Saturday, October 16, 2010

ඔන්න ඉතින් පහුගිය තුන්(3) වෙනිදා, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් මාසයේ තුන් වෙනිදායින් ආරම්භ කෙරුණු ඔලිම්පික් ක්‍රීඩා මහෝත්සවයට විතරක්ම දෙවෙනි වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මහෝත්සවය අපේ අසල්වැසි ඉන්දියාවේ දිල්ලි නුවරදි බොහෝමයක් බාධක කම්කටොළු මධ්‍යයේ, අවසානයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. මේ තත්ත්වයට එන්නට බොහෝ දෙනාගේ උදව් උපකාර වගේම හොඳ හොඳ පාඩනුත් ඒ රටේ ජනතාවටත් ලොකු ලොකු තනතුරු දරන උදවියටත් ඉගෙන ගන්නට සිද්ධ වුනා. මේ තාක් කල් පැවැත්වුනු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි අතරින් නරක නාම වැඩියෙන්ම අහන්නට ලැබුනු තරඟාවලිය, මෙවර පැවැත්වුණු දහ නව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය වෙන්නත් පුළුවන්.

ඔය ඉතින් 2010 වසරේදී ඉන්දියාව ලබපු ලොකු ජයග්‍රහණයක්. මීලඟ ජයග්‍රහණය හිමි වෙන්නේ තවත් රටකට 2014 වසරේදී. ඒ ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ (Glasgow) නුවරට. ඒත් ඊට පස්සේ එළැඹෙන 2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන රට මොකද්ද කියලා ඔයාලා දන්නේවත් නැතුව ඇති. ඒත් සමහරු නම් මේ වෙද්දිත් දන්නවා ඇති. ඇත්තෙන්ම ඒ රට මොකද්ද කියලා තවමත් තීරණය කරලා නෑ. නමුත් 2018 වසර සඳහා තරඟාවලිය පැවැත්වීමට සුදුසු රට තෝරා ගැනීමේ තරඟය ඔන්න දැන් පටන් අරගෙනයි තියෙන්නේ. ඒ තරඟකරු යුගලය වන්නේ, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ පිහිටි ගෝල්ඩ් කෝස්ට් නගරය සහ ශ්‍රී ලංකාවේ දකුණු දිග් බාගයේ හම්බන්තොට නගරයයි. මේ හීනය සැබෑ වෙයිද?

ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ සිහිනය සාර්ථක වෙනවා නම් වඩාත් කැමතියි. කවමදාකදි ඔලිම්පික් තරඟාවලියක් නැරඹීමට යන්නටවත් හැකියාවක් නැති අපි-ඔයාලට මේ වගේ අවස්ථාවක් අපේ රට තුලදීම ලැබීම එක අතකට වාසනාවක් විදියට සලකන්නට පුළුවනි. ඒ වගේම මින් සිද්ධ වෙන රටේ සංවර්ධන සීඝ්‍රතාවේ වර්ධනයත් තවත් ඉහළ යාවි. මොකද හම්බන්තොට නගරය 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩල තරඟාවලිය පැවැත්වීමට නියම වූවොත්, පෙර දැනුම් දුන් නිෂ්චිත කාලයක් ඇතුලතදී අනිවාර්යෙන්ම ඒ සඳහා සූදානම් විය යුතුව තියෙන නිසා.

අපේ රටට මේ අභියෝගය බාර ගන්නට අත හිත දෙන තවත් රාජ්‍යයක් තියෙනවා. ඈත අතීතයේ සිටම ලංකාවත් එක්ක මිත්‍ර සබඳතා පවත්වපු චීනය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සියළු වියදම් දරා සෑම අංගෝපාංගයන්ගෙන්ම සමන්විත ක්‍රීඩා ස්ථාන ශ්‍රී ලංකාවේ ඉදි කිරීමටත් සූදානම්ව සිටින බවත් සතුටින් කියන්න පුළුවනි. ඒ නිසාවෙන් ලංකාවට කිසිම බයක් සැකක් නොමැතිව මේ තරඟාවලියට සූදානම් වීමේ හැකියාවක් ලැබේවි. ඉහළ පන්නයේ ක්‍රීඩා පිටි නිර්මාපකයන් අතර ඉහළින්ම සිටින රටක් හැටියට චීනය දැවැන්ත නමක් මුළු ලෝකය පුරාම දිනලා තියෙනවා. ඒ ගැන බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීත් ඔප්පු වුනා මතකයිනේ? ඒත් මේ මොන දේ වෙන්නත් ලබන වසරේ, ඒ කියන්නේ 2011 වසරේ නොවැම්බරය වන තෙක්ම ඉන්නට සිද්ධ වෙනවා. ඒ, තෝරා ගත් රට කුමක්ද කියා ප්‍රකාශයට පත් කෙරෙන්නේ එවිට නිසාවෙන්.

