Showing posts with label බ්ලොග | Blogs. Show all posts
Showing posts with label බ්ලොග | Blogs. Show all posts

Sunday, October 17, 2010

කලින් පල කරපු ලිපියත් එක්කම මගේ සිය වන ලිපියත් පල වුනා. ලිපි ශතකයක්ම ලියලා ටිකක් මහන්සි වුනත් ලිවීම නම් අත හරින්නට කිසිම කල්පනාවක් මට තවමත් ඇති වෙලා නෑ. ඒ ගැන නම් මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ඒත් මගේ ලිවීමේ බරපතලකම මෑතකදී මට පැහැදිලි වුනා. ඒ මගේ මේ ලිවීම් වලට ලැබෙන පාඨක අදහස් නිසා නම් නෙවෙයි. මේ කතාව ගැන එකසිය එක් වෙනි ලිපියෙන්ම මම කියන්නට හිතුවේ නොකියාම බැරි කමටයි. ඒත් මේ වගේ දේවල් ඔයාලා හැමෝටම සිද්ධ වෙන්න හරි නොවෙන්න හරි පුළුවනි. කාට කාටත් දැන ගන්නටයි මේ ලිපිය ලියන්නට හිතුවේ. එහෙනම් ඔන්න දෙවෙනි ශතකයට මේ ලිපියෙන්ම මම ආරම්භය ලබා ගන්නම්.

මේ සිද්ධිය වුනේ පහුගිය ඔක්තෝබරයේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ, 2010 ඔක්තෝබර් මාසයේ අග භාගයේදියි. මම රැකියාවේ නිරත වූයේ කවුරුන් හැටියටද කියන එක ඔයාලා සමහර දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒක ආයෙමත් මතක් කලොත් හොඳයි කියලා හිතනවා. ඇත්තෙන්ම මම වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි සංවර්ධක ක්‍රමලේඛ යොදවන්නෙක් විදියටයි පහුගිය වසර තුනක කාලය පුරාවටම රැකියාවේ නිරත වූයේ.

ඉතින් කාලය ගතවෙලා යද්දී මට වගේම අපේ ආයතනයේ බොහෝමයක් දෙනාටත් තේරුම් ගන්නට බැරුව ගියා ආයතනයේ ඉදිරි දැක්ම මොන වගේ වේවිද කියලා. ඒ වගේම දැඩි අපහසුතා රාශියකටම රැකියාවේ යෙදුනු බොහෝ දෙනා මුහුණ පෑවා. කොහොමින් කොහොම හරි දාඩිය මහන්සියෙන් කරපු වැඩ වලට සරිලන මාසික පඩිය පවා මාස ගණන් පමා වෙන්නට පටන් ගත්තා. ලෝක ආර්ථික පසුබෑමක් 2009 වසරේ මුල් භාගයේදී හැම ආයතනයකටම වගේ දරුණු විදියට බලපෑවා. විශේෂයෙන්ම පරිගණක මෘදුකාංග සංවර්ධනයේ යෙදෙන ආයතන වලට. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටකට ඒ වගේ දෙයක බලපෑම, අනිවාර්යෙන්ම පුදුම වෙන්නට කාරණාවක් නම් නෙවෙයි. මේ බලපෑම නිසාවෙන් ආර්ථික අගහිඟතා වලට අවුරුද්දක්ම වාගේ අපේ ආයතනයත් 2008 අවුරුද්දේ ඉඳන්ම මුහුණ පෑවා. නමුත් දැන් ඒකේ බලපෑම ඉවත් වී තිබුණත්, තවමත් ගොඩ ඒමක් නැති පාටක් කාට කාටත් තේරුම් ගොස් තිබුනා.

මේ දේවල් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් හිටියා. අවසානයේදී ආයතනය සතුව තිබුණු වටිනා මානව වගේම ශ්‍රම සම්පත් රැසක් ආයතනය හැර දාලා ගියා. මේ දේවල් වලට ඇත්තෙන්ම ආයතනයේ ඉහල පරිපාලකයන්ගේ ක්‍රියා කලාපයත් බලපෑමත් එල්ල වුනා. සේවය කරපු බොහෝ දෙනා විවිධ අඩු පාඩු රැසකට මුහුණ දුන්නා. ගොඩක් දෙනා අමනාපෙන් ඒ දේවල් ගැන කතා කරා, බැන වැදුනා. මාසිකව ලැබිය යුතු වැටුප ඉල්ලා ලබා ගන්නා තැනටම පත්වුනා. මොකද එහෙම ඉල්ලුවේ නැතිනම් වැටුපක් ඒ මාසයට ලබන්නට හැකියාවකුත් නොතිබුණු නිසාවෙන්. මගේම මිතුරන් දැඩි අපහසුතා වලට මුහුණ දුන්නා. නවාතැන් වලට ගෙවනා මුදල ගෙවා ගැනීමටත් බැරි වුනා, සමහරු රෑට නොකා නොබී හිටියේ මාසෙට ලැබෙන මුදල මදි කමටමයි. ඇත්තෙන්ම මේ දේවල් බලාගෙන ඉන්නට බැරුව ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා සමගින් කතා බහ කළ බොහෝ දෙනාට සිද්ධ වුනේ තමන්ගේ නමට කළු ලකුණු එකතු කර ගැනීම හෝ ආයතනයෙන් ඉවත්ව යාම හෝ පමණයි.

