Saturday, October 9, 2010

පවුලක් පුංචි වෙන තරමටම නඩත්තුවත් ලේසි පහසු දෙයක් වෙනවා කියලා සමහරෙක්ට හරිම ලේසියෙන් කියන්න පුළුවන් වේවි. මොකද මේ සංකල්පය දැනට ක්‍රියාත්මකව පවතින්නේ චීනය, ජපානය වගේ ජනගහණය අධික රටවල නේ. ඒ නිසා ඒ රටවල රජය විසින්ම පවුල් සංස්ථාවේ වැඩීම පාලනයට පත් කරලායි තියෙන්නේ. ඒ රටවල් පැත්තකින් තිබ්බොත් අපේ රටේත් ඔය කාරණාව යම් කාලයකින් පස්සේ මුල් බැසගෙන තියෙන සංකල්පයක් වෙලා.

මේ වගේ සංකල්ප ගොඩ නැගීමට වගේම ඒවාට අනුකූලව පවුල් සංස්ථාව නිර්මාණය කරන්නට බොහෝ දෙනාට හේතු වෙන එක ප්‍රධාන කාරණාවක් තමයි ජීවන බර වැඩි වීම. එහෙමත් නැති නම් උවමනාවක් නැති වීම. මීට අමතරව සංස්කෘතිකමය වෙනස්කම් පවා වක්‍රාකාරයෙන් මීට හේතු භූත වෙනවා කියන්නට පුළුවනි. ඒ බටහිරින් පැමිණි කුඩා පවුල් ක්‍රමය නිසාවෙන්.

ඇත්තටම අද මේ රටේ පවුලක් ගත්තොත් ඒ පවුලේ බොහෝ විට තුන් දෙනෙක්ගෙන්, හතර දෙනෙක්ගෙන් විතරක්ම සීමා වෙනවා. මේ පුද්ගල ප්‍රමාණයෙන් ආච්චී සහ සීයා කියන පුද්ගලයන් ඉවත් කළ යුතු බව මතක තියා ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. අද කාළයේ පවුලක් බොහෝ විට දරුවන් එක්කෙනෙක්ගෙන් හෝ දෙන්නෙක්ගෙන් පමණයි සමන්විත වෙන්නේ. මේක ඒ පවුලේ නඩත්තුවට ලොකු පහසුවක් වෙන්නට පුළුවනි. ඒත් ඒක විවිධ කාරණා හේතුවෙන් අභාග්‍ය සම්පන්න දෙයකුත් වෙනවා.

පවුල් වල ප්‍රශ්ණ ඇති වෙන්නටත් මේ ආකාරයේ පවුලක කුඩා කම හේතු පාදක වෙනවා. විශේෂයෙන්ම දරුවන් අතරේ උද්ගත වෙන ප්‍රශ්ණ නිසා. මේවා දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලකදී විසඳන්නට ඔවුනොවුන් අතරට කිසිවෙකුගේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැති තරම්. ළමා අවධියේ ඉඳන්ම දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලක එකිනෙකා අතරේ ඇති වෙන වරප්‍රසාධ සඳහා වෙන සටන්, එකිනෙකාට ඉර්‍රශ්‍යයා කිරීම් වැඩි මහළු වෙද්දීත් ඒ ආකාරයෙන්ම දකින්නට පුළුවන්.

ඒත් මීට දශක කීපයකට පෙර හිටි අපේ ජනතාව පුංචි පවුල රත්තරන් කියලා නම් හිතුවේ නෑ. ජීවන බර කොයි තරම් වැඩි වුනත් දරුවන් පස් හය දෙනෙක් අවමයේ තබා ගෙන දුසිමකටත් වඩා උපරිමයක් කරා ගිය අවස්ථාවන් අපේ ආච්චිලා සීයලාගෙන්ම අහන්නට අපට ලැබිලා තියෙනවා නේද?

