Monday, December 27, 2010

බෝඩිම් කිව්වම ඉතින් මේ ලිපි කියවන සමහර ඈයොත් බෝඩිම් වලම ඉඳගෙන මේ ලිපි කියවනවා, අන්තර්ජාලයේ සැරිසරනවා වෙන්නත් පුළුවන්නේ. අද කාලේ කොළඹට පිටින් ඇවිත් රැකියාවල් කරන කොයි තරම් නම් දෙනා සේවා ස්ථාන වල ඉන්නවද බෝඩිම් වල නැවතිලා වැඩට එන. ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා, මේ බෝඩිම් වෙන් වෙන් විදියටයි සේවා සපයන්නේ ඒ ඒ කණ්ඩායම් වලට එක එක පරාස වල මිල මට්ටම් එක්ක. මේවායෙන් ලැබෙන පහසුකම් පවා විවිධාකාරයි කීවොත් වඩාත් නිවැරදියි. ඒ විවිධත්වයට අදාළව තමයි ගෙවන ගාණත් තීරණය වෙන්නේ.

මෙන්න මේ වගෙ බෝඩිම් නිවාස වල නැත්නම් කාමර වලට ලැබෙන එක පහසුකමක් තමයි නිදහසයි, පෞද්ගලිකත්වයයි, රහස්‍යභාවයයි කියන්නේ. සමහරු නම් මේවා නැති බෝඩිම් වල නතර වෙන්නත් අකැමැති තරම්. මෙන්න මේ පහසුකම හරි හැටියට ප්‍රයෝජනයට ගන්නේ කීයෙන් කී දෙනාද? මේ රහස්‍යභාවය තවත් පිරිසක් වැරදියටත් පාවිච්චියට ගන්නවා. සමහරු නම් කියාවි සල්ලි ගෙවනවා නම් මොනවා කර ගත්තාම මොකද කියලා. ඒත් ඉතින් ඕවා ගැන දැන තියා ගන්න එකත් නරක දෙයක් නෙවෙයි කියලායි මම නම් හිතන්නේ. මොකද අනාගතයේදී තමන්ගේ දුව හරි පුතා හරි බෝඩිම් නිවාස වල නවත්තන්න හිතනවා නම් මේ ගැනත් හිතන්න වෙන නිසා. දරු මල්ලො කෙසේ වෙතත් තම තමන්ටම සමහර විට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙන්න කලින් දැන ගෙන ඉඳීමවත් හොඳක්. අනිත් දේ තමයි මේ දේවල් අමුතුවෙන් කිව යුතු දේවලුත් නොවන බව. සමාජයේ සිද්ධ වෙන ප්‍රසිද්ධ රහස් වගේ දේවල් තමයි මේ දේවල්.

මේ කාරණාව මට සිද්ධ වුනු දෙයක් නෙවෙයි. මොකද මේ තාක් කාලයකට බෝඩිම් නිවාසයක හරි බෝඩිම් කාමරයක හරි මම වාසය කරලා නැති නිසා. මේ බාහිර අත්දැකීම් මගේම අත්දැකීම් වෙන්නේ කණට ඇහුණු දේවල් විදියටයි. ඒ, ආශ්‍රය කරන්නට ලැබුණු යහළු මිත්‍රාදීන් කියපු දේවල් නිසාවෙන් තමයි.

ඉතින් මේ බෝඩිම් නිවාසත් එක්ක බැඳුණු අර මම මුලින් කියපු නිදහස්කමයි, රහස්‍යභාවයයි නිසාවෙන් සමහර වෙලාවට මේ බෝඩිම් නිවාස වල ජීවත් වෙන පිරිමි ළමයින් නොයෙක් ආකාරයේ සමාජ විරෝධී විතරක් නෙවෙයි සමාජ අසම්මත වැරදි ක්‍රියාකාරකම් වලටත් පෙළඹෙනවා. කොටින්ම මේ වගේ බෝඩිම් කාමර හෝ වේවා, නිවාස හෝ වේවා සූදු පොළවල්, තැබෑරුම් තත්ත්වයටම පත් වෙන අවස්ථාවලුත් ඇති තරම් දකින්නට පුළුවන්. සමහර විට රැකියාවක් හොයාගෙන ගමෙන් කොළඹට එන කෙනෙක් නතර වෙන්න හොයා ගන්න තැන නිසා බේබද්දෙක් වෙන්නත් බැරි නෑ. එහෙම වෙලා තියෙන අවස්ථා ඔයාලගේ ජීවිත වල වුනත් ඇති පමණ හොයා ගන්න තියෙනවා වෙන්න පුළුවන්.

කොහොමින් කොහොම නමුත් මේ හැසිරීම් අහල පහල ගෙවල් වල ජීවත් වෙන උදවියටත් සමහර වෙලා වලට කරදරකාරී වෙන්න පුළුවන්. ඉතින් රාත්‍රී කාලයට වැඩ ඇරිලා මහන්සි වෙලා මෙහෙම බෝඩිම් වලට එන පිරිමි පාර්ශවය ඇඟේ පතේ අමාරුකම් දුරු කර ගන්නේ මධු විත පානය කරලා වගේම තව තවත් දේවල් පාවිච්චි කරලා. උදාහරණයක් විදියට කීවොත් ගංජා වගේ දේවල් පාවිච්චි කරලා. කොටින්ම කීවොත් සූදු පොළක, තැබෑරුමක හා සමාන කෑ මොර දීම් රණ්ඩු සරුවල් වගේ දේවලුත් සිද්ධ වෙනවා. බෝඩිමේ වාසය කරන අය වගේම බෝඩිමට පරිබාහිරින් සම්බන්ධ වුනු උදවිය පවා මේ තාවකාලික තැබෑරුමේ සාමාජිකයින් වෙනවා. මේ වගේ තැබෑරුම් ඇති තරම් හවස් වරුවට නිල නොලත් මට්ටමින් රට පුරාම දකින්නට පුළුවන්. ඒත් බොහෝමයක් තිබුනට හොයන්න ලේසි නෑ. ගෙහිමියන් හෝ බෝඩිම් අයිතිකරුවන් හෝ මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග නොගන්න හේතුව ලැබෙන මුදල නිසාවෙන් හෝ බෝඩිම්කරුවන්ගේ බිය වැද්දීම් හේතුවෙන් වෙන්නට පුළුවනි.

මීට අමතරව කිව යුතු තවත් දෙයක් තමයි, බෝඩිම් කාමර ගණිකා මධ්‍යස්ථාන බවට පත් වෙන ආකාරය ගැන. සමහර අවස්ථාවන් වලදී බෝඩිම් වල වසන පිරිමි පාර්ශවයේ උදවිය තම තමන්ගේ පෙම්වතියන් බෝඩිම් සාමාජිකයන් කිසිවෙකු එහි නැති අවස්ථාවන් වලදී එම බෝඩිම් කාමර වලට ගෙන්වා ගෙන රති කෙළියේ යෙදෙන බව නොරහසක් බවත් කියන්නට ඕනේ. ඒ වගේම ඉන් සමහර අවස්ථාවල් වලදී බෝඩිමේ ඉන්නා සාමාජිකයන් සියළු දෙනා විසින්ම කැමැත්තෙන් වගේම සම්මාදමෙන් මුදල් එකතු කරලා ගණිකාවන් පවා ගෙන්වන අවස්ථා ගැනත් අහන්නට ලැබිලා තියෙනවා. ඒ වගේම ඒවා සිද්ධ වීමත් ඒ වගේ බෝඩිම් ස්ථාන වල දකින්නට ලැබෙන තවත් සුලබ දෙයක්.

