Wednesday, August 11, 2010

අපි කවුරුත් කැළණි පන්සලට ගිහින් ඇති. මේ ලිපි කියවන බොහෝමයක් දෙනා ඒ වැකිය අනුමත කරනවා වගෙම කීප දෙනෙක් අනුමත නොකරාවි. නමුත් බෞද්ධයෙක් වශයෙන් ශ්‍රී ලාංකිකයෙක් විදියට අනිවාර්යයෙන්ම වැඳ පුදා ගත යුතු බෞද්ධ වගේම සංස්කෘතිකමය වටිනාකමකින් යුතු කලා නිර්මාණයන්ගෙන් පොහොසත් පුරාණ පුද බිමකුයි කල්‍යාණි සෑය හෙවත් කැළණි විහාරය කියන්නේ.

මේ පුදබිමේ වැදගත්කම ඒ විතරක්ම නෙවෙයි. බෞද්ධයන්ට විශේෂිත ස්ථානයක් විදියට මෙම පුදබිම හඳුන්වන්නේ බුදු රජාණන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවකදී මේ පුදබිම උන්වහන්සේගේ පාදස්පර්ශයට පාත්‍ර වීම නිසාවෙන්. ඉතින් මෙවැනි උතුම් පූජා භූමියකට ඔයාලා ගිහින් නැති නම් ජීවත්ව ඉන්නා කාලය තුලදී අනිවාර්යෙන්ම ගොහින් වැඳ පුදා ගන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා.

මම කල ඉල්ලීම තමයි ඒ පුදබිම ගොහින් වැඳ පුදා ගන්නය කියපු එක. ඒත් ඔයාලගෙන් කවුරු හරි ආදර සබඳතාවයක් පටන් අරගෙන සිටිනවා නම් ඒ ආදර සම්බන්ධතාවය පවතිද්දී පළමු වරට තම තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගොහින් වැඳ පුදා ගන්නා බෞද්ධ පුද බිම විදියට කැළණි විහාරය තෝරා ගන්නට නම් එපා. මෙහෙම කියන්නේ මම නම් නෙවෙයි, අපේ සමාජයේ ජීවත් වෙන සමහර දෙනා. මේ ගැන නොදත් ඔයාලගෙන් සමහරු ඒ ඇයි කියලා මගෙන් අහයි. ඒත් ඔවුන් කියන හේතුව තමයි, කෙනෙක් ආදරේ කරද්දී පළමුවෙන්ම යන්නේ කැළණි විහාරයට නම් ඒ ආදර සම්බන්ධතාවය අනිවාර්යෙන්ම බිඳී යාමට ඉඩ ඇති බවට පවතින විශ්වාසයක් නිසාවෙන්.

ඔන්න ඉතින් හොරෙන් හෝ වේවා අසම්මත හෝ වේවා ප්‍රේම සබඳතා පටන් අරගෙන තියෙන දරුවො ඉන්න දෙමව්පියන්ට නම් මේක ඉහේ මල් පිපෙන ආරංචියක් වේවි. ඒ නිසා ඒ අය තම තමන්ගේ දරුවනුයි එයාලගේ සහකරු හෝ සහකාරියව හෝ කැටුව කැළණි වඳින්නට එක්කර ගෙන ගියා නම් තමයි හොඳ. හැබැයි පෙම් සබඳතාව තවත් උඝ්‍ර වෙයිද, බිඳෙයිද කියලා නම් මට සහතිකයක් දෙන්නට බැහැ.

මේ අන්ධ විශ්වාසයන් අපේ සමාජයේ කොයි තරම් නම් මුල් බැසගෙන තියෙනවාද? ඇත්තෙන්ම මේවා ඒ විදියටම පිළිපදින උගත් මෝඩ පිරිසකුත් සිටිනවා. කැළණිය කියන්නේ බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද පුද බිමක් විනා ගුරුකම් හෝ හදි හූනියම් සිදු කෙරෙන ස්ථානයක් නොවෙයි. බෞද්ධයෙකු මෙවැන්නක් ඉහ මොළ තුලට කා වද්දව ගෙන මතක තියා ගෙන මේ වගේ විශ්වාස වලට තව තවත් ලුණු ඇඹුල් දමා සමාජය තුල මුල් බැස්සවීම සිදු කරන්නේ නොදැනුවත් කම නිසාද නැතහොත් සමාජයේ බලපෑම නිසාද යන්න ගැන නම් තවමත් ප්‍රශ්ණාර්ථයක්. ඒත් ඇත්ත එයයි.

කැළණි පන්සල තුලදී හෝ වේවා පෙම් සබඳතාවක් ආරම්භ කෙරුනා නම් එය අනිවාර්යෙන්ම ඒ සම්බන්ධතාවට ආශිර්වාදයක් වෙනවා විනා හානියක් හෝ විපතක් විය නොහැකියි. බුදු දහම කියන්නේ කෙනෙකුගේ සෙත සලසන, කෙනෙකුට නිවැරදි මග පෙනවන, අවිහිංසාවාදී ධර්මයක්. එවැනි ධර්මයකට අධිපතීත්වය දැරූ අප මහා බුදු රජාණන් වහන්සේ නම් කෙදිනක ආදරෙන් බැඳී ඇති කිසි අයෙකු වෙන් කරලා නැහැ. එහෙනම් උන් වහන්සේ වෙන් කරන්නේ මුලින්ම නකුල මාතා සහ නකුල පිතා යන භව ගණනාවක් පෙමින් බැඳී සිටි දෙදෙනාවයි.

