ඔයාලගේ ගෙවල් වලට ඇතුළු වෙන තැනම එක්කෝ සීවලී පිංතූරක් බොහෝ විත ඇති. ඒ වගේම දොරටුවේ මොනා හරි නිවසට සෙත පතන ලේබලයක් හෝ ස්ටිකරයක් අලවලාත් ඇති. නමුත් ඔය තියෙන සීවලී පිංතූරෙන් හෝ ලේබලයෙන් හෝ, තමන්ගේ නිවසට නිරන්තරයෙන් සෙතක් පහල වෙලා තියෙනවද? ඇත්තෙන්ම ඔය දේවල් ගෙවල් වල තිබීමෙන්ම ගෙදරක සැප, සතුට, ආහාර පාන, ධන ධාන්‍ය, සාමකාමී පරිසරයක් පැවතිලා තියෙනවද අඩුම තරමේ එක සතියක්වත්?
තර්කයක් ඉදිරිපත් විය යුතු තැන අන්න එතැනයි. සමහරක් දෙනා මේ තර්කයට එකඟ වෙයි. ඒ වගේම පිරිසක් අනුමත නොකර ඉඳියි. ඒ ඉතින් ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම් සහ අධ්‍යාපනික මට්ටම් අනුවයි. නමුත් ආශිර්වාදයක නියම ප්‍රතිපලය ලැබෙන්නේ එය හදවතින්ම කිසිම කහටක් හෝ නැතිව සිරුරෙන් නික්ම යන කොට විතරක් කියලයි මම විශ්වාස කරන්නේ.
ඔව්, මම පිළි ගන්නවා ඔය අලවන දැන්වීම් ලේබලයක, එහෙමත් නැතිනම් ගෙදරට ගොඩ වැදෙන ඕනෙම කෙනෙක් ලවා නිවසට සෙත පතා උවමනාවෙන් හෝ නැතුව හෝ ඔය ආශිර්වාද පාඨය කියවා ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා. හැබැයි ඒ එන හැමෝම ඒක කියවන්නේ පිරිසිදු සිතකින්ම, කහටක් හෝ සිතැවුලක් හෝ ද්වේශයක් නැතුවමයි කියන සහතිකය කාටද දෙන්න පුළුවන්? ඒකට අනුන්ගේ සිත් කියවන යන්ත්‍රයක් සවි කරන්න සිද්ධ වේවි එක්කෝ. නැති නම් බුදු කෙනෙක්ම පහල විය යුතු වෙනවා.
ඇත්තෙන්ම නිවසකට සෙත ක්ෂාන්තිය ලැබෙන්නේ ඔය වගේ ලේබලයක් ඇලවීමෙන්ම නෙවෙයි. නිවසක් පවුලක් වෙන්නේ ඒ තුල ජීවත් වෙන මිනිසුන් අතර තියෙන සුහදශීලී හා අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවෙන් වගේම එකිනෙකා අතර බැඳුනු බැඳීම් මත. ඒ පවුල සාර්ථක පවුලක් වීමට නම් ඉතින් එකිනෙකා අතර මෛත්‍රීය සිතුවිලි පැවතිය යුතුයි. එවන් සිතුවිල්ලක් නැති නිවසක, නිතර රණ්ඩු සරුවල් ඇති වෙන නිවසක, එකිනෙක ගැන සැකෙන් ඉන්න සිද්ධ වෙන, හිතේ තරහින් ජීවත් වෙන පිරිසක් ඉන්න නිවසක, ඔය වගේ ලේබල් සියයක් ඇලෙව්වත් ලැබිය යුතු ආශිර්වාදය ලැබේවි කියලා නම් මම හිතන්නේ නෑ.
