Saturday, July 31, 2010

මාතෘකාව දැක්කම නම් කාටත් හිතේවි නිකම් ටෙලි නාට්යයක හරි වේදිකා නාට්‍යයක හරි දෙබස් ඛණ්ඩයක්ද කියලා. අපෝ නෑ. කොහෙත්ම නෑ. මේ මට මේ ලිපිය හඳුන්වන්න හිතුන විදිය තමයි. ඒකට ලොකු හේතුවකුත් තියෙනවා. ඒ ඉතින් ජීවිත අත්දැකීමක් නම් නෙවෙයි. ලෝකෙටම සාධාරණ ඇත්තක් නිසා.

දැන් ඔයාල බලනවා ඇති මොකද්ද බොලේ මේ කියන ඇත්ත කියලා. ඔව් ලෝකෙටම සාධාරණ ඇත්තවල් බොහෝමයක් තියෙනවා. ඒවා ලෝකෙටම විතරක් නෙවෙයි මුළු විශ්වයටමත් අදාළ වෙන කවදාවත් වෙනස් නොවෙන ඇත්තව
ල්. කෙටියෙන්ම කියනවා නම් මේවා බුදු හාමුදුරුවන්ගේ දේශණා. කවුරුත් දන්නේ නැති නම්, දැන ගත යුතු දේවල් බොහෝමයක් දේශණා කරලා තියෙන ශාස්තෲන් වහන්සේ කෙනෙක් තමා බුදු රජාණන් වහන්සේ කියන්නේ. එවන් උතුමන්ගේ මුවින් පිට වුණු හැම වචනයක්ම ඇත්ත වගේම සර්ව සාධාරණයි. කිසිම කෙනෙක්ට ඒ වචන වල බොරුවක් හෝ සැඟවුණු අර්ථයක් හොයන්නවත්, ඒකට අභියෝග කරන්නවත් බැහැ. මොකද දන්නවද? සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම උන්වහන්සේ පෙරුම් පිරූ බෝධිසත්ව භවයන්ගේදී කිසිම මොහොතක බොරුවක් කියා නොමැති වීම. එපමණ කාලයක් පුරුදු පුහුණු කරපු කටකින් ගෞථම බුද්ධ ශාසනයේදී විතරක් බොරු කීවාය කියලා කාටද කියන්න පුළුවන්?

මේ කියන්න යන්නේ ඒ වගේම ඇත්තක්. හැබැයි කාටත් පොදුයි. කෙනෙක් වරදක් කරාම හිතනවා නම් පිං කරලා ඒ වරද වහ ගන්න පුළුවන්ය කියලා ඒක කිසිසේත්ම සාධාර
මතයක් නෙවෙයි. ඔව්... සමහර අවස්ථාවන් තියෙනවා එහෙම කරපු පව් කැපිලා යන අවස්ථාවන්. ඒත් එහෙම ලේසියෙන් ඒවා මැකිලා ගිහින් අහෝසි කර්ම වෙන්නේ නම් නෑ.

හිතන්න කෙනෙක් කූඹියෙක් මැරුවාය කියලා. ඒ කෙනා ආසාවට හරි පරීක්ෂා කරන්න හරි කියලා ඒ සතාව මැරුවත් චේතනා
මැරීම මිසක් වෙන දෙයක් නෙවෙයි නේ. ඒ වගේමයි අලියෙක් මැරුවත් එහෙම්මමයි. සිද්ධ වෙන අකුසල ප්‍රමාණය සත්වයා මරණයට පත් කරන්න දරන උත්සාහයේ තරමටත්, සතාගේ ප්‍රමාණයත්, සිතේ ඇති ද්වේශයත් අනුව වැඩි අඩු වෙනවා. මොකද අලියෙක් ආසවට මරන්න කෙනෙක්ට හිතෙන්නේ නැහැ නේ.

අපි කවුරු කවුරුත් වරදක් කරනවා නම් හිතන්න දෙයක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ, ඒ වරදට දඬුවම අපේ පසු පස එන බව. හිතන්න අපි ලංකාවෙදි වරදක් කර
ලා පිට රට පැන්නා කියලා (හරියට සක්විති වගේ...) එහෙමත් නැත්නම් තියෙන තරමක් සල්ලාලකම් කරලා පාරේ හිඟන්නෙක්ට සල්ලි දුන්නාය කියලා. එහෙමත් නැත්නම් කවුරුත් නැති කැලේකට ගිහිල්ලා ගල් ගුහාවක හැංගිලා ඉන්නවාය කියලා. එහෙමත් නැත්නම් හිතමු වෙස් වලාගෙන කොහේ හරි හැංගිලා ඉන්නවාය කියලා. වරදක් කරා නම් නීතියෙන් ඒ කෙනා බේරුණත්, ලෝක සාධාරණ නීතියෙන් ඒ කෙනාට කිසිම ගැලවීමක් නෑ.

මේ බව දේශණා කරලා තියෙන්නේ බුදු හාමුදුරුවන් ම තමයි. අකුසල රැස් කරාම ගවයගේ පස්සෙන් ගවයාට වදයක් වෙන කරත්ත රෝදය කැරකි කැරකී එනවා වගේම කරපු අකුසල කර්ම වලට වන්දි ගෙවන්න ඔයාල හැමෝම සූදානම් ද? හිතට එන හැම ආසාවම ඉශ්ට කර ගන්න ගිහින් අන්තිමට අමාරුවේ වැටිලා මිනිසත් බවත් නැති කර ගන්න ආසාවෙන් ඉන්නවා නම් ඉතින් ඇති තරම් වැරදි කරන්න.

එතකොට කවද හරි දවසදි, "ආ.. උඹ බේරෙන්න හිතුවද? මෙහෙ වරෙන් එළියට... උඹට අද ගැලවීමක් නෑ" කියලා, කියත් වලින් ඇඟ පසාරු වෙද්දී දිව්‍ය සැප ලබන්න සිද්ධ වේවි.
ඕනෙම කෙනෙක් කැමතියි සතුටෙන් ඉන්න. සතුට කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙක් එක හේතුවක් නිසා සතුටු වුණත්, තව කෙනෙක් ඒ හේතුව නිසාම දුකෙන් ඉන්න පුළුවන්. හැමෝටම සතුටු වෙන්න පුළුවන් හේතු කාරණා තියෙන්නේ බොහෝමත්ම අඩුවෙන්. ඒත් එහෙම දෙයක් තිබුණත් කොහේ හරි අස්සක මුල්ලක හරි ඒ නිසා දුකින් ඉන්න කවුරුන් හෝ ඉන්න පුළුවන්.

යාළුවෝ නිසා සතුටින් ඉන්න පුළුවන් වගේම යාළුවන්ගේ වැඩ නිසාම දුකෙනුත් ඉන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආදරේ කරද්දිත් දුක සතුට දෙක හොඳින්ම දැනෙනවා. මේ ආදරය තමයි කෙනෙක්ට දුකේ ගැඹුරුම තැනත්, සතුටේ උපරිම තැනත් ජීවිතේට පෙන්නලා දෙන්නේ. අර කියමනක් තියෙනවානේ, හැමදාම මැරි මැරි ජීවත් වෙන්න ආදරේ කරන්න කියලා. ඔන්න ඔය කියමන හොඳට ඔප්පු වෙනවා ඔයාලත් කවදා හරි ආදරේ කරනන් ගත්තු දාට.

රැකියාවක් වුණත් කෙනෙක්ගේ දුක සතුට දෙකටම බලපානව හරි තදින්ම. මොකද රැකියාවක් කරද්දී දැනෙන ආත්ම තෘප්තිය සතුකටකට පෙරලෙනවා වගේම, දැනෙන පීඩනය එහෙම දුකට මූලික හේතුවක්. මාස ගාණක් දුක් මහන්සි වෙලා කරපු වැඩට ලැබෙන මාසික වේතනය නිසා කොයි තරම් නම් සතුටක් ලබනවද කෙනෙකුට. ඒත් ඒක නොලැබී ගියොත් දුකත් එක්කම තරහවත් ඇති වෙනවා නේද?

කෙනෙක් නැති වුණාම වගේම කෙනෙක්ව ලැබුණාම දුක වගේම සතුටකුත් දැනෙනවා පිළිවෙලින්. අපේ නෑයෙක් හරි මිතුරෙක් හරි අපෙන් වෙන් වුණොත් දැනෙන දුක වගේම අපිට හොඳ මිතුරෙක්, හොඳ සහකරුවෙක් / සහකාරියෙක් හමු වුණොත්, දරු උපතකදීත් කොයි තරම් නම් සතුටු වෙනවද. ඒත් කවුරුත් තේරුම් නොගන්න දෙයක් තමයි මැරෙණ කොට ඒ කෙනාගේ පවුලේ උදවියට දුකක් දීලා වෙන් වෙන කෙනා තවත් පවුලකට සතුටක් එකතු කරන බව. ඒක අපි හැමෝටමත් එහෙමයි.

මේ සංසාරයේ ගමන් ගන්න තාක් කල් අපිට හිත් රිදවීම් සහ සතුටු කිරීම් පොළොවේ වැලි ප්‍රමාණයතත් වඩා වාර ගණනක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කාටවත් වරදක් නොවෙන හොඳ දිවි පැවැත්මක් ඇති කර ගත්තොත්, දුක් සතුට දෙක නොදැනෙන මධ්‍යස්ථ ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවි. බුදු දහම මීට වඩාත්ම ප්‍රායෝගික දර්ශනයක් උදා කරල දීලා තියෙනවා. ආගම් භේදයකින් තොරව කෙනෙක්ට බුදු දහමේ හිත නිවන මාර්ගය අනුගමනය කරන්න පුළුවන් නම් ඒ ඒ ආගමේ උත්තම භාවයට ඒ ඒ පුද්ගලයාට ලඟා වෙනන් ඉඩක් ලැබේවී කියලයි මගේ පුද්ගලික අදහස.

Wednesday, July 28, 2010

අද දවසේදී, එනම් 2010.07.28 වන බදාදා දවසේ සවස් යාමයේදී මළ හිරු බැස යනවා සමගම අපේ සහෘදයාණන්, අපේ සොයුරාණන්, අපේ ගුරු පියාණන්, අපේ මිතුරාණන් අපව තනි කොට සදහටම මෙලොවින් සමු ගෙන මිහි තල මාතාව තුරුලේ නින්දට ගියේය. ඔහු ගැන නමින් නොකීවත් ඔහුගේ නම දැනටමත් ඔබ සැමගේම හදවතේ රැඳී ඇති බව සැකයක් නොවේ. අප අතරින් වෙන්ව ගියද ඔහු අපේ මතකයන් ගෙන ගොස් නැත. අපිට දුන් දායාද ගෙන ගොස් නැත. අපව තනි කර නැත. ඒ ඔහුගේ සිප් සතර අප වෙත ලැබී ඇටි නිසාවෙනි. ඔහු පැතුවේ යමක්ද, අපි ඒ දේ ඔහු නැතත් සපුරාලන්නට වග බලා ගත යුතුය. ඔහු අප ලඟ තබා ගිය දැනුමත්, අත්දැකීමුත් අපේ ජීවිත සාර්ථක කර ගෙන තවත් සිය දහස් දෙනෙකුගේ ජීවිත බබළවන්නට යොදා ගත යුතු වේ. මන්ද යත්, ඒ ඔහුගේ ආසාව නිසා.

ඔහු අද මෙලෙස මිහි මව තුරුලට යාමට විනාඩි කීපයකට උඩදී දර ගොඩක් මත වැතිර සිටියේ මෙසේයි. අපද කෙදිනක මෙලෙසම දර ගොඩක් මත වැතිර පරිසරයට එක් වන්නේ ලෝක ධර්මතාවය පසක් කර්නුවස්ය. එදිනට අපේ නමද බබලවන්නට අපි අපිම උත්සුක වෙමු. කෙදිනක හෝ අප රූප කායෙන් මිදුනත් අපේ චර්යාවන් දහසක් දෙනා හට සෙතක් සැලසීමට හේතු වන හොඳ මිනිසුන් කැලක් වන්නට අපි ඔහුට පොරොන්දු වෙමු. එයයි ඔහුගේ එකම අභිප්‍රාය.





අප හැර යාමට මොහොතකට පෙර සුසාන භූමියේදී ඔහුගේ සිරුර සැමගේ නෙත ගැටුණු ආකාරය...

Tuesday, July 27, 2010

ගුරුවරයෙක්ට කරන්න පුළුවන් ගරු කිරීම මේ දේම වෙන්නත් පුළුවන්. නැත්තන් තවත් කරන්න දේවල් කරන්න ඉතුරු වෙලාත් ඇති. මම සාමාන්‍යයෙන් වැඩි දැනුම් සම්භාරයක් හිමි කෙනෙක් නෙවෙයි. දන්නා දේ කාටත් අසන වෙලාවකට කියලා දෙන එක මගේ පුරුද්ද තමා. මේ විදියට මම දන්නා දේවල් බෝහෝමයක් මට දැන ගන්න ලැබුණේ අප අතරින් වියෝ වුණු කුමුදු ලාල් පින්තු සර්ගෙන්.

කොටින්ම කියනවා නම් පරිගණයක් අතපත ගාන්න දැන ගත්තු දවසේ ඉඳලාම මගේ හිතේ තිබුණු ලොකුම අකමැත්ත තමා අපේ පරිගණකයේ තිබ්බ කවුර්ත් දන්න ඔෆිස් මෘදුකාංග කට්ටලය. ඕකේ මම අත තියන්නවත් අකැමැති වුණ ඇක්සස් වගේම එක්සෙල් මෘදුකාංග වලට හිතේ තිබුණේ ලොකූ අප්‍රසන්න බවක්. සමහර විට නොදන්නා කම නිසාවෙන්මයි.

