Sunday, August 15, 2010

රහස් වචනයක්, නැතිනම් රහස් සංකේතයක් කියන්නේ කෙනෙක්ට පෞද්ගලිකවම භාවිතා කරන්න තියෙන, වෙනත් කිසිම අයෙකු නොදන්නා, තමන්ටම කියාපු අංකයක් හෝ අකුරු පෙළක්. අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙකුට මෙහෙම දෙයක් තියෙන්නට පුළුවනි. කොටින්ම විද්‍යුත් තැපෑල පරිහරණය කරන්නෙකුගේ ඉඳන් මුහුණු පොතේ කල් යවන උදවිය දක්වාම රහස්‍ය වචන භාවිතා කරනවා ආරක්ෂාව උදෙසා. ආරක්ෂාව විතරක්ම නෙවෙයි මේ වගේ දෙයක පරමාර්ථය. තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමත් මෙහෙම රහස් වචනයක් භාවිතා කරන්නට හේතු මූලයක් වෙනවා.

ආදරේ ගත්තොත් දෙදෙනෙකු අතරේ ඇති වෙන අන්‍යෝන්‍ය බැඳීමක්. ඒක හිත් වල බැඳීමකුයි මුල්ම අවධිය ගත්තොත්. ඒ කියන්නේ ආදරයේ මුල්ම අවධියේදී නම් හිත් වල බැඳීමක්. විවාහය දක්වා යනවා නම් ඊට වඩා තවත් බැඳීම් ඇති වෙනවා.

ආදරය කරද්දී දෙදෙනෙකු අතර ඇති වන විශ්වාසය ප්‍රධාන තැනක් ගන්නවා. ආදරයක් පවතින්නේ විශ්වාසය මත කීවොත් වඩාත් නිවැරදියි. එකිනෙකා ගැන අවිශ්වාස සහගත සිතුවිලි මතු වෙනවා නම් එතන ආදරයකටත් වඩා ඇති වෙන්නේ දුකක් වගේම තරහවක්. මේවා දුර දිග යාමෙන් සිද්ධ වෙන්නේ ආදරය කටු ගා දමන්නටයි.

ඉතින් අන්තර්ජාලයේ සැරිසරද්දී අපි පාවිච්චි කරන විද්‍යුත් තැපෑල හෝ මුහුණු පොත වගේ සමාජ වෙබ් අඩවි වලට ඇතුල් වීමට යොදා ගන්නා රහස් වචනය තමන්ගේ පෞද්ගලිකත්වයට වගේම සියළු රහස් ගැබ් වුණු පරිසරයකට දොරගුළු විවෘත කරනවා.

සාමාන්‍යයෙන් ආදරය කරන අය අතරේ ඇති විශ්වාසනීයත්වය නිසාම එකිනෙකාගේ මෙවැනි රහස් වචන දෙදෙනා අතරේ හුවමාරු කර ගැනීම එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසය තහවුරු කර ගැනීමක්. සමහරු නම් මේ දේට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ අකමැති අය ගැන කිව හැකි දේ බොහෝමයි.

තමගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව තම සහකාරිය හෝ හසකරුවා දැන ගන්නවාට ඇති අකමැත්ත නිසාවෙන් විය හැකියි එක හේතුවක් වශයෙන් රහස් වචනයක් ඔහුට හෝ ඇයට නොදී සිටීම. තවත් දෙයක් තමයි ඇයට හෝ ඔහුට තමන්ව විශ්වාස නම් රහස් වචනයක් දැන ගෙන සෙවීමට සැක සහිත දෙයක් තිබිය නොහැකිය යන මතයේ සිටීම. එහෙමත් නැති නම් විශ්වාසය උඩ තමන්, ඔහුට හෝ ඇයට හොර රහසේ කරනා වැරද්දක් නොතිබීම නිසා එය ඔහුට හෝ ඇයට දීමට වැඩි උනන්දුවක් නොතිබීම.

ඔන්න ඔය වගේ කරුණු කාරනා නිසාවෙන් ආදරය කරන දෙපාර්ශවයන් අතරේ ගැටළු සහගත තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. කෙනෙක් හිතාවි ඔහු හෝ ඇය තමන්ගේ රහස් වචනය නොදැන්වීමට තරම් තමන්ව ඔහුට හෝ ඇයට විශ්වාස නැති වීම හෝ තමාට හොරෙන් ගත කරන රහස්‍ය ජීවිතයක් ඇතියැයි සිතීම. මේ වගේ සිදුවීම් ඇති තරම් සමාජයේ දකින්නට තියෙනවා විතරක් නෙවෙයි රහස් වචනයක් නිසා දෙකඩ වුණු පෙම්වතුන් පවා සිටිනවා.

