Sunday, October 10, 2010

සමහර විට බොහෝමයක් බෞද්ධයන් දන්නේ නැතිව ඇති මේ දේ ගැන. මොකද මේ ලිපියේ මාතෘකාව අපේ බෞද්ධ ජනතාවට බොහෝමත්ම වටින කාරණාවක් වෙන නිසාවෙන්. ඒත් චාරිත්‍රයට හරි නැත්නම් පුරුද්දට හරි පරම්පරාවෙන් හරි දායාද වෙලා තියෙන දැනුමක් නිසා පිළි ගන්න දෙයක් වෙලා.

බෞද්ධයන් හැටියට අපි දන්න දෙයක් තමයි බුදු රජාණන් වහන්සේ අපේ රටට තුන් වතාවක් ම වැඩම කළ බව. ඒ පළමු වරට මහියංගනයටත්, දෙවෙනි වතාවෙදි නාගදීපයටත් සහ තුන් වෙනි වතාවෙදි කැළණියටත් යනාදී වශයෙන්. මේ වැඩම වීම් සිද්ධ වුනේ මේ ප්‍රදේශ වලට පමණක් නම් නෙවෙයි. ඒ බව අපිට සුපුරුදු ගාථාවකින්ම දැන ගන්නට පුළුවන්. "මහියංගනං නාගදීපං කළ්‍යාණං පදලාංඡනං..." ආදී වශයෙන් කියැවෙන ගාථාව බෞද්ධ බොහෝ දෙනා දන්න කියන ගාථාවක්. මේ ගාථාවෙන් කියැවෙන්නේ බුදු රජාණන් වහන්සේ අපේ රටට වැඩම කළ අවස්ථාවන් වලදී වැඩ සිටි අපි පූජණීයත්වයෙන් සළකන ස්ථාන දහසයක් ගැන. මේ ගාථාව අපි හඳුන්වන්නේ සොළොස්මස්ථාන වන්දනා ගාථාව කියලායි. ඒ, බුදු පා පහස ලද ස්ථාන දහසයක් ගැන කියැවෙන නිසාවෙන්.

මේ ගාථාවෙන් කියවෙන එක ස්ථානයක් ගැනයි මේ ලිපිය ලියන්නට හේතු පාදක වුනේ. මොකද අපේ බෞද්ධයින් යන වැරදි මාර්ගයකින් ගලවා ගන්නට පොඩි හරි උදව්වක් වේවි කියන හැඟීමෙන්. මිත්‍යා ධර්ම පස්සේ අන්ධ භක්තිකයන් වගේ අපේ බෞද්ධයින් දුවන දිවිල්ලෙන් ඔවුන්ව ගලවා ගන්නට අංශු මාත්‍රයකින් හරි මේ ලිපිය උදව් වේවි කියලා මම හිතනවා.

මේ ගාථාවේ එක ස්ථානයකදී කියවෙනවා "...තථා කාඡරගාමකං..." කියලා ස්ථානයක් පිළිබඳව. මේ තැන මොකද්ද ඇත්තටම. මේ තමයි අපේ රටේ දකුණු පළාතේ තියෙන කතරගම කියන ප්‍රදේශය. ඒ කියන්නේ "කාඡරගාම" හෙවත් කතරගම කියන්නේ බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයට පත් වුණු උතුම් පුද බිමක්. මේ කතරගම ප්‍රදේශයේ ආගමික දර්ශණ දෙකොට්ඨාසයකට අදාල ආගම් දෙකක පූජා ස්ථාන දෙකක් ඉදි කරලා තියෙනවා. එකක් තමයි බෞද්ධ සිද්ධස්ථානයක් වෙන කිරි වෙහෙර. ඒ බුදු රජුන්ගේ වැඩමවීම සනිටුහන් කරනුවස් ඉදි වුනු ස්ථූපයක්. අනිත් අතට හින්දු භක්තිකයන් විසින් කතරගම දෙවියන් වෙනුවෙන් ඉදි කරනු ලැබූ කතරගම දේවාලය. මේ පූජා භූමි දෙකම පිහිටලා තියෙන්නේ කතරගම ප්‍රදේශයේ.

