Sunday, August 15, 2010

අපි උපතින් හරිම පිරිසිදුයි. නමුත් අපි උපන් කාලය ගැන සිතද්දී අමතක වෙන එකම දේ නම් අපි ලේ වල පාට රතු බව. සමහරුන්ට මේ බව පැහැදිලි වෙන්නේ තුවාලයක් සිද්ධ වුනොත් විතරමයි. නමුත් අපි මේ ගැනත් හිත යොදන්නට ඕනේ. තමන්ගේ සිරුරේ පැය විසි හතර පුරා දුවනා රුධිරයේ පාටවත් මතක නැති උදවිය වර්ණ භේද ගැන කතා කිරීම කොයි තරම් නම් සාධාරණද කියන එක.

අපි මව් කුසකින් උපත ලබද්දි අපි ඇදහිය යුත්තේ කිනම් ආගමක්ද යන්න තීරණය වන්නේ නෑ. එය තීරණය වන්නේ අපි ජීවත් වන පරිසරය අනුවත් අපේ දෙමව්පියන්ගේ කැමැත්ත හා පසුබිම අනුවයි. නමුත් ඒ තෝරා ගැනීම කුමක් වුවත් අපේ ජීවිත හොඳ හෝ නරක දෙක පිළිබඳව ජීවිත ඉගැන්වීමකට නිසඟයෙන්ම යොමු කරනවා. ආගමක් කෙනෙකුට සාරධර්ම වර්ධනය සඳහා විතරක්ම නෙවෙයි වැදගත් වෙන්නේ. ආගමක වැදගත්කම තිබිය යුත්තේ යම්කිසි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය තුලින් තමන්ගේ මානසික හා කායික සුවය පවත්වා ගෙන යාම සඳහා කීවොත් වඩා නිවැරදියි.

ආගම ධර්මයකට වර්ණයක් බල පාන්නේ නෑ. නමුත් බෞද්ධ වුවත්, මුස්ලිම් වුවත්, කතෝලික වුවත් සිරුරේ දුවන්නේ එකම වර්ණයක රුධිරයක්. ආගමක් තීරණය වන්නේ ඒ රුධිරයේ තිබෙනා රතු රුධිරාණු ප්‍රතිශතය අනුව හෝ සුදු රුධිරාණු වල ප්‍රතිශතය අනුව නොවන බව වටහා ගත යුතුයි.

දේශපාලනය මින් අනිත් කරුණයි. මෙලොව එළිය දකින බොහෝ දෙනා ලේ කන්දරාවක් ඇඟ ගල්වාගෙන එන්නාක් වගේම දේශපාලනය නිසාවෙන් ලේ විල් මේ මහ පොළොව මත වගුරා නැතුවා නොවේ. පක්ෂ වලට බෙදී කරනා සටනක් අවසානයේ පක්ෂ පාට වලින් ස්වායක්ත එකම රතු පාටකින් අවසන් වෙනවා.

අපි උපතින් කිසිදු පක්ෂයක පුද්ගලයින් නොවේ. නමුත් ජීවත් වෙන පරිසරය අපි අදාළ විය යුත්තේ කිනම් දේශපාලන පක්ෂයකටද යන්න තීරණය කරනවා. හැබැයි ඒ ඕනෑම පාටක් දරනා පක්ෂයක සිටිනා මිනිසුන්ගේ සිරුරේ දුවන්නේ රතු පැහැති ලේ බව ඒ කිසි කෙනෙකුන් සිතන්නට පෙළඹෙන්නේ නෑ.

අපේ සමාජයේ එකිනෙකා මරා ගන්නේ, විවේචනයට ලක් කරන්නේ අපේම එකෙකුන් බව අමතක වෙලා ගොහින්. ඔවුනට දෘශ්‍ය වන්නේ ඔවුන් පැලඳ සිටිනා කණ්නාඩියේ වීදුරු වල වර්ණයට ගම්‍ය වන දෑ පමණයි. මේ නිසා අද මේ සමාජය දිනෙන් දින ආගාධයට වැටෙමින් සිටිනවා. එදාට වඩා අද මිනිසුන් තුල වෛරී තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඒ නිසාවෙන්.

අපි පැලඳ සිටිනා පාට ගැන්වූ ඇස් කණ්නාඩි ගලවනා තුරු මේ ලෝකයේ, මිනිසුන් මිනිසුන් අතරේ සුහදතාවක් ගොඩ නගන්නට අපහසු වනු ඇත. මේ කියූ දෙය දකින්න මේ පුංචි රූප රාමු පෙළින්. බොම්බේ චිත්‍රපටය මේ බව මැනවින් කියා පානවා.



2 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

ඔය පාට කන්නාඩි ගැන කොයිතරම් අපි කතා කලත් ඒවා ගලවන්න බෑ....අපි මිනිස්සු වෙනතුරු...මොකද අපි එකිනෙකා හිතන විදිය වෙනස්....කොටින්ම කීවොත් එක මින්හෙක් තවත් කෙනෙකුට සමාන නෑ....හැම කෙනෙක්ම සොබා දහමේ අද්විතීය නිර්මාණයක්...මිනිස්සු තමන් පිළිගත් අදහස වෙනුවෙන් සටන් කරන එක නව්ත්වන්න කාටව බෑ...අද බෞද්ධයෝ වන අපි අනික් ආගම් පතුරවන අය ගැන උපේක්ශාවෙන් බලනවාද?...නෑ...මොකද ඒක ප්‍රායෝගික නෑ...ඔවුන්ගේ අරමුණ හොඳ වුනත් නරක වුනත් ඒක අපිට ගැලපෙන්නේ නැති නිසයි....වෙහෙර විහාර වලට කොට ඇඳුම් ඇඳන් යන්න නොදෙන්නේ ඇයි...ඒ අපිට නොගැල පෙන හන්ඳයි....පාට කන්නාඩි කොතැනත් ඇත...අනිත් කරුන දේශපාලනයි...Politics යන ඉන්ග්‍රීසි වචනයත් දේශපාලනය යන වචනයත් කොයිතරම් ගැලපෙනවාදැයි මම නොදනිමි...politics යනු දේශය පාලනය කිරීමම නොවන බැවිනි....Politics නැති තැනක් නැත...නිවස තුල....රැකියා ස්තානය තුල...හැමතැනම් politics ඇත...:(.

TeeRox said...

දේශපාලනය කියන වචනයට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. නමුත් එහි සාමාන්‍ය අපි කවෘත් දන්නා අදහස ගැනයි මම මේ ලිපිය පල කළේ. අපි මොන ආගමේ වුනත්, මොන ජාතියේ වුනත්, මොන දේශපාලන පක්ෂයක වුනත් අපි හොඳින් ජීවත් වුනොත් වැරදි වලින් වැලකිලා වෙනත් කිසිම කෙනෙකුට අපෙන් සිද්ධ වෙන කරදර හිංසාවන් අඩු වෙනවා නේද? තම තමන්ගේ ගුණයන් වර්ධනය කර ගත්තොත් සමාජයක් වශයෙන් ගුණ ධර්ම වර්ධනය වීම ඉබේම සිදු වෙන්නක් නේ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.