කලින් පල කරපු ලිපියත් එක්කම මගේ සිය වන ලිපියත් පල වුනා. ලිපි ශතකයක්ම ලියලා ටිකක් මහන්සි වුනත් ලිවීම නම් අත හරින්නට කිසිම කල්පනාවක් මට තවමත් ඇති වෙලා නෑ. ඒ ගැන නම් මම පෞද්ගලිකවම සතුටු වෙනවා. ඒත් මගේ ලිවීමේ බරපතලකම මෑතකදී මට පැහැදිලි වුනා. ඒ මගේ මේ ලිවීම් වලට ලැබෙන පාඨක අදහස් නිසා නම් නෙවෙයි. මේ කතාව ගැන එකසිය එක් වෙනි ලිපියෙන්ම මම කියන්නට හිතුවේ නොකියාම බැරි කමටයි. ඒත් මේ වගේ දේවල් ඔයාලා හැමෝටම සිද්ධ වෙන්න හරි නොවෙන්න හරි පුළුවනි. කාට කාටත් දැන ගන්නටයි මේ ලිපිය ලියන්නට හිතුවේ. එහෙනම් ඔන්න දෙවෙනි ශතකයට මේ ලිපියෙන්ම මම ආරම්භය ලබා ගන්නම්.
මේ සිද්ධිය වුනේ පහුගිය ඔක්තෝබරයේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ, 2010 ඔක්තෝබර් මාසයේ අග භාගයේදියි. මම රැකියාවේ නිරත වූයේ කවුරුන් හැටියටද කියන එක ඔයාලා සමහර දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒක ආයෙමත් මතක් කලොත් හොඳයි කියලා හිතනවා. ඇත්තෙන්ම මම වෙබ් අඩවි නිර්මාණය සහ වෙබ් අඩවි සංවර්ධක ක්‍රමලේඛ යොදවන්නෙක් විදියටයි පහුගිය වසර තුනක කාලය පුරාවටම රැකියාවේ නිරත වූයේ.
ඉතින් කාලය ගතවෙලා යද්දී මට වගේම අපේ ආයතනයේ බොහෝමයක් දෙනාටත් තේරුම් ගන්නට බැරුව ගියා ආයතනයේ ඉදිරි දැක්ම මොන වගේ වේවිද කියලා. ඒ වගේම දැඩි අපහසුතා රාශියකටම රැකියාවේ යෙදුනු බොහෝ දෙනා මුහුණ පෑවා. කොහොමින් කොහොම හරි දාඩිය මහන්සියෙන් කරපු වැඩ වලට සරිලන මාසික පඩිය පවා මාස ගණන් පමා වෙන්නට පටන් ගත්තා. ලෝක ආර්ථික පසුබෑමක් 2009 වසරේ මුල් භාගයේදී හැම ආයතනයකටම වගේ දරුණු විදියට බලපෑවා. විශේෂයෙන්ම පරිගණක මෘදුකාංග සංවර්ධනයේ යෙදෙන ආයතන වලට. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටකට ඒ වගේ දෙයක බලපෑම, අනිවාර්යෙන්ම පුදුම වෙන්නට කාරණාවක් නම් නෙවෙයි. මේ බලපෑම නිසාවෙන් ආර්ථික අගහිඟතා වලට අවුරුද්දක්ම වාගේ අපේ ආයතනයත් 2008 අවුරුද්දේ ඉඳන්ම මුහුණ පෑවා. නමුත් දැන් ඒකේ බලපෑම ඉවත් වී තිබුණත්, තවමත් ගොඩ ඒමක් නැති පාටක් කාට කාටත් තේරුම් ගොස් තිබුනා.
මේ දේවල් ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් හිටියා. අවසානයේදී ආයතනය සතුව තිබුණු වටිනා මානව වගේම ශ්‍රම සම්පත් රැසක් ආයතනය හැර දාලා ගියා. මේ දේවල් වලට ඇත්තෙන්ම ආයතනයේ ඉහල පරිපාලකයන්ගේ ක්‍රියා කලාපයත් බලපෑමත් එල්ල වුනා. සේවය කරපු බොහෝ දෙනා විවිධ අඩු පාඩු රැසකට මුහුණ දුන්නා. ගොඩක් දෙනා අමනාපෙන් ඒ දේවල් ගැන කතා කරා, බැන වැදුනා. මාසිකව ලැබිය යුතු වැටුප ඉල්ලා ලබා ගන්නා තැනටම පත්වුනා. මොකද එහෙම ඉල්ලුවේ නැතිනම් වැටුපක් ඒ මාසයට ලබන්නට හැකියාවකුත් නොතිබුණු නිසාවෙන්. මගේම මිතුරන් දැඩි අපහසුතා වලට මුහුණ දුන්නා. නවාතැන් වලට ගෙවනා මුදල ගෙවා ගැනීමටත් බැරි වුනා, සමහරු රෑට නොකා නොබී හිටියේ මාසෙට ලැබෙන මුදල මදි කමටමයි. ඇත්තෙන්ම මේ දේවල් බලාගෙන ඉන්නට බැරුව ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා සමගින් කතා බහ කළ බොහෝ දෙනාට සිද්ධ වුනේ තමන්ගේ නමට කළු ලකුණු එකතු කර ගැනීම හෝ ආයතනයෙන් ඉවත්ව යාම හෝ පමණයි.
