Tuesday, August 10, 2010

මගේ මුලින් ලිපියත් මේ ලිපිය හා බැඳියක්. එක ලිපියකින් පමණක් ලියා අවසන් කළ නොහැකි තරමේ කරුණු රාශියක් ඇති නිසයි මේ ලිපියත් ඉදිරියට ගෙන ඒමට සිතුවේ. තවත් තොරතුරු පසුවට කියන්නට සිතා ගෙනයි ඉන්නේ. මේ ලිපියත් ඒ. ආර්. රෙහ්මාන් පිළිබඳව ගැනයි.

රෙහ්මාන්ගේ සංගීතයට ශාස්ත්‍රීය සංගීතය මැනවින් මුසු වෙලා තියෙනවා. ඔහුගේ සංගීත නිර්මාණ රැසකටම රාගධාරී සංගීතයේ එන රාග බොහෝමයක ආභාශය පැමිණ තිබෙනවා. පෙරදිග සංගීතය විශයක් විදියට හදාරපු ඔයාලගෙන් සමහරක් දෙනා නම් රාගයකින් නිර්මාණය වෙන ගීත ගායනා කරලා වගේම ඉගෙන ගෙනත් ඇති. ඒ වගේම ලංකාවේ එහෙම නිම වුණු ගීත ගැනත් දන්නවා ඇති.

මේ කියන්න හදන්නේ රෙහමාන්ගේ ගීත වල රාගධාරී පසුබිම ඔහු විසින් ඈඳා ගෙන ඇති ආකාරය ගැනයි. දේශ් රාගය, භෛරවී රාගය, යමන් රාගය, යමන් කල්‍යාණි රාගය වගේ මම අහල තියෙන රාගයන් විතරක් නෙවෙයි කර්ණාටක සංගීතයේ එන බොහෝමයක් රාගයන්. රෝජා චිත්‍රපටයේ හින්දි ගීතය "රෝජා ජානේමන්" හෝ දෙමළ ගීතය "කාදල් රෝජාවේ" තුල ඇසෙන අත් වැල් ගායිකාවන්ගේ මිමිණුම් තනුව "දේශ්" රාගයෙන් නිර්මාණය වූවක්. "දිල්සේ" චිත්‍රපටයේ "ජිය ජලේ" ගීතය "භෛරවී" රාගයානුසාරයෙන් නිම වූවක්. "ගුරු" චිත්‍රපතයේ "ඒ හේරතේ" ගීය "යමන්" රාගයෙන් නිම වූවක්. මේ මා දන්නා ඔහුගේ ප්‍රකට ගීත කීපයක් පමණයි.

මේ ගීත වල නියම රසය විඳින්න නම් ඒ ඒ රාගයන්ගේ ගාන සමය හෙවත් වාදනය හෝ ගායනය කරන, දිනයේ ගැලපෙනම කාලයේදී පුළුවන් වේවි. ඒ රාග වල එන විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ රාගයක අලංකාරය රස විඳීමට එය වැයිය යුතු හෝ ගැයිය යුතු නියමිත වෙලාවක් තියෙනවා. ඒ උදේ වරුව, අළුයම් කාලය, රාත්‍රිය වශයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ රාග වලින් නිර්මිත ගීත වල නියම රසය ඒ ඒ රාගයේ ගාන සමයේදී රස විඳීමෙන් නියමාකාර රසයක් ලබන්න පුළුවන් වේවි. භෛරවී රාගය උදෑසන හෝ ඕනෙම වෙලාව වෙද්දී, දේශ් රාගය රාත්‍රී 11 සිට අළුයම 2 දක්වා පරාසය තුලදීත්, යමන් රාගය රාත්‍රී 11ට පෙර කාලයේදී ලෙසින් හඳුවලා දෙන්න පුළුවන්. (වැරදි නම් නිවැරදි කරන සේක්වා)

රාගධාරී ආභාශය පසෙකින් තැබුවහොත් රෙහ්මාන්, තම සංගීත නිර්මාණයන් සඳහා යොදා ගන්නා තාක්ෂණික උපක්‍රම ඉතාමත්ම මිලාධික වගේම ඒ උපක්‍රම සහ උපාංග සඳහා ඉහල තාක්ෂණයකුත් යොදා ගන්නවා. විශේෂයෙන්ම සංගීතය ප්‍රති උත්පාදනයට වගේම ගායක ගායිකාවන්ට ලඟා විය නොහැකි පරාස වලට හඬ නැංවීමට හෝ බැස්සවීමට. මා දන්නා තරමින් ඔහු සංගීත නිර්මාණය සඳහා යොදා ගන්නේ ඇපල් පරිගණක වල කියාත්මක වන, "ලොජික්" නැමැති දැවැන්ත තාක්ෂණික මෘදුකාංගයයි. මෙයින් අත්පත් කර ගන්නා ධාරිතා ප්‍රමාණය, ගිගාබයිට් පනහකුත් ඉක්මවනවා. නමුත් මොහුගේ හැම නිර්මාණයක්ම ඇත්තම වාදක ශිල්පියන්ගේ දායකත්වයෙන් නිම වන බව දැන ගත යුතුයි. ඒ නිසාවෙන්ම ඔහුට ඕනෙම ප්‍රසංගයකදී තම ගීත සජීවීව ප්‍රති වාදනය කිරීමට හැකියාවක් තිබෙනවා.

ගායකයෙක්ට හෝ ගායිකාවකට රෙහ්මාන්ගේ ගීතයකට
හඬ සැපයීමේදී ලැබෙන සහනය නම් රෙහ්මාන් අත ඉහලට ඔසවා නිවැරදියි ලෙස පැවසීමයි. ඒ කියන්නේ කෙනෙක්ට, රෙහ්මාන්ගේ මනසේ රැඳි තනුවට සියයට සියයකම සාධාරණීයත්වය ඉශ්ට වීමට නම් ගායන අවස්ථා අනේක වාරයක් සිදු කිරීමට සිදු වෙන නිසාවෙන්. ඒ සිදු වෙන මහන්සියේ ප්‍රතිපලයන් අද මල් පල ගැන්වී ඇත්තේ ඔහු මුළු ලොව පුරා අති දැවැන්ත සංගීතඥයෙකු ලෙසින් ප්‍රකටව ඇති හෙයිනි.

කෙනෙක්ට කියන්න පුළුවන් ඔහු මෘදුකාංග වලින් සංගීතය ප්‍රති උත්පාදනය කරන නිසා සැබෑ සංගීතඥයෙක් නෙවෙයි කියලා. ඒත් පහලින් මා දමා තියෙන වීඩියෝ දර්ශන නැරඹීමෙන් එය එසේ නොවන බව වටහා ගන්න.






0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.