මේ දේවල් සිද්ධ වෙන්නේ බොහෝ විට බෝඩිම් නිවාසය අයිතිකරුවන්ගේ අනු දැනීමක් නැතුව හොර රහසේයි. මේ එක්කම කියන්නට තියෙන තවත් දෙයක් තමයි, මේ බෝඩිම් වල වාසය කරන්නන් අසල්වාසී නිවෙස්වල කාන්තාවන් සමග අයතා සබඳකම් පවත්වන්නට පටන් ගැනීම. මේ දේ අවසානයේදී ඉවර වෙන්නේ මුලින් කීවාක් වගේ රති කෙළියේ යෙදීමෙන් අනතුරුව හෝ කලබගෑනියකින් අනතුරුවයි. ඒවාට උදව් කරනා ඒ ඒ කාන්තාවන් සමහර විට මීට ඉහත ලිපියක සඳහන් කෙරුණු තරුණ මොන්ටිසෝරි අම්මා කෙනෙක් වෙන්නත් පුළුවනි. එහෙමත් නැති නම් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරනා දරුවන් සිටින මවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තරුණ ගැහැණු දරුවන් වෙන්නත් පුළුවනි. එහෙමත් නැත් නම් මග තොටේදී, බස් රථයේදී හමු වෙන කාන්තාවක් වෙන්නත් පුළුවනි. මේ හැම ආකාරයකම අසම්මත, අනියම් රති සුව විඳීම් ගැන අහන්නට ලැබිලා තියෙන අත්දැකීම් ගැනයි ඒ විදියට මේ ලිපියෙන් පළ කරන්නට හිතුවේ. සමහර විට ඒ ඔයාලගේ සහෝදරියක්, නෑයෙක්, බිරිඳක් හෝ මවක් වෙන්නටත් පුළුවනි.

ඉතින් බලාගෙන ගියාම රට පුරාම හැන්දෑ වරුව වෙද්දී පුංචි පුංචි සුරා සැල්, තැබෑරුම්, රති සුව මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස බොහෝමයක් ආරම්භ වෙන බව කවුරුත් දන්න රහසක් වෙලා. මේ වගේ සමාජයීය අසම්මත, වැරදි, නොමනා හුරු වීම් හේතුවෙන් බෝඩිමක නතර වෙනවා කියන දේ, ඕනෑම කෙනෙක් හොඳින් සොයා බැලිය යුතු කාරණාවක් වෙලා තියෙනවා. මොකද මේ දේවල් අණ බෙර ගැසීමකින් තොරව, හොර රහසේ සිද්ධ වෙන දේවල් නිසාවෙන්. ආශ්‍රය කරන්නට සිද්ධ වෙන උදවියගේ වැරදි මග පෙන්වීම් වලට යටත් වෙන තරුණයින් මේ නිසා නාස්ති වෙන එක නම් පුදුමයක් නෙවෙයි. ඒ හේතුවෙන් ගැහැණු දරුවන් වගේම කාන්තාවන්, එවැනි අයගෙන් ප්‍රවෙසම් කර ගන්න අතරේ පුරුශ පාර්ශවයේ උදවියත් මේ වගේ දුරාචාරී බෝඩිම් ශිෂ්ඨාචාර වලින් ඈත්ව ජීවත් විය යුතු බවත් මතක් කරන්නට අවශ්‍ය දෙයක් වෙනවා.

32 පාඨක අදහස් | Comments:

Anonymous said...

malli oya hari topic eka gena liyanna patan aragena. mamath liyanna patan gaththa. e ape anagathaya duwala puthala akkala nagila beraganna ona nisa. aeth anthimata tharjana witharayi ithuru wune. liyapan male... ekek hari hadewi.

Anonymous said...

I like you I am also a jealous monster like you, I see people having fun, getting laid , driving nice cars, and all that drives me crazy and makes me literally find a way to drag them down to my level. I want them all to hurt like I do and I am sick of feeling this way. I want to be more focused on improving my own situation than on how I could drag others down. Any thoughts?

සංකල්ප said...

කොළඹ අවට ගොඩක් වෙලාවට ඔහොම දේවල් සිද්ධ වෙනවා කියලා අහලා තියෙනවා. මොනවා උනත් රස්සාවකට කොළඹ ආපු ගොඩක් අය ඔය දේවල් වලට යොමු වෙනවා

ඉලංදාරියා said...

එත හෑමොම ඔයවගේ දෙවල් වලට යොමුවෙනවා කියන එක ....වෑරදියි..මොකද කොහේ ගියත් හරියට ඉන්න මනුස්සයා ...හරියට ඉන්නවා තමන් ආපු කාරනය කරගෙන.... සමහරු බොරුවට ඔයවගේ දෙවල් ගෑන කිය කිය පොර ටොක් දෙන වෙලාවලුත් තියනවා.... කොළබ බොඩින් වෙලා ඉන්න හෑමොවම ඔය ගොඩට දාන එක වෑරදියි... එත කුඩෑල්ලොනම් මෙට්ටේ තියන්න බෑ .... උන් කොහොමත ඔතනින් බෑහෑලා යනවා... එක තමයි ඈත්ත නෙද ..? කොහොමත් අරක්කු බොන එකා තමන්ගේ ගෙදර හිටියත් උන් ඔහොම්මමනේ නෙද... උන් ගෙදරදිත් එකතු වෙලා බොනවා ... එත සියයට ප්‍රතිශතයකින් මට ඔයගේ කතාවට එකගවෙන්න පුලුවන් හික්

Anonymous said...

උඹේ කතාව සම්පූර්ණ ඇත්ත සහෝ. මාත් කවදාවත් බෝඩිමක ඉඳලා නැහැ. ඒත් මගේ යාළුවොත් ඔය වගේ කේස් ඈදගෙන තියෙනවා.

Nadun said...

මේ දේවල් වෙන්නේ ඒ ඉන්න පුද්ගලයාගේ දැනුම මට්ටම අනුව තමයි. හැම බෝඩිමක්ම මෙහෙම නෑ.. හදිසියෙන් තියනවා මෙහෙම පජාත බෝඩින්. එක අතකින් ඒක සැප තැනක් වුනාට අනිත් අතින් තමා පැමිණි කාරණය අමතක කර වෙනත් සැප සෙවීමක් වගේ තමයි. කවුරු කවුරුත් තම තම ණැන නුවණින් සෑමදේම කරගන්නවා නම් හොඳයි. අනුන් හදන්ට යනවාට වඩා තමන් නිවැරදිව ජීවත් වුනොත් හරි...

Anonymous said...

