Saturday, August 14, 2010

මේ ලිපිය ලියන්නට මගේ දෑතට වාරු ලැබෙන්නේ කෙලෙසදැයි මම නොදනිමි. නමුත් ලිවිය යුතු නිසාවෙන් ලියන්නට මම උත්සාහ ගන්නේ හිතේ දැඩි ලෙස තද කර ගත් කණගාටුවක් හා දුකක්ද ඇතිවයි. යමක් තේරුම් ගැනීමටත් කෙනෙකුගේ දුකක් වේදනාවක් තේරුම් ගැනීමටත් එවන් යමක් සිදු වෙන තාක් හැකියාවක් නැත්තේ ඇයි දැයි මට තවමත් සිතා ගත නොහැකිය. මිනිසෙකුට යම් අනතුරක් සිදු වනවා වැනිම, සතෙකුට සිදු වන අනතුර කෙසේ නම් අමතක කරන්නද? තිරිසනෙකු වී උපත ලබා දුක් කන්දරාවක් මැද මරණයට පත් වන්නට පෙර, කතා කර, හඬ ගා කියන්නට කොයි තරම් නම් වේදනාවක් සතෙකුගේ සිතේ ඇතිද? බෙහෙතක් හේතක් ලබන්නට වාසනාවක් නැත. වේදනාවන් කියා පෑමට හැකියාවක් නැත. උන්ගේ හඬ තේරුම් ගන්නට අපට හැකියාවක්ද නැත. මිනිසෙකුට වඩා තිරිසනෙකු අනතුරකදී කෙතරම් නම් අසරණ වෙනවා ඇත්ද? උන්ට කාගේ නම් පිළිසරණක්ද? කතා කරන්නට හැකි නම් අපිට මොන තරම් නම් ආදරෙන් සලකන්නට හැකි වේවිද?

මේ හැම පැනයක්ම මගේ හිතට දැනුනේ මා වර්තමානයේ ලබමින් සිටින අත්දැකීමක මතකය අවදි කරවමින්. මීට මාසයකට ඉහතදී මෙලොව එළිය දුටු පුංචි සුරතල් බළල් පැටවුන් සතර දෙනෙකුගේ ඉරණම ඊයේ (2010.08.13) අළුයමදී තීරණය වූයේ තවත් එක් වෛරක්කාර තිරිසනෙකුගේ සිත් පිත් නැති උල් වූ දත් ඇඳි දෙපලට උන්ගේ ගෙලවල් හසුවීමෙන් අනතුරුවයි. අපේ නිවසේ උපත ලදුවද මාරයාගේ ආමන්ත්‍රණයෙන් උන්ගේ මව උන්ව රැගෙන ගියේ අපට අසල්වාසී නිවසේ තිබූ අගු පිළටය. ඒ එය මරු තුරුලක් බව දැන නොගෙනය. මින් දෙදෙනෙකුගේ ඉරණම එතැනම තීරණය වූයේ සී සී කඩ විසිරී ගිය අත් පා හිස් සහිතවය. ඉන් දෙදෙනෙකුගේ ඉරණම තවමත් ජීවිතයද, මරණයද යන වග තීරණය කළ නොහැකිව ඒ සුරතල් බළල් ජීවිත යුගලය පෙට්ටියක් තුල වැතිර සිටිනුයේ කවදා හෝ නැවත දිව පැන ඇවිදීමට අවස්ථාවක් ලැබේ යැයි අදිටනින් විය හැක.

ඒ පුංචි මොළකැටි අත් පා මේ වෙද්දී නිසොල්මන්ව ඇත. වතුර බිඳු බිඳු පෙවූවත් උගුරින් පහලට යවා ගන්නට නොහැකිව සිහින් හඬකින් කෑ ගැසීමට මුව විවර කරයි. ඒත් හඬක් පිට වන්නේ නැත. වතුර බිඳු ගිල ගන්නට හදද්දී ගුලි කර ගත් දෑත් වලින් ගෙල මතින් එහෙ මෙහෙ යවන්නේ එය ගිල ගැනීමට තිබෙන අපහසුව පෙන්වන්නාක් මෙන්ම වේදනාවෙනි. ඒ පුංචි දරුවන් කෙසේ නම් එවන් වේදනාවක් විඳිමින් සිටිනවාද කියා සිතා ගන්නටවත් නොහැකිය. කෙලෙස නම් ඒ වේදනාවන් දරා ගන්නද ඒ පුංචි හදවත්? ඒ තිරිසනුන් වුවද අපේ හිත් පවා දිය වී යන තරමේ වේදනාවක් අපේ හිත් තුලත් ඇති වන්නේ ස්වභාවයෙනි. ඒ අසරණ මුහුණු යුගලය දකිද්දී දෙනෙත් වලින් කඳුළු බිඳු කම්මුල් මතින් රූරා වැටෙන්නේ නිරායාසයෙනි. නමුත් අපට ඒ දෙස බලා සිටීමට සිදුව ඇත්තේ තිරිසනෙකුට පවා දුකක් දීමට හිතේ කිසිදු කැමැත්තක් නොමැති නිසාවෙනි. සිව් වරක්ම වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියත් ඔහුත් හැඛි පමණින් උත්සාහ ගන්නේ එන්නතකින් හෝ ඔවුනගේ දිවි රැක ගන්නටය. නමුත් ඔහුද පවසන්නේ සුවයක් ලැබෙනා තෙක් බලා සිටිය යුතු බවය.

