Thursday, September 2, 2010

මේ කියන්න යන කතාව විද්‍යුත් තැපෑල එහෙමත් නැත්නම් කවුරුත් දන්න බාසාවෙන්ම කියනවා නම් ඊමේල් පිළිබඳවයි. මෙහෙම කියද්දි හැමෝම දැන් ඊමේල් බලන්නට පටන් ගන්නත් බැරි නෑ. නෑ නෑ ඕනේ නෑ මේ වෙලාවේ බලන්න. මම මේ කියන දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳටෝම ඇති. මට වගේම ඔයාලා හැමෝටමත් විද්‍යුත් තැපැල් පෙට්ටියක් ඇති. ඒ වගේ දෙයක් ඉතින් අද කාළයේ නැතුවම බැරි දෙයක් තරම් නේ. මේ කියන්නට යන්නේ මට ආපු, ඒ වගේම ඇවිත් තියෙන විද්‍ය්ත් ලිපියක් සහ ඒ විදියේම ලිපි කීපයක් ගැන.

මට මේ ළඟකදී ආවා ඊමේල් එකක් දේව රූපයක් අන්තර්ගත කරලා. මීට කලිනුත් එහෙම ඊමේල් ඇවිත් තියෙනවා බුදු හාමුදුරුවන්ගේ රූපයක් පවා අන්තර්ගත කරලා. ප්‍රශ්නය කියන්නේ මෙහෙම ආපු එක නෙවෙයි. එහෙම එන ලියුම් වල මෙන්න මෙහෙම ලියලා තිබීම තමයි සාකච්චාවට ගන්න ඕනේ දේ. ඒ තමයි "මේ රූපය බලගතු රූපයක්. ප්‍රාතිහාර්යමය වටිනාකමක් ඇති රූපයක්. මේ රූපය සමග පැමිණි මේ ඊමේල් පණිවිඩය ඔබගේ මිතුරන්ට යැවීමෙන් ඔබට සභදායී ප්‍රතිපල ලැබෙනවා මෙන්ම, මෙය අහක දැමීමෙන් හෝ විනාශ කිරීමෙන් ඔබට අයහපතක්ම සිදු වෙනු ඇත. පහල දැක්වෙන්නේ එවැනි සත්‍ය සිදුවීම් කීපයකි".

ඔන්න ඕකයි වැඩේ. ඔය වගේ ලියලා අපිට ලැබුණ ඊමේල් පණිවිඩ ගැන මට හොඳ මතකයක් තියෙන්නේ. විශේෂතම වැඩේ කියන්නේ අර කිව්වා වගේම පහලින් ලියලා තියෙන සත්‍ය සිදුවීම් තමයි. කොටින්ම මේ වගේ පණිවිඩ අහක දාපු හැමෝටම කිසි හොඳක් සිද්ධ වෙලා නෑ. එක්කෝ ඒ කෙනා ජීවිතක්ෂයට පත් වෙලා, නැත්නම් රැකියාව අහිමි වෙලා. මේක තවත් අයට යවපු අයට හැම සැප සම්පතක්ම ලැබිලා. එක්කෙනෙක්ට මිලියන ගානක මුදල් ලැබිලා හෝ ලොතරැයියක් ලැබිලා. එහෙමත් නැත්නම් මොන මොනවා හරි ලියලා පල ඇත්ත විදියට පල කරපු දෙයක්. කියවද්දී හිතට බයක් වගේම ලොකු ප්‍රීතියකුත් ඇටි වෙන තරමටම සාහිත්‍යමය වටිනාකමක් සහිත ඊමේල් පණිවිඩ ගණයකට පවා ඇතුලත් කිරීමේ හැකියාව මේ ඊමේල් සතුයි.

ඇත්තෙන්ම මේ ක්‍රියාව මොන තරම් බොළඳ දෙයක්ද යන්න ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ. දෙවි කෙනෙක් හෝ බුදු රදුන් හෝ සිටින්නේ කෙනෙක්ට ලාභ පාඩු නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලබා දීමට නොවන බව අපි කවුරුත් දැන ගන්නට ඕනේ. ඕනෑම ආගම ධර්මයකින් මිනිස් වර්ගයාට සිද්ධ විය යුතු යුතුකම සහ බලපෑම වන්නේ තම තමන්ගේ සිත් පිරිසිදු කරගෙන තම ආගම ධර්මයේ සඳහන් උත්තරීතර තත්තවයට පත් විය හැකි ජීවන චර්යාවක් සහ හොඳ ගති පැවතුම් ඇති කර ගැනීමට මාර්ගෝපදේශයි. මේ ලෝකයේ එළිය දකින ඕනෑම මනුස්සයෙකුට ආගමකට බැඳීමක් ඇති වන්නේ ඒ හේතුව නිසා.

