Monday, August 9, 2010

ඇයි අපි ජීවත් වෙන්නේ? අපි ජීවත් වෙන්නේ අපේ හීන සැබෑ කර ගන්න. අපේ දෙමව්පියෝ අපි ගැන තියලා තියෙන විශ්වාසය ඉදිරියටම ගෙනියන්න. අපේ දෙමව්පියන්ගේ හීන සැබෑ කරන්න. එයාලට තවදුරටත් ණයක් නොවෙන්න. හොඳ රැකියාවක් කරලා, විවාහයක් කරගෙන ජීවිතේ සතුටින් ගත කරන්න.

මේ දේවල් මේ විදියටම පිහිටන්නේ බොහෝම කිහිප දෙනෙකුට විතරයි. නමුත් මින් එහාට අපි දකින දේවලුත් තියෙනවා. සමහර විට ඒ දේවල් කරන්නේ අපි අපිම වෙන්න පුළුවන්. නැතිනම් අපේම සහෝදර සහෝදරියො වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අපේ යාළු මිත්‍රයෝ හෝ නෑදෑයන් වෙන්නත් පුළුවන්. ඒ සමහර දේවල් ගණයට වැටෙන ප්‍රධාන කරුණක් ගැන තමයි මේ ලිපියෙන් කියන්න හදන්නේ. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ධනය විනාශ කරමින් සතුට හොයන උදවිය ගැන.

සමාජයේදී අපට විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒ අතර සමහරු බොහෝමත්ම උනන්දුවෙන් වගෙම කැපවීමෙන් තම ජීවිතේ සාර්ථකව ගෙනියනවා. තමන්ගේ ඉගෙනුම සම්පූර්ණ කර ගන්නට දරන උත්සාහය වගේම කරන කැප කිරීම් දිහා දකිද්දී ඕනෙම කෙනෙකුට හිතට ලොකු සතුටකුත් ඇති වෙනවා. ඒ වගේම කොතරම් හම්බ කලත් ඉගෙනීමක් නොකරන, තමන්ගේ ඉගෙනුමට වඩා සතුට වෙනුවෙන් මුදල් නාස්ති කරන දරුවොත් අපි පය ගහල ඉන්න මේ සමාජයේ අනේක වාරයක් අපිට දකින්න ලැබිලා තියෙනවා.

මගේ ජීවිතේදී මේ දෙපාර්ශවයේම පුද්ගලයින් මට මුණ ගැහිලා තියෙනවා. පිරිසක් හොඳින් ඉගෙන ගන්න වගේම ඉගෙනීමට මුදල් නැතුව දුක්ඛිත ජීවිතයක් ගත කරන හොඳ මිනිසුන් කොට්ඨාශයක්. අනිත් පිරිස තමයි කොච්චර සල්ලි තිබුණත් දුරාචාරයට වියදම් කරමින් දෙමව්පියන්ගේ ගෞරවය වගේම ධනයත් නැති නාස්ති කරන උදවිය.

මින් පළමු කොට්ඨාශයේ මිතුරන් කීප දෙනෙක් ගැන කියන්න වටිනවා. එක මිතුරෙක් තමන් කරන රැකියාවෙන් භාගයක්ම තමන්ගේ පවුලේ මාසික ආදායම විදියට දෙනවා. නමුත් ඒ කෙනා ඉතාමත්ම අඩු පඩියකට රැකියාවක නිරතවූ කාලයකුත් තිබුණා. ඒ කාලයේදී නිවසේ අග හිඟ කම් නිසා නිවසේ අයත් වේලක් දෙකක් නොකා නොබී සිටි දවස් ඇති තරම් තිබුණා. ඒ මුදල් නැති නිසාත්, පවුලේ වෙන කිසිම අයෙකුට වෙනත් ආදායමක් නොමැති වූ නිසාත්. ඒත් දැන්, ඒ කෙනා ඒ වගේ හතර ගුණයක වේතනයක් ලබන රැකියාවක නිරත වෙලා නිසා පවුලේ ප්‍රශ්න අඩු වෙලා. කිව යුතු වැදගත්ම කරුණ වෙන්නේ ඒ කෙනා කිසිම දුරාචාරයකට පුරුදු නොවී සිටීමයි. මත්පැන් බිඳක්වත් කටේ තියලා නැති අයෙක්. නමුත් උනන්දුව වගේම ඉගෙනීමට තියෙන දැඩි කැමැත්ත නිසාත්, කිසිම වරදක් සමාජයට හෝ තමන්ගේ දෙමාපියන්ට සිදු කරලා නැති නිසාත් ඔහුට අද හොඳ තැනකට එන්නට පුළුවන් කමක් ලැබිලා තියෙනවා.

මේ වගේම දෙමාපියන් නැති පුද්ගලයෙකුත් ඉන්නවා ඉගෙනීමෙන් ඉහලට ගිහින් හොඳ රැකියාවකින් ජීවිතය සාර්ථක කර ගත්තු. මේ වගේ චරිත අපේ ජීවිත වල ඇති තරම් දකින්නට පුළුවන්. ඒත් ඒ චරිත ගැන නිතර නිතර මතක් කරමින් අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයකුත් තියෙනවා.