මේ හේතුව හැරුනු කොට මා වැඩ කළ අංශයේ හිටි හැම දෙනාටම එක ව්‍යාපෘතියකට වඩා ප්‍රමාණයක් තනිවම කිසිම මග පෙන්වීමකින් තොරව කරගෙන යාමටත් සිද්ධ වෙලා තිබුණා. මේ ක්‍රමයත් ඒ තරම් හොඳ දෙයක් කියලා දකින්නට පුළුවන්කමක් තිබුණේ නෑ. මේ හේතූන් නිසාවෙන් ආරම්භ කරනා කිසිම ව්‍යාපෘතියක අවසානයක්, ඇරඹුණු ව්‍යාපෘති සියයට අසූවකම පාහේ දැක ගන්නට ලැබුණේ නෑ. ඒ දැනුම පමණක්ම ලබා දෙනවා හැරුණු කොට නිසි පිළිවෙලක්, මග පෙන්වීමක් නොලැබුණ නිසාවෙන් වගේම, විවිධාකාරයේ ක්‍රියා පිළිවෙලවල් ක්‍රියාවට නංවන්නට උත්සාහ ගැනීම් නිසාවෙන්. ලියකියවිලි පිරවීම් හැරුණුකොට වෙබ් අඩවි සංවර්ධන කාර්යයන් බෙහෙවින් අතපසු වීමත්, කල් ගත වීමත් අනිවාර්යෙන්ම දකින්නට ලැබුණු දෙයක් වුනා.

මේ හැම දෙයක්ම එකතු කරගෙන, හැමෝගෙම අඳෝනාවල්, මති මතාන්තර, කියුම් කෙරුම්, හැසිරීම් ද අන්තර්ගත කරගෙන සුදුසු මාතෘකාවක් යොදාගෙන මට කවි පෙළක් ලියන්නට සිහියට ආවේ ඒ වගේ අවස්ථාවකදීයි. ඒ කවි බොහෝ විට ලියැවුනේ ඉතාමත්ම ආවේගශීලී ස්වරයකින්. ඒ නිසා බොහෝ දෙනාට ඒ කවි පෙළින් රිදීමේ හැකියාවත් දැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තිබුණා. හැබැ‍යි එකක් කිවයුතුමයි. මේ දේට කිසි කෙනෙකුගේ මග පෙන්වීමක්, උසි ගැන්වීමක් නම් මට ලැබුණේ නෑ. මේ සිතුවිලි හිතට එන හැටියට වචන ගලපලායි ඒ කවි පේළිය ලියැවුනේ. මේ කවි පෙළ පල වුනේ මගේ කවි නිර්මාණ එකතුව වුනු නිශා පෙම් හසරැල් බ්ලොග් අඩවියේයි.

මේ කවි පෙළට පළමුව, ආයතනයේම සොයුරියකගේ කවි පෙළකට ලියවුනු තවත් කවි පෙළකට මුළු ආයතනයේම බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ලැබුණා. ඒ මොකද ඒ දෙයින් කියා තිබූ දේවල් ඒ හැමෝම පිළිගන්න නිසාවෙන්. ඒ කවි පෙළ කිසිම අයෙකුට වැරදි කියූවක් නම් නෙවෙයි. නමුත් ඒ අයගෙන්ම සමහර දෙනා මේ සිද්ධියටත් සම්බන්ධ බව පස්සේ දැන ගන්නට ලැබුණා. මා කලින් කීවාක් වගේම බොහෝ දෙනාගේ වැරදි, අඩු පාඩුකම් සහ ආයතනයේ වැරදි රැසක් අන්තර්ගත කරලා ලියැවුණු මේ දෙවෙනි කවි පෙළ ආයතන ප්‍රධානියා වෙත යොමු කළේ මුලදී ආයතනයේ අඳුරු පසුබිම පිළිබඳව ලියැවුනු කවි පෙළට ප්‍රශංසා පල කළ උදවියගෙන් සමහර දෙනා විසින්මයි. එකට ඉන්නා බොහෝ දෙනා හතුරන්ටත් වඩා හපන් බව වටහා ගන්නට බොහෝ දෙනාට මගේ කවි පෙළ උදව්වක් වුනා කියන්නත් පුළුවනි. නමුත් මේ කවි පන්ති පිළිබඳව ආයතන ප්‍රධානී තුමන් හට මගේ නමත් සමගමයි දැනුම් දී තිබුණේ. ඒ නිසා කෙළින්ම දෝශාරෝපණය එල්ල වූයේ මට වගේම මා වැඩ කළ අංශයේ කීප දෙනෙකුටයි.

මතක් කළ යුතු අනිවාර්ය දෙයක් තියෙනවා. එනම් මේ කිසිම කවි පෙළක කිසිම අයෙකුගේ හෝ කිසිම ආයතනයක නමක්, ගමක් සඳහන් කර නොතිබීමයි. නමුත් අවසානයේදී නමත් හමත් යන්නට හේතු වූයේ ඒ දේමයි. මීට ප්‍රධානතම හේතුව වූයේ නිවැරදි තොප්පිය නිවැරදි පුද්ගලයන් විසින්ම පැළඳ ගැනීම නිසායි. ඒ වගේම මේ සම්බන්ධව සියළු ඇත්ත කාරණා ආයතන ප්‍රධානියා සමග කතා බහ කරන්නතත් මම වග බලා ගත්තා. මොකද, ඇත්ත කියන්නට බය නොවිය යුතු නිසාවෙන්. ඒ වගේම කවි පේළි වලිනුත් පැවසූයේ සත්ත්‍යයක් නිසාවෙන් බය වෙන්නට කිසිම කාරණාවක් තිබුණේ නෑ.