මේ හේතුව හැරුනු කොට මා වැඩ කළ අංශයේ හිටි හැම දෙනාටම එක ව්‍යාපෘතියකට වඩා ප්‍රමාණයක් තනිවම කිසිම මග පෙන්වීමකින් තොරව කරගෙන යාමටත් සිද්ධ වෙලා තිබුණා. මේ ක්‍රමයත් ඒ තරම් හොඳ දෙයක් කියලා දකින්නට පුළුවන්කමක් තිබුණේ නෑ. මේ හේතූන් නිසාවෙන් ආරම්භ කරනා කිසිම ව්‍යාපෘතියක අවසානයක්, ඇරඹුණු ව්‍යාපෘති සියයට අසූවකම පාහේ දැක ගන්නට ලැබුණේ නෑ. ඒ දැනුම පමණක්ම ලබා දෙනවා හැරුණු කොට නිසි පිළිවෙලක්, මග පෙන්වීමක් නොලැබුණ නිසාවෙන් වගේම, විවිධාකාරයේ ක්‍රියා පිළිවෙලවල් ක්‍රියාවට නංවන්නට උත්සාහ ගැනීම් නිසාවෙන්. ලියකියවිලි පිරවීම් හැරුණුකොට වෙබ් අඩවි සංවර්ධන කාර්යයන් බෙහෙවින් අතපසු වීමත්, කල් ගත වීමත් අනිවාර්යෙන්ම දකින්නට ලැබුණු දෙයක් වුනා.
මේ හැම දෙයක්ම එකතු කරගෙන, හැමෝගෙම අඳෝනාවල්, මති මතාන්තර, කියුම් කෙරුම්, හැසිරීම් ද අන්තර්ගත කරගෙන සුදුසු මාතෘකාවක් යොදාගෙන මට කවි පෙළක් ලියන්නට සිහියට ආවේ ඒ වගේ අවස්ථාවකදීයි. ඒ කවි බොහෝ විට ලියැවුනේ ඉතාමත්ම ආවේගශීලී ස්වරයකින්. ඒ නිසා බොහෝ දෙනාට ඒ කවි පෙළින් රිදීමේ හැකියාවත් දැඩි වශයෙන්ම අන්තර්ගත වෙලා තිබුණා. හැබැයි එකක් කිවයුතුමයි. මේ දේට කිසි කෙනෙකුගේ මග පෙන්වීමක්, උසි ගැන්වීමක් නම් මට ලැබුණේ නෑ. මේ සිතුවිලි හිතට එන හැටියට වචන ගලපලායි ඒ කවි පේළිය ලියැවුනේ. මේ කවි පෙළ පල වුනේ මගේ කවි නිර්මාණ එකතුව වුනු නිශා පෙම් හසරැල් බ්ලොග් අඩවියේයි.
මේ කවි පෙළට පළමුව, ආයතනයේම සොයුරියකගේ කවි පෙළකට ලියවුනු තවත් කවි පෙළකට මුළු ආයතනයේම බොහෝ දෙනාගෙන් ප්‍රශංසා ලැබුණා. ඒ මොකද ඒ දෙයින් කියා තිබූ දේවල් ඒ හැමෝම පිළිගන්න නිසාවෙන්. ඒ කවි පෙළ කිසිම අයෙකුට වැරදි කියූවක් නම් නෙවෙයි. නමුත් ඒ අයගෙන්ම සමහර දෙනා මේ සිද්ධියටත් සම්බන්ධ බව පස්සේ දැන ගන්නට ලැබුණා. මා කලින් කීවාක් වගේම බොහෝ දෙනාගේ වැරදි, අඩු පාඩුකම් සහ ආයතනයේ වැරදි රැසක් අන්තර්ගත කරලා ලියැවුණු මේ දෙවෙනි කවි පෙළ ආයතන ප්‍රධානියා වෙත යොමු කළේ මුලදී ආයතනයේ අඳුරු පසුබිම පිළිබඳව ලියැවුනු කවි පෙළට ප්‍රශංසා පල කළ උදවියගෙන් සමහර දෙනා විසින්මයි. එකට ඉන්නා බොහෝ දෙනා හතුරන්ටත් වඩා හපන් බව වටහා ගන්නට බොහෝ දෙනාට මගේ කවි පෙළ උදව්වක් වුනා කියන්නත් පුළුවනි. නමුත් මේ කවි පන්ති පිළිබඳව ආයතන ප්‍රධානී තුමන් හට මගේ නමත් සමගමයි දැනුම් දී තිබුණේ. ඒ නිසා කෙළින්ම දෝශාරෝපණය එල්ල වූයේ මට වගේම මා වැඩ කළ අංශයේ කීප දෙනෙකුටයි.
