Tuesday, July 27, 2010

ගුරුවරයෙක්ට කරන්න පුළුවන් ගරු කිරීම මේ දේම වෙන්නත් පුළුවන්. නැත්තන් තවත් කරන්න දේවල් කරන්න ඉතුරු වෙලාත් ඇති. මම සාමාන්‍යයෙන් වැඩි දැනුම් සම්භාරයක් හිමි කෙනෙක් නෙවෙයි. දන්නා දේ කාටත් අසන වෙලාවකට කියලා දෙන එක මගේ පුරුද්ද තමා. මේ විදියට මම දන්නා දේවල් බෝහෝමයක් මට දැන ගන්න ලැබුණේ අප අතරින් වියෝ වුණු කුමුදු ලාල් පින්තු සර්ගෙන්.

කොටින්ම කියනවා නම් පරිගණයක් අතපත ගාන්න දැන ගත්තු දවසේ ඉඳලාම මගේ හිතේ තිබුණු ලොකුම අකමැත්ත තමා අපේ පරිගණකයේ තිබ්බ කවුර්ත් දන්න ඔෆිස් මෘදුකාංග කට්ටලය. ඕකේ මම අත තියන්නවත් අකැමැති වුණ ඇක්සස් වගේම එක්සෙල් මෘදුකාංග වලට හිතේ තිබුණේ ලොකූ අප්‍රසන්න බවක්. සමහර විට නොදන්නා කම නිසාවෙන්මයි.

ඒ අප්‍රියතාව දැන් ආසාවකට, පින්තු සර් ගේ වචනෙන් කියනවා නම් "ප්‍රේමයකට" හැරිලා තියෙන්නේ අපේ පින්තු සර් නිසාවෙන්. ඒ වගේ හිත් ඇද බැඳ ගන්නා ඉගැන්වුම් රටාවක් මට මින් පෙර හමු වෙලා නෑ. ඒ ඔහු තුල තිබුණු සහජ දක්ෂතාවයත්, අත්දැකීම් බහුලත්වයත්, සුහදශීලී සමාජ ආස්‍රයත් නිසාවෙන්. විෂුවල් බේසික්, ගණිතය, ඔෆිස් පැකේජය, මෙහෙයුම් පද්ධති ගැන වගේම තවත් ජීවිතේට වටිනා අත්දැකීම් රැසකුත් ඔහුගෙන් ඉගෙනීමට මම වාසනාවන්ත වුණා. පළමු වතාවට කට කොනට සිනහවක් ආපු පාඩම් මාලාවක් ඉගෙන ගත්තේ ඔහු විසින් සකසපු පරිගණකයේ ඉතිහාසය සහ එහි කොටස් පිළිබඳ වූ පවර්පොයින්ට් පාඩම් නිර්මාණය. ඒ තරම් මිනිසුන්ගේ භාශන ස්වරූපයට කිට්ටුවෙන් කතා කරලා කා වදින විදියට උගන්වපු එකම පුද්ගලයා ඔහු විය හැකියි. ඒ පන්නරයම අද අපිටත් ලැබිලා තියෙනවා.

මම මීට මාස කීපයකට උඩදී සයිබර් ටෙක් කාමරය නමින් පාඩම් මාලවක් ආරම්භ කරා. ඒ අතරතුරේදී තමයි පින්තු සර් ගේ තම තම නැණ පමණින් කියවන්න ලැබුණේ. ඒ හරහා පින්තු සර් මගේ බ්ලොග්කරණ හැකියාව දැන ගත්තා. මම දන්නේත් නැතුව ඔහුත් මගේ පාඩම් කියවන ගෝලයෙක් වෙලා. දවසක් දුරකතන ඇමතුමක් ආවා...

"හෙලෝ..."
"හෙලෝ, ටෙ## ද?
"ඔව්, ටෙ## තමයි කතා කරන්නේ සර්"
"පින්ටො here..."
"ඔව් සර් කියන්න."
"ඔයා නේද මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් එහෙම දාන්නේ?"
"ආ, ඔව් සර් මම තමයි."
"ආ ඇත්තද?" (පොඩි හිනාවකුත් එක්ක. ඒ හිනාවේ ලොකු අර්ථයක් රැඳිලා තිබුණා)
"මම ඔයාගේ අර සයිබර් ටෙක් කාමරය එකේ PHP පාඩමත් කියවනවා."
"ඒක හරි ශෝක් එකට ලියනවා."
"ඔන්න මමත් ඒක ෆොලෝ කරනවා... මටත් හිතුනා ඉගෙන ගන්න ඒ බ්ලොග් එක හරහාම."
"Thank you සර්."
"දැන් ගොඩක් දෙනා බ්ලොග් එහෙමත් කරනවා මේක ඇතුලේම. ඔහොම හැමෝම පාඩම් ලිව්වා නම් මරු. මුදිතාත් එකක් ලියනවා, කියවල නැත්ද?"
"නැහැ සර් මට ඒ තරම් දෙයක් දැන ගන්න ලැබුණේ නෑ."
"ඕක දිගටම කරගෙන යන්න... මාත් කියවනවා..."
"හරි සර්.."
"එහෙනම් තියන්නම්..."