නමුත් තියෙන ගැටළුව නම්, බෞද්ධයින් වැඳ පුදා ගන්නට මුලින්ම යන්නේ කිරි වෙහෙරටද යන්නයි. හින්දු භක්තිකයින් කිරි වෙහෙර වඳින්නට පැමිණෙනවාද යන්නයි. බෞද්ධයෙක් කතරගම යා යුත්තේ කිරි වෙහෙර වන්දනා කිරීමට මිසක කතරගම දේවාලය වන්දනා කරන්නට නම් නෙවෙයි. අපේ රටේ බිහි වුන තවත් එක් සංස්කෘතික පසුබිමක් බැලීමට යනවා කියන අරමුණින් කතරගම දේවාලය බැලීමට යාම වරදක් නෙවෙයි. ඒත් පුද පූජා, බාර හාර පැවැත්වීමට කතරගම දේවාලයට යාම කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්. බුදු රජාණන් වහන්සේ වැඩම කළ ස්ථානයක් වන්දනා කිරීමට යනවාය කියනා හැඟීමෙන් කතරගම යන කෙනෙකුන් හට කුසලානිසංස රැස් වෙනවා වගේම, කතරගම දේවාලය වන්දනා කිරීමට යන අරමුණින් කතරගම යන බෞද්ධයිනට ඒ දිහාවට තබනා පියවරක් පාසාම අකුසල කර්ම රැස් වෙනවා.

ඊට හේතුවක් තියෙනවා. බුද්ධ දේශනයේ හැටියට බෞද්ධ දර්ශනය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ශණය මත පදනම් වුනු ධර්මයක් වීමත් හින්දු දහම නිත්‍ය, සුඛ, ආත්ම මත පදනම් වුනු දහමක් වීමත්, බුදු දහම වැනි නිර්මල දහමක සිට බුද්ධ දේශනාවට නමස්කාර කරමින් හින්දු දහමේ ගැතියන් වීමට යාම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ හට කරන නිගාවක් වෙන නිසාවෙන්. "කතරගම යමු" කියන වහාම බොදුනුවෙකුට මුලින්ම මතකයට එන ස්ථානය කතරගම දේවාලය නම් ඒ ඔහු කර ගන්නා තවත් අකුසල කර්මයක් වෙනවා.

මගේ කලින් ලිපි කිහිපයකම මම සඳහන් කළා බාර හාර පුද පූජා පැවැත්වීමෙන් කිසිවක් ලබන්නට කරන ඉගැන්වීමක් බුදු දහමේ නොමැති බව. එය එසේ නම්, කතරගම දේවාලයේ සිටිනා දෙවි වරුන්ගේ ආශිර්වාදය ලබන්නට බුදු රජාණන් වහන්සේ වැඩි පුද බිම අමතක කරන්නට තරම් බෞද්ධයන්ගේ හිත් මිත්‍යා දෘශ්ඨීන්ට මොන තරම් නම් යට වෙලාද යන්න ගැන දෙවරක් සිතිය යුතු කරුණක් වෙලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෙකු කතරගම යා යුත්තේ කිරි වෙහෙර වැඳීමට මිසක කතරගම දේවාලයේ ඉන්නා දෙවියන්ගේ බැල්මට හසු වීමට නොවෙන බව මතක තියා ගත යුතු වෙනවා. ඒ නිසා බෞද්ධ කම රැක ගන්නට මිත්‍යා අන්ධකාරයෙන් ගැලවෙන්නට අපේ බෞද්ධ හැමට නුවන පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

11 පාඨක අදහස් | Comments:

Kaniskha Dilshan said...

"මැණික් ගලේ පය හැපුනත් කණා ඇහිඳලා ගනීද" කියල කියන්නෙ ඔයවගේ ඒවට තමයි. ඔතන තියෙන්නෙ ශ්‍රද්ධාව නැතිකම කියන එකයි මගේනම් අදහස.
අපි මේ වඳින්න,පුදන්න යන්නේ බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීය වූ ස්ථානයක් කියල දේවාල පස්සෙ දුවන ඇත්තන්ට වැටහීමක් තියනව නම් ඔය විදියට පිස්සු නටන්නෙ නෑ.

budhajeewa said...