ශිරා කේස් එකක් මමත් දන්න පොරක් කැලණියේදී මෙහෙම කේස් එකකට සෙට් වෙලා වෙච්ච සිද්දියක් දැනට මාස 5කට විතරකලින් මට කියලා තියනවා... තැනනම් මට කියන්න පුළුවන් පොරකියපු විස්තරේ හැටියට... ඒත් පරසිද්දියේ හොද නැහැනේ... එතන වැඩ කරන අයත් ඇතිනේ... වැරදි නොකලත් උන්ට හරිනැහැනේ, උනුත් දන්නවා ෂුවර්...

Teshan said...

හැමෝම නෙවෙයි. කිහිප දෙනෙක් විතරයි. ඒකනේ මම "සමහර" කියන වචනය නිතර පාවිච්චි කරලා තියෙන්නේ. මේ කිසිම වල් වැඩක් නැති බෝඩිම් පවා ඕනේ තරම් තියෙනවා. ඒත් මේ වගේ දේවලුත් තියෙනවාය කියලා සමහර උදවියට මතක් කරලා දෙන්නත් එපැයි. මොකද පොළොවේ පය ගහලා නෙවෙයිනේ හැමෝම ඉන්නේ.

අළුතෙන්ම මේ පැත්තේ ඇවිත් අදහසක් දක්වලා ගියා හැමෝටමයි අනිත් දෙනාටයි අදහස් වලට බොහෝම ස්තූති‍යි. මේ දේවල් කතා නොකර බැහැනේ. අත්දැකීම් තියෙන්නේ ඉතින් බෙදා ගන්න නොවැ.

@Anonymous
I'm not jealous about the people who are enjoying their life with the comforts that i don't have with me. What do we get by that? I do not need to have unwanted and unethical pleasures like all those i have mentioned. Improving the status is a good thing but it shouldn't get the shadow of the hatred or jealousy.

විත්ති said...

සහෝදරයා,
මමනම් ඔකේ දෙපැත්තක් දකිනවා.අපේ සමාජයේ ලිංගිකත්වය කියන දේ ඉතාමත් දරුණු දෙයක් කියලාහ් හිතනවානේ.ඉතින් හුගක් වෙලාවට ඔය බෝඩිම් වල ජීවත් වෙන අපේ අයියලා අවුරුදු 30 - 35 වෙනකම් කොහේ හරි වැඩ කරනවා ගෙයක් දොරක් හදා ගන්න , ණය ගෙවන්න , මල්ලිලා නංගිලාට උගන්වන්න.ඉතින් ඔය වෙනකොට කසාද බදින්න ඔනේ කල වයස පසු වෙලාත් ඉවරයි.මනස වගේම ශරීරයටත් ලිංගික සතුට අවශයයිමේ ගොල්ලන්ට ඕක තෘප්ත කරගන්න තියෙන්නේ ක්‍රම කීපයයි.එක්කෝ ගැණු ලමයෙක් එක්ක යාලු වෙලා ඕක තෘප්ත කර ගන්න එකයි නමුත් තියෙන ප්‍රශ්ණ හමුවේ ඔය වගේ දෙවල් කරන්න බැ.අනික විවාහයට පෙර ගැනු ලමයි ඉතින් ලිංගිකව එක් වෙන්න කැමති නැ.ඉතින් ඊලග සොලුෂන් එක තමා ලිංගික වෘතිකයෙක්ගේ පිහිට පැතීම.ඕක ඉතින් ස්භාවික දෙයක්.විවාහක අය ගැන කියනවානම් මාසයකට සැරයක් තමන්ගේ බිරිදව/සැමියාව දකින අයට ඒ දැක්කත් අවශය දෙය කරගන්න ගෙදරින් පිට කෝහේ හරි යන්න වෙන අයට ගැන තව කවර කතාද දැනට ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් හතලිස් දහසක් ඉන්නවා ඒ එක්කම ඒ සේවය ලබා ගන්නන් දෙලක්ෂපනස්දහසක් (ලංකාදීපයේ ලිපියක් ඇසුරෙන්) ඉන්නවා.

මම දකින විදියට මේකට හේතුව අපි හිතන පතන විදියමයි.අපි ඉහින් මේ ගැන මෙච්චර කලබල වෙන එක හොදද ?

තව ඉතින් කියනවානම් තමාගේ සිත කය පාලණය කරගන්න පුලුවන් අයට ඔය ප්‍රශ්ණ මොනවත් නැ.බැරි අයතමා ඉතින් ඕකට පෙලබෙන්නේ.

ඉතින් මේක සමාජ විරෝධි කියන පලියට එහෙම නැත්නම් කොහේවත් යන එක්කෙනෙක් ආගම් විරොධියි කියන පලියට නතරකරන්න බැ.

තමන් විසින්ම ආදීනාව සහ අවාදානම තේරුම්ගෙන නතරකලොත් මිසක්

දුකා said...

බෝඩ් වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ පෙම්වතිය එක්ක කැමැත්තෙන් රති සුව විඳින එක නරක දෙයක්ද??

හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබලා තියෙන දෙන්නෙක් නම් කිසිම අකාරයක (අනාගතයට වත් වර්ථමානයට වත්) හානියක් කර නොගෙන සතුටක් ලබාවී.

එකේ වරදක් තියෙයිද . .. ??

අනික මත්පැන් හෝ ගංජා . .

මේ දේවල් වලින් අන්තයට ගිහින් ජීවිත අඳුරු කරගන්නේ තමන්ට තමන්ව පාලනය කර ගන්න බැරි මෝඩ අය.

හැමදේටම මුල් වෙන්නේ තමාගේ සිත සහ හැමදේටම තීරණය වෙන්නේ තමාට තමාව පලනය කිරීමේ ඇති හැකියාව මත.

ඒ හැකියාව ඇති අය බෝඩ් වෙලා තමාගේ නිදහස තමාගේ සීමාව ඇතුලේ පාවිච්චි කරනවනම් ඒක වරදක් නෙමෙයි කියලයි මගේ හැඟීම නම්.

Teshan said...

@විත්ති
ඇඟේ පතේ වෙහෙස දුරු කර ගන්න තියෙන එකම තුරුම්පුව ලිංගික තෘප්තිය ලැබීමද කියන ප්‍රශ්නයත් මෙතනදී අහන්න වෙනවා. ඒ වගේම විවාහයට පෙර ලිංගික තෘප්තිය ලබන්න තියෙන එකම ක්‍රමය ගැහැණු ළමයෙක් එක්ක ඒ සතුට බෙදා ගන්න එක කියන දේ නම් පිළිගන්න අමාරුයි. ඒත් කරන අයට මේ ලිපියෙන්වත්, මගෙන්වත්, කාගෙන්වත් බාධාවක් නෑ. මොකද සතුට කියන දේ සාපේක්ෂයි. ඊටත් වඩා සතුට කියන දේ තාවකාලිකයි. ඔය ලබන තාවකාලික සතුට නිසා විඳින්න වෙන සදාකාලික දුක ගැන ඔය කොයි කවුරුත් ඕවා කරද්දී නම් හිතන්නේ නැති වගත් මතක් කරන්නට ඕනේ. ඕනෑම දෙයකට බලපාන එකම සාධකය සිතුවිලි විතරමයි. ඒ සිතුවිලි එහෙමත් නැත්නම් චේතනාවන් පහළ වෙන්නේ තමන් සතුව තියෙන අත්දැකීම් පුරුදු ජීවත් වෙන වටපිටාව ආශ්‍රය කරන පිරිස වගේ දේවල් බොහෝමයක උදව්වෙන්. සමහර විට තමන්ගේම බිරිඳ, දුව, සැමියා, පුතා ලිංගික සේවකයන් බව දෙමාපියන්ගේ වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. කොහොමත් ඕවා කියලා කරන දේවල් නෙවෙයි නේ.