ඒ අප්‍රියතාව දැන් ආසාවකට, පින්තු සර් ගේ වචනෙන් කියනවා නම් "ප්‍රේමයකට" හැරිලා තියෙන්නේ අපේ පින්තු සර් නිසාවෙන්. ඒ වගේ හිත් ඇද බැඳ ගන්නා ඉගැන්වුම් රටාවක් මට මින් පෙර හමු වෙලා නෑ. ඒ ඔහු තුල තිබුණු සහජ දක්ෂතාවයත්, අත්දැකීම් බහුලත්වයත්, සුහදශීලී සමාජ ආස්‍රයත් නිසාවෙන්. විෂුවල් බේසික්, ගණිතය, ඔෆිස් පැකේජය, මෙහෙයුම් පද්ධති ගැන වගේම තවත් ජීවිතේට වටිනා අත්දැකීම් රැසකුත් ඔහුගෙන් ඉගෙනීමට මම වාසනාවන්ත වුණා. පළමු වතාවට කට කොනට සිනහවක් ආපු පාඩම් මාලාවක් ඉගෙන ගත්තේ ඔහු විසින් සකසපු පරිගණකයේ ඉතිහාසය සහ එහි කොටස් පිළිබඳ වූ පවර්පොයින්ට් පාඩම් නිර්මාණය. ඒ තරම් මිනිසුන්ගේ භාශන ස්වරූපයට කිට්ටුවෙන් කතා කරලා කා වදින විදියට උගන්වපු එකම පුද්ගලයා ඔහු විය හැකියි. ඒ පන්නරයම අද අපිටත් ලැබිලා තියෙනවා.

මම මීට මාස කීපයකට උඩදී සයිබර් ටෙක් කාමරය නමින් පාඩම් මාලවක් ආරම්භ කරා. ඒ අතරතුරේදී තමයි පින්තු සර් ගේ තම තම නැණ පමණින් කියවන්න ලැබුණේ. ඒ හරහා පින්තු සර් මගේ බ්ලොග්කරණ හැකියාව දැන ගත්තා. මම දන්නේත් නැතුව ඔහුත් මගේ පාඩම් කියවන ගෝලයෙක් වෙලා. දවසක් දුරකතන ඇමතුමක් ආවා...

"හෙලෝ..."
"හෙලෝ, ටෙ## ද?
"ඔව්, ටෙ## තමයි කතා කරන්නේ සර්"
"පින්ටො here..."
"ඔව් සර් කියන්න."
"ඔයා නේද මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් එහෙම දාන්නේ?"
"ආ, ඔව් සර් මම තමයි."
"ආ ඇත්තද?" (පොඩි හිනාවකුත් එක්ක. ඒ හිනාවේ ලොකු අර්ථයක් රැඳිලා තිබුණා)
"මම ඔයාගේ අර සයිබර් ටෙක් කාමරය එකේ PHP පාඩමත් කියවනවා."
"ඒක හරි ශෝක් එකට ලියනවා."
"ඔන්න මමත් ඒක ෆොලෝ කරනවා... මටත් හිතුනා ඉගෙන ගන්න ඒ බ්ලොග් එක හරහාම."
"Thank you සර්."
"දැන් ගොඩක් දෙනා බ්ලොග් එහෙමත් කරනවා මේක ඇතුලේම. ඔහොම හැමෝම පාඩම් ලිව්වා නම් මරු. මුදිතාත් එකක් ලියනවා, කියවල නැත්ද?"
"නැහැ සර් මට ඒ තරම් දෙයක් දැන ගන්න ලැබුණේ නෑ."
"ඕක දිගටම කරගෙන යන්න... මාත් කියවනවා..."
"හරි සර්.."
"එහෙනම් තියන්නම්..."

මේ මම පින්තු සර් එක්ක අන්තිම වතාවට කතා කරන්න කලින් වතාවෙදී, ඒ කියන්නේ මීට මාස දෙකකට විතර උඩදී සිද්ධ වුණු දුරකතන සංවාදයක්. මම ඒ වෙද්දී හිටියේ ආයතනයේ තුන් වෙනි මහලේ. ඔහු ඒ වෙද්දී එම ආයතනයේම පළමු මහලේ.

මේකෙන්ම තේරෙනවා ඇති නේද ඔහු කෙතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියලා. කෙනෙකුගේ හැකියාවට අත දුන් මෙවැනි නිහතමානී පුද්ගලයෙකුගේ පෞර්ශවත් කට හඬේ දෝංකාරය ආයෙත් කවමදාකදිවත්, අපිට පංතිකාමරයකදී අහන්නටවත් නොලැබේවි. කවුරුන් හෝ පංතියක උගන්වද්දී බාධා වෙන්න අහල පහල පංතියකින් ඇහෙන ඔහුගේ හඬ නිහඬව තියේවි. අපි විභාග ලියද්දී අපි වෙනුවෙන් මොලෙන් වැඩ නොගෙන සැහැල්ළුව තබා ගෙන අපේ විභාගයනට උදව් කිරීමට හිතනා ගුරු පියෙකු මතුවට නැති වේවි.

කවමදාවත් මෙවැනි ලිපියක් ලියන්නට හිතුවේ නැතත් ඔහු වෙනුවෙන් ලියැවුණේ ඉබේමයි.

ඔබේ සිහින සැබෑ කරන්නට හැකි හැම උත්සාහයක්ම අපි ඉදිරියට ගන්න උත්සාහ කරන්නම් ගුරුතුමනි...

අපි ඔබට නිවන් සුව පතමු...

Monday, July 26, 2010

පින්තු සර්ගේ අභාවය නිසා කම්පාවට පත් වුණු අපේ සහෘද බ්ලොග් කරුවන්ගෙන් අසන්නට දැන ගන්නට ලැබුණු කාරයක් තමා ඔවුන් ඔහුව දැක නොතිබුණත් ඔහුට බෙහෙවින් ගරු කළ බව.

මේ නිසාම ඒ හැමටම පහන් සංවේගය උපදවා ගන්නට මම ඔහුගේ සේයාරූ කීපයක් මේ ලිපියෙන් පළ කරන්නට හිතුවා. මේ සේයා රූ අපේ ආයතනයේ අවුරුදු උළෙල දිනයේදී ගත්තු ඒවා කීපයක්.

ඔහුගේ මුහුණේ සේයාරුවක් තවමත් මට හමු නොවුණු නිසා මේ පහළින් තියෙන රූප පමණක් දැනට බලා ගන්නා මෙන් කරුණාවෙන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. පසුවට හොයා ගන්නා පමණින් පළ කිරීමට බලාපොරොත්තු වෙන නිසාවෙන් මේ ලිපිය යාවත්කාලින වෙන්නත් ඉඩ තියෙනවා.



මගේ කලින් ලිපිය ලියුවේත් මේ සම්බන්ධයෙන්මයි. මේ දවස් වල මට හරි හමන් ලිපියකින් ඔයාලා අතරට එන්න නොලැබෙන්නේ මගේ අවසාන විභාගයත්, අවසාන ව්‍යාපෘතියත් නිසායි. ඒ හැම දෙයකම අවසානයකට ලඟා වෙන මේ මොහොතේ මගේ ජීවිතේ මා වඩාත්ම ප්‍රිය කරපු ගුරුවරයෙක් මගේ ජීවිතයෙන්, අපේ ජීවිත වලින් සදහටම සමු ගනීවී කියලා කවුරුවත්ම හීනෙකින්වත් හිතන්නට නැතිව ඇති.

මොන වැඩේ කොහොම කොයි පමණින් තිබුණත්, මේ මොහොතේදී අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ නිසයි, පාඩම් කිරීමත්, අවසාන ව්‍යාපෘතියත් අතරමැද නවතලා මේ වගේ ලිපියක් මම පල කරන්න හරි හිතන්නේ.

මම බ්ලොග් කලාවට ආවත් මගේ ගුරුතුමන් බ්ලොග් කලාවේ නිරත වුණු බවක් මට අහම්බෙනුයි දැක ගන්නට ලැබුනේ. එදා ඉඳන් ඔහුත් මාත් අතරේ සිංහල භාශාව පිළිබඳවත් හොඳ මිත්‍රකමක් ගොඩ නැගුණා. තම තම නැණ පමණින් කියන්නේ ඔහුගේ දැවැන්ත බ්ලොග් අඩවියක්. ලිපි සිය ගණන් නිතර පළ වුණු එකම බ්ලොගය එය වෙන්න පුළුවන්. ඒ වගේමයි ප්‍රතිචාරත් එහෙමමයි.

තම තම නැණ පමණින් ලියන ඔහු නමින් කුමුදු ලාල් පින්තු ගුරු පියාණන්. ඒත් අපි දන්න කාලෙක ඉඳලා ඔහුව ඇමතුවේ පින්තු සර් කියලා. එහෙම කතා කරපු අපි හැමෝටම ඔහු සැලකුවේ සහෝදරයෙක්, මිතුරෙක්, මව්පියෙක් වගේම ලොකු ආදරේකින්. කෙනෙක්ගේ හැකියාවට අත දුන්නු, ඒ හැකියාව අගය කරපු ඔහු තරම් නිහතමානී පුද්ගලයෙක් තවත් මට මේ ලෝකයේදී හමු වෙලා නෑ. ඔහුගේ ඉගැන්වීම් හැකියාව වචනයෙන් කියල නිම කරන්න බැරි දෙයක්. හරිම සැහැල්ලුවෙන් කරපු ඒ ඉගැන්වීම් අපේ හිත් වලට හොඳින් කා වැදුනා. ඊටත් වඩා කරපු විහිළු. පංතියේ කෙනෙක්ට විහිළුවෙන් කතා කරත් ආයෙත් ඒ වගේ හඬක්, ඇමතුමක් අපේ දෙසවනට ලඟා වෙන්නේ නම් නැති තරම්.

පින්තු ගුරුතුමන්ගේ ගුරු හරුකම් මම ලැබුවේ 2007 වසරේ මාර්තු මාසයේ 26 වෙනිදා ඉඳන්. ඔහු තමයි මා ඇතුලත්ව හිටි අපේ ආයතනයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ සම්බන්ධීකාරක වුණේ. මම වැරදි නම් නිවැරදි කරන්න. එදා ඉඳන් මේ දක්වාම දැඩි මිත්‍රත්වයක් වගේම ගුරු භක්තියක් අපේ හිත් වල ඔහු පිළිබඳව තිබුණා.

සමහරු ඔහුට තිත්ත කුණුහරුපෙන් හොඳටෝම බැන්නා ඔහු නැති තැනදී. ඒත් අද ඒ අය දුක් වෙනවා නම් ඒ කිඹුල් කඳුලක් බවත් මතක් කරන්න ඕනෙ. ඒ අයම සමහර විට ඔහුගේ අවමංගල්‍ය මොහොතට සහභාගී වෙලා කන පැලෙන්න සුරාවෙන් සතුටු වේවි රෑ පුරාවටම. මොකද ඒ අයගේ හිත ඇතුලේ රැඳිලා තියෙන සංතෝසය නිසාවෙන්. ඔහුගේ වියෝවෙන් සතුටු වෙන පිරිසක් ඉන්නවා නම් ඒ ඔහුගෙන් බැනුම් අහපු හරි, සමච්චලයට ලක් වුණ හරි පිරිසක්ම විය යුතුයි. මොකද පින්තු ගුරුතුමන් ගුරුවරයෙක් බව ඔවුන් අමතක කරලා වැඩ කරපු නිසා.

මම මේ ලිපිය ලියන්න හිතුවේ ඊයේ රාත්‍රියේදී. මේ ගැන අළුතින්ම ලිපියක් ලියන්න හිතුවේ ඔයාල හැමෝටම ගුරු භක්තිය ගැන කියන්න හිතාගෙනයි. ඒත් අද මේ වගේ විපතක් ඔහුට සිද්ධ වේවී කියලා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ.

අද, ඒ කියන්නේ 2010.07.25 වන දිනයේදී මගේ උපාධියේ අවසාන වාරයේ අවසාන පංතිය පැවතුනා. ඒ වේලාවේදී අපිට උගන්වමින් සිටි ගුරුතුමන්ට හදිසි පණිවිඩයක් ලැබුණා පින්තු සර්ව රෝහල්ගත කරලා කියලා. අද ගෙදර ආවමත් මගේ තාත්තා ඔහු ගැන අහම්බෙන් වගේ ඇහුවා "දැන් පින්තු සර් ඔයාලට උගන්වනවද?" කියලා. එහෙම කාලය සුපුරුදු විදියට ගත වුණා කියමුකෝ. අද හවස 8 ට විතර මගේම තවත් යාළුවෙක්ගෙනුයි ඔහුගේ වියෝව ගැන දැන ගත්තේ. දරා ගන්න බැරි දුකක් දැනුණා ඒ මොහොතේ.

ඉපදුණු හැමෝටම අනිවාර්යෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන මරණයේ අත්දැකීමත් අවසානයේදී ඔහු අපිට බ්ලොගයෙන් නොකීවත් කියා පෑවා. මේ පොහොය දවසක්. ඇසළ පුන් පොහෝ දිනය. ඒ දිනයේදීම පින්තු ගුරු පියාණන් වාසනාවන්ත අවසානයකට මුහුණ දුන්නා කියලා හිතන්න පුළුවන්. ඒත් ඒ වියෝව මින් මතුවට පිරිමහන්න කිසි කෙනෙක්ට හැකි වෙයිදෝ කියලා සැකයක් තියෙනවා. ඔහුගෙන් තොරතුරු තාක්ෂණ දැනුම උකහා නොගත් අයෙක් ඉන්නවා නම් අපේ ආයතනයේම, ඒක හරිම අවාසනාවක්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ගුරුවරුන්ට අපි දෙවි වරු වගේ සැලකිය යුතු බවයි. අපිට වඩා අඩු දැනුමක් තිබුණත් ඒ ගුරුවරයෙක්ය කියලා හිතලා දැනුම අපේ දිහාට ඇද ගත යුතුයි. ගුරුවරයෙක්ට අපිට කරන්න පුළුවන් හොඳම ගරු කිරීම ඔහුගේ හෝ ඇයගේ උස මහත, කැත ලස්සන, දැනුමේ ප්‍රමාණය ගැන මනින්නේ නැතිව, ඔවුන් අපිට බැන්නත්, ගැහුවත්, අවවාද කරත්, අපේ දර දඬු කම අත හැරල ඔවුන්ගෙන් ඉගෙන ගෙන ඔවුනටත් වඩා දැනුමෙන් ඉහල තත්වයකට පත් වීමයි. ඒ දේ කළ දාට ගුරුවරයෙක්ට තියෙන අපේ ණයගැති බාවයෙන් නිදහස් වෙන්න අපට ඉඩක් ලැබේවි.

