Saturday, August 14, 2010

කොහොමද කෙනෙක්ට මරණ තර්ජනයක් ආවොත් එහෙම. ඔයාට හරි මට හරි වෙන්නත් පුළුවන්. සමහර විට ඉපදෙන්න ඉන්න දරුවෙක්ට වෙන්නත් පුළුවන්. ඒත් ඕනෑම වෙලාවක මරණය දිහා මධ්‍යස්ථව දකින, උපේක්ෂාවෙන් දකින කෙනෙකුට මරණය කියන්නේ ජීවිතයේ තවත් එක පැතිකඩක් සහ අත්දැකීමක් පමණයි.

ඇත්තෙන්ම මම මගේ මේ බ්ලොග් අඩවිය හරහා ලියන බොහෝමයක් ලිපි සමහරුනට පහර ගැසීමකුත් සිදු කරනවා වගේම විවේචනයටත් ලක් කරනවා. මට දැක ගන්නට ලැබුණා පහුගිය දවසක අපේ බ්ලොග් කරුවෙක්ට ලැබිලා තියෙන මරණ තර්ජන ගැන. ඒ වගේම ඔහුට නීතියෙන් පිහිටක් ලබන්න විදියකුත් නැති වෙලා තිබුණු අන්දම. මටත් මේ වගේම දේවල් සිද්ධ වෙන්න බැරි කමක් නෑ. ඒ වගේම ඔයාලටත් ඒ දේ වෙන්න බැරි නෑ. නමුත් ඒ වගේ දෙයක් වෙනවට නම් මම තියා කවුරුත්ම කැමති වෙන්නේ නෑ.

මම මගේ ලිපි හරහා මම ආශ්‍රය කරන උදවියගේ නම් ගම් රහිතව ඔවුන්ගේ ජීවන චර්යාව ගැරහුමට වගේම විවේචනයට ලක් කරන බව ඒ අය තවමත් දන්නේ නැති තරම්. හැබැයි මම ගරහන්නේ කෙනෙක්ගේ වැරදි ගති පැවතුම් සහ සදාචාරයට පටහැනි යැයි මම සිතන දේවල් මිසක හොඳ ගති ගුණ නම් නෙවෙයි. නමුත් සමහරු මා ගැන වෛරී සිතුවිලි ඇති කරනුවස් අදාළ චරිත වලට නැතහොත් කතා නායකයින්ට කේලම් කීමට බොහෝ විට හැකියාවක් තියෙනවා. මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. හොඳ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හරස් කපන සහ වළ කපන අය ඇති තරම් අපේ සමාජයෙන් හොයා ගන්නට හැකියාව තියෙනවා.

මගේ ලිපි අතරින් සමහර ලිපි මා ආශ්‍රය කරන උදවියගේ නරක ගති පැවතුම් අලලා රචිත නිසාවෙන්ම ඔවුනගේ මැර බලයන් පවා මා වෙත යෙදවීමටත් අනාගතයේදී බැරි කමක් නෑ. ඉතින් ඒ දේවල් වලට තවම මට මුහුණ දීමට සිදු වෙලා නැත්තේ කුමක් හෝ වාසනාවකට කියලා මම හිතනවා. එහෙම දෙයක් වේවි කියා බලාපොරොත්තු වෙන්නේත් නෑ.

මේ ලිපිය අනාගතයේදී සිදු විය හැක්කක් ගැන මට දැණුනු දෙයක් මිසක දැනටමත් සිදු වී ඇති දෙයක් නොවේ. ඒ නිසා කවදා හෝ මගේ ජීවිතයට තර්ජනයක් ඇති වුණොත් ඒකට හේතු මූලය කොහෙන්ද පැමිණියේ කියා සිතන්නට මම ඔයාලට භාර කරනවා.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.