@දුකා
කෙනෙක්ට කියන්න පුළුවන් පෙම්වතුන්ට තම එකිනෙකාගේ කැමැත්තෙන් හොඳ ලිංගික අධ්‍යාපනයක් සහිතව එකිනෙකා අතරේ එකතුවීම් බෝඩිමකට ඇවිල්ලා කිරීමේ වරදක් නැහැ කියලා. හැබැ‍යි ඉතින් ඔය දේට බෝඩිම් විතරක්ම අවශ්‍යත් නෑ. ඒත් කියන්න තියෙන දෙයක් තියෙනවා. විවාහයකට කලින් පෙම්වතුන් දෙපලේම අයිතිය තියෙන්නේ, භාරකාරත්වය තියෙන්නේ ඔවුනොවුන්ගේ දෙමාපියන්ටයි. ඒ කියන්නේ විවාහයක් වෙනතාක්ම ඔවුනොවුන් අනුන්ට අයිති දේවල් විදියටයි සැලකෙන්නේ. එහෙම ඉන්නා ගැහැණු ළමයෙක් හෝ වේවා, පිරිමි ළමයෙක් හෝ වේවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සිද්ධ වෙන එකතුවීම් වලින් සිද්ධ වෙන්නේ පවක් මිසක් හොඳක් නම් නෙවෙයි. කුමරි කුමර බඹසර හැසිරෙනවා කියලා දෙයක් තියෙන්නේ අන්න ඒ නිසයි. බුදු දහමට අනුව නම් විවාහ දිවියේදී අන්‍ය ස්ත්‍රී පුරුශයන් සමග අනියම් සබඳතා පැවැත්වීම වරදක් වෙනවා වගේම දෙයකුයි කුමරි කුමර බඹසර බිඳිනවා කියලා කියන්නෙත්.

ජංජාල චාමර said...

ස්වයං පාලනයක් නැතිකම...අන්න ඒකයි ප්‍රශ්නේ!!

දුකා said...

මල්ලී

විවාහ ජීවිතයක සාර්ථක්ත්වයට ලිංගික බැඳීම හරිම වටින දෙයක්.

කුමරි කුමර බඹසර කියලා හනමිටි ඔලුවේ තියාගෙන ඉන්නවටා වඩා විවාහ වෙන්න කලින් දෙදෙනෙක් ලිංගිකව ගැලපෙනවද කියන එක උත්සාහ කරලා බලන එකේ වැරැද්දක් මේ 21 වෙනි සියවසේ ජීවත් වෙන මට නම් පෙන්නේ නෑ.

ඒක බලන්න ඉන්ටර් කෝස් කරන්නම ඕන නෑ.
ඔයාගේ වයස කීයද මළේ

චතුර.... said...

තමන් තමන්ට අවංක නම් තමන්ට කොතනත් හිටිය හැකි..

ඔය දේවල් පස්සේ දුවලා ගිහින් අවුල් කරගන්නේ තමන්ගේ ජීවිතේ කියන එක ඔයදේවල් කරන අයට තේරෙන්නේ නැහැ..

Teshan said...

මම මේ කල්පනා කරන්නේ ඇයි මිනිස්සු මේ දුරාචාරී දේවල්ම, ජීවිතේ නාස්ති වෙන දේවල්ම සහ ලිංගිකත්වය සම්බන්ධ දේවල්ම අත් හදා බලන්නේ කියලා. ඔය අත් හදා බැලීම් හොඳ දේකට පාවිච්චි කරා නම් නරකද?

අනිත් දේ තමයි අපි හිතමුකෝ ගැහැණු ළමයෙක් තමන්ගේ පිරිමි ළමයව කවදා හරි බඳින හැඟීමෙන් ඔය දේ සිද්ධ වුනාය කියලා. ඒත් කාටද කියන්න පුළුවන් ඒ ප්‍රේම සම්බන්ධය විවාහෙට කලින් බිඳ වැටේවිද කියලා. එතකොට මොන ආකාරයක හරි ලිංගික සම්බන්ධතාවක් පවත්වලා තියෙන කොට ගැහැණු ළමයෙක්ට ඒ මානසික තත්ත්වයෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වේවි කියලා හිතුවද? මේ දේ පිරිමි ළමයෙකුට නම් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද ගෙවල් වලින් පිරිමි ළමයින්ගේ නම්බුව ආරක්ශා කරන්නේ නැහැනේ. ගැහැණු ළමයින්ටත් පිරිමි අඟ පසඟම තිබුණා නම් ඉතින් ඕකේ බය වෙන්න දෙයක් නෑ. එතකොට රැකෙන්න නම්බුවකුත් නෑ නේ. අනික මේ දේවල් 21 වෙනි සියවසේ වුනත් නැතත් කවදටත් වලංගු දේවල්. හිත පාලනය කර ගන්න පුළුවන් කෙනයි නියම ජයග්‍රාහියා වෙන්නේ.

දුකා said...

අවිවාදයෙන්ම හිත පාලනය කර ගන්න ඕන මල්ලී.

තව දෙයක් මම දැකලා අත්විඳලා තියෙනවා.

ආදරයේ සුන්දරත්වය, සුන්දර ආදරයේ ඵලයක් ලෙසට හානිදායක නොවන ලිංගික ඇසුර මිතුරු ඇසුරේදී සතුටක් ලබන්න සීමාවක් ඇතුව අඩියක් ගහන එක වගේ දේවල් විඳින්න නම් සුන්දර හදවතක් තියෙන්න ඕන.

ඒ දේවල් තමන්ට නොලබෙනවා නම් ලබා ගන්න කෙනෙක් දිහා වෛරයෙන් ක්‍රෝධයෙන් නොබලන්න සුන්දර හදවතක් තියෙන්න ඕන

යෞවන වයසේ තරුණ වයසේ ස්වභාවධර්මයේ නීතියට අනුව උරුම වන දේවල් ගැන මහා සුචරිතවාදියෝ වගේ සුදුම සුදු පොරවල් වගේ කෑ ගහන මිනිස්සු එක්කෝ ඒ වැරදි අම්බානකට පිසිකලි කරන උන්.

එහෙමත් නැත්නම් උඩින් සිල් රෙදි පොරෝ ගෙන හිත ඇතුලෙන් ඔක්කෝම වල්කම් බේබදු කම් කරන උන් . .එහෙමත් නැත්නම් මානසික රෝගීන් . .

හෙ හෙ හේ . .

ඔයා කල්පනා කරලා බලන්න ඔයා ඉන්න කොයි පිලේද කියලා මලේ . .

මේ දේවල් කිව්වේ තරහට එහෙම නොවේ ඕන්.

