Thursday, July 1, 2010

මම දැනට මගේ රස්සාවට ඇවිල්ලා අවුරුදු තුනකටත් ලඟයි. ආපු දවස් වල ඉඳන්ම මම වැඩ කරන අංශයේ ගොඩක් දෙනා මාත් එක්කම ආපු අය නිසා වැඩ පල අහ ගත්තේත් මගෙන්මයි. ඔයාලා මගේ PHP පාඩම බලනවා නම් තේරෙන්න ඇති මම වැඩ කරන්නේ වෙබ් අඩවි නිර්මාණ හා සංවර්ධන ක්‍රමලේඛකයෙක් විදියට බව.

ඔන්න ඉතින් ඒ හැමෝගෙන් කීප දෙනෙක් මගෙන් දැනුම අරගෙන හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. මට ඒ අය ගැන සන්තෝසයි. ඒත් සමහරු එහෙම නෑ. කොටින්ම අවුරුදු තුනක්ම ගතවෙලත් මුලින්ම කරපු කිසිම දෙයක් මතක නැති ගානටයි ඉන්නේ. වැඩක් කරන හැම වෙලාවකදීම එකම දේ කීප වතාවක් අහනවා. ඉතින් මටත් වෙලා තියෙන්නේ තුන්සිය හැට පස් දාම එකම දේ අහන කොට ගොනා වගේ කියල දෙන එක තමයි. ඔහොම වෙද්දී ඉතින් මගේ කියලා වැඩක් කර ගන්න වෙලාවක් ඉතුරු වෙන්නෙත් නෑ.

ඇත්තටම ඉගෙන ගන්න ආසාවක් තියෙන අය වුනත් ඉගෙන ගන්න දේ ඒ මොහොතට විතරයි ඔළුවේ තියන් ඉන්නේ. අද ඉගෙන ගත්තු, කියල දුන්න දෙයක් අද හවස් වෙද්දිම සමහරුන්ට මතක නෑ. ඉතින් කොහොමද අවුරුදු තුනකට කලින් දේවල් මතක තියෙන්නේ? හැබැයි කීවට මොකද රටේ ලොකේ තියෙන වල් පල් නම් හැම දේම හොඳට මතකයි. කොටින්ම කනමදයො වගේ බොන අයටත් ඒවා හොඳට මතකයි. ඒත් නොබී ඉන්න වෙලාවට ඉගෙන ගන්න කිසි දෙයක් මතක නෑ. මොනා කරන්නද ඉතින්. මටත් දැන් ඒවා පුදුමාකාර වදයක් වෙලයි තියෙන්නේ. ඊටත් වඩා මට කියලායි එයාලගේ ක්‍රමලේඛ වැඩ කර ගන්නෙත්. එක අතකින් මගෙත් ගොං කම තමා. යාළුවෝ නිසා කියල නොදීත් බෑ, කරදරේ නිසා කියල දෙන්න හිතෙන්නෙත් නෑ.

ඇත්ත වශයෙන්ම කියනවා නම් කවදාවත් මේ අංශයෙන් වැඩක් කරලා නැති ආධුනිකයන්ව තමයි මට හැම දවසකදී ම දකින්න ලැබෙන්නේ, කොච්චර කාලයක් මේ ආයතනයේ හිටියත්, මේ කට්ටියත් එක්කම. මොකද ඉතින් අද වැරැද්දමයි හෙටත් වෙන්නේ. වැරදි වලින් ඉගෙන ගන්නේ නෑ. ක්‍රමලේඛ දෝශයක් (programming errors) ආව ගමන්ම නහයෙන් අඬන් එනවා මාව හොයන් හරියට ජීවිතේ කවදාවත් නොදැකපු දෝශයක් විසඳ ගන්න මා ගාවට එනවා වගේ. ඒත් බැලින්නම් මේ අවුරුදු දෙක තුනට ඒ වැරැද්දම හැට හුටහමාරක් අවස්ථා වලදී ඒ අයටම ඇවිල්ලා විසඳ ගෙන තියෙන ක්‍රමලේඛ දෝශ.

ඒත් වැඩ කරන්න ආස, දෙයක් කියල දුන්නම මතකෙ තියා ගන්න පිරිසකුත් ඉන්නවා. දෝශයක් ආවම කඩන් බිඳන් මං ගවට එන්නේ නැතිව හොයලා බලලා බැරිම තැනකදි විතරමයි මගෙන් උපදෙසක් ගන්න එන්නේ. ඒ වගේ යාළුවන්ට නම් ආසාවෙන් කියලා දෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒ විතරක් නෙවෙයි අළුත් දේවල් හොයා ගෙන, තනියම අත් හදා බලන්නත් දන්නවා කාගෙවත් උදව් නැතිව. මට ඒ වගේ අයව විතරක් ආශ්‍රය කරන්න ලැබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.

ඒත් මොනා කරන්නද ඉතින්. මට ඉතින් කට පුරා කියන්න තියෙන්නෙ සම(හරක්) පිරිසක් මැද්දේ මම ඉන්නවා කියලා තමා.

3 පාඨක අදහස් | Comments:

වැඩ බැරි දාස said...

ගුරාගෙ වැරද්ද තමා මතක හිටින්න උගන්නන්න එපැයි!!!!
පව් අර අසරණ සම(හරක්).

Teshan said...

ගුරා නම් ඉතින් ගුරු මුෂ්ටි නැතුව උගන්වනවා.
අනිත් අයට මතක හිටින්නත්, සම(හරක්)ට අමතක වෙන්නත් හේතුව ම ඉතින් එයාලා සම(හරක්) වීම ම තමයි. නේද?

Murthi said...

same problem here...

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.