Sunday, July 25, 2010

කාලාන්තරයක් මුළුල්ලේ ඔයාලා හමුවට නවමු බ්ලොගයකින් සපැමිනි නමක් තමයි තම තම නැණ පමණින් කියන්නේ. ජීවිතේ අත්දැකීම් වගේම දැනුම් සම්භාරයක පුරුකක් බඳු වූ ඒ බ්ලොගය ගැන විස්තරයක් කීමට නෙවෙයි අද මම මේ ලිපිය ගොඩක් කාලෙකට පස්සේ මගේ බ්ලොගයේ පල කරන්නේ. හිතේ සඟවා ගත්තු ලොකු දුකක් වගේම වේදනාවකුත් එක්කයි.

සමහර විට මේ මාතෘකාව දුටු සැනින් ඔයාලගේ හිතේ ඇති වුණ සැකය වගේම හැඟීම මොකක්ද කියලා දැනටමත් හිතා ගන්න බෑ මට.

තම තම නැණ පමණින් බ්ලොගයත් සමග එකතු වෙලා හිටි ඔයාලා හැම දෙනාටම කිව යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ නම්, ඒ බ්ලොගය මින් මතුවට අළුත් ලිපි පෙළකින් ජීවමාන නොවෙන නිසා. මින් මනතට කවමදාකත් ඒ ලිපි පෙළෙහිත්, බ්ලොගයෙ
හිත් නිහඬතාවක් රැඳිලා තියේවි සදහටම.

මේ බ්ලොගයේ හිමිකරු වන මාගේ ගුරු භවතෙකු වන හා ජීවිතයට අත්දැකීම් සම්භාරයක් පුරවාලූ ඔහු, හදිසියේම අද දින, ඒ කියන්නේ 2010.07.25 දින, අප අතරින් සමු ගෙන ගොස් ඇති බව කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. ඔහුගේ නැණැස මින් මතු කිසි දිනකදී අපි ඔහුව ආමන්ත්‍රණය කළ නමින් අපට ආමන්ත්‍රණය කර අසා දැ
දැන ගන්නට ලැබෙන්නේ නම් නෑ.

ඔහු ඔහුගේ අනාගතය මනැසින් දුටුවාදෝ කියලා ඔහුගේ බ්ලොගයේ අවසන් ලිපිය කියවලා තේරුම් ගන්න. තම තම නැණ පමණින් - අවසන් ලිපිය


ඒත් අද, කාලය ඒ හැම දෙය
ටම හරස් වෙලා. සංසාරයේදී ඔහු අප හා ගත කළ කාලය සීමා වෙලා.

ගුරු පියාණෙනි...
ඔබට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඒත් ඉන් පෙර නැවතත් අපට සිප් සතර ඉගැන්වීමට මේ සසරේදී අප හා එක් වන්න.

Thursday, July 15, 2010

මම ඔයාල හම්බ වෙන්න ටික දවසකින් මේ ආයෙත් එන්නේ. ඒත් තවත් අළුත් දෙයක් කියන්න හිතන්. ඇත්තෙන්ම අළුත්ම දෙයක් නෙවෙයි. කලින් කියපු දෙයක ඉතිරිය තමයි මේකෙන් කියන්න තියෙන්නේ. මොකද කලින් කතාව මතු සම්බන්ධ වෙන්නේ මේ ලිපියත් එක්ක කීවොත් වඩා නිවැරදියි.

මම ඔයාලට කලින් වතාවකදි ලිපියකින් කිව්වා මතකද මගේ හොඳම යාළුවෙක් කාලෙකට පස්සේ උත්සවයකදී සමහර විට මත්පැන් පානය කරන්න පුළුවන් කියලා. සමහර විට කරන්න ඉඩක් නොලැබෙන්නත් පුළුවන් අවස්ථාවෙ හැටියට. ඒත් ඉතින් කිසිම විශ්වාසයක් නැහැනේ. මොකද මම එතන ඉන්නෙ නැති නිසා.

ඔන්න ඉතින් ඒ දවස අද හෙටම උදා වෙනවා. යාළුවෙක්ව සිද්ධ වෙන්න යන වරදකින් ඈත් කරන්න තියෙන අවස්ථාවක් මට මග හැරෙන්නයි යන්නේ. ඒ මොකද යාළුවගේ තියෙන හිතුවක්කාර හැසිරීම ම තමයි.

ඕක ගැන මම ආයෙත් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. ඒත් ආයෙමත් වැඩක් වුණේ නෑ. අන්තිමට මට ආයෙමත් කන පුරා අහ ගන්නත් වේවිදෝ මන්දා ඔය නිසා. ඇත්තෙන්ම මම ඉල්ලීම් කරනව ඒ දේ නොකර ඉන්න බැරි කමක් නෑ නේද කියලා. ඒත් ඒ ගැන කතා කරන එකටත් දැන් තහනම් නියෝග පනවලා. මොනා කරන්නද ඉතින්.

මිනිස්සුන්ගේ යහපත ගැන හොයන, මිනිස්සුන්ට හරි මාර්ගයක් පෙන්නන්න උත්සාහ කරන අපි වගේ අයට හොඳ පාඩම් මේවා. ඊටත් වඩා ඒ වගේ උත්සාහයක් අසාර්ථක වුණාම හිතට දැනෙන දුක නම් කියලා වැඩක් නෑ. ඔයාලත් උත්සාහ කරලා බලන්න ඔයාලගෙ ජීවිතේ හොඳම යාළුවෙක්ව වරදකින් ගලව ගන්න. බැරි වෙද්දී සතුටුද නැද්ද කියලත් තේරුම් යාවි.

මට තවමත් උත්තරයක් නොලැබුණු ප්‍රශ්ණ තමා බොන්නම ඕනෙද යාළුකම්, නම්බුව, තත්ත්වය, හොඳ නම පවත්වගෙන යන්න වගේම බිව්වොත් විතරමද කොල්ලෙක් වෙන්නෙ? කියලා. පුළුවන් නම් මේ ප්‍රශ්න වලට ඔයාලත උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම අර යාළුවාව බොන වරදින් ගලව ගන්න විදියකුත් යෝජනා කරන්න පුළුවන්.

Sunday, July 11, 2010

ලෝකෙට පේන්න එක දෙයකුයි ඇත්ත ජීවිතේදි තව දෙයකුයි කරන අය අපිට ඕනෙ තරම් ජීවිතේදි මුණ ගැහෙනවා නෙ. මේ දෙයත් ඒ වගේම එකක් තමයි. ඒත් ඉතින් මේකෙන් අපහසුතාවෙට වගේම කරදරේට පත් වෙන්නේ මිනිස්සු නම් නෙවෙයි. සත්තු. මිනිස්සුත් කරදරේට පත් වෙන අවස්ථාවලුත් නැතුවාම නෙවෙයි. ඕනෙ තරම් අනුන්ගේ පව් වලට කර ගහන්න සිද්ධ වෙනවා ජීවිත කාලය තුලදී.

බළල්ලු කියන්නේ අපේ ජීවිත වලට කිට්ටු සත්තු ජාතියක් නේ. සුන්ඛයන් වගේම කිට්ටු ගෙවල් වල ඇති කරන සුරතල් සත්තු ජාතියක් නේ. ඔන්න ඉතින් අපේ ගෙදරත් බළල්ලු ඉන්නවා තුන් දෙනෙක්ම. අපේම එවුන් නම් නෙවෙයි. පිටින් ආවිත් ලැගුම් අරන් ඉන්න අය. අපේම කියලා ඉතින් අපි සත්තු හදන්නේ නැත්තේ කරදර වැඩි නිසාම තමා. ඒත් ඉතින් වෙලා තියෙන්නේත් වදයක්ම තමයි. මොකද ඉතින් කන්න බොන්න දෙන්න එහෙමත් එපැයි. එකෙක් නැති වෙද්දී තවත් එකෙක් කොහෙන් හරි එකතු වෙනවා. හරියට දම්වැලක් වගේ.

ඔන්න ඉතින් ඔය වගේ අල්ලපු ගෙදරින් අපේ ගෙදරට පුරුදු වුණ අල්ලපු ගෙදර පූසෙක් ඉන්නවා. මගේ මේ ලිපියේ අගදී උගේ පිංතූරයක් දාන්නම්කෝ. ඔන්න ඉතින් ඔය සතාත් අපේ ගෙදර කෑමට පුරුදු වෙලා වැඩිපුරම කන්න බොන්න එන්නෙත් අපේ ගෙදරට. කොහොමෙන් කොහොම හරි ඒ පූසා අපේ ගෙදරින් ගුටියක් කාලා හරි ගොඩ කාලයක් අපේ ගෙදරෑන්නේ නැතුව හිටියා. ඒ හින්දා හිටියේ අයිති ගෙදර, ඒ කියන්නේ අල්ලපු ගෙදරමයි.

ඔන්න ඉතින් මම මේ ලඟකදි දැක්කා අපේ ගෙදර ඇවිත් ඉන්නවා. හැබැයි කලින් හිටපු පූසා නෙවෙයි. හොඳටම වැහැරිලා, ලෙඩ වෙලා. කොටින්ම අවිද ගන්නවත් ඇඟ උස්සන් ඉන්න පන නෑ. ඒ තරමටම අල්ලපු ගෙදර අය ඌව ආදරෙන් බලා ගෙන. අපි හිතුවා ඉතින් මැරෙන්න කිට්ටු වෙලාආදරේ වැඩියෙන් තියෙන තැනට ආයෙත් මතක් වෙලා ඇවිල්ලාය කියලා. අපේ ගෙදර හැමෝම දුකෙන් හිටියේ ඌව දැකලා.

කන්න බොන්න දෙන දෙයක් කා ගන්නවත් පණ නැති තරම්. ඒත පොඩ්ඩ පොඩ්ඩ හරි කෑවා බිව්වා. ඒකෙන් ටිකක් පණ ගහලා ආවාය කියමුකෝ. ඔන්න ඉතින් ආයෙත් ටික දවසකට ඌ අල්ලපු ගෙදර හිටියා. මාසෙකින් විතර ආයෙත් අපේ ගෙදර අර විදියෙන්ම ඉන්නවා. අල්ලපු ගෙදර අයගේ පූසා නිසා ඉතින් එයාලට දැන්නුවා බෙහෙත අරන් දෙන්න කියලා. ඒත් එයාලගෙන් ඒකට හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මොකද එයාලට ඒ තරමටම වෙලාවක් නෑ තමන්ගේ හුරතලේට ඇති කරපු සතාට මරණාසන්න මොහොතෙදි බෙහෙතක් අරන් දෙන්න. මොකද බණ භාවනා වලට කාලය යොදවන්න තියෙන නිසා.

ඔන්න ඕක තමයි කතාව. මිනිස්සු රටට ලෝකයට පේන්න කොච්චර දේවල් පෙන්නුවත් අභ්‍යන්තරේ කිසිම හොඳක් නෑ. හැම දෙයක්ම පිට පොත්තට සීමා වෙලා. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියල කියන කතාව හරිම සාධාරණ වගේම මෙතෙන්ට හොඳට ගැලපෙන එකක්.

මේ තියෙන්නේ මම මගේ ජංගම දුරකතනෙන් ඊයේ (2010-07-10) ගත්තු පිංතූරයක් ඒ පූසා අපේ ගෙදර ඇවිත් ඉද්දී.


Saturday, July 10, 2010

මම, අපි ඔයාල හැම දෙනාම මම හිතන හැටියට දවසට එක වතාවක් හරි ජංගම දුරකතනයෙන් කතා කරනවා ඇති. ඒ විතරක් නෙවෙයි සමහර අය නම් පැය ගණන් මල් නෙලනවත් ඇති බාල්දි පිරෙන්නම. දැන් තියෙන දුරකතන වලින් ඉතින් ඇමතුම් ගන්න විතරක් යැ පුළුවන්? කැමරා පහසුකම වගේම ගීත අහන්නත් පුළුවන් නෙව.

හරි ඒ කතාව මෙතෙන්ට අදාල වෙන්නෙ කොහොමද කියලා මම දැන් කියන්නම්කෝ. මම සාමාන්‍යයෙන් දවසට එක පාරක් හරි ඇඟ පත සෝදා ගන්නවා නාන කාමරයට ගිහින්. ඔයාලත් අඩුම ගානෙ එක පාරක් හරි දවසකට ඕක අස්සට රිංගනවා ඇති අනිවාර්යෙන්ම. ඒ විතරක් නෙවෙයි දොර ලඟ පෝලිමකුත් හදනව ඇති.

ඔන්න ඔය නාන වෙලාවට හරි ඇඟ පත සෝදා ගන්න වෙලාවට මම මගේ ජංගම දුරකතනය නාන කාමරයට ගෙනියනවා (හොරෙන් මල් කඩන්න නෙවෙයි ඕං). ඒ විතරක් නෙවෙයි නිදහසේ නාන ගමන් සිංදුත් අහනවා. මොකද නිදහසේ
සිංදුවක්වත් අහන්න ලැබෙන්නෙ ඔය වගේ වෙලාවට නේ.