පෙර කර්මයකට තිරිසනුන්ව උපත ලදුවත් ඉන්ද ගැලවීමක් නොමැතිව අවාසනාවන්ත සිදුවීම් තිරිසනුන් හට සිදු වන්නේ මේ විදියටයි. අනිත් බළලුන් දෙදෙනා සමගම ඔවුනගේ ජීවිතද තුරන් වූවා නම් අද මෙලෙස වේදනාවෙන් ඇලලී යන්නේ නැත. මේ ලිපිය ලියනා මොහොතේත් මගේ දෙනෙත කඳුලින් තෙත්ව බරවී ඇත්තේ උන් විඳිනා දුක මටද දෑසින් දැකීමට සිදුවූ නිසාය. මන්ද යත් ඒ කිසිම දෙයක් නොදන්නා, උන්ගේ ලෝකයවත් හරි හැටි නොදුටු තිරිසන් වුවත් පුංචි පැටවුන් දෙදෙනෙකු නිසාවෙනි. කෙනෙකු මේ ලිපිය දැක විහිළු කරන්නට, සමච්චලයට ලක් කරන්නට අනිවාර්යෙන්ම පුළුවන. නමුත් සිතන්නට දෙයක් ඇත. එනම්, මිනිසත් බවක් ලබා උපත ලැබුවේ තිරිසන් සතුටක් නොලබන්නට බවය.

ඒ දරුවන්ගේ අසරණ මව දැඩි මව් සෙනෙහසින් උන් වැතිර සිටිනා පෙට්ටිය අසලම රැඳී වරින් වර ඒ පුංචි පැටවුන් දෙදෙනා ලෙව කා පිරිසිදු කරයි. නමුත් එයිනුත් ඒ පැටවුන් වේදනා ලබනවා විය හැකිය. ඒ පෙට්ටිය අසලම බළල් මව නින්දටද යන්නේ දරුවන් තනි කළ නොහැකි නිසාවෙන් විය හැකිය. අපිද හැකි උපරිමයෙන්ම වෛද්‍යවරයා හට පෙන්වන්නේ සුභාරංචියක් බලාපොරොත්තුවෙනි. නමුත් අපේ හිතේ යම් තාක් සුභදායී හැඟීමක් ඇත්තේ මේ තාක් උන් ජීවත්ව සිටිනා නිසාවෙනි. වරින් වර දරු සෙනෙහසින් බළල් මව කෑ මොර දෙමින් දරුවන් සොයමින් එහෙ මෙහෙ දුවයි. මෙවිටද අපේ දෙනෙත් තෙත් වෙන්නේ ඉබේටමය.

මේ පුංචි පැටවුන්ව මම පහළ පෙනෙන රූපයට අර ගත්තේ මීට සතියකට උඩදීයි. නමුත් ඉන් පහළින් මම එක් කරන රූපයේ ඉන් ජීවත්ව සිටිනා නමුත් ජීවිතයත්, මරණයත් අතර සටනක ඉන්නා පැටවුන් දෙදෙනා දිස් වේවි.


මීට සතියකට උඩදී ගත් රූපයක හුරතල් පැටවුන් සතර දෙනා දිස් වූ ආකාරය

ජීවිතයත් මරණයත් අතර සටන් වදිනා දුඹුරු පැහැති පිරිමි බළල් පැටවා සහ සුදු කළු පැහැති ගැහැණු බළල් පැටවා පෙට්ටියක නිසොල්මන්ව දැනටත් සිටිනා අයුරු

9 පාඨක අදහස් | Comments:

ඉලංදාරියා said...

අනේ ඉක්මනින් සුවවෙයි නේද..?

Chanaka Aruna Munasinghe said...

පූස් බබාලාට ඉක්මන් සුවය ලැබේවා

TeeRox said...

ඒ ගැන නම් හිතා ගන්නටත් බෑ. එහෙම වේවා කියලයි පතන්නේ.

Chanaka Aruna Munasinghe said...

පූස් බබාලාට ඉක්මන් සුවය ලැබේවා

Shadow/හේමලයා said...

so sad to see 'em like this...but you know...whether we like it or not....nature is always about the survival of the fittest.....:(

TeeRox said...

ජීවිතයේදී කොයි තරම් දුක්ඛිත තත්ත්ව වලට සතුන් පත්වෙනවාද කියන එකට මේක හොඳ උදාහරණයක්. තමන්ගේම දරුවෙකුට මේ වගේ දුකක් දැනුනොත් කොහොම වේවිද? සතෙකුගේ දුකේදී අපිට මෙහෙම දැනෙනවා නම් ඒ මොහොතට කොහොම දැනේවිද?

Shadow/හේමලයා said...

ඒවුනාට සත්තු අපිට වඩා හැඟීම විරහිත වගේම් ප්‍රායොගිකයි....බොහොමයක් වනසත්තු තමන්ගේ පැටව් අතරින් ජීවත්වීමට වැඩිම සම්භාවිතාවක් ඇති පැටවාට පමණයි සලකන්නේ....විශේෂයෙන් බිළාල කුලයේ සත්තු....උන්ගේ සහ පරිණාමය පැත්තෙන් ඒක සාධරණයි....තිරිසනුන්ගෙන් ඊට වඩා වැඩි යමක් බලපොරොත්තුවෙන්නේ කොහොමද මිනිසුන් අතර ඊටත් වඩා තිරිසන් ගති ඇති උන් ඉන්නවා නෙව.....

Indraj said...

කණගාටු දායක සිදුවීමක්, තව තවත් දුක් නොවිඳ අවසානයක ට ලඟා වුනා නම් හොඳයි කියල පතනව ආබාධ සහිතව ජීවත් වනවාට වඩා. ස්වාභාව ධර්මය සත්ව ගහණය පාලනය කරන්නෙ ඔහොමයි සිදුවීම කෙතරම් කෘර උනත්.

Thidas said...

aneee. pataw denna ikmanin saneepa wewa!!!!

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.