මතක් කළ යුතු අනිවාර්ය දෙයක් තියෙනවා. එනම් මේ කිසිම කවි පෙළක කිසිම අයෙකුගේ හෝ කිසිම ආයතනයක නමක්, ගමක් සඳහන් කර නොතිබීමයි. නමුත් අවසානයේදී නමත් හමත් යන්නට හේතු වූයේ ඒ දේමයි. මීට ප්‍රධානතම හේතුව වූයේ නිවැරදි තොප්පිය නිවැරදි පුද්ගලයන් විසින්ම පැළඳ ගැනීම නිසායි. ඒ වගේම මේ සම්බන්ධව සියළු ඇත්ත කාරණා ආයතන ප්‍රධානියා සමග කතා බහ කරන්නතත් මම වග බලා ගත්තා. මොකද, ඇත්ත කියන්නට බය නොවිය යුතු නිසාවෙන්. ඒ වගේම කවි පේළි වලිනුත් පැවසූයේ සත්ත්‍යයක් නිසාවෙන් බය වෙන්නට කිසිම කාරණාවක් තිබුණේ නෑ.
අවසානයේදී ආයතනයේ ප්‍රධානී තුමන්ගේ ඉල්ලීම මත ගන්නට තීරණ දෙකක් මට ඉදිරිපත් වූවා. පළමු එක, ආයතනයේ මාසික සභා රැස්වීමේදී නැගිට සැමගෙන්ම සමාව අයැදීම හෝ සේවයෙන් බැහැරව යාමයි. මින් මා තෝරා ගත්තේ දෙවැනි තීරණයයි. ජීවිතයේ ගත් දැඩි තීරණ වලින් එකක් හැටියට මේ තීරණය ගැන කියන්නට පිළිවන්. ඒ තීරණය දැඩි වන්නට කරුණු කාරණා රැසක් තිබුණා. එනම් ආයතනය අප වෙනුවෙන් දැරූ මුදල් සම්භාරයක් නැවත ආයතනයට ලබා දීමට තිබූ අපහසුතාව වගේම අභියෝගය. ඒ සම්බන්ධවත් කිව යුතු කරුණු රැසක් තියෙනවා. තමන් විසින් තමන්ගේම හම යවා ගන්නා තීරණයක් කීවොත් වඩාත් නිවැරදියි. ඒ ගැනත් තවත් ලිපියකින් දන්වන්නම්. නමුත් මගේ අවසාන තීරණය දැනුම් දීමත් සමගම මා නැවත ආයතනයේ තබා ගන්නටත් ඔවුන් බොහෝ උත්සාහයක් දැරූ බව මට තේරුම් ගියා. ඒ මන්දයත් බොහෝ ව්‍යාපෘතීන් වෙනුවෙන් මාගේ සහභාගීත්වය පැවතීමත්, ආයතනය මා පිළිබඳව තබා තිබූ දැඩි විශ්වාසයත් නිසාවෙන්. නමුත් මගේ ජීවිතේදී නම් අවසාන තීරණයක් කියන්නේ, අවසාන තීරණයක්ම තමයි. මිතුරු වෙසින් සිටි සමහරුන්ට මගේ කවි පෙළින් සිදු වුනු රිදවීම නිසාවෙන්, ඔවුන් සිදු කළ කේලම් කීම නිසාවෙන් ඔවුන් ආශ්‍රය කිරීමට කිසියම් ම කැමැත්තක් නොවීමත් මේ තීරණයට ලොකු පිටිවහලක් වුනා කීවොත් නිවැරදියි.
මේ ලිපිය මේ විදියට අවසන් වෙද්දී අද එම ආයතනයෙන් පිටව සිටිනා මා, ජීවිතයේ හොඳ වැදගත් පාඩමක් වගේම අත්දැකීමකුත් ලැබුවා කියන්නට පුළුවනි. ඔයාලටත් මෙවැනි දේ සිද්ධ වෙන්නට පිළිවන්. මා මේ ලිපියේ සඳහන් කරපු තමන්ගේ හම තමන් විසින්ම ගලවා ගැනීම සම්බන්ධයෙනුත් ලිපියක් අනිවාර්යෙන්ම පල කරන්නම්. නමුත් එවන් දෑ සිදු නොකිරීමටත් වග බලා ගත යුතු බව මතකයේ තබා ගැනීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව මගේ සිතුවිලි හෙළි කිරීමට ඇති නිදහස එම ආයතනය වැළකූවා නම්, ඒ එම ආයතනය තුළ ගත කළ ඒ අවසාන කාලය තුලදී පමණක් බවත් මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මාගේ ලිවීම කාගේ හිත් රිදවූවත් ඔවුනොවුන් අමනාප වන්නට මත්තෙන් හිතන්නට යමකුත් ඒ තුල ඇතුලත්ව ඇති බවත් සිහි නගා ගත යුතු බව තවදුරටත් මතක් කළ යුතුව තිබෙනවා.