Tuesday, October 19, 2010

එක එක විධියේ ගිවිසුම් අපිට ජීවිතේදී දකින්නට ලැබිලා තියෙනවා. සාම ගිවිසුම්, විවාහ ගිවිසුම් ඔය වගේ අපි ජීවිතේදී අහලා දැකලා තියෙන දේවල්. ඔය අතරේ තියෙනවා සමහර ගිවිසුම් හරිම සුභදායක ගිවිසුම්. තවත් සමහරක් ගිවිසුම් වාසිදායකයි. එයිනුත් ගිවිසුම ඇති කර ගන්නේ පාර්ශව කීයක් බැගින් එකතු වෙලාද කියන එක මත ගිවිසුමෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ඒ ඒ ගිවිසුමට සම්බන්ධ පාර්ශව අතරේ බෙදිලා යනවා. ඔහොම බෙදෙද්දී සමහරුන්ට තනිකරම පාඩු සිද්ධ වෙන කොට තවත් පිරිසකට අති විශාල වශයෙන් ලාභත් සිද්ධ වෙනවා. මෙන්න මේ කියන ගිවිසුම් කඩ කරද්දී සමහරුන්ට ලැබෙමින් තිබුනු වාසි අහිමි වෙනවා. ඉන් සමහරුන්ට ගිවිසුම බිඳ හෙලීම නිසා දඬුවම් පවා විඳින්නට සිද්ධ වෙනවා. ගිවිස ගැනීම වලදී නීතිමය පැත්තකුත් බලපානවා. බල නොපාන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මම මේ ලිපියෙන් කියන්නට යන්නේ මගේ කලින් ලිපියේ මම සඳහන් කරපු හම යන ගිවිසුම ගැන. මේක මගේ කලින් ලිපියත් එක්ක සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන තවත් ලිපියක් කීවත් වඩාත් නිවැරදියි.

මම රැකියාවට බැඳුනු ආයතනයට මම මුලින්ම සම්බන්ධ වුනේ ඒ ආයතනයෙන් තෝරා ගැනුනු ශිෂ්‍යත්ව ලාභියෙකු විදියටයි. ඒ මීට වසර තුනකට පෙරාතුව ඒ කියන්නේ 2007 වසරේදියි. එම ශිෂ්‍යත්ව වැඩසටහනේ අන්තර්ගතය වෙන්නේ මෙන්න මේ විදියටයි. මේ ශිෂ්‍යත්ව වැඩසටහනට තෝරා ගැනුනු අයගේ සියළුම වියදම් දරනු ලබන්නේ එම ආයතනය විසින්ම බවත් මතක් කරන්නට ඕනේ. ශිෂ්‍යත්වයේ වලංගු කාලය අවුරුදු පහක්. මෙන්න මෙහෙමයි ඒ ශිෂ්‍යත්ව වැඩසටහනේ අන්තර්ගතය වෙන්නේ. ඇත්තෙන්ම කීවොත් මේ අර මම මුලින්ම කියපු ගිවිසුමේත් අන්තර්ගත වෙන එක්තරා කොටසක් කීවත් හරි.

පළමුවෙන්ම මාස හයක ඩිප්ලොමාවක්, තෝරා ගත් උදවියට නොමිලයේම හදාරන්නට සිද්ධ වෙනවා. විවිධ පරිගණක මෘදුකාංග වගේම ක්‍රමලේඛ භාශාවනුත් මේකෙදි ඉගැන්වෙනවා. ඊට පස්සේ එම ආයතනයේ වසරක පුහුණු කාලයක් ගත කළ යුතුයි. අනතුරුව වසර දෙකක අවම කාලයක් ආයතනයේ රැකියාව කළ යුතුද වෙනවා. මේ වසර තුනක කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයෙන් ලබා දෙන තොරතුරු තාක්ෂණ තුන් අවුරුදු බාහිර උපාධි පාඨමාලාවට නොමිලයේම හදාරන්නට සහභාගී වෙන්න ඕනේ. මේ පාඨමාලාවේත් විශ්ව විද්‍යාලයට වගේම උපකාරක පංති සඳහාත් සියළුම වියදම් දරන්නේ ආයතනය විසින්මයි. පුහුණු වසරත්, අනිත් අවම දෙවසරත් අවසන් වන විටදී කෙනෙකු උපාධියේත් අවසානයට පැමිණෙනවා. උපාධිය ලැබීමෙන් අනතුරුව තවත් වසර දෙකක් විධියට සම්පූර්ණයෙන්ම වසර පහක කාලයක් ආයතනය වෙනුවෙන් සේවය කළ යුතුයි යන්නයි මේ ගිවිසුම.