මේ මම පින්තු සර් එක්ක අන්තිම වතාවට කතා කරන්න කලින් වතාවෙදී, ඒ කියන්නේ මීට මාස දෙකකට විතර උඩදී සිද්ධ වුණු දුරකතන සංවාදයක්. මම ඒ වෙද්දී හිටියේ ආයතනයේ තුන් වෙනි මහලේ. ඔහු ඒ වෙද්දී එම ආයතනයේම පළමු මහලේ.

මේකෙන්ම තේරෙනවා ඇති නේද ඔහු කෙතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියලා. කෙනෙකුගේ හැකියාවට අත දුන් මෙවැනි නිහතමානී පුද්ගලයෙකුගේ පෞර්ශවත් කට හඬේ දෝංකාරය ආයෙත් කවමදාකදිවත්, අපිට පංතිකාමරයකදී අහන්නටවත් නොලැබේවි. කවුරුන් හෝ පංතියක උගන්වද්දී බාධා වෙන්න අහල පහල පංතියකින් ඇහෙන ඔහුගේ හඬ නිහඬව තියේවි. අපි විභාග ලියද්දී අපි වෙනුවෙන් මොලෙන් වැඩ නොගෙන සැහැල්ළුව තබා ගෙන අපේ විභාගයනට උදව් කිරීමට හිතනා ගුරු පියෙකු මතුවට නැති වේවි.

කවමදාවත් මෙවැනි ලිපියක් ලියන්නට හිතුවේ නැතත් ඔහු වෙනුවෙන් ලියැවුණේ ඉබේමයි.

ඔබේ සිහින සැබෑ කරන්නට හැකි හැම උත්සාහයක්ම අපි ඉදිරියට ගන්න උත්සාහ කරන්නම් ගුරුතුමනි...

අපි ඔබට නිවන් සුව පතමු...

4 පාඨක අදහස් | Comments:

පීවර් said...

මම ඔහුව නොදැක්කත්, ඔහුගෙ ලිපි කියවල තියනව. මට හිතෙනව ඔහු හොඳ කෙනෙක් කියල. ඔහුට නිවන් සුව ලැබේවා!
මට තව දෙයක් තියනව කියන්න. මම මෙච්චර දවස් හෙව්ව කෙනා, ඔන්න අද අහු උනා. ඔයා මෙච්චර දවස් කොහෙද හිටියෙ. අපිව අතරමං කෙරුව නේද? (විහිළුවට ) කරා යමු. අතරමග නැවැත්තුවෙ ඇයි. ඉතිරි ටිකත් ලියනවනම් මම කැමතියි. අනිත් හැමෝමත් කැමතිවෙයි. ඔයා හොඳ කෙනෙක්. ගුරුවරයට තියන සෙනෙහස මම ඔයාගෙන් දැක්ක.

TeeRox said...

අතරමග නවතන්න සිද්ධ වුනාට සදහටම නැවතුවේ නම් නෑ. මට මේ දවස් වල ගොඩක් වැඩ වැඩියි. මොකද මගේ උපාධියේ අවසාන විභාගෙත්, අවසාන ව්‍යාපෘතියේත් බරටම වැඩ කරගෙන යන නිසා. කොච්චර ආසාවක් තිබුණත් මේ බ්ලොගය පවාඅ අළුත් කරන්නේ වෙලාවක් ලැබුණු හැටියෙමයි. මේ වගේ නෙවෙයි නේ උගන්වන දෙයක්. හොඳට හිතල මතලා සරලවම ලියන්න වෙන නිසා ගත වෙන කාලෙත් වැඩියි. ඒ නිසා සැප්තැම්බර් මාසය වෙනකන්වත් ටිකක් ඉවසන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Indraj said...

http://arunishapiro.wordpress.com/2010/07/27/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%BA/

මුදිතා said...

අනේ අපේ ආදරණීය පින්ටො සර් මගේ බ්ලොග් එකේ මෙච්චර කල් ඉඳලම පාඨකයෙක් වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියේ නෑ. එතුමන්ගේ වියෝව තවමත් අදහාගන්නට බැරුව ලොකු වේදනාවකින් ඉන්නේ. මල්ලි කිව්වා වගේම ඕපන් ආර්ක් පරිගණක පාසල විතරක් නෙවෙයි එතුමාගේ කටහඬ ඇහෙන්නේ නැතිව යන පාළුව මුළු ගොඩනැගිල්ලටම දැනෙයි. කට පුරා හිනා වෙලා ඕනෙම කෙනෙක් එක්ක බොහොම නිහතමානීව කතා බහ කරන ඒ සුන්දර මිනිසා වෙනුවෙන් එතුමන්ගේ සියලු පැතුම් සසර ගමනේදී ඔහු පැතූ අයුරින්ම ඉටු වේවා කියලා පතනවා. එතෙක් මතු භවයන්හිද අප හට ඔහු සෙවණේ අකුරු කරන්නට වරම් ලැබේවා කියලා අප වෙනුවෙන් පතනවා.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.