Sunday, September 26, 2010

මීට ටික කලකට ඉහතදී මම ඔයාලට කීවා පණ අදිමින් ඉන්නා බළල් පැටවුන් දෙදෙනෙක් ගැන. හදිසියේ එල්ල වුණු පිටස්තර බළල් ප්‍රහාරයක් නිසයි මේ දේ සිද්ධ වුනේ. ඒ දෙන්නාම මේ වෙද්දී ජීවතුන් අතර නෑ. මොකද ඉතින් තත්ත්වය තිබුණේ වැට උඩ අවස්ථාවක නිසා. මගේ මේ සම්බන්ධ කලින් ලිපිය මට ඒ නිසා ලියන්නට සිද්ධ වුනේ දුක් මුසු ස්වරයකින් වීම කණගාටුවට කරුණක් වුනා.

මේ දේත් එක්ක කිව යුතු කාරණා කීපයක්ම හිතේ තිබුණා. ඒත් කියන්නට හොඳ වෙලාවක් එනකනුයි බලාගෙන හිටියේ. ඒ පැටව් දෙන්නාගෙන් එක් පැටවෙක් අනතුරින් පස්සේ තුන් වෙනි දවසෙදි නැති වුනා. අනිත් පැටවා සතියකට ආසන්න කාලෙකදියි නැති වුනේ. මේ දෙන්නාගේම දකින්නට තිබුණු වෙනසක් තිබුණා. ඒ ගැන අපිට ඒ තරම් වැටහුනේ නැති වුනාට අපිටත් ප්‍රශ්නයක් ඇති වෙලයි තිබුණේ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මේ වෙනස තමයි තවත් බළලෙකුගේ ප්‍රහාරයක් එල්ල වුනත් පිටතට පෙණෙන කිසිම තුවාලයක් නොතිබීමත් සුළු සීරිම් කීපයක් ඇරුනම කියන එකත්. ඒ විතරක් නෙවෙයි මේ බළල් පැටවුන්ගේ බඩ ඒ කියන්නේ උදරය ටිකක් පිම්බිලා තිබුණා සාමාන්‍ය තත්ත්වයට වඩා. ඔයාලා මගේ කලින් ලිපිය දැක්කා නම් ඒකේ දාල තිබුණු රූප වලින් ඒක පැහැදිලි වේවි.

මෙහෙම වෙලා තියෙන්නේ මොකක් හරි සිද්ධ වුනු තැලීමකින්. ඒ කියන්නේ මේ පැටවුන් දෙදෙනා යම් කිසි තෙරපීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසාවෙන් උන්ගේ අක්මාවල් තැලී ගිහින් ඉදිමීමකට ලක් වෙලා ගිහින් තියෙනවා. අපි මේ පැටවුන්ට ප්‍රතිකාර කරන්නට පශු වෛද්‍යවරයෙක් වෙත ගියාට මොකද ඔහු අපිට කීවේ නෑ මේ සම්බන්ධ දෙයක් ගැන. කිසිම ඇඟවීමක් කරේ නම් නෑ. ඒත් මගේ කලින් ලිපියේ තිබුණු රූප දැකලා මට මගේ යාළුවෙක් කීවා මේ සතුන් දෙදෙනා ජීවත් වෙන්නේ නෑ කියලා. අර වගේ අක්මා තැලීමක් සිද්ධ වුනාම බඩ පිම්බෙන්නේ අක්මා ඉදිමීමක් නිසා බවත් ඔහු මට කීවා. ඒ නිසා ජීවිතය බේරා ගන්නට බැරි බවත් මට කීවා. මෙහෙම කීවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කෙනෙක් නම් නෙවෙයි. උසස් පෙළට ජීව විද්‍යාව ඉගෙන ගත්තු දැන් තොරතුරු තාක්ෂණ උපාධියක් කරන කෙනෙක්.

සමහර විට අර පශු වෛද්‍යවරයා ඒ බව දැන සිටියා වෙන්නත් පුළුවන්. ඒත් අපිට දැනුම් නොදුන්නේ දිනපතා ලැබෙන ගතමනාව ලබා ගැනීමේ අරමුණින් වෙන්නත් පුළුවන්. මොකද එතකොට අපේ ගමන නැවතෙන බව දන්න නිසාවෙන්. ජීවත් කළ නොහැකි ජීවිතයක් ජීවත් කරන්න අපි ගත්තු උත්සාහය අපි වළක්වයි කියන හැඟීමෙන් වෙන්න ඇති. මේ දේ මෙහෙම්ම ම නොවෙන්නත් පුළුවන්. මේත් එක්ක අපිට හිතන්නට කාරණා බොහෝමයක් අපේ ඉදිරියට එන්න පුළුවන්. ඒ කොහොම නමුත් මරු තුරුලට යන පාරෙ හිටපු ඒ පැටවුන් දෙදෙනා ඉතින් උන්ගේ ධෛවයේ හැටියට ඒ තුරුලට ගියා.
ඔයාලා බෞද්ධ අය නම් අනිවාර්යෙන්ම එක වතාවකදි හරි ධර්ම දේශණාවක් අහන්න ගිහින් ඇති. එහෙම හරි ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් හෝ ධර්ම දේශණා අහලා තියෙනවා නම් මේ ගැන හිත යොදවන්න නැතුව ඇති. මේ කියන්න යන දේත් මම සහභාගී වුනු ධර්ම දේශණා ගණනාවකදිම මට අහන්න ලැබුණු දෙයක්. හැබැයි හැම තිස්සේම කියන දෙයක් නම් නෙවෙයි, ධර්ම දේශණාව අවසානයේදියි මේ දේ අහන්නට ලැබෙන්නේ.

සාමාන්‍යයෙන් ධර්ම දේශණයක් අවසන් වේගෙන එද්දී ඒක අවසාන කරන්නේ ධර්ම දේශණය කරන යතිවරයාණන් වහන්සේ විසින් දෙවියන්ට, මළගිය ඥාතීන්ට පිං පමුණුවලා එහෙම නෙ. ඉතින් ඔන්න ඔය වගේ පිං දීම් ආදිය ඉවර වෙනවාත් එක්කම දේශකයාණන් වහන්සේලාගේ කටින් පිට වෙන දෙයක් තියෙනවා. ඒ තමයි "මේ පිං අනුමෝදන් වීමෙන් දෙව් බඹ සැප ලබා අවසානයේ අමා මහ නිවන් සුව ලැබේවා" කියන ප්‍රාර්ථනාව. මේ ප්‍රාර්ථනාව ධර්ම දේශණයේ පුණ්‍යානුමෝදනාවත් එක්ක විවිධ හැඩ වලින් විවිධ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යොදා ගන්නවා. සමහර විට පුරුද්ද නිසාවෙන් වෙන්න ඇති.

ඒත් මේ සමාජයේ ජීවත් වෙන කීයෙන් කීදෙනෙක් නම් නිවන් මාර්ගයට පැමිණිලා ඇත්ද කියලා ඔයාලා කවුරුවත් හිතලා තියෙනවද? ඇත්තෙන්ම පන්සිල් වත් නොරකිද්දී නිවන් මාර්ගය අවබෝධ කර ගන්නට උත්සාහ දරන උදවිය අද සමාජයේ කොයි තරම් නම් අඩු වෙලාද. හැමෝම එක පිම්මේ, නැත්නම් හැල්මේ දුවනවා එක එක දේවල් පස්සේ. ආධ්‍යාත්මීය දියුණුවක් ගැන හිතන්නට සමහර උදවියට මතක් වෙන්නේ මැදිවියෙන් මහළු වියට පා නගනවාත් එක්කමයි.

හරි ඒ කතාව අපි ටිකකට පැත්තකින් තියමුකෝ. සුපුරුදු විදියට මම මුලින් කීවාක් වගේ අවසාන වෙන ධර්ම දේශණාවකදී අපි කතාවට ලක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ කතාව මෙන්න මේ විදියට කීවොත් වඩා නිවැරදියි. අපි නිවන් මාර්ගයේ යන අතරතුරේදී මගදී දිව්‍ය ලෝකයක ගොඩ බැහැලා ඇති තරම් සැප විඳලා ආයෙත් එතනින් බ්‍රහ්ම ලෝක වලත් ගොඩ බැහැලා ඒවායෙනුත් ගන්න තියෙන දේවල් අරගෙන අන්තිමටම නිර්වාණය කරා යාමක් වගේ අදහසක් දෙන දෙයක් නේ. හරියට අපි විනෝද චාරිකාවක් යද්දී අතරමගදී ලස්සන තැනක් බලලා කන්න බොන්න නවත්තනවා වගේ දෙයක් නේද? ඇත්තෙන්ම ඕකෙන් සිද්ධ වෙන්නේ අපේ සසර ගමන තවත් දික් වෙන එක නේද? සමහර විට මේ කියන වචන වලින් පිළිබිඹු වෙන අදහස මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්.

ඒ තමයි, යමෙක් පියවර වශයෙන් නිවන් මගේ යද්දී හමු වෙන නැවතුම් පොළවල් හතරක් තියෙනවා. මාර්ග ඵල කියන්නේත් මේවා. දැන් බලයි මොනාද ඒ කියලා. ඒ තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් කියන නැවතුම් පොළවල් හතර. මේ එක එක නැවතුම් පොළවල් වලදී අපේ සංසාර චක්‍රයේ කෙටි වීම් සිද්ධ වෙනවා. මින් පළමු නැවතුම් පොළ ගැන අපි කවුරුත් දන්නා කියන කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියැවෙනවා. ඔයාලා නිකමටවත් හිතුවද එහෙම දෙයක් ගැන මෛත්‍රීය කරන හැටි කියවෙන පිරිතක ඇතිය කියලා? බොහෝ දෙනෙක් ඒ ගැන නොදන්නවා ඇති.

දස සංයෝජන ධර්ම කියලා කොටස් දහයකින් යුක්ත අපි සංසාරයේ සැරිසැරීමට උදව් වෙන දෙයක් තියෙනවා. මේ දේවල් මුල ඉඳන් එකිනෙක නැති කරලා දැමීමෙන් අපි අර කලින් කීව මාර්ග ඵල එකින් එක පඩි පෙළක් නගින්නාක් වගේ අපිව ඉහලට එසවෙනවා. සෝවාන් වුනු කෙනෙක් දුගති වල නොඉපිද භවයන් හතක් ඇතුලතදී අනිවාර්යෙන්ම නිවන් අවබෝධ කරනවා. මේ වගේ ඒ ඒ මාර්ග ඵල තත්ත්ව සපුරද්දී බ්‍රහ්ම ලෝක වල උපත ලැබීම, රූපා'රූප ලෝක වල උපත ලැබීමාදී වශයෙන් බුදු දහමේ සඳහන් වෙනවා. සමහර විට මේ ගමනේදි අතරමගදී කියැවෙන ඒ දේවල් ගැන වෙන්නත් පුළුවන් අර මුලින්ම මම කියූ කාරණාවෙන් සඳහන් වෙන්නෙත්. ඒත් ඇහෙන හැටියට නම් තේරුම් යන්නේ නිවන් දකින්න කලින් හැම සුගතියෙන්ම සැප ලැබීමේ අරමුණක් වගේ දෙයක්.

කොහොමින් කොහොම හරි බුදු දහම, සැප ලබන්න එපා කියපු දහමක්, ඉගැන්වීමක් නෙවෙයි. නමුත් නිවන් අවබෝධ කරන්නට නම් කියාපු දහමක්. ඒත් අතරමගදී දිව්‍යලෝක වලදී නැවතිලා සැප ලැබීම නොලැබීම තීරණය වෙන්නේ අපේ කර්ම ශක්තියට අනුකූලව බව මතක තියා ගන්නට ඕනේ. ධර්ම දේශකයන් වහන්සේලාත් මේ වගේ දෙයක් කියන්නට කලින් ටිකක් කල්පනා කරලා බැලීම වටින කියන දෙයක්.

Saturday, September 25, 2010

මේ කියන්න යන දේ ඔයාලත් අත් විඳලා ඇති සමහර විට. ඒත් මේ දේවල් ගණන් නොගෙන ඉන්න තරමටමයි වටින්නේ. නැත්නම් ඉතින් ලේ කෝප කර ගන්න වෙනව නොවැ. මාතෘකාවේ සඳහන් වෙන දේ දැක්කම මගේ ලිපිය පටන් ගන්නත් කලින්ම ඔයාලට එක එක විදියේ අදහස් මතු වේවි. ඒත් ඉතින් මේ දේ තරහක් නැතුව ලියන්න මම හිතුවේ අදාළ පුද්ගලයන්ට දැක බලා ගන්නයි, ඔයාලටත් මගේ මේ අත්දැකීම ගැන කියල දෙන්නයි.

