Wednesday, September 15, 2010

මගේ කවි බ්ලොග් අඩවියෙන් ඒ කියන්නේ "නිශා පෙම් හසරැල්" අඩවියට මම ඉතින් අද දවසේදී නැවතත් පණ දුන්නා පල කරපු කවි පන්තියකින්. මාස තුනකට ආසන්න කාලයක් අකල්මන්‍ය තත්ත්වයේ තිබුණු මගේ ඒ කවි පිටුව ආයෙමත් ප්‍රාණවත් කරපු ඒ කවි පන්තිය "ලොකු ගසක කතාව" කියලයි මම නම් කෙරුවේ.

මේ කවි පන්තිය එහෙම නම් කරන්න හේතු කීපයක්ම තිබුණා. මොකද ඒක ගහක් වටා ගෙතුණු කතාවක් නිසාත් වර්තමානයේ අපි දන්නා අඳුරන පිරිසක් අතරේත් කතා බහට ලක් කරන්නට හිතලා ලියන්නට හිතපු කවි පන්තියක් නිසාත් එවැනිම ගසක් වටා ගෙතුනු කවි පන්තියකට පිළිතුරු ලිවීමක් හැටියටයි.

ඔන්න ඉතින් ඒ කවි පෙළ ලියුවා විතරක් නෙවෙයි බොහෝම විදියට කතා බහටත් ලක් වෙමින් තියෙනවා. ඇත්තෙන්ම මුලින්ම කියන්නට ඕනේ මේ කවි පන්තිය ලිව්වේ කා එක්කවත් තියෙන තරහවකටවත් කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්නටවත් නෙවෙයි. අර මුලින් කියපු තවත් ගහක් වටා ගෙතුනු කවි පන්තියට පිලිතුරු කවි පෙළක් ඉදිරිපත් කරන්නට හිතේ ඇති වුන අදහසක් නිසාවෙන්. ඒ වගේමයි මේ කවි පෙළ කියවද්දී ඕනෙම කෙනෙක්ට තේරුම් යන දෙයක් තමයි මේක අභ්‍යන්තරයේ කියලා තියෙන්නේ මොන ආකාරයක සිද්ධියක් ගැනද, මොකක් වටාද ඇත්තටම මේ දේ බැඳිලා තියෙන්නේ කියලා.

මේ ගහ අපි හැමදාම දකින පාරේ තියෙන ගහක් ගැන නම් නෙවෙයි. ඒත් මේ ගහ නිසා ලාභ පාඩුකම් වගේම දුකට පත් වෙන, වෙලා තියෙන යම් යම් ජන කොට්ඨාශ කීපයකුත් තියෙනවා. ඒ එක් ජන කොට්ඨාශයකට මමත් අයිතියි. ඒ වගේම මගේ යාළුවනුත් අයිතියි. මේ මාතෘකාව දිහා ඔය ජන කොට්ඨාශ විවිධ පැතිකඩ වලින් බලන්නට පුළුවන්. මොකද ඒ ඒ අයට මේ කරුණ බලපාන්නේ විවිධාකාර විධියට. ඒ විතරක් නෙවෙයි මේ දිහා බලන කෝණයනුත් එකිනෙකට වෙනස්.

මේ කවි පෙළේ මුල් කවියෙන් අදාළ ගසේ අතීතය ගැනත් ඉන් මතු කවි වලින් එහි වර්තමාන ස්වරූපයත්, එහි බලපෑමට ලක් වුනු උදවිය ඒ ගස දිහා බලන ආකාරයත් ගැනත් කියන්නට මම උත්සාහ අරගත්තා. මොකද අර මුලින් කියූ අනිත් කවි පන්තිය ඒ ගසේ ගුණ විචාරයකට මං පෙත් සාදා තිබුන නිසාවෙන්.

ඉතින් ඔයාලත් මේ කවි පෙළ කියවලා බලන්න. ඔයාලට හිතෙන දේ කියන්න. මේ දේ මට විතරක්වත්, මේ ගසේ බලපෑම් වලට ලක් වුනු අයවත් අතරේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පොදු ප්‍රශ්නයක්. ඔයාලටත් මෙහෙම අවස්ථා වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන් කවදා හරි දවසක. ඒත් එහෙම නොවෙනවා නම් තමයි අපි හැමෝම කැමති.

2 පාඨක අදහස් | Comments:

Anonymous said...

සරු ගස් සෙවණ සෙවූ මුත්
සිටින තෙක් මේ ගස සෙවණ පාමුල
තැබිය යුතු බව කෙළෙහි ගුණ
පසක් කරනට ලිවුයේ ඒ වදන් පෙළ

මේ නරියා මිදි තිත්තයි කිව්ව කතාවක් නෙවෙයි. නරියා මිදි පොකුරු දෙක තුනක්ම අතට අරන් ආපහු එපා කියලා හිතිලා එතනම තියලා ලියපු කතාවක්. ඒ වගේම ඒ කතාවේ පසු වදනත් මග ඇරුණානම් කියවන්න:

"පසු වදන: ඉවසගන්න බැරි ආවේගයකින් ලියැවුණු මේ දෝෂාරෝපණය ගසේ සෙවණ ලැබ, ගසට හානියක් නොකර ගිය/යන කිසිවෙකුට එල්ල වූවක් නොව, ගස යටම හිඳිමින් ගසේ අතු කොළ සිඳින්නවුන්ට එල්ල වූවක් බව කරුණාවෙන් සලකන්න..."

මේ comment එක anonymous ලිව්වට ගොඩක් දෙනා දන්නවා මේ කවුද කියලා. :)

Indraj said...

අපි පොඩි පැලයක් හිටෙව්ව . තාම ගෙඩි නෑ බැරිද පෝර ටිකක් දාන්න.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.