ලාංකිකයෙකු වශයෙන් අමතක කළ නොහැකි දිනයක් ගැනයි මම මේ කියන්නට හදන්නේ. මේක මගේ ජීවිතේත් ලබපු නරකම අත්දැකීමක්. නමුත් කිව යුතුම දෙයක් නිසාවෙන් කියන්නට සිතුනා. මේ වගේ අත්දැකීම් නම් ආයෙත් අපිට අත් විඳින්නට ලැබෙනු නැතැයි සුභදායක සිතුවිල්ලක පසු වන්නට පුළුවන් වේ යැයි මම විශ්වාස කරනවා. මොකද අඳුරු අතීතයක හෙවනැල්ලවත් නැවතත් මේ රටට නොවැටෙනු ඇතැයි සිතන්නට අපි හැමෝම කැමති නිසා.
ඒ දෙදහස් අට වසරේ නොවැම්බර් මාසයේ විසි අට (2008-11-28) වෙනිදා. දවස මතක නම් එදා සිදු වුන සිද්ධියත් මතක් වෙනවා ඇති. එදා සුපුරුදු විදියට මමයි මගේ රැකියා ස්ථානයේ සහෝදර මිතුරියෙකුයි උදේ නුගේගොඩ මංසන්ධියේ ඉඳන් කොහුවල තිබුණු රැකියා ස්ථානයට පයින් යමින් සිටියා. ඒ යන අතරතුරේදී අපි කතා කර ගත්තා හවස ආපහු එද්දී නිකමට වගේ නුගේගොඩ ප්‍රසිද්ධ රෙදි පිළි සලක් වන "නෝලිමිට්" රෙදි පිළි සලට ගොඩ වෙමු කියලා.
ඉතින් තවත් කාර්ය බහුල දවසක් ඉවර වුනා සුපුරුදු විදියටම. හැබැයි පහට විතර අපි වැඩපලෙන් පිටත් වෙන්න හිතා ගෙන හිටියට, යෙදුන තවත් වැඩක් නිසා ඒ පිටත් වෙන වෙලාව මග හැරුනා. කොටින්ම කියනවා නම් හවස හය වෙද්දිත් ඒ වැඩේ ඉවර කර ගන්න පුළුවන් වුනේ නෑ අපි වැඩ කරපු අංශයේ හැමෝම ඒකට උදව් වුනත්. කියන්න ඕනේ මේක බාහිර වැඩක්. අපි වැඩ කරගෙන යන අතරතුරේදී හවස පහයි පනහට විතර (මගේ මතකය නිවෑරදි නම්) ටිකක් ඈතකින් ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරෙන හඬක් වගේ දෙයක් ඇහුනා. ඒත් අපි කවුරුත් ගණන් ගත්තේ නෑ.
ඒ වෙලාවේ එතනට ඇවිත් හිටි අයියා කෙනෙක්ගේ ජංගම දුරකථනයට ආපු ඇමතුමකින් තමයි හැම දේම දැන ගත්තේ. නුගේගොඩ "නෝලිමිට්" රෙදි පිලි සල ලඟ බෝම්බ පිපිරුමක් වෙලාය කියලා. අපි වැඩ කල අංශය තිබුණේ ඉහලම මාලයේ නිසා අපි හැමෝම බැල්කනියට ආව මොනාද වෙන්නේ බලන්නට. කාතාව ඇත්තක් බව තේරුනේ නුගේගොඩ පැත්තෙන් ඉහලට නැගෙන කළු දුමාරය දුටුවමයි. ඊට පස්සේ අපේ ආයතනය පිහිටලා තිබුණු පාරින් ලොරි වලින්, ත්‍රී රෝද රථ වලින් තුවාල වුනු වගේම මිය ගිය අයව කළුබෝවිල රෝහල දිහාවට ගෙනියනවා උඩ ඉන්න ගමන්ම දැක්කා.
