යන්නට හේතු වූයේ ඒ දේමයි. මීට ප්‍රධානතම හේතුව වූයේ නිවැරදි තොප්පිය නිවැරදි පුද්ගලයන් විසින්ම පැළඳ ගැනීම නිසායි. ඒ වගේම මේ සම්බන්ධව සියළු ඇත්ත කාරණා ආයතන ප්‍රධානියා සමග කතා බහ කරන්නතත් මම වග බලා ගත්තා. මොකද, ඇත්ත කියන්නට බය නොවිය යුතු නිසාවෙන්. ඒ වගේම කවි පේළි වලිනුත් පැවසූයේ සත්ත්‍යයක් නිසාවෙන් බය වෙන්නට කිසිම කාරණාවක් තිබුණේ නෑ.

අවසානයේදී ආයතනයේ ප්‍රධානී තුමන්ගේ ඉල්ලීම මත ගන්නට තීරණ දෙකක් මට ඉදිරිපත් වූවා. පළමු එක, ආයතනයේ මාසික සභා රැස්වීමේදී නැගිට සැමගෙන්ම සමාව අ‍යැදීම හෝ සේවයෙන් බැහැරව යාමයි. මින් මා තෝරා ගත්තේ දෙවැනි තීරණයයි. ජීවිතයේ ගත් දැඩි තීරණ වලින් එකක් හැටියට මේ තීරණය ගැන කියන්නට පිළිවන්. ඒ තීරණය දැඩි වන්නට කරුණු කාරණා රැසක් තිබුණා. එනම් ආයතනය අප වෙනුවෙන් දැරූ මුදල් සම්භාරයක් නැවත ආයතනයට ලබා දීමට තිබූ අපහසුතාව වගේම අභියෝගය. ඒ සම්බන්ධවත් කිව යුතු කරුණු රැසක් තියෙනවා. තමන් විසින් තමන්ගේම හම යවා ගන්නා තීරණයක් කීවොත් වඩාත් නිවැරදියි. ඒ ගැනත් තවත් ලිපියකින් දන්වන්නම්. නමුත් මගේ අවසාන තීරණය දැනුම් දීමත් සමගම මා නැවත ආයතනයේ තබා ගන්නටත් ඔවුන් බොහෝ උත්සාහයක් දැරූ බව මට තේරුම් ගියා. ඒ මන්දයත් බොහෝ ව්‍යාපෘතීන් වෙනුවෙන් මාගේ සහභාගීත්වය පැවතීමත්, ආයතනය මා පිළිබඳව තබා තිබූ දැඩි විශ්වාසයත් නිසාවෙන්. නමුත් මගේ ජීවිතේදී නම් අවසාන තීරණයක් කියන්නේ, අවසාන තීරණයක්ම තමයි. මිතුරු වෙසින් සිටි සමහරුන්ට මගේ කවි පෙළින් සිදු වුනු රිදවීම නිසාවෙන්, ඔවුන් සිදු කළ කේලම් කීම නිසාවෙන් ඔවුන් ආශ්‍රය කිරීමට කිසියම් ම කැමැත්තක් නොවීමත් මේ තීරණයට ලොකු පිටිවහලක් වුනා කීවොත් නිවැරදියි.

මේ ලිපිය මේ විදියට අවසන් වෙද්දී අද එම ආයතනයෙන් පිටව සිටිනා මා, ජීවිතයේ හොඳ වැදගත් පාඩමක් වගේම අත්දැකීමකුත් ලැබුවා කියන්නට පුළුවනි. ඔයාලටත් මෙවැනි දේ සිද්ධ වෙන්නට පිළිවන්. මා මේ ලිපියේ සඳහන් කරපු තමන්ගේ හම තමන් විසින්ම ගලවා ගැනීම සම්බන්ධයෙනුත් ලිපියක් අනිවාර්යෙන්ම පල කරන්නම්. නමුත් එවන් දෑ සිදු නොකිරීමටත් වග බලා ගත යුතු බව මතකයේ තබා ගැනීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මගේ සිතුවිලි හෙළි කිරීමට ඇති නිදහස එම ආයතනය වැළකූවා නම්, ඒ එම ආයතනය තුළ ගත කළ ඒ අවසාන කාලය තුලදී පමණක් බවත් මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මාගේ ලිවීම කාගේ හිත් රිදවූවත් ඔවුනොවුන් අමනාප වන්නට මත්තෙන් හිතන්නට යමකුත් ඒ තුල ඇතුලත්ව ඇති බවත් සිහි නගා ගත යුතු බව තවදුරටත් මතක් කළ යුතුව තිබෙනවා.

Saturday, October 16, 2010

ලංකාව කියන්නේ තොරතුරු තාක්ෂණය අතින් අනිත් රටවලට සාපේක්ෂව ඉතාමත්ම පහළ මට්ටමක පැවතුණු රටක් කියන්නට පුළුවන්. ඒත් මේ තොරතුරු තාක්ෂණයේ නව පිමි බොහෝමයක්ම මෑත කාලයේදී දකින්නට හැකියාවක් ලැබුනා. තොරතුරු තාක්ෂණ උපාධි දරා ගෙන විශ්ව විද්‍යාල වලින් එළියට එන පිරිසගෙන් දකින්නට නොලැබෙන, තාක්ෂණ ලෝකයට වෙනත් විවිධ අංශ වලින් සේවයක් සිද්ධ වුනු කාලයක තමයි අපි දැන් මේ ජීවත් වෙමින් සිටින්නේ.

ඉක්ටා (icta - infromation and communication technology agency) ආයතනය හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාර්යංශය රටේ තොරතුරු තාක්ෂණය ඔප් නංවන්නට ඉතාමත් දැඩි වූ වෙහෙසක් ගන්න බව හැම අතින්ම පෙනීගෙන යනවා. නැණ සල වගේ අන්තර්ජාල පහසුකම් සලසන ස්ථාන රටේ හැම තැනකම බිහි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒවා පරිහරණය කරනා පිරිසත්, ලොකු කුඩා භේදයකින් තොරව ඒ වටා නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ කරුණු කාරණා නිසාවෙන් රටේ තාක්ෂණ දැනුම රටේ ජනතාව තුල වර්ධනය වීමක් ද පෙන්නුම් කරනවා.

මෑත භාගයේදී මෘදුකාංග සංවර්ධන ක්ශේත්‍රයේත් විශාල වෙනස්කම් කීපයක් සිද්ධ වුනා. මේ වෙනස්කම් ශ්‍රී ලංකාවේ අපිට ආඩම්බර වෙන්නට පුළුවන් කාටත් ප්‍රයෝජනවත් වෙන තොරතුරු තාක්ෂණික සංවර්ධිතයන්. උදාහරණයක් වශයෙන් කීවොත් යුනිකේත තාක්ෂණයෙන් සිංහල භාශාව ලේසියෙන් පහසුවෙන් ලිවීමට ක්‍රමවේදයක් ඇති කිරීමත්, ඊට අදාළ වන මෘදුකාංගයන් නිශ්පාදනයත්, දක්වන්න පුළුවනි. ඒ වගේම අන්තර්ජාතිකව නමක් දිනූ දැවැන්ත ආයතන වල මෘදුකාංග නිශ්පාදනයන්ගේ භාෂා අන්තර්ගතයන් අතරට සිංහල භාශාව ඇතුලත් කිරීමත් අමතක කරන්න බැරි හොඳ දෙයක්. විශේෂයෙන්ම මයික්‍රෝසොෆ්ට් ආයතනය නිපදවූ වින්ඩෝස් (windows) මෙහෙයුම් පද්ධතියේ විස්ටා (vista) වගේම සෙවන් (7 seven) මෙහෙයුම් පද්ධති වලට සිංහල භාශාව ඔබ්බවා තිබීම ගැනත් මතක් කරන්නට පුළුවනි.

ක්‍රීඩා ලෝලීන්ට නම් සුභ ආරංචියක් විදියට ලාංකීය දැනුම් සම්භාරයන් පිට රටට ගැති නොකරවමින් අදාළ දැනුම් සම්භාරයන් ලබා ගනිමින් නිපදවන සිංහල පරිගණක ක්‍රීඩාවන් ගැනත් නොකියාම බැරි තරම්. "කළම්බෝ රයිඩ්", "තොප්පිගල" වගේම "අබා" නමින් ත්‍රිමාණ සජීවීකරණ ක්‍රීඩාවන් නිශ්පාදනය කිරීම මීට හොඳ උදාහරණයන් වෙනවා. ඒ වගේම ජංගම දුරකතන වල සිංහල භාශාව අඩංගු කරවීමත්, ජංගම දුරකතන වලටම නිමවන ක්‍රීඩා ආයිත්තම්ගෙන් පවා මේ බව හොඳින්ම පැහැදිලි වෙනවා. ඉන් සියයට අනූවක්ම පිට රැටියෝ.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයත් ලංකාවේ අනන්න්‍යතාවය තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ ඉහලින්ම තහවුරු කරන්නට උදව් උපකාර ලබා දෙන තවත් මිතුරෙක් වෙනවා. විදේශීය තාක්ෂණයට අනුකූලව සිනමා ශාලාවන් පවා නිර්මාණය කරන්නට නුදුරු අනාගතයේ අවස්ථාවන් උදා වෙන බවත් කියන්නට ඕනේ. ඒ සෑම දෙයක්ම තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් අපි ලද ජයග්‍රහණයන් වෙනවා.