ඔයා දාගෙන ඉන්න සුචරිත කන්නාඩිය ගලවලා නිරුවත් ඇස් දෙකෙන් අනෙක් අයගේ සතුට දකලා සතුටු වෙන්න පුලුවන් ජාතියේ හිතක් ඇති කෙනෙක් වෙන්න උත්සාහ කරන්න කියන පනිවිඩේ දෙන්නයි . .
.

ඔයා තව ටිකක් ලොකු වුනාම තේරෙයි ඇත්ත නැත්ත . .. හොඳ නරක . .

ඕන් මම ගියා .

බායි

Teshan said...

ඇත්තටම එහෙම කරන අය ගැන මගේ වෛරයක් නෑ. තරහවකුත් නෑ. ඇත්තම කියනවා නම් දුකයි. එක අතකින් කෙනෙක්ගේ නම්බුව කෙලෙසෙනවා. එහෙමත් නැතිනම් කෙනෙක්ගේ ආසාවන් හමුවේ තවත් කෙනෙක් රැවටෙනවා. මේවා මෙහෙම දකින්නේ සුචරිත කණ්නාඩියක් දමාගෙන ඉන්න නිසා කියලා හිතන්න එපා. කෙනෙක්ගේ සතුටට ඊර්ෂ්‍යා කරනවා නෙවෙයි. මොකද මම ඊර්ෂ්‍යාව පුරුදු කරපු කෙනෙක් නෙවෙයි. මට නොලැබෙන දෙයකට වග කියන්න ඕනේ මම මිසක වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අනුන්ට තියෙන මට නැටි සතුටක් නිසා මම වෙන කෙනෙක්ට වෛර කරන්නෙවත්, ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ, ඒ වැඩක් නැති නිසා. ඒත් මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්තේ මෙහෙම දේවල් ගැන හැමෝටම මතක් කරලා දෙන්නයි. ඒ වගේම මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දැකලා නැති අයට ටිකක් ඒ ගැනත් පෙන්නලා දෙන්නයි. ඇත්තෙන්ම කීවොත් මම ආස්‍රය කරන සහරු ඉන්නවා මේ වගේ දේවල් අහලවත් නැති. ඒ මොකද තමන් වටේ ඉන්න සුචරිතවත් යාළු මිත්‍රාදීන්ගෙන් විතරක් ඒ අය ලෝකය දකින නිසා. මම හිතන්නේ අයියා විවාහකයි. ඒ නිසා දැන් මේ කියපු ගොඩක් දේවල් ජීවිතයේ අත්විඳලා ඇති. සමහර විට තවමත් අත්විඳිනවා වෙන්නත් පුළුවන්. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. කොහොම නමුත් මම සිල් රෙද්දක් පොරවන් කුපාඩෛකම් ඔක්කොම කර කර වැදි බණ කියන්න හැදුවා නෙවෙයි. ඇත්තෙන්ම මම එහෙම කරන්නෙත් නෑ. මම මේ දේවල් ගැන සාකච්ඡාවට ගෙනාවේ මගේ සීමාවේ ඉඳලා. මම නොකරන දෙයක් ගැන, අනුන් කරන, ඒ වැරදිය කියලා මම හිතන දෙයක් ගැන අනිත් අයගේ අදහස් මොන වගේද කියලායි මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ සතුටු වෙන්න ලබන්න, කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අතරට මේ ලිපියේ තියෙන දේවලුත් අඩංගුයි. ඒත් එයින් පරිබාහිරව සතුටක් ලබන්න පුළුවන් ක්‍රම විධි බොහෝමයකුත් තියෙනවා. ඒ ගැනත් මතක් කරගන්න ඕනේ. ලිංගික තෘප්තිය, අඩියක් ගහලා ලබන තෘප්තිය විතරමද සැබෑ තෘප්තිය කියන ප්‍රශ්ණාර්ථය මම ඉතුරු කරන්න කැමතියි. කරන කෙනා විතරයි ඒකේ හැබෑ රසය දන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම කරන අය මේ ලිපිය හෙළා දකින්නත් පුළුවන්. කරන අයට මම බනින්නෙත් නෑ. නොකරන අයට කරන්න කියන්නෙත් නෑ. හැමෝටම බුද්ධියක් උපතින් ලැබිලා තියෙන්නේ මිනිසුන් හැටියට හිතලා මතලා වැඩ කරන්නයි. ඒ නිසා වින්දනය පස්සේ නොයන පිරිසක් ඇති වුනොත් මේ සමාජෙට ලොකු සම්පතක්, සැපතක් වේවි.

රංග - මගේ ලෝකය said...

ඇත්තටම ප්‍රස්නය තියෙන්නෙ එක එක්කෙනා ප්‍රස්නෙ දිහා බලන්නෙ එක එක කන්නාඩි දාගෙන වීම. ඒක සදාචාරය, සංස්කෘතිය, සභ්යත්වය ඔය වගේ ඒව. වෙන්න ඕනෙ ඒක නෙමෙයි. ඔය කන්නඩි ගලවලා ප්‍රස්නෙ දිහා බලන එකයි. දුකා සහ විත්ති සමහ මම සම්පූර්නයෙන් එකඟයි. මේක දැකල මම ලියන්න හිතපු හැම දෙයක්ම උඹල දෙන්න ලියල තිබුන.

රංග - මගේ ලෝකය said...

ඇත්තටම ප්‍රස්නය තියෙන්නෙ එක එක්කෙනා ප්‍රස්නෙ දිහා බලන්නෙ එක එක කන්නාඩි දාගෙන වීම. ඒක සදාචාරය, සංස්කෘතිය, සභ්යත්වය ඔය වගේ ඒව. වෙන්න ඕනෙ ඒක නෙමෙයි. ඔය කන්නඩි ගලවලා ප්‍රස්නෙ දිහා බලන එකයි. දුකා සහ විත්ති සමහ මම සම්පූර්නයෙන් එකඟයි. මේක දැකල මම ලියන්න හිතපු හැම දෙයක්ම උඹල දෙන්න ලියල තිබුන.

රංග - මගේ ලෝකය said...

ලිංගික තෘප්තිය වැඩක් නෑ කියල කෑ ගහන අයගෙන් මම අහන්නෙ එක ප්‍රස්නයයි "උඹල ජීවිතේට masturbation කරල නැද්ද? එහෙම කරල නැති එකක් ඉන්නව නම් කතා කරපන්. අනිත් උන් ආයෙ තමන් කියන දේ ගැන දෙසැරයක් හිතපන්.

Teshan said...

@රංග
ඉතින් ඔය දේ කරගෙන විතරක් ඉන්න බැරිද විවාහෙ වෙනකන්? ඔය දේ කරගන්න වාරු නැතුවා නෙවෙයි වෙන්නැති එහෙනම් විවාහයකට කලින් ගැහැණු ළමයින් එක්ක එකතු වෙන්නේ. අර කියමනකුත් තියෙන්නේ විවාහ වුනු කොල්ලන්ට විහිළුවට කියන "අද ඉඳන් අතට නිවාඩු" කියලා.