ඇත්තෙන්ම ඒ අත්දැකීම නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඊට හේතු කීපයක් තියෙනවා. එකක් නම් එදා අපේ ජීවත අනූ නවයෙන් බේරුණ නිසා. අනිත් දේ තමා ඒ අනතුරින් අර මම උදෑසන වැඩට පැමිණි මිතුරියගේ බෝඩිම් නවාතැනේ සිටි ඇගේ අනිත් මිතුරිය නොසිතූ විදියට මිය යාම. ඉතින් කොහොම අමතක කරන්නද ඒ අනතුර?
යුද්ධය නම් දැන් නිමා වෙලා. ඒත් කොයි මොහොතේ ආයෙත් නපුරක් හිස ඔසවයිද කියලා හිතන්නට බෑ. ඒත් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ආයෙත් කිසිම විදියකින් බයෙන් සැකෙන් ජීවත් වෙන්න සිද්ධ නොවෙන වාතාවරණයක් මේ රටේ මින් ඉදිරියට පැවතේවා යන්නයි. ඔයාලගේ අත්දැකීමුත් මේ ලිපියට අදහස් වශයෙන් එකතු කරන්න විවෘතයි.
3 පාඨක අදහස් | Comments:
jiwitheye inna anthima dawasa eda kiyala denila wage aya eda ude lassana wela giya mata mathakai... man kegehuwa ai ane gedara awith karanna oowa one taram wela tiyenne kiyala.ath aya kiwwa be be mata mewa karagenama yanna one adanam kiyala....
:(
office එකේ වැඩ ඉවර වෙලා පිටත් වෙන්න හදද්දි යාළුවෙක් බරටම වැඩක හිර වෙලා ඉන්නව දැකපු නිසා එයාට උදව් වෙන්න නැවතුනා... ඒක ඉවර වෙලා 5.40ට විතර පිටත් උනා... නුගේගොඩින් බඩුගන්න තියන කොට වෙනදටත් කරනවා වාගේ කොහුවල ඉඳන් නුගේගොඩට පයින්ම යන්න පිටත් උනා... එදා traffic lights වැඩ කළේ නෑ, පාරේ හොඳටම වාහන තද බදය... nolimit එක ඉස්සරහ බෝධිය ලඟ කොහේදෝ විශ්ව විද්‍යාලයක ළමයි රොත්තක් කොළ බෙද බෙද හිටියා... එයාලව පහු කරලා, බෝධියත් පහු කරලා පදිකයින්ට පාර මාරු වෙන්න තිබ්බ ඒ වෙලාවේ ටක් ගාලා සමරකෝන් studio එක පැත්තට පාර පැනගත්තා... පාර පැන්නා විතරයි මහ සද්දයක් ආවා... ට්‍රන්ස්ෆෝමර් එකක සද්දෙ තමයි මටත් එතනට ඇහුණේ, බෝම්බයක් කියලා හිතුණේ නෑ... ඒත් බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඇහුණු මහ සද්දෙ නිසා එතනම නැවතිලා කන් දෙක වහගත්තා, මටත් නොදැනීම... මිනිස්සු කෑ ගගහා එහේ මෙහේ දුවන්න ගත්තා... එතකොටයි මගේ කකුල් දෙකට ආයෙත් ඇවිදින්න මතක් උනේ... අඩිය උස්සපු ගමන් උඩින් විසි වෙලා ආපු බෝඩ් කෑල්ලක් මගේ ඔළුවේ වැදිලා බිමට වැටුනා... ඔළුව අල්ලගෙන මාව ආයෙත් එහෙමම නැවතුනා... මම බැලුවා මොකද්ද ඒ වැදුනේ කියලා... අර shops ඉස්සරහා ඇතුලට lights දාලා පෙට්ටි වගේ හදලා තියන නාම පුවරුවක කැඩුණ කෑල්ලක්... මගේ වෙලාවට