තොරතුරු තාක්ෂණයේ මහිමයෙන් අද සිංහල බසින් කලාව ඔප්නංවන බොහෝමයක් දෙනා බ්ලොග් රචනා කරන්නටත් යෙදීම සිත් ඇද ගන්නා සුළු ප්‍රවණතාවයක් වෙලා. අපි ඔබ හැම දෙනාටම තොරතුරු තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන රටේ යම්තාක් දුරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට ඒ දැනුම යොදවන්නට නියමිත කාලය උදා වී ඇති බව අනිවාර්යෙන්ම කිව යුතුයි.
ඔන්න ඉතින් පහුගිය තුන්(3) වෙනිදා, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් මාසයේ තුන් වෙනිදායින් ආරම්භ කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා මහෝත්සවයට විතරක්ම දෙවෙනි වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මහෝත්සවය අපේ අසල්වැසි ඉන්දියාවේ දිල්ලි නුවරදි බොහෝමයක් බාධක කම්කටොළු මධ්‍යයේ, අවසානයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. මේ තත්ත්වයට එන්නට බොහෝ දෙනාගේ උදව් උපකාර වගේම හොඳ හොඳ පාඩනුත් ඒ රටේ ජනතාවටත් ලොකු ලොකු තනතුරු දරන උදවියටත් ඉගෙන ගන්නට සිද්ධ වුනා. මේ තාක් කල් පැවැත්වුනු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි අතරින් නරක නාම වැඩියෙන්ම අහන්නට ලැබුනු තරඟාවලිය, මෙවර පැවැත්වුණු දහ නව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය වෙන්නත් පුළුවන්.

ඔය ඉතින් 2010 වසරේදී ඉන්දියාව ලබපු ලොකු ජයග්‍රහණයක්. මීලඟ ජයග්‍රහණය හිමි වෙන්නේ තවත් රටකට 2014 වසරේදී. ඒ ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ (Glasgow) නුවරට. ඒත් ඊට පස්සේ එළැඹෙන 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන රට මොකද්ද කියලා ඔයාලා දන්නේවත් නැතුව ඇති. ඒත් සමහරු නම් මේ වෙද්දිත් දන්නවා ඇති. ඇත්තෙන්ම ඒ රට මොකද්ද කියලා තවමත් තීරණය කරලා නෑ. නමුත් 2018 වසර සඳහා තරඟාවලිය පැවැත්වීමට සුදුසු රට තෝරා ගැනීමේ තරඟය ඔන්න දැන් පටන් අරගෙනයි තියෙන්නේ. ඒ තරඟකරු යුගලය වන්නේ, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ පිහිටි ගෝල්ඩ් කෝස්ට් නගරය සහ ශ්‍රී ලංකාවේ දකුණු දිග් බාගයේ හම්බන්තොට නගරයයි. මේ හීනය සැබෑ වෙයිද?

ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ සිහිනය සාර්ථක වෙනවා නම් වඩාත් කැමතියි. කවමදාකදි ඔලිම්පික් තරඟාවලියක් නැරඹීමට යන්නටවත් හැකියාවක් නැති අපි-ඔයාලට මේ වගේ අවස්ථාවක් අපේ රට තුලදීම ලැබීම එක අතකට වාසනාවක් විදියට සලකන්නට පුළුවනි. ඒ වගේම මින් සිද්ධ වෙන රටේ සංවර්ධන සීඝ්‍රතාවේ වර්ධනයත් තවත් ඉහළ යාවි. මොකද හම්බන්තොට නගරය 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩල තරඟාවලිය පැවැත්වීමට නියම වූවොත්, පෙර දැනුම් දුන් නිෂ්චිත කාලයක් ඇතුලතදී අනිවාර්යෙන්ම ඒ සඳහා සූදානම් විය යුතුව තියෙන නිසා.

අපේ රටට මේ අභියෝගය බාර ගන්නට අත හිත දෙන තවත් රාජ්‍යයක් තියෙනවා. ඈත අතීතයේ සිටම ලංකාවත් එක්ක මිත්‍ර සබඳතා පවත්වපු චීනය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සියළු වියදම් දරා සෑම අංගෝපාංගයන්ගෙන්ම සමන්විත ක්‍රීඩා ස්ථාන ශ්‍රී ලංකාවේ ඉදි කිරීමටත් සූදානම්ව සිටින බවත් සතුටින් කියන්න පුළුවනි. ඒ නිසාවෙන් ලංකාවට කිසිම බයක් සැකක් නොමැතිව මේ තරඟාවලියට සූදානම් වීමේ හැකියාවක් ලැබේවි. ඉහළ පන්නයේ ක්‍රීඩා පිටි නිර්මාපකයන් අතර ඉහළින්ම සිටින රටක් හැටියට චීනය දැවැන්ත නමක් මුළු ලෝකය පුරාම දිනලා තියෙනවා. ඒ ගැන බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීත් ඔප්පු වුනා මතකයිනේ? ඒත් මේ මොන දේ වෙන්නත් ලබන වසරේ, ඒ කියන්නේ 2011 වසරේ නොවැම්බරය වන තෙක්ම ඉන්නට සිද්ධ වෙනවා. ඒ, තෝරා ගත් රට කුමක්ද කියා ප්‍රකාශයට පත් කෙරෙන්නේ එවිට නිසාවෙන්.

දකුණුකරේ අයෙකුම රටේ මූලික ස්ථානය හොබවන නිසාවෙන්ම දකුණුකරය හැම අතින්ම රටේ ස්වයංපෝශිත නගරයක් කරන්නට ඔහු උත්සාහ දැරීම සැකයට කාරණාවක් නෙවෙයි. දැනටමත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවනේ. උදාහරණයක් විදියට කීවොත් මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල වගේම හම්බන්තොට වරාය. ඒ විතරක්ම නෙවෙයි, කටුනායක නගරයේ ඉඳලා අධිවේගී දුම්රිය මාර්ග සේවයක්ද නිම කිරීමට සැදී පැහැදී සිටිනවා. ඒ වගේම, අධිවේගී මර්ග පවා අද ඉදි කෙරෙමින් පවතින නිසා රටේ යම් යම් අංශ වල දියුණුවක් දකින්නට පුළුවන් වෙනවා.

කොහොමින් කොහොම හරි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව තේරීම ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තීරණයක් වේවි. සංචාරක කර්මාන්තයේ වර්ධනයට වගේම දියුණුවටත් ඒක උපකාරයක් වේවි. ඒ විතරක් නෙවෙයි අති විශාල ප්‍රමාණයකින් රටේ යටි තල පහසුකම් වර්ධනය වීමකුත් සිද්ධ වේවි. අති දැවැන්ත අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා උධ්‍යානයක් මේ වෙනුවෙන් නිම කිරීමට යෝජිත වෙලා තියෙනවා. ක්‍රීඩා මණ්ඩප තිහකින් පමණ නවීණ තාක්ශණය වගේම පහසුකම් ඇතුලත්වයි මේ ස්ථාන අළුතින්ම ඉදි කෙරෙන්නේ. නමුත් තීරණය තවමත් අවිනිෂ්චිතයි. චීන ජනරජයේ උපකාරීත්වයත් ඇතිව සිද්ධ වෙන මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට පාට පක්ෂ නොසලකා හැරලා සහයෝගය දෙන එක ලාංකිකයන් හැටියට බොහොමත්ම වැදගත් වෙනවා.

ඉතින් ඔයාලත් කැමතිද මේ සිද්ධ වෙන්න යන විපර්යාසෙට? හැබැයි ඉන්දියාවේ සිද්ධ වුනා වගේ නාස්තියක් සහ දූෂණයක් සිද්ධ නොවේවා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. පරිසරයටත් හිතකාමීව සිද්ධ වෙනවා නම් තමයි වඩාත් හොඳ. අපේ රට ලෝකයටම බබළවලා පෙන්නන්නට ඔයාලත් කැමතිද? හිතන්නට කාරණා බොහෝමයක් මේත් එක්කම මතු වෙනවා. දේශපාලනික මති මතාන්තර රාශියක් මේත් එක්කම පැන නැගේවි. ඒත් අනාගතයේ දකින්නට ලැඹෙන සංවර්ධන ක්‍රියා පිළිවෙතක් නිසාවෙන් ඊට සහයෝගය දැක්වීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක් විදියටයි මම දකින්නේ. ඔබේ අදහස් වලට මෙතැන ඉඳන් ඉඩ කඩ තියෙනවා.

Sunday, October 10, 2010

සමහර විට බොහෝමයක් බෞද්ධයන් දන්නේ නැතිව ඇති මේ දේ ගැන. මොකද මේ ලිපියේ මාතෘකාව අපේ බෞද්ධ ජනතාවට බොහෝමත්ම වටින කාරණාවක් වෙන නිසාවෙන්. ඒත් චාරිත්‍රයට හරි නැත්නම් පුරුද්දට හරි පරම්පරාවෙන් හරි දායාද වෙලා තියෙන දැනුමක් නිසා පිළි ගන්න දෙයක් වෙලා.