සාමාන්‍යයෙන් ඉතින් සිංදුවක් විනාඩි 3 ත් 6 ත් අතර කාලයකට සීමා වෙනව. සිංහල නම් විනාඩි 3 ක් 4 ක් වගේ. හින්දි නම් ඉතින් විනා
ඩි 6 පහු කරන වෙලාවලුත් තියෙනවා. නාන අතර තුරේ සිංදු අහන එක නෙවෙයි මගේ අභියෝගය. නාද්දි අහන විනාඩි පහක සිංදුවක් පටන් ගනිද්දී නාන්න පටන් අරගෙන, ඒ සිංදුව අවසානයේදීම අපේ නාන වැඩෙත් අහවර කරන එක.

ඔයාලට නිකන් විකාරයක් වගේ දැනේවි මේක නම්. ඒත් මේක කරන්න පුළුවන්. අපි නාන්න, ඇඟ පත සෝදන්න ගත කරන කාලය විනා
ඩි පහකට සීමා කරන්න පුළුවන්ද කියන අභියෝගය මම නම් ජය ගත්තා. ඒකට උත්තේජකයක් විදියටයි මම සිංදු අහන ගමන් ඒ වැඩේ කරන්න කීවේ. එතකොට නොදැනීම ඒ වැඩේට ජවයකුත් සතුටකුත් ලැබෙනව නේ.

මේ වැඩෙන් අපි දවසකට නාන කාමරයේදී නාස්ති කරන වතුර ගැලුම් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. සාමාන්‍ය නෑමකට හරි ඇඟ සේදුමකට යන්නේ වතුර ගැලුම් 40 ක් විතර. ඒත් අපි නාද්දි වතුර මීටරේ නගිනවා වගෙම ටැංකිත් හිස් වෙනව නේ.

ඔන්න ඕකයි මගෙන් ඔයාලට ලැබෙන අභියෝගය විනාඩි පහකින් කරන්න වෙන. සිංදුවක් ඒකට උදව් වේවි. කොහොමද වැඩේ? මුළු ලෝකෙටම සෙතක් නේද වෙන්නේ?

Friday, July 9, 2010

මේක අළුත්ම අදහසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් කවුරු හරි ඉදිරිපත් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ දෙයක අවශ්‍යතාවය පෙළක් වෙලාවට හැමෝටම වගේ ඇති වෙන්න ඇති. මොකද පාසල් කාලෙත් ඉවර නිසා ආයෙත් ඉගෙන ගන්න නොමිලේම අවස්ථාවක් උදා වෙන්නෙ ඉතින් මේ වගේ එකකින්ම නේ. ඔන්න ඉතින් ඔහොම කියලා මම මේ ආරම්භය ගන්න යන්නේ තවත් අළුත් ලිපියකට.

සින්ඩියේ වගේම ලාංකීය සිතුවිලි වලත් කීප දෙනෙක්ම පාඩම් මාලාවන් සිංහලෙන් ඉදිරිපත් කරනවනේ. ඔයාලත් ඒ පාඩම් වලට සහභාගී වෙන්න ඇති. ඇයි හත් ඉලව්වෙ මමත් පාඩමක් කොරනව නේ... මතකයි නේද මොකද්ද කියලා? ඔන්න ඉතින් මගේ පාඩම් මා
ලාවට හීනි ප්‍රචාරණයකුත් මේකෙන්ම දුන්න.

හරි හරි මම මේ කියන්නේ තම තමන්ගේ බ්ලොග් වලට ප්‍රචාරණයක් දෙන හැටියක් ගැන නෙවෙයි. මම මේ කියන්නේ ඔය තොරතුරු තාක්ෂණය ගැන පාඩම් මාලාවන් ඉදිරිපත් කරලා බ්ලොග් පිටු ලියන හැමෝටමයි. නරකද අපි කට්ටිය එකතු වෙලා අලුත්ම සින්ඩියක් පටන් ගත්තොත් තොරතුරු තාක්ෂණය උගන්වන? අළුත් ක්‍රමලේඛ බාසාවල් ගැන නම් කීයෙන් කී දෙනෙක් නම් ලිපි පල කරනවද. ඒ ලිපි එකතු කරලා, ඒ ලිපිත් යාවත්කාලීන වෙන සින්ඩියක අදහසක් අපේ සින්ඩිය කරන පිරිසට අදහසක් දැම්මොත් නරකද කියලත් හිතෙනවා. එතකොට ඉතින් ඔය තොරතුරු තාක්ෂණ පීඨයකට පය ගැහුවා වගේ තමා. තියෙන ලේසිය තමයි ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් වියදමක් නැති මාධ්‍යයක් වීම. අනික ඉතින් මේ වගේ අතත්‍ය වෙබ් පරිසරයකදි ඉගෙන ගන්න එකේ පොඩි ගැම්මකුත් තියෙනව නේ.

හැබැයි මේ උගන්වන බ්ලොග් ලිපි පළ කරන්න ඕනෙ සිංහලෙන් විතරමයි. අපිට අන්තර්ජාලෙනුත් ඇති පදම
ඉංග්‍රීසි ලිපි හොයා ගන්න පුළුවන් නේ. මේ වගේ දෙයක් ඇරඹුණොත් ඉතින් මව් භසාවෙන්ම ක්‍රමලේඛ පාඩම් කියවල සරලව ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි තව නීතියක් තියෙනවා. ලිපි සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෙ. කොටින්ම ජාවා ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඉගෙන ගන්න ලියැවෙන බ්ලොග් ලිපිය තොත්ත බබෙක්ටත් තේරුම් අරන් ඉගෙන ගන්න පුළුවන් විදියටම කෙරෙනවා නම් පංකාදුයි.

මේ වැඩේට කැමති අකැමැති කවුරුද කියලත් දැන ගන්න කැමතියි. "අතත්‍ය තොරතුරු තාක්ෂණ පීඨය" ක් අපි හැමෝම එකතු වෙලා පටන් ගනිමුද?
මේ ලිපිය ලියන්නේ සමහර අය කරන කියන දෙයක් තමයි. සමහරුන්ට නම් මේ වගේ දේවල් ලොකු හපන් කම් විදියට සලකන්නත් පුළුවන්. ඒත් ඉතින් මේ දේවල් නිසා අසරණ වෙන වගේම රැවටීමට පත් වෙන කොට්ඨාශයකුත් ඉන්නවා.

මාතෘකාවෙ හැටියට නම් ඉතින් කියන්න යන්නෙ අසම්මත සම්බන්ධතාවක් ගැන තමයි. මේකත් මම ආශ්‍රය කරන අයගෙන් මම ලබපු අහල තියෙන අත්දැකීමක් මිසක් මගේම අත්දැකීමක් නම් නෙවෙයි. මොකද ඉතින් මට ඔය වගේ දේවල් කරලා චරිතයේ කැළලක් ඇති කර ගන්න ඕනෙ නැති නිසා.

මේක කියවන බොහෝමයක් දෙනාගෙන් පිරිමි පාර්ශවයේ අයට පෙම්වතියන් ඇති. එයිනුත් පිරිසක් තමන්ගේ පෙම්වතියට ලොකු ආදරයක් දක්වනවා වගේම රැකවරණයකුත් සලසනවා යම් විදියකට. ඒ විතරක්ම නෙවෙයි හිතකින්වත් වරදක්කරන්න හිතන්නෙ නැති වෙන්නත් පුළුවන්. මම මේ කිව්වේ, වෙන කාන්තාවන් පස්සේ නොයන දෙයක් ගැන.

ඒත් ඉතින් පෙම්වතියො ඉන්න තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ පෙම්වතියගෙන් හැම දේම බලාපොරොත්තු වෙන්න බැරි. බලාපොරොත්තු වුණත් ඒවා ඒ විදියටම නොලැබීම නිසා හරි, පොඩ්ඩක්වත් නොලැබී යාම නිසා ම හරි, ඉල්ලන්නත් බැරි නිසා හෝ වෙන්න පුළුවන්. ඒ අය ඉතින් වැරදි මාර්ග වලින් සතුට ලබන්න පෙළඹෙන උදවිය බොහෝමයක් වෙලාවට. ඔය හේතුව නිසා තමන්ගේ ඇඟේ පතේ හිරි ඇර ගැනිමට හරි, ආශාවන් ඉශ්ට කර ගන්නය කියලා වෙනත් කාන්තාවො පස්සේ යාම අනිවාර්යෙන්ම මේ සමාජයේ සිද්ධ වෙන දෙයක්. ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට වලින් දකින් හැම දෙයක් ම වගේ සැබෑ ජීවිතේදිත් සිද්ධ වෙන බව දැන ගන්න ඕනෙ.

මම මේ ලිපියෙන් කියන්නේ තමන්ගේම පෙම්වතියක් ඉද්දී වෙනත් කෙනෙකුට ආදරය කිරීමවත්, වෙන අයෙක් එක්ක ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම ම නෙවෙයි. ඒකත් අදාල කර ගන්න පුළුවන්. ඒත් මේක හුදෙක්ම ලිංගික අවශ්‍යතා සහ ආශාවන් ඉශ්ට කර ගැනීමේ අරමුණින් කාන්තාවන් එක්ක එකතු වෙන කොට්ඨාසයක් ගැනයි. කොටින්ම ගණිකාවන් මුණ ගැහෙන එක හරි, නොමිලේ ඒ වගේ අවශ්‍යතා සපුරන කාන්තාවන් පවා අද කාලෙදි නම් මුහුණු පොතිනුත් හොයා ගන්න පුළුවන් නේ.

ඔය වගේ සිද්ධියක් මට මේ ලඟකදීත් අහන්න ලැබුණා. ඉතින් ඒ කෙනා ආදරේ කරන කෙල්ල ඉතින් ලොකු රැවටීමකට පත්වෙන අවස්ථාවක් ඉතින් ඇස් පනා පිටම තියෙනවා. කවදා හරි විවාහ වුණත් කොල්ලන්ගේ ආශාවන් සපුරා ගැනීමේ තරගයෙන් කොල්ලන් ඈත් නොවේවි කියලා හිතන්න අමාරුයි මේ වගේ දේවල් දකිද්දී.

කෙනෙක්ට තමන්ගේ පෙම්වතියගෙන් නැවතිලා ඉතිරි හැම දෙයක්ම එයාගෙන්ම බලාපොරොත්තු වෙන්න බැරි තරමටම පිරිමි සමාජය පිරිහිලා තියෙන්නේ ඇයිද කියලා වෙලාවකට කලකිරීමකුත් ඇති වෙනවා. ඇයි මනුස්සයෙක්ට සාධාරණ වෙන්න බැරි? ඇයි මනුස්සයෙක්ට හොර බොරු වංචාවකින් තොරව ජීවත් වෙන්න බැරි? ඕවා නොකරන පිරිමි නපුංසක ගණයෙද? ඇත්තෙන්ම වැරදි නොකරන හෝ, ආශාවන් අත් හදා නොබලන පිරිමි, පිරිමි නෙවෙයිද? ඔය මම වගේ කෙනෙක් අහන ප්‍රශ්න ටිකක්. මේක කොල්ලන්ට විතරක් ම අදාල කර ගන්නත් බෑ. මේක කෙල්ලන්ටත් අදාලයි. ඒත් කොල්ලන්ට කෙල්ලන්ට වඩා නිදහසකුත්, පරිස්සම් කර ගන්න නම්බුවකුත් නැති නිසා ලං කර ගන්න අවදානමත් වැඩියි.

කොල්ලො තෝර ගන්න කෙල්ලන්ටත්, කෙල්ලන්ට ආදරේ කරන, නොකරන කොල්ලන්ටත් හිතන්න දෙයක් ඔන්න. ඇයි අපි ජීවිතේ නාස්ති කර ගෙන ජීවත් වෙන්නේ?

Wednesday, July 7, 2010

අද දවස ඉතින් ජෝතිපාලයන් ගැන වැඩිපුර කතා වෙන දවසක් නේ. මේ ලිපිය ප්‍රවීණ ගායක අභාවප්‍රාප්ත ජෝතිපාල ශූරීන් ගැන නම් නෙවෙයි ඉතින්. ඒත් ජෝතිපාලයන්ගේ ගීත ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ නෙ. මොකද තවමත් ඒ ගීත වල වටිනාකම කාට කාටත් දැනෙන නිසා. විශේෂයෙන්ම මීට දශක හතර පහකට උඩ ඉඳන් තාමත් ජීවත් වෙන වැඩිහිටි පරම්පරාවෙ ඈයො එහෙම.

මගේ ලිපියේ මාතෘකාව නම් එච්චර හොඳ නැතුවත් ඇති. ඒ හින්දාම කවුරුත් මේක කියවාවි. ඒක එහෙම වුනාට මේ ලිපිය ලියන්නේ ඔහුට මඩ ප්‍රහාරයක් එල්ල කරන්න නම් නෙවෙයි ඉතින්. අද කාලේ සංගීතය ගැන කියන්න තමයි.

අද කාලෙ ඉන්න ගොඩක් අය ඉතින් ඔය කොච්චර ප්‍රසිද්ධ වුනත් පරණ සින්දු මුමුණන්නේ අඩුවෙන් නේ. දැන් කාලෙ යන සංගීත රැල්ල අමුතුම එකක් නේ. දැන් සංගීතෙට අළුතින් තාක්ෂණයත් එකතු වෙලා නිසා අමුතුම පන්නෙක ආරක් තමා ගීත වලටත් ලැබිලා තියෙන්නේ. පෙළක් සින්දු නම් කියලා වැඩක් නැති තරමට ම ලස්සනයි. ඒත් සමහර ඒවා නම් කකුල් වලට විතරයි. සමහර ඒවා වල සද්දේ විතරයි. නාන කාමර ගායක ගායිකාවො නම් අද කාලෙ වැහි වැහලා දැන් හැම තැනම ඉන්නවා. ඔහොම කීවට මට නම් එච්චර හොඳට සින්දු ගායනා කරන්න අමාරුයි. ඒත් සමස්ත ලංකා කණ්ඩායම් ගායන තරඟ වලටත් ගිහින් තියෙනවා. අද කාලෙ ඉන්න බොහෝමයක් ගායනා කරනවට වඩා කියනව නේ. පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරපු සංගීතය සජීවීව පෙන්නන්න බැරි වුණොත් ඉතින් හෙළුව ලෝකෙටම පෙන්නුවා වගේ තමයි.