මා සඳහන් කළ දෙවෙනි කොට්ඨාශය තමයි අර ධන හානිකාර දරුවෝ. කොටින්ම සමාජයට විතරක් නෙවෙයි පය ගහල ඉන්න පොළොවටත් බරක් වෙන උදවිය. ඉගෙන ගන්නා නියාවෙන් තම දෙමාපියන්ගේ මුදල් වලින්, තමාගේ කාමුක වගේම දුරාචාරී සන්තෘෂ්ටිය උදෙසා ජීවත් වෙන උදවියයි ඒ. රැකියා වල නිරත වුවත්, බීමත් කම නිසාත්, වෙනත් සමාජ විරෝධී දුරාචාර නිසාත් තම රැකියාවෙන් ලබන වැටුප පවා අහවර කරගෙන දෙමව්පියන් රවටා තව තවත් මුදල් කොල්ල කෑම ඒ උදවියගේ ඇට මස් ලේ නහර වලට හොඳින්ම කා වැදුනු දෙයක්. අවසානයේදී තම තමන්ගේ දෙමාපියන්ට විතරක් නෙවෙයි, මුළු ලෝකෙටම ණය කරුවන් වී සමාජයේ ජීවත් වෙන පව්කාර පිරිසකුයි ඒ කොට්ඨාශයට අයත් වෙන්නේ.

ඒ උදවියට දුකකදි, සතුටකදි, තරහවකදි සිහියට නැගෙන්නේ මැත් පැන් බෝතලයක් විතරමයි. එපමණක් නෙවෙයි, අවශ්‍යතාවයේ හැටියට කාන්තාවන් සමග ලිංගික සේවනයේ මනා දක්ෂතාවකුත් ඔවුන් සතුව තියෙනවා. ඇත්තෙන්ම සමාජයේ ජීවත් වෙන ලිංගිකාචාර්යවරුන්, දුරාචාර්යවරුන් ලෙසින් ඔවුන් නාමකරණය කළත් වරදක් නෑ. මේ මොන නම කීවත් නැතත් තම තමන්ගේ හෘද සාක්ශ්‍යය දන්නවා තමන් හරිද වැරදිද කියලා. මේ වගේ කෙනෙක් සමාජයේ ඉහලින්ම වැජඹුනොත් ඒ දුරාචාරයකින්ම පමණක් කියලායි මගේ අදහස. දියුණු වූවත් ඒ වැරදි ක්‍රමයකින් විය හැකියි.

මාස නවයක් මව් කුසේ හිටි ණයවත් ගෙවා ගන්න බැරුවාට තවත් අවුරුදු විස්සක් තිහක් යන තාක්ම දෙමව්පියන්ගේ රීරි මාංශය සූරන් කන උදවිය අපි අතරේම ඕනෙ තරම් සිටිනවා. ඔවුන් සිතන්නේ තම තමන්ගේ සතුට ගැන විතරමයි. ඉඩකඩම්, දේපල සහෝදරයන් අතරේ බෙදද්දී, මූලික වශයෙන්ම ආරවුල් ඇති කර ගන්න පිරිස අතරේ මුල් තැනක ඔය වගේ දරුවෝ සිටිය යුතුමයි. මන්දයත් ඔවුනට අවශ්‍ය මුදල් පමණක් නිසා. නමුත් අවසානයේ ඔවුන්ගේ පාදඩ සහ අශීලාචාර ක්‍රියාවන් නිසා දෝශාරෝපණයට ලක් වෙන්නේ ඔවුන්ගේ අහිංසක දෙමාපියන් පමණමයි.

මෙවන් පුද්ගලයන් හට ගැහැණු හෝ පිරිමි හෝ වේවා සමාජයේ හොඳ තැනක් හිමි වෙනවා. නමුත් සදාචාරාත්මකව ජිවත් වෙන හොඳ මිනිසුන් හට කිසිම සැලකීමක් ගෞරවයක් හිමි වන්නේ බොහෝමත්ම කලාතුරකින්. එයිනුත් බොහෝ දෙනෙක් මිය ගියාටත් පසුවයි. මුදල් නැතිව, කන්නට බොන්නට නැතිව මැරිලා යන එක, මව්පියන් සූරන් කමින් ලබන වින්දනයට වඩා කෝටියකින් සැප ඇති වින්දනයක් බව අප සිහියට නගා ගත යුතුය.

මේ ලිපිය කියවන එවැනි සූරන් කන්නන් සිටිනවා නම්, මේ ලිපිය පල කරන මගේ, දෙමව්පියන් ගැන "හු" යන්න පෙරට යොදා ආවර්ජණය කරනවා නම් ඒ මව්පිය ස්ථානයෙහි තමන්ගේත් මව්පියන් සිටින බව අමතක නොකරන්න. මන්දයත් මව්පිය පදවිය ලබන්නෝ තමන්ට කිට්ටුම බුදුවරුන් නිසා.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.