බෞද්ධයන් හැටියට අපි දන්න දෙයක් තමයි බුදු රජාණන් වහන්සේ අපේ රටට තුන් වතාවක් ම වැඩම කළ බව. ඒ පළමු වරට මහියංගනයටත්, දෙවෙනි වතාවෙදි නාගදීපයටත් සහ තුන් වෙනි වතාවෙදි කැළණියටත් යනාදී වශයෙන්. මේ වැඩම වීම් සිද්ධ වුනේ මේ ප්‍රදේශ වලට පමණක් නම් නෙවෙයි. ඒ බව අපිට සුපුරුදු ගාථාවකින්ම දැන ගන්නට පුළුවන්. "මහියංගනං නාගදීපං කළ්‍යාණං පදලාංඡනං..." ආදී වශයෙන් කියැවෙන ගාථාව බෞද්ධ බොහෝ දෙනා දන්න කියන ගාථාවක්. මේ ගාථාවෙන් කියැවෙන්නේ බුදු රජාණන් වහන්සේ අපේ රටට වැඩම කළ අවස්ථාවන් වලදී වැඩ සිටි අපි පූජණීයත්වයෙන් සළකන ස්ථාන දහසයක් ගැන. මේ ගාථාව අපි හඳුන්වන්නේ සොළොස්මස්ථාන වන්දනා ගාථාව කියලායි. ඒ, බුදු පා පහස ලද ස්ථාන දහසයක් ගැන කියැවෙන නිසාවෙන්.

මේ ගාථාවෙන් කියවෙන එක ස්ථානයක් ගැනයි මේ ලිපිය ලියන්නට හේතු පාදක වුනේ. මොකද අපේ බෞද්ධයින් යන වැරදි මාර්ගයකින් ගලවා ගන්නට පොඩි හරි උදව්වක් වේවි කියන හැඟීමෙන්. මිත්‍යා ධර්ම පස්සේ අන්ධ භක්තිකයන් වගේ අපේ බෞද්ධයින් දුවන දිවිල්ලෙන් ඔවුන්ව ගලවා ගන්නට අංශු මාත්‍රයකින් හරි මේ ලිපිය උදව් වේවි කියලා මම හිතනවා.

මේ ගාථාවේ එක ස්ථානයකදී කියවෙනවා "...තථා කාඡරගාමකං..." කියලා ස්ථානයක් පිළිබඳව. මේ තැන මොකද්ද ඇත්තටම. මේ තමයි අපේ රටේ දකුණු පළාතේ තියෙන කතරගම කියන ප්‍රදේශය. ඒ කියන්නේ "කාඡරගාම" හෙවත් කතරගම කියන්නේ බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයට පත් වුණු උතුම් පුද බිමක්. මේ කතරගම ප්‍රදේශයේ ආගමික දර්ශණ දෙකොට්ඨාසයකට අදාල ආගම් දෙකක පූජා ස්ථාන දෙකක් ඉදි කරලා තියෙනවා. එකක් තමයි බෞද්ධ සිද්ධස්ථානයක් වෙන කිරි වෙහෙර. ඒ බුදු රජුන්ගේ වැඩමවීම සනිටුහන් කරනුවස් ඉදි වුනු ස්ථූපයක්. අනිත් අතට හින්දු භක්තිකයන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරනු ලැබූ කතරගම දේවාලය. මේ පූජා භූමි දෙකම පිහිටලා තියෙන්නේ කතරගම ප්‍රදේශයේ.

නමුත් තියෙන ගැටළුව නම්, බෞද්ධයින් වැඳ පුදා ගන්නට මුලින්ම යන්නේ කිරි වෙහෙරටද යන්නයි. හින්දු භක්තිකයින් කිරි වෙහෙර වඳින්නට පැමිණෙනවාද යන්නයි. බෞද්ධයෙක් කතරගම යා යුත්තේ කිරි වෙහෙර වන්දනා කිරීමට මිසක කතරගම දේවාලය වන්දනා කරන්නට නම් නෙවෙයි. අපේ රටේ බිහි වුන තවත් එක් සංස්කෘතික පසුබිමක් බැලීමට යනවා කියන අරමුණින් කතරගම දේවාලය බැලීමට යාම වරදක් නෙවෙයි. ඒත් පුද පූජා, බාර හාර පැවැත්වීමට කතරගම දේවාලයට යාම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්. බුදු රජාණන් වහන්සේ වැඩම කළ ස්ථානයක් වන්දනා කිරීමට යනවාය කියනා හැඟීමෙන් කතරගම යන කෙනෙකුන් හට කුසලානිසංස රැස් වෙනවා වගේම, කතරගම දේවාලය වන්දනා කිරීමට යන අරමුණින් කතරගම යන බෞද්ධයිනට ඒ දිහාවට තබනා පියවරක් පාසාම අකුසල කර්ම රැස් වෙනවා.

ඊට හේතුවක් තියෙනවා. බුද්ධ දේශනයේ හැටියට බෞද්ධ දර්ශනය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ශණය මත පදනම් වුනු ධර්මයක් වීමත් හින්දු දහම නිත්‍ය, සුඛ, ආත්ම මත පදනම් වුනු දහමක් වීමත්, බුදු දහම වැනි නිර්මල දහමක සිට බුද්ධ දේශනාවට නමස්කාර කරමින් හින්දු දහමේ ගැතියන් වීමට යාම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ හට කරන නිගාවක් වෙන නිසාවෙන්. "කතරගම යමු" කියන වහාම බොදුනුවෙකුට මුලින්ම මතකයට එන ස්ථානය කතරගම දේවාලය නම් ඒ ඔහු කර ගන්නා තවත් අකුසල කර්මයක් වෙනවා.

මගේ කලින් ලිපි කිහිපයකම මම සඳහන් කළා බාර හාර පුද පූජා පැවැත්වීමෙන් කිසිවක් ලබන්නට කරන ඉගැන්වීමක් බුදු දහමේ නොමැති බව. එය එසේ නම්, කතරගම දේවාලයේ සිටිනා දෙවි වරුන්ගේ ආශිර්වාදය ලබන්නට බුදු රජාණන් වහන්සේ වැඩි පුද බිම අමතක කරන්නට තරම් බෞද්ධයන්ගේ හිත් මිත්‍යා දෘශ්ඨීන්ට මොන තරම් නම් යට වෙලාද යන්න ගැන දෙවරක් සිතිය යුතු කරුණක් වෙලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෙකු කතරගම යා යුත්තේ කිරි වෙහෙර වැඳීමට මිසක කතරගම දේවාලයේ ඉන්නා දෙවියන්ගේ බැල්මට හසු වීමට නොවෙන බව මතක තියා ගත යුතු වෙනවා. ඒ නිසා බෞද්ධ කම රැක ගන්නට මිත්‍යා අන්ධකාරයෙන් ගැලවෙන්නට අපේ බෞද්ධ හැමට නුවන පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Saturday, October 9, 2010

පවුලක් පුංචි වෙන තරමටම නඩත්තුවත් ලේසි පහසු දෙයක් වෙනවා කියලා සමහරෙක්ට හරිම ලේසියෙන් කියන්න පුළුවන් වේවි. මොකද මේ සංකල්පය දැනට ක්‍රියාත්මකව පවතින්නේ චීනය, ජපානය වගේ ජනගහණය අධික රටවල නේ. ඒ නිසා ඒ රටවල රජය විසින්ම පවුල් සංස්ථාවේ වැඩීම පාලනයට පත් කරලායි තියෙන්නේ. ඒ රටවල් පැත්තකින් තිබ්බොත් අපේ රටේත් ඔය කාරණාව යම් කාලයකින් පස්සේ මුල් බැසගෙන තියෙන සංකල්පයක් වෙලා.

මේ වගේ සංකල්ප ගොඩ නැගීමට වගේම ඒවාට අනුකූලව පවුල් සංස්ථාව නිර්මාණය කරන්නට බොහෝ දෙනාට හේතු වෙන එක ප්‍රධාන කාරණාවක් තමයි ජීවන බර වැඩි වීම. එහෙමත් නැති නම් උවමනාවක් නැති වීම. මීට අමතරව සංස්කෘතිකමය වෙනස්කම් පවා වක්‍රාකාරයෙන් මීට හේතු භූත වෙනවා කියන්නට පුළුවනි. ඒ බටහිරින් පැමිණි කුඩා පවුල් ක්‍රමය නිසාවෙන්.

ඇත්තටම අද මේ රටේ පවුලක් ගත්තොත් ඒ පවුලේ බොහෝ විට තුන් දෙනෙක්ගෙන්, හතර දෙනෙක්ගෙන් විතරක්ම සීමා වෙනවා. මේ පුද්ගල ප්‍රමාණයෙන් ආච්චී සහ සීයා කියන පුද්ගලයන් ඉවත් කළ යුතු බව මතක තියා ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අද කාළයේ පවුලක් බොහෝ විට දරුවන් එක්කෙනෙක්ගෙන් හෝ දෙන්නෙක්ගෙන් පමණයි සමන්විත වෙන්නේ. මේක ඒ පවුලේ නඩත්තුවට ලොකු පහසුවක් වෙන්නට පුළුවනි. ඒත් ඒක විවිධ කාරණා හේතුවෙන් අභාග්‍ය සම්පන්න දෙයකුත් වෙනවා.

