Friday, September 24, 2010

උගත් නූගත් හැම දෙනාටම වැදගත් කාරණාවකුයි මේ කියන්න යන්නේ. හැමෝටම තියෙන අවයවයක් නේ කට කියන්නේ. හැබැයි මේ දේ ගොළු අයට නම් ගැලපෙන්නේ නෑ. මොකද ඉතින් එයාලට කතා කරන්න බැහැ නේ. ඒ වගේ විතරක් නෙවෙයි මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවනෙ, කට හින්දයි මාළුවත් නහින්නෙ කියලා. අන්න ඒ නිසා ඒ දේ අපි හැම වෙලේම මතක තියා ගන්නට ඕනේ කොහේ කොහොම කොයි වේලාවක හිටියත්.

අපි අදහස් හුවමාරු කර ගන්න ප්‍රධානතම අවයවය තමයි කට කියන්නේ. මුඛය කියල කියන්නෙත් ඕකම තමයි. කටක් තිබ්බට දිවක් නැත්නම් හරි දිව කොට නම් හරි අදහස් හුවමාරු කර ගන්න වෙන්නේ බාගෙට. ඒත් කතා බහ කරන්නට පුළුවන් අය ගැනයි මේ දේ කියන්න හදන්නේ.

අපි ඇඳුමින් පැලඳුමින් සැරසුනාම සමහර වෙලාවට කලින් දැකලා තියෙන පුද්ගලයාට හාත්පසින්ම වෙනස් ආකාරයක පුද්ගලයෙකුයි දකින්නට ලැබෙන්නේ. බොහෝ වෙලාවට හොඳ ඇඳුම් ආයිත්තම් ඇඳ ගත්තාම වැදගතෙක්ගේ සේයාරුව තමයි අපි ඉස්සරහා පෙනෙන්නට තියෙන්නේ. ඒ කොහොම වුනත් මේ පිට කවරෙකින් ආවරණය වුනු හැමදෙනා සතුවම හොඳ ගුණ ධර්ම තියෙනවාය කියලා නිෂ්චිත නිගමනයකට ඒ පිට ආවරණය දැකීමෙන් එළඹෙන්නට අමාරුයි නේ. ඒත් අද සමාජයේ බොහෝමයක් දෙනා කෙනෙකුගේ තත්ත්වය මනින්නට යොදා ගන්න එක නිර්ණායකයක් විදියටයි ඇඳුම් පැලඳුම් භාවිතයට ගන්නේ.

හැබැයි මේ වැදගත්කම හරි උසස් ගුණ දහමින් පිරි චරිතයේ චරිත ඝාතණය වීම හෝ නොවීම පැවතෙන්නේ ඒ අදාළ පුද්ගලයා කතා කිරීම හෝ නොකිරීම මත හෝ පාලනයකින් යුතුව කතා කිරීම මත කියලයි මම හිතන්නේ. ගොඩක් දෙනා කතා කරන්න ගත්තාම ඉන්නේ කොතනද කරන්නේ මොනවාද කියන දේ අමතක වෙනවනේ. අන්න ඒ නිසා තමන් කතා කරන්න ගැනීමම තමන්ගේ චරිත ලක්ෂණ පිළිබිඹු කරන නිර්ණායකයක් වෙනවා. තමන්ගේ ගුණ ධර්ම එහෙම පිළිබිඹු වීම එක පැත්තක් විතරයි. ඒත් එක්කම ලෝකයට දැක දැන ගන්නට ලැබෙන තවත් දෙයක් තමයි තමන්ගේ පවුල් පසුබිම වගේම ගුණ ධර්ම වල පිරිහීම හෝ දියුණුව ගැන.

මෙහෙම කීවාම කෙනෙක්ට හිතෙන්නට පුළුවන් නිහඬ පුද්ගලයින් ඉතාමත් ගුණවන්ත බවත්, මුඛරි ඒ කියන්නේ නිතර කතා බහ කරන අය ගුණ දහම් පිරිහුණු අය බවත් මම අදහස් කරාය කියලා. මම එහෙම කියන්නේ නෑ. ඒත් මේ දේ හැමෝටම එකම විදියට බලපාන්නේ නෑ. මේ දේ බලපාන්නේ යම් පිරිසකට විතරයි කියලාත් මතක තියා ගන්නට ඕනේ. නිතර කතා කරන ඒත් ගුණ දහම් උපරිමයෙන්ම පවතින අයත් ඕනේ තරම් ඉන්නවා. අපිට ජීවිතේදි එහෙම අය ඇති තරම් මුණ ගැහිලාත් තියෙනවා. මම මේ කියන්නට උත්සාහ ගන්නේ ඇඳුමින් පැළඳුමින් ලස්සනට සැරසිලා කිසිම බයක් සැකක් නැතිව කටට එන පලියට අසභ්‍ය එහෙමත් නැතිනම් පරුෂ වචනින් හරි කතා කරන උදවිය ගැන. ඒ විතරක්ම නෙවෙයි, මේවා නොකීවත් ඒ ඒ පුද්ගලයා යම් යම් දේ ගැන හිතන පතන ආකාරය ගැනත් කතාවෙන් දකින්නට පුළුවන් කම ලැබෙනවා.

කෙනෙක් යම් දෙයක් ගැන කොයි තරම් පුළුල් ආකාරයට බලනවාද, එහෙමත් නැතිනම් කොයි තරම් පටු විදියට දකිනවාද කියන දේත් කතාවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒත් මේ වගේ දේවල් සාපේක්ෂ නිගමන විදියට තමයි හිතන්නට සිද්ධ වෙන්නේ. ඒකට හේතුව අපි හිතන පතන විදියට සාපේක්ෂව ඊට මොන තරම් ප්‍රතිශතයකින් අදාල පුද්ගලයාගේ ආකල්ප ගැලපෙනවාද නැත්ද යන්න වග අපි තීරණය කරන දෙයක් නිසා.

කොහොම හරි මේ ලිපියෙන් කියන්නට උත්සාහ කලේ නිතර සමාජයේ දකින්නට ලැබෙන දෙයක් ගැනයි. බාහිර පෙනුමින් ගුණ යහපත් කම් මනිද්දී කට කොයි තරම් දුරකට කෙනෙක්ගේ ගුණ ධර්ම රකිනවාද, විනාශ කරනවාද කියන එක ගැනයි. ඔයාලට මේකෙන් හිතන්නට යමක් ඉතුරු කලා වගේම හදා ගන්නට යමක් ගැනත් මතක් කරලා දුන්නා කියන්න පුළුවනි.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.