Monday, August 9, 2010

මාතෘකාව දැක්කම නම් කවුරුත් අනිවාර්යෙන්ම බලන්න පෙළඹෙන දෙයක් තමයි මේ ලිපිය. හැබැයි කියන්න යන්නේ ඇත්තක්. කවුරු කොහොම පිළිගත්තත් නැතත් මේ ලිපිය කියවන අය ඔය මාතෘකාව මටත් ආදේශ කරන්න බැරි කමක් නෑ. ඒත් වැඩක් වෙන්නේ නෑ නේ. මොකද ඇත්ත කියන දේ හංගන්න පුළුවන් කමක් නම් නෑ. හැබැයි හිතන්න දෙයකුයි කියන්න යන්නේ.

අපි උප්පත්තියෙන් නම් හරිම පිරිසිදු උදවිය. කිසිම නරක සිතුවිල්ලක් හිතට නො එන, මානසිකව පිරිසිදු පුංචි අත දරුවන් තමා උපන් මොහොතේ ඉඳලා යම් කාලයක් වෙන තුරුම. නමුත් අපි ජීවත් වෙන සමාජයේ, පරිසරයේ හෝ වටපිටාවේ බලපෑම් මත අපි දැන අඳුන ගන්න දේවල් බොහෝමයක් තියෙනවා. එක දෙයක් තමයි භාශාව. අපිට යම්කිසි භාශාවක් අපේ මව් භාශාව විදියට හුරු වෙන්නේ කාගේවත් ඉගැන්වීමකින් තොරව, අපිට ඇහෙන දෙයින් සහ ඇසින්. කාලයාගේ ඇවෑමෙන් ඒ ඉගෙනුම වැඩි දියුණු වෙන්නේ මොළේ සීඝ්‍ර වර්ධනයත් එක්කමයි. එතකොට තමයි අපි පෙර පාසලට ගිහිල්ලා ඉන් පස්සේ පාසලකට ඇතුලත් වෙන්නේ. ඔය හැම දෙයකින්ම අනතුරුව අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කරලා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා. ඉන් පස්සේ වැඩිදුර ඉගෙනුම ලබනවා හෝ විවාහ දිවියකට එළඹෙනවා රැකියාවකුත් සමගම. දරු මල්ලන් හදා වඩා ගෙන මැදි විය පසු කරන් මහළු වියේදී මුණුපුරු මිණිපිරියන් දැකලා මැරිලා යනවා. මේ තමයි අපේ මුළු ජීවිතයම කෙටි ඡේදයකින් කියනවා නම්. මේ කාලය තුල අපි නොයෙකුත් දේවල් බලෙන් වගේම ඉබේම
ත් ඉගෙන ගන්නවා. නමුත් අපිට වැඩිපුරම මතක හිටින්නේ ඉබේම ඉගෙන ගන්න දේවල්. විශේෂයෙන්ම කුණුහරුප.

කවුරුත් බලෙන් හෝ මනා අධ්‍යාපනයක් ලබද්දී 'කුණුහරුප පාඩම' කියලා දෙයක් ඉගෙන ගන්නේ නම් නෑ. නමුත් කුණුහරුප නොදන්න කිසි කෙනෙක් මේ සමාජයේ හොයන්නත් බෑ. දෙමව්පියෝවත්, ගුරුවරුන්වත් නෙවෙයි මේවා උගන්වන්නේ; අපිට පරිබාහිර සමාජයයි.

කුණුහරුප කියන්නේ කෙනෙක්ට නම් දැඩි ආයුධයක්. මේ ආයුධෙන් පහර කන ඕනෑම කෙනෙක්ට ඊට ප්‍රතිචාර දැක්වීමේ ආවේගයන් පහල වෙනවා. මේ ආයුධෙන් පහර දෙද්දී අනිවාර්යෙන්ම මතකයට නංවන, සහ නැංවෙන දෙදෙනෙක් ඉන්නවා. ඒ ප්‍රතිවාදියාගේ දෙමව්පියෝ. එයිනුත් බොහෝ විට අම්මාවරුන්. අනුන්ගේ අම්මාවරුන් නැමදීමේ මේ අමුතුම විදිය සමාජෙට ආවේ මීට බොහෝම කාලයකට උඩදී. මේ විශේෂ ක්‍රමයෙන් වඳිද්දී මුල'කුරට යොදන්නේ "හු" යන්නෙන් ආරම්භ වෙන වචන වල විවිධ ප්‍රභේදයන්. මේ හැම වචනයක්ම අර කුණුහරුප ගණයට අයත් ශබ්ධකෝෂයේ අනිවාර්ය වගේම බලවත් වචන රාශියක්.