පවුල් වල ප්‍රශ්ණ ඇති වෙන්නටත් මේ ආකාරයේ පවුලක කුඩා කම හේතු පාදක වෙනවා. විශේෂයෙන්ම දරුවන් අතරේ උද්ගත වෙන ප්‍රශ්ණ නිසා. මේවා දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලකදී විසඳන්නට ඔවුනොවුන් අතරට කිසිවෙකුගේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැති තරම්. ළමා අවධියේ ඉඳන්ම දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලක එකිනෙකා අතරේ ඇති වෙන වරප්‍රසාධ සඳහා වෙන සටන්, එකිනෙකාට ඉර්‍රශ්‍යයා කිරීම් වැඩි මහළු වෙද්දීත් ඒ ආකාරයෙන්ම දකින්නට පුළුවන්.

ඒත් මීට දශක කීපයකට පෙර හිටි අපේ ජනතාව පුංචි පවුල රත්තරන් කියලා නම් හිතුවේ නෑ. ජීවන බර කොයි තරම් වැඩි වුනත් දරුවන් පස් හය දෙනෙක් අවමයේ තබා ගෙන දුසිමකටත් වඩා උපරිමයක් කරා ගිය අවස්ථාවන් අපේ ආච්චිලා සීයලාගෙන්ම අහන්නට අපට ලැබිලා තියෙනවා නේද?

මේ වගේ කුටුම්බයක් ඒ කාලයේ විතරක්ම නෙවෙයි, එහි වාසය කළ දරුවන් මේ වන විටත් එකමුතුව එකිනෙකා සමග සහයෝගයෙන් ආදරයෙන් ජීවත් වෙනවා කීවොත් පිළිගන්න අමාරු කාරණයක් වේවි බොහෝ දෙනාට. ඒත් ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් වුනු දෙයක්. මේ වගේ විශාල පවුලක සතුට, සමගිය දශක ගණනාවක් ගත වුනත් මේ දක්වාමත් නොකැඩී නොබිඳී පවතින දෙයක්. මේ වගේ දරුවන් පස් හය දෙනා ජීවත් වෙන පවුලකදී ඔවුන් එකිනෙකා අතරේ ආරවුල් ඇති වුනත් අනිත් සහෝදර සහෝදරියන්ගේ මැදිහත් වීම නිසාවෙන් ඔවුනොවුන් අතරේ ඇති වෙන තරහ මරහ වල පැවැත්ම ඉතාමත් කෙටි කාලීනයි. එකිනෙකා උදව් කර ගැනීම වගේ දේවල් ඇති තරම් මේ වගේ පවුල් වල දකින්නට පුළුවන්. එකෙකු වැටෙද්දී ඔහුට හෝ ඇයට වැටෙන්නට ඉඩ නොදී ඔසවා තබා ගන්නට එකිනෙකා අතරේ තියෙන ලේ බැඳීම බෙහෙවින්ම ඔවුනට උපකාරී වෙන දෙයක්.

එවැනි පවුල් වල දෙමාපියන් නොකා නොබී දරුවන්ට ලබා දෙන සැප සම්පත් පසු කාලයකදී ඒ හැම දරුවෙකුගෙන්ම ඒ දෙමාපියන් හට අනිවාර්යෙන්ම ලැබෙනා බව සමාජයේ වෙසෙන බොහෝමයක් එවැනි පවුල් වලින් දකින්නට පුළුවන් දෙයක්. ඒත් අවාසනාවකට අද ලොකු පවුල රත්තරන් කියනවා වෙනුවට පුංචි පවුල රත්තරන් කියන සංකල්පය අපේ රටේ පවුල් සංස්ථාවට තදින්ම කා වැදිලා තියෙන අභාග්‍ය සම්පන්න කරුණක් වෙලා.

අද පවුල් වල දකින්නට ලැබෙන්නේ එක දරුවෙක් හෝ දෙන්නක් විතරමයි. තනියම ඉන්නා දරුවෙකු දකින ලෝකය හරිම ආත්මාර්ථකාමී ලෝකයක් කියන්නට පුළුවන්. ඒ වගේම සමාජයේ ඇසුරින් කුඩා කාළයේදීම ඈත් වූවෙකු වෙන්නත් පුළුවන්. මොකද සහෝදර සහෝදරියන් හත් අට දෙනෙකු ඉඳීමම ඔවුන් එකිනෙකාට සමාජය නිවස තුලදීම දකින්නට ලැබෙන අවස්ථාවක් නිසා. දෙදරු පවුල් පිළිබඳව කියන්නට ඇත්තේද ඒ වගේම දෙයක්.

මේ කාරණාව වැඩිපුරම බලපා තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාවටයි. ඇත්තෙන්ම මුස්ලිම් පවුලක දරු මල්ලන් පස් හය දෙනෙක් අඩු තරමින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජාතිය අනිවාර්යෙන්ම වැඩෙමින් පවතිනවා. නමුත් අපේ සිංහලයන්ගේ පවුල් වල දරුවන් දකින්න ලැබෙන්නේ එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක්, එහෙමත් නැත්තන් කිසිම කෙනෙක් නැතිව. මේ නිසා සිංහල ජාතිය කෙමින් කෙමින් වර්ධනයේ දුබලතාවක් පෙන්වනවා කියන්න පුළුවනි.

මේ හැම කාරණාවක්ම සලකලා බැලුවාම තෙරුම් ගන්නට උවමනා වෙන්නේ පුංචි පවුලක් ගොඩ නැගීම රත්තරන් හා සම කළ නොහැක්කක් බවයි. ඒ නිසා මළකඩටත් අන්ත පුංචි පවුලෙන් මිදීමයි මින් ඉදිරියට කළ යුතු වෙන්නේ.
රැකියාවක ස්ථාවරත්වය රඳා පැවතිය යුත්තේ තමන් මතයි. තමන්ගේ රැකියාව තවත් කෙනෙකු මත රඳා පවතිනවා නම් ඒ රැකියාව ඉතාමත්ම අස්ථාවර භාවයකින් යුක්ත වෙනවා. කෙනෙකු රැකියා ජීවිතයේදී තවත් අයෙක් මත යැපෙනවා නම් ඒ තම ආයතනයේ ප්‍රධානියා මත පමණක්ම විය යුතුයි. ඒ, ඔහු අදාල රැකියාව කරනා පුද්ගලයා වෙනුවෙන් මාසිකව වැටුපක් ලබා දෙන්නා නිසාවෙන්.

තමන් කරනා රැකියාවේ ස්වභාවය මොන ආකාරයේ වුනත්, ඒ ආකාරයේම වැඩක යෙදෙනා තම අංශයේම තමන්ගේ යහළු යෙහෙළියනුත් තමන් ඇසුරේ ඉන්නවා වෙන්නට පුළුවන්. මේක අමුතු අස්වාභාවික දෙයක් නෙවෙයි. ඕනෑම රැකියාවකදී තමන් වැඩ කරන ක්ශේත්‍රයේම තමන් සමග වැඩ කරනා සගයන්, ගෝලයන්, මිතුරු මිතුරියෝ හැමෝටම ඉන්නවා. නැති වුනොත් ඒ බොහොමත්ම කලාතුරකිනුයි.

ඔය වගේ තමන් සමගම රැකියාවේ යෙදෙන පිරිස තමන් මත යැපෙනවා කියන්නේ ඒක තමන් ගැන හොඳ අවබෝධයක් ලබන්න හේතු කාරණාවක් වෙනවා. ඒක වෙනත් පුද්ගලයෙකු දකිනවා නම් තමන් ගැන හිතන්නේ ඉතාමත් හොඳ විදියකට. ඔය ආකාරයට කෙනෙකුගේ ආයතනික තත්ත්වය ඉහළ පහළ යාම් සිද්ධ වෙනවා. හිතන්න මොහොතකට රැකියාවේදී තමන් තවත් යාළුවෙකුගෙන් යැපෙනවාය කියලා. ඔහු හෝ ඇයගෙන් විමසුමක් නැතිව කිසිම වැඩක් තනිවම කර ගන්නට හැකියාවක් නෑ කියලා. මේක තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වයට කළු ලකුණක් එකතු කරන දෙයක් බව මතක තියා ගන්නට ඕනේ. මේ දේ පිටස්තර පුද්ගලයෙකු හෝ ආයතනයේම වෙනත් අංශයක අයෙකු දැකීම තමන්ගේ තත්ත්වය පහත වැතීමට හේතු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ඇගයීම් වලදී තමන්ට අවාසියකටත් හිටින්නට පුළුවනි.

නමුත් ආයතනයක විවිධ අංශයන් අතරේ යැපීම් පවතින්නට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩ පොළක මානව සම්පත් අංශයේ උපකාරයෙන් හැදෙන වැටුප් සහ ගෙවීම් ලියකියවිලි නොමැතිව එම ආයතනයේම මූල්‍යමය හා ගිණුම්කරණ අංශයේ සේවය කරන්නන්ට වැටුප් ලබා දෙන්නට හැකියාවක් උදා වන්නේ නැති වීම. මේ සඳහන් කළ උදාහරණය ආයතනික අංශ අතරේ යැපීමක් පෙන්නුම් කළත් ඒ ඒ අංශ වල කාර්යක්ෂ්‍යමතාව මත අනිත් අංශ වල කාර්යක්ෂ්‍යමතාව රඳා පවතිනවා.

