Monday, September 6, 2010

දේවාශිර්වාදය ලබන්න මේ ලෝකේ කවුරුන්ද අකමැති. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙක් දෙවියන් දකින්නට වගේම දෙවියන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙන්නත්, දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගෙන අතුරු ආන්තරා වලින් ගැලවී සිටින්නටත් බෙහෙවින් කැමැත්තක් දක්වනවා. මේ ඉතින් අද ඊයේ ඉඳලා පැවතගෙන එන දෙයක් නෙවෙයි. මේ පුරුදු ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන විශ්වාසයන්.

ගෙදර බුදු පහන පත්තු නොවුනත් මිදුලේ දෙවියන්ට පහන් පත්තු කරන්නට අපේ මිනිසුන් බෝ විට උත්සුක වෙනවා. මොකද බුදු සරණට වඩා දෙවි පිහිට ගැන බෙහෙවින් ලොකු විශ්වාසයක් පවතින නිසාවෙන්. මේ දේවල් වැඩිපුරම කරන්නේ අපේම මෝඩ බෞද්ධ ජනතාව තමයි. මෝඩ නමින් හැඳින්වූවාට තරහ ගන්නට අවශ්‍ය නෑ. මොකද මෝඩ කියා කීමත් ඔවුනට කරන සුදුසු ආමන්ත්‍රණයක් නොවෙන නිසා. මෝඩ කියන වචනය පැහැදිලි කරන්නට පුළුවන් ඊටත් වඩා වචනයක් තියෙනවා නම් ඒ වචනය එවැන්නන් තවත් හොඳින් හඳුන්වන්නට සුදුසු බවින් යුක්ත බව කියන්නට ඕනේ.

මේ ලිපිය පටන් ගන්නට මත්තෙන් කියන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ, මේවා කරන අය ඒ දේ තම කැමැත්ත පරිදි ඉදිරියටම කරගෙන යන ලෙසත්, නොකරන අය නොකර සිටින ලෙසත් වගේම, කරන අයගෙන් සීමාසහිත පිරිසකට හරි බුද්ධියක් සහ සිතීමේ හැකියාවක් තියෙනවා නම් ඒ වැරදි පුරුදු වලින් මිදී නිවැරදි ක්‍රමයන් අනුගමනය කරාවි යන සිතුවිල්ලෙන්.

අපි දෙවියන්ට පුද පූජා පවත්වන්නට නිවස තුලදී හෝ නිවසින් පිටතදී සකස් කර ඇති පහන් පැල ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. බලි තොවිල් ආදියට ගොක් කොළ වලින් සැරසිලි කරලා හදන පහන් පැලක් නොවුනට ලීයෙන් සකස් කර ගත්තු පෙට්ටියක දේව රූප තියලා තවත් ලීයක ආධාරයෙන් පොළොවේ සිටුවා ගත්තාම ඔය දේට ගෙදර තියෙන පහන් පැල කියන්න පුළුවනි. ඇත්තෙන්ම මේ පහන් පැලේ පත්තු කරන පහන් නිසා දෙවියන්ගේ බැල්ම අපිට ලැබෙනවද? නැත්නම් අපිට දෙවියන්ගෙන් සැප සම්පත් ඉල්ලලා ඒ පහනේ බලෙන් වාසි, ලාභ, ප්‍රයෝජන ලබන්නට පුළුවන්ද? මේකට උත්තරේ සමහරු දන්නේ නැතුව ඇති.

මම කලින් වතාවකදී පල කරපු ලිපියකදි කීවා දේවාශිර්වාදය ලබන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මේ වගේ පෙට්ටියක් තුල පහනක් දල්වලා නම් නෙවෙයි. ඒ තෙරුවන් සරණ ගිහින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෙවියන් හා ඇති කර ගන්නා සුහදතාවකින්. ඒ සුහදතාව තමන්ගේ පිරිසිදු කම මත වගේම සිල්වත් කම මත රඳා පවතින දෙයක්.

ඇත්තෙන්ම මේ පහනේ බලයෙන් අපිට ආශිර්වාද කරන්නේ දෙවියන් නම් නෙවෙයි. මේ පහනක් දැල්වීම අපි විහින් අමාරුවේ වැටීමක් හා සමානයි. ඒකට හේතුවක් තියෙනවා. මේ වගේ පහන් පත්තු කරලා දෙවියන්ට වඳින ගාථා කීමෙන් ඊට ආකර්ශනය වන්නේ පාපතර අමනුශ්‍ය කොට්ඨාශ වීම. ඒ බව දැන ගන්නට ලැබෙන්නේ එක දිනක් හරි පහන දැල්වීමට නොහැකි වූ විටදීයි. මේ වගේ සිද්ධීන් අපට සමාජයෙන් අහන්නට ලැබිලා තියෙනවා. දෙවියන් කියන්නේත් අමනුශ්‍ය කොට්ඨාශයක් නිසා මෙහිදී පාපතර අමනුශ්‍ය කොට්ඨාශයක් කියලා හැඳින්වූයේ ප්‍රේතයන් වැනි අදෘශ්‍යමාන බලවේගයන්.