මේ වගේ කුටුම්බයක් ඒ කාලයේ විතරක්ම නෙවෙයි, එහි වාසය කළ දරුවන් මේ වන විටත් එකමුතුව එකිනෙකා සමග සහයෝගයෙන් ආදරයෙන් ජීවත් වෙනවා කීවොත් පිළිගන්න අමාරු කාරණයක් වේවි බොහෝ දෙනාට. ඒත් ඇත්ත ඊට වඩා හාත්පසින්ම වෙනස් වුනු දෙයක්. මේ වගේ විශාල පවුලක සතුට, සමගිය දශක ගණනාවක් ගත වුනත් මේ දක්වාමත් නොකැඩී නොබිඳී පවතින දෙයක්. මේ වගේ දරුවන් පස් හය දෙනා ජීවත් වෙන පවුලකදී ඔවුන් එකිනෙකා අතරේ ආරවුල් ඇති වුනත් අනිත් සහෝදර සහෝදරියන්ගේ මැදිහත් වීම නිසාවෙන් ඔවුනොවුන් අතරේ ඇති වෙන තරහ මරහ වල පැවැත්ම ඉතාමත් කෙටි කාලීනයි. එකිනෙකා උදව් කර ගැනීම වගේ දේවල් ඇති තරම් මේ වගේ පවුල් වල දකින්නට පුළුවන්. එකෙකු වැටෙද්දී ඔහුට හෝ ඇයට වැටෙන්නට ඉඩ නොදී ඔසවා තබා ගන්නට එකිනෙකා අතරේ තියෙන ලේ බැඳීම බෙහෙවින්ම ඔවුනට උපකාරී වෙන දෙයක්.

එවැනි පවුල් වල දෙමාපියන් නොකා නොබී දරුවන්ට ලබා දෙන සැප සම්පත් පසු කාලයකදී ඒ හැම දරුවෙකුගෙන්ම ඒ දෙමාපියන් හට අනිවාර්යෙන්ම ලැබෙනා බව සමාජයේ වෙසෙන බොහෝමයක් එවැනි පවුල් වලින් දකින්නට පුළුවන් දෙයක්. ඒත් අවාසනාවකට අද ලොකු පවුල රත්තරන් කියනවා වෙනුවට පුංචි පවුල රත්තරන් කියන සංකල්පය අපේ රටේ පවුල් සංස්ථාවට තදින්ම කා වැදිලා තියෙන අභාග්‍ය සම්පන්න කරුණක් වෙලා.

අද පවුල් වල දකින්නට ලැබෙන්නේ එක දරුවෙක් හෝ දෙන්නක් විතරමයි. තනියම ඉන්නා දරුවෙකු දකින ලෝකය හරිම ආත්මාර්ථකාමී ලෝකයක් කියන්නට පුළුවන්. ඒ වගේම සමාජයේ ඇසුරින් කුඩා කාළයේදීම ඈත් වූවෙකු වෙන්නත් පුළුවන්. මොකද සහෝදර සහෝදරියන් හත් අට දෙනෙකු ඉඳීමම ඔවුන් එකිනෙකාට සමාජය නිවස තුලදීම දකින්නට ලැබෙන අවස්ථාවක් නිසා. දෙදරු පවුල් පිළිබඳව කියන්නට ඇත්තේද ඒ වගේම දෙයක්.

මේ කාරණාව වැඩිපුරම බලපා තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාවටයි. ඇත්තෙන්ම මුස්ලිම් පවුලක දරු මල්ලන් පස් හය දෙනෙක් අඩු තරමින් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජාතිය අනිවාර්යෙන්ම වැඩෙමින් පවතිනවා. නමුත් අපේ සිංහලයන්ගේ පවුල් වල දරුවන් දකින්න ලැබෙන්නේ එක්කෙනෙක්, නැත්තන් දෙන්නෙක්, එහෙමත් නැත්තන් කිසිම කෙනෙක් නැතිව. මේ නිසා සිංහල ජාතිය කෙමින් කෙමින් වර්ධනයේ දුබලතාවක් පෙන්වනවා කියන්න පුළුවනි.

මේ හැම කාරණාවක්ම සලකලා බැලුවාම තෙරුම් ගන්නට උවමනා වෙන්නේ පුංචි පවුලක් ගොඩ නැගීම රත්තරන් හා සම කළ නොහැක්කක් බවයි. ඒ නිසා මළකඩටත් අන්ත පුංචි පවුලෙන් මිදීමයි මින් ඉදිරියට කළ යුතු වෙන්නේ.

7 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

උත්තරය සරලයි........කැමැත්තෝ කැමති ලෙසට දිවි ගෙවත්වා......තාමත් ජාතිවාදය නම්වූ මළකඩ සංකල්ප අල්ලාගෙන කන්නඩි වලින් ලෝකය බලන්නේ ඇයි.....

Senarath said...

ලංකාව දුප්පත් රටක් වෙන්න එක හේතුවක් තමයි අපේ ආච්චිලා සීයලා කරපු අවිචාරවත් පැටව් ගැහිල්ල. සීයට අක්කර 10ක් තිබ්බට ලමයි 10 දෙනාට බෙදුවම එකෙකුට ගියෙ අක්කරයි. මේක දැන් කාලෙට ගැල පෙන්නෙ නෑ.
ඉගෙන ගත්ත මුස්ලිම් පවුල් වල ඉන්නෙත් ලමයි එකයි නැත්නම් දෙකයි.