අවසානයේදී ආයතනයේ ප්‍රධානී තුමන්ගේ ඉල්ලීම මත ගන්නට තීරණ දෙකක් මට ඉදිරිපත් වූවා. පළමු එක, ආයතනයේ මාසික සභා රැස්වීමේදී නැගිට සැමගෙන්ම සමාව අ‍යැදීම හෝ සේවයෙන් බැහැරව යාමයි. මින් මා තෝරා ගත්තේ දෙවැනි තීරණයයි. ජීවිතයේ ගත් දැඩි තීරණ වලින් එකක් හැටියට මේ තීරණය ගැන කියන්නට පිළිවන්. ඒ තීරණය දැඩි වන්නට කරුණු කාරණා රැසක් තිබුණා. එනම් ආයතනය අප වෙනුවෙන් දැරූ මුදල් සම්භාරයක් නැවත ආයතනයට ලබා දීමට තිබූ අපහසුතාව වගේම අභියෝගය. ඒ සම්බන්ධවත් කිව යුතු කරුණු රැසක් තියෙනවා. තමන් විසින් තමන්ගේම හම යවා ගන්නා තීරණයක් කීවොත් වඩාත් නිවැරදියි. ඒ ගැනත් තවත් ලිපියකින් දන්වන්නම්. නමුත් මගේ අවසාන තීරණය දැනුම් දීමත් සමගම මා නැවත ආයතනයේ තබා ගන්නටත් ඔවුන් බොහෝ උත්සාහයක් දැරූ බව මට තේරුම් ගියා. ඒ මන්දයත් බොහෝ ව්‍යාපෘතීන් වෙනුවෙන් මාගේ සහභාගීත්වය පැවතීමත්, ආයතනය මා පිළිබඳව තබා තිබූ දැඩි විශ්වාසයත් නිසාවෙන්. නමුත් මගේ ජීවිතේදී නම් අවසාන තීරණයක් කියන්නේ, අවසාන තීරණයක්ම තමයි. මිතුරු වෙසින් සිටි සමහරුන්ට මගේ කවි පෙළින් සිදු වුනු රිදවීම නිසාවෙන්, ඔවුන් සිදු කළ කේලම් කීම නිසාවෙන් ඔවුන් ආශ්‍රය කිරීමට කිසියම් ම කැමැත්තක් නොවීමත් මේ තීරණයට ලොකු පිටිවහලක් වුනා කීවොත් නිවැරදියි.

මේ ලිපිය මේ විදියට අවසන් වෙද්දී අද එම ආයතනයෙන් පිටව සිටිනා මා, ජීවිතයේ හොඳ වැදගත් පාඩමක් වගේම අත්දැකීමකුත් ලැබුවා කියන්නට පුළුවනි. ඔයාලටත් මෙවැනි දේ සිද්ධ වෙන්නට පිළිවන්. මා මේ ලිපියේ සඳහන් කරපු තමන්ගේ හම තමන් විසින්ම ගලවා ගැනීම සම්බන්ධයෙනුත් ලිපියක් අනිවාර්යෙන්ම පල කරන්නම්. නමුත් එවන් දෑ සිදු නොකිරීමටත් වග බලා ගත යුතු බව මතකයේ තබා ගැනීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මගේ සිතුවිලි හෙළි කිරීමට ඇති නිදහස එම ආයතනය වැළකූවා නම්, ඒ එම ආයතනය තුළ ගත කළ ඒ අවසාන කාලය තුලදී පමණක් බවත් මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මාගේ ලිවීම කාගේ හිත් රිදවූවත් ඔවුනොවුන් අමනාප වන්නට මත්තෙන් හිතන්නට යමකුත් ඒ තුල ඇතුලත්ව ඇති බවත් සිහි නගා ගත යුතු බව තවදුරටත් මතක් කළ යුතුව තිබෙනවා.

Wednesday, September 15, 2010

මගේ කවි බ්ලොග් අඩවියෙන් ඒ කියන්නේ "නිශා පෙම් හසරැල්" අඩවියට මම ඉතින් අද දවසේදී නැවතත් පණ දුන්නා පල කරපු කවි පන්තියකින්. මාස තුනකට ආසන්න කාලයක් අකල්මන්‍ය තත්ත්වයේ තිබුණු මගේ ඒ කවි පිටුව ආයෙමත් ප්‍රාණවත් කරපු ඒ කවි පන්තිය "ලොකු ගසක කතාව" කියලයි මම නම් කෙරුවේ.

මේ කවි පන්තිය එහෙම නම් කරන්න හේතු කීපයක්ම තිබුණා. මොකද ඒක ගහක් වටා ගෙතුණු කතාවක් නිසාත් වර්තමානයේ අපි දන්නා අඳුරන පිරිසක් අතරේත් කතා බහට ලක් කරන්නට හිතලා ලියන්නට හිතපු කවි පන්තියක් නිසාත් එවැනිම ගසක් වටා ගෙතුනු කවි පන්තියකට පිළිතුරු ලිවීමක් හැටියටයි.

ඔන්න ඉතින් ඒ කවි පෙළ ලියුවා විතරක් නෙවෙයි බොහෝම විදියට කතා බහටත් ලක් වෙමින් තියෙනවා. ඇත්තෙන්ම මුලින්ම කියන්නට ඕනේ මේ කවි පන්තිය ලිව්වේ කා එක්කවත් තියෙන තරහවකටවත් කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්නටවත් නෙවෙයි. අර මුලින් කියපු තවත් ගහක් වටා ගෙතුනු කවි පන්තියට පිලිතුරු කවි පෙළක් ඉදිරිපත් කරන්නට හිතේ ඇති වුන අදහසක් නිසාවෙන්. ඒ වගේමයි මේ කවි පෙළ කියවද්දී ඕනෙම කෙනෙක්ට තේරුම් යන දෙයක් තමයි මේක අභ්‍යන්තරයේ කියලා තියෙන්නේ මොන ආකාරයක සිද්ධියක් ගැනද, මොකක් වටාද ඇත්තටම මේ දේ බැඳිලා තියෙන්නේ කියලා.

