Monday, September 20, 2010

මම මගේ කලින් ලිපියෙන් කියලා දෙන්නට උත්සාහ ගත්තේ මම අනුගමනය කරපු පිරිත් ගාථා පාඩම් කර ගන්න, එහෙමත් නැතිනම් මතකයේ තියා ගන්න ක්‍රමයක් ගැන. ඉතින් ඔය වගේ මතක තියා ගත්තු පිරිත් ගාථා ඛණ්ඩ අපි පැත්තකින් තියමුකෝ. හැබැයි එහෙම්මම ඒවා පැත්තකින් තියන්න බෑ. මොකද මේ කියන්න යන දේ ඒවාටත් ඒ විදියටම අදාල නිසා.

නිවසේ හෝ වේවා ඉන් පිටතදී හෝ වේවා බෞද්ධයෙක් නම් බුදුන් වඳින, වඳින්නට සිද්ධ වෙන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදරදී බුදුන් වඳිද්දී නම් නිතර නිතර ගාථා කියන්නට අවස්ථාව උදා වෙනවා. ඒත් අපි කල්පනා කරලා තියෙනවද අපි කාලයක් තිස්සේ කියාගෙන ආපු ගාථාවල් අපි ඇත්තටම හරියටම උච්ඡාරණය කරනවද කියලා? නැහැ නේද? සමහර විට සිහි බුද්ධියෙන් ගාථා කියන කෙනෙක් වුනත් මේ වැරැද්ද කරන්න පුළුවන්. සිහි බුද්ධියෙන් ගාථාවක් කියනවයි කියලා මම අදහස් කරේ ගාථා අනුපිළිවෙල වරදන්නේ නැතිව කියන එකට. ඔයත් එක්කම තේරුම මෙනෙහි කිරීම වක්‍රාකාරයෙන් හිතන්නත් පුළුවන්. තමන් හිතුවට තමන් හරියි කියලා තමන් හරියටම හරි නොවෙන්න පුළුවන්.

අපි සමහර විට බුදුන් වඳිද්දී චාරිත්‍රානුකූලව කාලයක් තිස්සේ කියාගෙන යන නිසා ඉබේම කට පාඩම් වෙලා. ඒත් අපි කාලයක් තිස්සේ වැරදියට මේවා කියන්න පුරුදු වෙලා තිබුණොත් ලොකු වැරැද්දක්. හැබැයි අපි බුදුන් වඳිද්දී කියන ගාථා වලින් සියයට අසූවක්ම පාහේ බුද්ධ භාශිත නෙවෙයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ අනිත් හැම ගාථාවක්ම පසු කාලීනව ඇති වුන ගාථා වෙන්න ඕනේ. මොකද බුදු හාමුදුරුවෝ උන්වහන්සේට කවදාවත් මල් පහන් තියලා පූජා පවත්වන්න කියලා කොහේදි වත් දේශණා කරලා නැති නිසාවෙන් ඒ පූජාවන් පවත්වන්න ගාථා ධර්මත් උන් වහන්සේ විසින් දේශණා කරලා නැති නිසා.

බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ තමන්ට මල් පහන් පූජා කරමින් ඉන්න හැටිවත්, පන්සිල් රකින හැටි කියලා දෙන්නවත් නොවන බව අපි මතක තියා ගන්නට ඕනේ. බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ ලෝකයේ යටපත් වෙලා තියෙන පරම සත්ත්‍යයක් ගැන අවබෝධය සියළු දෙනාගේ හිත සුව පිණිස ලඟා කර දෙන්නයි. ඒ නිසා අපි කරන පුද පූජා වලින් උන් වහන්සේට සිද්ධ වෙන යහපතක් නම් නෑ. නමුත් අපි ඒවා කරන්නේ හිතේ ශ්‍රද්ධාව වර්ධනය කර ගන්නයි. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමෙන්ම යහ මාර්ගයේ යන්නට මාර්ගය උදා කර ගන්නත් පුළුවන් වෙනවා.

පිරිතක් හෝ වේවා මේ වගේ බුදුන් වඳින ගාථාවක් හෝ වේවා අපි නිවැරදිව උච්ඡාරණය කරන්නට ඕනි හේතුවක් තියෙනවා. ඒ ඒවා පාලි භාශාවෙන් ඇති නිසා අකුරක හරි වරදකින් වෙනස් තේරුම් ඇති වෙන්න පුළුවන් නිසා. උදාහරණයක් විදියට හරිම සුලභ වැරැද්දක් ගැන කියන්නම්.