නමුත්, මේ ගිවිසුම අතරමැදදී බිඳ දමා යන සියළු දෙනාටම දඬුවමකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එනම්, ආයතනය ඔහු හෝ ඇය, ගිවිසුම අ'තැර යන මොහොත දක්වා දරා තිබූ අධ්‍යාපනයට සහ පුහුණු වැටුප් ප්‍රමාණයන් නැවතත් ආයතනයට ලබා දිය යුතු බවයි. ඒත් එක්කම එම ප්‍රමාණය වගේ සියයට සියයක මුදලකුත් නැවත ආයතනයට ලබා දිය යුතු වෙනවා. නමුත් මෙහි කිසිම ස්ථානයක නීතිමය කරුණක් පිළිබඳව නම් සඳහන් කරලා නෑ.

නමුත් ආයතනයට ආර්ථික දුෂ්කරතා රාශියක් ඇති වෙන අවස්ථාවන් වලදී මේ ගිවිසුම කෙසේ වෙතත් ජීවත් වීම පවා අපහසු තත්ත්වයකට පත් වෙනවා; විශේෂයෙන් කොළඹින් පිටස්තර, එහෙත් කොළඹ පදිංචිව රැකියාවට පැමිණෙන ශිෂ්‍යත්ව ලාභීන්ට. ආයතනයේ ආදායම පහත වැටෙද්දී වැටුප් අග හිඟතාවන් සහ අතපසු වීම් වගේම පමා වීම් සිදු වීම නිසාවෙන් වෙනත් රැකියාවන් සොයන්නට ඕනෑම සේවකයෙකු පෙළඹීම අරුමයක් නෙවෙයි.

අධ්‍යාපනය වෙනුවෙන් දැරූ වියදම් ආපසු ගෙවීම සාධාරණ වෙතත්, ආයතනය වෙනුවෙන් සේවයේ යෙදී ආයතනයට කළ සේවයෙන් ඉපැයූ වැටුප ආපසු ලබා දීම නම් සාධාරණ දෙයක් නොවන බවයි මගේ මතය. වසරක් ලෙසින් සඳහන්ව තිබූ පුහුණු කාලය මාස සයකින් අවසන් වීම තවත් එක වාසියක්. නමුත් වක්‍රාකාරයෙන් ඊටත් වඩා වැඩි මුදලක් ආයතනය ලබා ගන්නට තැත් කිරීම තවත් අසාධාරණ තත්ත්වයක්. ඒ කෙසේද යත්, ශිෂ්‍යත්වලාභී සේවකයෙක්ගේ දක්ෂතාවයට සිදු වූ වැටුපේ සියළු වැඩි වීම් සහ දීමනා සියල්ලත් රැකියාවේ යෙදී සිටි සියලුම මාස සඳහා ආපසු ගෙවීමක් කළ යුතුය යන්නක් පහු ගිය කාලයක ප්‍රකාශ වුනා. මේ තමයි ඒ වක්‍රාකාර, අසාධාරණ, ගිවිසුමේ සඳහන් නොවූ අය කර ගැනීම. මේ ගිවිසුමේ සඳහන් තවත් නීතියක් විදියට සඳහන් වෙනවා, සියළුම අධ්‍යාපනික (සාමාන්‍ය පෙළ හා උසස් පෙළ) සහතික පත්‍ර වල මුල් පිටපත් ආයතනයට ලබා දිය යුතු බව. ඒවා ගිවිසුම කඩනා කිසිවෙකුට මුදල් ආපසු ගෙවනා තෙක් නොලැබීම තවත් අසාධාරණ තත්ත්වයක් විදියට දකින්නට පිලිවන්.

ගිවිසුමෙන් වෙන්ව යාම ආයතනයට කරනා දැඩි පාඩුවක් නම්, ආයතනයේ වසර තුනක් රැඳී හිඳ ආයතනය වෙනුවෙන් දහදිය මහන්සියෙන් කළ සේවාව වෙනුවෙන් ලද වැටුප එම ආයතනය වෙනුවෙන් ආපසු ගෙවිය යුතුද යන්න කාටත් සිතන්නට ඉතුරු කරන්නට පුළුවන් ගැටළුවක්. නමුත් ගිවිසුමෙන් ඈත් වීමෙන් ශිෂ්‍යත්වලාභී සේවකයන්ට සිදු වෙන තවත් දඬුවමක් විදියට ඈත් වූ සියළු දෙනාගේම නම් ගම් සහිත ලැයිස්තූන් සියළුම පරිගණක මෘදුකාංග සංවර්ධන ආයතන වෙත කළු ලැයිස්තූන් වශයෙන් ඉදිරිපත් කිරීමට ද සූදානමක් ඇති බවත් වරකදී ආයතන ප්‍රධානීන්ගෙන් මතු වූ අදහසක්. මන්දයත් ගිවිසුමෙන් ඉවත් වන්නන් හට ඉදිරි අනාගතයක් දැකීමට වෙනත් කිසිදු ආයතනයකින් ඉඩක් ලබා නොදිය යුතුයි අරමුණින් විය හැකියි.