කාඩ්බෝඩ් කෑලි ඉතින් ඕනෙම කෙනෙකුට හොයා ගන්න පුළුවන් නේ. ඉස්සර නම් පොඩි කාලෙදි අපි කාඩ්බෝඩ් වලින් සුපිරි වීරයන්ව ඇඳලා කපලා ඒවත් එක්ක සෙල්ලම් කරනවා. ඒ අපේ කාලේ. දැන් ඉතින් එහෙම නැහැනේ. දැන් කාලයේ අපිට මුණ ගැහෙන්නේ කාඩ්බෝඩ් නළු නිළියන්වනේ. ඔය වගේ නළු නිළියො හැරුනම ඉන්න තව පිරිසක් තමයි කාඩ්බෝඩ් යාළුවෝ. කාඩ්බෝඩ් වචනෙ ඉස්සරහට දාලා අන්තිමට නාම පදයක් එකතු කර ගත්තාම ඒ අදාල නාම පදෙන් හඳුන්වන දේ කාඩ්බෝඩ් එකකින් පවා කපා ගන්න පුළුවන් ගණයේ කියන අදහස නේ එන්නේ.

හරි හරි. ඒක අපි පැත්තකින් තියමුකෝ. දැන් අපි ලිපියේ මාතෘකාවට බහිමු. මේ ලියන දේට මේ මාසයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් වක්‍රාකාරයෙන් සම්බන්ධයි. මේක නොතිබුනා නම් ඉතින් හරි හමං විදියට මේ දේ ගැනත් මට දැන ගන්නට බැරි වෙනවා. මේ එක්තරා යාළුවෙක් ගැන දෙයක් වගේම එයා හැසිරුණේ මොන වගේ විදියකටද යන්න ගැනත් පොඩි ලිපියක්. නම කියන්න උවමනාවක් වෙන එකක් නෑ. මොකද නමට වඩා සිද්ධ වුනු දේ ගැනනේ මටත් ලියන්න ඕනේ. මේවා මතක් වෙද්දිත් මට හරි හිනා ඉතින්. මොනා කරන්නද?

මේ යාළුවා මගෙත් එක්ක හොඳ යාළුකමක් පවත්වපු කෙනෙක්. කොටින්ම කියනවා නම් මගේම පාසලේ එකම මිත්‍ර කැලේ හිටපු කෙනෙක්. කොහොම හරි යාළුකම නිසා හෝ මේ යාළුවා මේ වතාවෙදි පොත් ප්‍රදර්ශනය පළමු දවසේම බලන්න යන්න මට ආරාධනා කරා. නිකන්ම නෙවෙයි ඒක අනිවර්ය ආරාධනාවක්. හැබැයි ඒ ආරාධනාව මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුනා. වෙන මුකුත් හින්දා නෙවෙයි, මම ඒ යාළුවාට කලින් වෙනත් හොඳම යාළුවෙක්ට ඒ දේටම පොරොන්දු වෙලා හිටි නිසා. ඕක කීවට පස්සේ ඒ යාළුවා කතා කරන එකත් නවත්තලා දැම්මා මාත් එක්ක.

ඉතින් ඔතනින් නැවතුන කතාබහ තවමත් ඒ විදියමයි කියලා තමයි කියන්න වෙන්නේ. කොයි තරම් උත්සාහ ගත්තත් කතාවට එකතු වෙන්න කිසිම ප්‍රතිඵලයක් ලැබුනේ නෑ. මොකද ඉතින් එයාගේ ආරාධනය පිළි නොගන්න ඕනෙම කෙනෙක්ව එයා එයාගෙ මිතුරන්ගෙන් ඈත් කරලා දානවා කියන එක ඒ කෙනාගේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති නේ. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ වුනේ. කොච්චර එකට හිටියත් යාළුවෙක් වගේ, බොක්ක වෙනස් කියල තමයි අවසානයෙදි කියන්න තියෙන්නේ. ආරාධනාවක් පිළි නොගැනීම මිතුරු කම් නැති වෙන්න හේතුවක් නම්, අපිට යම් පුද්ගලයන්ගේ රූකඩ වගේ හැසිරෙන්නටත් සිද්ධ වේවි.

අන්න ඒ නිසයි මම කීවේ ඔය වගේ සුළු දෙයින් පවා යාළුකම් අමතක කරන මිතුරන් කාඩ්බෝඩ් සහ බොලඳ මිතුරන් කියලා. මගේ ලිපියේ මාතෘකාවටත් ඒකම යෙදුවේ ඔන්න ඔය දේ කියන්න ඕනෙ වුණු නිසා. හැබැ‍යි මේකෙන් ඔයාලට දෙන්න පණිවිඩයකුත් තියෙනවා.

කෙනෙක් සමග යම්කිසි වැඩකට නියම කර ගත්තු වෙලාවකම තවත් වැඩක් වෙන අයෙකු සමග කරන්නට පසුව නියම කර ගන්න එපා කියලයි මම කියන්නේ. මුලින් පොරොන්දුවක් දෙන්නේ හිඟන්නෙකුට නම්, පසුව පොරොන්දුවක් වෙන්නට යන්නේ රජතුමෙකුට නම් හිඟන්නාට දුන් පොරොන්දුව කඩ නොකරන්න වග බලා ගන්න. ඒක හොඳ පුරුද්දක්. මේ නිසා ජීවිතෙන් සමහර දේවල් ඈත් වුනත් ඒ ඈත් වීම ම අපිට ජීවිතේදී ලොකු පාඩමක් අවබෝධයක් ලබා දෙන්නට සමත් වෙනවා.
මේ ලිපිය ලියන්නට හේතු වුණේ හිතේ තද කර ගත්තු දැඩි දුකක් සමගම සං සිඳෙන්නේ නැති දැඩි කෝපයකුත් සමගයි. ඒකට හේතුව මොකද්ද කියන එක මීලඟට ලියන්නම්. මේ කියන්න යන දේට ඔයාලත් එකඟ වේවි කියලා මම හිතනවා. මොකද මේ වගේ දෙයක් සාධාරනීකරණය කරන්න තරම් හිතක් පපුවක් නැති කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඇතිය කියලා මම හිතන්නේ නෑ. හිටියත් මේ දේ ගැන හොඳට හිතලා බලන්නට වෙන කාරණාවක්. කවදා හරි දවසක මේ දේ අපිටම වෙන්නත් පුළුවන්. ඒත් ඒ නුදුරු අනාගතේදී වෙන්නත් පුළුවන්.

පහු ගිය දවස් වල හරියට කතා බහට ලක් වුනු කාරණාවක් තමයි මුන්නේශ්වරම් කෝවිලේ වාර්ශිකව සිද්ධ වෙන මහා සත්ත්ව බිලි පූජාව සම්බන්ධ කතා පුවත. මේ දේ වළක්වන්න කියලා මහ ජනතාව ඉල්ලිම් කරලා තිබුණත් ඒ දේ එහෙම වුනාද කියන එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ දෙයත් කෙරෙනකං විතරමයි අපේ අයටත් කෑ ගහන්නට පුළුවන් වෙලා තියෙන්නේ. කොහොමින් කොහොම හරි මේ සංතෑසිය වීඩියෝ පටයක් මාර්ගයෙන් දකින්නට ලැබුනා. ඒ මොහොතේදී හිතට දැනුණු හැඟීම මොන වගේද කියන එක ඔයාලටත් මේ ලිපිය අවසානයේදී දැන ගන්නට ලැඹේවි.

ආගමක් රැකීම වෙනුවෙන් හරි ආගමක චාරිත්‍රයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් හරි මිනිසුන්ගේ පටු ආශාවන් ඉෂ්ඨ කර ගන්නට මේ වගේ අහිංසක කිසිත් නොදත් සතුන්ගේ ජීවිත වලට වන්දි ගෙවන්නට සිද්ධ කරවීමත් නිරාගාමී වෙන තරමේ කුරිරු පාපයක් හැටියටයි සලකන්නට වෙන්නේ. මේවාට සහභාගී වෙන හැම කෙනෙකුම මේ භවයේදීම එවැනිම දරුණු දුක්ඛිත වේදනාකාරී මරණ වලට මුහුණ පෑ යුතු බවයි මගේ හැඟීම. ඒ වගේම හිතක් පපුවක් හැඟීමක් දැනීමක් තියෙන ඕනෑම කෙනෙක් ඒ දේ සම්මත කරනු නොඅනුමානයි.

බෞද්ධයෙකු විදියට හිතට තියෙන ලොකුම දුක අපේම බෞද්ධයිනුත් මේ පාපතර ක්‍රියාවට උදව් උපකාර සංග්‍රහ සත්කාරකත්වය ලබා දීමයි. ඒ විතරක් නෙවෙයි මේ දේවල් පසු පස ගිහින් බෞධත්වය නිගාවට හෙලන අපේම බෞද්ධයින් තම තමන්ගේ ප්‍රාර්ථනා ආශාවන් බලාපොරොත්තු ගුරුකම් ඉශ්ඨ සිද්ධ කර ගන්නට අහිංසක සත්ත්වයෙකුගේ ජීවිතය නොමනා විදියට, අමනුස්ස විදියට උදුරා ගන්නට මුන්නේශ්වරම් කෝවිල් භූමියට යාම ඊටත් වඩා නොමනා ක්‍රියාවක් විදියටයි සලකන්නට වෙන්නේ. බෞද්ධ ලේබල් පිටේ එල්ලා ගෙන මේ වගේ දේවල් වලට වක්‍රාකාරයෙන් හරි සම්බන්ධ වෙන හැම කෙනෙක්ම මේ පාපිෂ්ඨ ක්‍රියාවේ අයිතිකාරයෝ වගෙම වග කිව යුත්තෝ වෙනවා.

මේ ලෝකයේ සහ බුදු මුවින් පිට වුනු යම් දෙයක් තියෙනවා නම් එය සදාකාලිකවම සත්ත්‍යයක් විදියට පවතිනවා. ඒ බුදු මුවින් දේශණා කලා නම් ප්‍රාණඝාතයෙන් ලැබෙන විපාක ගැන ඒ දේවල් ඒ විදියෙන්ම අනිවාර්යෙන්ම සිද්ධ වේවි.

අද සතුන්ගේ ජීවිත අමන ආකාරයෙන් මේ වගේ බිලි වෙද්දී හෙට තවත් දේවාලයකදී මිනිස් ජීවිතත් බිලි පූජා වලට වග කියාවි. ඒ බවට තොරතුරුත් දැන් දැන් හෙළි වෙමින් තියෙනවා. ආශාවන් පස්සේ වැටිලා ඉන්න අපේ මිනිසුන් මිනිසත්කම පාගන් තම සතුට වෙනුවෙන් තමන්ගේම කෙනෙක් බිලි දෙන කාලය තව ටික දවසකින් අනිවාර්යෙන්ම උදා වෙද්දී කවුරු කවුරුත් පරක්කු වෙලා වැඩි වේවි. මේ වගේ පාපතර පහත් ක්‍රියාවන්ට විරුද්ධව හඬ නගන මිනිසුන්ගේ කෑ ගැසීම අහන්නට කිසිවෙක් ඉදිරිපත් වෙන්නේ නැති නමුත් අනිත් ඕනෑම වරප්‍රසාදයක් වෙනුවෙන් කතා කරන්නට, තර්ක විතර්ක කිරීමට ඇති තරම් මිනිසුන් අදටත් බිහිවෙලා තියෙනවා වගෙම ඉදිරියට බුරුතු පිටින් මතු වෙලා ඒවි.

පහලින් තියෙන වීඩියෝ පටය ඉතා සංවේදී අය බැලීමෙන් වැළකිය යුතුයි කියලා බොළඳ ප්‍රකාශයක් කරන්නට මම හිතන්නේ නෑ. මොකද මේ වගේ දෙයක් හැම කෙනෙකුම දැකිය යුතුයි. මිනිසුන්ගේ ආශාවන් වෙනුවෙන් ජීවිත වලට වන්දි ගෙවන අහිංසක සතුන් විඳිනා දුක මේ වීඩියෝවෙන් දකින්න ඔයාලා හැමෝටම මම ආරාධනය කරනවා. ඒ නිසා සංවේදී වුනත් නැතත් මනුශ්‍යත්වය වෙනුවෙන් මේ දේ බලන්න. හිතන්න...

මුන්නේශ්වරම් වධකාගාරයේ මෙවර හෝ පසුගිය වර හෝ පැවති මහා සත්ත්ව සංහාරයෙන් බිඳක්

Friday, September 24, 2010

මේ ලිපිය ලියන්න හිතුනේ මේ ලඟකදි ඉඳන් මට දැන ගන්නට ලැබුනු විශේෂ කාරණාවක් නිසා. මේක කොයි තරම් කාලයක ඉඳලා පැවතගෙන එනවාද කියලා නම් කියන්න දන්නේ නෑ. ඒත් කියන එක හොඳයි කියලා හිතුන නිසා ලිපියකින්ම කියන්න හිතුනා. සමහර විට ඔයාලත් මේ දේවල් අත් දැකලා අත් විඳලා භාවිතා කරලත් තියෙන්න පුළුවන් නිසා. මාතෘකාවේ හැටියට නම් ඒ තරම් සභ්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ තරම්ම සභ්‍ය දෙයක්ද කියන එක ගැන ඔයාලම තේරුම් ගත්තොත් තමයි වඩා හොඳ.

