Friday, August 27, 2010

මූලධර්මවාදය මුල් පුරුක හා මූලාශ්‍රය කර ගත්තු විවිධාකාරයේ සමාගම්, ආයතන සහ ආගමික සංවිධාන බෞද්ධයන් කෙරෙහි දැඩි උනන්දුවකින් පහු වෙනවා. ඊට හේතුව අද කාලයේදී විඩේශයන්ගේ පවා උදවිය බෙහෙවින් බුදු දහමට නැඹුරු වීමට පටන් අරගෙන සිටින නිසා. ආගමේ වෙනසක් සිදු කරන්නේ නැතිව හෝ ඔවුන් කායික සහ මානසික සුවයක් ලැබීමට බුදුද් දහමට නැඹුරු වීම අපට යම් තාක් දුරකට සතුටු වීමට හැකි කාරණයක්. ඒත් ඒ දේ එසේ වුනත් එය මූලධර්මවාදයක් නම් නොවන බවත් අප සිහියට නගා ගත යුතුයි. මන්දයත් අපේ බුදු දහම ධර්මයක් සහ දර්ශනයක් මිසක ආගමක් නොවන විවෘත, මුළු විශ්වයටම විෂය වෙන දෙයක් නිසාවෙන්.

කෙනෙක්ට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට පුළුවන් ලාභ ප්‍රයෝජන තකා බුදු දහමින් වෙනත් ආගමකට පරිවර්තනය වෙනවා නම් ඒ වගේ අය බුදු දහම අත අරින එක වඩාත් හොඳයි කියලා. ඒත් ඒක අපිට එහෙම්මම ලේසියෙන් අමතක කරලා දමන්නට හැකියාවක් නැහැ. බුදු දහම රැකෙන්නේ එය අනුගමනය කරනා පිරිසක් ඇති විට මිසක් හිස් තිබූ පමණින් නෙවෙයි. බුදු දහම ලෝකයේ ආරක්ෂා වෙලා තියෙන එකම රට මේ ලංකාව විතරමයි. ලෝකයේ ජනතාවගෙන් බෞද්ධයින් වැඩි ප්‍රමාණයක් සිටින්නේත් මේ රටේ බව කාටත් පැහැදිලියි. වෙනත් රටවලත් බෞද්ධයින් වැඩි ප්‍රමාණයක් සිටින්නට පුළුවන් නමුත් පිවිතුරු බුදු දහම නැති නම් ථේරවාදී බුදු දහම තවමත් මැනවින් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ රටේ පමණක් කියායි මගේ දැක්ම නම්.

වෙනත් ආගමකට බුදු දහම අත හැරලා කෙනෙකු පරිවර්තනය වීමට දක්වන එකඟතාව හෝ නැති කම කෙසේ වෙතත් බලෙන් වෙනත් ආගමකට හරවන්නට කරන තැතෙන් හැරෙන අය ගැන නම් කතා කරලා වැඩක් නෑ තමයි. ඒත් අපි උත්සාහ කළ යුත්තේ බෞද්ධයින්ව දැනුවත් කිරීමයි. මිල මුදල් වලට කෑදරව වෙනත් ආගමකට යාමට ඉඩක් නැති වෙන පරිද්දෙන් අපේ බෞද්ධයන් මනා ලෙස දැනුවත් විය යුතුයි. මේ ධර්මයේ වැදගත්කම, වටිනාකම, ලැබිය හැකි සැප සම්පත් මොනවාද යන්න පිළිබඳව ආදියත් ඒ දැනුවත් කිරීම් වලට අදාළයි. අද අපේ රටේ බොහෝමයක් දෙනා බුදු දහම ගැන හරිම පටු විදියට හිතාගෙන ඉන්නේ. මොකද සැප ලබන්න බාධා වෙන ධර්මයක් විදියට බුදු දහම ගැන වැරදි අවබෝධයක් තබා ගෙන ඉන්න නිසා. ඒත් මෙච්චර බණ කියන, බණ අහන, පන්සල් බොහෝමයක් එහෙම තියෙන රටේ බෞද්ධ ජනතාව තවමත් ආශාවන් පස්සේ පිස්සුවෙන් වගේ දුවනවා. ඒක නැති කරන්න නම් තම තමන් වගේම දේශකයන්ගේත් උනන්දුව කැපවීම අවශ්‍යයි.

