Tuesday, August 10, 2010

මේ ලිපිය මෙතරම් කාලයක් පමා වීමට විශේෂ හේතුවක් නම් තිබුණේ නෑ. නමුත් කිව යුතුයැයි සලකන මගේ පුද්ගලික අදහසකුයි මම මේ ලිපිය හරහා කියන්නට යන්නේ. මේ ලිපියට ඔයාලගේ ප්‍රතිචාරයත් බොහෝමත්ම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ලිපිය ලියන්නේ හද පිරි සතුටකින් වගේම පුදුමාකාර ආශාවකින් නිසා. ඒ, මේ ලියන්න යන්නේ මගේ ජීවිතයේ මා වැඩියෙන්ම ගරු කරන පුද්ගලයෙක් පිළිබඳ නිසා.

මේ පුද්ගලයාව අපි, ඔයාලා හැමෝම හොඳින් අඳුරනවා. නමුත් ඒ පුද්ගලයා මෙලොව ඉපදිලා තියෙන්නේ දිව්‍යමය හැකියාවකුත් අතැතිව. ඒ සංගීතය. එනිසයි දිව්‍ය ලෝකයේ වීණා වාදනයට වගේම සංගීතයේ මනා කුසලතාවක් හිමි පංචසිඛ දේවේන්ද්‍රයන්ට මම ඔහුව සම කරන්නේ. මන්ද යත් ඔහුගේ නිර්මාණ වල ගැබ්ව ඇති, සිතට කාවදින සංගීතමය විවිධත්වය නිසාවෙන්.

ඔහු වෙනකෙකු නොව, ශ්‍රී ලංකාවේ නෑදෑ රාජ්‍යය වන ඉන්දියාවේ නැතහොත් හින්දුස්ථානයේ උපත ලද අල්ලාහ් රක්ඛා රෙහ්මාන් හෙවත් කවුරුත් අසා ඇති සුපුරුදු නමින් හඳුන්වනවා නම්, ඒ. ආර්. රෙහ්මාන් නැමැති ගාන්ධර්වයාණන්. මේ තමයි මගේ ජීවිතයේ මා වඩාත්ම ප්‍රිය කරන, ගරු කරන පුද්ගලයන්ගෙන් විශේෂතම ස්ථානයක් හිමි එකම පුද්ගලයා. මේ ලෝකයේ ඉන්දියානු හින්දි චිත්‍රපට වලට ප්‍රිය කරන, ඇළුම් කරන යමෙක් වේ නම්, ඒ හැමෝගේම කැමැත්ත වනුයේ සියයට වැඩි ප්‍රමාණයක්ම සියැසින් ෂාරුක් ඛාන් නැමැති සුපිරි, අති දක්ෂ කලාකරුවා දැකීමට හෝ මුණ ගැසීමට නම්, මගේ කැමැත්ත වනුයේ මේ ගාන්ධර්වයාණන් දැක ගැනීම මිසක අන් කිසිවක් නොවේ.

මොහුගේ නිර්මාණයක් මට මුලින්ම අසන්නට ලැබුනේ 1992 වසරේදී තිරගත වුනු රෝජා චිත්‍රපටයෙන්. නමුත් මා ඒ කාලයේ ගත කළ වයසේ හැටියට මෙහි නිර්මාපකයා කවුරුන්දෝහෝයි කියා දැනුමක් තිබුණේ නෑ. ඒ ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වූවා වගේම 1992 වසරේදී තම මුල්ම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ජාතික සම්මානයත් හිමි කර ගැනීමට හැකි වූ ලොව එකම පුද්ගලයාද වූයේ ඔහු සතු මනා කුසලතාවන් නිසා නොවේද? ඉන් පසුව ඔහුගේ මනෝරම්‍ය සංගීතයෙන් ලාලිත්‍යයට බඳුන් වුනු බොහෝමයක් චිත්‍රපට ප්‍රේක්ෂක ආකර්ෂණයටත්, සම්මානනයටත් පත් වුනා.

නමුත් කල් යත්ම ඉන්දියානු සිනමාවේ ඇසෙන ගීත නාදයන් සහ සංගීත විලාෂයන් කන වැකීමෙන්ම ඒ නිර්මාණය රෙහ්මාන් ගේ නිර්මාණයක් බව වටහා ගැනීමට දැඩි අපහසුවක් වූයේ නෑ. මන්දයත් ඔහුගේ නිර්මාණ වල තිබූ නැවුම් බවත්, රාගධාරී සංගීත ආභාශයත්, අසම සම නිර්මාණ හැකියාවත් නිසා සහ යොදා ගන්නා සංගීත සංධ්වනි වල විවිධත්වයත් නිසාවෙන්.