මේ ගහ අපි හැමදාම දකින පාරේ තියෙන ගහක් ගැන නම් නෙවෙයි. ඒත් මේ ගහ නිසා ලාභ පාඩුකම් වගේම දුකට පත් වෙන, වෙලා තියෙන යම් යම් ජන කොට්ඨාශ කීපයකුත් තියෙනවා. ඒ එක් ජන කොට්ඨාශයකට මමත් අයිතියි. ඒ වගේම මගේ යාළුවනුත් අයිතියි. මේ මාතෘකාව දිහා ඔය ජන කොට්ඨාශ විවිධ පැතිකඩ වලින් බලන්නට පුළුවන්. මොකද ඒ ඒ අයට මේ කරුණ බලපාන්නේ විවිධාකාර විධියට. ඒ විතරක් නෙවෙයි මේ දිහා බලන කෝණයනුත් එකිනෙකට වෙනස්.

මේ කවි පෙළේ මුල් කවියෙන් අදාළ ගසේ අතීතය ගැනත් ඉන් මතු කවි වලින් එහි වර්තමාන ස්වරූපයත්, එහි බලපෑමට ලක් වුනු උදවිය ඒ ගස දිහා බලන ආකාරයත් ගැනත් කියන්නට මම උත්සාහ අරගත්තා. මොකද අර මුලින් කියූ අනිත් කවි පන්තිය ඒ ගසේ ගුණ විචාරයකට මං පෙත් සාදා තිබුන නිසාවෙන්.

ඉතින් ඔයාලත් මේ කවි පෙළ කියවලා බලන්න. ඔයාලට හිතෙන දේ කියන්න. මේ දේ මට විතරක්වත්, මේ ගසේ බලපෑම් වලට ලක් වුනු අයවත් අතරේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පොදු ප්‍රශ්නයක්. ඔයාලටත් මෙහෙම අවස්ථා වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන් කවදා හරි දවසක. ඒත් එහෙම නොවෙනවා නම් තමයි අපි හැමෝම කැමති.

Thursday, August 26, 2010

මේ ලිපිය ලියන්නේ මගේ බ්ලොග් අඩවියට ඇවිත් ලිපි කියවන හැම දෙනාටමයි. මුලින්ම ඒ අයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මගේ බ්ලොග් අඩවියෙන් පල වෙන ලිපියක් දෙකක් කියවන්න කාලය මිඩංගු කළාට.

ලිපියක් පල කරාට පස්සේ ලැබෙනා කමෙන්ට් සහ අදහ
ස් දිහා දකිද්දී නම් හිතෙනවා බොහෝමයක් දෙනා මේ බ්ලොග පිළිබඳවත්, රචනා කරන මා පිළිබඳවත් දැඩි උනන්දුවකින් පසු වෙන බව.

නමුත් පැමිණෙනා සමහර නිර්ණාමික කමෙන්ට් සහ අදහස් මින් මතුවට මෙහි පල නොකෙරෙන බවත් මතක් කරන්නට කැමතියි. මන්දයත් ඒවායේ අඩංගු කරුණු කාරනා අතිශය අසභ්‍ය භාවයකින් යුතු නිසා. ඒ වගේම එවැනි අදහස් වලට මගෙන් ද කිසිම ආකාරයක ප්‍රතිචාරයක් ද නොලැබෙන බවත් සඳහන් කරන්නට කැමතියි. අදහස් හා කමෙන්ට් පල කරන්නේ නම් ඔබ කවුරුන්ද යන වගත් සඳහන් කරන්නට මතක තියා ගන්න.

නිර්ණාමික අසභ්‍ය අදහස් පල නොකරන බවත් නිර්ණාමික නමුත් වැදගත් අදහස් පමණක් පල කරන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. පිළිතුරු සපයනවා නම් ඒ නාමික අදහස් සහ කමෙන්ට් වලට පමණක් බවත් මතකයේ තබා ගන්නා ලෙස කාරුණිකව ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

ඔබේ අදහස් පල කිරීමේදී ඔබ භාවිතා කරනා භාශාවේ සහ යෙදුම් වල යෝග්‍යතාව සහ සදාචාරාත්මක බවින් ඔබගේ හැදියාව, ඔබේ පවුල් පරිසරයත්, දෙමාපියන්ගේ ගතිගුණත් පිළිබිඹු වන බවත් මේ සමගම මතක් කරන්නට කැමතියි.

කෙසේ නමුත් එවැනි අදහසක් එවන්නට හෝ මේ පැත්තට පැමිණෙන සියළු දෙනාට මම ස්තූති පූර්වක වෙනවා. එක අතකට එයම ප්‍රමාණවත් මිතුරන්, හතුරන් සහ පල ඇති නැති රුක් තෝරා බේරා ගෙන හඳුනා ගන්නටත්.

මගේ මේ බ්ලොග් අඩවියේ වෙනස් විය යුතු තැන් සහ අඩු ලුහුඬු පවතිනවා නම් ඒවා මැනවින් පෙන්වා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම එවැනි වෙනස්කම් සාධාරණ ඒවා නම් වෙනස් කරන්නට සූදානම් බවත් පවසනවා.