අද කාලයේ ධර්ම දේශනා වලට එක්කෝ ජාතක කතාවක් හරි කියලා අත සෝදා ගන්න ධර්ම දේශකයන් පිරිසකුයි සිටින්නේ. ඔවුනට එකහෙළා වරදක් පටවනවා නම් නෙවෙයි. ඒත් මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට ධර්ම දේශනාවක් කොයි තරමේ බලපෑමක් ඇති කරනවාද නැද්ද යන වග නම් සැක සහිතයි. අද අපේ මිනිස්සු බොහෝමයක් කැමති ළාමක බණ අසන්නටයි.අභිධර්මයෙන් දේශනා වෙන ධර්ම දේශනයකට ඌණ පූර්ණ සපයන්නේ "අද බණ හරි නෑ නේද? මුකුත් තේරුනේ නෑ. ඒ හාමුදුරුවන්ගෙ බණ එච්චර හරි නෑ නේද?" ලෙසින්. මේ වගේ කියමන් ඕනේ තරම් අපේ කන් වලට වැටිලා ඇති. මේක අපේ වගේම ඒ ඒ ධර්ම දේශකයානන් වහන්සේලාගේත් වැරදි ඉස්මතු කිරීමක්.

මේ තත්ත්වයෙන් මිදිලා හැමෝගෙම ලේ මස් ඇට නහර වලට කවදින විදියට ධර්ම දේශනා කළ බොහෝමයක් යතිවරුන් අද අප අතර නෑ. එක් අයෙක් තමයි සෝම හාමුදුරුවෝ. උන්වහන්සේ ධර්මයෙන් ජීවිතයත්, තමන්ගේ ජාතියත් රැක ගන්නා ආකාරය හොඳින් දේශනා කරලා තියෙනවා. බුදු දහම රැක ගැනීමේ මූලිකාංගය වෙන පන්සිල් රැකීමෙන් පටන් අරගෙන උන්වහන්සේට අපේ රටේ බෞද්ධයින්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නට හැකි වූ අන්දම ගැන අපිට උන්වහන්සේ අපවත් වෙන තුරුම තේරුනේ නැහැ.

මේ දේවල් අපි සිහියට ගත යුතුයි. පන්සල් වලත් අද පවතින්නේ ව්‍යාපාර හරහා මුදක් ගරා ගැනීමක්. හොඳම උදාහරණය දේවලය. ඉතින් මෙන්න මේ කරුණු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් දන්නේම නැතිව තම තමන් විතරක් මේ රටේ බෞද්ධයින් විදියට ඉතිරි වෙන්නත් බැරි නෑ.

8 පාඨක අදහස් | Comments:

Anonymous said...

ඇතිවෙන සියලුදේ නැතිවේ.වෙනස් නොවන එකම දෙය වෙනස් වීම වේ.මෙය බුදු දහමටත් අදාල වේ.බුදු දහම පෙරට දමා යුද්ධයට උල්පන්දම් දීමත්.ජාතිවාදයට උඩගෙඩි දීමත් බුද්ධාගම අදහන්නන් විනා බෞද්ධ දර්ශනයට අනුව දිවිගෙවන්නන්ට කල නොහැක.කාටවත් බලෙන් බෞද්ධ දර්ශනය ලබාදිය නොහැක.බුද්ධාගම රැකගත් යුත්තේ අන්‍යගමිකයන් හා සටන් වැදීමෙන් හෝ ඒවායේ වැරදි සෙවීමෙන් නොව.බුදහගමේ ගුණ ලොවට පෙන්වා දීමෙනි.පටු වාසි තකා දේශපාළුවන් පසුපස යන හිස් මුඩු මුදලාලිලාගෙන් එය ඉටුවේයයි බලාපොරොත්තු විය හැකිද?.සෝම හිමියන් ගැන වුවද මගේ ඒතරම් පැහැදීමක් නෑ.මන්ද උන්වහන්සේ වුවද ජනප්‍රිය රැල්ල්ට හසුවූ නිසවෙනි.නමුත් අවසානයේ උන්වහන්සේගෙ නම විකුනා කසාවත් පෙරවූ කට්ටියක් හා ගිහියන් ටිකක් දියවන්නාවටන්ම් රින්ගා ගත්හ.සැබැවින්ම බුදු දහම මුලින්ම බේරා ගත යුත්තේ ඒය තුලටම එහි අගය පහළ දමන අමනයින්ගෙනි.