දකුණුකරේ අයෙකුම රටේ මූලික ස්ථානය හොබවන නිසාවෙන්ම දකුණුකරය හැම අතින්ම රටේ ස්වයංපෝශිත නගරයක් කරන්නට ඔහු උත්සාහ දැරීම සැකයට කාරණාවක් නෙවෙයි. දැනටමත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවනේ. උදාහරණයක් විදියට කීවොත් මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපල වගේම හම්බන්තොට වරාය. ඒ විතරක්ම නෙවෙයි, කටුනායක නගරයේ ඉඳලා අධිවේගී දුම්රිය මාර්ග සේවයක්ද නිම කිරීමට සැදී පැහැදී සිටිනවා. ඒ වගේම, අධිවේගී මර්ග පවා අද ඉදි කෙරෙමින් පවතින නිසා රටේ යම් යම් අංශ වල දියුණුවක් දකින්නට පුළුවන් වෙනවා.

කොහොමින් කොහොම හරි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව තේරීම ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තීරණයක් වේවි. සංචාරක කර්මාන්තයේ වර්ධනයට වගේම දියුණුවටත් ඒක උපකාරයක් වේවි. ඒ විතරක් නෙවෙයි අති විශාල ප්‍රමාණයකින් රටේ යටි තල පහසුකම් වර්ධනය වීමකුත් සිද්ධ වේවි. අති දැවැන්ත අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා උධ්‍යානයක් මේ වෙනුවෙන් නිම කිරීමට යෝජිත වෙලා තියෙනවා. ක්‍රීඩා මණ්ඩප තිහකින් පමණ නවීණ තාක්ශණය වගේම පහසුකම් ඇතුලත්වයි මේ ස්ථාන අළුතින්ම ඉදි කෙරෙන්නේ. නමුත් තීරණය තවමත් අවිනිෂ්චිතයි. චීන ජනරජයේ උපකාරීත්වයත් ඇතිව සිද්ධ වෙන මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට පාට පක්ෂ නොසලකා හැරලා සහයෝගය දෙන එක ලාංකිකයන් හැටියට බොහොමත්ම වැදගත් වෙනවා.

ඉතින් ඔයාලත් කැමතිද මේ සිද්ධ වෙන්න යන විපර්යාසෙට? හැබැයි ඉන්දියාවේ සිද්ධ වුනා වගේ නාස්තියක් සහ දූෂණයක් සිද්ධ නොවේවා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. පරිසරයටත් හිතකාමීව සිද්ධ වෙනවා නම් තමයි වඩාත් හොඳ. අපේ රට ලෝකයටම බබළවලා පෙන්නන්නට ඔයාලත් කැමතිද? හිතන්නට කාරණා බොහෝමයක් මේත් එක්කම මතු වෙනවා. දේශපාලනික මති මතාන්තර රාශියක් මේත් එක්කම පැන නැගේවි. ඒත් අනාගතයේ දකින්නට ලැඹෙන සංවර්ධන ක්‍රියා පිළිවෙතක් නිසාවෙන් ඊට සහයෝගය දැක්වීම ශ්‍රී ලාංකික කාගේත් යුතුකමක් විදියටයි මම දකින්නේ. ඔබේ අදහස් වලට මෙතැන ඉඳන් ඉඩ කඩ තියෙනවා.

7 පාඨක අදහස් | Comments:

Anonymous said...