වරදක් පෙන්වා දෙන්නා නිධානයක් පෙන්වා දෙන්නෙක් වැනි යැයි බුද්ධ දේශනාවක්ද වෙන නිසා අඩු පාඩු පෙන්වා දුන් සියළු දෙනාට බොහෝමයක් ස්තූති පූරවක වෙනවා.

ඔබට ජය!!!

Sunday, August 15, 2010

අපි හැමෝටම මිතුරු මිතුරියන් සිටිනවා. අඩු තරමින් එක්කෙනෙක් හරි ඇති. මේ ලිපියෙන් මම කියන්නට යන්නේ මගේ මිතුරන් ගැන නම් නෙවෙයි. මගේ මිතුරන් කිහිප දෙනෙකුන්ගේ වැඩ කීපයක් ගැන.

සිංහල බ්ලොග් අවකාශයට පිය නගපු මගේ මිතුරන් කීප දෙනෙක්ම සිටිනවා. ඔවුන් ලියනා හැම බ්ලොග් අඩවියක් හරහාම විවිධ මාතෘකාවන් යටතේ ලිපි පල වෙනවා. ඒවා වල වටිනාකම සමහර විටක කියා නිම කරන්නටත් නොහැකියි. විශේෂයෙන් නොදන්නා, දැක නැති දේවල් බොහෝමයක් පිළිබඳව කරුනු කාරණා රාශියක් මටත් මේ බ්ලොග් හරහා ඉගෙන ගන්නට දැක බලා ගන්නට අවස්ථාව උදා වුනා. මින් සමහර මිතුරන් මගේ කීම මතම බ්ලොග් කරණයට යොමු වුන අය. ඉනුත් සමහර අයගෙන් යම් යම් විෂය කරුණු පිළිබඳව ලිපි පල කරන්නට හෝ අළුතින් බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නය කියලා මම කරන ඉල්ලීම් අදටත් නතර වෙලා නෑ.

මේ කියන්නට යන බ්ලොග් අඩවිය නීති වෘත්තියේ යෙදී සිටිනා මාගේ මිතුරෙකුගේ නිර්මාණයක්. නීති වෘත්තියේ යෙදී ඉන්නා අතරේ නීතිය හරහා ජනතාවට දැනුම එක් කිරීමට ඔහු රචනා කරමින් පවතින මේ බ්ලොගය "නීතිය හා ඔබ" ලෙසින් ඔහු නම් කරනවා. නීතිමය උපදේශනයක් ලබා ගැනීමට වඩා නීතිය හැදෑරීමට ප්‍රියතාවක් දක්වන ඕනෑම අයෙකුට මේ ලිපි පෙළින් මනා අවබෝධයක් ලැබෙනු ඇතැයි මගේ විශ්වාසය. මේ බ්ලොග් අඩවියේ බැඳිය,
"http://neethiynyou.blogspot.com/" ලෙසින් වෙනවා.

මීලඟ බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. ඉතාමත්ම හරවත් ලිපි පෙළකින් ඔහු ඔබව හමු වන්නේ බුදු දහම පිළිබඳව කරුනු කාරණා රාශියක් ඔබ හමුවේ තබමින්. වැඩිපුරම අප අසා නැති නමුත් ගැඹුරු ධර්ම කොටස් වල විඝ්‍රහයක් මේ බ්ලොග් අඩවිය තුලින් නිරූපණය වෙනවා. ඔහු මෙය "බුද්ධ රශ්මි" නමින් හඳුන්වනවා. බුදු දහමේ ඔබ නොදත් සහ ශ්‍රද්ධා ගුණය වැඩි කරවන කරුණු ඉගෙනීමට දැක බලා ගැනීමට ඔයාලටයි මේ ආරාධනය පහල බැඳියෙන් එයට පිවිසීමට.
"http://budurashmiya.blogspot.com/"

මේ කියන්නට යන ලිපි පෙළ අඩංගු බ්ලොග් අඩවියත් ඔහුගේම නිර්මාණයක්. නමුත් මෙය ඉහත ආකාරයේ බ්ලොග් ගණයට වැටෙන්නක් නොවෙයි. එය නව කතාවක්. ඇත්තෙන්ම විද්‍යා ප්‍රබන්ධයක් කීවොත් නිවැරදියි. "සිහින කොදෙව්ව" ලෙසින් මෙය නම් කරන ඔහු එහි බැඳිය ලෙස,
"http://sihinakodewwa.blogspot.com/" ඔබට ලබා දෙනවා.

මීලඟ නිර්මාණ පෙළ ඔබට ගෙනෙන්නේ මගේ පාසල් මිතුරෙකු අතින්. ඔහු සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන්නේ මාත් සමගම සමකාලීනවයි. නමුත් පාසලේ පැවති මිතුරු කම නිසාවෙන්ම ඔහුගේ මේ බ්ලොග් අඩවි කියවීමට මා ප්‍රිය කරනවා. ඔහු විසින් රචනා වෙමින් පවතින එක් බ්ලොග් අඩවියක් ඔහු විසින් ලබා ගත් නමුත් දුර්ලභ හා වටිනා ඡායාරූප එකතුවක්. මේ හැම ඡායාරූපයකටම බැඳි කතා වස්තුවකුත් එහිදී ඔහු දක්වන්නේ කියවන්නන් හට ප්‍රියතාවක් ඇති වන අයුරින්. "කැන්ඩිගේ ඇසින්" ලෙස එය නම් කරන්නට ඔහු සිතන්නේ ඔහු දුටු පාරිසරික අත්දැකීම අප වෙත "http://candyge-asin.blogspot.com/" නැමැති බැඳියෙන් ලබා දීමටයි.