ලෝකේ ඉන්න ඕනෙම කෙනෙක් කිසිම ගුරුවරයෙකුගේ උදව්වෙන් උපදේශයකින් තොරව ඉබේම වගෙම ලේසියෙන්ම ඉගෙන ගන්න එකම බාසාව තමයි කුණුහරප බාසාව. පරුෂ වචන කියනවා කියන්නෙත් මේවටම තමයි. මේ බාසාව නොදන්න කෙනෙක් නැති තරම්. මොකද බාලාංශ පන්ති වල ඉන්න ළමයින් පවා මේවා අද කාලය වෙද්දී හරිම චතුර විදියට වගෙම බහුශෘත විදියට භාවිතාවේ යොදනවා.

දැන් කාලෙ වෙනස් වෙලා ගිහින්, තාලෙ අලුත් වෙලා ඇවිත්. ඒක ඉතින් එහෙම වෙන්න එපැයි. වෙනස් නොවෙන එකම දේත් වෙනස් වීම ම නේ. හැම දේම ක්ෂණික තත්ත්වෙට පත් වෙලා. මේ ක්ෂණික කියන වචනය මේ ලිපියට සම්බන්ධ වුනේ කොහොමද? ඇත්තටම මේ ක්ෂණික ක්‍රමයට කුණුහරප කීම මගින් තමයි කුණුහරපෙක තියෙන අසභ්‍ය භාවය ඒකෙන් ඈත් වෙලා ගිහින් තියෙන්නේ. මේක සමහර විට අලුත් පන්නෙක වැඩක් වගේ.

මේ අළුත් කුණුහරප කීමේ ක්‍රමය මට අහන්න ලැබුනේ මගේම යාළුවෙක්ගෙන්. එයාලගේ වැඩපොළේ ඔය අසභ්‍ය වචන ගෑනු පිරිමි වෙනසකින් තොරව හරිම ලේසියෙන් පහසුවෙන් පාවිච්චි කරනවලු. ඒ මෙන්න මේ විදියට. ඕනෙම ලොකු කුණුහරපෙක මුල් අකුර කීවම ඒකෙන් අදහස් වෙන්නේ අර දිග සම්පූර්ණ කුණුහරපය. ඔන්න ඕකයි අලුත්ම ක්‍රමය කුණුහරප කීමේ. මේක ඉංග්‍රීසි බාසාවෙන් හෝ වේවා සිංහල බාසාවෙන් හෝ වේවා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. එක අකුරකින් ද්විත්ව තේරුමක් ඇති වෙන විදියට කියන්න පුළුවන් වගේම ලේසි වෙලා තියෙන නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවයම හරි උජාරුවෙන් මේ ක්‍රමය පාවිච්චි කරනවා. කාට කියන්නද මේවා.

ඉතින් ඔන්න ඔහොමයි අද කාලෙ කුණුහරප මොඩ් වෙලා තියෙන්නේ. අසභ්‍ය දේවල් සභ්‍ය වෙලා නොහිතන විදියකින්. කොහොමත් පිරිහෙන සමාජයකදි ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල් තමයි. අර මගේ කලින් ලිපියේ කීවා වගේ කට අරිනකං කිසිම දෙයක් හොයා ගන්න අමාරුයි පුද්ගල චර්යාවන් ගැන. මේකත් ඒකට ගොඩක් ගැලපෙනවා. කුණුහරපයක් සම්පූර්ණයෙන්ම කියන්න ලැජ්ජා, මැලි වුනු ඈයො අද හරිම ලේසියෙන් තනි අකුරකින් කුණුහරපයක් කියලා දානවා ඇඟේ ගෑවී නොගෑවී යන ගානට.

හිතන්නට දෙයක් ආයෙත් ඉතුරු කළා. ලැජ්ජා බය නැති වීම තිරිසන් තත්ත්වයට වැටීමක් වගේ කියලයි මගේ හැඟීම. මේ දේ ඔයාලත් ඒ විදියටම භාවිත කරනවා ඇති. නොවෙන්නත් පුළුවන්. ඒත් කුණුහරපය දැන ගන්නවාට වඩා ඒවා කටින් මොන විදියෙන් හරි පිට වීම පිළිකුල් සහගත දෙයක් බවත් මතක තියා ගන්නට ඕනේ.

මේ ලිපියෙන් වැරදි චර්යාවක් සමාජගත වෙනවා නම් ඒක මගේ අතින් වෙන වැරැද්දක් වෙන්නත් පුළුවන්. ඒත් මේ දේවල් මම කියන්නට කලින් සමාජගත වෙලා තියෙන නිසා ඒක මගෙන් සිද්ධ වෙන වැරැද්දක් වෙන්නට ඉඩ අඩුයි. මොකද අකුරකින් කීවත්, වචනෙන් කීවත් කුණුහරපය කුණුහරපෙම නිසා. වෙනසකට තියෙන්නේ ලැජ්ජා බය ඇති උදවිය ඒවා කටින් පිට නොකිරීමත්, ලැජ්ජා බය නැති උදවිය ඒවා කටින් පිට කිරීමත් කියන දේ විතරයි.
උගත් නූගත් හැම දෙනාටම වැදගත් කාරණාවකුයි මේ කියන්න යන්නේ. හැමෝටම තියෙන අවයවයක් නේ කට කියන්නේ. හැබැයි මේ දේ ගොළු අයට නම් ගැලපෙන්නේ නෑ. මොකද ඉතින් එයාලට කතා කරන්න බැහැ නේ. ඒ වගේ විතරක් නෙවෙයි මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවනෙ, කට හින්දයි මාළුවත් නහින්නෙ කියලා. අන්න ඒ නිසා ඒ දේ අපි හැම වෙලේම මතක තියා ගන්නට ඕනේ කොහේ කොහොම කොයි වේලාවක හිටියත්.

අපි අදහස් හුවමාරු කර ගන්න ප්‍රධානතම අවයවය තමයි කට කියන්නේ. මුඛය කියල කියන්නෙත් ඕකම තමයි. කටක් තිබ්බට දිවක් නැත්නම් හරි දිව කොට නම් හරි අදහස් හුවමාරු කර ගන්න වෙන්නේ බාගෙට. ඒත් කතා බහ කරන්නට පුළුවන් අය ගැනයි මේ දේ කියන්න හදන්නේ.

අපි ඇඳුමින් පැලඳුමින් සැරසුනාම සමහර වෙලාවට කලින් දැකලා තියෙන පුද්ගලයාට හාත්පසින්ම වෙනස් ආකාරයක පුද්ගලයෙකුයි දකින්නට ලැබෙන්නේ. බොහෝ වෙලාවට හොඳ ඇඳුම් ආයිත්තම් ඇඳ ගත්තාම වැදගතෙක්ගේ සේයාරුව තමයි අපි ඉස්සරහා පෙනෙන්නට තියෙන්නේ. ඒ කොහොම වුනත් මේ පිට කවරෙකින් ආවරණය වුනු හැමදෙනා සතුවම හොඳ ගුණ ධර්ම තියෙනවාය කියලා නිෂ්චිත නිගමනයකට ඒ පිට ආවරණය දැකීමෙන් එළඹෙන්නට අමාරුයි නේ. ඒත් අද සමාජයේ බොහෝමයක් දෙනා කෙනෙකුගේ තත්ත්වය මනින්නට යොදා ගන්න එක නිර්ණායකයක් විදියටයි ඇඳුම් පැලඳුම් භාවිතයට ගන්නේ.

හැබැයි මේ වැදගත්කම හරි උසස් ගුණ දහමින් පිරි චරිතයේ චරිත ඝාතණය වීම හෝ නොවීම පැවතෙන්නේ ඒ අදාළ පුද්ගලයා කතා කිරීම හෝ නොකිරීම මත හෝ පාලනයකින් යුතුව කතා කිරීම මත කියලයි මම හිතන්නේ. ගොඩක් දෙනා කතා කරන්න ගත්තාම ඉන්නේ කොතනද කරන්නේ මොනවාද කියන දේ අමතක වෙනවනේ. අන්න ඒ නිසා තමන් කතා කරන්න ගැනීමම තමන්ගේ චරිත ලක්ෂණ පිළිබිඹු කරන නිර්ණායකයක් වෙනවා. තමන්ගේ ගුණ ධර්ම එහෙම පිළිබිඹු වීම එක පැත්තක් විතරයි. ඒත් එක්කම ලෝකයට දැක දැන ගන්නට ලැබෙන තවත් දෙයක් තමයි තමන්ගේ පවුල් පසුබිම වගේම ගුණ ධර්ම වල පිරිහීම හෝ දියුණුව ගැන.

මෙහෙම කීවාම කෙනෙක්ට හිතෙන්නට පුළුවන් නිහඬ පුද්ගලයින් ඉතාමත් ගුණවන්ත බවත්, මුඛරි ඒ කියන්නේ නිතර කතා බහ කරන අය ගුණ දහම් පිරිහුණු අය බවත් මම අදහස් කරාය කියලා. මම එහෙම කියන්නේ නෑ. ඒත් මේ දේ හැමෝටම එකම විදියට බලපාන්නේ නෑ. මේ දේ බලපාන්නේ යම් පිරිසකට විතරයි කියලාත් මතක තියා ගන්නට ඕනේ. නිතර කතා කරන ඒත් ගුණ දහම් උපරිමයෙන්ම පවතින අයත් ඕනේ තරම් ඉන්නවා. අපිට ජීවිතේදි එහෙම අය ඇති තරම් මුණ ගැහිලාත් තියෙනවා. මම මේ කියන්නට උත්සාහ ගන්නේ ඇඳුමින් පැළඳුමින් ලස්සනට සැරසිලා කිසිම බයක් සැකක් නැතිව කටට එන පලියට අසභ්‍ය එහෙමත් නැතිනම් පරුෂ වචනින් හරි කතා කරන උදවිය ගැන. ඒ විතරක්ම නෙවෙයි, මේවා නොකීවත් ඒ ඒ පුද්ගලයා යම් යම් දේ ගැන හිතන පතන ආකාරය ගැනත් කතාවෙන් දකින්නට පුළුවන් කම ලැබෙනවා.

කෙනෙක් යම් දෙයක් ගැන කොයි තරම් පුළුල් ආකාරයට බලනවාද, එහෙමත් නැතිනම් කොයි තරම් පටු විදියට දකිනවාද කියන දේත් කතාවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒත් මේ වගේ දේවල් සාපේක්ෂ නිගමන විදියට තමයි හිතන්නට සිද්ධ වෙන්නේ. ඒකට හේතුව අපි හිතන පතන විදියට සාපේක්ෂව ඊට මොන තරම් ප්‍රතිශතයකින් අදාල පුද්ගලයාගේ ආකල්ප ගැලපෙනවාද නැත්ද යන්න වග අපි තීරණය කරන දෙයක් නිසා.

කොහොම හරි මේ ලිපියෙන් කියන්නට උත්සාහ කලේ නිතර සමාජයේ දකින්නට ලැබෙන දෙයක් ගැනයි. බාහිර පෙනුමින් ගුණ යහපත් කම් මනිද්දී කට කොයි තරම් දුරකට කෙනෙක්ගේ ගුණ ධර්ම රකිනවාද, විනාශ කරනවාද කියන එක ගැනයි. ඔයාලට මේකෙන් හිතන්නට යමක් ඉතුරු කලා වගේම හදා ගන්නට යමක් ගැනත් මතක් කරලා දුන්නා කියන්න පුළුවනි.

Thursday, September 23, 2010

ඔයාලා ලංකාවේ පය ගහලා ඉන්න අය නම් ඉතින් දන්නවා ඇති නේ පහුගිය දවසක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනාය කියලා. පහුගිය දහ අට වෙනිදා හැම අවුරුද්දකම වගේම මේ අවුරුද්දෙදිත් සැප්තැම්බර් මාසයේදි මේ පොත් ප්‍රදර්ශණය ආරම්භ වුනා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. දේශීය වගේම විදේශීය කතුවරයන්ගේ වගේම පොත් අලෙවි සැල් මේ කාලයට මහ ජනතාවට මුණ ගැහෙන්නට ලැබෙනවා.

මේ වෙන කොට මට මේ පොත් ප්‍රදර්ශනයට අවස්ථා දෙකකදි යන්න ලැබුනා මේ වතාවෙදි. ඒ අවස්ථා දෙකේදිම පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මිල දීල ගන්නට පුළුවන් වුනා හරි අඩු මුදලකට. මම සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නොවෙන නිසා මේ වතාවේ ඉඳන් හොඳ ආරම්භයක් ගන්න හිතුනා. එහෙම කීවම හිතයි කවදාවත් පොත් කියවල නැතුව ඇති කියලා. අපෝ! එහෙම නම් නෑ. පොත් නම් කියවලා තියෙනවා, ඒත් ඒකට වෙලාවක් හොයා ගන්න එක තමයි ටිකක් අමාරු වෙලා තිබ්බේ. ඒත් ඉතින් ගත්තු පොත් වලින් එකක් මේ වෙද්දි කියවලා ඉවර කර ගත්තා ආසාවෙන්ම.

