Monday, September 6, 2010

විභාග. විභාග කියන්නේ අපි හැමෝම කරලා තියෙන දෙයක්. මම මේ විභාග ගැන කියවෙන චිත්‍රපටයක් ගැනත් කලින් ලිපියක් පල කරා. මේකත් විභාග වලින් ඉදිරියට යාම, නොයාම සම්බන්ධ ලිපියක්. නමුත් විභාග ගැනම නෙවෙයි සඳහන් කරන්නට යන්නේ.

අපිට අපේ අධ්‍යාපනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට විභාග සමත් වීම වැදගත් වෙනවා. මොකද යම් කිසි මට්ටමකින් එහාට යන්නට තමන් සුදුසුද කියලා බලන ඇගයීමකුයි විභාගයක් කියන්නේ. ඒ ඇගයීම සමත් වුනොත් හරි අවශ්‍ය ලකුණු මට්ටම සම්පූර්ණ කර ගැනීමෙන් හරි අපිට ඒ අදාළ මට්ටමට එළඹෙන්නට පුළුවන් කම ලැබෙනවා. මේක සාමාන්‍ය පැහැදිලි කිරීමක්.

මේ කියන්න යන සිද්ධිය මට සිද්ධ වුනු දෙයක් නම් නෙවෙයි. ඒත් මගේ යාළුවෙක් මට කියපු දෙයක්. මම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වුනු ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ඒ බව මම කලින් වතාවකදිත් සඳහන් කරලා ඇති. නමුත් බාහිර උපාධි පාඨමාලාවක් ඔස්සේ තොරතුරු තාක්ෂණ විශයයේ වැඩිදුර ඉගෙනීම් කටයුතු සිදු කරන්නට අවස්ථාවක් උදා වුනා. මම මේ කියන යාළුවා උසස් පෙළ දෙවෙනි වතාවෙදි සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු අයෙක්.

ඉතින් ඔහුගේ නියමිත ඉගෙනුම් කාලය අවසාන භාගයකට පැමිණිලාද කියලා නම් මම කියන්නට දන්නේ නෑ. ඒත් කියන්න ඕනේ කාරණයක් තමයි එම උපාධියේ විශේෂ උපාධිය කරන්නට ඔහුට වරම් ලැබිලා නැති බව. ඒ බව ඔහු මා සමග පැවසුවේ දැඩි කේන්තියකින් සහ එය ලබා නොදුන් යම් පුද්ගලයෙකුට ශාප කරමින් සහ ඔහුගේ දෙමාපියන් අති උත්තම පුරුශයෙන් වන්දනා කරමින්. ඒ කොහොමද යන්න ගැනත් මම කලින් ලිපියක් පල කරලා තියෙනවා.

ඔහු පැවසූ අන්දමට එම පුද්ගලයා හෝ ආචාර්‍යවරයා සිටිනා අංශය වෙනුවෙන් වැඩ නොකිරීම නිසාවෙන් ඔහුට විශේෂ උපාධියක් දක්වා යන්නට අවස්ථාවක් උදා නොවීම ඔහු විසින්ම උපකල්පනය කර ගත්තක්. ඒ උපකල්පනය මත රැඳිලා ඔහු එම පුද්ගලයා හට පෙර කියූ පරිද්දෙන් වන්දනා මාන, පුද පූජා පැවැත්වූයේ පුපුරලා ගියපු ගිනි කන්දක් වගෙයි.

ඒ ඔහු උපකල්පනය කර ගත්තක් විනා ඇත්තක් නොවෙන්නට පුළුවන්. තමන්ගේ දක්ෂතාවය මත හැරුනු කොට කෙනෙක් යම් අයෙකුට හෝ යම් අංශයකට කරන උදව් පදව් මත උපාධියකින් ඉදිරියට යෑම තරම් නිශ්ඵල දෙයක් තවත් නෑ. අද කාලයේ කිසිම වැදගැම්මකට නැති මිනිසුන්ට පවා ආචාර්‍ය උපාධි පිරි නමා තිබුනත් ඒවායේ නියම ස්වරූපය අපි හැමෝම අඳුරනවා. සමහර විට මම මේ කියූ මිතුරා මේ තාක් කලක් උපාධිය සම්පූර්ණ කර ගන්නට ඔහු සතු පන්දම් ඇල්ලීමේ හැකියාව බෙහෙවින් බලපාන්නටත් ඇති. එවැනි පන්දමක් අල්ලන්නට සිදුවූ නොහැකියාව නිසාවෙන් අද ඔහු ඒ ඒ පුද්ගලයන් හට බැන වදින්නේ තමාට අල්ලන්නට බැරි වුනු පන්දම කෙසේ වෙතත්, අසාධාරණය ගැන කියාපාමින්.

ඇත්තෙන්ම තමන්ගේ දක්ෂතාවය රඳා පැවතිය යුත්තේ තමන් අල්ලන පන්දමේ එළියෙන් නොවෙයි. තමන්ට දක්ෂතාවක් තියෙනවා නම් ඒ දක්ෂතාවෙන් ඉහළට යන ඕනෑම කෙනෙකුට කිසිම දිනකදී වැරදෙන්නේ නම් නෑ. මොකද කට පාඩමින් ඉදිරියට යන කෙනෙකුට වඩා බුද්ධියෙන් හිතා මතා තීරණ ගන්නා උදවිය සමාජයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නා නිසාවෙන්.

අපි අතර ඉන්නා සමහර පුද්ගලයන් හඳුනා ගන්නට මට නම් මේක හොඳ උදාහරණයක් වුනා. තමන්, අනිත් ශිෂ්‍යයන්ට නොලැබෙන සරසවි වරම් ලබා උපාධිය සම්පූර්ණ කර ගැනීම පිළිබඳව සතුටු වීම පැත්තක ලා නොලැබුනු විශේෂ උපාධි අවස්ථාව ගැන දුක් වීමට ඒ ඒ පුද්ගලයාගේ සමාජ, පවුල් පසුබිම සහ දෙමාපිය බලපෑමත් සමහර විටෙක බලපාන්නට පුළුවනි.

හිතන්නට පැති බොහෝමයක් තියෙනවා. ඒත් අපි අපේ ජීවිතයේදී ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙලා නොලැබුන දේවල් වලට දෙස් දෙවොල් නොතියා ඉන්නට පුරුදු වෙනවා නම් තමයි වඩාත් හොඳ.

2 පාඨක අදහස් | Comments:

123abc said...

Apita lebila tiyena dewal walin apita attatama sathutu wenna puluwannam Ape geewith kochchra sundara wewida.............

TeeRox said...

ඒක නම් ඇත්ත සහෝ...
ස්තූතියි මේ පැත්තට ආවාට. මම හිතන්නේ මම කලින් දැකලා නෑ ඔයාව.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.