Monday, December 20, 2010

මේ ලිපිය සම්බන්ධ වෙන්නේ මගේ රැකියා ස්ථානයත් එක්කයි. මෑතකදී රැකියා ස්ථානයේදී ලබපු අත්දැකීමකුයි මම මේ ලිපිය හරහා ඔයාලට කියන්නට හදන්නේ. මම සේවය කරන්නේ පෞද්ගලික ආයතනයක අන්තර්ජාල වෙබ් යෙදවුම් සංවර්ධක කෙනෙක් හැටියට නේ. කට්ටියට එහෙම කිව්වාම තේරුනේ නැතිනම් සිංහලෙන් කියනවා නම්, Internet Web Application Developer කෙනෙක් කිව්වාම දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් වැඩ කරන්නට තියෙන පරිඝණක භාශාව තමයි PHP කියන්නේ. ඒක පරිඝණක භාශාවක් කියනවාට වඩා වෙබ් අඩවි සංවර්ධනය කළ හැකි භාශාවක් කීවොත් වඩාත් නිවැරදියි.

මේ සිද්ධිය වුනේ මීට සතියකට හෝ දෙකකට උඩදී. අපේ ආයතනයට මේ දවස් වල අළුතින් පිරිස් බඳවා ගැනෙනවා. ඒකට ඉතින් එන හැමෝටම සම්මුඛ පරීක්ෂණයකුත් පවත්වලා විතරක් බඳවා ගන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණයට අමතරව පොඩි ක්‍රියාකාරකමකුත් කරන්න දෙනවා. අයදුම් කරලා තියෙන රැකියා අවස්ථාවට අදාළවයි ඒ ක්‍රියාකාරකම ලැබෙන්නේ. මේ අත්දැකීමට මමත් මුහුණ දුන්නා. ඒ නිසාවෙනුයි අද මම එම ආයතනයේ සේවකයෙක් වෙලා තියෙන්නේ.

මෙන්න මේ වගේ සම්මුඛ පරීක්ෂණයකට ආව කෙනෙක් ගැනයි මේ කතාව ලියන්නේ. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් පරිඝණක ක්‍රමලේඛ භාශාවක් ඉගෙන ගන්න ඕනෙම කෙනෙක් දන්නවා ඒකේ මුලින්ම කේතනය කරන කොට පටන් ගන්නේ මොන විදියෙන්ද කියලා. අපි උදාහරනෙකට කියමුකෝ ජාවා (Java) කියන ක්‍රමලේඛ භාශාව. මම මේක තෝරා ගන්නට හේතුව වෙන්නේ විෂුවල් බේසික් (Visual Basic) වගේ භාශාවකට මේක අදාල කර ගන්න බැරි නිසා. ඉතින් ජාවා වගේ එකක මුලින්ම අපි කේත ලියන්න හුරු පුරුදු වෙන්නේ එක්කෝ නෝට්පෑඩ් හරි නැත්නම් ඒ වගේ මෘදුකාංගයක පිහිටෙන් නේ? ඉතින් PHP කියන ක්‍රමලේඛ භාශාවටත් ඔය ටික බලපානවා. මුලින්ම අපි අතින් කේත කරනවා නෝට්පෑඩ් වල. නැත්නම් කවදාවත්ම ඉගෙන ගන්න බැහැනේ නියම අර්ථය.

ඉතින් මේ වගේ ක්‍රමලේඛ භාශාවක් ඉගෙන ගනිත්දී අනිවාර්යෙන්ම ඉගෙන ගන්න පියවරක් තමයි දත්ත ගබඩාවකට එහෙමත් නැත්නම් ඩේටාබේස් (Database) එකක් සම්බන්ධ කරගෙන මෘදුකාංග කේතනය කිරීම. මේ දේත් අපි මුලින්ම අතින්ම කේත ලියලා කරන්නයි ඉගෙන ගන්නේ. පස්සේ තමයි අපි වෙනත් මෘදුකාංග හරහා මේ කේත ඉබේ ලියවෙන්නට තාක්ෂණය උපයෝගී කරගෙන වැඩ ඉක්මන් වගේම පහසු කර ගන්නේ.

අපේ ආයතනයට පැමිණි එක අපේක්ෂකයෙකුටත් තමන්ගේ සම්මුඛ පරීක්ෂනයෙන් පස්සේ පොඩි ක්‍රියාකාරකමක් කරන්නට අවස්ථාව ලැබුණා. ඒ ක්‍රියාකාරකම කරන්නට තියෙන්නේ දත්ත ගබඩාවකට (database) සම්බන්ධ කරලා. බොහෝ විට PHP ක්ෂේත්‍රයේදී අතින් කේත කිරීම තමයි වඩාත් දකින්න ලැබෙන්නේ. ඒ වෙනුවට වෙනත් මෘදුකාංග භාවිතාවෙන් කේත ඉබේ ලියවෙන අවස්ථාවන් දකින්නට ලැබෙන්නේ අඩුවෙන් වෙන්න පුළුවන්. මොකද අවශ්‍ය හැම දේටම අදාල කේත ස්වයංක්‍රීයව ලියවන්න ක්‍රමයක් ඒ හැම මෘදුකාංගයකම අඩංගු වෙන්නේ නැති නිසා. වෙබ් සංවර්ධක කේත කරන්නට හොඳම ගණයේ මෘදුකාංග අතරින් ඩ්‍රීම්වීවර් (Dreamweaver) කියන මෘදුකාංගය විශේෂ තැනක් ගන්නවා. මෙයිනුත් කේත ස්වයංක්‍රීයකරණය කරන්නට පුළුවන් හැකියාව තියෙනවා. කොටින්ම දත්ත ගබඩාවක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කේත අපිට යතුරු පුවරුවට අතවත් නොතියා ගොඩ නගා ගන්නට පුළුවන්.