මම ගත්තු පොත් අතරින් වඩියෙන්ම ප්‍රමුඛතාවක් දුන්නේ චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන සර් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් පොත් වලට. මම මේ පොත් කලින් කියවලා තිබුනේ නෑ. ඒත් නොකියවා තිබුණු එකේ අඩුපාඩුව දැන් තමයි තේරෙන්නේ. ඒ මොකද ඒ කතා ඒ තරමටම ලස්සනයි. ඔයාලට කියන්න තියෙනවා දෙයක්. මේ පොත් ලාබෙටම ගන්න පුළුවන් වැඩිම වට්ටම් මිලකට මේ පොත් ප්‍රදර්ශනයේදි. ප්‍රදර්ශනයක් කීවට මේක එකම සල්පිලක්. ශර්ලොක් හෝම්ස් පොත් සියයට තිහක වට්ටමකට ගන්න පුළුවන් වුනා මට තාරක ප්‍රකාශකයෝ කියන පොත් කුටියෙන්. මම ඒක කියුවේ කාටත් අඩුවට ඒ පොතක් ගන්න ලේසි වෙන්නයි ඔන්න. පුදුමෙ කියන්නෙ ඔච්චර ප්‍රසිද්ධ සරසවි පොත් හලේ කුටියට ගියේ නෑ මම. ඒත් වෙන වෙන තැන් වලින් පොත් ගන්න ලැබුනා.

මේ පොත් කියවන පුරුද්ද ඇති වුනේ මගේ වටේ ඉන්න යාළුවෝ නිසා. මම ඉතින් හැමෝගෙන්ම හොඳ පුරුදු එකතු කර ගන්න කැමති කෙනෙක් වගේම නරක පුරුදු දිහා බලන් ඉන්න කෙනෙක් නේ. හොඳ යාළුවෝ ඉන්න නිසා ඉතින් හොඳ පුරුදු හුරු වෙනවා. පොත් කියවන්න කැමැත්තක් නොතිබ්බ මට දැන් පොතක් කියවන්නත් ආසාවක් ඇති වුනේ යාළුවන්ට පිං සිද්ධ වෙන්න තමා. කොහොම හරි ඔයාලත් ලබන ඉරිදා ඒ කියන්නේ විසි හය වෙනිදාට කලින් ගිහිල්ලා පොත් ගන්න කියලා මම මතක් කරනවා. මොකද එන්න එන්නම පොත් ගන්න එන ප්‍රමාණය වැඩි වෙන නිසා. පොත් නොකියවන අය මේ වතාවේ ඉඳන්වත් පොතක් කියෙව්වොත් නරකද?

Monday, September 20, 2010

මම මගේ කලින් ලිපියෙන් කියලා දෙන්නට උත්සාහ ගත්තේ මම අනුගමනය කරපු පිරිත් ගාථා පාඩම් කර ගන්න, එහෙමත් නැතිනම් මතකයේ තියා ගන්න ක්‍රමයක් ගැන. ඉතින් ඔය වගේ මතක තියා ගත්තු පිරිත් ගාථා ඛණ්ඩ අපි පැත්තකින් තියමුකෝ. හැබැයි එහෙම්මම ඒවා පැත්තකින් තියන්න බෑ. මොකද මේ කියන්න යන දේ ඒවාටත් ඒ විදියටම අදාල නිසා.

නිවසේ හෝ වේවා ඉන් පිටතදී හෝ වේවා බෞද්ධයෙක් නම් බුදුන් වඳින, වඳින්නට සිද්ධ වෙන අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙදරදී බුදුන් වඳිද්දී නම් නිතර නිතර ගාථා කියන්නට අවස්ථාව උදා වෙනවා. ඒත් අපි කල්පනා කරලා තියෙනවද අපි කාලයක් තිස්සේ කියාගෙන ආපු ගාථාවල් අපි ඇත්තටම හරියටම උච්ඡාරණය කරනවද කියලා? නැහැ නේද? සමහර විට සිහි බුද්ධියෙන් ගාථා කියන කෙනෙක් වුනත් මේ වැරැද්ද කරන්න පුළුවන්. සිහි බුද්ධියෙන් ගාථාවක් කියනවයි කියලා මම අදහස් කරේ ගාථා අනුපිළිවෙල වරදන්නේ නැතිව කියන එකට. ඔයත් එක්කම තේරුම මෙනෙහි කිරීම වක්‍රාකාරයෙන් හිතන්නත් පුළුවන්. තමන් හිතුවට තමන් හරියි කියලා තමන් හරියටම හරි නොවෙන්න පුළුවන්.

අපි සමහර විට බුදුන් වඳිද්දී චාරිත්‍රානුකූලව කාලයක් තිස්සේ කියාගෙන යන නිසා ඉබේම කට පාඩම් වෙලා. ඒත් අපි කාලයක් තිස්සේ වැරදියට මේවා කියන්න පුරුදු වෙලා තිබුණොත් ලොකු වැරැද්දක්. හැබැයි අපි බුදුන් වඳිද්දී කියන ගාථා වලින් සියයට අසූවක්ම පාහේ බුද්ධ භාශිත නෙවෙයි කියලායි මම විශ්වාස කරන්නේ. ඒ අනිත් හැම ගාථාවක්ම පසු කාලීනව ඇති වුන ගාථා වෙන්න ඕනේ. මොකද බුදු හාමුදුරුවෝ උන්වහන්සේට කවදාවත් මල් පහන් තියලා පූජා පවත්වන්න කියලා කොහේදි වත් දේශණා කරලා නැති නිසාවෙන් ඒ පූජාවන් පවත්වන්න ගාථා ධර්මත් උන් වහන්සේ විසින් දේශණා කරලා නැති නිසා.

බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ තමන්ට මල් පහන් පූජා කරමින් ඉන්න හැටිවත්, පන්සිල් රකින හැටි කියලා දෙන්නවත් නොවන බව අපි මතක තියා ගන්නට ඕනේ. බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ ලෝකයේ යටපත් වෙලා තියෙන පරම සත්ත්‍යයක් ගැන අවබෝධය සියළු දෙනාගේ හිත සුව පිණිස ලඟා කර දෙන්නයි. ඒ නිසා අපි කරන පුද පූජා වලින් උන් වහන්සේට සිද්ධ වෙන යහපතක් නම් නෑ. නමුත් අපි ඒවා කරන්නේ හිතේ ශ්‍රද්ධාව වර්ධනය කර ගන්නයි. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමෙන්ම යහ මාර්ගයේ යන්නට මාර්ගය උදා කර ගන්නත් පුළුවන් වෙනවා.

පිරිතක් හෝ වේවා මේ වගේ බුදුන් වඳින ගාථාවක් හෝ වේවා අපි නිවැරදිව උච්ඡාරණය කරන්නට ඕනි හේතුවක් තියෙනවා. ඒ ඒවා පාලි භාශාවෙන් ඇති නිසා අකුරක හරි වරදකින් වෙනස් තේරුම් ඇති වෙන්න පුළුවන් නිසා. උදාහරණයක් විදියට හරිම සුලභ වැරැද්දක් ගැන කියන්නම්.

මියගිය ඥාතීන්ට පිං දෙන කොට කියන ගාථාව "ඉදංවෝ ඥාති නං හෝතු සුඛිතා හොංතු ඥාතියෝ" කියලා තමයි හැමෝම පටන් ගන්නේ කියන්න. ඒත් මේකේ අග කොටසින් "ඥාතියෝ" කියලා කොටසක් පාවිච්චි වෙනවා. ඇත්තෙන්ම මේක "ඥාතයෝ" කියලයි නිවැරදි වෙන්න ඕනේ. අපේ සිංහල බාසාවේ කොටස් පාලි කොටස් අතරේ තියෙන්නෙ බැහැනේ. ඒත් අපි හිතනවා ඥාතීන්ට පිං දෙන කොට ඒ ගැන සඳහන් වෙන හින්දා ඥාතියෝ කිව්වම හරි කියලා. එහෙමත් නැත්නම් මේක පුරුද්දට කියවෙන නිසා.

ඒ වගේම මම කලින් ලිපියේ සඳහන් කරපු රතන සූත්‍රයේ අවසන් කොටස් "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං..." ආදී තුන් ආකාරයකින් එක එක ගාථාවේ වෙනස්ව යෙදෙනවනේ. අන්න ඒ කොටස් නිවැරදි ගාථාවෙදි නොකියා වැරදි අවස්ථා වලදී යොදා ගන්න එක තමයි අනිත් මම දැකපු වරද. එතකොට බුදුන්ගේ ගුණ දම් ගුණ විදියටත්, සඟුන්ගේ ගුණ බුදු ගුණ විදියටත් වගේ විවිධ වැරදි තේරුම් ඇති වෙනවා. අපි නොහිතුවාට මේක අපි ගොඩක් අවධානයෙන් අවබෝධයෙන් කියන්න ඕනේ දෙයක්. මොකද මේක නම් බුද්ධ භාශිතයක් නිසා.

මේ දේවල් අපි මතකයේ තියා ගෙන හරියට ගාථා උච්ඡාරණය කරන්න දැන්වත් පටන් ගමු. හැබැයි මේ දේ කිව්වේ හැමෝටම නෙවෙයි. ගාථා කියන, කියවන අයට විතරයි. පොඩි වරදකින් හරි සිද්ධ වෙන තේරුමේ වෙනස ගාථාවකට ලොකු පාඩුවක් කරන නිසා, ඒ වගේම අපිටත්.

Sunday, September 19, 2010

බෞද්ධයෙක් වුනාම අඩුම තරමින් බොහෝ දෙනෙක් දන්න කියන තුන් සූත්‍රයවත් දැන ගෙන ඉන්න එපැයි. මොකද ඔය තුන් සූත්‍රයෙන් තමයි සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශණයකුත් පටන් ගන්නේ. පරිත්‍රාණ කියන්නෙත් පිරිත් වලටම තමයි. ඔය කියන තුන් සූත්‍රයට අයිති වෙන්නෙ මොනාද ඇත්තටම? ඒ තමයි මහා මංගල සූත්‍රයයි, රතන සූත්‍රයයි, කරණීය මෙත්ත සූත්‍රයයි. සාමාන්‍යයෙන් බෞද්ධයෙක් හැටියට මේ පිරිත් තුන අඩුම තරමින් මතකයෙන් කියන්න හරි පුරුදු පුහුණු වෙන්නට ඕනෑ තේරුම දැන ගෙන නොහිටියත්. හැබැ‍යි ඕනෑම දෙයක තේරුම දන්නේ නැතිව කට පාඩමින් කරන එකේ ප්‍රතිඵලයකුත් නෑ කියලා මතක තියා ගන්න වෙනවා.

කොහොම හරි මේ කියන්න යන්නේ මම පිරිතක් මතක තියා ගන්න අනුගමනය කරපු ක්‍රමයක් ගැන. මේක හැමෝටම උත්සාහ කරල බලන්නත් පුළුවන්. සමහර විට ඕනෙම සූත්‍රයකට යොදා ගන්නත් පුළුවන් වේවි. ඒ ගැන නම් මට විනිෂ්චයක් දෙන්න බැහැ. මොකද මම මේ ක්‍රමය පාවිච්චි කරේ එක පිරිතක් පාඩම් කරන්නයි. ඒ රතන සූත්‍රය. ඒත් මේ ක්‍රමය මට නම් තුන් සූත්‍රයේ තියෙන අනිත් සූත්‍රයන් දෙකත් මතක තියා ගන්නට ක්‍රමයක් විදියට යොදා ගන්නට පුළුවන් වුනා.

මහා මංගල සූත්‍රයත් එහෙන් මෙහෙන් අහලා, ඇහිලා ඒ වගේම දහම් පාසලේදිත් ඉගෙන ගත්තු නිසා යම් තාක් දුරකට මතක තිබුණා. කරණීය මෙත්ත සූත්‍රය නම් ගොඩක් දෙනා දැනටමත් දන්නවා ඇති. ඒ එම සූත්‍රය නිතර ඇහෙන නිසාවෙන්. ඒ වගේම වැඩිහිටියන්ගේ අනුදැනුමෙන් අපිත් සැරින් සැරේ කියලාම පුරුදු වෙලා තියෙන නිසාවෙන්. ඒත් රතන සූත්‍රය නම් මට මතක තියා ගන්නට පුළුවන් කමක් තිබුණේ නෑ. මොකද ඒ වෙනකොට මම ඒ සූත්‍රය කියවලාවත් නොතිබුණ නිසා.

කොහොම හරි ගෙදර බුදුන් වඳින වේලාවේදී මේ තුන් සූත්‍රය සජ්ඣායනය කරන්න පුරුද්දක් ඇති වුනා. අන්න ඒ නිසා රතන සූත්‍රය මතක තියා ගන්න පුළුවන් වුනා. ඒකට මම යොදා ගත්තු ක්‍රමයයි මේ කියන්න හදන්නේ. මේ ක්‍රමයම අනිත් සූත්‍ර දෙකටත් මම ඒ වගේම යොදා ගත්තා. මොකද අමතක වෙලා තිබුණ තැන් හරියටම මතකෙන් කියන්න වෙන නිසා පොතක්වත් නොබලා.