ඇත්තෙන්ම රහස් වචනයක් පෙම්වතුන් අතරේ හුවමාරු කර ගැනීමෙන් එකිනෙකා අතර තියෙන විශ්වාසය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන සැකයක් සිතීමට ඇති ඉඩ කඩ ඇහිරෙනවා. නමුත් රහස් වචනයක් හුවමාරු කර නොගත් පමණට ආදරයක් අහිමි වන්නට ඉඩ නොදිය යුත්තේත් තමන්ගේ සහකරු හෝ සහකාරියව විශ්වාස කළ යුතු නිසායි.

අන්තර්ජාලය කියන්නේ හොඳ නරක දෙකම ජීවත් වෙන නිවාස සංකීර්ණයක්. ආශ්‍රය කරන්නට ලැබෙන්නේ හොඳ, නරක දෙකින් කුමක්දෝ කියා තේරුම් ගැනීමටත් අපහසු පුද්ගලයන් ජීවත් වෙන නිවාස සංකීර්ණයක් වගෙයි. ඔන්න ඔය හේතුව නිසා අපි නොදැනුවත්වම අපේ පෙම්වතියගෙන් හෝ පෙම්වතාගෙන් දුරස් වන්නටත් ඉඩ කඩ වැඩියි. සමාජ වෙබ් අඩවි මීට හොඳ උදාහරණ තවමත් සපයනවා.

හැබැයි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. අන්තර්ජාලයේ විද්‍යුත් තැපෑල සේවයක් හෝ මුහුණු පොත වැනි සමාජ වෙබ් අඩවි නිසා හෝ ඒවායේ රහස්‍ය වචනයක් හෝ කේතයක් හේතු කර ගෙන තමන්ගේ ආදරය කවදාවත්ම බිලි දෙන්නට හිතන්නවත් එපා. මොකද විශ්වාසය නැති තැන ආදරයකුත් නැති නිසා. ආදරයත් විශ්වසයත් නැති තැන ඔය වෙබ් අඩවි වල වැදගත් කමකුත් නැති නිසා.

2 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

මට නම් ඕක මහ ළාමක අදහසක්...විශ්වාසය නැති කෙනෙකුට ආදරේ කරනවානම් ඉතින් ඔයවගෙ එකක් හොඳයි...පෙම් කරන ගත්තම පෞද්ගලිකතවයක් නෑයි කියලා හිතනවා නම් ඒක මහ මෝඩකමක්...පෙවතුවෙවා..අඹු සැමියන් වේවා...තම් තමන් ස්වාධීන විය යුතුයි....මන්දා...උද:ඔබ ඔබේ මිතුරන්ගේ පුද්ගලික විස්තර පෙම්වතියට කියනවාද?...තමන්ගේ පුද්ගලික මුර පදය පෙමවතාට/පෙමවතියට දීම යනු ඒකම නෙවෙයිද?....එක සම්බන්දයක් වෙනුවෙන් අප සතු අනිකුත් සමාජ සබන්දතා වෙනස් කර ගත් යුතුද?....හරි හෝ වැරදි...මේ මගෙ මතය...ජය...!!!

Teshan said...

අන්තර්ජාලය නිසාවෙන් ආදරයක වටිනාකම තීරනය නොකළ යුත්තක්. නමුත් අන්තර්ජාලය නිසා පෙම්වතුන් අතර ගැටළු ඇති වෙන අයුරු මා දැක තිබෙනවා; මගෙත් අත්දැකීම් තියෙනවා. එක සම්බන්ධයක් නිසා අනිත් සබඳතා නැවතිය යුතු නෑ. නමුත් ආදරය සම්බන්ධයෙන් නම් එක වගේ දෙකක් තිබීම වරදක් කියලයි මම හිතන්නේ. විශ්වාසය රහස් වචනයක් මත රඳන්නේ නෑ. නමුත් එය ඉල්ලුවත් නොදී සිටීමෙන් සැක පහල කර ගන්නට අවස්ථාවන් උදා වෙනවා. එය නිකරුනේ පහල වෙන සැකයක් වෙන්නත් පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ කෙනෙකුගේ හිතේ සැක පහල නොවෙන විදියට වැඩ කරන්නට. නිදහස අහිමි වීමක් මින් සිදු වෙන්නේ නෑ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.