අනිත් දේ තමයි සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් අතෑරියොත් ඒ දේවල් නැත්තේ තිරිසනුන්ට විතරයි. තිරිසන්නු වගේ ජීවත් වෙන්නද මිනිසත් බවක් ලබලා ඉපදුනේ? සතුට නිසා ඕවා කරලා අන්තිමට පරලොව ගිහින් තිරිසනුන්ම වෙන්නද කල්පනාව?

රංග - මගේ ලෝකය said...

මච්ං උඹට දිග උත්තරයක් ලියන්න තරම් අද මට වෙලාවක් නැති කමට මම හෙට ඒක ලියන්නම්. ඒත් එක ප්‍රශ්නයක් අහන්නම්. "ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක් ලබන විදියෙ පවක්ද?". මම මේ කතා කරන්නෙ අනුන්ගෙ ගෑනු මිනිස්සු එක්ක ලිංගික ඇසුරක් පවත්වන එක නෙමේ. තනිකඩ කොල්ලො කෙල්ලො දෙන්නෙක් ඒ දේ කරොත් ඒක පවක්ද? කවුද එහෙම කියල තියෙන්නෙ?

මචං ඕව ඉස්සර අපේ සමාජෙ සාමාන්ය දේවල්. ඕව වැඩ වසම් ක්‍රමය තුල අපේ මිනිස්සුන්ගෙ ඔලුවට බලෙන් දමපු ආකල්ප.

Teshan said...

ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක් ලබන විදියෙ පවක් කියල නම් මම කිසි තැනක කියලා නෑ. කියන්නෙත් නෑ. ඒත් මගේ ප්‍රතිචාරය හරියට කියවලා බැලුව නම් මම අදහස් කරලා තියෙන්නෙ ඔය කිව්වා වගේ දෙයක් නෙවෙයි කියලාත් පැහැදිලි වේවි. අනිත් දේ තමයි ශරීරයේ තියෙන ප්‍රධානතම ලිංගික අවයවය මොළය කියන එක. ඒක මම නෙවෙයි වෛද්‍යවරුයි කියන්නෙ. එහෙම කිව්වම මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරු ලැබේවි.

කාටහරි කියන්න පුළුවන්ද මෙ 21 වෙනි සියවස වෙලත්, ඇයි අපි වෙසක් එකට තාම කූඩු, තොරන්, සැරසිලි හදන්නෙ කරන්නෙ කියලා? ඒ වගේම සිංහල අලුත් අවුරුද්දට නැකැත් වලට අනුව වැඩ කරන්නේ කියලා? විවාහ වෙද්දි ස්තෝත්‍ර කියන්නෙ කියලා. ඔය පැහැදිලි කිරීමට අනුව නම් ඕවත් මහ හණමිටි අදහස්. ඕවත් ඉස්සර තිබුනේ නෑ. ඒත් තාමත් කරනවා.

රංග - මගේ ලෝකය said...

මල්ලි උඹ තාම මේව තෙරුම් ගන්න පොඩි වැඩියි. දැන් අවුරුද්දට රබන් ගහන්නෙ ටීවී එකේ විතරයි. අපි පොඩි කාලෙ නම් ගමේ හැම ගෙදරම රබන් ගහනව. බුදු හාමුදුරුවො කිවුව වගෙ "සියලුමදේ අනිත්යයි". ඒක හිරිත් විරිත්, මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලටත් අදාලයි.

Teshan said...

මම මේවා තේරුම් ගන්න පොඩි වැඩි නම් නෑ. එහෙනම් මේ තරම් දේවල් කියන්නෙත් නෑ නොවැ. ප්‍රශ්නේ තියෙන්නේ කාටවත් තමන්ව පාලනය කර ගන්න බැරි කම සාධාරණීකරණය කරන එකයි. ඒ නිසා නේ මේ තරම් මේ දේ වෙනුවෙන් කැක්කුමකින් කතා කරන්නේ. :) ස්වයං පාලනය නැති නිසා තමයි මේ ලිපියේ තියෙන දේවල් වහ කදුරු වගේ කාටත් පේනවා ඇත්තේ.

Anonymous said...

malli-machan please get laid.

Ranga is 100% right on this matter but no point in talking to some unfortunate virgins right?

ever since that Vedda found the fermented drink and ever since man found out how to enjoy sex, these things were there. like it or not, these things too are components of human civilization.

but in Sri Lanka, oh no man, no sex, no joy, don't do anything to enjoy life. just lie back and be jealous of the ones who do.

රවා said...

සමහර පොරවල් ඉන්නවා ස්වයං පාලනය ගැන පොර ටොක්ස් දාන. රජයෙ,පුද්ගලික සමහර තැන් වල සංස්කෘතිය, සදාචාරය ගැන පොර ටොක්ස් දෙන අයව දැකලා තියනවා.

දවසක ගණිකාවක් මෙ බ්ලොග් ලියන්න ආවොත් එ ගැහැනු කෙනා ලියයි නියමෙට ලොකෙට පෙන්න ස්වංපාලනය තියන් ඉන්න මිනිස්සු කොහොමද ඇයව ඇඳෙ පලනය කරෙ කියාලා.

දැන් බලන්න ඔය ස්වයං පාලනයෙන් , සංස්කෘතියෙන් ඉන්න ලොකු ලොකු මිනිස්සු දිහැ. කවුරු හරි කෙනෙක් දවසක හිත් කියවන මැශින් එක් හැදුවොත් අපිට බලාගත්ත හැකි ස්වං පාලනා ගැන.

බුදුහාමුදුරුවො ස්වයං පාලනය කිව්වෙ මෙ දැන් සිංහල මිනිස්සු දාගෙන ඉන්න පාලනයට නෙමෙ.

මෙකයි ඇත්තටම වුනෙ මල්ලි.. සුද්දන්ට අල්ලපු බහුභුතයො ටික ඉන්නෙ. අන්න උන් සුද්දො වගෙ බොරුවට රගපාන්න ගත්ත. සුද්දො උන්ට උන්ගෙ රටෙදි නොතිබුන සංස්කෘතිය, සදාචාරය මෙතන මවලා පෙන්නුවා. අපෙ අල්ලන සෙට් එකෙ උන් ටික තමයි බොරුවට උන් වැදගත් කියලා මානයක් මවගෙන මෙතන බහුබුත කරෙ. බුදුහාමුදුරුවො දෙශනා කරපු ස්වයංපාලනය අයින් කරලා, සුද්දන්ගෙ ස්වයං පාලනය ඔලුව උඩ තියාගත්ත උන්ගෙ අතෙ තමයි අද රට දුවන්නෙ. එදා මැරුනු විරයින්ගෙ දරුවො තාමත් එ ගම් වලට වෙලා කුඹුරක් හෙනක් කොටාගෙන ඉදලා ප්‍රභාකරන්ව මරන්න යුද්දෙට යද්දි සුද්දන්ගෙ ස්වයංපාලනය ඇතුව හිටපු අය කරෙ මෙහෙ ඉදන් කුට්ටි ගණන් කරපු එක නෙද.

තරුණයො, තරුනියො නොමඟ යන්නෙ සමාජයෙ ඉන්න කපටි මිනිස්සුන්ගෙන්, දුෂිත මිනිස්සුන්ගෙන් නෙමෙ, සුද්දගෙ ස්වයං පාලනය දාගෙන ඉන්න මැතිතුමාලා සහා සංස්කෘතික ආචාරියලා මහාචාරියලා හින්දා.