මම මුලින්ම කළේ රතන සූත්‍රය බලා ගත්තු පොතේ ඒ සූත්‍රය පිටු කීයක තියෙනවාද කියලා මතක තියා ගත්තා. හැබැයි මේ පොත වෙනස් කරේ නෑ දවසින් දවස. අපි පිටුවක් පෙරලද්දි කලින් පිටුවේ ගථා කොච්චර තිබුණද කියලා මතක තියා ගත්තා වගෙම ඊලඟ පිටුවේ කීයක් තියෙනවද කියලාත් මතක තියා ගත්තා. හැබැයි ඉලක්කමක් හැටියටම නෙවෙයි, නිකන් ඡායාවක් විදියට. මේක මතක තියා ගන්න පුළුවන් වුනේ මේ පිරිත දෙතුන් පාරක් කියවලා.

ඊට පස්සේ මතක තියා ගත්තා මේ සූත්‍රයට ගාථා ඛණ්ඩ කීයක් තියෙනවාද කියලා. මතක හැටියට දහ හතක්. මීලඟට මතක තියා ගත්තේ ඒ හැම ගාථාවකම කීය ගානෙ පේලි තියෙනවාද කියලයි. මේ හැම දෙයක්ම ඡායාවක් විදියට හිතේ මවා ගන්න පුරුදු කර ගත්තාම හරි ඉලක්කමක් විදියට නැතුව. ඉන් පස්සේ මම මතක තියා ගත්තේ මේ හැම ගාථාවේම මුල් වචනෙත් එක්ක මීලඟ වචනෙ.

රතන සූත්‍රයේ විශේෂත්වයක් තියෙනවා. ඒ හැම ගාථාවේම අගට "ඉදම්පි බුද්ධෙ / ධම්මෙ / සංඝෙ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු" කියලා පේලි දෙක බැගින් බුද්ධ, ධම්ම, හෝ සංඝ යන ගුණයන් ප්‍රකාශ වීමක්. මේ හැම ගාථාවකම අගින් මේ කියන පාඨයේ තේරුම තමයි "මේ කියන ලද ගුණයන් බුද්ධ රත්න‍යට අඩංගු බව හෝ ධම්ම රත්නයට හෝ සංඝ රත්නයට අඩංගු බව" යනාදී විදියට එක එක ගාථා වල තියෙනවා. මේ කොටස හැම ගාථාවකම තියෙන නිසා හරිම ලේසියෙන් මතක හිටිනවා.

ඊට පස්සේ මතක තියා ගත්තා කී වෙනි, කොයි කොයි ගථාද බුද්ධ රත්නයට අදාල, ධම්ම රත්නයට අදාල, සංඝ රත්නයට අදාල කියලා. ඔන්න ඔය ටික මතකයි කියන්නේ බොහෝ දුරට පිරිත ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලායි. මීලඟට ගථාවක මුල් පේළිය මතක තියා ගන්න. ඊට පස්සේ කලින් වගේම දෙවෙනි පේලියේ මුල් වචනය මතක තියා ගෙන ඉදිරියට කියන්න තියෙන වචන ටික මතක් කර ගන්න.

මේ ක්‍රමය සතියක් කරොත් රතන සූත්‍රය යම් තාක් දුරකට මතක තියා ගන්නට පුළුවන් වේවි. ගොඩක්ම වැදගත් වෙන්නේ හිතේ ඇඳ ගන්නා ඡායාවන්. වචනින් වචනෙ මතක තියා ගන්න මුලින්ම දඟලන්නේ නැතිව පිරිතක් ලේසියෙන් මතක තියා ගන්න මේවා තමයි අපිට උදව් වෙන්නේ. පිරිතේ ගාථා කීයක් තියෙනවද කියලා මතක තියා ගන්න එක මෙහෙම විදියකටත් උදව් වෙනවා. අපි ගාථාවෙන් ගාථාව කියද්දී කියන්නට තියෙන ගාථා ගණන එකින් එක අඩු වෙනවා. ඒ බව සිහියේ තියා ගෙන අඩු කර ගෙන යන්න. එතකොට හිතට සැහැල්ලුවක් එනවා වගෙම හිතෙනවා "හම්මෝ තව මෙච්චරයි නේ තියෙන්නේ..." කියලා.

මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. මට නම් අනිත් සූත්‍ර දේශණා දෙකටත් මේ ක්‍රමය උදව් වුනා. මේ මගේ ක්‍රමයක්. හැමෝටම හරි නොයන්න පුළුවන්. ඒ නිසා උත්සාහ කරලා ප්‍රතිඵල මටත් කියන්න ඔයාලා.

Thursday, September 16, 2010

මිහි මත පන්සිළු ලිපි පෙළින් ආයෙමත් ඔන්න ඔයාලව මුණ ගැහෙනවා ටික කාලෙකට පස්සේ. මොකද කියන්න කරුණු කීපයක්ම තියෙන නිසා. ඒ විතරක්ම නෙවෙයි ඉතින් කොච්චර කතා කලත් කතා නොකරපු ප්‍රමාණය වැඩි නිසා. කාටත් මතක ඇතිනේ කවුද අපේ මිහි මත පන්සිළු කියලා? ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඉන්දියානු සංගීතඥ ඒ. ආර්. රහ්මාන් තුමායි.

මේ දවස් වල තියෙන උණුසුම් පුවත් විදියට ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ රහ්මාන් විසින් පවත්වගෙන යන ඔහුගේ සංගීත චාරිකාව ගැනයි. ඔයාලා දන්නවා ඇතිනේ රහ්මාන් ඔස්කා හෙවත් ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුව ගීතය අඩංගු චිත්‍රපටය මොකද්ද කියලා? ඒ තමයි "ස්ලම්ඩෝග් මිලියනයර්" කියන හින්දි ඉංග්‍රීසි මිශ්‍ර චිත්‍රපටය. මේ චිත්‍රපටයේ "ජයි හෝ" එහෙමත් නැත්නම් තේරෙන සින්හලින් ලිව්වොත් "Jai Ho!" කියන ගීතයටයි ඔහුට ඔස්කා සම්මානය හම්බ වුනේ. මෙන්න මේ ගීතයෙන් පස්සේ ලෝකයේ අති ප්‍රසිද්ධියට පත් වුනු රහමාන් ඒ නමින්ම තමන්ගේ සංගීත චාරිකාව අරඹලා මුළු ලෝකය පුරාම.

"ජෙය හෝ" සංගීත ප්‍රසංගය ලෝකය පුරා රටවල් බොහෝමයකම ප්‍රදර්ශනය කරන එක තමයි මේ වැඩසටහනේ වෙන්නේ. රහ්මාන්ගේ ගීත නිර්මාණ බොහෝමයකට දායක වුනු බොහෝ ගායක ගායිකාවන් පිරිසක් මේ සංගීත උළෙලට සහභාගී වෙනවා. ප්‍රසිද්ධ චිත්‍රපට ගීතත් මෙහිදී අහන්න, දකින්න ලැබෙනවා. මේක විදේශීය සංචාරයක් වුනාට ප්‍රේක්ශක ජනතාඅව්ගේ අඩුවක් නම් කොහෙත්ම නෑ. ඒ බව මට දකින්නට ලැබුනේ ඕඉස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුනු සංගීත සංදර්ශනය නැරඹුවාමයි.

මීලඟට කියන්න යන කාරණාව ගැන තව නොබෝ දවසකින්ම දැන ගන්නටත් ලැබෙයි. අන්තර්ජාලයේ ඉන්න අපි ඔයාලා වගේ අයට නම් මේක ඒ තරම් අළුත් ආරංචියක් නොවෙන්න පුළුවන්. ඒත් නොදන්නා අයට තමයි මේ ලඟදී නිකුත් වුනු ආරංචිය කියන්නට හදන්නේ.

තව මාසයකින් දෙකකින් පවත්වන්නට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තේමා ගීතය නිර්මාණය කරනු ලැඹුවේද රහ්මාන් විසින්. ඔහු එම ගීතය ඔහුගේ සහෘද ජනතාවට පහුගිය දිනයකදී නිකුත් කරනු ලැබුවා. පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ ස්ථාන නිර්මාණය කිරීමේ වැඩ කටයුතු වල තිබූ අවිධිමත් බව දැන් අවසන් වී සියළු ස්ථාන වල වැඩ කටයුතු අවසන්ව තියෙනවා. ඒත් එම තරඟාවලියේදී අහන්නට දකින්නට ලැබෙන ගීත වල දායකත්වය රහ්මාන් අතින් සැපයේවි. මොකද ඉතින් තේමා ගීතය විතරක් නීයි ඒත් එක්කම තවත් ගීත කීපයක්ම ඒත් එක්ක තරඟා වලිය සඳහාම නිකුත් වෙන නිසා. ආරංචි හැටියට රහ්මාන් විසින්ම තරඟාවලියේ සමාරම්භක උළෙලේදී එම තේමා ගීතය ගැයීමටත් සූදානම් බවයි දැන ගන්නට ලැබෙන්නේ.

මීලඟ කාරණය චිත්‍රපට ගැන. රහ්මාන්ගේ අළුත්ම දෙමළ චිත්‍රපතයක් ඉහුගේ සංගීතාත්මක නිර්මාණයක් විදියට එළි දැක්විලා තියෙනවා. "Vinnathandi varuvaya" නැත්නම් "වින්නත්තාන්ඩි වරුවායා" කියන නමින් රිදී තිරයට නැංවුන මේ චිත්‍රපටයේ රහ්මාන්ගේ නමට විශාල ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. ඔහුගේ නම සාමාන්ය නළු නිළි පිරිසේ නාමයන් අතර නෙමෙයි චිත්‍රපටයේ මුලදී වගේම අවසානයේදීත් දිස්වන්නේ. රහ්මාන්ගේ සංගීතාත්මක නිර්මාණයක් විදියටයි එය දැක්වෙන්නේ. ඒ වගේම මෑතකදී "Robot" නොහොත් රොබෝ නැමැති චිත්‍රපටයකුත් නිකිත් වුනා. මේකේ රඟනයෙන් දායක වෙන්නේ ලෝක රූ රැජිණි අයිශ්වර්යා රායි සහ සුප්‍රකට දෙමළ නළු රැජිනි කාන්ත්.

ඔන්න ඕවා තමයි ටිකක් පරණ වුනත් අළුත් විස්තර.

පහලින් තියෙන්නේ 2010 වසරේ සිඩ්නි වලදී පවත්වපු ජෙය හෝ සංගීත සංදර්ශනයේ අවස්ථා කීපයක් වගේම පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය වෙනුවෙන් රහ්මාන් විසින් නිමව ගායනය කෙරූ ගීතයයි. ඔස්කා සම්මාන දිනා ගත් ඒ මොහොත අඩංගු වීඩියෝ පටයකුත් දකින්නට ලැබේවි ඔයාලට.

ඔස්කා සම්මාන දිනූ අවස්ථාව...



Jai Ho සංදර්ශනයේ අවස්ථා කීපයක් මේ...







2010 වසරේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පවත්වන්නට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ තේමා ගීතය අහන්න...


Wednesday, September 15, 2010

මගේ කවි බ්ලොග් අඩවියෙන් ඒ කියන්නේ "නිශා පෙම් හසරැල්" අඩවියට මම ඉතින් අද දවසේදී නැවතත් පණ දුන්නා පල කරපු කවි පන්තියකින්. මාස තුනකට ආසන්න කාලයක් අකල්මන්‍ය තත්ත්වයේ තිබුණු මගේ ඒ කවි පිටුව ආයෙමත් ප්‍රාණවත් කරපු ඒ කවි පන්තිය "ලොකු ගසක කතාව" කියලයි මම නම් කෙරුවේ.

මේ කවි පන්තිය එහෙම නම් කරන්න හේතු කීපයක්ම තිබුණා. මොකද ඒක ගහක් වටා ගෙතුණු කතාවක් නිසාත් වර්තමානයේ අපි දන්නා අඳුරන පිරිසක් අතරේත් කතා බහට ලක් කරන්නට හිතලා ලියන්නට හිතපු කවි පන්තියක් නිසාත් එවැනිම ගසක් වටා ගෙතුනු කවි පන්තියකට පිළිතුරු ලිවීමක් හැටියටයි.

ඔන්න ඉතින් ඒ කවි පෙළ ලියුවා විතරක් නෙවෙයි බොහෝම විදියට කතා බහටත් ලක් වෙමින් තියෙනවා. ඇත්තෙන්ම මුලින්ම කියන්නට ඕනේ මේ කවි පන්තිය ලිව්වේ කා එක්කවත් තියෙන තරහවකටවත් කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්නටවත් නෙවෙයි. අර මුලින් කියපු තවත් ගහක් වටා ගෙතුනු කවි පන්තියට පිලිතුරු කවි පෙළක් ඉදිරිපත් කරන්නට හිතේ ඇති වුන අදහසක් නිසාවෙන්. ඒ වගේමයි මේ කවි පෙළ කියවද්දී ඕනෙම කෙනෙක්ට තේරුම් යන දෙයක් තමයි මේක අභ්‍යන්තරයේ කියලා තියෙන්නේ මොන ආකාරයක සිද්ධියක් ගැනද, මොකක් වටාද ඇත්තටම මේ දේ බැඳිලා තියෙන්නේ කියලා.