Teshan said...

ඒක මළකඩ සංකල්පයක් නම් නෙවෙයි යාළුවේ. ඒක මම අත්දැකලා තියෙන දියක්. ඒ වගේම ඒක සාර්ථක දෙයක්. ජීවිතය කටුක වෙන තරමටම විඳින සැපත් වැඩියි. සරල වෙන තරමට අනාගතේදී දුක් විඳින ප්‍රමාණයත් වැඩි වේවි. අද සිද්ධ වෙලා තියෙන්නේ ඒක නෙවෙයි ද? කෙටි මාර්ග, ලේසි මාර්ග වලින් ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්න ගියාම ලොකු ලොකු අමාරු වලට පත් වෙලා නැද්ද අද කාලේ කිසිම කෙනෙක්? අනාගතයේදී සිංහල ජාතිය ඉන්නා එකම බිමේ සිංහල ජනගහනය සුළු ජාතීන්ගේ ගාණට වැටුණාම තරු පෙනේවි.

ඉඩම් කඩම් වලට අම්ම තාත්ත වුනත් පාවා දෙන උදවිය ලංකාවේ ඉන්න බව ඕනේ තරම් පේන්න තියෙන දෙයක් නේ. එහෙව් එකේ ආගමක් ජාතියක් නැති වේවි කියන බයට මිනිස්සු ළමයි හදාවි යැ? කොහොමත් මොන රටෙත් ජනගහණය වැඩි වෙද්දී ඉඩම් ප්‍රමාණය අඩු වෙනවා තමයි ඉතින්. ඒත් අපි ඇයි හැම දෙයක්ම කරන්න කලින් අපිට ලැබෙන වාසි ගැන විතරක්ම කතා කරන්නේ?

Anonymous said...

සියයට දෙසීයක් එකඟයි. මම හිතන විදියට මේකටත් යටත්විජිත වාදී කුමන්ත්‍රණයක බලපෑමක් තියනව. සිංහලයා කියන්නෙ ලොකේ වෙන තැනක හොයාගන්න බැරි, unique,අවුස්සගත්තොත් බෙරෙන්න බැරි,අමුතුම බුද්ධියක් තියන ,ජාතියක්. ඉතින් ඔය කියන රත්තරං(නොවන) සංකල්පය ඒ ජාතියට දාපු බැරියර් එකක්.*
(* මෙය මගේ අදහසයි,සංවාදයට විවුර්තයි(කියා ඇඟ බේරගනිමි))

Shadow/හේමලයා said...

මචො ඔනැම ගහනයක් වැඩි වෙනකොට එතන සම්පත් වලට තරඟය වැඩිවෙලා ඔවුන් විනාස වෙලා යනවා....මේවා පරිණාමයේ සිද්ධාන්ත......ඉස්සර කොරාපු හැමදේම හරි කියල බාර ගැනීම හරිද?...අනික අනිත් උන් කොල පලියට අපිත් ඒකම කල යුතුද?...බෞද්ධයන් වන අපිත් මේ සුලු ජාති මහ ජාති ගැන හිත හිත ඉන්න ගියොඋත් අපි සොයන විමුක්තිය ලැබේවිද?.....

pandukabaya said...

ඔබ හරි. මගේ ආච්චිටයි සීයටයි දරැවෝ 10 ක් හිටියා. සීයා නම් ගොවිතැන් කලා. ඒක නිසා කුඹුරු වැඩට පවුලෙන් ලොකු උදව්වක් ලැබුනා. අද මගෙයි මගෙ න0ගිගෙයි තියෙන ආදරට, බැඳීමට වඩා අපේ තාත්තගෙයි මාමල නැන්දල අතරෙයි බැඳීම තියෙනවා. විස්කෘත පවුලක ඒක අනිවාර්යගෙනම් සිද්ධ වෙනවා. නමුත් අද තියෙන සමාජයේ හැටියට මිනිස්සු කැමති නෑ ලමයි 2කට වඩා හදන්න. අද ල0කාවෙ සමාජයම ආත්මර්ථකාමී වෙලා. අපිට මුලු සමාජයම වෙනස් කරන්න බෑ දැන් අලුත් පරම්පරාව දරැවෝ නොහද ඉන්නවා නැත්නම් හදන්නේ 1 යි .

Anonymous said...

jathi beda gana hithanna epa eka baudda kama neme
manushyo hamoma ekai ithin mona jathiya wadi unath mona jathiya adu unath dauddayinta prashnayak na neda

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.