මෙයත් ඔහුගේ නිර්මාණයක්. ඒ "කැන්ඩිගේ මතක සයුර" ලෙසින් පිළි ගැන්වෙන ඔහුගේම නිර්මාණශීලී කවි තතා මෙන්ම ඔහු සිත් ගත් එවැන්නන් පල කරනුවස් නිර්මිත බ්ලොග් අඩවියක්. කලාත්මක අදහස් රාශියක් මේ බ්ලොග් අඩවියෙන් ඔහු බ්ලොග් අවකාශයට මුදා හරින්නේ මේ පහත දැක්වෙන බැඳිය හරහායි. ඒ,
"http://chathurawind1.blogspot.com/" ගෙනි.

මීලඟ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයෙන් බැහැර වුනු එකක්. මෙය ඉංග්‍රීසි භාශාවෙන් රචනා වෙන පෙර කී මිතුරාගේම කවි, නිසදැස් සහ කතා පෙළක්. "The Story of Candy" ලෙසින් එය නම් කරන ඔහු ඔබට එහි පිවිසුම් දොර ලබා දෙන්නේ මෙන්න මේ බැඳිය හරහායි. එනම්,
"http://chathurawind.blogspot.com/" ගෙන්.

මේ ලිපි පල වන සමහර බ්ලොග් අඩවි මේ වෙද්දීත් සින්ඩිකේටරයකට ඇතුලත් නොවූ ඒවා විය හැකියි. ඒ නිසා ඒවා කියවීමට ඔයාලට අවස්ථාවක් උදා වෙන්නේ කලාතුරකින් විය හැකියි. ඒ නිසා ඔවුන්ගේ හැකියාවනටත්, ඔවුනගේ නිර්මාණ වලටත් ඇගයීමක් ලබා දීමට මේ ගන්නා උත්සාහය මල් පල ගැන්වේවි කියා මා සිතනවා.

Friday, August 13, 2010

මේ ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට පොඩි යෝජනාවක්. හැමෝටම අදාල කර ගන්න නම් අමාරු වෙයි. මොකද ඉතින් මාතෘකාවේ කියල තියෙන හැටියට නම් යම් කොට්ටාශයකට විතරක් අදාල කර ගන්න පුළුවන් යෝජනාවක්.

වැල් වටාරම් නැතුව කියනවා නම් ඉතින් ආදරේ කරන, බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝටමයි මේ පුංචි යෝජනාව. ආදරේ කියන්නේ හැමෝම ලබන්න කැමති කරන්න කැමති වටිනා කියන දෙයක් නේ. ඉතින් මේ දේට යෙදිලා ඉන්න අයම තමයි ඒකේ රසය වගේම රඟේ දන්නෙත්. ඒ වගේමයි සිතුවිලිත් බොහෝමයක් ඇති වෙන මාතෘකාවක් තමයි ආදරය කියන්නේ.

ඉතින් මේ ආරාධනාව එහෙම අයටයි. නරකද ඔයාලා අතරේ ඉන්න එහෙම අය ආදරේ ගැන වෙන් වුණු කවි බ්ලොගයක් පටන් ගත්තොත්. ඇත්තෙන්ම සිංහල භාශාවෙන් බ්ලොග් කරන ඔයාලට අලුත් මග පෙන්වීමකුයි මේ කරන්නේ. තවත් කලා අංශයකට යොමු වෙනවා නම් ඒකෙන් හොඳක් සිද්ධ වෙන්නේ තමන්ට වගේම බ්ලොග්කරණයට නේ.

ඉතින් පොඩි උදාහරණයක් තමයි මම මේ ලිපියෙන් ඔයාලට දුන්නේ. තමන්ගේ ආදර කතාව දැනට පවතින හෝ, නැති වුන හෝ, ඉදිරියට කරන්නට සිතා ගෙන ඉන්න හෝ ආදර කතාවක් වෙන්නට පුළුවන්. ඒ දේ අලලා කවි එකතුවක් ඔයාලාට බ්ලොගයක් හරහාම එළි දක්වන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. අද කාලයේ ආදර කතාවල් නව කතා වශයෙන් පොත් වලින් ඇති තරම් මිල දී ගන්නත් තියෙනවා. ඒත් කතාවක් විදියට ලියැවෙන කවි පෙළක් කියවන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

මමත් මේ වගේම කවි බ්ලොගයක් හරහා උත්සාහයක් ගත්තා. ඒ "නිශා පෙම් හසරැල්" කියන කවි එකතුව. ආදරයක් සම්බන්ධයෙන් ලියැවෙන කවි එකතුවක්. හැබැයි එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. මගේ මේ බ්ලොග හරහා ඔයාලට ඒකත් බලන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න මුදල් නොගෙවා ප්‍රචාරය කරපු දැන්වීමකුත් මම පල කරා මගේ කවි බ්ලොගය ගැන.

ආදරය විතරක් නෙවෙයි, ඕනෙම මාතෘකාවක් යොදා ගෙන කතාවක් විදියට ලියන්නට පුළුවන් නම් කියවන කෙනෙකුටත් ආසාවෙන් කියවන්නට හිතේවි. මොකද අද සමාජයේ වැඩි දෙනා කවි කියවන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා.

උත්සාහයක් දීලා බලන්න. වරදින එකක් නෑ. තමන්ගේ සිතුවිලි කවි හෝ නිසදැස් විදියට එළි දක්වන්න. ඒකෙන් ඔයාලා තුල තියෙන, ඔයාලා නොදැකපු, අඳුන ගන්නට බැරි වුනු තවත් දක්ෂතාවක් ඔප් නැංවේවි.