දෙවියන් හෝ බුදුන් හෝ මෙවැනි ලිපියක් කිසිම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් යවන්නේ නෑ. ඒ වගේම කෙනෙකු බියට පත් කරලා වැඩක් කරවා ගැනීමේ චේතනාවක් කිසිම ආගම ධර්මයක නොපැවතිය යුතුයි. නමුත් බිය වැද්දවීමෙන් හෝ නීති රීතිමාලාවන් වලින් වැට කොටු බැඳලා මිනිසුන් තුල ස්වයං පාලනයක් ඇති කරන ආගම් පවා අද ලෝකයේ නැතුවාම නොවෙයි.

බුදු රජාණන් වහන්සේ කිසිම දවසක කිසිම වරදක් කළ අයෙකු නොවේ. එහෙනම් ඒ වගේ උතුම් අයෙක් ඊමේල් පණිවිඩයක් තවත් කීප දෙනෙකුන් හට නොයැවීම සම්බන්ධයෙන් තරහා ගැනීමක් සිදු කරන්නේ නෑ. දෙවියෙක්ට හෝ දෙවියන් වහන්සේට වුවත් මිනිසුන් හට ඊමේල් පණිවිඩ යවනවා හැරුණු කොට කරන්නට වෙන වැඩක් නැති නම් අපට ඔය පණිවිඩ යම්තාක් විශ්වාස කරන්නට හරි පුළුවන් වේවි.

නමුත් මේ වගේ නිෂ්ඵල වැඩ කරන්නේ ආගම් ප්‍රචාරණය සඳහා ඒ ඒ ආගම් වල නියුතු වූවන් සහ අනුගාමිකයන් විසින්. ඒ නිසාවෙන් කිසිම ආගමක් නිසා යම් අයෙකුට හිංසනයක් වෙනවා නම් එය ආගමක් නොවන බවත් ඒ පුද්ගලික මති මතාන්තර හුවා දැක්වීමට කරනා ක්‍රියා පිලිවෙතක් බවත් අප තේරුම් ගත යුතුය.

5 පාඨක අදහස් | Comments:

Murthi said...

මමනං මෙහෙම වෙලාවට ඒක වෙන කාටවත් නොදා එවපු එකාටම forward කරනවා... :D

Shadow/හේමලයා said...

ඕවා ඊමේල් එන්න කලිනුත් තිබ්බා...ඉස්සර මතක නැද්ද කොල බෙදාගෙන යනවා මෙච්චර ගානකට තැපැල් කරන්න නැත්නම් පල විපාක දෙනවා කියලා.....ආගම් ප්‍රචාරණය පැත්තකින් තියමුකෝ...ඒ නැතත් අපි කොයිතරම් නම් hoax E-මේල් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව FWD කොරනවාද...අන්තිමට කවුරුහරි පටගත්තු එකා අර ඔක්කොම ලිපින මාකටින් කොම්පැනියකට විකුණා ගන්නවා....ඉතින් ඔක්කොමල්ලට නොමිලේ ස්පෑම් ඇඩ් තමා......:))

Teshan said...

@Murthi
අයියෝ පව් අනේ එවපු එකා. ස්තූතියි මේ පැත්තට ආවට :)

@Shadow/හේමලයා
ඔව් ඒක නම් ඇත්ත. මම නම් ඔය අථින් අථ යන ජාතියේ කොල නම් දැකලා නෑ. හැබැයි ලැබුනොත් අනිවාර්යෙන් ගෙදර සත්තුන්ට කෑම දාන්න ගන්නවා.

Anonymous said...

බුද්ධාගම ඇර වෙන මොකක් හරි ආගමක් ප්‍රචාරය කලොත් උඹලට ඉතින් ඒක අරහං.අනේ නිකම් පලයන් Baන් යන්න.මේ ලෝකෙ හැමෝටම නිදහසක් නැද්ද තමන්ගේ මතය කියන්න...

Teshan said...

@Anonymous
වෙන ආගමක් නෙවෙයි ඕනෙම ආගමක් මේ වගේ මෝඩ විදියට ප්‍රචාරය කිරීම නිෂ්ඵල වැඩක්.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.