කොහොමටත් දැන් ලංකාවේ තියෙන්නෙ ඔරි-ම-ජිනල් බුද්ධ දර්ශනේ නෙවෙයි නේ. ඒක හින්දු ආගම වගේම වෙනත් දේශීය ඇදහිළි එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. කොටින්ම බුදුන් දේශනා කළ ජීවිතාදර්්‍ය භාවිතයට ගන්නවට වඩා, "බුද්ධාගම" කියලා ඇදහිල්ලක් හදාගෙන.

ඉතිං ඕකට වැරදියි කියල කියන්න බෑ. ඉස්සර ඉඳං ඔය ආගම් දෙක මෙහේ තිබුනු නිසා, තම තමන්ගේ විවෘත තාවේ හැටැයට ඒ ඒ ආගම අනෙක සමග මිශ්‍ර වෙලා තියනවා.

මාරයාගේ හෝරාව said...

මාත් සීයට සීයක් එකගයි...
ඒත් අද කිරි වෙහෙර ලග මිනිහෙකුට නිදහසේ වන්දනා මාන කරන්න පුළුවන් පසුබිමක් නැහැයි කියන එක තමයි මගේ අත්දැකීම...

Shadow/හේමලයා said...

පන්සල්වලත් දේවාල අටවාගෙන ඉන්න එකේ ඕක මොකක්ද මචන්....ශ්‍රද්ධාවයි භක්තියයි පටලවාගෙන නෙව ඉන්නේ අපේ අය....මේවා පහදන්න ගියත් අපිම තමයි වැරදි....හැබැයි අද බොහෝ දෙනා කතරගම යන්නේ වන්දනාවකටත් වඩා විනෝද ගමනක් හැටියටයි.....හැබැයි සමහර වෙලාවට මිනිස් හිතේ යම් විශ්වාශයක් තියෙන කොට ඒක ශක්තියක් වෙන අවස්තාත් නැතුවා නෙවෙයි.....ඒක සත්‍ය නොවුනත් අර ගිලෙන මිනිහාට අහුවුනු පිදුරුගහ වාගෙ යම් සහනයක් සලසනවා විය හැක..........

Pavithra said...

100% ඒකගයි!

Anonymous said...

ඔබ හරි කතරගම යන්න ඔන කිරිවෙහෙර වදින්න තමා. එත් කතරගම දේවාලෙට යන එකෙන් අකුසලයක් වෙනව කියන එක නම් පිලිගන්න බෑ. බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව චේතනාහං භික්ඛවේ කම්ම්ං වදාමි කියල. එහෙම එකේ චේතනාව තම කර්මයට මුල් වෙන්නෙ. එ කියන්නෙ අකුසලයක් වෙන්නේ නෑ කියල මට හිතෙන්නෙ අපි පිරිසිදු සිතින් යන්නෙ කතරගම දේවාලෙට ගියත් කිරිවෙහෙරට ගියත්.

TeeRox said...

@Anonymous
මම ලිපියෙන් කීවා සංස්කෘතික වටිනාකමක් මත කතරගම දේවාලයට යාම නරකක් නොවෙන බව. ඒ වගේම මම කොහේදිවත් කියලා නෑ බෞද්ධයෙක් කතරගම දේවාලයට යාම අකුසලයක් බව. ඒත් කතරගම කිව්වාම කතරගම දේවාලය සිහි වෙනවා නම්, ඒ දෙවියන්ගේ ආශිර්වාදය බලන් කතරගම දේවාලයට යනවා නම් තමයි අකුසල් පිරෙන්නේ. ඒත් මම කීවේ බෞද්ධයන් ගැන විතරමයි.

@budhajeewa
කිසිම මොහොතක බුද්ධාගමට වෙනත් ආගමක් ඈඳා ගන්න හොඳ නෑ. මොකද බුදු දහමේ කියවෙන දර්ශනය වෙන කිසිම ආගමකට සම කරන්න බැරි අසම සම දර්ශනයක් නිසාවෙන්.

@Shadow/හේමලයා
පන්සල් වල දේවාල කෙරුවාව ගැනත් ඉදිරියේදී මගෙන් ලිපියක් පල වේවි. ඒකත් කොහෙත්ම සාධාරණී කරනය කරන්න බැරි දෙයක්. දේවාලයක් පන්සලක පවත්වන්නේ ආදායම් මාර්ගයක් වගේම පන්සලකට එන පිරිස වැඩි කර ගන්නයි.

