Tuesday, September 7, 2010

සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.

මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.

ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.

ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.

මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.

ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.

5 පාඨක අදහස් | Comments:

Anonymous said...

කවුරුවත්ම කියල නැද්ද අනේ ඔයාට පිස්සු කියලා??

ඔස්කා said...

අපේ මිනිස්සුන්ට බඩට මොනවහරි වැටෙනවනන් බලු නට්ටට උනත් වඳියි. මේකෙ අවාසනාව, සීවලී මහරහතන්වහන්සේ නිකෙලෙස් උත්තමයෙක් කියලවත් මේ මිනිස්සු හරියට දන්නෙ නැති එක. ඔයවගේම ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන්වහන්සේගෙ පින්තුරයක් අපේ ගෙවල් වල දක්නට නෑනෙ? එකෙන් හැඟෙන්නේ මිනිස්සුන්ට ඔලුවට වඩා බඩ ගැන හිතනව කියන එක..

Teshan said...

@Anonymous
මම හිතන්නේ ඔයා මේ ලිපියේ තියෙන දේ පිළිගන්නේ නැතුව ඇති. ඒකට කමක් නෑ. මේක හුදෙක් ලිපියක් විතරයි. බුද්ධියෙන් හිතල වැඩ කරොත් තමයි හොඳ.

@ඔස්කා
ඒක නම් ඇත්ත.

Gayan said...

ඕක වෙලා තියෙන්නෙ සුද්දගෙ කාලෙ ඕල්කට් උන්නෙහැල (මම දන්නෙ නැහැ හරියටම කවුඩ ඔය චිත්‍ර ඇන්දෙ කියල ) බෞද්ධ ප්‍රබෝදයක් ඇති කරන්න බුද්ධ චරිතයෙ අවස්ථා (මහභික්මණ එහෙම ) සහ සීවලී පින්තූර බෙදුවා. ඒ පුරුද්ද තම තවමත් තියෙන්නෙ.

දුකා said...

හොඳ ලිපියක් . . ශ්‍රී ලාංකිකයෝ හිත ගැන හිතනවට වැඩිය බඩ ගැන හිතන ජාතියක් කියලා දේෂපාලන විද්‍යාව උගන්වන ටෙරන්ස් පූරසිංහ මහතා නිතරම කියනවා . . . (ඇට අට නිසා දිනීම, හාල් පොලු නිසා පරාද වීම ආදී ලෙස) මේත් තවත් උදාරහණයක්ද . . ??

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.