ඔය නමස්කාරය ලබන ප්‍රතිවාදියෙකුට එය ඉවසීම කල නොහැක්කක්. මොකද තමන්ගේ වරදකට තමන්ගේ දෙමාපියන් නින්දිත ලෙස ආමන්ත්‍රණයට බඳුන් වෙන නිසා.

ඇත්තෙන්ම කෙනෙකුගේ වරදකට අපිට ඒ කෙනාගේ නෑදෑයොන්වත්, ඒ කෙනාගේ මව්පියන්වත් මතක් කිරීම කල යුත්තක් ද? මව්පියන් හොඳ නමුත් දරුවන් වැරදි කරන අවස්ථා ඕනේ තරම් මේ සමාජයේ තියෙනවා. ඒත් ප්‍රශ්නේ නම් ඒ බව දැන දැනත් දෙමව්පියන්ට කුණුහරුපෙන් කතා කිරීම. ඒත් අනුන්ගේ දෙමව්පියන්ට. කෙනෙක් වරදක් කරනවා නම් ඊට මූලික හේතුව ඒ කෙනාගේ දෙමව්පියන් නෙවෙයි. එහෙම වෙන අවස්ථා බොහෝමත්ම කලාතුරකිනුයි දකින්නට ලැබෙන්නේ. නමුත් සමස්ථයක් වශයෙන් මව්පියන් වැරදි මාර්ග වල නොගියත්, දරුවන්ගේ වැරදි සහ දුරාචාර නිසා ඒ දරුවා අසන බැනුමකට වඩා ඒ කෙනාගේ මව්පියන් බැනුම් අහන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තෙන්ම ඒකෙන් බනින කෙනාට ලැබෙන වාසිය කුමක්ද? ඇති පලේ කුමක්ද? ඊට වඩා තම තමන්ගේම මව්පියෝ ගැන සිහි කර ගත්තා නම් මදිද? නෑ. එය එසේ විය යුතුත් නෑ. කෙනෙක්ගේ වරදකට ඔහුගේ හෝ ඇයගේ මව්පියන්ට තිත්ත කුණුහරුපෙන් ආමන්ත්‍රණය කිරීම බනින පුද්ගලයාගේ පහත් බව නොදැනුවත්වම හුවා දැක්වීමක් විදියටයි මම දකින්නේ.

දෙමාපියන්ගේ ණය ගෙවිය නොහැකි බව අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ බවට හොඳ උදාහරණත් පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේ තම තමන්ගේ ජීවිත වලට ජීවය දුන් අය වෙනුවෙන් කුණුහරුපෙන් නමස්කාර කිරීම කෙතරම් අශීලාචාරද කියලා හිතන්න පුළුවන් නේද? ඇයි අපි වෙනත් පුද්ගලයකුට ජීවය දුන්නු උත්තම දෙපලකට කුණුහරුප නමස්කාරය කරන්නේ? කෙනෙක්ගේ වරදකට දඬුවම් ලැබිය යුත්තේ හෝ දෝශාරෝපණයට ලක් විය යුත්තේ ඒ පුද්ගලයා මිසක ඔහු හෝ ඇයගේ මව්පියන්, නෑදෑයන් නෙවෙයි.