එහෙනම් මෙතැනදී අපිට සිතන්නට යමක් ඉතුරුයි නේද? ඇයි අපි බෞද්ධයන් වෙලාත් බුදු පහස ලද පුදබිමකට, ප්‍රේම සම්බන්ධතාවක ආරම්භයෙන් පසුව ඒ දිහා ඇහැක්වත් ඇර නොබලන්නට උපදෙස්, අනුබල දෙන්නේ? එය එසේ නම් අපි බුදු දහම අත හැරිය යුතු වෙනවා නේද? මෙවැනි බොරු විශ්වාසයන් තව දුරටත් හිත් වල තබා ගැනීමෙන් හෝ ඉදිරියටම පරම්පරාවෙන් පරම්පරා වලට ගෙන යාමෙන් සිද්ධ වෙන්නේ, පෙම් කරන කාලයේදී පළමු වතාවට නොයා සිටීම නෙවෙයි, දරු මල්ලන් ලැබුණාට අනතුරවත් කැළණිය නොවඳින්නට සිත හදා ගත්තු පිරිසක් සමාජයේ ගොඩ නැගෙන එක.

ඒ නිසා නිර්මල බුදු දහමේ කියැවෙන ධර්මය හොඳින් දන්නේ නම් මෙවැනි වැරදි විශ්වාසයන්, මෙවැනි මිත්‍යා දෘශ්ඨීන් වලට හිස එසවීමට ඉඩක් ලැබිය නොහැකියි. නමුත් එය එසේ නොවෙන තාක් කල් ආදරේ කරන පෙම්වතුන්ට නම් දෙවියන්ගේම පිහිට පතන්නටයි අපි කාටත් සිද්ධ වෙන්නේ. බුදු මගේ ගියහොත් සැමට ආශිර්වාදයත්, සෙත ශාන්තියත් ලැබෙනා බව අපේ සිත් තුල කා වද්දවා ගත යුතුයි. එවිටවත් මෙවැනි පුහු අදහස් වලට මේ සමාජයේ කිසිදු ඉඩක් නැති වෙලා යාවි. මේ ඔයාලට හිතන්නට, ආකල්ප වෙනසක් සිදු කර ගන්නට මතක් කර දුන් අවස්ථාවක්.

6 පාඨක අදහස් | Comments:

Shadow/හේමලයා said...

දැන් තමයි ඔය කතාව නම් දැන ගත්තේ......:D

Teshan said...

මාත් දැනන් හිටියේ නෑ මේ මෑතක් වෙනකම්ම. ඒත් දන්න පිරිසකුත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි කීවේ.

Indraj said...

මෙන්න මේකයි කේස් එක . ඔය ඉස්සර ම කාලෙ සුනාම්යක් ආපු වෙලාවක විහාර මහා දේවි ඔරුවෙන් ඇවිත් ගොඩබැහැල තියෙනවනෙ කැළණියට. තාම එතුමිය ගොඩ බැස්ස තැනට වෙලා ඉන්නවා කැළණි පන්සල් ගිය අය දැකල ඇතිනෙ. ඔහොම හිට්යට එතුමිය ඉන්නෙ පුල් අප්සට් එකේ . මොකද තමන්ගෙ මුණුපුරා සාලියගෙයි අශෝකමාලාගෙයි පෙම් පලහිලව්ව ඉවරයක් කරල දාන්න බැරි වෙච්චි නිසා. දැන් එතුමිය වයසට ගිහිල්ල ඈස් පේනව හොරයි. දැන් පන්සල් ආපු ජෝඩු පේන්නෙ සාලියයි අශෝකමාලයි වගේ. ඕක දැක්ක ගමන් එතුමිය ප්‍රාර්ථනා කරනව "අනේ මේ කොල්ලව මේ රොඩී කෙල්ලගෙන් බේරල දෙන්න දෙය්යනේ !!!!" කියල.
ඉතින් විහාරමහා දේවි කියන දෙයක් දෙය්යො නොකර ඉඳියි කියල හිතන්න පුලුවන්ද?

Teshan said...

ඒ දෙයියො එහෙනම් කට්ට කුමන්ජල් වළඳන දෙවියෙක්ද කොහෙද.. හික් හික්

මුදිතා said...

Indraj සොයුරා පළ කර ඇති කතා පුවත විහිළුවට පැවසූ කතාවක්නම් පළමුව කිව යුත්තේ අපේ අභිමානවත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තාව, ශ්‍රේෂ්ඨතම නිරිඳුන්ගේ මව, ගැන එලෙසින් විහිළු කිරීම කිසි සේත්ම නුසුදුසු බවයි. අනෙක් කාරණාවනම්, කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාර මහා දේවිය මුහුද ගොඩ ගැලූ මොහොතේ (සුනාමිය සිදු වූ මොහොතේ) කැලණි පුරයෙන් ඔරුවට නැගී නැවත ගොඩ බැස්සේ කාවන්තිස්ස රජු රජකම් කළ මාගම් පුරයේ කිරින්දටයි. එයින් පසු ඇති වූ සුනාමියක් ගැන මා නම් අසා නැත.

Indraj said...

මුදිතා සහෝදරිය වෙත ලියා දන්වන වගනම්..
මෙම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිරිඳාම තම ශ්‍රේෂ්ඨ පියාණන් වහන්සේට ස්ත්‍රී ඇඳුම් ආභරණ යවා විහිළු කර අපහාස කල එකේ මා වැනි සාමාන්‍ය පුද්ගලයෙක් එතුමගේ මව හා සම්බන්ධව පොඩි විහිලුවක් කලාම ඒ උත්තමාවියට අපහාසයක් වේ යැයි නොසිතමි.

ඉතිහාසය වැරැද්දුවාට ගැත්තාට අනුකම්පා කරත්වා. නිවැරදි කළාට ස්තුතියි.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.