මේ ගහ අපි හැමදාම දකින පාරේ තියෙන ගහක් ගැන නම් නෙවෙයි. ඒත් මේ ගහ නිසා ලාභ පාඩුකම් වගේම දුකට පත් වෙන, වෙලා තියෙන යම් යම් ජන කොට්ඨාශ කීපයකුත් තියෙනවා. ඒ එක් ජන කොට්ඨාශයකට මමත් අයිතියි. ඒ වගේම මගේ යාළුවනුත් අයිතියි. මේ මාතෘකාව දිහා ඔය ජන කොට්ඨාශ විවිධ පැතිකඩ වලින් බලන්නට පුළුවන්. මොකද ඒ ඒ අයට මේ කරුණ බලපාන්නේ විවිධාකාර විධියට. ඒ විතරක් නෙවෙයි මේ දිහා බලන කෝණයනුත් එකිනෙකට වෙනස්.

මේ කවි පෙළේ මුල් කවියෙන් අදාළ ගසේ අතීතය ගැනත් ඉන් මතු කවි වලින් එහි වර්තමාන ස්වරූපයත්, එහි බලපෑමට ලක් වුනු උදවිය ඒ ගස දිහා බලන ආකාරයත් ගැනත් කියන්නට මම උත්සාහ අරගත්තා. මොකද අර මුලින් කියූ අනිත් කවි පන්තිය ඒ ගසේ ගුණ විචාරයකට මං පෙත් සාදා තිබුන නිසාවෙන්.

ඉතින් ඔයාලත් මේ කවි පෙළ කියවලා බලන්න. ඔයාලට හිතෙන දේ කියන්න. මේ දේ මට විතරක්වත්, මේ ගසේ බලපෑම් වලට ලක් වුනු අයවත් අතරේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. පොදු ප්‍රශ්නයක්. ඔයාලටත් මෙහෙම අවස්ථා වලට මුහුණ දෙන්නට සිද්ධ වෙන්න පුළුවන් කවදා හරි දවසක. ඒත් එහෙම නොවෙනවා නම් තමයි අපි හැමෝම කැමති.

Sunday, September 12, 2010

කටු ජාති එක එක විදියෙන් තියෙනවා. හැට්ට කටු, කොණ්ඩ කටු, වීදුරු කටු, බෝතල් කටු, එන්නත් කටු වගේ. මේ මොන කටුව වුනත් ඇඟේ ඇනුනොත් රිදෙනවා නේ. රිදෙනවා විතරක් නෙවෙයි සමහරු මරලතෝනි දෙනවා. විශේෂයෙන්ම එන්නත් දෙන කොට එහෙම ලොකු කුඩා භේදයකින් තොරව කෑ ගහන අවස්ථාත් දකින්නට තියෙනවනේ. මේ කියන්නට යන දේ ඔය කියපු කටු ගැන කියන කතාවක් නම් නෙවෙයි. ජීවිතේට අවදානමක් ලං කරන්න පුළුවන් දෙයක් ගැනයි. සමහර විට ඔයාලා මේ ගැන අහලාත් ඇති, දන්නවාත් ඇති.

මේක මාරාන්තික රෝගයක් ගැන කියන්න යන කතාවක්. කටුත් එක්ක සම්බන්ධ වෙන බොහෝ වෙලාවට අහලා තියෙන මාරාන්තික රෝගය තමයි ඉතින් ඒඩ්ස් රෝගය කියන්නේ. මොකද බෝ වෙන විදිය වෙන්න පුළුවන් එක විදියක් තමයි ආසාධිතයෙක්ගේ රුධිරය ඒ කියන්නේ ලේ නිරෝගී කෙනෙක්ගේ ශරීරයට යාම නිසාවෙන්. ඔය දේ නම් සිද්ධ වෙන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙන්න පුළුවන්. කටු වලින් විතරක් නෙවෙයි ඉතින්. බ්ලේඩ් තල වලිනුත් සිද්ධ වෙන්න පුළුවන්.

ඒත් මේ ලිපියේ මාතෘකාවට අදාල පස්ස පැත්තේ කටු ඇනීම ගැන නම් හැමෝම අවබෝධයක් ලද යුතුමයි. මොකද මේ දේ ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ නිසාම අවාසනාවන්ත විදියට ජීවිතේ නැති කර ගන්නවා. වෙන මුකුත් නිසා නෙවෙයි, නොසැල්ලකිල්ලත්, මේ වගේ දේවල් සිද්ධ වෙන බව නොදන්නා කමත් නිසාවෙන්.

මේ කටු නිකන්ම කටු නෙවෙයි විෂ කටු. විෂ කටු කීවට ඒඩ්ස් ආසාදිතයන් ඔවුන් විසින්ම ඔවුන්ගේ ශරීරෙන් කටු වල තවරපු රුධිරය සහිත කටු. කොණ්ඩ කටු හරි ඇල්පෙනෙති වගේ දේවල් තමයි. මේ කටු තවත් කෙනෙක්ගේ ඇඟේ ඇනුනොත් හරි මේවායෙන් සීරුනොත් හරි තමයි ඒඩ්ස් රෝගය ආසාදනය වෙන්නේ. ඒ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. කවදාවත් මේ දේ ගැන හිතලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතා බලන්නකෝ.

අපි චිත්‍රපට බලන්නට සිනමා ශාලා වලට ගියාම ඒවායේ මෙන්න මේ වගේ කටු තියෙනවා කියලා ඔයාලා දන්නවාද? සමහර විට නැතුව ඇති. ගොඩක් වෙලාවට මේවා තියෙන්නේ ඉඳ ගන්න පුටු වලට සම්බන්ධ කරලායි. ඒවා කරන්නේ ඒඩ්ස් ආසධිතයන් විසින්මයි. මොකද ඒ අයට අහිමි ජීවිතයට හොඳින් ඉන්න මිනිසුන්ගෙන් ඔවුනට පලි ගැනීමට ඔවුන්ගේ මානසිකත්වය වෙනස් වී ඇති නිසාවෙන්. සිනමා ශාලාවලට ගිය සමහර දෙනාට මේ වගේ අවාසනාවන්ත විදියට ඒඩ්ස් ආසාධිතයන් වෙන්නට සිද්ධ වුනු ආකාර ගැන මම පුවත් පතකින් කියෙව්වා. ඒ මේ ලංකාවේම ප්‍රසිද්ධ සිනමා ශාලා වල.

ඔය ගැන දැනන් හිටියත් කවදාවත් සිනමා ශාලාවකට ගියාම ඉඳ ගන්නට කලින් අත පත ගාලා ඉඳ ගන්න මතක් වෙලාවත් නැතුව ඇටි සමහර විට. ඒ වගේමයි චිත්‍රපටය නරඹන්න පරක්කු වෙලා ශාලාවට ඇතුල් වුනොත් හදිසිය නිසාම ලැබෙන අසුනක ඉඳ ගන්න කොටත් ටිකක් හොයා බලන්න පුරුදු වෙන්න වේවි. මොකද චිත්‍රපටයෙන් මග හැරෙන පුංචි කොටසකට වඩා ඒ සුළු වෙලාව ඇතුලතදී ජීවිතයෙන් ගෙවන්නට සිද්ධ වෙන වන්දිය කවදාවත් මකන්නට බැරි නිසාවෙන්.

"ඒඩ්ස් මාරයාගේ ලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා" කියලා කොල කැබැල්ලක ලියපු කටුවක් එහෙම පොදු ස්ථානයකින් හම්බ වුනොත් ටිකක් පරිස්සම් වෙන්න වේවි. බස් වල, සිනමා ශාලා වල සහ පොදු ස්ථාන වලත් මේ වගේ දේවල් තියෙන්නට පුළුවන්. ඒ වගේම කොණ්ඩේ කපන්නට බාබර් සාප්පු වලට ගියාම දැලි පිහියකින් කෙස් කොට කපද්දී අනිවාර්යෙන්ම අළුත් බ්ලේඩ් තලයක් පාවිච්චි කරන්න කියන්නත් අමතක කරන්නට එපා. ඒක අපේ මානව අයිතිවාසිකමක්. මොකද බ්ලේඩ් තලේකින් කෙස් කොට කපද්දී බොහෝ විට හමත් තුවාල වෙන්න පුළුවන් නිසාවෙන් අපිට කලින් ඒ බ්ලේඩ් තලය පාවිච්චි කරපු පුද්ගලයා ඒඩ්ස් රෝගියෙක් වුනොත් ඒක අපේ ජීවිතේට අවදානමක් වෙන්න පුළුවන් නිසා.

ඒ වගේ කටු ඔයාලා කාගේවත් පස්සවල් වල කවමදාවත් ඇනෙන්නට එපාය කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව එහෙම වුනත් ඔයාලා මින් ඉදිරියට කොහේ ගියත් ඉඳ ගන්නට කලින් ආසනය අත පත ගාලා බලලා ඉඳ ගන්නට මතක තියා ගත්තොත් ජීවිතේ සතුටින් ඉදිරියටත් ගත කරන්නට පුළුවන් වේවි.

Tuesday, September 7, 2010

සීවලී මහ රහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභීන් අතරින් අග තැන්පත් රහතන් වහන්සේ නමක් බව බොහෝමයක් දෙනා දන්නා කාරණාවක්. මේ හේතුව නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා අතරේ උන් වහන්සේ වැඩ හිඳීමෙන් මුළු සංඝයා වහන්සේලාටම දාන මාන කටයුතු වලින් කිසිදු අඩුවක් සිදු වෙලා නෑ. මෙන්න මේ කාරණාව නිසා සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන භික්ෂුවක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නෑ.

මේ අපි දන්නා ශාසන ඉතිහාසයේ එන උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ වෙන අවස්ථාවක්. නමුත් මේ ගුණය පෙරටු කරගෙන අද අපේ බෞද්ධ ජනතාව කරන්නේ කුමක්දෝ කියා සිතා ගන්නට අමාරුයි. මන්දයත් ආහාර පාන ලැබීමේ ආශාවෙන් හෝ භව භෝග නොඅඩුව ලැබීමේ බලාපොරොත්තුවෙන් සීවලී මහ රහතන් වහන්සේගේ රූපයට කරනා ගෞරව මානනයන් නිසාවෙන්. දේවාලයකට ගොස් දෙවියන්ගෙන් යමක් ඉල්ලා ගැනීම හා සමාන බලාපොරොත්තුවකුයි මේ දෙයිනුත් වක්‍රාකාරයෙන් සිද්ධ වෙන්නේ.

ඔයාලා කවුරුවත් දැකලා තියෙනවාද, නැතිනම් ඔයාලගේ නිවෙසක හරි දැකලා තියෙනවාද සීවලී පිංතූරයක් හැරුණු කොට සැරියුත් මහ රහතන් වහන්සේගේ රූපයක් හරි මුගලන් මහ රහතන් වහන්සේගේ රූපයක් එල්ලා තියෙනවා? මොකද සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභීන්ගෙන් අගතැන්පත් භික්ෂුව නිසා විභාග වලට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මුන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නට එපැයි. ඒත් එහෙම නෑ නේද? අද ඒ වෙනුවට ගණ දෙවි රූපයට නේ නමස්කාර කරන්නේ. හරි අපි ඒ කතාව පැත්තකට දාමුකෝ.

ආනන්ද තෙරණුවන් බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිර්වාණයෙහි පිහිටියත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික තනතුරේ තැබූ හෙයින් උන් වහන්සේගේ රූපයක් නිවසක දකින්නට ලැබිලා තියෙනවාද? නෑ නේද? අර වගේම විභාග ලියනා අයට මේ තෙරුන්ගේ ආශිර්වදයත් ලබන්නට හැකි වේවි රූපයක් එල්ලා තැබුවොත්.

මේ අපි නොහිතන දෙයක්. ලාභයක් ප්‍රයෝජනයක් රූපයක් එල්ලූ පලියට ලැබෙන්නේ නම් නෑ. බුද්ධ රූපයකට වුණත් ඒ හැඟීමෙන් කරන පුද සත්කාර වල කිසිදු ඵලයක් ලැබෙන දෙයක් නොවූවත් ශ්‍රද්ධාව නිසාවෙන් යම් තාක් දුරකට මිත්‍යාවෙන් මිදීමට උපකාරයක් වේවි.

ඇයි අපි සීවලී මහ රහත් තෙරුන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ? ඒක සමානාත්මතාවය බිඳ හෙලීමක් නේද? ඇයි අපිට සීවලී මහ රහත් තෙරුන්ගේ හෝ වේවා යම්කිසි භික්ෂු රුවක් තබාගෙන මුළු මහත් අරහත් භික්ෂූ පරපුරටම කරන නමස්කාරයක් විදියට එවැනි හැඟීමකින් නමස්කාර කරන්නට බැරි? ගෙදරට කෑම බීම ලැබෙනා නිසා සීවලී රහත් තෙරුන් හට නමස්කාර කරන්නේ නම්, දාඩිය මහන්සියෙන් දෙමාපියන් හෝ ඔබ හෝ හරි හම්බ කරනා දෙය නිශ්ඵල දෙයක් නේද?