@Kanishka, Pavithra & මාරයාගේ හෝරාව
මේ පැත්තට ආවට බොහොම ස්තූතියි

budhajeewa said...

@TeeRox: බුද්ධ දර්ශනය වෙනකක් සමග නොපෑහෙන බව ඇත්ත. නමුත් බුද්දාගම එහෙම නෙවෙයි. ඕනම ආගමක තියන ලක්ෂන බුද්දාගමේත් තියනවා. ඉතිං බුද්දාගමයි හින්දු ආගමයි එකම සමාජෙක කාලයක් තිස්සේ තියනකොට, මිශ්‍රවීම වලක්වන්න බෑ.

වැරැද්ද තියෙන්නේ බුද්දාගමයි හින්දු ආගමයි මිශ්‍ර වීමේ නෙවෙයි, බුදුන්ගේ දර්ශනය හුදු ආගමක් බවට පරිවර්තනය කරගැනීමේ.

Jehan said...

දැන් ඉන්නෙ අම්මා, තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනෙ. මේකෙ වැරැද්ද තියෙන්නේ සමාජ ක්‍රමයෙයි. උපතින් කෙනෙකුට ආගමක් ලැබිය යුතු නැහැ. තනියෙන් තීරණ ගතහැකි වයසක් වනතුරු ළමයින්ට ආගම් ඇදහීම තහනම් කල යුතුයි.

වන්මෑන් said...

@Jehan මචං උඹ හොඳ පඬියෙක්. උපන් ගෙයි පඬියෙක්. උඹට උඹගේ පඬි මොළ රාජයාට වැටහෙන විදිහට අපිට කියලා දෙන්න පුළුවන්ද අම්මයි තාත්තයි ‍බෞද්ධ වන පසුබිමක ඉපදෙන එකෙක් කොහොමද බෞද්ධ ආගමේ බලපෑමෙන් මිදිලා තනි තීරණයක් ගන්න තත්ත්වෙට එන වයස දක්වා ලොකු වෙන්නේ කියලා. අනේ හොඳ ‍පඬි රාජයා වගේ අන්න ඒක ලියපන්. තව එකක්, මේක මගේ අදහසක්. හැබැයි උඹගේ පඬි වදනෙන් ව්‍යුත්පන්න කර ගත්තු එකක් මේක. අර තත්ත්වෙට ඒ කියන්නේ උඹ කියන තනි තීරණ ගන්න තත්ත්වෙට පත්වෙනකම් ඌ උපන් ගෙයි ඇඳුම පිටින්ම ඉන්න ඕනී නේද..? මම වැටහෙන විදිහට උඹගේ පඬි වදනට අනුව ඌට උගේ දෙමව්පියෝ ඇඳුම් අන්දන එක වැරඳියි. ඌ තමයි ඒකත් ලොකු වුන දවසට තිරණය කරන්න ඕනේ ඇඳුම් අඳිනවද නැත්නම් හෙළුවෙන් ඉන්නවද කියලා.. එහෙම නේද මචං.. තව පොඩී.... එකක් තියෙනවා උඹගෙන් අහන්න. මචං උඹ හෙළුවෙන්ද ඉන්නේ..?

වන්මෑන් said...

කොහොම නමුත් මේ කතරගම දෙය්යෝ තුළ කුමක් හෝ ලොකු කතන්දරයක් සැඟවීලා තිබෙනවා. මේ කතරගම දෙය්යෝ මොන කාලේ අපේ ඉතාහාසයට එකතු වුණාද කියලා විශේෂයෙන්ම හොයලා බලන්න අවශ්‍යයි. ‍මේ දේව වාහනේ මොනරා. අනික මූණු 6ක් තියෙන දෙවිකෙනෙක් නිසා විකෘති දෙවි කෙනෙක් විය යුතුයි. මෙම දෙවියන්ගේ සැකයට තුඩු දෙන තව කරුණක් තමයි නයෙක්ව පාගගෙන ඉන්න එක. නයා කියන්නේ අපේ වැව් සංස්කෘතියේ ප්‍රධාන සාධකයක්. තව විභීෂණ, විශ්ණු කියන දෙවියෝ සෑම දෙනෙක්ම අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණය කිරීමට අතීතයේ සිට ක්‍රියා කළ අයයි. මේ පිළිබඳව ගැඹුරින් සොයා බැළිය යුතුමයි.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.