නමුත් මා මුලින් සඳහන් කළ යැපීම අංශ අභ්‍යන්තරයේ පවතින්නක් නිසා තනි තනිව ඒ ඒ පුද්ගලයක් හට බලපාන දැඩි ගැටළුවක් වෙනවා. මින් බලපාන දෙයක් තමයි ඒ වගේ යැපෙනා නැතිනම් රඳා පවතින දැනුමකින් යුතු අයෙකුට තනිවම වැඩක් පලක් කර ගන්නට අනිත් පුද්ගලයාගෙන් තොරව හැකියාව හීන වී යාම. දැනුමෙන් පොහොසත් කෙනා හදිසියේ මිය ගියොත් හෝ රැකියාවෙන් ඉවත් වුවහොත් ඔහු මත යැපෙන්නන් අසරණ භාවයකට පත් වන්නට පිළිවන්.

මෙන්න මෙවැනි හේතූන් නිසාවෙන් අප දත යුතු කරුණක් තියෙනවා. හැම විටම විෂාරදත්වයෙන් යුතුව කාගේවත් යැපීමකින්, අත් උදව්වකින් තොරව, රැකියාවකදී නම් අනිවාර්යෙන්ම වැඩ කරන්නට හුරු පුරුදු වීම අත්‍යවශ්‍යයි. නොදන්නා යමක් ඉගෙනීමට හෝ ගුරු හරුකම් ලැබීම හැරුණු කොට, තනිවම තමන්ගේ තත්ත්වය ඉහළටම ගොඩ නගා ගත යුතු වෙනවා.

Wednesday, October 6, 2010

දරු සම්පත කියන්නේ ඕනෑම දෙමාපියෙක්ටම වටිනාම සම්පතක්. ඒකේ වටිනාකම කියා නිම කරන්නටත් බැරි තරම්. ඒක එහෙම වුනත් දරු සම්පත අසම්පතක් වෙන දෙමාපියනුත් සමාජයේ දකින්නට ලැබෙනවා. මේ ලෝකයේ උපත ලබන්නට බලා සිටින දරුවන් පවා ලෝකයෙන් තුරන් කරන දෙමාපියන් මේ ලෝකයේ අනන්ත අප්‍රමාණව සිටිනවා. වැඩි දුරක් ගැන හිතනවට වඩා මේ ලංකාවේම ඒ වගේ පිරිස් දකින්නට ලැබෙනවා. දුගී දුප්පත් කම නිසාවෙන් හෝ වේවා, අසරණ කම නිසා හෝ වේවා, ලැජ්ජාව නිසාවෙන් පුංචි දරුවන්ගේ ගෙල සිඳින්නට මව් පියවරු උත්සාහ ගන්නේ මොන තරම් නම් පාපිෂ්ඨ සිතුවිල්ලක් හිතැ'තිවද කියලා වෙලාවකට සිතෙනවා.

කාමය වරදවා හැසිරීම කියන සිල් පදය බිඳ හෙලීම මේ වගේ දරුවන්ගේ ජීවිතය නැති වන්නට එක් කාරණාවක් වෙනවා. කාන්තාවක් තම සැමියාගෙන් පරිබාහිරව වෙනත් පුරුෂයෙක් සමග සම්බන්ධ වීම හෝ පුරුෂයෙකු තම බිරිඳගෙන් පරිබාහිරව වෙනත් කාන්තාවක් සමග සම්බන්ධ වීම මේ කාමය වරදවා හැසිරීමට ගැනෙන ප්‍රධාන කාරණාවක්. යමෙක් ඒ විදියෙන් ලබන කායික තෘප්තිය ඒ මොහොතේදී පමණක් ලබනවා කියලා සිතන්නට අමාරුයි. මන්දයත් ඒ මානසිකත්වය ඉතාමත් දූෂිත සිතුවිලි සමුදායක් නිරන්තරයෙන් තමන්ගේ සිතට අරමුණු ඇති කරවීමයි. ඒ කොහොම වෙතත් ඉන් අනියමාකාරයෙන් ඇතිවන ප්‍රතිඵලය ජීවිතයත් මරණයත් අතර පොර බදින්නට සිදු වෙන දරුවෙකු විය හැකියි.

ඒ කරුණ පැත්තකින් තිබ්බොත් මේ මොන යම් හැසිරීමකින් හෝ උපත ලබන දරුවන්ගේ ජීවිත වලට වග කියනුයේත් ඒ ඒ කාන්තාවන් සහ පුරුෂයන් විසින්මයි. ඒත් දරුවෙකුට උපත ලබා දෙන එක මොන තරම් අපහසු කාරණාවක්ද කියලා නිකමටවත් හිතලා නැතිව ඇති.

සමහර දෙනෙක් දේව ඇදහීම් හෝ ආගම් විශ්වාස කරනවා වෙන්නට පුළුවනි. ඒ බොහෝමයක් ආගම් වල සර්ව බලධාරී දේව මූලික ඉගැන්වීමක් තමයි සිදු කෙරෙන්නේ. සියල්ල මැවූ සහ මවන එකම තැනැත්තා දෙවියන් බවයි ඒවායේ සඳහන් කෙරෙන්නේ. එහෙම නම්, දෙවියන් වහන්සේ ගැහැණියකගේ කුසෙහි දරුවෙකු ඇති කරනවා නම් ඒ දරුවා දෙවියන් විසින් මවන ලද්දක් විය යුතුයි. ඒත් අද සමාජයේ වාසය කරන එවන් කාන්තාවන් දෙවියන් වහන්සේ එසේ මැවූ දරුවන් කී දාහක් නම් තමන්ගේ කුසෙන් ඇද එළියට දානවාද කියලා හිතලා තියෙනවද? නැහැ නේද? දෙවියන් දුන් දෙයක් කුසෙන් ඇද විසික් කරන්නට පුළුවන් කමකුත් තියෙන්නට බෑ නේද? එහෙම නම් දෙවියන්ගේ මැවීම් විනාශ කරන අයෙකුට දෙවියන්ගේ දඬුවම් ලැබිය යුතුමයි නේද?

දෙවියන් වහන්සේ දරුවන් ලබා දෙනවා නම්, දෙමාපියන්ගේ එකතු වීමක් ඇත්තෙන්ම අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒක එහෙම නම්, ඕනෑම කෙනෙකුට දරු සම්පතක් ලබන්න හැකියාවක් තියෙන්නට ඕනේ. එහෙම නම් අනිවාර්යෙන්ම දරුවෙක් ලබන්නට දෙමාපියන්ගේ එකතු වීමක් තිබිය යුතු බව පැහැදිලි කරුණක් වෙනවා. එකතු වීම විදියට අදහස් කරන්නේ ලිංගිකව එකතු වීමෙන් සිදු වෙන සංසිද්ධීන් හා අභ්‍යන්තරිකව ඉන් පසුව සිදු වෙන ක්‍රියාදාමයනුයි. ඒ එකතු වීමෙන් විතරක් ම දරුවෙකු ලබන්නට හැකියාවක් නෑ. මන්දයත් ඒ මව ඊට සුදුසු කාලයක සිටිය යුතු වීමයි. ඒ කරුණ සම්පූර්ණ වූවත් විඥ්ඥාණයක් මව් කුසේ ඇති නොවුනෝතින් අළුත් ජීවයක් එතන හට ගන්නේ නෑ. ඇත්තටම මොකද්ද මේ විඥ්ඥාණය කියන්නේ?

මේ විඥ්ඥාණය හැම සත්ත්වයෙක් සතුවම පවතින දෙයක්. එහෙම නම් අන්න ඒ විඥ්ඥාණය මව් කුසක ඇති වෙන්නට, තවත් සත්ත්වයෙක් මරණයට පත්ව රූපය අත් හැරිය යුතුයි. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. සත්ත්වයෙකු සතුව නාම සහ රූප යනුවෙන් කොටස් දෙකක් තියෙනවා. නාම යටතට ගැනෙන්නේ වේදනා, සංඥා, සංකාර සහ විඥ්ඥාණ කියන හතරයි. මේවා රූපයක් සමග බැඳී ඇති නිසා සත්ත්වයෙකු නිර්මාණය වෙනවා. රූපයෙන් නාමය වෙන් වූ කළ මරණය සිද්ධ වෙනවා. ඒ නාමයට අඩංගු විඥ්ඥාණය තමයි මරණ මොහෝතේදී හිතේ ඇති වුණු අරමුණු අනුව ඒ අරමුණු වලට ගැලපෙන මව් කුසක හට ගන්නේ.

හිතන්න යම් පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවටම ගොනෙකු මෙන් සිතන්නේ මතන්නේ නැතිව කටයුතු කරනවාය කියලා. ඔහු තමන්ගේ ජීවිතේදී කරන බොහෝමයක් වැඩ කරන්නේ ඒ සතාගේ ආකාරයටමයි. ඒ නිසා සිතේ ඇති වෙන අරමුණු සියල්ලම පාහේ ගොනෙකුගේ වාගෙයි සිද්ධ වෙන්නේ. ඔහු මිය යන්නේ යම් මොහොතකද, ඒ මොහොතේත් තමන් පුරුදු කළ ගොං පිළිවෙත් වලට අනුකූලව හිත අරමුණු වෙලා තියෙනා නිසාවෙන් මරණින් පසුව විඥ්ඥාණය එළදෙනෙකුගේ කුසේ එළ්බ ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා වසු පටවෙකුගේ ප්‍රතිසන්ධිය එහෙමත් නැති නම් උප්පත්තිය සිද්ධ වෙනවා. තමන් පුරුදු පුහුණු කරනා යම් ආකාරයක් වෙනවා නම් ඒක මරණ මොහොතේදී මීළඟ භවය මොන ආකාරය ගත යුත්තක්ද කියන එක තීරණය වෙන්නට බෙහෙවින්ම උපකාරී වෙනවා. ඒ නිසා සිහියෙන් මිය යා යුතුයි.