කැඩුණ දාරයක් නෙවෙයි, පැතලි හරිය තමයි ඔළුවේ වැදුනේ... ඔළුව අල්ලගෙන එහෙමම හිටපු මාම වැටෙයි කියලා මනුස්සයෙක් මාව අල්ලගන්න හැදුවා... මම හොඳින් කියලා ආපහු ඉස්සරහටම යන්න ගත්තා... ඒ වෙනකොට තේරිලා තිබුණේ ඒ ට්රාන්ස්ෆෝර්මරයක සද්දයක් නෙවෙයි කියලා... මම නිකමටවත් මම පහු කරගෙන ආපු පැත්ත බැලුවේ නෑ, මොකද මම දන්නවා මට ඒ දකින්න ලැබෙන දේ මට දරාගන්න බෑ කියලා... හීනෙන් වගේ ඔළුවත් අල්ලගෙන ඉස්සරහට ආවා... ඔළුවට තුවාලයක්නම් වුනේ නෑ, ඒත් හොඳටම රිදිල්ල තිබුණා... ටිකක් ඉස්සරහට යන කොට විනාඩි 40කට එකක් විතර තියෙන අපේ ගෙවල් පැත්තට යන බස් එක නවත්තලා තිබුණා traffic එකේ... මම හීනෙන්ම ඇවිත් ඒකට ගොඩ වෙලා ඉඳගත්තා... බස් එකේ මිනිස්සු නැගිට නැගිට බස් එකෙන් එළියට එබි එබි බලනවා... අර ගිනිගන්නවා, අර අර... මම ඇස් පියාගත්තා... අම්මට call එකක් ගත්තා... අම්මට විස්තරේ කියද්දි මට ඇඬෙනවා... මම ගෙදර යනකල් ඉන්නෙ නැතුව අම්මලා මගට ආවා මාව එක්ක යන්න... අම්මා පෙන්නුවම තමයි දැක්කේ අර ඔලුවේ වැදුණ බෝඩ් එක බිම වැටිලා තියෙන්නේ මගේ අතත් හූරගෙන... එහෙමම දොස්තර ලඟට ගිහිල්ලා injection ගහගත්තා... දවස් ගාණක් යනකල් ඒ කම්පනය මගේ හිතෙන් ගියෙ නෑ... තාමත් මට රතිඤ්ඤා සද්දයක් ඇහෙද්දිත් ලොකු කම්පනයක් දැනෙනවා... මම office එකෙන් පිටත් වෙන්න තව මොහොතක් පහු උනානම්, පාර පනින තැන පදිකයන්ට මාරු වෙන වෙලාව සලකුණු වෙලා නොතිබුණානම්, අර ඔළුවේ වැදුණ බෝඩ් එකේ පැතලි පැත්ත නැතුව දාරයක් හරි උලක් හරි වැදුණනම්, මට එදා නුගේගොඩින් බඩු ගන්න ඕනකමක් නැතිව මම කොහුවල ඉඳන්ම බස් එකක නැගලා ඇවිත්, ඒක ඒ වෙලාවේ එතන නැවතිලා තිබුණානම් මේ විස්තර කියන්න අද මම මෙතන මේ විදියට නෑ... මම උදේ රෑ සිහිපත් කරන තුනුරුවන්ගේ පිහිටෙනුත්, මට ආදරේ කරන මම ආදරේ කරන අයගේ ආශිර්වාදෙනුත් මට තවත් කල් යහතින් ජීවත් වෙන්න ඉඩ ලැබුණා... ඒත් ඒ අත්දැකීමෙන් ජීවිතේ ගැන ගැඹුරු අවබෝධයක් ලැබුණා...
බොහෝමත්ම ස්තූතියි ඔයාගේ අත්දැකීම කීවට. ඇත්තෙන්ම මේ දවසේ තමයි බය කියන දේ හොඳටම දැනුනේ. මේ වෙලාවෙදි මගේ සහෝදරයත් නුගේගොඩ බසයක නැගලායි ඉඳලා තියෙන්නේ බෝම්බය පිපිරෙන මොහොතේදී. ඒත් ඒ සව්සිරි ගොඩනැගිල්ල හරියේ. මේ වගේ අවාසනාවන්ත අඳුරු සිද්ධීන් ආයෙමත් උදා වෙන්න එපාය කියලායි ආයෙ ආයෙත් මට නම් ප්‍රාර්තනා කරන්නට තියෙන්නේ. අපේ වාසනාවකට අපි අද ජීවත් වෙන එක ගැන සතුටු වෙන්නට ඕනේ.
Post a Comment