රූපවාහිණියේ හෝ වේවා, ගුවන් විදුලියේ හෝ වේවා රෙහ්මාන් ගේ නිර්මාණයක් රස විඳිද්දී දැනෙන හැඟීම ගැන වචනයෙන් පැහැදිලි කර කිව හැක්කක් නොවේ. මන්ද යත් ඇඟ කිළි පොලා යන, දෙනෙතට කඳුළු ගෙනන සංගීතමය ප්‍රාතිහාර්යන් ඔහු විසින් නිරන්තරයෙන්ම සිදු කෙරෙන නිසා. මම මෙතනදී දෙනෙතට කඳුළු ගෙනෙනවා ලෙසින් අදහස් කලා නම් ඒ බව සංගීතයට ලැදි, රාගධාරී සංගීතය උගත්, ප්‍රිය කරන්නෙක් වේ නම් ඔහු හෝ ඇය එය හොඳින්ම තේරුම් ගනු ඇත.

ඔයාලා නොදන්න කරුණකුත් තියෙනවා. ඒ ලෝක ප්‍රකට "ලෝඩ් ඔෆ් ද රිංග්ස්" චිත්‍රපටයේ වගේම වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණයටත් මේ ගාන්ධර්වයාණන් සම්බන්ධ ඇති බව. ඉතින් කවර නම් කතාවක් ද? ඔහු අතින් මෙරට ගීතයක් නිර්මාණය වුවහොත් මුළු ලෝකයේම අවධානය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම හැකි වේවි. ඔහුගේ ගීත වලට බෙහෙවින් දායක වුණු ගායක ගායිකාවන් බොහෝමයක් දෙනාගේ හඬ රැල් ඔහුගේ සංගීතය නිසාම බොහෝ දෙනාගේ හිත් වල ලැගුම් ගෙන සිටින බව නම් නොරහසක්.

විශේෂයෙන්ම "තුහිරේ" ගීතය ගයනා හරිහරන් ගායකයාණන් සහ කවිතා ක්‍රිශ්ණමූර්ති ගායිකාව, ඒ විතරක් නෙවෙයි සෝනු නිගාම්, අල්කා යාග්නික්, ලතා මංගේශ්කාර් වැනි දැවැන්ත හඬවලට නියමිත සාධාරණයක් කිරීමට දායක වූ සංගීතවේදියෙකු ලෙසයි මම ඔහුව දකින්නේ. ලෝකයේ විවිධ සංගීතඥයන් සමගත්, අති දක්ෂ වාදන ශිල්පීන් සමගත් එකතුවී නිම කෙරුනු ගී බොහෝමයි. ලෝක ප්‍රකට වයලීන වාදන රැජිණ වන "වෙනේසා මේ" සමගින් එකතුවී නිම වූ "රාගාස් ඩාන්ස්" ගීය ඉන්දියානු සංගීතය බහිර ලොවට වයලීනයෙන් මුසු කල අවස්ථාවක්. ඒ වගේම "බොම්බේ ඩ්‍රීම්ස්" ගී එකතුව ඉන්දියානු ආභාශිත ඉංග්‍රීසි ගී එකතුවක්.

පසුගිය වසරේදී මේ ගාන්ධර්වයාණන් විසින් ලොව ප්‍රථම මට්ටමේ චිත්‍රපට සම්මාන උළෙල ලෙසින් නම් ලද ඔස්කාර් සම්මාන උලෙලේදී සංගීත අධ්‍යක්ෂණයන් වෙනුවෙන් ද්විත්ව සම්මානයකින් පිදුම් ලැබුවේ මුළු ආසියාවේම කීර්ති රාවය තවත් වැඩි කරවමින්.

මුළු ලොවේම අවධානයට ලක් වුනු මේ ගාන්ධර්වයාණන්, නැතහොත් මේ මිනිස් වෙසින් මෙලොව පහළ වී ඇති පන්සිළු වන් මේ ආශ්චර්යමත් පුද්ගලයා ගැන කතා කරන්නට දේ බොහෝමයි. ඒ හැම දෙයක් ගැනම පසුවට ලිවීමට තීරණය කරලායි තියෙන්නේ. මොකද, කී දේට වඩා නොකී දෑ බොහෝමයක් ඇති නිසා.

රෙහ්මාන්ගේ, ඔයාලට අසන්නට ලැබී නැතැයි මා සිතන දුලබ ගී දෙකක් මම මේ ලිපියත් සමග පල කරන්නට සිතුවා.

වෙනේසා මේ ගේ වයලීන රාවය රැගත් "රාගාස් ඩාන්ස්" ගීතය පහලින් භාගත කරගෙන රස විඳින්න.
Raga's Dance <- click to download

"බොම්බේ ඩ්‍රීම්ස්" ගීත එකතුවේ එන මනරම් ඉංග්‍රීසි ගීතයක් පහලින් භාගත කරගෙන රස විඳින්න.
Journey Home <- click to download

3 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

thnx macho.....

Teshan said...

මගේ ලිපියකට හේමලයාගෙන් ස්තූති පූර්වක අදහසක් පල වුන පලමු අවස්ථාවද කොහෙද මේ.

Shadow/හේමලයා said...

ලිපි කියවන නිසානෙ මම මගේ මතය කියන්නේ....මම චුට්ටක් විතර මධ්‍යස්ථ මතයක් දරන්නේ....but i always read ur posts....:)

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.