ලේබලයක් කියවීමකින් ආශිර්වාදය ලබන්න පුළුවන් නම් බුදු වදන් මේ වෙද්දී බොරුවක් වෙලා හමාරයි. හැබැයි ලේබලයක් කියවීමෙන් තමන්ට හදවතින්ම කෙනෙක් හෝ කණ්ඩායමක් පිළිබඳව යහපත් සිතුවිලි පහල වෙලා, සිහි නැගිලා ආශිර්වාදාත්මක හැඟීමක් පහළ වුණොත් ඒකෙන් යම් තාක් දුරකට සෙතක් සැලසෙන්න පුළුවන්. ඒත් නිවසට එන හැමෝටම එහෙම හැඟීම පහල වෙනවද කියන එකයි ප්‍රශ්නය. කෙනෙකුගේ මනසින් මෛත්‍රීය සිතුවිල්ලක් සහිතව කරන ප්‍රාර්ථනාව හෝ ආශිර්වාදය ඔහුගේ සිරුරේ රශ්මි මාලවෙන් පිට වෙනවා. වෛරය වුණත් එහෙම්මමයි. සිතුවිලි පදනම් කරගෙන පිට වෙන ඒ රැස් මාලාව හරහා ආශිර්වාදය හෝ වෛරය කෙනෙකුට සම්ප්‍රේශනය වෙනවා. සතුටින් ඉන්න කෙනෙකුගෙයි, තරහින් ඉන්න කෙනෙකුගෙයි මුහුණේ ඉරියව් වෙනස් වෙන ආකාරය මීට හොඳ උදාහරණයක්. මොකද මේ දේවල් සියල්ල සිද්ධ වෙන්නේ සිත අභ්‍යන්තරයේ නිසා.
මේ වගේම ලොකු ලේබලයක් අපේ ගෙදරත් මේ ලඟකදි ගේට්ටුවේ ඇලවුණා. ඒක කරේ තාත්තා නිසා කිසි දෙයක් මම කියුවේ නෑ. මොකද මම ඔය වගේ දේවල් ගැන වැඩි විශ්වාසයක් නැති නිසා. නමුත් මේකේ තේරුම හරියට දන්නවා නම් කවුරුත් ඔය දේවල් කරම්න් ආශිර්වාදයක් ලබන්න උත්සාහ කරන එකකුත් නෑ.
හොඳ පවුල් සංස්ථාවක් පවත්වා ගෙන යාමම ඒ පවුලට වටිනා කියන ආශිර්වාදයක්. හිත පිරිසිදුව, වෛරී, ද්වේශ සහගත චේතනාවෙන් හිත වියවුල් කරගෙන ඉන්න තාක් කල් කිසිම නිවසකට ආශිර්වාදයක් ලබන්න පුළුවන් කමක් නෑ. ශ්‍රියා කාන්තාව සිටින්නේ අපි තුලමයි. ඒ ලේබලයකවත්, දොර උඩින් එල්ලන සීවලී පිංතූරයේවත් නොවේ. ඒ බව තේරුම් ගන්න ඔයාලටත් වාසනාව උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට ගෙදර බුදුන් නොවැන්දත් නිවසට සෙතක්, තමන්ට සෙතක් සිදු වේවි. හිතේ කහටින් සිය වරක් බුදුන් වඳිනවාට වඩා මෛත්‍රී සිතින් එක වරක් බුදුන් වැන්දොත් වටින්නේ නැද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න.
2 පාඨක අදහස් | Comments:
බුදු හාමුදුරුවෝ තමාගේ පිළිම වලට වඳින්නයි කීවාද?...හිතේ කහට පුරෝගෙන....මල් වට්ටි අරන් පන්සල් යන අපේ එවුන් නිවන් පතන කොට හිනා යන්නේ වෙන තැනකින්.....ඕනෑම් දෙයක් විශ්වාස කරන්න ඕනෑම කෙනෙක්ට අයිතිය තේයෙනවා...ඒක හිඳා ඒවා විවේචනය කිරීමත් ඇත්තටම පළක් නෑ...මොකද සත්‍යය තෙරුම් ගතොත් මිසක එය බලෙන් එබ්බවිය නොහැකි නිසා...මම නම් හැම වෙලා වෙම කියන්නේ අපි අපිට හොඳයි යැයි බුධ්දියෙන් සිතා බලා ගත් තීරණය් කිරියාවට නංවමු...කවුරුන් වත් කීපලියට අපේ විශ්වාශයන් වෙනස් කිරීමෙන්ද පළයක් නෑ...එය අප තුලින්ම පැමිනිය යුතුයි....
sahathika aththa
Post a Comment