මාත් බීල නැතුවම නෙවෙයි. ඒත් චුට්ටක්. හැබැයි ඒ බීවේ මොනාද කියලා කියන්න නම් දන්නේ නෑ. සමහර විට විස්කි වෙන්නත් ඇති. නිකන් රස බලන්න දිවේ ගා ගත්තා විතරයි පොඩි කාලේ. ඒ කාලයේ මම ගොඩක් ප්‍රියතාවෙකින් බීවේ වයින් විතරයි. ඒත් මිදි වයින්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ දේත් දැන් බොන්නේ නෑ. නමුත් මම නම් දන්නේ නෑ ඒවායේ කොපමණ ප්‍රමාණයක් ඇල්කොහොල් තියෙනවාද කියලා. බියර් මීට වඩා වැඩි ඇල්කොහොල් ප්‍රමුඛතාවක් සහිත පානයක්. ඒක ඉතින් හැමෝම දන්නවා ඇතිනේ.
ඒත් අද කාලේ කොල්ලො ඕවා බීලා නටන පිස්සු වැඩ, විකාර, නැතිවන ලැජ්ජ බය දිහා දැක්කම ඕවට පුරුදු නොවී හිටපු එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවා. කෝම නමුත් සමහරු බියර් වලට ඇබ්බැහි නොවුනට පාටියකදි හරි වීදුරුවක් තොල ගාන බව නම් දන්නවා. ඒත් ඒවායේ වරදක් පෙන්නල දුන්නත් වැඩක් නෑ. මොකද ඕවායෙන් ජීවිතේ නැති නොවෙන නිසා. ඒත් බිව්වම ශරීරයේ ක්ෂය වීමක් නම් අනිවාර්යෙන්ම තියෙනව. මොකද ඇල්කොහොල් අඩංගු නිසා.
කැමති අය බීපුදෙන්. නොබොන අය නොබීපුදෙන්. ඒත් නොබොන අයට බලෙන් පොවන්න යන්න එපා. මොකද එයාලා නොබොන්නේ ජීවිතේට ප්‍රිය කරන නිසා. බොන අය බොන්නේත් ජීවිතේට ප්‍රිය කරන නිසා. ඒත් ජීවිතේ දිහා ඒ ඒ අය බලන කෝණය එකිනෙකට වෙනස්. මේවට අපේ තරුණ තරුණියො හුරු පුරුදු වෙන්නේ මිතුරු ආශ්‍රයන් නිසා. බෝඩිම් ආශ්‍රිතව, විනෝද චාරිකා වලදීත්, මඟුල් ගෙවල්, මළ ගෙවල් වලදීත් නැතුවම බැරි දෙයක් විදියට ඇල්කොහොල් සහිත පාන ප්‍රචලිත වෙලා ගිහින්. හැමෝම මතට තිත තියන්න උත්සාහ ගන්නේත් ඒ නිසාම වෙන්නත් ඇති.
කොල්ලෙක් වුනාම බියර් එකක්වත් බීලා නැත්නම් ඌ නපුංසකයෙක් ගාණට වැටෙන රටක් මේක. රට විතරක් නෙවෙයි ලෝකෙම එහෙමයි හිතන්නේ. ඒත් ඒ දේවල් තම තම නැණ පමණ අනුව තම තමන්ගේ වාසිය, පෞද්ගලික හා තාවකාලික තෘප්තිය උදෙසා සිතා මතා ගත් දේවල් මිසක් ලෝක නීතියක් නෙවෙයි. මහා විශාල ධනස්කන්ධයක් පවුල් මට්ටමින් මේ දේවල් වලට යොදවද්දී ඉතින් දෙවියන්ගේම පිහිට නොපතා කොහොමද?
බේබදු කම පටන් ගන්නේ ඔය වගේ මූලික අඩිතාලමකින්. ඉස්සෙල්ලම බියර් බොනවා. යාළුවෝ විස්කි බොද්දි ඒකටත් හුරු වෙනවා. මොකද තිත්ත කට ගාලා හොඳට දිව හුරු වෙලා තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් මීලඟ පියවර විදියට පිළිවෙලින් අරක්කු, ගල් අරක්කු, වොඩ්කා, බ්ලැක් ඩැනියල් වගේ නා නා ප්‍රකාර ජාති මුළු සේසතම විකුණලා හරි අරන් බොන්න හුරු වෙනවා. ඉතින් සල්ලි බාගේ නැති වෙද්දි ණයටත් බොන්න ගන්නවා. පවුලක පරිහානිය වෙන්න පටන් ගන්නේ මෙන්න මේ විදියට.
තමන්ට ස්වයං පාලනයක් තියෙනවා නම් බියර් එකක් කලාතුරකින් බීවට වරදක් නෑ කියන්න පුළුවන්. ඒත් ඒක සාධාරනීකරණය කරන්න පෙළඹෙන්නේ නම් නෑ මම. හැබැයි අර කීවත් වගේ දොස්තර කෙනෙක් අරක්කු වීදුරුවක් ලෙඩෙකුට දවසකට බොන්න කියලා සීමාවක් පැනෙව්වාම බැරල් එකක් තරමේ වීදුරුවක් බොන එක නෙවෙයි ස්වයං පාලනය කියන්නේ. ඒ ඉතින් තම තමන් තමන්ගේ වාසියට පනව ගන්න සීමාවල්.
කොහොමින් කොහොම හරි මේ දේ කොච්චර සුළු දෙයක් වුනත් මිනිහෙක් වුනාම කාගේවත් අඟිල්ල තමන් දිහාට දික් නොවෙන ජීවිතයක් ගත කරනවා නම් තමයි වඩා හොඳ. බීමත් කම හෝ වේවා වෙන ඕනෑම දුරාචාරයක් වුනත් මේ දේ සාධාරණයි. මේ ලිපියට කී දෙනෙක් නම් බොන්න එපා කීව කියලා ඒකට විරුද්ධව අනම් මනම් කියලා අදහස් පල කරාවිද කියලා කියන්න නම් දන්නේ නෑ. මම මේ කිසි දුරාචාරයක් කරන්නට එපා කියන්නේ නෑ. මොකද මේ ලිපිය කියවන්න තරම් බුද්ධි මට්ටමක් ඇති ඈයො විතරක් මේ ලිපි කියවනවා ඇති කියලා මම හිතනවා. බුද්ධියෙන් හිතලා ඔයාලම තීරණයක් ගන්න. මොකද එක මිනිස් ජීවිතයක් හරි වටින නිසා.