ඉතින් ඔන්න ඔහොම අද කාලේ සංගීතය ගැන ලොකු පම්පෝරියකුත් මම ගැහුවාය කියමුකෝ. ජෝතිපාල ශූරීන්ගේ ගීත අද කාලෙ තරුණ තරුණියො මුමුණන්නේ අඩුවෙන් නේ. ඒත් ඒ ගීතම වෙන නව තාලෙ කවුරු හරි නැත්නම් කණ්ඩායමක් ගැයුවොත් නම් සුපර් හිට් වෙන තරම් ප්‍රසිද්ධ වෙනවා. ඒ ඇයිද කියලා තමා හිතා ගන්න බැරි. එක අතකට ජෝතිපාලයන්ගේ කටහඬට දැන් කාලෙ ඉන්න ඈයො අකමැති ඇති. නැත්නම් ඉතින් අර උශ්නත්වෙ මනින ඒකකයේ කට්ටිය ගායනා කරාම හැමෝම නිතර මුමුණන්න පටන් ගන්න එකටත් හේතුවක් එපැයි නේද?

පරිගණක තාක්ෂණයෙන් ඉතින් ස්වර ස්ථාන හරි ගස්සවලා ගායනා කරන හින්දා හොඳයි ඉතින්. ඒත් ඉතින් දන්නෝ දනිත් වෙස් මූණ යට තියෙන්නේ මොනාද කියලා.

සුපර් ස්ටාර්ලා ගායනා කරාම ඔක්කෝම පරණ ගීත අති සාර්ථකව නිතර නිතර ගුවන් විදුලි වල විකාශය වුණා. ඒත් ඒ තරඟකරුවන් අති දක්ෂ ගායන හැකියාවන් තියෙන උදවිය වගේම ගීතයක ශාස්ත්‍රීය පසුබිමට හානි නොවෙන්න ගයන උදවිය. අනික ඒ අය ඒ ගීත ගැයුවේ සජීවීව නිර්මිත සංගීතයට. ඒ නිසා තවත් ලස්සනට ඒ ගීත ඇහුනා අපිට.

ජෝතිපාලයන් ජීවත් වුණ යුගයට සාපේක්ෂව අද කාලේ පටිගත කිරීමේ තාක්ෂණයත්, තත්ත්වයත් දියුණු වෙලා. ඒ නිසා අද ඔහු ජීවත්ව හිටියා නම් ඒ කටහඬ යොදා ගෙන අළුතින් නිර්මාණය වෙන ගීත කොච්චර නම් ප්‍රසිද්ධ වේවිද... ඔන්න හිතන්න දෙයක්. පරණ ගීත තවමත් ලස්සනයි නියම ගායක ගායිකාවොම ගයද්දී. ඒත් රිමික්ස් කරලා අද කාලෙ අය ගයද්දී ඊටත් වඩා ප්‍රසිද්ධයි. සංගීතයට මොකද වෙලා තියෙන්නේ කියලා හිතන්න දෙයක් ඉතුරු වේවිදෝ මන්දා...
මේ මාතෘකාවම යටතේ මම මගේ කවි බ්ල්ගයේත් කවි පංතියක් දැම්මා වගේ මතකයි. මේක කියවන අතර තුරේදී ඒකත් කියවන්නකෝ. මොකද මේ ලිපිය මම ලියන්නේ ඔයාලා හැමෝම දන්න දෙපැයක මුලින්ම ගිය ටෙලි නාට්‍යයක් ගැන. මාත් හරිම ආසාවෙන් බැලුව එකක් ඒ දවස් වල.

නමින්ම තේරෙනව ඇති නේ මම මේ මොන නාට්‍යය ගැනද කියන්නෙ කියලා. මේ තමයි අපේ ගොන් දෙපැයේ මුල්ම නාට්‍යය, මහ ගෙදර. මමත් මේක නම් දෙදහස් ගානක් හරි එක් දහස් ගානක් හරි වෙනකන් බැලුව වගේ මතකයි. අවසානෙ මොනා වෙනවද කියල දන්නෙත් නෑ.

මම දැන් නම් ඉතින් රූපවාහිණිය බලන්නෙ නෑ. දැන් ඉතින් ෆුල් ටයිම් පරිගණකය ඉස්සරහ තමයි. ඒත් ඉතින් මේක බලපු කාලෙ ගැනත් මතක් කරන්න එපැයි මම දැකපු දේවල්. මේව ගේ මෙගා ටෙලි මාලාවක් බලන එක ටිකක් විතර එපාම කරපු දෙයක්. මොකද ඉතින් දවස් පහේම යනව නේ. ඒත් ඉතින් එක දවසක් හරි බැලුවේ නැතත් අනිත් ඒවා වලින් නොබලපු දවස ගැන හිත ගන්න පුළුවන්. මේක ඉතින් ඉන්දියානු ටෙලි නාට්‍යයක් නිසා කවුරුත් බෙල්ල කඩන් බැලුව. ඒත මම නම් හිතන්නේ නෑ තාමත් ඒක විකාශනය වෙනවා නම් බලන්වා ඇති කියලා වැඩි පිරිසක්. මගෙ හිතේ වෙලාවලුත් වෙනස් කරලද කොහෙද.

මේකෙ තියෙන ලොකුම විහිළුව තමා ඒකෙ ඉන්න වයසක ආච්චි පරම්පරා පහක් හයක් විතරම ජීවත් වෙඡ්ඡ එක. මගෙ හිතේ වයස අවුරූ 500 ක් විතර ඇති. නැත්නම් ආලෝක වර්ශයක් වෙන්නත් පුළුවන්. කොටෛන්ම ඉතින් මහ ගෙදර ඇතුලේ පවුල් ඉන්නවා හැට හුටාහමාරක් විතර. මම හිතන්නේ ඒක හෝටලයක්ද කොහෙද. ඒ විතරක් නෙවෙයි ඉතින්, ඒ ගෙදර කට්ටිය ගෙදර ඉද්දිත් අඳින්නේ මගුල් ඇඳුම්. මගුල් කිව්වේ විකාර කියන අදහසෙන් නෙවෙයි. විවාහ මංගල උත්සව වලට අඳින ඇඳුම්. කොටින්ම නිදා ගන්නෙත් ඒව ඇන්න්හන්. හරීම අස්වාභාවිකයි නේද?

මේ කතාවේ වැඩිපුරම තිබ්බේ පවුල් වල ප්‍රශ්න ගැන. එක්ක ප්‍රේම සබදතා බිඳ වැටීම් නැත්ත උසාවි ගානෙ රස්තියාදු වෙන ඒවා. ඒ මොකද ඉතින් විවාහත් කැඩෙනව නේ. අනිත් ලොකුම විහිලුව තමයි මැරෙන මිනිස්සු ටික කාලෙකින් නැගිටින එක. තව දෙයක් තමයි කාලෙන් කාලෙට එකම චරිතෙ පුද්ගලයන් දෙතුන් දෙනෙක්ට කරන්න සිද්ධ වෙන එක. නළු නිළියො වැඩි වෙලාද මන්දා. ඉතින් මම ඒ කාලෙ මේක හරිම ආසාවෙන් බැලුවෙ මේකෙ තිබ්බ වර්ණවත් බව නිසාත් ඒකේ ඉන්න පිරිසත් දැකුම්කළු නිසාත් දෙබස් එහෙමත් හිතට වැඩෙන ලස්සනට හඬකවලා එහෙමත් තිබුණ නිසා. මොනා වුනත් ඉන්දියාවේ දේවල් ඉතින් ලංකාවේ දේවල් වලට වඩා මෙහේ විකිනෙනවනේ.

කොහොමෙන් කොහොම හරි ඔයාලත් මේක අනිවාර්යෙන්ම බලලා ඇති අඩු ගානෙ අහම්බෙන් හරි දවසක් හරි. දැන් ඉතින් ඕවා බලා වැඩක් නැති බව තේරුම් අරන් ඉන්න නිසා හොඳයි.

Tuesday, July 6, 2010

තවත් කතාවක් තමයි මම දැනුත් කියන්න යන්නේ. මේ අත්දැකීම ඔයාලටත් අත් විඳින්න සිද්ධ වෙල ඇති. ඒත මේක ටිකක් තර්ජනාත්මක අත්දැකීමක්. මොකද මට නම් මේ අත්දැකීමට දිනපතා මුහුණ දෙන්න සිද්ධ වෙලයි තියෙන්නෙ. තේරුනා නේ? බලෙන්ම සිද්ධ වෙන තියෙන දෙයක් මිසක් සිද්ධ කර ගන්න දෙයක් නෙවෙයි. ඒ ඉතින් ආස්‍රය කරන්න වෙලා තියෙන අය හින්දා.

ඔයාලටත් රැකියාවකට ගියාම දකින්න ලැබෙන ලෝකය වෙනස්ම එකක් වගේම ආස්‍රය කරන්න ලැබෙන පිරිසත් වෙනම ම කොට්ඨාසයක්.

අකමැත්තෙන් වුණත් අට ලබන්න සිද්ධ වෙලා තියෙන ඒ දේ තමයි සිගරට් දුම් ගඳ උහුලන් ඉන්න එක. ඇත්තෙන්ම සිගරට් නොබොන කෙනෙක් ඉන්න එක රැකියා ස්ථානයක්වත් නැහැ නේ. හැබැයි ඒ දේට අවසර නොලත් ආයතනයක නම් එහෙම කරන්න බැරුව ඇති. ඒත් ඉතින් මම ඉන්න ආයතනයේ නම් එහෙම දෙයක් තවමත් නෑ. ඒ වුනාට මේ දේ සිද්ධ වෙන්නේ කවුරුත් නැති තැන් වලයඉ. සමහර විටදි ආයතනයෙන් පිටතදි. ඒක එහෙම වුනත්, ආපහු ආයතනය තුලට ආවම ඒ සිගරට් ගඳ ඉන්න අනිත් අයට ලොකු වදයක් වෙන තරමටම බලපානවා. මොකද පිටදි බිව්වට අතුලට ආවය කියලා කටේ තියෙන සිගරට් ගඳ නැති වෙලා නොයන නිසා.

ඔන්න ඔය දේ තමයි අමාරුවෙන් හරි මට වගේම තවත් අයට ඉවසගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේකෙන් හොඳට ඉන්න අපේ වගෙම අනිත් අයගේත් ජීවිත කාලය තීරණය වෙන්නත් බැරි නෑ. කොහොමටත් වැරදි කරන අයට වඩා හොඳින් ඉන්න අයගේ ජීවිත කාලය කෙටියි නේ.

අනිත් විශේෂම දේ තමයි එහෙම කෙනෙක් මගේ එහා පත්තෙන්ම ඉන්න එක. ඔන්න ඔය හේතුව නිසා ඔක්කොටම කලින් මම යාවිද දන්නෙත් නෑ. මොකද ඉතින් කරුමයක් කියලා දෙයක් තියෙනවා නම් මගේ මරණෙට හේතු වෙන ඔය දුම් අංශුවක් හරි පෙනහළු වලට රිංගලා පිළිකා කාරකයක් වෙලා පිළිකාවක් ඇති වුනොත් ඉතින් ජීවිතේම දුක් විඳලා හමාරඉ නෙව. යාළුවන්ව තරහ කරගන්නත් බැරි කමට ඉතින් කට පියාගෙන ඉන්නත් වෙලා. ඒත් ඉවසන්න බැරි කමට නොකියත් බැරි වෙලා. කවුද හරි කවුද වැරදි කියල ඔයාලත් හිතලා බලන්නකෝ.

Monday, July 5, 2010

මම මගේ ජීවිතයේ අකමැතිම දේවල් ගොඩාක් තියෙනවා. මේ දේට ඔයාලත් අකමැති ඇති. එක අතකට මේක නිසා මම පුද්ගලිකවම දුක් වුණ අවස්ථාවන් වගේම තරහ ගිය අවස්ථාවලුත් තියෙනවා.

මම මේ කියන්න යන දේ දුරකථන සම්බන්ධ දෙයක්? ඔයාලට හිතා ගන්න පුළුවන්ද එහෙම කීවම? හ්ම්ම්... මෙන්න මේකයි ඒ මම අකමැතිම දේ දුරකථන සම්බන්ධව. දුරකථනයක් ගැ
ම නෙවෙයි මේ කියන්න යන්නේ. දුරකථන ඇමතුම් සම්බන්ධවයි.

අපි තවත් කාට හරි තමන්ගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිද්දී ඒ කෙනා තවත් ඇමතුමක ඉන්නවා දකිද්දී මට නම් ටිකක් අප්සෙට් යනවා. මොකද ඉතින් ඉඳලා හිටලා හරි කාට හරි කතා කරන්න හිතුවම ඒ කෙනත් ඒ වෙලාවෙම වෙනත් දුරකථන ඇමතුමක ඉන්න එකෙන් අපි සැදී පැහැදී හිටපු කතා බහවලුත් ඒ විදියෙන්ම අපිට ඉන් පස්සට කර ගන්න බැහැ නේ.

මේක තවත් හිතට ලොකු දුකක්, අපහසුතාවක් වෙන්නේ තමන් ආදරේ කරන කොටයි. හිතන්නකෝ ඔයාලා අතරේ ආදරේ කරන කවුරු හරි ඉන්නවා නම් තමන් ආදරේ කරන කෙනාට ඇමතුමක් ගනිත්දී "Waiting ..." කියන සංඥාව දකිද්දී දුකක් වගේම තරහකුත් ඇති වෙනවද, ඇති වෙලා තියෙනවද කියලා මීට කලින්.

