Sunday, August 15, 2010

තමන් ආදරේ කරන අතරතුරේදී හදිසියේම තමන්ට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාගෙන් දෝෂාරෝපණයක් එල්ල වුනොත් මොකද කරන්නේ? ඇත්තෙන්ම මේ වගේ සිදුවීම් නම් අනන්ත අප්‍රමාණව සමාජයේ සිද්ධ වෙනවා. කළ වරදක් නිසා හෝ නොකළ වරදක් නිසාවෙන් දෝෂාරෝපණ සිදු වීම නවත්වන්නට බැරි දෙයක්. ආදරය කියලා වෙනසක් නෑ. කොහොමත් සමාජයේදී වැඩ කරන නොකරන බොහෝමයක් දෙනාට දොස් පැවරීම මිනිසුන්, මිනිසුන්ය කියා හඳුනා ගැනීමේ ගති ලක්ෂණයක් බවටම පත් වෙලා.

හිතන්න තමන් ආදරේ කරන පෙම්වතා හෝ පෙම්වතිය තමන් නොසිතූ වෙලාවක තමන් නොකළ වරදකට තමන්ට දොස් පැවරුවාය කියලා. ඒ වගේ වෙලාවකට තමන් කොයි තරම් නම් අසරණ වෙනවාද කියලා ඒ වගේ දෙයක් සිද්ධ වුණු කෙ
ක්මයි දන්නේ. එක්කෝ කාගේ හෝ කේලමක් නිසා විය හැකියි. එක්කෝ හිතින් මවා ගත් මනස්ගාතයක් නිසාත් වෙන්නට පුළුවනි.

මේ වගේ වෙලාවල් වලදී සමහර විට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ නිදහසට කාරණා අසන්නට තැත් නොකරන්නට පුළුවනි. කොටින්ම, කියනා කිසිම දෙයක් පිළි නොගන්නටත් පුළුවන්. මේ වගේ සිදුවීම් බොහෝ විට සමාජයේත්, අපි අතරේත්, අපේ මිතුරන්ට පවා සිදු වෙලා තියෙන්නට පුළුවනි.

මේ විදියට ආරම්භ වෙන උභතෝකෝටික ගැටළු ආදරය අහිමි වීමෙන්, පෙම්වතුන් වෙන් වීමෙන් කෙලවර වෙන්නත් හැකියාවක් තියෙනවා. මේ වගේ වෙලාවන් වලට පුළුවන් තරමින් ඔහු හෝ ඇය සමග සුහදව කතා බහ කරන්නට මාර්ගය සලසා ගත යුතුයි. සිදුවී ඇත්තේ කුමක්දෝ කියා දැන නොගෙන දෝෂාරෝපණයක් එල්ල වීම තමන්ව නිකරුණේ සැක කිරීමක් හා සමාන දෙයක්. කවුද කැමති තමන් ආදරේ කරන කෙනා තමන්ව සැක කරනවට?

තරහවකින් ආරම්භ වෙන වචන හුවමාරුවක් සුහද කතා බහකට පෙරලා ගන්නට හැකියාවක් ලැබීමම මේ වගේ තත්ත්ව මග හරවා ගන්නට උදව්වක් වේවි. මා දැක තිබෙන බොහෝමයක් අවස්ථාවන් එසේ විසඳුනු ඒවායි. කෝපය සත්‍යය සඟවනවා කියලා කියන්නත් පුළුවනි. ඒකේ කිසි වරදක් නැතැයි සිතනවා. බොහෝ විට නිහඬව අසා සිටීම බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයනවා.

නමුත් නැති වරදක් පිළි ගෙන නිහඬතාවයේ පසු වීම නොකළ යුත්තක්. එය කළ යුත්තේ නිසි කාලය ආ විටයි. ඒ කාලය තීරණය කල යුත්තේ ඔහු හෝ ඇය සංසුන්ව සිටිනා මොහොතකදී කියායි මට හැඟෙන්නේ. ඔයාලගේත් මේ වගේ සිදුවීම් වෙලා තියෙනවද?

2 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

අපි අනුන්ගේ ප්‍රශන දිහා බලලා කොයිතරම් නම් දාර්ශනික පිළිතුරු නිර්මාණය කලත්....අපේ ප්‍රශනයකදී...අපිත් කොයිතරම් නම් අසරණ වෙනවද?..මිනිස් ජීවිතය සංකීර්ණයි....කොයිතරම් කිට්ටුවෙන් ආශ්‍රය කලත් සමහර විට අනික් තැනැත්තාව හරි හැටි තෙරුම් ගන්න අපි අසමත්...:(

Teshan said...

මෙය දාර්ශනික වීමට ගත් උත්සාහයක් නම් නොවේ. ඇත්තෙන්ම මේ වගේ සිදුවීම් මගේ ජීවිතේදිත් සිදු වෙලා තිබෙන නිසායි ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්නට සිතුවේ. මම අනුගමනය කළ ක්‍රියා පිළිවෙතක් ගැනයි මම මේකෙදි සඳහන් කරේ. සමහර විට ඔයාලටත් ඒ දේ හරි යන්නට පුළුවන්.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.