මීට අමතරව තවත් මේ හා සම්බන්ධ කිව නොහැකි කාරණා රැසක්ද පවතිනවා. නමුත් මේ ගිවිසුමට එකතු වූ බොහෝ ශිෂ්‍යත්වලාභියන් අද ගිවිසුමෙන් ඈත්ව ගොස් බොහෝ කාලයක් ගත වී හමාරයි. මන්දයත් ලිපියේ පෙර කී ආර්ථික අපහසුතාවන් නිසාවෙන්. මම ද ඉන් එක් අයෙක්. ආයතන ප්‍රධානීන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිවැරදි වූවා නම්, මේ තාක් ඉවත්ව ගිය දක්ශයින් සියළුම දෙනාගෙන් ආයතනයට ආලෝකයක් උදා වන්නට තිබුනත්, ඒ ඉඩ කඩ ආයතනය විසින්ම නැති කර ගත්තාක් හා සමාන දෙයකුයි දැන් දකින්නට ලැබෙන්නේ. ලැබෙනා වන්දි මුදලින් හෝ ආයතනයේ වැටුප් ගෙවිය හැකි වේ යන සිතැ'ඟිය ආයතන පරිපාලකයන්ගේ තවත් ළාමක සිතුවිල්ලක් වන්නට පිළිවනි. ඒ නිසා ගිවිසුම් අත්සන් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් අනාගතය ගැන හිතන්නට අවශ්‍ය බව මතක් කළ යුතුයි.

7 පාඨක අදහස් | Comments:

Indraj said...

ඔය ඉරණමට ගොදුරු වුන පිරිසක්ම ඉන්නවනම් නීතිමය මාර්ගයෙන් සහනයක් ලබා ගැනීම කළ හැකියිනෙ. ගිවිසුම් කෙසේ වෙතත් මුල් සහතික ඇපයට තබා ගැනීම් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. නීති ආධාර කොමිෂන් සභාවෙන් විමසා බලන්න

අම්ම ගහය් බැට් එකෙන් said...

දැන් හරි විදියට බැලුවම අපි වැඩ කරපු එවාට ගෙවන්න තියන පඩිය අපි අපහු ගෙවන්න ඕනේ.අපි පඩි අපහු ගෙවන්න වෙනවනම් අපි මේ වෙනකල් රෑ නිදි මරාගන ගෙවල් වල වැඩත් අත පසු කරගන කරපු වැඩත් අපි අපහු ගන්න එක සාදරනය් නෙද?අපි ආයතනයෙ නිකන් ඉදල නෑ.වැඩ කලා.එතින් අපි ඒ වෙනුවට ගොඩාක් මෙ අයතනයට වැඩ කරලත් තියනව.අපේ ශ්‍රමය ගොඩාක් දීල තියනවා .අපි මේව ඔක්කොම ගෙවනවනම් අපේ ජීවිතයට මේ ගිවිසුම මගින් උන හානිය මේ අයතනය දරන්න ඔනේ.එහෙම නැත්නම් අපි සම්පූර්න මුදල ගෙව්වම අපි කරපු වැඩ අපිට අපහු දෙන්න ඔනේ.අපි ගිවිසුම කඩ කරන ඒව බලනව වගේම එයලගෙ පැත්තෙන් ගිවිසුමෙ කඩ උන තැනුත් මතක් කරගත්තොත් හොදය්...
හිතන්න මේ ගැනත්....
1.කලු ලැය්ස්තු හදල තව කෙනෙකුගෙ ජීවිතය විනාස කරන එක කොච්චර දුරට සදරනය් ද?
2.මෙම අයතන මගින් කරගන ගිය වැඩ සටහන මේ ලෙසින් අවසනය දකින්නට උනේ ඔව්න්ගේම වැරදි නිස නොවේද?

Anonymous said...

කලු ලයිස්තු හදනව කියන්නෙ තමන්ගෙ ආයතනය එම ලයිස්තුවෙ අන්ක 1 ට ඉන්නව කියන එකනෙ.ආයතනයෙ වෙරදි නෙත්නම් ඔච්චර සාමාජික ප්‍රමානයක් අයින් වේද?අනුන්ට ගරහන එක කෙසේ වෙතත් ආයතනය තමන්ටම ගරහා ගන්නවා.

Anonymous said...

OpenArc එකේ නේද වැඩ කරන්නෙ... මටත් ශිෂ්්‍යත්වයක් ලැබුනා.. informatics වල (not the singapore informatics) එකේ නම් ඔහොම නෑ.... http://www.informaticsint.com/

TeeRox said...

නැහැ. ඒකේ නෙවෙයි...

Anonymous said...

Infromatics එකේ නම් කිසිම ගිවිසුමකින් තොරව අපිට University Of Westminster Engineering Degree එක දෙනව ඊට අමතරව 5 years working experience එක්ක service letter එකකුත් දෙනව..

TeeRox said...

ඔයා ඕකේ කරන රැකියාව මොකද්ද කියලා කීවොත්??? (කැමතිනම්, මොකද මට ගැලපෙන එකකට බැඳෙන්න පුළුවන්ද දන්නේ නැහැ නේ)

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.