ඇත්තෙන්ම ඉතින් ආදරේ කරද්දි නම් කවුරුත් කැමති තමන් වෙනුවෙන්ම කැප වුණු කෙනෙක් ඉන්නවා නම් තමයි. එහෙම වුනත් සමහර වෙලාවට අර වගේ අවස්ථා වලදී ඉවසීම කියන දේ නම් සීමාවෙන් එහාටත් යනවා. මොනවා කරන්නද ඉතින්. මමත් ඉතින් පුළුවන් තරම් ඒ ඉවසීම රැක ගන්න තමයි උත්සාහ කරන්නේ.

ආදරේ කරද්දි නම් ඒ දේ නිතර සිද්ධ වුණොත් හිතේ සැක පහල වෙන්නත් පුළුවන් ඉතින්. මොකද ඉතින් ආදරේ කරන කෙනා ගැන අවිශ්වාසයක් ඇති වෙන එක එච්චර හොඳ දෙයක් නොවෙන නිසා. ඒත් ඉතින් අපේ හිත් වල ඇති වෙන සැකය, අවිශ්වාසය පෙළක් වෙලාවට නිශ්ඵල එකක් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ සහකාරයට හරි සහකාරියට හරි යාළුවෝ නෑදෑයො එහෙමත් ඉන්නවනේ. එයාලගෙන් ලැබෙන දුර ඇමතුම් වෙන්නත් පුළුවන් නේ. අනික තමයි ඒ කෙනා බෝඩිම් නිවාසයක් ඉන්නවා නම් ඉතින් තත්වය එහෙම්මම වෙන්නත් පුළුවන්. ඒ වගේමයි අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. මොකද බෝඩිමක ඉන්න හින්දා.

ඉතින් මම කියන්නේ කාටත්, තමන් අමතන්නේ කාට වුණත්, එයා වෙනත් ඇමතුමක ඉද්දී "Waiting" සංඥාව වැටුනොත්, තරහ නොගෙන, දුක් නොවී ඉවසන්න කියලායි. මොකද හිතේ තියෙන විශ්වාසය විශ්වාස කරන තරමට තමන්ට සතුටින් ඉන්න පුළුවන් කාලය වැඩි
යි. හිතෙන් මවා ගත්තු හරි, හිතා ගත්තු වැරදි වැටහීම් නිසා හරි අනිත් කෙනා ගැන වැරදි මානසිකත්වයක් ගොඩ නාගා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් රණ්ඩු සරුවල් නොවී, දුක් නොවී ඉන්න පුළුවන් ආදරේ කරද්දිත්.

මමත් හැම අතින්ම දැන් නම් ඉවසනවා ඉස්සරටත් වඩා. තරහ අරගත්තම අපිට පේන හැම දේම අපේ තරහ වැඩි වෙන දේවල් මිසක් සතුටු හිතෙන දේවල් නෙවෙයි නෙ. ඒ වගේමයි දුකේදිත්. යාළුවෙක්ට කතා කරන්න උත්සාහ ගත්තත් ඔය දේ වුණොත්, ඉවසන්න පුළුවන් නම් හොඳයි. මොකටද නිකන් ප්‍රශ්න වවා ගන්නේ. ඉවසන තරමට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි.
මම මේ කියන්න හදන්නේ මම කරන සහ ඉදිරියටත් කරගෙන යන දෙයක් ගැන. ඒ මගේ යාළුවෙක් ගැන. කොටින්ම කියනවා නම් මගේ හොඳම මිත්‍රයා. මේ යාළුකමට දැන ගොඩක් කාලයක් ගත වෙලා. ඒත් මොන ප්‍රශ්නෙ ඇති වුණත් ඒ යාළුකම බිඳිලා නෑ. ඇති තරම් රණ්ඩු වෙනවා, ගහ මරා ගන්නවා, සැප දුක වචනෙන් හරි බෙදා හදා ගන්නවා. ඔන්න ඔහොමයි ඒ යාළුකම ගත වෙන්නේ.

මේ යාළුවාගේ ගොඩක් වියදම් වලට සල්ලි දෙන්නේ මම. මොකද මුලින්ම මෙයාට රස්සාවක් තිබුණෙ නැති නිසා. දැන් නම් තියෙනවා රස්සාවක්, ඒත් ලැබෙන පඩිය නම් ටිකක් මදි එයාට. ඉතින් ඒ යාළුවා වෙනුවෙන් මට මම හරි හම්බ කරපු මුදල් හදල් දෙන එක ප්‍රශනයක් වෙලා නෑ මට. ඒත් ඒක නම් එයාගෙ හිතට බරක්. ඒ මොකද මම දෙන මුදල් හදල් එයා ණය විදියට බාර ගන්න හින්දා. ඒත මම ණයක් විදියට නෙවෙයි ඒ දේවල් දෙන්නේ. ඒත් මම විශ්වාස කරන විදියට නම් සල්ලි වලට වඩා මනුස්සකම තමයි ජීවිතේ වටිනම දේ. මුදල් හදල් නම් අපිට කවදා හරි හම්බ කර ගන්න පුළුවන් නේ. ඒත් හිතන්න, ආදරයක් හරි, මිත්‍රත්වයක් හරි සල්ලි වලට යට කරනවා කියන්නේ කොච්චර පහත් වැඩක් ද?

මම ඒ විදියට ඒ යාළුවාට සලකන එක මගේ හිතට ලොකු සැනසිල්ලක්. එක අතකට එක මනුස්සයෙක්ව හරි දුක් විඳින එකෙන් ගලවා ගන්න පුළුවන් වෙන එක කොච්චර නම් දෙයක්ද? කොටින්ම අවුරුදු 3 ක් තිස්සේ හරි හම්බ කරපු දේවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මම එයාට දීලා තියෙනවා ඉගෙන ගන්නත්, මාසික වියදමටත්, ඇඳුම් පැලඳුම්, ආහාර පාන වලටත්. මොකද මෙයා ඉන්නේ බෝඩිම් නිවාසයක නිසාත්, ගෙදරින් වියදම් නොලැබෙන නිසාත්.

මීට අවුරුදු දෙකකට විතර ඉහතදී මම හරි හම්බ කරපු දේවල් තවත් කෙනෙක්ට දෙන්න මම ටිකක් ලෝභ වුණා. මොකද මම ඉතිරි කරන්න කැමැත්තක් දක්වපු නිසා. ඒත් දැන් නම් එහෙම හැඟීමක් නෑ හිතේ. එක අතකට හිතක එහෙම ලොකු වෙනසක් ඇති වීම ම ලොකු දෙයක්. අඩු ගානෙ පිණක් හරි ලබන්න පුළුවන් නේ. ඇත්තෙන්ම ඒ මුදල් හදල් මගේ ලඟ තිබ්බත් වැඩි ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. වැඩිම වුණොත් ලොකු ගාණක් ඉතුරු වෙලා තියේවි. ඒත් ඒ දේවල් ප්‍රයෝජනයක් ඇති කෙනෙක්ට දීලා ඒ කෙනාගේ දුක අඩු කරලා සතුටින් තියන්න පුළුවන් නම් ඒක කොයි තරම් නම් වටිනවද?

ගෙදරට හිඟන්නෙක් එද්දි හැංගුන මම, අද මගේ සන්තකේ තියෙන හැම සතයක්ම පාහේ යාළුවෙක්ගේ යහපත වෙනුවෙන් කැමැත්තෙන්ම දෙන්න හිත හැදුනා වගේම ඔයාලටත් එහෙම හිතක් හදා ගන්න උත්සාහ කරන්න පුළුවන්ද?
මේ මාතෘකාව අනුව හිතන අයත් ඕනෙ තරම් මේ ලෝකෙ ඉන්නවා. වැඩිය හිතන්න යන්න එපා. ඔයාලා ආශ්‍රය කරන අය අතරම මෙහෙම හිතන අය ඕනෑ තරම් ඇති. එහෙම අයත් අපි ආශ්‍රය කරන්න ඕනෙ ලෝකෙ හරියටම දකින්න. මොකද අපි ලබන අත්දැකීම කෙලින්ම අපිම අත් විඳින අත්දැකීම් වලට වඩා ප්‍රභල නොවෙන්න පුළුවන්. අපි නරකක් නොකර හිටෛ පමණින් ලෝකෙ මොන වගේද දකින්න බෑ. මොකද අපි ලෝකෙ දකින්නෙ අපි කැමති විදියට නිසා. අපි ලබන්න, දකින්න කැමති ලෝකය ඇත්තටම දකින්න ලැබෙන්නේ හාත් පසින්ම වෙනස් විදියට නිසා අනිත් හැම දෙයකින්ම අපි අපේ මානය හොඳට අත්දැකීම් වලින් පුරව ගන්න ඕනෙ.

මේ ලිපියත් එහෙම අත්දැකීම් ගැනයි. ආදරය කරන කීයෙන් කීදෙනෙක් නම් තවත් සම්බන්ධතා පවත්වන් යනව ඇත්ද? මේ ප්‍රවණතාවෙ ගොඩාක්ම තියෙන්නෙ, නිදහස වැඩි, අවදානම අඩු, පිරිමි ළමයින් අතරේ තමා. මොකද එයාලා ගැහැණු ළමයින් සෙල්ලම් බඩු කියල හිතන නිසා. ඔව්. ඇත්තෙන්ම සෙල්ලම් බඩු වගේ හැසිරෙන්න කැමති ගැහැණු ළමයිනුත් ඉන්නවා නම් තමා. අපි ඉතින් එයාලව විශේෂ නම් වලින් එහෙම හඳුන්වනවනේ. ඒත් ඇයි පිරිමි ළමයෙක්ව එහෙම හඳුන්වන්නෙ නැත්තේ? ඒකත් ප්‍රශ්නයක් තමා.

මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා පණ වගේ තමන්ගේ කෙල්ලට ආදරේ කරන පිරිමි ළමයි. ඒත් ඒක ඇත්තම ආදරයක් නෙවෙයි බලාගෙන යන කොට. මොකද ඒ ආදරේ එහෙම වුණාට, එයාලගේ ලිංගික රසාස්වාදනයට නම් එයාලා වෙනත් ගැහැණු ළමයින් හොයන එක නවත්වලා නැති නිසා. එක දෙයකින් සතුටු වෙන්න බැරි මේ වගේ අය නිසා අනාගතේදී ඉතින් පිරිසිදු ගෑණියෙක්ව හොයා ගන්නවත් ලැබෙයිදෝ කියලත් සැකයක් තියෙනවා මගේ හිතේ.

මේ පිස්සුව තියෙන්නේ පිරිමි ළමයින්ට විතරක්ම නෙවෙයි. ගැහැණු ළමයින්ටත් ඒ වගේම තියෙනවා. මොකද මට අහන්න ලැබිලා තියෙන සිද්ධීන් එක්ක ගත්තම ගැහැණු ළමයින්ව වුණත් හරිම ලේසියෙන් අදාළ වැඩේට නැඹුරු කර ගන්න එක අද කාළේ මහා ලොකු වික්‍රමයක් නෙවෙයි තවදුරටත්. මුහුණු පොතේ වගෙම අනිත් සමාජ සම්බන්ධතා වෙබ් අඩවි වල ඉන්න ගැහැණු ළමයින් තමා මේවට ලේසියෙන්ම ගොදුරු වෙන්නෙ. ඒත් ඉතින් එයාලගේ අකමැත්තක් නැත්නම් අපි මක් කොරන්නද?

කොටින්ම එක කෙල්ලෙක්ට තවත් කොල්ලෙක් පණ වගේ ආදරේ කරද්දී, ඒ කෙල්ල වෙනත් කොල්ලෙක්ගෙන් ලිංගික ආශ්වාද ලබන කතාවකුත් මට ඇත්තටම අහන්න ලැබිලා තියෙනවා. මේ බව දැන දැනත් අර කොල්ලා ඒ කෙල්ලට ආදරේ කරන්නේ ඉතින් ඒ කොල්ලා ඒ කෙල්ලට කොච්චර නම් ආදරේ ඇතිද කියලත් හිතෙනවා.

අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ රැවටීම්, බොරු, වංචා වලින් පිරුණු ලෝකෙක. කාටවත් තමන් පිරිසිදුයි කියලා හර්ද සාක්ෂියට බොරු කරන්න බෑ. විවාහක දරු මල්ලන් ඉන්න කාන්තාවො පවා පිට තරුණ කොල්ලන්ගේ වින්දනය වෙන හැටි මට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් එහෙව් එකේ තරුණ කෙල්ලන් ගැන කවර කතාද?

අන්තිමටම කාගෙ කාගේ හිත් වල ඇති වෙන්නේ කලකිරීමක් විතරයි ඉතින්.
ඇත්තම ආදරේ තියෙන්නේ පෙනුමෙ නෙවෙයි කියලා මම කලින් ලිපියෙත් කියන්න ඇති. හරි මේ ලිපියටත් බලපාන්නේ ඔය සාධකේම තමයි. හිත් වල තියෙන ඇත්තම ආදරේ ඔයාල කවුරු හරි විඳල තියෙනවද? මේකට තත්‍ය ආදරය කියන්නත් පුළුවන්.

ඇත්තෙන්ම දෙන්නෙක් ආදරේ කරද්දී ඒ දෙන්නා හිත් වලින් කොයි තරම් එකට බැඳිලා තියෙනවද කියන එක මත මේක අත් විඳින්න පුළුවන්. ඒ වගේ අත් වින්ද අවස්ථාවලදී හිතට දැනෙන සතුටත් කියලා නිම කරන්න බැ
රි තරම්.

