Saturday, June 5, 2010

සීගල් නැත්නම් ඉංග්‍රීසියෙන් "Seagull" කියන්නේ මුහුදු ලිහිණියන්ට නේ. මේ කියන්න යන්නෙත් පියාඹල ගිය මුහුදු ලිහිණියෙක් ගැන තමයි. හැමෝම වාගේ කලබල වගේම හැමෝටම පාඩු සිද්ධ කරලා යන්න ගිය කෙනෙක් ගැන. හැබැයි මේ සතෙක් නම් නෙවෙයි. සත්තු රැලකගේ ආයතනයක්.

මට මේ
'Seagull' ආයතනය ගැන දැන ගන්න හම්බ වුණේ මගේ ඉස්කෝලෙ හොඳම යාළුවාගෙන්. එයාගේ නම කියන්න ඕනෙ නැහැ නේද? කොහොමෙන් කොහොම හරි අපේ ඉස්කෝලෙ ජීවිතය අවසන් වෙලා තිබිණු කාලෙදි (2006 දී වගේ) ආදයමක් හොයා ගන්න කියාපු විදිය කියලා මගේ යාළුවා මේ ගැන විස්තර එහෙම හොයා ගෙන මට ඇවිත් කීවා. ඇත්තෙන්ම මගේ යාළුවා ඒ වෙද්දි ඒ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නැහැ, එයාට ලැබුනු පොඩි අත් පත්‍රිකාවක තිබුණු විස්තර වලට අමතරව. ඉතින් ගෙදර ඉඳලාම සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන නිසා මාත් කැමති වුණා. මොකද කවුරුත් ආසයි නේ තමන්ගේ වියදමට කියලා තමන්ටම සල්ලි හම්බ කර ගන්න පුළුවන් නම්.

යාළුවා එයාලට දුරකතන ඇමතුමක් දීලා ලියාපදිංචි වෙලයි හිටියේ එතකොට. මටත් ඒ උපදෙසම දුන්නා. මාත් ඒක පිළි පැද්දා. පස්සේ අපිට දැනුම් දුන්නා සම්මුඛ පරීක්ෂණයකට එන්නය කියලා. මේ ආයතනය තිබුණේ ගල්කිස්සේ. ම්ම්... හරියටම තැන කියනවා නම්, ගල්කිස්සේ හෝටල් පාරට යාබදව තිබුණු ඉන්ධන පිරවුම් ස්ථානයක්ට එහා පැත්තේ. ගෙයක් වගේ තැනක්, ඒත් හොඳට උසස් පැලැන්තියේ විදියට ඇතුලේ වෙන් කරලා, වායු සමීකරණය කරලා තිබුණේ. හිටි අයත් හිටියේ ටයි දාල අත් දිගට ඇඳලා.

ඔන්න ඉතින් අපි ඔය ආයතනේට ගියා ඒ පරීක්ෂණයට. ඇත්තෙන්ම ඒක එහෙම එකක් නෙවෙයි. එයාලගේ වැඩ කරන්නේ කොහොමද කියලා දැනුවත් කිරීමක් විතරයි. එතන වැඩ කෙරෙන්නේ මෙන්න මෙහෙමයි. එයාලගේ වෙබ් අඩවියෙන් අපි ඇපේ කොටසට ඇතුල් (Login) වුණාම අපිට ලැබෙනවා භාණ්ඩ ජාති පහක්, ඒවායේ වෙබ් ලිපිනයනුත් එක්ක. අපි ඒ ලිපිනයකට ගිහින් ඒ භාන්ඩේ ගැන විස්තර අරගෙන "Microsoft EXCEL Document" එකකට දාලා එයාලගේ වෙබ් අඩවියට "Upload" කරන්න ඕනෙ. මේ වගේ භාණ්ඩ පහ ගානෙ එක්කෙනෙක්ට ලැබෙන ලැයිස්තුවක් ඒ ආයතනයෙන් ලබා ගන්න අපි එයාලට ගෙවන්න ඕනෙ වුණා රුපියල් 6000 ක් ජීවිත කාලයටම. ඒ එක ලැයිස්තුවක භාණ්ඩ ගැන තොරතුරු හොයලා එයාලගේ වෙබ් අඩවියට සැපයුවාම මාසෙකට දවස් 20 ක් වැඩ කරාම අපිට ලැබෙන පඩිය නැත්නම් ආදායම රුපියල් 4000 යි.

ඔය වගේ භාණ්ඩ පහ ගානෙ තියෙන ලයිස්තු ඕනෙ තරම් ප්‍රමාණයක් රුපියල් 6000 ගානෙ දීල ගත්තා ගොඩක් දෙනා. මාස කීපයක් ගත වෙද්දි මේ වැඩේට සම්බන්ධ වුණු ප්‍රමාණය මුල් ගාණට වඩා අතිශයෙන් වැඩි වුණා. මම නම් හොඳ වෙලාවට ගත්තේ එක ලයිස්තුවක් විතරයි. ඒ ලයිස්තුව මාස 3ක්ම කර ගෙන ගියා අලුතින් නොගෙන. මොකද මේ වගේ ආයතන විශ්වාස නොකරන්න කියලා තාත්තා උපදෙස් දීලත් තිබුණු නිසා. කොහොමෙන් කොහොම හරි මාස 3 ක්ම පඩිය ලැබුණු නිසා තව ලයිස්තුවක් මම ගත්තා. ඒක නිසා මට සිද්ධ වුණු පාඩුව රුපියල් 1000 ක්. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඒ ලයිස්තුව ගත්තු මාසෙට පස්සෙ මාසේ ඉඳන් ඒ ආයතනේ අතුරුදහන් වීම. මට වුණු පාඩුව
වඩා, අන්තිම මාසෙදි හිටි පිරිසගෙන් බොහෝමයක් දෙනා මිලියන ගනන් දීලා ලැයිස්තු අරගන්න පොර කෑවා. ඒ සල්ලි නිකන්ම වතුරේ ගියා.

ඒ නිසා ඔයාල කවුරු හරි ඔය වගේ ගෙදර ඉඳන් ලේසියෙන් සල්ලි හම්බ කරන්න උත්සාහ කරනවා නම් ඒ වගේ අවස්ථාවන් ගැන ගොඩක් පරිස්සමින් වැඩ කරන්න ඕනෙ කියලා මතක තියා ගන්න. මොකද කවුරු කවදා අපේ ඔළුවට අත හෝදයිද කියන්න බැරි නිසා. මේකට මගේ යාළුවත් අහු වුණා මම වගේම. ඒත් ඒකට එයා වැරදි නැහැ; එයත් ඒ ගැන දැනන් නොහිටි නිසා. ඒ නිසා සක්විතිල හැම තැනම ඉන්න පුළුවන් බව දැනන් වැඩ කරොත් හොඳයි.

0 පාඨක අදහස් | Comments:

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.