මියගිය ඥාතීන්ට පිං දෙන කොට කියන ගාථාව "ඉදංවෝ ඥාති නං හෝතු සුඛිතා හොංතු ඥාතියෝ" කියලා තමයි හැමෝම පටන් ගන්නේ කියන්න. ඒත් මේකේ අග කොටසින් "ඥාතියෝ" කියලා කොටසක් පාවිච්චි වෙනවා. ඇත්තෙන්ම මේක "ඥාතයෝ" කියලයි නිවැරදි වෙන්න ඕනේ. අපේ සිංහල බාසාවේ කොටස් පාලි කොටස් අතරේ තියෙන්නෙ බැහැනේ. ඒත් අපි හිතනවා ඥාතීන්ට පිං දෙන කොට ඒ ගැන සඳහන් වෙන හින්දා ඥාතියෝ කිව්වම හරි කියලා. එහෙමත් නැත්නම් මේක පුරුද්දට කියවෙන නිසා.

ඒ වගේම මම කලින් ලිපියේ සඳහන් කරපු රතන සූත්‍රයේ අවසන් කොටස් "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං..." ආදී තුන් ආකාරයකින් එක එක ගාථාවේ වෙනස්ව යෙදෙනවනේ. අන්න ඒ කොටස් නිවැරදි ගාථාවෙදි නොකියා වැරදි අවස්ථා වලදී යොදා ගන්න එක තමයි අනිත් මම දැකපු වරද. එතකොට බුදුන්ගේ ගුණ දම් ගුණ විදියටත්, සඟුන්ගේ ගුණ බුදු ගුණ විදියටත් වගේ විවිධ වැරදි තේරුම් ඇති වෙනවා. අපි නොහිතුවාට මේක අපි ගොඩක් අවධානයෙන් අවබෝධයෙන් කියන්න ඕනේ දෙයක්. මොකද මේක නම් බුද්ධ භාශිතයක් නිසා.

මේ දේවල් අපි මතකයේ තියා ගෙන හරියට ගාථා උච්ඡාරණය කරන්න දැන්වත් පටන් ගමු. හැබැයි මේ දේ කිව්වේ හැමෝටම නෙවෙයි. ගාථා කියන, කියවන අයට විතරයි. පොඩි වරදකින් හරි සිද්ධ වෙන තේරුමේ වෙනස ගාථාවකට ලොකු පාඩුවක් කරන නිසා, ඒ වගේම අපිටත්.

3 පාඨක අදහස් | Comments:

ඉලංදාරියා said...

වෑදගත් ලිපියක්

Unknown said...

aththa katawa.. ada godak aya gathawak kiyanne yalata mahata nisa meka mehema wenawa ati... nitara hari de hari widiyata bavitha wenawa nam me prashne enne nehe...

Indarj said...

බොහෝ වෙලාවට අපි පාලි ගථා කියන්නෙ එහි තේරුමවත් මෙනෙහි නොකරමින් කට පාඩමින් . ගාථා සුත්‍ර සින්හලෙන්ම කියනවනම් එහි අර්ථයවත් ගන්න පුලුවන් .
ක්‍රිස්තියානි ආගම ගත්තොත් යාඤ්ඤා සින්හලෙන් කරන විදිහට පරිවර්තනය වෙලා තියෙනව.ඇයි බැරි පිරිත් සින්හලෙන් දේශනා කරන්න. වැදගත් වෙන්නෙ ශබ්ද රසය ශ්‍රාවකයා තුලට ගෙන යාමද අර්ථය මෙනෙහි කරල ධර්මය පිලිබඳ අවබෝධය ලබා දීමද?

මේ භාෂා ප්‍රශ්ණය ලන්කාවෙ සාමාන්‍ය මිනිහෙක්ට බුද්ධාගම් ගැඹුරින් ඉගෙනගන්න බාධාවක්. පාලි හොඳින් ඉගෙනගෙන ඉන්න අවශ්‍යයි ඒකට කාලය කොහෙන් හොයා ගන්නද දැන් කාලෙ. ඒක නිසා අපි හැමදාම නමට බෞද්ධ. මැරෙනකම්ම බුද්ධාගමේ මූලික දේවල් ටික විතරයි අනුගමනය කරන්නෙ ඒකත් බාගෙට. .

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.