ඔය හරිම සරල විදියට දරුවෙකුගේ උපත විස්තර කරන්න පුළුවන් විදියක්. බුදු දහමේදී ගැඹුරට යද්දී මීට වඩා සවිස්තරාත්මක පැහැදිලි කිරීම් හමු වේවි. කුස පිළිසිඳ ගන්නා දරුවෙකුගේ උප්පත්තිය දරුවෙකු කුසෙන් මරා එළියට විසි කරන්නාක් තරම් පහසු නොවෙන බවත් තේරුම් ගන්නට ඕනේ කාරණාවක්. දෙවියන් වහන්සේ විසින් මවන ලද්දක් ලෝකයේ තියෙනවා නම් මේ ලෝකයේ මව් පියන්ගේ අවශ්‍යතාවක් නැතිවම දරුවන් උපත ලබන්නට හැකියාවක් ඇති විය යුතු නමුත් මව්පියන් මේ ලෝකයේ හට ගෙන තිබීමෙන් පැහැදිලි වන්නේ දෙවියන්ටත් දරුවන් මැවීමට උදව් කරන්නේ මව්පියන් බවයි. දෙවියන්ටත් වඩා ඒ උතුම් මා පිය ගුණය රකින මව් පියවරු සමාජයේ තව තවත් ඇති විය යුතුයි.

Tuesday, October 5, 2010

ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙක් අධ්‍යාපනය ලබනා කාලය තුලදී අනිවාර්යෙන්ම යා යුතු තැනක් තමයි දහම් පාසල කියන්නේ. ඒත් අද කාලයේ ළමයින්ගෙන් කීයෙන් කී දෙනාටද දහම් පාසල් අධ්‍යාපනයක් ලබන්නට ඉඩක් කඩක් ලැබෙන්නේ. මේ ගැන සලකා බලන කොට ඉතින් බොහෝමයක් වෙලාවට දහම් පාසල් අධ්‍යාපනය ලබන්න තියෙන ලොකුම බාධකය ළමයින්ගේ ආගමට දහමට වැඩි රුචියක් නොතිබීමත්, උපකාරක පංති වල බලපෑමත් නිසාවෙන්. තව දෙයක් කියන්නට ඕනේ. දෙමාපියන්ටත් මේ සම්බන්ධයෙන් දෝශාරෝපණයක් එල්ල කරන්නට සිද්ධ වෙනවා. මොකද දරුවෙකුගේ ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් කුඩා කළම ගත යුතු තීරණයක් විදියට දරුවෙක්ව දහම් පාසල් අධ්‍යාපනයට යොමු නොකිරීමත් තවත් හේතුවක් විදියට පෙන්වන්නට පුළුවන් හින්දා.

දහම් පාසල අදාළ වෙන්නේ බෞද්ධ දරුවන්ට විතරක්ම නෙවෙයි. මම දන්න හැටියට මුස්ලිම් දහමේත්, පල්ලි මගින් ඉරිදා දින වලදී දහම් පාසල් පවත්වනවා. ඒවා සමහර විට ගුරුවරුන් නිවෙස් වලටම ගිහින් කරනා ධර්මය ඉගැන්වීමක්, ඒ වගේම කුරාණය කියවන්නට හුරු කිරීමක් ද වෙනවා.

මේ ලිපිය ලියැවෙන්නේ අපේ දහම් පාසල් ගැනයි. ඒ කියන්නේ සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන බෞද්ධ දහම් පාසල් ක්‍රමය ගැනයි. ඉරිදා දින වලදී පැවැත්වෙන මේවාට බොහෝ සිසු දරුවන් පිරිසක් සහභාගී වෙනවා දකින්නටත් පුළුවන්. නමුත් මේ දහම් පාසල් වලට යාමෙන්ම දහම් පාසලකින් සිද්ධ වෙන්නට ඕනෑ කරන වැඩ කටයුතු සිද්ධ වෙනවාද කියන එක ටිකක් සැක සහිතයි.

මමත් දහම් පාසල් අධ්‍යාපනය අවසාන කළ අයෙක්. ඒ දෙවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරපු දහම් පාසල් අධ්‍යාපන ගමන අවසන් කරේ අවසාන ශ්‍රේණියේ දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දීමෙන් අනතුරුවයි. මේ විභාගය දහම් පාසල් ජීවිතයේදී නම් සාමාන්‍ය පෙළ විභාගය හා සමාන දෙයක්.

අද බොහෝමයක් දහම් පාසල් වල විශය අනුබද්ධ ඉගැන්වීම් වලට අමතරව බෙහෙවින්ම තියෙන්නේ විශය පරිබාහිර ක්‍රියාකාරකම් රාශියක්. මාසික සභා රැස්වීම්, කලා උළෙලවල්, ශිෂ්‍ය නායක දින, ත්‍යාග ප්‍රධානෝත්සව සහ වාර්ෂිකව පවත්වන තරඟ සහ විභාග. මේවායින් වාර විභාග කියන දේවල් හැරෙන්නට අනිත් සියළුම දේවල් ලෞකික තෘප්තිය වැඩි කරවන, නැටුම් ගැයුම් වැයුම් සහ හැල හැප්පීම් වලින් යුතු ක්‍රියාකාරකම්. ඇත්තෙන්ම දහම් පාසලකින් සිද්ධ විය යුතු ධර්මාවබෝධය ලබා දීම නිසි ආකාරයෙන්ම මේ හරහා සිද්ධ වෙනවාද කියන එක තමයි ලොකුම ගැටළුව.

මාසික සභා රැස්වීම් වලදී පැවැත්වෙන ගී ගැ‍යීම්, නර්තන ඉදිරිපත් කිර්‍රිම් වගේම නාට්‍ය පෙන්වීම ඇත්තෙන්ම දහම් පාසලකට අදාළ නොවන කාරණා කීපයක්. මහා සභා රැස්වීමකින් සිදුවිය යුත්තේ ගැටළු නිරාකරණය කර ගැනීම් වැනි දේ වුනත් අද ඒ දේ සිද්ධ වෙන්නේ රැස්වීමක අමතර අංගයක් හා සමානවයි. කාලයෙන් කාලයට පැවැත්වෙන තරඟ තවත් එක්තරා අනවශ්‍ය දෙයක්. පාසල් ජීවිතයේදී දරුවන් මුහුණ දෙන තරඟකාරී ලෝකය දහම් පාසල් ජීවිතයේදීත් විඳින්නට සිද්ධ වීමෙන් එකිනෙකා අතර ඇති වෙන ගැටීම්, වෛරය සංසිඳවන, ගැටුම් වළකන දහම් පාසල නැමැති ස්ථානයේත් ඇති වෙලා තියෙනවා. මේ දේවල් වලට බොහොම දීර්ඝ ඉතිහාසයකුත් තියෙනවා.

මේ සියළු විකාර වලින් තොරව ගැඹුරු දහම් කරුණු මෙන්ම විශයානුබද්ධව සහ විශය නිර්දේශයට අනුකූල වෙමින් ඉගැන්වීම් කටයුතු සිද්ධ කෙරෙන එකම දහම් පාසලක් ගැන මට අසන්නට ලැබිලා තියෙනවා. ඒ දහම් පාසල සිසු දරු දැරියන් අති විශාල ප්‍රමාණයක් දහම් දැනුමෙන් ස්වයංපෝෂිත කරනා මහරගම ප්‍රදේශයේ සිරි වජිරඥාණ ධර්මායතනයේ පැවැත්වෙන දහම් පාසලයි. මේ වගේම තවත් දහම් පාසල් සමාජයේ පවතින්නට පුළුවන්. නමුත් සොයා ගන්නට, නැතිනම් හඳුනා ගැනීමට අපහසුයි. මම තවමත් කණගාටු වෙන එක දෙයක් තමයි ඒ දහම් පාසලෙන් ධර්මය ඉගෙනීමට හැකියාවක් නොලැබී යාම. ඒ පිළිබඳව දැන ගන්නට පවා ලැබුනේ අවසාන විභාගයෙන් අනතුරුව වීම තවත් දෙයක්.

බුදු දහම පිළිබඳව පාසලෙන් බෞද්ධ දරුවෙකුට ලැබෙන දැනුමෙන් එහා ගිය අති විශාල දැනුම් සම්භාරයක් දහම් පාසලක් හරහා දරුවෙකුගේ ජීවිතයට එකතු වෙනවා. සමාජයේ පවතින විවිධ ගැටළු වලට බොහෝ විට කුඩා කාලයේ ඉඳලාම ලබන දහම් පාසල් අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඒ අධ්‍යාපනය හරවත් මෙන්ම ධර්මඥාණය වඩවන දෙයක් වෙනවා නම් සමාජයේ සදාචාර වර්ධනයටත්, බොහෝ විට දුරාචාර උපුටා දැමීමටත් හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මින් මතුවටවත් අපේ මතු පරම්පරාවේ පුරුක් නිවැරදි, විකාර වලින් තොර වුනු හරවත් දහම් පාසලක් වෙත යොමු කරනවා නම් මතු පරම්පරාවේ අනාගත දර්ශනය මීට වඩා යහපත් වෙනවා නො අනුමානයි.