Sunday, July 25, 2010

කාලාන්තරයක් මුළුල්ලේ ඔයාලා හමුවට නවමු බ්ලොගයකින් සපැමිනි නමක් තමයි තම තම නැණ පමණින් කියන්නේ. ජීවිතේ අත්දැකීම් වගේම දැනුම් සම්භාරයක පුරුකක් බඳු වූ ඒ බ්ලොගය ගැන විස්තරයක් කීමට නෙවෙයි අද මම මේ ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මගේ බ්ලොගයේ පල කරන්නේ. හිතේ සඟවා ගත්තු ලොකු දුකක් වගේම වේදනාවකුත් එක්කයි.

සමහර විට මේ මාතෘකාව දුටු සැනින් ඔයාලගේ හිතේ ඇති වුණ සැකය වගේම හැඟීම මොකක්ද කියලා දැනටමත් හිතා ගන්න බෑ මට.

තම තම නැණ පමණින් බ්ලොගයත් සමග එකතු වෙලා හිටි ඔයාලා හැම දෙනාටම කිව යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ නම්, ඒ බ්ලොගය මින් මතුවට අළුත් ලිපි පෙළකින් ජීවමාන නොවෙන නිසා. මින් මනතට කවමදාකත් ඒ ලිපි පෙළෙහිත්, බ්ලොගයෙ
හිත් නිහඬතාවක් රැඳිලා තියේවි සදහටම.

මේ බ්ලොගයේ හිමිකරු වන මාගේ ගුරු භවතෙකු වන හා ජීවිතයට අත්දැකීම් සම්භාරයක් පුරවාලූ ඔහු, හදිසියේම අද දින, ඒ කියන්නේ 2010.07.25 දින, අප අතරින් සමු ගෙන ගොස් ඇති බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔහුගේ නැණැස මින් මතු කිසි දිනකදී අපි ඔහුව ආමන්ත්‍රණය කළ නමින් අපට ආමන්ත්‍රණය කර අසා දැ
දැන ගන්නට ලැබෙන්නේ නම් නෑ.

ඔහු ඔහුගේ අනාගතය මනැසින් දුටුවාදෝ කියලා ඔහුගේ බ්ලොගයේ අවසන් ලිපිය කියවලා තේරුම් ගන්න. තම තම නැණ පමණින් - අවසන් ලිපිය


ඒත් අද, කාලය ඒ හැම දෙය
ටම හරස් වෙලා. සංසාරයේදී ඔහු අප හා ගත කළ කාලය සීමා වෙලා.

ගුරු පියාණෙනි...
ඔබට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඒත් ඉන් පෙර නැවතත් අපට සිප් සතර ඉගැන්වීමට මේ සසරේදී අප හා එක් වන්න.

Friday, July 9, 2010

මේක අළුත්ම අදහසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් කවුරු හරි ඉදිරිපත් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ දෙයක අවශ්‍යතාවය පෙළක් වෙලාවට හැමෝටම වගේ ඇති වෙන්න ඇති. මොකද පාසල් කාලෙත් ඉවර නිසා ආයෙත් ඉගෙන ගන්න නොමිලේම අවස්ථාවක් උදා වෙන්නෙ ඉතින් මේ වගේ එකකින්ම නේ. ඔන්න ඉතින් ඔහොම කියලා මම මේ ආරම්භය ගන්න යන්නේ තවත් අළුත් ලිපියකට.

සින්ඩියේ වගේම ලාංකීය සිතුවිලි වලත් කීප දෙනෙක්ම පාඩම් මාලාවන් සිංහලෙන් ඉදිරිපත් කරනවනේ. ඔයාලත් ඒ පාඩම් වලට සහභාගී වෙන්න ඇති. ඇයි හත් ඉලව්වෙ මමත් පාඩමක් කොරනව නේ... මතකයි නේද මොකද්ද කියලා? ඔන්න ඉතින් මගේ පාඩම් මා
ලාවට හීනි ප්‍රචාරණයකුත් මේකෙන්ම දුන්න.

හරි හරි මම මේ කියන්නේ තම තමන්ගේ බ්ලොග් වලට ප්‍රචාරණයක් දෙන හැටියක් ගැන නෙවෙයි. මම මේ කියන්නේ ඔය තොරතුරු තාක්ෂණය ගැන පාඩම් මාලාවන් ඉදිරිපත් කරලා බ්ලොග් පිටු ලියන හැමෝටමයි. නරකද අපි කට්ටිය එකතු වෙලා අලුත්ම සින්ඩියක් පටන් ගත්තොත් තොරතුරු තාක්ෂණය උගන්වන? අළුත් ක්‍රමලේඛ බාසාවල් ගැන නම් කීයෙන් කී දෙනෙක් නම් ලිපි පල කරනවද. ඒ ලිපි එකතු කරලා, ඒ ලිපිත් යාවත්කාලීන වෙන සින්ඩියක අදහසක් අපේ සින්ඩිය කරන පිරිසට අදහසක් දැම්මොත් නරකද කියලත් හිතෙනවා. එතකොට ඉතින් ඔය තොරතුරු තාක්ෂණ පීඨයකට පය ගැහුවා වගේ තමා. තියෙන ලේසිය තමයි ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් වියදමක් නැති මාධ්‍යයක් වීම. අනික ඉතින් මේ වගේ අතත්‍ය වෙබ් පරිසරයකදි ඉගෙන ගන්න එකේ පොඩි ගැම්මකුත් තියෙනව නේ.

