Saturday, October 9, 2010

රැකියාවක ස්ථාවරත්වය රඳා පැවතිය යුත්තේ තමන් මතයි. තමන්ගේ රැකියාව තවත් කෙනෙකු මත රඳා පවතිනවා නම් ඒ රැකියාව ඉතාමත්ම අස්ථාවර භාවයකින් යුක්ත වෙනවා. කෙනෙකු රැකියා ජීවිතයේදී තවත් අයෙක් මත යැපෙනවා නම් ඒ තම ආයතනයේ ප්‍රධානියා මත පමණක්ම විය යුතුයි. ඒ, ඔහු අදාල රැකියාව කරනා පුද්ගලයා වෙනුවෙන් මාසිකව වැටුපක් ලබා දෙන්නා නිසාවෙන්.

තමන් කරනා රැකියාවේ ස්වභාවය මොන ආකාරයේ වුනත්, ඒ ආකාරයේම වැඩක යෙදෙනා තම අංශයේම තමන්ගේ යහළු යෙහෙළියනුත් තමන් ඇසුරේ ඉන්නවා වෙන්නට පුළුවන්. මේක අමුතු අස්වාභාවික දෙයක් නෙවෙයි. ඕනෑම රැකියාවකදී තමන් වැඩ කරන ක්ශේත්‍රයේම තමන් සමග වැඩ කරනා සගයන්, ගෝලයන්, මිතුරු මිතුරියෝ හැමෝටම ඉන්නවා. නැති වුනොත් ඒ බොහොමත්ම කලාතුරකිනුයි.

ඔය වගේ තමන් සමගම රැකියාවේ යෙදෙන පිරිස තමන් මත යැපෙනවා කියන්නේ ඒක තමන් ගැන හොඳ අවබෝධයක් ලබන්න හේතු කාරණාවක් වෙනවා. ඒක වෙනත් පුද්ගලයෙකු දකිනවා නම් තමන් ගැන හිතන්නේ ඉතාමත් හොඳ විදියකට. ඔය ආකාරයට කෙනෙකුගේ ආයතනික තත්ත්වය ඉහළ පහළ යාම් සිද්ධ වෙනවා. හිතන්න මොහොතකට රැකියාවේදී තමන් තවත් යාළුවෙකුගෙන් යැපෙනවාය කියලා. ඔහු හෝ ඇයගෙන් විමසුමක් නැතිව කිසිම වැඩක් තනිවම කර ගන්නට හැකියාවක් නෑ කියලා. මේක තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වයට කළු ලකුණක් එකතු කරන දෙයක් බව මතක තියා ගන්නට ඕනේ. මේ දේ පිටස්තර පුද්ගලයෙකු හෝ ආයතනයේම වෙනත් අංශයක අයෙකු දැකීම තමන්ගේ තත්ත්වය පහත වැතීමට හේතු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ඇගයීම් වලදී තමන්ට අවාසියකටත් හිටින්නට පුළුවනි.

නමුත් ආයතනයක විවිධ අංශයන් අතරේ යැපීම් පවතින්නට පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, වැඩ පොළක මානව සම්පත් අංශයේ උපකාරයෙන් හැදෙන වැටුප් සහ ගෙවීම් ලියකියවිලි නොමැතිව එම ආයතනයේම මූල්‍යමය හා ගිණුම්කරණ අංශයේ සේවය කරන්නන්ට වැටුප් ලබා දෙන්නට හැකියාවක් උදා වන්නේ නැති වීම. මේ සඳහන් කළ උදාහරණය ආයතනික අංශ අතරේ යැපීමක් පෙන්නුම් කළත් ඒ ඒ අංශ වල කාර්යක්ෂ්‍යමතාව මත අනිත් අංශ වල කාර්යක්ෂ්‍යමතාව රඳා පවතිනවා.

නමුත් මා මුලින් සඳහන් කළ යැපීම අංශ අභ්‍යන්තරයේ පවතින්නක් නිසා තනි තනිව ඒ ඒ පුද්ගලයක් හට බලපාන දැඩි ගැටළුවක් වෙනවා. මින් බලපාන දෙයක් තමයි ඒ වගේ යැපෙනා නැතිනම් රඳා පවතින දැනුමකින් යුතු අයෙකුට තනිවම වැඩක් පලක් කර ගන්නට අනිත් පුද්ගලයාගෙන් තොරව හැකියාව හීන වී යාම. දැනුමෙන් පොහොසත් කෙනා හදිසියේ මිය ගියොත් හෝ රැකියාවෙන් ඉවත් වුවහොත් ඔහු මත යැපෙන්නන් අසරණ භාවයකට පත් වන්නට පිළිවන්.

මෙන්න මෙවැනි හේතූන් නිසාවෙන් අප දත යුතු කරුණක් තියෙනවා. හැම විටම විෂාරදත්වයෙන් යුතුව කාගේවත් යැපීමකින්, අත් උදව්වකින් තොරව, රැකියාවකදී නම් අනිවාර්යෙන්ම වැඩ කරන්නට හුරු පුරුදු වීම අත්‍යවශ්‍යයි. නොදන්නා යමක් ඉගෙනීමට හෝ ගුරු හරුකම් ලැබීම හැරුණු කොට, තනිවම තමන්ගේ තත්ත්වය ඉහළටම ගොඩ නගා ගත යුතු වෙනවා.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.