Teshan said...

මූලධර්මවාදීන් හා සටන් කිරීමෙන් පලක් වෙන්නේ නෑ. ඔවුන් සමග සටන් කර වැඩකුත් නෑ. ඒත් ඔවුන්ට හසු නොවන්නට අපේ බෞද්ධයාව අපි ආරක්ෂා කරගත යුතුයි. ඒක වරදක් විදියට මම නම් හිතන්නේ නෑ. තමන්ගේ ජාතිය ආගම ආරක්ෂා කර ගැනීම බුදු දහමට පටහැනි නෑ. තමන්ට තමන්ගේ පවුල ආරක්ෂා කර ගන්නට පුළුවන් නම්, තමන්ට තමන්ගේ රැකියව ආරක්ෂා කර ගන්නට පුළුවන් උනන්දුවක් තියෙනවා නම් ඇයි අපිට බැරි තමන්ගේ ආගම ධර්මය ආරක්ෂා කරගෙන රැක ගන්න?මේ රටේ විතරක් පිවිතුරුව පවතින බුදු දහම අපිම රැක ගමු. ඒක වටිනවා නේද යාළුවේ?

Anonymous said...

ඔය පිවිතුරු කෑල්ල නම් අපිම මවාගත්තු දෙයක්.මොකද වසර 2500 කියන්නේ සැහෙන කාලයක්.වෙනස් වෙලා නැ කියනවා නම් ඒක බෞද්ධ දර්ශනයටම කරන අපහාසයක්.මෙහෙටත් කීප පාරක්ම වෙන රටවලින් අරන් ආපු එකනෙ.රට, ජාතිය, ආගම ඕවා බෞද්ධ දර්ශනයට පටලවා ගන්න එපා.බෞද්ධ සංස්කෘතියයි බෞද්ධ දර්ශනයයි දෙකක්.බෞද්ධ සංස්කෘතිය මිනිස්සු හදාගත්තු දෙයක්.ඒකට අනුව තමන්ගේ රට රැක ගැනීම ජාතිය වෙනුවෙන් පෙනීසිටීම හරි.නමුත් බෞද්ධ දර්ශනයෙත් එහෙම කියලා තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ.බෞද්ධ දර්ශනයේ ජාති කුල භෙද නෑ.මිනිස් ජීවිතයේදී ප්‍රායෝගික නැතිවෙන්නේ පුලුවන්...ඒත් ඒක වෙනම කතාවක්.

Teshan said...

පිවිතුරු කියන වචනය යොදන්න හේතුවක් තියෙනවා. මොන රටින් එක එක අවස්ථා වලදි ගෙනාවත් ථේරවදී බුදු දහම රැකිලා තියෙන්නේ මෙහේ විතරක් කියලායි මම හිතන්නේ. වෙනස් නොවුනා කියලා මම කීවේ නෑ. අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. ඒත් ඒ බෞද්ධ දර්ශනය නෙවෙයි. ඒක වෙනස් වෙන්නේ නෑ. කතෝලික බැතිමතෙක් බුදු දහම රකින්නේ නෑ. ඉස්ලාම් භක්තිකයෙක් බුදු දහම රකින්නේ නෑ. වෙනත් ඕනෑම ආගමක භක්තිකයෙක් වුනත් එහෙම්මමයි. මේ රටේ සිංහල ජාතිය කියන කොටස විතරයි බුදු දහම රකින්නට ඉතිරි වෙලා ඉන්නේ. ලෝකයේ, සිංහල භාශාව ජාතික භාශාව වුනු එකම රට මේ රට විතරමයි. ජාති වාදය කතා කරනවා නෙවෙයි. අනිත් ආගම් වල උදවිය තම තමන්ගේ ධර්මය පිළිපැද හිටියාවෙ. ඒත් අපේ ධර්මය රකින්නට අපිට අයිතියක් තියෙනවනේ. ඇයි ඒ ගැන නොහිතන්නේ? ජාතිය කියන දේ බුදු හාමුදුරුවො දෙවිදියකින් අදහස් කරා. එක අර්ථයක් තමයි ඉපදීම කියන එක. ඒක දුකට හේතුවක්. අනිත් තේරුම තමයි ජන කොට්ඨාසයක් කියන එක. ඒකට කුලයක් කියලා නම් කරන්න බැහැ. ශාක්‍ය වංෂිකයන්ට බුදු හාමුදුරුවෝ විශේෂ වරප්‍රසාද දීල තියෙනව මහණ වෙන්නට සැපිරිය යුතු අංග සඳහා. ඒ බුදු රජුන් ශාක්‍ය වංශිකයෙක් නිසා තම ජාතියට කළ ගරු කිරීමක්. ලිච්ඡවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම බුදුන් අගය කළා. මේ බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් උදාහරණ බුදු හාමුදුරුවෝ ජාතිය පහත් කරලා කතා නොකල එකට.

