Saturday, October 2, 2010

මේ ලිපියේ වැදගත්කම ගැන ඔයාලට තව ටික දවසකින්ම තේරුම් යාවි. මේ ලිපිය පසු දවසකදී ලියන්නට හිතාගෙන හිටියත් මේ ලිපිය එළි දැක්වීම මේ තරම් ඉක්මණින්ම සිද්ධ කරන්නට සිද්ධ වුනේ හදිසියේ දකින්නට ලැබුණු දෙයක් නිසාවෙන්. ඒ රූපවාහිණියෙන් දැකපු දෙයක් හින්දා. මේ දේ මේ තරම් ඉහළින්ම දකින්නට ලැබේවි කියලා හිතුවේ නෑ. නමුත් නොහිතපු විදියට තමයි මේ හැම දෙයක්ම මේ තරම් ඉක්මණින්ම සිද්ධ වෙමින් තියෙන්නේ.

මම මේ දැකපු රූපවාහිණී වැඩසටහන විකාශය වුණේ ප්‍රසිද්ධ රූපවාහිණී නාළිකාවක. මේ නාළිකාවේ ලාංඡනයේ ඉන්නේ ලස්සන කුරුල්ලෙක්. මෙහෙම කිව්වම ඔයාලට තේරෙනවා ඇති මේ මොන නාළිකාවද කියලා. ඇත්තෙන්ම මේක නාළිකාව ගැන ගැටළුවක් නෙවෙයි; විකාශය වුනු වැඩසටහනේ ගැටළුවකුත් නෙවෙයි; වැඩසටහනේදී ප්‍රචාරය ලැබුණු දේ ගැනයි.

මේ වැඩසටහනේ තිබුණේ ඉතාමත්ම වැදගත් ශාස්ත්‍රීය ස්වභාවයක් පසුගිය කාලයේදී. ඒත් මේ වැඩසටහන විකාශය වුනේ බොහෝ විට පොහොය දවස් වල විතරයි මම දන්න විදියට. ඉතින් කොහොමින් කොහොම හරි මේ වැඩසටහන මේ දවසේත් විකාශය වුනා. මේ වැඩසටහනට පැමිණෙන්නේ එකම ස්වාමීන් වහන්සේ නමක්. ඇත්තෙන්ම කියනවා නම් හරිම ප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්. විවිධ ධර්ම ගැටළු විසඳමින් ගෙන ගියපු මේ වැඩසටහනේ මීට කළකට ඉහතදී ශාස්ත්‍රීය ගතියක් තියෙනවාය කියලා මම කිව්වේ ඔන්න ඔය ගැටළු විසඳීමේ ලස්සන නිසාමයි. බොහෝ දුරට විද්‍යාවෙන් වගෙම බුදු දහමෙනුත් විවිධාකාරයේ ගැටළු නිරාකරණය වුනේ.

කාලයාගේ ඇවෑමෙන් මේ වැඩසටහනෙන් ඒ ස්වාමීන් වහන්සේ අතින් මෛත්‍රීය බුදුන් ගැන බොහෝ දේවල් ප්‍රකාශ කෙරුණා. ඒ විතරක් නෙවෙයි ඒ වැඩසටහනේ මාර්ගයෙන් මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව පිළිබඳවත් පුදුමාකාර ආකාරයේ ඇල්මකින් ප්‍රකාශයන් ඉදිරිපත් කරා පමණක් නෙවෙයි ඒ හරහා බැතිමතුන් විශාල පිරිසක් උන් වහන්සේ වටා එක් රොක් කර ගන්නටත් අවස්ථාවක් ලැබුනා කීවොත් නිවැරදියි.

ඇත්තෙන්ම බෝධිසත්ත්ව වන්දනාව පැවතෙන්නේ මහායාන බුදු දහමේ බව දන්නා අය දන්න කාරණාවක්. මේ දෙයින් උන්වහන්සේ අදහස් කරන්නේ හින්දු දෙවි දේවතාවන් වටා බෞද්ධයන් එක් රොක් වීම වළක්වලා මතු බුදු වෙන මෛත්‍රීය බෝධිසත්ත්වයන් හට වන්දනා නමස්කාර කරන්නට ඒ බෞද්ධයන්ට හුරු කරවීමයි. අදහස හොඳ දෙයක් වුනත් මේ දේ දැන් අති උග්‍ර තත්ත්වයකට පත්වෙලා. බුදු රජාණන් වහන්සේ ගැන කිසිම සඳහනක් නැති තරමටම මෛත්‍රීය බෝධිසත්ත්වයන්ට කරන පුද පූජා පවා පැවැත්වෙන තත්ත්වයකට පත් වෙලා.