හැබැයි මේ උගන්වන බ්ලොග් ලිපි පළ කරන්න ඕනෙ සිංහලෙන් විතරමයි. අපිට අන්තර්ජාලෙනුත් ඇති පදම
ඉංග්‍රීසි ලිපි හොයා ගන්න පුළුවන් නේ. මේ වගේ දෙයක් ඇරඹුණොත් ඉතින් මව් භසාවෙන්ම ක්‍රමලේඛ පාඩම් කියවල සරලව ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි තව නීතියක් තියෙනවා. ලිපි සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ. කොටින්ම ජාවා ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඉගෙන ගන්න ලියැවෙන බ්ලොග් ලිපිය තොත්ත බබෙක්ටත් තේරුම් අරන් ඉගෙන ගන්න පුළුවන් විදියටම කෙරෙනවා නම් පංකාදුයි.

මේ වැඩේට කැමති අකැමැති කවුරුද කියලත් දැන ගන්න කැමතියි. "අතත්‍ය තොරතුරු තාක්ෂණ පීඨය" ක් අපි හැමෝම එකතු වෙලා පටන් ගනිමුද?

Friday, July 2, 2010

එක දිගට පාඩම් 23ක් ම ලියන් ආපු සයිබර් ටෙක් කමරයේ තිබ්බ PHP පාඩම ලියන්නෙ වෙන කවුරුත් නෙවෙයි මම ම තමා ඉතින්. ඔයාලට කියන්න මාත් ගොඩාක් ආසාවෙනුයි ඒ පාඩම් මාලාව ලියාගෙන ආවේ. ඒත් ඉතින් මේ දවස් වල මට පැවරිලා තියෙන වැඩ කන්දරාවත් එක්ක ඒ පාඩම විතරක් නෙවෙයි, මගේ අනිත් බ්ලොග් ටිකත් තාවකාලිකව නැවතිලයි තියෙන්නේ. අවස්ථාවක් ආ හැටියෙම මේ බ්ලොග නම් අනිවාර්යෙන්ම පිරේවි. ඒ මොකද මේ බ්ලොගේ මම ලියන්නේ මගේ අත්දැකීම් වගේ දේවල් නේ. ඒ නිසා නිතර අහන්න දකින්න ලැබෙන දේවල් වුණ පමාවෙන් හරි පසුවට හරි මතක් වෙන හැටියට ලියන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

අනිත් බ්ලොග් ටික ඔයාල කැමති නම් මේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ යට තියෙන ලැයිස්තුවෙන් තෝරගෙන කියවන්නත් පුළුවන්. ඒ බොහෝමයක් බ්ලොග් දැන් ගොඩ කාලෙකින් ලිව්වේ නැති හින්දා සින්ඩියෙනුත් මේ වෙද්දී අයින් වෙලයි ඇත්තේ. ඒකට ඉතින් අළුතෙන් මොනා හරි ලියලම දාන්න වෙනවා. අනික ඉතින් බ්ලොග් 5ක් නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු වැඩකුත් නෙවෙයි නේ.

ඒ නිසා මන් මගේ ගෝලයන්ගෙන් සමාව අයදිනවා මට ගොඩ කාලෙකින්
PHP පාඩමක් ලියන්න බැරි වුණ එකට. තව මාසෙකින් විතර මන් ආයෙත් වැඩට බහින්නයි හිතා ගෙන ඉන්නෙ. මගේ උපාධියේ ව්‍යාපෘතිය අහවර වුණ හැටියෙම අනිවාර්යෙන් අළුත් පාඩම් ගොඩාක් දාන්නයි බලාපොරොත්තුව.

ඒ නිසා කට්ටිය අමනාප නොවී, මට නොබැන ඉඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.

Friday, June 4, 2010

ඇත්තෙන්ම මම බ්ලොග්කරණයට නවකයෙක් නෙවෙයි කියලයි හිතන්නේ. මම දැනට මේකට අමතරව බ්ලොග් කීපයක්ම කර ගෙන යනවා. ඉන් එකක් කවියෙන් ලියැවෙන ආදර කතාවක්. දෙකක්ම නව කතා. අනික පාඩම් මාලාවක් ගැන ලියැවෙන්නක්.

ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ හැමෝගෙම රසාස්වාදයට ගැලපෙන විදියේ වැඩ වලින් ඔයාල ගාවට එන්න. මොකද ඒකෙන් මගේ ලේඛන කලවත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. වෙලාවකට හිතෙනවා බ්ලොග්කරණයට මම ඇබ්බැහි වෙලාදෝ කියලත්. හැබැයි කාලෙ කකා ඉන්නවට වඩා ඒකෙන් කාට හරි යහපතක් වෙනව නෙ. අනික ඔය සමාජ වෙබ් අඩවි වල වතු වගා කරමින් කාලෙ යවනවට වඩා දන්න කියන දෙයක් කියල දෙන හරි වටිනව නෙ හැමෝටම. ඒ නිසා තමා මම මේ කලාවට අඩිය තිබ්බේ.

මගේ නිදහස් අදහස් හැමෝමත් එක්ක බෙදා ගන්න හිතා ගෙනයි මම මේ බ්ලොග ප
න් ගන්නේ. ඒකට හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබේවි කියලයි මම හිතන්නේ. ඇත්තෙන්ම මේක ලියන්න පටන් ගන්න තිබ්බේ මීට ගොඩක් කලින්මයි. ඒත් ඉතින් දැන් හරි මා මේක ලියන්න පටන් ගන්න ලැබුණු එක වටිනව. නැත්නම් තවත් පරක්කු වෙනව නෙ. සමාජයේ වගෙම මගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් ගැන හැමෝටම කියන්නත් මම මේ බ්ලොග් පිටුවෙන් බලාපොරොත්තු වෙනවා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.