Sunday, October 3, 2010

මේ ලිපිය අපේ බෞද්ධ ජනයා, පාඨකයන් වෙනුවෙනුයි. මේක අදාළ වෙන්නේ මේ ලිපිය කියවන ඔයාලගෙන් බෞද්ධ වෙන අයට විතරයි. අනිත් අයත් මේ දේ කියවලා විවෘත අදහස් කියන්නට පුළුවනි. මොකද මේ කියන්නට යන දෙයින් සමහරෙක්ගේ හිත රිදෙන්නත් පුළුවන් නිසාවෙන්. නමුත් මේ දේ කියන්නේ කාටවත් පහරක් එල්ල කරන්නවත්, කාටවත් නරකක් කරන්න හිතා ගෙනවත් නෙවෙයි.

අපි කවුරුත් දන්නවා බෞද්ධයින් හැටියට කාලාන්තරයක් මුළුල්ලේම අපේ බෞද්ධ කම අපි විනාස කරගෙන තියෙන අය කියලා. සමහර විට අපි දන්නේවත් නැති තරමින් අපි අපේ බෞද්ධ කම යට කරගෙනයි ජීවත් වෙන්නේ. මේකට හේතුව වෙන්නේ අපි වැටිල තියෙන අගාධයේ ගැඹුර ගැන තේරුම් බේරුම් කර ගන්නට පවා අපේ මානසික තත්ත්වය අපිට ඉඩක් ලබා නොදීම. ඒ වගේම ඒකට ඌණපූර්ණයක් වශයෙන් කියන්න පුළුවන් තවත් දෙයක් තමයි අපේ අදහස් වගේම ආකල්ප වලින් අපි ඇත්ත පිළි ගන්නට අපිව පෙළඹවීමෙන් වැළැක්වීම.

බෞද්ධයන් වශයෙන් හින්දු දෙවි වරු ඇදැහීම ගැන කීප වතාවක්ම මම මගේ ලිපි වලින් කියුවා මතක ඇති ඔයාලට. ඒත් මේ හින්දු දෙවිවරු වටා බැඳී තියෙන සංකල්පමය වටපිටාව ගැන සමහරු දන්නේත් නැති තරම්. දෙන නිසා "දෙයියෝ" කියලා හඳුන්වන්නත් පුළුවන්. ඒත් අපි ඉල්ලනා තරමටම අපිට ඕනෑ දේවල් දෙවියන් විසින් අපිට මේ කාලය තුලදී ලබලා දීලා තියෙනවා නම් අපිට කිසිම කරදරයක් දුකක් නැතිව සතුටින් ජීවත් වෙන්නට ඉඩක් කඩක් තියෙන්නට ඕනේ නේද? ඒත් අද ප්‍රශ්ණයක් ගැටළුවක් හිතේ නැති කිසිම බෞද්ධයෙක්, හින්දු භක්තිකයෙක් ඉන්නවද? මේ ලෝකේ හැමදාමත් අපේ පස්සෙන් ආපු එකම දේ අපි කරපු කර්මයි. ඒ නිසාවෙන් අපිට නොයෙක් නොයෙක් ගැටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා එක අතකින්. මේ හැම දේටම මුල අපි කළ කී දේවල් මිසක සර්ව බලධාරී දෙවි කෙනෙක්ගේ බල පැවැත්මට සිද්ධ කෙරුනු දෙයක් නෙවෙයි.

විෂ්ණු දෙවියන් එක අවස්ථාවකදී දරුවන් හත් දෙනෙකුන් මැවූ බව ජනප්‍රවාදය සඳහන් කරනවා. එතැනට උමා සහ ඊෂ්වර පැමිණි බවත් ඒ එක්කම සඳහන් වෙනවා. දරු සෙනෙහස නිසා උමාවන් මේ දරුවන් හත් දෙනාම එකට එකතු කරලා බදා ගත්ත බවත් ඉන් පුංචිම දරුවා ඉවත් වෙලා ගිය බවත් කියැවෙනවා. ඉතින් අර අනිත් දරුවන් හය දෙනා එක් අයෙක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ තිබූ ආකාරයෙන්ම මුහුණු හයකුත්, අත් දෙක බැගින් දොළසකුත් වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒවා ඒ ආකාරයෙන්ම පිහිටියා නම් අපිට තවත් හිතන්නට දේවල් කොයි තරම් නම් මේ දෙයින් මතු වෙනවාද? පිරිමි දරුවන් නිසා තව තවත් අවයවත් තිබූ අයුරින්ම තියෙන්නට ඕනේ අනිත් දේවලුත් ඒ විදියටම තිබුණා නම්.

මේ වගේ සංකල්ප ගොඩ නගන්නට යාමෙන් තේරුම් යන දෙයක් තමයි විෂ්ණු හෝ කතරගම හෝ යන දෙවිවරු හින්දු දෙවි වරු බව. ඒ වගේම අපි බාර හාරකම් කරන මේ දෙවිවරු බෞද්ධයින් විසින් වැඳුම් පිදුම් ලැබිය යුතු දෙවි වරු නොවෙන බවත් අපි සිහියට නගා ගතු යුතුයි.

බෞද්ධ දේව සංකල්පය කියන්නේ කාගේවත් කෑම බීම මත යැපිල ආශිර්වාද කරන කොට්ඨාශයක් නෙවෙයි. මේ ගැන මඳක් සිතිය යුතුයි. හින්දු භක්තිකයන් ඔවුනගේ දෙවිවරුන් වැඳ නමස්කාර කරපුවාවේ කියලා හිතලා ඇයි අපිට බැරි බෞද්ධ දර්ශණයට පටහැනි දෙයක් පසු පස හඹා යමින් සැප, ආශිර්වාද බලාපොරොත්තු වෙන්නේ? සියළුම බෞද්ධයන් මේ ගැන සිතා බැළිය යුතුයි.

Saturday, October 2, 2010

මේ ලිපිය ලියන්නට හේතු වුනේ මගේ හිතට ආපු හොඳ පුරුදු කීපයක් සම්බන්ධයෙනුයි. හැබැයි මේ දේවල් මමත් පුරුදු පුහුණු කරලා නැති දේවල්. ඒ වගෙම මමත් අවස්ථාවක් උදා වෙනකන් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් කීපයක්. මේ දේවල් වලට ඔයාලත් කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ ගැන ඉතින් ඔයාලට පුළුවන් මේ ලිපිය පහලින් ඔයාලගෙ අදහස් කියන්නත්. මොකද මම මේ හැම ලිපියකටම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් ප්‍රහාර, ප්‍රතිචාර බලාපොරොත්තු වෙන නිසා.

මගේ හිතට ආපු මේ සිතුවිලි අතරින් එකක් තමයි උපන් දිනයකදී කරන්න පුළුවන් විදියේ ක්‍රියාකාරකම් කීපයක්. සමහරු ඉතින් උපන් දින වලදී ගොඩක් සල්ලි වියදම් කරලා උත්සවයක් පැවැත්තුවට, මං වෙනුවෙන් එහෙම උත්සවයක් පවත්වපු අවස්ථාවක් ගැන කවදාකවත් මතකයක් නෑ. මේ දේවල් තනියම කරන එක අපහසු වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ ලඟම යහළු යෙහෙළියන් කීප දෙනෙකුත් එකතු කර ගත්තා නම් මේ වැඩේ තවත් හොඳින් කර ගන්නට පුළුවන් උදව් උපකාරත් ලැබේවි.

ඇත්තෙන්ම මේ වැඩේ හොඳයි කියලා හිතුනේ පිණක් පවා කරගන්නට අවස්ථාවක් උදා වෙන නිසා. හිතන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කාගේ හරි උපන් දිනෙකදී ඒ යාළුවෝ ඔක්කොම දෙනා එකතු වෙලා මේ වැඩේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉන් එක දෙයක් තමයි මහා සංඝයා වහන්සේ වෙනුවෙන් තමන්ට හැකි පමණින් එක් ස්වාමීන් වහන්සේ නමක් හෝ කිහිප දෙනෙක් නිවසට වැඩමවලා දහවල් දානය පිළියෙළ කරලා පූජා කිරීම. ඒක එක සිතුවිල්ලක්. එහෙමත් නැති නම් හැකි පමණින් කෑම පාර්සල් කීපයක් සකස් කරලා ගමේ හරි අවට ප්‍රදේශ වල හරි ඉන්නා හිඟන්නන්ට පිළිගැන්වීම කියන කාරණාව. මේ දෙකම පිණක් දහමක් කර ගන්න පුළුවන් අවස්ථා දෙකක්. උපන් දිනය දවසේදී රසට කෑම බීම අරගෙන සිංදු කියලා නටන එකට වඩා යහළුවන් කීප දෙනෙකුත් එකතු කරගෙන මේ වගේ දෙයක් කරන්නට ලැබීම තමන්ගේ උපන් දිනේ දවසෙදි අනිත් අයටත් පිණක් අත් කරලා දුන්නා හා සමාන දෙයක් නේ. ඒ වගේම ඒ උපන් දිනයේ ලොකු වැදගත් කමකුත් ඉතුරු වේවි.