රටක් විදිහට අපි මේ වගේ සිහින දකින්න ඕනේ. ඒවා සැබෑ කරගන්න එකා වන්ව මහන්සි වෙන්න ඕනේ. ඕනෙ එකටයි එපා එකටයි දේශපාලනය පටලවාගෙන රටේ ඉදිරි ගමනට මග අහුරන කුහක කමින් මිදෙන්නට කාලය ඇවිත්

පළගැටියා

ආදර කතාව said...

අපිත් කැමතියි ඒක ඒ ව්දිහට වෙනවනම්. ඒත් යතාර්ථය ගැන හිතුවොත් අපි වගේ රටකට පුලුවන් වෙයිද ඒ වගේ අති දැවැන්ත කර්තව්‍යකට මූල්‍යමය ශක්තිය සපයන්න. ඉන්දියාව ගත්තොත් ලෝකයේ තියන දැවැන්තම ආර්ථික වලින් එකක්. එහෙම රටකට ඔය ක්‍රීඩා උළෙලට වැය වුනු මුදල දරාගන්න පුලුවන්. ඒත් අපි ගොඩක් පොඩි රටක්. චීනය වුනත් ඔය දේවල් නිකං හදල දෙන්නෙ නෑ නෙ. කොහොම වුනත් අපි හැමෝමත් කැමතියි 2018 ඕක ලංකාවෙ පැවැත්වෙනවනම්. ඒත් මේ නිසා ලාංකික ජනතාවට අනවශ්‍ය මූල්‍ය පීඩනයක් වුනොත් ඒක හරි අපරාදයක්. ජය වේවා!

Anonymous said...

On October 2, 2010, the Gold Coast emerged as the hot favourite to host the 2018 Commonwealth Games after a delegation representing the Sri Lankan city of Hambantota, failed to take up an invitation to make a pitch to the Games Federation in New Delhi.

ඔන්න ඕකයි ඇත්ත

http://en.wikipedia.org/wiki/2018_Commonwealth_Games

Teshan said...

මෙහෙම දෙයක් වුන පලියටම ඒකේ ප්‍රතිපලය අසාර්ථක වෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොලැබුනොත් ඒ ඉන්දියාවේ පැවැත්වුනු අසාර්ථක සංවිධානය නිසාවෙන් ඊට නුදුරු අපේ රටත් එවැනිම අර්බුධ වලට මුහුණපාවී කියන හිතුවිල්ලෙන්.

චීනය වගේ දැවැන්තයෙකුත් මේකට සහයෝගය දෙනවා නම් අපිට ඒක අහිමි වුනොත් අහිමි වෙන්නේ ඔය හේතුව නිසාවෙන්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ දැන් යුද්ධයත් නෑ නේ. අනික දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල 2006 දී පැවැත්වුනේ යුද්ධේ අස්සෙ නේ.

ඉන්දියාව දැවැන්තයෙක් වුනත් දන්නවාද ඔය ඉදිකිරීම් සම්පූර්ණ කරන්න රටේ මිනිසුන්ට බදු බර වැඩි කරා කියලා? නෑ නේද? බඩු මිල අහස උසට නැග්ගා. ඒ නිසාවෙන් හැමෝටම ඕකට වක්‍රව දායක වෙන්නත් වුනා කිව්වොත් හරි. ඔය වගේ දේවල් අන්තිම මොහොතෙදි වුනේ හරි හමන් පරිපාලනයක්, සංවිධානයක් නොතිබුණු නිසාවෙන්. ඉතින් අපේ රටෙත් එහෙම වේවි කියලා දැන්ම උපකල්පනය කරන්න බෑ නේ.

Unknown said...

2018 ‍තෝරා ගැනීම සඳහා තිබ්බ සම්න්ත්‍රනයට අපේ ලංකාවේ නියෝජිතයෝ අදාල ඉදිරිපත් කිරීම සිදු කලේ නෑ නේද? ඒ අවස්ථාව අපේ අය මග හැරියා නේද....

Teshan said...

එහෙමත් දෙයක් වෙලාද? අනේ මන්දා. මම දැනන් හිටි විසතර වලිනුයි මේ ලිපිය ලිව්වේ. ඒත් මේ හීනය දකින්න මම නම් ගොඩක් ආසාවෙන් හිටියේ. :(

Anonymous said...

sri lanka has its own bid committee now headed by Cabraal sri lnaka will also have the south asian beach games in hambantota before they present the bid for the 2018 games.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.