ඉතින් මේ කියන අපේක්ෂකයාත් දත්ත ගබඩාවට යෙදුම (application) සම්බන්ධ කරන්නට තෝරා ගත්තේ ස්වයංක්‍රීය ක්‍රමයයි. ඒත් එතැනදි පොඩි ප්‍රශ්නයක් මතු වුනා. ඒ තමයි අදාල දත්ත ගබඩාවට පරිගණක මෘදුකාංගයක් හරහා සම්බන්ධ වෙන්නට, ඇති පමණ අනුමැතියක් (permissions and privileges) ඒ දත්ත ගබඩාව අඩංගු පරිඝනකයේ නොතිබීම. ඉතින් මේ කෙනාට ඒ දත්ත ගබඩාවට සම්බන්ධ වෙන්න ක්‍රමයක් තිබුනේම නෑ. පස්සේ අපි ඉල්ලීමක් කරා දත්ත ගබඩාවට සම්බන්ධ වෙන පේළි දෙක තුනක විතර කේතනය අතින් කේතනය කරන්න කියලා. ඒත් ඒ වෙලාවෙදි ඔහු එයට අසමත් වුනා විතරක් නෙවෙයි ස්වයංක්‍රීය ක්‍රමයෙන් සම්බන්ධ නොකලොත් දත්ත හුවමාරු කර ගන්නටත් බැරි බව විස්තරාත්මකව අපට කියා සිටියා. ඒත් ඒ ක්‍රමයෙන් බැහැර වෙලා අතින්ම කේතනය කරන අනිත් හැම දෙනාම දන්න කරුණක් තමයි ඔහු කියූ දෙය සැබෑවක් නොවන බව. ඉතින් අවසානයේදී මේ අපේක්ෂකයාම ඒ සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් වෙලා ගියා.

ඔන්න ඔය දේ නිසා තමයි මේ ලිපියේ මාතෘකාවට එහෙම දැම්මේ. මොකද ඉගෙන ගන්න දෙය සුළු පටු විදියට දකින්න හොඳ නැති නිසා. ඒ වගේම ඉගෙන ගන්න දෙය මුලින්ම ඉගෙන ගත යුත්තේ යාන්ත්‍රිකව නොවෙන බව. හරය නිසි වීදියට ඉගෙන ගත්තොත්, යාන්ත්‍රීකරණයට පිය නගින එක සුදුසු දෙයක් විදියටයි මගේ අදහස. ඒ නිසා ඔයාලා හැමෝටමත් පරිඝණක ආශ්‍රිත ඉගෙනීම් කටුයුතු වලදී හරයන් දැන ගැනීම වඩා ප්‍රයෝජනවත් බවත් මතක් කළ යුතුයි.

3 පාඨක අදහස් | Comments:

Indraj said...

මෘදුකාංග නිර්මාණයේදී කේත කරනය වෙනුවට විවිධ මෙවලම් මගින් කේත ස්වයංක්‍රීයව නිර්මාණය කිරීම ජනප්‍රිය වෙලා තියෙනව. මොකද අඩු කාලයකින් අඩු මිනිස් ශ්‍රමයකින් මෙම IDE භාවිතා කර මෘදුකාංග් නිර්මාණය කළ හැකි නිසා.දැන් තියෙන පරිගණක පන්ති වලත් කරන්නෙ සිසුන්ට ක්‍රමලේඛ උගන්නනව වෙනුවට ඔය IDE එකකට හුරු කිරීම පමණයි. පන්තිය ඉවර වෙනකොට සිසුව මෘදුකාංගයක් තනියෙන් නිර්මාණය කරල ඉවරයි. හැබැයි ඔහු හෝ ඇය දන්නෙ IDE එක ගැන විතරයි ක්‍රමලේඛය ගැන් නෙමේ.

තාක්ශණය දියුණුවත් සමග මිනිසා මොට වෙනව කියන්නෙ ඕකට තමා හරිද.

TeeRox said...

ඇත්ත. අද කාලේ IDE එකක් උගන්නන එක විතරක් කරලා බෑ. IDE එකකින් වැඩ ලේසියෙන් කර ගන්න පුළුවන් බව හැබෑවක් නම් තමයි, ඒත් හැම වෙලාවකදීම යාන්ත්‍රීකරණය වෙන්න ගියොත් IDE එකකින් කර ගන්න බැරි දේවල් කරන්න අපහසු වෙනව. පුළුවන් තරම් මම නම් උත්සාහ ගන්නේ අවශ්‍ය කරන කේතනය කළ දේවල් අන්තර්ජාලයෙන් ලබා ගන්නවාට වඩා අළුතින්ම නිර්මාණය කරන්න. එතකොට ඒ දේවල් තවත් හොඳට පාවිච්චියට ගන්නත් පුළුවන්. තවත් පැහැදිලියි. මම කලින් වැඩ කරපු, ඒ කියන්නේ ඉන්ද්‍රජිත් සහෝදරයා දැන් ඉන්නා ස්ථානයටත් මම ඒ වගේ දේවල් හදලා දීලා තියෙනවා.
ඔය දේ හරියට මෙන්න මේ වගේ. පරිඝණකයෙන් සංගීතය සංයෝජනය කරපු සින්දුවක් සැබෑ ජීවිතයේදී වාදන භාණ්ඩ වාදනය කරලා ඒ කෙනාටම කරන්න බැරුවා වගේ දෙයක්.

ඉන්ද්‍රජිත් සොයුරාට ස්තූතියි මේ පැත්තේ ඇවිදින් ගියාට :)

චම්ලි කරුණාසේකර | Chamli Karunasekara said...

අලුත් අයට දෙයක් ගන්න පුළුවන් හොද ලිපියක්

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.