ආදරේ කරන දෙන්නෙක් අතරේ තියෙන ආදරය හමුවීම මතවත්, දුරකතන ඇමතුම් වලින් කතා කරන විනා
ඩි ගා අනුවවත් තීරණය වෙන්නෙ නෑ නේ. එහෙම තීරණය වෙනවා නම් එතන ඇත්ත ආදරයක් නැති තරම්. මුණ ගැහෙන්න අවස්ථාවක්වත් නොලැබි මාස ගාණකට එක වතාවක් විතර මුණ ගැසීම් සිද්ධ වුණත් ආදරයේ අඩු වීමක් නොවෙන අයව මම පුද්ගලිකවම දැකලා තියෙනවා. මොකද ඒ අයගේ ප්‍රශ්න මා එක්ක එයාලා කියන නිසාත්, මගේ හොඳම යාළුවන් නිසාත්.

මාසෙකට එක වතාවක්, නැත්නම් මාස කීපයකට එක වතාවක් විතරක් මුණ ගැහෙන්න සිද්ධ වුණොත් ආදරේ කරන කාලෙකදි හිතට මොන තරම් දුකක් ඇති වේවිද කියලා ඔයාලට හිතන්න පුළුවන් ද? අමාරුයි නේද? ඒත් දුරකතනෙන් හරි සම්බන්ධ කර ගන්න පුළුවන් නම් ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. ඒ
ත් ඉතින් ඔන්න බිල එහෙම ඉහටත් උඩින් වැඩි කර ගන්න එපා.

හිත් වලින් තියෙන බැඳීම ගැන අ
ත්දා බලන්න පුළුවන් අවස්ථාවක් තමා දුරකත්න ඇමතුමක් දීම. ඔයාල කාට හරි අත්විඳින්න සිද්ධ වෙලා තියෙනවද තමන්ගේ සහකාරිය හෝ සහකරුවාට අමතන මොහොතේදීම ඒ කෙනාගෙන් තමන්ට ඇමතුමක් ආ අවස්ථාවන්? එක්කෝ තමන් එයාට අමතද්දී එයාගේ දුරකථනය කාර්ය බහුල වෙලා ඊට මිලි තත්පර කීපෙකින් එයාගෙන්ම ඇමතුමක් ආව අවස්ථා මතක තියේද? ඒ කියන්නේ දෙන්නටම එකම මොහොතේ එකිනෙකාට කතා කරන්න හිතිලා කියන එක නේ.

තමන් ආදරේ කරන කෙනාව ත
න්ගේ ලඟින්ම තියා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ තමන්ගේ හිතේ බලයෙන්. තමන් දරේ කරන කෙනාව පිංතූරෙකින් හරි නිතර බලෙනවා නම්, එයාව තමන් ලඟම ඉන්නවා කියල හිතලා එයා වෙනුවෙන් හිතෙන් ආදරේ දෙනවා නම් ලඟ නැති වුන්ත් ලඟ ඉන්නවා වගේ තමා. කොච්චර රණ්ඩු සරුවල් ඇති වුණත්, තරහ නොගෙන ඒවත් විසඳ ගෙන ආදරේ අඩුවකුත් කර නොගෙන ඉන්න පුළුවන් මානසිකත්වයක් හදා ගත්තොත් ආදරේ සුන්දර වෙයි. ඒත් ආදරේ තරම් වේදනාකාරී කිසි දේකුත් මේ ලෝකේ නැති බවත් මතක තියා ගන්න වෙයි.

මේ ක්‍රමය සිහින සැබෑ කර ගන්න එක විදියක්. ඒ වගේම තමන්ගේ අරමුණට ජීවිතේ කවදා හරි ලං වෙන්න පුළුවන් විදියක් හැටියටයි මම දකින්නේ. මානසික ලෙඩෙක් වගේ නොවී සාමාන්‍ය දෙයක් විදියට ඒ ගැන හිතන්න. ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියන්නාක් වගේ ඇබ්බැහි වීමක් වෙන්න එපා ආදරේ කරන කෙනාට. මොන ප්‍රශ්න ආවත් ආදරේ අඩු කරන්න එපා. කවදා හරි තමන් තනි වු
ත් තමන් වරදක් කරලා නැති නම් ඒකම තමන්ට සතුටු වෙන්න හේතු වෙයි.
තමන්ගේ හිතේ ඇඳුනු කෙනාව තමන්ට මුළු ජීවිත කාලෙටම ආදරේ කරන්න ලැබුණොත් කොහොම වෙයිද? ඇත්තෙන්ම ඒ තරම් සතුටුදායක දෙයක්, වාසනාවක් තවත් ජීවිතේට තියෙනවද කියලත් හිතෙනවා. පුද්ගලයාගෙන පුද්ගලයාට තමන්ගේ ආදරේ හොයා ගැනීමේදී හිතේ ඇති වෙන ආසාවන්, කැමැත්තන් සහ ආකර්ෂණයක් එකිනෙකට වෙනස් වෙනවා. අද දැක්ක කෙනා වෙනුවෙන් හිතේ ඇති වෙන ආකර්ෂණය හෙට ඒ කෙනාටම නැති වෙලා වෙන කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන්. ඔය දේ අද කාලේ කාගේත් හිත් වල තියෙන පොඩෛ දුර්වල කමක්. බාහිර පෙනුමට සිද්ධ වෙන ආකර්ෂණය තාවකාලික දෙයක් කියලායි මට හිතෙන්නේ. ඒත් අභ්‍යන්තරේට ඇති වෙන ආදරයට, කැමැත්තට පිට ඔපේ බලපාන්නේ නෑ.

තරුණ තරුණියො ආදරේ කරන්නේ සමහරක් වෙලාවට කෙනෙක්ගේ බාහිර පෙනුමට විතරක්ම වෙන්නත් පුළුවන්. ඒ බාහිර පෙනුම තමන්ව ඒ කෙනා දිහාට ආකර්ෂණය කර ගන්න, ඇදලා බැඳලා තියා ගන්න ගොඩක් හේතු වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. ඔය වගේ දෙයක් ආදරයක් පටන් ගනිද්දි නම් ගොඩක් වැදගත් වෙනවා. තමන්ව ආකර්ෂණය නොවෙන කෙනෙක් එක්ක මුළු ජීවිත කාලෙම ගත කරන්න කවුරුත් අකමැතියි. ඒත් මේකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ මොකද ඒ ඒ අය හිතන පතන විදිය අනුව.

මුලින්ම ආදරයක් ඇති වෙන්නේ පෙනුමට. ඊට පස්සේ දැන අඳුන ගෙන, කතා බහ කරල එහෙම පවත්ව ගෙන යන ආදරේදි එකිනෙකාව නැතිව ඉන්න බැරි තැනකට එනවා. ඒ වගේ වෙලාවකදි විවාහයක් සිද්ධ වෙන්නත් පුළුවන් ඉතින්. බැරි වෙලාවක් ආදරේ කරන දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි මූණ විකෘති වුණොත් ආදරේ බිඳිල යන්නත් බැරි නෑ. එහෙම වෙන අවස්ථාවන් නැතුවම නෙවෙයි. ඒත් පෙනුමට ආදරේ කරලා පටන් ගන්න ආදරේ දළු දාල වැඩුනට පස්සේ පෙනුම නැති වුනත් ජීවිත කාලෙම පවතින් ආදරයනුත් නැතුවාම නෙවෙයි.

මුලදි තියෙන ආදරේ විවාහයෙන් පස්සේ නැති වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා අද කාලෙ නම්. මම මගේ ගුරුවරයෙක් ලියන බ්ලොගයක කියෙව්වා ඔහුගෙ මිතුරෙක් විවාහ වෙලා දරුවන් නොහදා බිරිඳත් එක්ක ආදරෙන් කල් ගෙවනව කියල. මොකද දරුවන් ලැබුණම සමහර විට ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ අඩු වෙන්න පුළුවන් නිසා වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් තුන්සිය හැට පස් දවසෙම උදේ වැඩට ගිහිල්ලා රෑට ගෙදර එන විව්වහක යුවලවලුත් ඉන්නවා ආවට පස්සේ කාල බීල රූපවාහිනිය ඉස්සරහා කාලෙ ගත කරලා නිදා ගන්න. ඒ අය අතරේ ඇති මහා ලොකු ආදරේකුත් නැති තරම් වගේම දරුවො හදන්න බැරි කමකුත් නැති තරම්. ඒත් බැඳලා අවුරුදු දහයක් ගත වෙලා තිබුණත් දරු සුරතල් බලන්නවත්, දෙමව්පියන්ට මුණුපුරු, මිණිපිරි සුරතල් බලන්නවත් ඉඩක් ලැබෙන්නෙත් නැති වෙලා.

පෙනුමින් පටන් ගන්න ආදරේ පවත්වන් යද්දි කවදාවත් පෙනුම පසුවට නැති වුණත් දාල නොයන ආදරයක් කර ගන්නවා නම් ගොඩාක් වටිනවා. මොකද අපි අපිම දන්නවානේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය කොහොම ප්‍රසන්න පෙනුමකින්ද අපිට මුණ ගැහුනෙ කියලා. ඒත් තමන්ට ගත කරන හැම තත්පරයෙම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක්ව හොයා ගත්තොත් ගත කරන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න පුළුවන් කම ලැබෙයි. හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒ මොකද ලස්සන වැඩි වෙන තරමට පරිස්සම් කළ යුතු ප්‍රමාණයත් වැඩි නිසා. ඔය හේතුවෙන් ප්‍රශ්ණ ඇති වෙන්නත් පුළුවන් නේ. එහෙම ඇති නොවෙන හොඳ විශ්වාසයක් මුලදිම ගොඩ නගා ගත්තොත් අනාගතේ වගේම ජීවිතෙත් මල් වේවි.

Sunday, July 4, 2010

මට මුණ ගැහිල තියෙන, ආශ්‍රය කරන මගේම වයසේ තවත් හොඳ යාළුවෙක් ගැනයි මේ කතාව ලියන්නේ. මෙයාව මට මුණ ගැහුණේ මුහුණු පොතින්. දැනට දැන අඳුන ගෙන අවුරුද්දකටත් වැඩියි. ඒත් තවම මූණට මූණ කොහේදිවත් මුණ ගැහිලා නම් නෑ. ඒ වුණාට ගජ යාළුවෝ වගෙම සහෝදරයො වගෙයි අපි ඉන්නෙ.

මිනිහ දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගන්න අනාගත නීතීඥවරයෙක්. හැබැයි ඉතින් කතා කරන නඩු නම් කීයෙන් කීයක් දිනයි ද, පැරදෙයි ද දන්නෙ නෑ... හික් හික්...

මම කලින් වතාවෙදි මේ මාතෘකාව යටතේ කීවා පිටරට යාළුවෙක් කරපු ලොකූ බොරුවක් වගෙම රැවටීමක් ගැන. ඒ විතරක් නෙවෙයි පොරොන්දු කඩ කිරීමක් ගැන. මගේ මේ යාළුවා නම් එහෙම කොහෙත්ම නැති කෙනෙක්. අපේ ඕනෙම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් කෙනෙක්. ඒත් ඉතින් කියපු කෙනාගේ අවසරය නැතිව වෙන කා
වත් ඒ ගැන කියන්නෙ නම් නෑ. අත්දැකීමෙන්මයි මම කියන්නෙ මේ.

ඒ නිසාම තමයි මම මුලින්ම කීවෙ එයා සහෝදරයෙක් වගේ කියලත්. සමහර වෙලාවට අපිව නිතර මුණ ගැහෙන යාළුවන්ට වඩා අපි මුණ ගැහිලත් නැති දුරින් ඉන්න යාළුවෝ අපේ හොඳම යාළුවන්ටත් වඩා හොඳ වෙන අවස්ථාවක් තමයි මේ. ඒත් දුරින් ඉන්න හැම යාළුවම හොඳත් නෑ, ලඟින් ඉන්න හැම යාළුවම නරකත් නෑ. නැතිනම් ඉතින් අපිට හැමදාම ආස්‍රය කරන්න වෙන්නෙ ඉතින් මුහුණු පොතෙන් හරි වෙනත් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියකින් මුණ ගැහුණු යාළුවෝ විතරමනෙ.

කොටින්ම කීවොත් මගේ දුක්ගන්නා රාළ වෙන්නෙ මිනිහ. ඒ වගේම හිත හැදෙන ගොඩක් උපදෙසුත් මට දෙනව. ඒව ගැන හිතල බැලුවම නම් ඉතින් ඒවා වල ලොකු අර්ථයකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුක, සතුට එහෙමත් වෙන කාටවත් කියනවට වඩා මා එක්ක කියනවා.

ඔන්න ඔහොමයි ඒ යාළුකම මේ තාක් කල් පැවතුනේ. මම හිතනවා මිනිහා සාධාරණ නීතීඥවරයෙක් වෙලා හැමෝටම සාධාරණයක් කරාවි කියලා සල්ලි පස්සේම නොදුවා. මොකද ඉතින් නීතීඥ රස්සාව ඉතින් අපායෙ යන්න වීසා අරන් දෙන මාර්ගයක් වගේ නේ.

Friday, July 2, 2010

මේ ශීර්ෂපාඨය දැක්කම කවුරුත් මේ ලිපිය බලන බව මම දන්නවා. මොකද ඉතින් බෞද්ධ විරෝධී මාතෘකාවක් නේ තියෙන්නේ. ඒත් මම දැන් මේ කියන්න යන්නේ මම අකමැති දෙයක් ගැන වගේම සමහරු හොඳයි කියලා හිතන දෙයක් ගැන.

මම කියලා තියෙනවනේ මම එක එක ජාතියේ යාළු මිත්‍රයෝ ආශ්‍රය කරන වග. කියල නැත්නම් දැන් හරි දැන ගන්නකෝ. ඒක ඉතින් මට විතරක්ම අදාල දේකුත් නෙවෙයි නේ. අපි හැමෝටම විවිධ පුද්ගලයන්ව ආශ්‍රය කරන්න වෙනව නේ.