ඉතින් මේ පහන් පැල් වලට මේ වගේ අය අරක් ගන්නවා. ඒ වගේම තමන් වෙනුවෙන් පුද සත්කාර මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙම එක දවසක් හරි කරන්නට බැරි වීමෙන් සිද්ධ වෙන්නේ අමුතුම ආකාරයේ සංසිද්ධීන් වලට මුහුණ දෙන්න. දන්නා තරමින් නිදා සිටින විට උන් තැනින් පහලට ඇද බිමට දැමීම වගේ කාරණා හරිම සුලභ සිදුවීම්. නරක හීන පෙනීම, නිතර පෙරේත ගඳ ලෙසින් හඳුන්වන දුගඳක් ඇති වීම වගේ බොහෝ අකරතැබ්බ වලට මුහුණ දෙන්නට වෙනවා. හරියට අහක යන යකෙක් පිටේ බැඳ ගත්තා වගේ දෙයක් මේක.

කණගාටුවට හේතුව නම් ඊට වඩා උතුම් දේව සංකල්පයක් බුදු දහමේ සඳහන්ව තිබියදී මේ වගේ අමනුස්සයන් පසුපස යන්නට බෞද්ධයන් පුරුදු වී සිටීමයි. තවමත් මේ දේවල් පුරුද්දක් වශයෙන් කරන අය සමාජයේ නැතුවාම නොවෙයි. ඒත් දැන් ඉස්සරට වඩා මේ දේවල් කිරීමේ ප්‍රවනතාව අඩු වෙලා ගිහින්. ඉතින් කල්පනා කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ මෙන්න මේ හේතු කාරණා නිසාවෙන්. අපි බුදුන් දෙසූ ධර්මය නිවැරදිව පිළිපැදලා සැප සම්පත් වැඩි කර ගන්නවාද, නැත්නම් අහක යන පෙරේතයෙක් කරේ එල්ල ගන්නවද කියලා.

4 පාඨක අදහස් | Comments:

Anonymous said...

ඈත්තම තමා කොලුවො

Anonymous said...

ඕකට තමයි "අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කාපියෝ,කාපියෝ කියනව" කියන්නෙ.
අපේ මිනිස්සුත් වැඩේම ඉල්ලන එකනෙ.මොනව හරි ගන්න පුලුවන්නම් ගෙදර ඉන්න බල්ලටත් ගාථාවක් කියල වඳී.

Rasika Nanayakkara said...

නියම ලිපිය.
අපේ ගොඩක් අමන බෞද්ධ ජනතාව ගෙදර බුදු පහනට ලයිට් 1ක් දාලා එළියේ පහන් පැළනම් බොහෝම උවමනාවෙන් පත්තු කරනවා. ඔය කරන දේවල්වල හරය දන්නේ නෑ ගොඩක් මිනිස්සු. ඒකයි අවුල.
මේ දේවල් කතා කරන 1 සෑහෙන්න වටිනවා. මොකද කවුරුවත් මේ ගැන උවමනාවෙන් කතා කරන්නේ නෑ.

ජය වේවා...

Teshan said...

හැමෝටම බොහෝම ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට.

හිතුවාටත් වඩා මේ ලිපි වලට ප්‍රතිචාර ලැබීම ගැන සතුටුයි. මම උත්සාහ කරන්නේ ජීවිත කාලෙද් කවුරු හරි කෙනෙක්ව වරදකින් ගලවා ගන්නයි. ඒක සුළු දෙයක්ද ලොකු දෙයක්ද කියලා මම වෙන් කරන්නේ නෑ. ඒත් අපි චාරිත්‍රයට හරි කරන බොරු වැඩ වලින් අපේම අය ගලවා ගන්නටයි මේ උත්සාහ කරන්නේ. මේ ලිපි වලට අකමැති උදවිය මේවා නොපිළිපැද්දාට මගේ තරහවක් නෑ කියන්නත් ඕනේ. ඒ දේවල් ඒ ඒ අයට අදාළ විදියට පසුකාලීනව බලපාවි.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.