කොටින්ම ඒ වෙනුවෙන් වෙනම භූමියක වන්දනා ස්ථාන පවා ඉදි කරලා තිබුණා ඒ රූප රාමු වල. කතරගම දේවාලයේ තේවාවන් කරනා ආකාරයටම වගේ මේ බෝධිසත්ත්ව දේවාලයේත් පුද පූජා පැවැත්වෙනවා. අඩු තරමින් ඒ බෝධිසත්ත්ව කුටියට ඇතුල් වන්නට පේ නොවූ අයෙකුට ඉඩක් නොලැබෙනා තරමටම ඒ දේ අති උතුම් ආකාරයෙනුයි පවත්වා ගෙන යන්නේ.

අපි දන්න බුදු දහම අනුව බුදු රජාණන් වහන්සේ යනු කෙනෙක්ට දකින්න පේ වීමකින් තොරව ඉඩක් කඩක් ලැබුනු උතුමෙක්. සුනීත සෝපාක වගේ දුගඳ හමන අසරණයින් දකින්නට පවා බුදුන් වැඩම කරවූයේ ඔවුන් පේ වී ඇතිද නැතිද යන වගක්, උසස් පහත් බවක් සිතා නොවෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. මේ සිද්ධ වෙන මෛත්‍රීය බෝධිසත්ත්ව වන්දනාව දැන් හිස ඔසවමින් අපේ නිර්මල ථේරවාදී බුදු දහම අනුගමනය කරනා බෞද්ධයින් මහායාන දර්ශනය වෙන වක්‍රාකාරයෙන් යොමු කරවීම රටේ නමක් දිනූ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු නොකළ යුත්තක්.

හැම දෙනාටම වාසනාව උදා කරන චරිතයක් විදියට සලකන "ලාෆින් බුද්ධ" කියන මහායාන චරිතයටත් මෙහිදී විශේෂ ස්ථානයක් එහිදී උන්වහන්සේ විසින් ලබා දෙනවා. අපේ පන්සල් වල සමහර දේවාල පවත්වන් යන්නේ ඒ පන්සලේම හාමුදුරුවන් වගේ දෙයකුයි මෙයිනුත් සිද්ධ වෙන්නේ. මිත්‍යා දෘශ්ඨීන් වලට යොමු කරවීමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මෙය සොයා බැලිය යුතු කරුණක් වෙනවා වගේම බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයක් ඉදිරියට මතු වෙන බවත් අපේ බෞද්ධ ජනතාවට මේ ලිපියෙන් කියන්නට කැමතියි.

ඒ හැම බෞද්ධයෙක්ටම කියන්න උත්සාහ කරන්නේ, දිනූ නමක් ඇති ස්වාමීන් වහන්සේ නමකගේ දේශණාවට ඇහුම්කන් දෙනවද, නැතිනම් ලොව්තුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශිත සද්ධර්මය අනුගමනය කරනවාද කියන ප්‍රශ්ණාර්ථය ඉතුරු කරමින් මේ ලිපිය මෙතනින් අවසන් කෙරෙනවා.

2 පාඨක අදහස් | Comments:

Nuwan said...

ඇත්ත කතාව. අපේ කට්ටියක බුද්ධ දර්මයට වඩා, හින්දු දෙවි කෙනෙක් ලොකු වෙලා...

Anonymous said...

මෙතන ප්‍රශ්ණයක් තියෙන්නේ හරිහමන් දැනුමක් නැති පිස්සන් වගේ දේවාල ගානේ දුවන උප්පැන්න සහතිකයට පමණක් වූ බොදුනුවන්ටපමණයි. යමත් කමක් තේරෙන බොදුනුවන් මේ විකාර පස් පස යන්නේ නෑ. කොහොම හරි ජනප්‍රිය වෙන්න දගලන කෙනෙක් තම ඔය ස්වාමින් වහන්සේ. කාලයක් විද්‍යාව ඈදාගෙන ජනප්‍රිය වෙන්න බැලුවා. ඊට පස්සේ වෙන ජනප්‍රිය දක්ෂ ස්වාමින් වහන්සේලාගේ ධර්මදේශණා අනුකරණය කරන්න පටන් ගත්තා. පස්සේ එක එක විකාර පොත් ලීවා. දැන් තවත් එකක් පටන් අරන්. මහනායක හිමි වරුන් විසින් මේවාට මැදිහත් වීම සුදුසුයි යන්න මගේ අදහසයි

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.