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපිට ආහාර පාන භව භෝග ලැබීම හෝ හොඳ රැකියාවකින් හොඳ වැටුපක් ලැබීම කියන සංකල්පය මේකෙන් ඉස්මතු වෙනවා නේද? ඔව්, එක අතකට මේ දේ ඉස්මතු වෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි බුදු රජාණන් වහන්සේගේ ගුණයන්ටත්, මහා සංඝයාගේ ගුණයන්ටත් නමස්කාර, පුද පූජා, ගෞරව දැක්විය යුතු වෙන්නේ ආධ්‍යාත්මීය වශයෙන් අප තුල ඇති කර ගත යුතු ගුණ වර්ධනය කර ගැනීම සඳහා මිසක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවෙන බව අනිවාර්යෙන්ම මතක තබා ගන්නවා නම් වඩාත් සුදුසු බවයි මගේ මතය නම්.

Monday, September 6, 2010

දේවාශිර්වාදය ලබන්න මේ ලෝකේ කවුරුන්ද අකමැති. බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඕනෑම කෙනෙක් දෙවියන් දකින්නට වගේම දෙවියන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙන්නත්, දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගෙන අතුරු ආන්තරා වලින් ගැලවී සිටින්නටත් බෙහෙවින් කැමැත්තක් දක්වනවා. මේ ඉතින් අද ඊයේ ඉඳලා පැවතගෙන එන දෙයක් නෙවෙයි. මේ පුරුදු ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන විශ්වාසයන්.

ගෙදර බුදු පහන පත්තු නොවුනත් මිදුලේ දෙවියන්ට පහන් පත්තු කරන්නට අපේ මිනිසුන් බෝ විට උත්සුක වෙනවා. මොකද බුදු සරණට වඩා දෙවි පිහිට ගැන බෙහෙවින් ලොකු විශ්වාසයක් පවතින නිසාවෙන්. මේ දේවල් වැඩිපුරම කරන්නේ අපේම මෝඩ බෞද්ධ ජනතාව තමයි. මෝඩ නමින් හැඳින්වූවාට තරහ ගන්නට අවශ්‍ය නෑ. මොකද මෝඩ කියා කීමත් ඔවුනට කරන සුදුසු ආමන්ත්‍රණයක් නොවෙන නිසා. මෝඩ කියන වචනය පැහැදිලි කරන්නට පුළුවන් ඊටත් වඩා වචනයක් තියෙනවා නම් ඒ වචනය එවැන්නන් තවත් හොඳින් හඳුන්වන්නට සුදුසු බවින් යුක්ත බව කියන්නට ඕනේ.

මේ ලිපිය පටන් ගන්නට මත්තෙන් කියන්නට දෙයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ, මේවා කරන අය ඒ දේ තම කැමැත්ත පරිදි ඉදිරියටම කරගෙන යන ලෙසත්, නොකරන අය නොකර සිටින ලෙසත් වගේම, කරන අයගෙන් සීමාසහිත පිරිසකට හරි බුද්ධියක් සහ සිතීමේ හැකියාවක් තියෙනවා නම් ඒ වැරදි පුරුදු වලින් මිදී නිවැරදි ක්‍රමයන් අනුගමනය කරාවි යන සිතුවිල්ලෙන්.

අපි දෙවියන්ට පුද පූජා පවත්වන්නට නිවස තුලදී හෝ නිවසින් පිටතදී සකස් කර ඇති පහන් පැල ගැන හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. බලි තොවිල් ආදියට ගොක් කොළ වලින් සැරසිලි කරලා හදන පහන් පැලක් නොවුනට ලීයෙන් සකස් කර ගත්තු පෙට්ටියක දේව රූප තියලා තවත් ලීයක ආධාරයෙන් පොළොවේ සිටුවා ගත්තාම ඔය දේට ගෙදර තියෙන පහන් පැල කියන්න පුළුවනි. ඇත්තෙන්ම මේ පහන් පැලේ පත්තු කරන පහන් නිසා දෙවියන්ගේ බැල්ම අපිට ලැබෙනවද? නැත්නම් අපිට දෙවියන්ගෙන් සැප සම්පත් ඉල්ලලා ඒ පහනේ බලෙන් වාසි, ලාභ, ප්‍රයෝජන ලබන්නට පුළුවන්ද? මේකට උත්තරේ සමහරු දන්නේ නැතුව ඇති.

මම කලින් වතාවකදී පල කරපු ලිපියකදි කීවා දේවාශිර්වාදය ලබන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මේ වගේ පෙට්ටියක් තුල පහනක් දල්වලා නම් නෙවෙයි. ඒ තෙරුවන් සරණ ගිහින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෙවියන් හා ඇති කර ගන්නා සුහදතාවකින්. ඒ සුහදතාව තමන්ගේ පිරිසිදු කම මත වගේම සිල්වත් කම මත රඳා පවතින දෙයක්.

ඇත්තෙන්ම මේ පහනේ බලයෙන් අපිට ආශිර්වාද කරන්නේ දෙවියන් නම් නෙවෙයි. මේ පහනක් දැල්වීම අපි විහින් අමාරුවේ වැටීමක් හා සමානයි. ඒකට හේතුවක් තියෙනවා. මේ වගේ පහන් පත්තු කරලා දෙවියන්ට වඳින ගාථා කීමෙන් ඊට ආකර්ශනය වන්නේ පාපතර අමනුශ්‍ය කොට්ඨාශ වීම. ඒ බව දැන ගන්නට ලැබෙන්නේ එක දිනක් හරි පහන දැල්වීමට නොහැකි වූ විටදීයි. මේ වගේ සිද්ධීන් අපට සමාජයෙන් අහන්නට ලැබිලා තියෙනවා. දෙවියන් කියන්නේත් අමනුශ්‍ය කොට්ඨාශයක් නිසා මෙහිදී පාපතර අමනුශ්‍ය කොට්ඨාශයක් කියලා හැඳින්වූයේ ප්‍රේතයන් වැනි අදෘශ්‍යමාන බලවේගයන්.

ඉතින් මේ පහන් පැල් වලට මේ වගේ අය අරක් ගන්නවා. ඒ වගේම තමන් වෙනුවෙන් පුද සත්කාර මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මෙහෙම එක දවසක් හරි කරන්නට බැරි වීමෙන් සිද්ධ වෙන්නේ අමුතුම ආකාරයේ සංසිද්ධීන් වලට මුහුණ දෙන්න. දන්නා තරමින් නිදා සිටින විට උන් තැනින් පහලට ඇද බිමට දැමීම වගේ කාරණා හරිම සුලභ සිදුවීම්. නරක හීන පෙනීම, නිතර පෙරේත ගඳ ලෙසින් හඳුන්වන දුගඳක් ඇති වීම වගේ බොහෝ අකරතැබ්බ වලට මුහුණ දෙන්නට වෙනවා. හරියට අහක යන යකෙක් පිටේ බැඳ ගත්තා වගේ දෙයක් මේක.

කණගාටුවට හේතුව නම් ඊට වඩා උතුම් දේව සංකල්පයක් බුදු දහමේ සඳහන්ව තිබියදී මේ වගේ අමනුස්සයන් පසුපස යන්නට බෞද්ධයන් පුරුදු වී සිටීමයි. තවමත් මේ දේවල් පුරුද්දක් වශයෙන් කරන අය සමාජයේ නැතුවාම නොවෙයි. ඒත් දැන් ඉස්සරට වඩා මේ දේවල් කිරීමේ ප්‍රවනතාව අඩු වෙලා ගිහින්. ඉතින් කල්පනා කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ මෙන්න මේ හේතු කාරණා නිසාවෙන්. අපි බුදුන් දෙසූ ධර්මය නිවැරදිව පිළිපැදලා සැප සම්පත් වැඩි කර ගන්නවාද, නැත්නම් අහක යන පෙරේතයෙක් කරේ එල්ල ගන්නවද කියලා.
විභාග. විභාග කියන්නේ අපි හැමෝම කරලා තියෙන දෙයක්. මම මේ විභාග ගැන කියවෙන චිත්‍රපටයක් ගැනත් කලින් ලිපියක් පල කරා. මේකත් විභාග වලින් ඉදිරියට යාම, නොයාම සම්බන්ධ ලිපියක්. නමුත් විභාග ගැනම නෙවෙයි සඳහන් කරන්නට යන්නේ.

අපිට අපේ අධ්‍යාපනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට විභාග සමත් වීම වැදගත් වෙනවා. මොකද යම් කිසි මට්ටමකින් එහාට යන්නට තමන් සුදුසුද කියලා බලන ඇගයීමකුයි විභාගයක් කියන්නේ. ඒ ඇගයීම සමත් වුනොත් හරි අවශ්‍ය ලකුණු මට්ටම සම්පූර්ණ කර ගැනීමෙන් හරි අපිට ඒ අදාළ මට්ටමට එළඹෙන්නට පුළුවන් කම ලැබෙනවා. මේක සාමාන්‍ය පැහැදිලි කිරීමක්.

මේ කියන්න යන සිද්ධිය මට සිද්ධ වුනු දෙයක් නම් නෙවෙයි. ඒත් මගේ යාළුවෙක් මට කියපු දෙයක්. මම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වුනු ශිෂ්‍යයෙක් නම් නෙවෙයි. ඒ බව මම කලින් වතාවකදිත් සඳහන් කරලා ඇති. නමුත් බාහිර උපාධි පාඨමාලාවක් ඔස්සේ තොරතුරු තාක්ෂණ විශයයේ වැඩිදුර ඉගෙනීම් කටයුතු සිදු කරන්නට අවස්ථාවක් උදා වුනා. මම මේ කියන යාළුවා උසස් පෙළ දෙවෙනි වතාවෙදි සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනු අයෙක්.

ඉතින් ඔහුගේ නියමිත ඉගෙනුම් කාලය අවසාන භාගයකට පැමිණිලාද කියලා නම් මම කියන්නට දන්නේ නෑ. ඒත් කියන්න ඕනේ කාරණයක් තමයි එම උපාධියේ විශේෂ උපාධිය කරන්නට ඔහුට වරම් ලැබිලා නැති බව. ඒ බව ඔහු මා සමග පැවසුවේ දැඩි කේන්තියකින් සහ එය ලබා නොදුන් යම් පුද්ගලයෙකුට ශාප කරමින් සහ ඔහුගේ දෙමාපියන් අති උත්තම පුරුශයෙන් වන්දනා කරමින්. ඒ කොහොමද යන්න ගැනත් මම කලින් ලිපියක් පල කරලා තියෙනවා.

ඔහු පැවසූ අන්දමට එම පුද්ගලයා හෝ ආචාර්‍යවරයා සිටිනා අංශය වෙනුවෙන් වැඩ නොකිරීම නිසාවෙන් ඔහුට විශේෂ උපාධියක් දක්වා යන්නට අවස්ථාවක් උදා නොවීම ඔහු විසින්ම උපකල්පනය කර ගත්තක්. ඒ උපකල්පනය මත රැඳිලා ඔහු එම පුද්ගලයා හට පෙර කියූ පරිද්දෙන් වන්දනා මාන, පුද පූජා පැවැත්වූයේ පුපුරලා ගියපු ගිනි කන්දක් වගෙයි.

ඒ ඔහු උපකල්පනය කර ගත්තක් විනා ඇත්තක් නොවෙන්නට පුළුවන්. තමන්ගේ දක්ෂතාවය මත හැරුනු කොට කෙනෙක් යම් අයෙකුට හෝ යම් අංශයකට කරන උදව් පදව් මත උපාධියකින් ඉදිරියට යෑම තරම් නිශ්ඵල දෙයක් තවත් නෑ. අද කාලයේ කිසිම වැදගැම්මකට නැති මිනිසුන්ට පවා ආචාර්‍ය උපාධි පිරි නමා තිබුනත් ඒවායේ නියම ස්වරූපය අපි හැමෝම අඳුරනවා. සමහර විට මම මේ කියූ මිතුරා මේ තාක් කලක් උපාධිය සම්පූර්ණ කර ගන්නට ඔහු සතු පන්දම් ඇල්ලීමේ හැකියාව බෙහෙවින් බලපාන්නටත් ඇති. එවැනි පන්දමක් අල්ලන්නට සිදුවූ නොහැකියාව නිසාවෙන් අද ඔහු ඒ ඒ පුද්ගලයන් හට බැන වදින්නේ තමාට අල්ලන්නට බැරි වුනු පන්දම කෙසේ වෙතත්, අසාධාරණය ගැන කියාපාමින්.

ඇත්තෙන්ම තමන්ගේ දක්ෂතාවය රඳා පැවතිය යුත්තේ තමන් අල්ලන පන්දමේ එළියෙන් නොවෙයි. තමන්ට දක්ෂතාවක් තියෙනවා නම් ඒ දක්ෂතාවෙන් ඉහළට යන ඕනෑම කෙනෙකුට කිසිම දිනකදී වැරදෙන්නේ නම් නෑ. මොකද කට පාඩමින් ඉදිරියට යන කෙනෙකුට වඩා බුද්ධියෙන් හිතා මතා තීරණ ගන්නා උදවිය සමාජයේ ගොඩක් ඉදිරියෙන් ඉන්නා නිසාවෙන්.