අනුරාධ said...

තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි මේ ලොකය බණ වලින් හදන්න බෑ කියලා. මේ සමාජය පිලියෙල වෙලා තියෙන්නෙ පිලියෙල විය යුතු අකාරයට. ලෝකය දැහැමි සදාචාරවත් මිනිසුන්ගෙන් පමනක් පිරි තැනක් විය යුතුව තිබුනානම් මිනිස් සිත් තුල විවිධ අඳුරු පැති නිර්මාණය නොවී තිබෙන්නට තිබුනා. නමුත් එය එසේ නොවුනෙ ලෝකය පැවතිය යුතු නියම ආකාරය එය නොවන නිසයි. අඩුම තරමේ බුදු හාමුදුරුවන්ට තිබුනා එතුමාගේ බලයෙන් වසර කල්පයක් යන තුරුම ලෝකය ඔය කියන විදියේ තැනක් කරන්න. නමුත් එය එසේ නොවුනේ විය යුතු ආකාරය එය නොවන නිසයි. දෙවෙනි ලෝක යුද්ධයට අපි ආස නෑ තමයි. ඒක ඇති නොවුනනම් හොඳයි කියලා අපිට හිතෙනවා. නමුත් අපි අද භාවිතා කරන බොහෝ තාක්ෂනික උපකරණ දෙවෙනි ලෝක යුද්ධයේ ප්‍රතිඵල විදියට බිහි උන ඒවා. දෙවෙනි ලෝක යුද්ධය තිබුනේ නැත්නම් ලෝකය මීට වඩා නොදියුණු වෙන්නත් ඉඩ තිබ්බා. ඒ කියන්නේ සෑම කියාවක්ම සිද්ද වෙන්නෙ ඒ සිද්ද විය යුති පිලිවෙලට. සංස්කෘතිය ඔලුවේ පුරවගෙන සම්මමතය ගැන පමණක් මහා ඉහලින් සිතන සිත් වලට තමා මේ දේවල් ගැටලුවක් වෙන්නේ. හැමෝටම අමතක කාරනය තමයි අද සම්මතය වෙලා තියෙන්නෙ ඊයේ අසම්මතය කියලා. හෙට සම්මතය වෙන්නෙ අද අසම්මතය කියලා.ඔය හැම දේකටම විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙනවා. වෙලා තියෙන්නෙ අපි හැමවෙලේම සංස්කෘතිමය පැහැදිලි කිරීම් වලට විතරක් යන එකයි. නෑ... බැලුවම ඔයාගෙ වරදකුත් නෑ.. මගේ වරදකුත් නෑ.... මේ කමෙන්ට් කරපු කාගෙවත් වරදකුත් නෑ. මේ හැම විදියකටම හිතන මිනිස්සු ඉන්න ඕන. එතකොටයි ලොකේ විවිධත්වයක් ඇති වෙන්නෙ. මන් මේ හැම වෙලේම කියන 'වෙන්න ඕන පිලිවෙල'ත් ඒකයි.

Anonymous said...

අසම්මත ආකාරයෙන් ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක උපදින්න තරම් පවක්.. ඒක උනත් හරියට නියම තේරුම දැනගෙන කරනව නම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතින් ඒක ප්‍රායෝගිකද කියන එක ප්‍රශ්නයක්.

නිශ් said...

අපෝ මල්ලි බොරු සදාචාරය අතඇරලා ඔවා දිහා බලන්න . කවුරු හරි කාටවත් කරදරයක් නැතිව ඔය දේවල් කරනව නම් මොකක්ද ඒකෙ තියෙන වරද. මම දුකා විත්ති රංග එක්ක සම්පූර්නයෙන්ම එකඟයි.

ඔය බොරු තහංචි දැම්මා කියලා ඇති පලෙ මොකක්ද?

Anonymous said...

සහෝදර ටී
මම ඔයාට පොඩි කතාවක් කියන්නම්

ඔයාට මතක ඇති බුදුරජානන්වහන්සේ කිසා ගෝතමි , පටාචාර වගේ ගැහැණුන්ට බණ දේශණා කලා , මේ ගොල්ලෝ බුදු හාමුදුරුවෝ ඉදිරියට ආවේ පිස්සු වැටිලා කියනවානේ , එතකොට සමහරවිට ඒ ගොල්ලෝ එන්න ඇත්තේ ඇදුම් ඉරිලා එහෙම නැත්නම් නිරුවතින් එතකොට බුදුරජානන් වහන්සේ ධර්මය දේශණා කිරිම ප්‍රතික්ෂේප කලාද එහෙම නැත්නම් මේ ගොල්ලන්ව ගහලා එලෙව්වාද ? සමහරවිට බුදුහාමුදුරුවොම මේ ගොල්ලන්ට හොද ඇදුම් අන්දවලා කුස පුරවන්න ඇති.බුදු හාමුදුරුවන්ගේ ඒ පිවිතුරු ධර්මයේ උරුමක්කාරයෝ කියන අවුරුදු දෙදහසක් තිස්සේ අදහනවා කියන මේ රටේ අද ජීවමාන බුදුන් ලෙස සලකන දළදා වහන්සේ එහෙම නැත්නම් ජය ශ්‍රී මහා හමුදුරුවෝ ගාවට තබා බුද්ධ පුත්‍රයෝ කියලා ලේබල් අලවගත්ත එක්කෙනෙක් ගාවට අද ගැහැණියකට තමා කැමති දෙයක් ඇදගෙන යන්න පුලුවන්ද ?

සංස්කෘතිය සදාචාරය කියලා මහලොකුවට බෙර ගහන අපේ අයට මනුෂත්වය අමතක වෙලා ,කොටින්නම මනුෂයා කියන එකා සත්වයෙක් කියන එක අමතක වෙලා.
යම් කිසි දේයක් දෙස අපි බලද්දි බලන්න ඔනේ ජාති ආගම් ආදී භේද වලින් තොර වෙලා නේද ? ඒක නේද ආගම් වල කියන්නේ අඩු තරමේ බුදුන් දේශණා කරපු බුද්ධ ධර්මයේදිවත්

මම හිතන්නේ මේ මම කියපු එක හුගක් දේවලට පිලිතුරක් වේවි.

දුකා , රාව සමග මමත් එකගයි

Teshan said...

මම හිතන්නෙ නෑ පන්සල් එන හැමෝම පටාචාරල, කිසාගෝතමීල වගේ ජීවිතේදි තනි වෙලා, අසරණ වෙලා, පිස්සු වැටිලා ඇඳිවතවත් නැතිව පිස්සු විකාරයෙන් දුවන් එන කාන්තාවො කියලා. අනික පටාචාරල, කිසාගෝතමීල බුදු හාමුදුරුවො ගාවට ආවේ බුදු හාමුදුරුවන් සමග රමණයේ යෙදෙන්න හිතාගෙන නෙවෙයි. ඒත් අද කාලෙ ගැහැණු අය ගැන නම් විශ්වාසයක් නෑ. කොහොමත් එහෙම එන කෙනෙක්ව දූෂණය කරනවා වෙනුවට රෙදිකඩකින් හරි පොරවලා කන්න බොන්න දීලා සලකන්න මිනිහෙක් වුනාම පුළුවන් කමක් තියෙන්න ඕනේ. පන්සලකට යා යුතු විදියක් තියෙනවා. වෛවාරණ විච්චූරණ ඇඳුම් ඇඳලා පන්සල් යන සිරිතක් නෑ නෙ. ඔය කියන අය නම් යනවා ඇති.