Anonymous said...

ඔබ ඔය කියන්නේ විනය පිහිටුවා ගැනීමට කල යම් යම් ප්‍රායෝගික ක්‍රියා.නමුත් ඒහි ධාර්මික පදනමක් මම නම් දකින්නේ නෑ.බුදු දහම අකාලිකයි.නමුත් හැම කොටසම නොවෙයි.වැදගත් වන්නේ එහි හරය මිස වටේ ඇති අනිකුත් කරුණු නෝව යන්න මගේ හැඟීමයි.බුදුන් කිසි කලෙක එක් ජාතියක් අනෙක්වාට වඩා උසස් යැයි කී බවක් මම නම් අසා නෑ.බුදු දහමේ අවසාන සත්‍යය බැඳීම් අත් හැරීම මිස ඇලීම නොවෙයි.අනිකුත් ජාතීන් කරන නිසා අපි එසේ කලයුතු යැයි කියනවා නම් එය ළාමක තර්කයක්.අපි කොයිතරම් ආඩම්බරයෙන් අප සතු ගුණ ධර්ම ගැන් කීවට්...අප් තුල පිරිහී ඇති ස්වයං විනයට වග කියන්නේ කවුද?.අප පිවිතුරු බෞද්ධයන් නම් ඒසේ වන්නේ ඇයි.මේ ගැන තර්ක් කිරීමෙන් පලක් නෑ.රටට තම ජනයාට ආදරය කිරීම හෝ නොකිරීම හරිද වැරදිද මම නොදනිමි.එය පෙරට දමා කරන ඝාතනයක් පවක්ද? නොවෙයිද? යන්න ගැන තර්ක් නොකරමි.නමුත් එක දෙයක් පැහැදිලිය. එනම් ජාති ආගම් කුල භේද තිබෙන තුරු ලේ වැගිරීම් නොනවතිනු ඇත.

Teshan said...

මගේ කලින් පිළිතුරේ බුදුන් විසින් ජාතියක් උසස් කොට සැලකුවාය කියලා මම කියලා නෑ. මම කීවේ තමන් උපන් ජාතියට විශේෂ වරප්‍රසාදයක් දී ඇති බවයි. අප තුල පිරිහී ඇති ස්වයං විනයට වග කිව යුත්තේ අපිමයි. තම තමන්ගේ පුද්ගලිකවම පිහිටුවා ගන්නා විනය මත සමාජයේම විනය රඳා පවතිනවා. මොකද මිනිහා හදන්නේ නැතිව රට හදන්න බැහැ කියලාත් අහලා ඇති නේ. තමන්ගේ ජාතිය, ආගම ආරක්ෂා කර ගන්න එක ජාතිවාදය කියලා කියන්න බෑ. තමන්ගේ ආගම හෝ ජාතිය විතරඉ තියෙන්න ඕනේ කීවොත් නම් ඒක ජාතිවාදය වෙනවා. අන්න ඒ නිසයි ලේ වැගිරීම් ඇති වෙන්නේ. තමන්ට තියෙන වටිනා සම්පතක් ආරක්ෂා කර ගැනීම වරදක් නෙවෙයි. ඒකෙන් කාටවත් හානියක් සිද්ධ වෙනේ නැත්නම් ඒක වැරද්දක් වෙන්නට බැහැ නේද? අනෙකුත් ජාතින් තමන්ගේ ආගම ධර්මය රැක ගන්නට බුදු පිළිම පවා විනාශ කරත් අපි එහෙම වෙන්නට උවමනා නැත්තේ අපේ ආගම දහම අවිහිංසාව වගේම නිවුනු දෙයක් නිසයි.

Anonymous said...

"Patriotism is your conviction that this country is superior to all other countries because you were born in it"...(George Bernard Shaw)

Teshan said...

හම්මේ...මෙයා හොයාගෙන තියෙන දේවල්.... :)

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.