අපි අතර ඉන්නා සමහර පුද්ගලයන් හඳුනා ගන්නට මට නම් මේක හොඳ උදාහරණයක් වුනා. තමන්, අනිත් ශිෂ්‍යයන්ට නොලැබෙන සරසවි වරම් ලබා උපාධිය සම්පූර්ණ කර ගැනීම පිළිබඳව සතුටු වීම පැත්තක ලා නොලැබුනු විශේෂ උපාධි අවස්ථාව ගැන දුක් වීමට ඒ ඒ පුද්ගලයාගේ සමාජ, පවුල් පසුබිම සහ දෙමාපිය බලපෑමත් සමහර විටෙක බලපාන්නට පුළුවනි.

හිතන්නට පැති බොහෝමයක් තියෙනවා. ඒත් අපි අපේ ජීවිතයේදී ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙලා නොලැබුන දේවල් වලට දෙස් දෙවොල් නොතියා ඉන්නට පුරුදු වෙනවා නම් තමයි වඩාත් හොඳ.
බණ කියන්නේ ඉතින් අපි අද ඊයේ අහපු දෙයක් නෙවෙයි නේ. ඇති තරම් මේ බෞද්ධ රටේ බණ අහන්න ලැබිලා තියෙනවා. ජාති ආගම් භේදයකින් තොරව බණ අහන්න ලැබිල තියෙනවා වගේම ඇහිලාත් තියෙනවා. මොකද ඇහුවට පවක් සිද්ධ වෙන්නේ නැති නිසා.

විවිධාකාරයේ බණත් තියෙනවා. එක එක තාලෙට කියන ඒවා. මේ අතරින් බණක අර්ථය වෙනස් වෙනස් ආකාර වලින් දනවන්නට ඒ ඒ ධර්ම දේශකයන්ට පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ හැකියාව මත තමයි ධර්ම දේශණාවක හොඳ නරක බව ශ්‍රාවකයන් තීරණය කරන්නේ.

මෙන්න මේ වගේ කියන බණ වර්ග අතරින් කවි බණට විශේෂ තැනක් හිමි වෙනව. ඒ ගීත රාවයක් හෝ කවියක තාලයෙන් සහ තනුවක් උපයෝගී කරගෙන දේශණා කරන නිසාවෙන් ඒ දේශනාව අසන්නට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන නිසා. දේශණයක් අහන් ඉන්නවාට වඩා ගීතයක් අහන එක හිතට වගේම ගතටත් වෙනසක් දනවන දෙයක් නේ.

ඒත් දන්නවාද දෙයක් ගැන? අද අපි කවි බණ දේශණා වලට සහභාගී වුනාට, දේශක වරු ලස්සනට සමාජ සිද්ධියක් හරි ජාතක කතවක් හරි කවි බණකින් තාලෙට සංගීතමය ස්වරූපයකින් කීවට බුදු හාමුදුරුවෝ මේ ගැන ධර්මයේ දේශණා කරලා තියෙන්නේ මොනවාද කියලා?

බුදු රජාණන් වහන්සේ ධර්මයේ, බුදු දහමේ පරිහානිය සිද්ධ වෙන ආකාරය සඳහන් කරද්දී මේ දේ ගැනත් සඳහනක් කරලා තියෙනවා. අනාගතයේදී ධර්මය ගීත ආකාරයෙන් කියන්නට පටන් ගන්න බවත්, මිනිසුන් අභිධර්මය වැනි දෑ ඉගෙනීමට දක්වන කැමැත්තට වඩා අර ගීතමය ස්වරූපයෙන් කියැවෙන බණ අසන්නට දැඩි කැමැත්තක් ඇති කර ගන්නා බව. ඒ වගේම කසාවත වෙනුවට සුදු සිවුරු හැඳගත් පිරිස් බුද්ධ ශාසනයේ ඇති වෙන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුනු කිසිම දෙයක් මේ තාක් කාලයකට වැරදීවත්, බොරු වෙලාවත් නැති නිසා මේ කියූ දෙයත් අද වෙන කොට සම්පූර්ණයෙන්ම සත්‍යයක් බවට පත් වෙලා හමාරයි නේද? සුදු පාට සිවුරු ඇඳගත් පිරිස් පවා අද ශාසනයේ ඉන්නා බව දැන ගන්නට ලැබී තිබෙනවා.

ඉතින් මේ කවි බණ කියන්නේ නිකන් වැදි බණ හා සමාන දෙයක් හැටියටයි සලකන්නට වන්නේ. සාමාන්‍යයෙන් උපසම්පදා ලද භික්ෂුවකට ගී රාවයකින් ධර්මය දේශණා කිරීම අකැප දෙයක් බවටයි සඳහන් වෙන්නේ. ඒ බව මට දැන ගන්නට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්.

වර්තමානයේදී ධර්ම දේශණයක අන්තර්ගත වෙන්නේ බොහෝ විට ජාතක කතාවක් හරි, සමාජයේ සංසිද්ධියක් හරි, සාමාන්‍ය බුද්ධ චරිතය අලලා සිදු වෙන කතාවක් පෙරටු කරගෙන සිද්ධ කෙරෙන දේශණාවක්. නමුත් අභිධර්ම කොටස් පැහැදිලිව දේශණා කරනා අවස්ථා බෙහෙවින් දුර්ලභයි. අද රටේ වැඩ වසනා භික්ෂූණ්ගෙන් ප්‍රසිද්ධ රැල්ලේ පසු වෙන භික්ෂූහූ බොහෝමයක් දෙනා දේශණාවට බඳුන් කරන්නේ ඔන්න ඔය ආකාරයේ මාතෘකා සහ කවි බණ ආදියයි. කවි බණ දේශණාවෙහි දක්ෂ දේශක වරුන් පවා ඇති තරම් ශාසනයේ සිටිනවා.

කාලයාගේ ඇවෑමෙන් බුද්ධ වචනය ඇත්තක් බවට පත් කරමින් අද කවියෙන් බණ කීමත්, ඒවා ඇසීමට ශ්‍රාවකයන් ප්‍රිය වීමත් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. නියම සද්ධර්මය බෞද්ධ ශ්‍රාවකයන්ගෙන් ඈත් වීගෙන යන්නට පටන් අරගෙන තියෙන්නේ ඔය දේවල් සමාජයට ආ දා ඉඳන්මයි. ඒ මීට වසර ගාණකට පෙරදීයි. කතා බහට ලක් කරන්නට දෙයක් මේ.

Thursday, September 2, 2010

මේ කියන්න යන කතාව විද්‍යුත් තැපෑල එහෙමත් නැත්නම් කවුරුත් දන්න බාසාවෙන්ම කියනවා නම් ඊමේල් පිළිබඳවයි. මෙහෙම කියද්දි හැමෝම දැන් ඊමේල් බලන්නට පටන් ගන්නත් බැරි නෑ. නෑ නෑ ඕනේ නෑ මේ වෙලාවේ බලන්න. මම මේ කියන දේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳටෝම ඇති. මට වගේම ඔයාලා හැමෝටමත් විද්‍යුත් තැපැල් පෙට්ටියක් ඇති. ඒ වගේ දෙයක් ඉතින් අද කාළයේ නැතුවම බැරි දෙයක් තරම් නේ. මේ කියන්නට යන්නේ මට ආපු, ඒ වගේම ඇවිත් තියෙන විද්‍ය්ත් ලිපියක් සහ ඒ විදියේම ලිපි කීපයක් ගැන.

මට මේ ළඟකදී ආවා ඊමේල් එකක් දේව රූපයක් අන්තර්ගත කරලා. මීට කලිනුත් එහෙම ඊමේල් ඇවිත් තියෙනවා බුදු හාමුදුරුවන්ගේ රූපයක් පවා අන්තර්ගත කරලා. ප්‍රශ්නය කියන්නේ මෙහෙම ආපු එක නෙවෙයි. එහෙම එන ලියුම් වල මෙන්න මෙහෙම ලියලා තිබීම තමයි සාකච්චාවට ගන්න ඕනේ දේ. ඒ තමයි "මේ රූපය බලගතු රූපයක්. ප්‍රාතිහාර්යමය වටිනාකමක් ඇති රූපයක්. මේ රූපය සමග පැමිණි මේ ඊමේල් පණිවිඩය ඔබගේ මිතුරන්ට යැවීමෙන් ඔබට සභදායී ප්‍රතිපල ලැබෙනවා මෙන්ම, මෙය අහක දැමීමෙන් හෝ විනාශ කිරීමෙන් ඔබට අයහපතක්ම සිදු වෙනු ඇත. පහල දැක්වෙන්නේ එවැනි සත්‍ය සිදුවීම් කීපයකි".

ඔන්න ඕකයි වැඩේ. ඔය වගේ ලියලා අපිට ලැබුණ ඊමේල් පණිවිඩ ගැන මට හොඳ මතකයක් තියෙන්නේ. විශේෂතම වැඩේ කියන්නේ අර කිව්වා වගේම පහලින් ලියලා තියෙන සත්‍ය සිදුවීම් තමයි. කොටින්ම මේ වගේ පණිවිඩ අහක දාපු හැමෝටම කිසි හොඳක් සිද්ධ වෙලා නෑ. එක්කෝ ඒ කෙනා ජීවිතක්ෂයට පත් වෙලා, නැත්නම් රැකියාව අහිමි වෙලා. මේක තවත් අයට යවපු අයට හැම සැප සම්පතක්ම ලැබිලා. එක්කෙනෙක්ට මිලියන ගානක මුදල් ලැබිලා හෝ ලොතරැයියක් ලැබිලා. එහෙමත් නැත්නම් මොන මොනවා හරි ලියලා පල ඇත්ත විදියට පල කරපු දෙයක්. කියවද්දී හිතට බයක් වගේම ලොකු ප්‍රීතියකුත් ඇටි වෙන තරමටම සාහිත්‍යමය වටිනාකමක් සහිත ඊමේල් පණිවිඩ ගණයකට පවා ඇතුලත් කිරීමේ හැකියාව මේ ඊමේල් සතුයි.

ඇත්තෙන්ම මේ ක්‍රියාව මොන තරම් බොළඳ දෙයක්ද යන්න ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ. දෙවි කෙනෙක් හෝ බුදු රදුන් හෝ සිටින්නේ කෙනෙක්ට ලාභ පාඩු නින්දා ප්‍රශංසා සැප දුක යස අයස ලබා දීමට නොවන බව අපි කවුරුත් දැන ගන්නට ඕනේ. ඕනෑම ආගම ධර්මයකින් මිනිස් වර්ගයාට සිද්ධ විය යුතු යුතුකම සහ බලපෑම වන්නේ තම තමන්ගේ සිත් පිරිසිදු කරගෙන තම ආගම ධර්මයේ සඳහන් උත්තරීතර තත්තවයට පත් විය හැකි ජීවන චර්යාවක් සහ හොඳ ගති පැවතුම් ඇති කර ගැනීමට මාර්ගෝපදේශයි. මේ ලෝකයේ එළිය දකින ඕනෑම මනුස්සයෙකුට ආගමකට බැඳීමක් ඇති වන්නේ ඒ හේතුව නිසා.

දෙවියන් හෝ බුදුන් හෝ මෙවැනි ලිපියක් කිසිම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් යවන්නේ නෑ. ඒ වගේම කෙනෙකු බියට පත් කරලා වැඩක් කරවා ගැනීමේ චේතනාවක් කිසිම ආගම ධර්මයක නොපැවතිය යුතුයි. නමුත් බිය වැද්දවීමෙන් හෝ නීති රීතිමාලාවන් වලින් වැට කොටු බැඳලා මිනිසුන් තුල ස්වයං පාලනයක් ඇති කරන ආගම් පවා අද ලෝකයේ නැතුවාම නොවෙයි.

බුදු රජාණන් වහන්සේ කිසිම දවසක කිසිම වරදක් කළ අයෙකු නොවේ. එහෙනම් ඒ වගේ උතුම් අයෙක් ඊමේල් පණිවිඩයක් තවත් කීප දෙනෙකුන් හට නොයැවීම සම්බන්ධයෙන් තරහා ගැනීමක් සිදු කරන්නේ නෑ. දෙවියෙක්ට හෝ දෙවියන් වහන්සේට වුවත් මිනිසුන් හට ඊමේල් පණිවිඩ යවනවා හැරුණු කොට කරන්නට වෙන වැඩක් නැති නම් අපට ඔය පණිවිඩ යම්තාක් විශ්වාස කරන්නට හරි පුළුවන් වේවි.

නමුත් මේ වගේ නිෂ්ඵල වැඩ කරන්නේ ආගම් ප්‍රචාරණය සඳහා ඒ ඒ ආගම් වල නියුතු වූවන් සහ අනුගාමිකයන් විසින්. ඒ නිසාවෙන් කිසිම ආගමක් නිසා යම් අයෙකුට හිංසනයක් වෙනවා නම් එය ආගමක් නොවන බවත් ඒ පුද්ගලික මති මතාන්තර හුවා දැක්වීමට කරනා ක්‍රියා පිලිවෙතක් බවත් අප තේරුම් ගත යුතුය.
 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.