ඒ වගේමයි හොඳයි කියලා කියන්න පුලුවන් ධර්මධර විනයධර භික්ෂූණ් වහන්සේලා අද හොයන්න නැති තරම්. බුද්ධ පුත්‍රයො කෙසේ වෙතත්, තමන් කැමති දෙයක් ඇඳගෙන පාරෙ යන්න ගැහැණුන්ට අද බැරි වෙලා තියෙන්නෙ පිරිමින්ගේ දූෂමාන වුනු හිත් නිසා කියලයි කියන්න තියෙන්නේ. කවද හරි අංගුලිමාල කෙනෙක් වුනොත් තමන්ගේ අම්මගේ ඇඟිලි කපා ගැනීම කෙසේ වෙතත් අද කාලෙ නම් දූෂණය කරලවත් තමයි නවතින්නෙ. කොහොම නමුත් මගේ මේ ලිපියෙන් ගොඩක් දෙනාගෙ හිත රිදිල තියෙන බව නම් සැක නැති කාරනයක්. ඒ හැමෝම ඔය කියන දේ සාධාරණීකරනය කරන්නේ තමනුත් එහෙම වින්දනය ලබන නිසා. ජීවත් වෙලා ඉන්න කාලේ හිතේ තද කරන් දුක් විඳින්නේ නැතිව ඒවා ඇති පමණට සපුර ගන්න උත්සාහ කරන උදවියට තමයි ගොඩක්ම මේ ලිපියෙන් රිදිලා තියෙන්නේ. අර මගේ කලින් ලිපියකත් මම කියල තිබුනා බොන්න එපා කිව්වම පන්සිල් පදයකුත් වෙනස් කරපු යාළුවෙක් ගැන. ඒ "සුරාමේරය මජ්ජ පමා දට්ඨානා.." සිල් පදයේ තේරුම මද පමණින් ගත්තාට වරදක් නැහැ කියන විදියටයි. ඒ නිසා වින්දනය හොයාගෙන යන ගමනක නෙවෙයි අපි ඉන්නෙ.

එදා බුදු හාමුදුරුවෝ හිටියට අද අඩුම තරමින් රහතන් වහන්සේ නමක්වත්, මාර්ග පලයක් ලබපු කෙනෙක්වත් නෑ. ඒක නිසා බුදු හාමුදුරුවන්ගෙ මතක සිහිවටන රැක ගන්න ඔය වගේ සංවරව යන්න, සංවරව අඳින්න කියල නීති දාන්න වෙලා තියෙනවා. මොකද ඔය ස්ථාන වල ඉන්නෙත් පෘතග්ජන හාමුදුරුවරු. ඒ අය බුදුහාමුදුරුවෝ විතර කෙලෙස් ප්‍රහීන කරල නෑ.

අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කිසාගෝතමී, පටචාරාවනුයි අද කාලේ නාභිය, රහස් ස්ථාන පෙන්නන, කලවා පෙන්නන්න දගලන ගෑනුන්ට සමාන කරන්න එපා... කොටින්ම අපි නමටවත් සංස්කෘතියක් කියල දෙයක් විශ්වාස කරලා ඒ දේවල් වලට පදනම් වෙලා කටයුතු කලේ නැත්නම් අපි සහ තිරිසනුන් අතර වෙනසක් නෑ. අනිත් එක තමයි, සංස්කෘතිය කියන්නේ නීතියක් නෙවෙයි; ඒක ඕනෙ කෙනෙක්ට කැමැත්තෙන් පිලිපදින්න පුලුවන් ආචාරධර්ම පද්ධතියක්. ඒක නිසා මේ දේ 100% ක් මේ විදියට වෙන්න ඕනෙම කියලා කියන්න බෑ. නමුත් ඒක පිලිපදින කොට අපි දැන ගන්න ඕනෙ ඒක හරි විදියට කරන්න..

උදහරණයක් විදියට මේ දේ කියන්න. සමහරු හිතන් ඉන්නවා සිංහල සංස්කෘතිය කියන්නේ ගෑනුන්ට කලිසම් අඳින්න දෙන්නෙ නැති, ගෑනුන්ට ඕනෙ කරන පහසු ඇඳුමක් අඳින්න දෙන්නෙ නැති දෙයක් කියලා. නමුත් සිංහල සංස්කෘතිය කියන්නේ ගැනුන්ට ඇඟ වැහෙන්න, වසා ගන්න ඕන තැන් වසාගෙන යන්න කියලා මිසක් කැමති ඇඳුමක් අඳින්න එපා කියලා නෙවෙයි. කලිසමක් උනත් ඔනෑවට වඩා හිරට නැතුව ඇඟ බෙරෙන්නෙ නැතුව අඳිනවා නම් ඒකෙ ප්‍රශ්ණයක් නෑ. ගෑනු කලිසම් ඇන්දට ප්‍රශ්ණයක් නෑ. අනික කලිසම් අඳින ගෑනු දැන ගන්න ඕනේ දිගට බ්ලව්ස් එකක් අඳින්න. මොකද දිගට ඇන්දෙ නැත්නම් ඉදගත්තම බ්ලව්ස් එක ඉස්සිල පශ්චාත් භාගයයි, ඉනයි, නාභියයි ඔක්කොම පේනවා. ඒක නිසා සංස්කෘතිය කියන්නේ ගොන් හණමිටි නීති ගොඩක් නෙවෙයි; අපි හිතල බලල තැනට සුදුසු විදියට පිලිපදින්න ඕනෙ දේවල්.

අනික අභ්‍යන්තරිකව හරි බාහිරින් හරි ලිංගිකව එකතු වුනත් ලැබෙන්නෙ වින්දනයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ ආශාවන් වැඩි කිරීමක් නේද? ඕක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් තියෙනවද කියලත් අහන්න කැමතියි.

අපි ජීවත් වෙනවා නෙවෙයි මරණයට ලං වෙනවා කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන් කරන කියන දේ තමන්ගෙ පසුපසින් එන හැටි ගැන අමුතුවෙන් කිව යුතු නෑ. බුදුන්ගේ ධර්මය වෙනස් කරන්නත් ඕනෙම කෙනෙක්ට පුළුවන්, තමන්ගේ සතුට වෙනුවෙන් බුද්ධ චරිතයේ එන එක එක සිද්ධීන් මතු කරලා. බුදු රජාණන් වහන්සේ සතුට ලැබිය යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒවායෙන් ලැබෙන ආදීනව වගේම විපාකත් පෙන්නලා දීලා තියෙනවා. වාද විවාද කරනවාට වඩා වින්දනයට ඉඩ දීල ජීවිතේ තාවකාලික සතුටක් ලබල ඉතිරිය නාස්ති කර ගන්නවාද කියලා හිතන්න ඔය හැමෝටම බාරයි.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.