ඒ සිතුවිල්ල එහෙම තියෙද්දී තවත් හොඳ සිතුවිල්ලක් ක්‍රියාවට නංවලා හොඳ පුරුද්දක් විදියට ඉදිරියට දෙන ගියොත් හොඳයි කියන හැඟීම තවත් දෙයක් වෙනුවෙන් පහළ වුනා. ඒ තමයි හැම මාස හතරකට වතාවක්ම, නිරෝගී අය නම් ලේ දන් දීම කියන දේ. මේ දේ උපන් දිනය දවසක වුනත් කරන්නට පුළුවන්. ලේ දන්දීමේ පිංකම් හැම තැනම නැති වුනාට අපිට ලේ දන් දෙන්නට ඕනෙම වෙලාවක පුළුවන් කම තියෙනවා. ඒ නාරහේන්පිට තියෙන ලේ බැංකුවට ගිහින්. මේකෙදිත් යහළුවො කීප දෙනෙක් එකතු කර ගත්තා නම් තමයි වඩාත් හොඳ. මොකද ලේ දන්දීමෙන් සිද්ධ වෙන අපහසුතා වලදී තමන්ට උදව් කරන්නත් කවුරු හරි ඉන්න ඕනෙ නේ. මාස හතරකින් ආයෙ වතාවක් ලේ දන් දෙන්නට සුදුස්සෙක් බවටත් පත් වෙනවා.

මේ පුරුදු වලින් එකක්වත් මගේ ජීවිතේදී මට තවමත් කරන්නට ඉඩක් කඩක් ලැබිලා නෑ. රැකියාවල නිරත වෙන අයට නම් කීය කීය හරි එකතු කරලා මේ දේවල් වලට සම්මාදම් වෙලා පිණක් කර ගන්නත් පුළුවනි. ආගම් භේදයක් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද මේ කාරණා තුනම පිං ඇති වැඩ හින්දා.
මේ ලිපියේ වැදගත්කම ගැන ඔයාලට තව ටික දවසකින්ම තේරුම් යාවි. මේ ලිපිය පසු දවසකදී ලියන්නට හිතාගෙන හිටියත් මේ ලිපිය එළි දැක්වීම මේ තරම් ඉක්මණින්ම සිද්ධ කරන්නට සිද්ධ වුනේ හදිසියේ දකින්නට ලැබුණු දෙයක් නිසාවෙන්. ඒ රූපවාහිණියෙන් දැකපු දෙයක් හින්දා. මේ දේ මේ තරම් ඉහළින්ම දකින්නට ලැබේවි කියලා හිතුවේ නෑ. නමුත් නොහිතපු විදියට තමයි මේ හැම දෙයක්ම මේ තරම් ඉක්මණින්ම සිද්ධ වෙමින් තියෙන්නේ.

මම මේ දැකපු රූපවාහිණී වැඩසටහන විකාශය වුණේ ප්‍රසිද්ධ රූපවාහිණී නාළිකාවක. මේ නාළිකාවේ ලාංඡනයේ ඉන්නේ ලස්සන කුරුල්ලෙක්. මෙහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇති මේ මොන නාළිකාවද කියලා. ඇත්තෙන්ම මේක නාළිකාව ගැන ගැටළුවක් නෙවෙයි; විකාශය වුනු වැඩසටහනේ ගැටළුවකුත් නෙවෙයි; වැඩසටහනේදී ප්‍රචාරය ලැබුණු දේ ගැනයි.

මේ වැඩසටහනේ තිබුණේ ඉතාමත්ම වැදගත් ශාස්ත්‍රීය ස්වභාවයක් පසුගිය කාලයේදී. ඒත් මේ වැඩසටහන විකාශය වුනේ බොහෝ විට පොහොය දවස් වල විතරයි මම දන්න විදියට. ඉතින් කොහොමින් කොහොම හරි මේ වැඩසටහන මේ දවසේත් විකාශය වුනා. මේ වැඩසටහනට පැමිණෙන්නේ එකම ස්වාමීන් වහන්සේ නමක්. ඇත්තෙන්ම කියනවා නම් හරිම ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. විවිධ ධර්ම ගැටළු විසඳමින් ගෙන ගියපු මේ වැඩසටහනේ මීට කළකට ඉහතදී ශාස්ත්‍රීය ගතියක් තියෙනවාය කියලා මම කිව්වේ ඔන්න ඔය ගැටළු විසඳීමේ ලස්සන නිසාමයි. බොහෝ දුරට විද්‍යාවෙන් වගෙම බුදු දහමෙනුත් විවිධාකාරයේ ගැටළු නිරාකරණය වුනේ.

කාලයාගේ ඇවෑමෙන් මේ වැඩසටහනෙන් ඒ ස්වාමීන් වහන්සේ අතින් මෛත්‍රීය බුදුන් ගැන බොහෝ දේවල් ප්‍රකාශ කෙරුණා. ඒ විතරක් නෙවෙයි ඒ වැඩසටහනේ මාර්ගයෙන් මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව පිළිබඳවත් පුදුමාකාර ආකාරයේ ඇල්මකින් ප්‍රකාශයන් ඉදිරිපත් කරා පමණක් නෙවෙයි ඒ හරහා බැතිමතුන් විශාල පිරිසක් උන් වහන්සේ වටා එක් රොක් කර ගන්නටත් අවස්ථාවක් ලැබුනා කීවොත් නිවැරදියි.

ඇත්තෙන්ම බෝධිසත්ත්ව වන්දනාව පැවතෙන්නේ මහායාන බුදු දහමේ බව දන්නා අය දන්න කාරණාවක්. මේ දෙයින් උන්වහන්සේ අදහස් කරන්නේ හින්දු දෙවි දේවතාවන් වටා බෞද්ධයන් එක් රොක් වීම වළක්වලා මතු බුදු වෙන මෛත්‍රීය බෝධිසත්ත්වයන් හට වන්දනා නමස්කාර කරන්නට ඒ බෞද්ධයන්ට හුරු කරවීමයි. අදහස හොඳ දෙයක් වුනත් මේ දේ දැන් අති උග්‍ර තත්ත්වයකට පත්වෙලා. බුදු රජාණන් වහන්සේ ගැන කිසිම සඳහනක් නැති තරමටම මෛත්‍රීය බෝධිසත්ත්වයන්ට කරන පුද පූජා පවා පැවැත්වෙන තත්ත්වයකට පත් වෙලා.

කොටින්ම ඒ වෙනුවෙන් වෙනම භූමියක වන්දනා ස්ථාන පවා ඉදි කරලා තිබුණා ඒ රූප රාමු වල. කතරගම දේවාලයේ තේවාවන් කරනා ආකාරයටම වගේ මේ බෝධිසත්ත්ව දේවාලයේත් පුද පූජා පැවැත්වෙනවා. අඩු තරමින් ඒ බෝධිසත්ත්ව කුටියට ඇතුල් වන්නට පේ නොවූ අයෙකුට ඉඩක් නොලැබෙනා තරමටම ඒ දේ අති උතුම් ආකාරයෙනුයි පවත්වා ගෙන යන්නේ.

අපි දන්න බුදු දහම අනුව බුදු රජාණන් වහන්සේ යනු කෙනෙක්ට දකින්න පේ වීමකින් තොරව ඉඩක් කඩක් ලැබුනු උතුමෙක්. සුනීත සෝපාක වගේ දුගඳ හමන අසරණයින් දකින්නට පවා බුදුන් වැඩම කරවූයේ ඔවුන් පේ වී ඇතිද නැතිද යන වගක්, උසස් පහත් බවක් සිතා නොවෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. මේ සිද්ධ වෙන මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව දැන් හිස ඔසවමින් අපේ නිර්මල ථේරවාදී බුදු දහම අනුගමනය කරනා බෞද්ධයින් මහායාන දර්ශනය වෙන වක්‍රාකාරයෙන් යොමු කරවීම රටේ නමක් දිනූ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු නොකළ යුත්තක්.

හැම දෙනාටම වාසනාව උදා කරන චරිතයක් විදියට සලකන "ලාෆින් බුද්ධ" කියන මහායාන චරිතයටත් මෙහිදී විශේෂ ස්ථානයක් එහිදී උන්වහන්සේ විසින් ලබා දෙනවා. අපේ පන්සල් වල සමහර දේවාල පවත්වන් යන්නේ ඒ පන්සලේම හාමුදුරුවන් වගේ දෙයකුයි මෙයිනුත් සිද්ධ වෙන්නේ. මිත්‍යා දෘශ්ඨීන් වලට යොමු කරවීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙය සොයා බැලිය යුතු කරුණක් වෙනවා වගේම බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් ඉදිරියට මතු වෙන බවත් අපේ බෞද්ධ ජනතාවට මේ ලිපියෙන් කියන්නට කැමතියි.

ඒ හැම බෞද්ධයෙක්ටම කියන්න උත්සාහ කරන්නේ, දිනූ නමක් ඇති ස්වාමීන් වහන්සේ නමකගේ දේශණාවට ඇහුම්කන් දෙනවද, නැතිනම් ලොව්තුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත සද්ධර්මය අනුගමනය කරනවාද කියන ප්‍රශ්ණාර්ථය ඉතුරු කරමින් මේ ලිපිය මෙතනින් අවසන් කෙරෙනවා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.