අපි මිනිසුන් වශයෙන් තරහක් පාලනය කර ගැනීමට ඉගෙන ගත යුතුයි. නැති නම් කටට එන හැම වචනෙකින්ම වෙනකෙකුට ප්‍රහාර එල්ල කිරීම අශෝභන වගේම තිරිසන් ගතියකුත් වෙනවා. මින් මතුවටවත් කෙනෙකුට බනිද්දී ඔවුනගේ මව්පියන් කුණුහරුපෙන් ආවර්ජණය නොකර සිටීමයි වඩාත් වැදගත්. ඉන් සිද්ධ වෙන්නේ දෙපාර්ශවයටම යහපතක්. කවදාකවත් කුණුහරුපයක් ආයුධයක් කර ගන්නට හිතන්න එපා. කෙනෙකුගේ කටින් කුණුහරුපයක් පිට වෙනවා නම් ඔහු හෝ ඇයගේ තත්ත්වය ගැන මිනුම් දණ්ඩක් මුළු සමාජයටම ඒ පුද්ගලයා විසින් එළි දැක්වීමකුයි සිද්ධ වෙන්නේ. තම තමන්ගේ තත්ත්වය, නම්බුව ගැන දෙවරක් සිතිය යුතු කාලයක් උදා වෙලා තියෙන්නේ ඔන්න ඔය නිසයි. කෙනෙක් සමාජයේ කොයි තරම් නම් ඉහල තලයක වැජඹුනත්, වචනින් ඔහුගේ ඒ තත්ත්වය බිඳ වැටෙන්න ගත වෙන්නේ හරිම සුළු මොහොතක් විතරයි. එයිනුත් අනුන්ගේ දෙමාපිය වර්ණනාවන් වලදී.

ඔය පිට වෙන හැම වචනයකටම වන්දි ගෙවන්න වෙන්නේ ලේසි පහසු විදියකට නම් නොවන බව මතකයේ තියා ගත යුතු වෙනවා. සතර නිරයන් සහ එහි අනු කොටස් වශයෙන් නිරයන් විදියට ශාකාවන් බෙදිලා තියෙන්නේ අපි වෙනුවෙන් සුපිරි ගණයේ සැලකිලි ලබා දෙන්නමයි.

4 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

වචනයක් පිටවීමේදී ඒකට හේතුවුනු චේතනාව බලපානේ නැද්ද.....සමහරු නිකම් ජොලියට කුණුහරුප කියනවා....හිතේ තරහක් නැතුව...එතොකොට සමාජය පැත්තෙන් ඒක වැරදි තමයි නමුත් ඇත්තටම එතන තියෙන වැරැද්ද මොකක්ද?...මේක තර්කයක් නෙමෙයි...නමුත් සම්ප්‍රප්ප්‍රලාප ගනයට වැටෙන හිස් වචන කියන්නේත් ඔය වාගෙ ඒවා නෙවෙයි මම දන්න තරමට...අපි යමෙකුට ඇත්තටම එහෙම වෙන්න කියලා හිතාන කරන ශාපය කුයි...නිකම් ඔහෙ කියන දෙයකුයි අතර වෙනස නැත්ත්ද....මම මේ කතා කරන්නේ සදා චාරය ගැන නෙවෙයි.........

TeeRox said...

නිකං ඔහේ යමක් කියවන එකෙන් ඒ දේ කීමේ පලයක් නැති වෙනවා නේද? යමක් සුදුසු අවස්ථාවකදී හැර නිකරුනේ තොර තෝංචියක් නැතුව කීමෙන් ඒ දෙයෙහි අගයක් නැති වෙනවා නේද? ජොලියට කියන බව ඇත්ත. නමුත් ජොලියට කීවත් කෙනෙක්ගේ දෙමව්පියන්ව ජොලියට කුණුහරුපෙන් අවමානයට පත් කිරීම කළ යුතුද? මගේ මේ ලිපිය කුණුහරුප කියන්න එපා කියල කරපු ඉල්ලීමක් නෙවෙයි. අනුන්ගේ දෙමව්පියන්ට කුණුහරුපෙන් දොස් පැමිණවීම කරන්න එපාය කියපු ලිපියක්.

RanDil said...

හැමදාම වගේ කල්පනා කරන්න ඕන ලිපියක්. ස්තුතිය

Anonymous said...

අනේ *කේ අම්මට *කලා නිදාගනින් *ත්තා joke :D

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.