මිනිස්සු බොහෝ දෙනා කැමති තමන්ට සතුටින් නිදහසේ ඉන්න ලැබෙනවාටයි. ඒ නිදහස, සතුට වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලැහැස්ති පිරිසකුත් ඉන්නවා; හොඳ පැත්තට වගේම නරක පැත්තටත්. මම දැන් මේ කතා කරන්න යන්නේ නරක පැත්තට ඕනෙම දෙයක් කරන්න ලැහැස්ති අය ගැන.

මගේ යාළුවෝ කීප දෙනෙක්ටම කියලා තියෙනවා බොන එක නතර කරන්නය කියලා. එයිනුත් සමහරු කනමදයො වගේ බොන අය. එයාලට නම් මම දෙතුන් වතාවක් කියල ඇති. ඒත් ඉන් මතුවට කියල වැඩක් නැති කමට කියල නෑ. ඒත් කලාතුරකින් බොන පිරිසකුත් ඉන්නව නේ. ම්ම්ම්... අවුරුදු ගාණකට වීදුරුවක් වගේ දා ගන්න අවස්ථාවක් ලැබුණහම. ඇත්තටම බියර් වීදුරුවක් බීවත්, අරක්කු
වීදුරුවක් බීවත් දෙකේම වැඩි වෙනසක් නෑ. මත් පැන් නේ මොනා වුණත්.

ගොඩාක්ම දුක මගේ කිට්ටුම හොඳම යාළුවෝ නිසා. එයාලා මීට කලින් බීල තියෙන බව නම් දන්නවා. ඒත් හරිම සුළුවෙන්. ඒත් ඉතින් යාළුවෙක් හැටියට මට පුළුවන් නම් එයාලව හරි කලාතුරකින් වෙන වැරැද්දෙන් ගලව ගන්න ඒක ලොකු දෙයක් නේ. ඇත්තෙන්ම කෙනෙක් වැරදි වලින් ඈත් වෙලා ඉන්න ඕනි, වැරැද්දක් කරන්න අවස්ථාවක් උදා වුණු වෙලාවකදියි. කවුරු හරි බොන කෙනෙක්ට බියර් වීදුරුවක් දීලා බීපන් කීවොත් නොබී ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක ත
යි ලොකුම හපන්කම. හිත කැමති දේවල් දෙන්න ගියොත් කොහෙන් නැවතෙයිද කියන්නත් බැහැ නේ.

ඔහොම ඉන්න මගේ කිට්ටුම යාළුවෙක්ට තව ටික දවසකින් තියෙන පාටියකට යන්න වෙලා තියෙනවා. එතෙන්දි නම් මධු විත බිංදුවක් තොල ගෑවෙයි කියලා එයාම මට කිව්වා. ඉතින් මට වැඩේට ටිකක් අප්සෙට්. මොකද ඒ වැඩේට මං විරුද්ධ නිසා. ඊටත් වඩා යාළුවෙක් කරද්දී දුකයි. මම ඉතින් එයාට පන්සිල් ගැනත් මතක් කරා. මොකද එයා නම් කියන්නේ එයා කිසිම වැරදි වැඩක් කරන්නේ නෑ කියලා. ඉතින් ඕක මතක් කරාම කියපි, සුරාමේරය ගැන තියෙන පන්සිල් පදයෙත් තියෙන්නෙ "මජ්ජපමා දට්ඨානා" එකෙන් කියවෙන්නේ, මද පමණින් ගත්තට වරදක් නැහැයි කියලාලු. "අද කාලෙ ගෑණුත් බියර් බොන එකේ මම ඔය බියර් වීදුරුවක් බිව්වට ප්‍රශ්ණයක් නෑනෙ." කියලාත් මගේන් ඇහුවා. මට ඉතින් එතනින් එහාට කියන්න දෙයක් ඉතුරු වුණෙත් නෑ. ඒ වගේම කලාතුරකින් උගුරක් බිව්වම ඇගට සිද්ධ වෙන හානියක් නැති බවත් කිව්වා. ඔන්න ඔහොමයි එයාගේ චින්තනය.

ඒකෙන් මේකෙන් පැහැදිලි වෙන්නේ බොන අය පිරිමි බවත්, නොබොන අය ගෑණුන්ටත් අන්ත කොට්ඨාසයක් බවත් නේ. මේකට ඔයාලගෙන් කීයෙන් කී දෙනෙක් එකඟ වෙනවද, නැත්ද කියලා ඔයාලාම තීරණය කරන්නකෝ.

පුංචි උගුරක්, බේබදු කමක් දක්
වා ම අරගෙන යාවිද, නැතිද කියලා අපිට කවදාවත් විශ්වාසයකින් කියන්න බෑ. ඒ වගේම, යාළුවන් අතරෙදි උගුරක් හරි බීවම එයාල දැන ගන්නවා මෙයත් බොන්න පුළුවන් කෙනෙක් බව. ඉතින් ඔහොම යාළුවෙක් බලෙන් හරි ඇඟේ ගැහුවොත් "මචන් ටිකක් බීපන්" කියලා, බෑ කියන්න බැරි කමටත්, කලාතුරකින් උගුරක් බීවට වරදක් නැති එකටත්, ඉඳල හිටලා බීවට බේබදු නොවෙන නිසාත්, පන්සිලුත් තමන්ගේ සතුටට වෙනස් කරලා ඒක සාධාරනීකරණය කරන් ඉන්න හින්දාත් නොබී ඉඳියි කියලා හිතන්න පුළුවන් සීමාව ගොඩක් අඩුයි නේ.

මම නම් කවදාවත් කැමති නෑ මගේ යාළුවෙක් නරක දෙයකට යොමු වෙනවට. මොකද මම ආශ්‍රය කරන්න ගන්නේ හොඳ අය. මුලින් හොඳින් ඉඳලා පස්සෙ වෙනස් වෙනකොට ඉතින් දුක නැත්තෙ කාටද? ඒ නිසා ඔයාලටත් පුළුවන් නම් "මද පමණින් ගත්තට කමක් නෑ" කියල නොහිතා බොන උගුරක් හරි නවත්තන්න, තමන්ගෙ ජීවිතේ කර ගන්න ලොකු පිණක් වේවි ඒක.
එක දිගට පාඩම් 23ක් ම ලියන් ආපු සයිබර් ටෙක් කමරයේ තිබ්බ PHP පාඩම ලියන්නෙ වෙන කවුරුත් නෙවෙයි මම ම තමා ඉතින්. ඔයාලට කියන්න මාත් ගොඩාක් ආසාවෙනුයි ඒ පාඩම් මාලාව ලියාගෙන ආවේ. ඒත් ඉතින් මේ දවස් වල මට පැවරිලා තියෙන වැඩ කන්දරාවත් එක්ක ඒ පාඩම විතරක් නෙවෙයි, මගේ අනිත් බ්ලොග් ටිකත් තාවකාලිකව නැවතිලයි තියෙන්නේ. අවස්ථාවක් ආ හැටියෙම මේ බ්ලොග නම් අනිවාර්යෙන්ම පිරේවි. ඒ මොකද මේ බ්ලොගේ මම ලියන්නේ මගේ අත්දැකීම් වගේ දේවල් නේ. ඒ නිසා නිතර අහන්න දකින්න ලැබෙන දේවල් වුණ පමාවෙන් හරි පසුවට හරි මතක් වෙන හැටියට ලියන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

අනිත් බ්ලොග් ටික ඔයාල කැමති නම් මේ බ්ලොග් එකේ දකුණු අත පැත්තේ යට තියෙන ලැයිස්තුවෙන් තෝරගෙන කියවන්නත් පුළුවන්. ඒ බොහෝමයක් බ්ලොග් දැන් ගොඩ කාලෙකින් ලිව්වේ නැති හින්දා සින්ඩියෙනුත් මේ වෙද්දී අයින් වෙලයි ඇත්තේ. ඒකට ඉතින් අළුතෙන් මොනා හරි ලියලම දාන්න වෙනවා. අනික ඉතින් බ්ලොග් 5ක් නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු වැඩකුත් නෙවෙයි නේ.

ඒ නිසා මන් මගේ ගෝලයන්ගෙන් සමාව අයදිනවා මට ගොඩ කාලෙකින්
PHP පාඩමක් ලියන්න බැරි වුණ එකට. තව මාසෙකින් විතර මන් ආයෙත් වැඩට බහින්නයි හිතා ගෙන ඉන්නෙ. මගේ උපාධියේ ව්‍යාපෘතිය අහවර වුණ හැටියෙම අනිවාර්යෙන් අළුත් පාඩම් ගොඩාක් දාන්නයි බලාපොරොත්තුව.

ඒ නිසා කට්ටිය අමනාප නොවී, මට නොබැන ඉඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.

Thursday, July 1, 2010

මම දැනට මගේ රස්සාවට ඇවිල්ලා අවුරුදු තුනකටත් ලඟයි. ආපු දවස් වල ඉඳන්ම මම වැඩ කරන අංශයේ ගොඩක් දෙනා මාත් එක්කම ආපු අය නිසා වැඩ පල අහ ගත්තේත් මගෙන්මයි. ඔයාලා මගේ PHP පාඩම බලනවා නම් තේරෙන්න ඇති මම වැඩ කරන්නේ වෙබ් අඩවි නිර්මාණ හා සංවර්ධන ක්‍රමලේඛකයෙක් විදියට බව.

ඔන්න ඉතින් ඒ හැමෝගෙන් කීප දෙනෙක් මගෙන් දැනුම අරගෙන හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. මට ඒ අය ගැන සන්තෝසයි. ඒත් සමහරු එහෙම නෑ. කොටින්ම අවුරුදු තුනක්ම ගතවෙලත් මුලින්ම කරපු කිසිම දෙයක් මතක නැති ගානටයි ඉන්නේ. වැඩක් කරන හැම වෙලාවකදීම එකම දේ කීප වතාවක් අහනවා. ඉතින් මටත් වෙලා තියෙන්නේ තුන්සිය හැට පස් දාම එකම දේ අහන කොට ගොනා වගේ කියල දෙන එක තමයි. ඔහොම වෙද්දී ඉතින් මගේ කියලා වැඩක් කර ගන්න වෙලාවක් ඉතුරු වෙන්නෙත් නෑ.

ඇත්තටම ඉගෙන ගන්න ආසාවක් තියෙන අය වුනත් ඉගෙන ගන්න දේ ඒ මොහොතට විතරයි ඔළුවේ තියන් ඉන්නේ. අද ඉගෙන ගත්තු, කියල දුන්න දෙයක් අද හවස් වෙද්දිම සමහරුන්ට මතක නෑ. ඉතින් කොහොමද අවුරුදු තුනකට කලින් දේවල් මතක තියෙන්නේ? හැබැයි කීවට මොකද රටේ ලොකේ තියෙන වල් පල් නම් හැම දේම හොඳට මතකයි. කොටින්ම කනමදයො වගේ බොන අයටත් ඒවා හොඳට මතකයි. ඒත් නොබී ඉන්න වෙලාවට ඉගෙන ගන්න කිසි දෙයක් මතක නෑ. මොනා කරන්නද ඉතින්. මටත් දැන් ඒවා පුදුමාකාර වදයක් වෙලයි තියෙන්නේ. ඊටත් වඩා මට කියලායි එයාලගේ ක්‍රමලේඛ වැඩ කර ගන්නෙත්. එක අතකින් මගෙත් ගොං කම තමා. යාළුවෝ නිසා කියල නොදීත් බෑ, කරදරේ නිසා කියල දෙන්න හිතෙන්නෙත් නෑ.

ඇත්ත වශයෙන්ම කියනවා නම් කවදාවත් මේ අංශයෙන් වැඩක් කරලා නැති ආධුනිකයන්ව තමයි මට හැම දවසකදී ම දකින්න ලැබෙන්නේ, කොච්චර කාලයක් මේ ආයතනයේ හිටියත්, මේ කට්ටියත් එක්කම. මොකද ඉතින් අද වැරැද්දමයි හෙටත් වෙන්නේ. වැරදි වලින් ඉගෙන ගන්නේ නෑ. ක්‍රමලේඛ දෝශයක් (programming errors) ආව ගමන්ම නහයෙන් අඬන් එනවා මාව හොයන් හරියට ජීවිතේ කවදාවත් නොදැකපු දෝශයක් විසඳ ගන්න මා ගාවට එනවා වගේ. ඒත් බැලින්නම් මේ අවුරුදු දෙක තුනට ඒ වැරැද්දම හැට හුටහමාරක් අවස්ථා වලදී ඒ අයටම ඇවිල්ලා විසඳ ගෙන තියෙන ක්‍රමලේඛ දෝශ.

ඒත් වැඩ කරන්න ආස, දෙයක් කියල දුන්නම මතකෙ තියා ගන්න පිරිසකුත් ඉන්නවා. දෝශයක් ආවම කඩන් බිඳන් මං ගවට එන්නේ නැතිව හොයලා බලලා බැරිම තැනකදි විතරමයි මගෙන් උපදෙසක් ගන්න එන්නේ. ඒ වගේ යාළුවන්ට නම් ආසාවෙන් කියලා දෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒ විතරක් නෙවෙයි අළුත් දේවල් හොයා ගෙන, තනියම අත් හදා බලන්නත් දන්නවා කාගෙවත් උදව් නැතිව. මට ඒ වගේ අයව විතරක් ආශ්‍රය කරන්න ලැබුනා නම් හොඳයි කියලත් හිතෙනවා.

ඒත් මොනා කරන්නද ඉතින්. මට ඉතින් කට පුරා කියන්න තියෙන්නෙ සම(හරක්) පිරිසක් මැද්දේ මම ඉන්නවා කියලා තමා.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.