Sunday, December 5, 2010

මේ ලිපිය කියවන්න ගන්න කොටම භූත කිව්වාම බය වෙන්න දෙයක් නෑ. භූත දමනය කරන්නා කට්ටඩියා නම් මේක ඔවුන්ට පමණක් අදාළ ලිපියක් නෙවෙයි කියලාත් කියන්නට ඕනේ. මේ ලිපියෙන් කියන්නට යන්නේ හොල්මන් අවතාර ගැන නම් නෙවෙයි. භූත කියලා ලිපියේ මාතෘකාවේ සඳහන් වුනාට ඇත්තෙන්ම මේ අපේ පරිසරයත් අපිත් ගැන ලියැවෙන ලිපියක් කීවොත් වඩාත් නිවැරදියි. ඒත් එක්කම අද ලෝකයේ ජනප්‍රියත්වයේ පසුවන්නක් ගැනත් මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා.

මේ දවස් වල ප්‍රකට, ලෝක සිනමා ප්‍රේක්ෂකයන් වෙතට මුදා හැරුණු චිත්‍රපටයක් ගැනයි මේ විස්තරය. 2010 වසරේ ජූලි මාසයේදී නිකුත් වූ මේ චිත්‍රපටයේ අභ්‍යන්තරය ගැන නම් වචන කීපයක නොකීවොත් අඩුපාඩුවක් කියලායි හිතෙන්නේ. ඇත්තෙන්ම මෙය ළමා චිත්‍රපටයක්. නමින් "ද ලාස්ට් එයාබෙන්ඩර්" (The Last Airbender) කියලායි සඳහන් වෙන්නේ. නම නොතේරුනා නම් ඒකේ සිංහල අර්ථය වෙන්නේ අන්තිම වායු දමනකයා යනුයි. එනම්, ලෝකයේ ඉතිරිව ඇති අවසානම වායු හැසිරවිය හැකි අයෙකු වටා ගෙතුනු චිත්‍රපටයක්. දෘශ්‍ය ප්‍රයෝග රාශියක් මේ චිත්‍රපටයේත් දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඉන්දියානුවෙක්ගෙන්. ප්‍රධාන චරිතයන් කීපයකටම අන්තර්ජාතික මට්ටමේ සිටින ඉන්දියානුවන්ගේ දායකත්වය මේ චිත්‍රපටයේදී ලැබී තියෙනවා.

ඇත්තෙන්ම මේ චිත්‍රපටය මීට පළමුව ප්‍රචලිත වුනේ රූපවාහිණී කාටූන් මාලාවක් ලෙසයි. එයද ළමා පරපුර තුල දැඩිව ප්‍රචලිත වූවක් වුනා. එම කාටූන් මාලාවද මූලාශ්‍ර කර ගනු ලැබුවේ ග්‍රන්ථ තුනකුයි. එක් එක් පදාර්ථයන් වශයෙන් පදාර්ථ තුනක් සම්බන්ධවයි මේ පොත් තුනත් රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම කාටූන් මාලාව සහ චිත්‍රපටයත්. මෙහි සැබෑ නම, "ඇවටාර්" (Avatar) එහෙමත් නැත්නම් "අවතාර්" කියන සිංහල තේරුමින් යුත් වචනයත් එක්ක සම්බන්ධිත "ද ලාස්ට් එයාබෙන්ඩර්" යන්නයි.

ඇත්තෙන්ම අවතාර් කෙනෙක් කියන්නේ කවුද? වායු දමනකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? එහෙමත් නැත්නම් පදාර්ථයේ අවස්ථා තුනක් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ ගැටළුත් ඔයාලට ඇති වෙන්න පුළුවන් මේ ගැන අවබෝධයක් නැති නම්.

ඇත්තෙන්ම දමනකයෙක් හැටියට මේහිදී හඳුන්වනු ලැබුවේ පදාර්ථය අවශ්‍ය ආකාරයට හසුරුවිය හැකි අයෙකුටයි. උදාහරණයක් වශයෙන් අපි මැටි භාණ්ඩ තනන්නෙක් ගත්තොත් ඔහු කරන්නේද පොළොවේ ඇති පස්, මැටි වශයෙන් අරගෙන අවශ්‍ය ආකාරයට එහෙ මෙහෙ කර මුට්ටියක්, වළඳක් වැනි මැටි භාණ්ඩයක් නිම කිරීමයි. නමුත් මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ නම් මැටි කරුවෙක් ගැන වත්, යන්ත්‍ර සූත්‍ර ආදියෙන් පදාර්ථයේ වෙනස්කම් කළ හැකි උදවිය ගැන වත් නොවේ. ඒ කියන්නේ මානසික ශක්තියෙන් සහ ආධ්‍යාත්මික ශක්තිය යොදාගෙන අවශ්‍ය ආකාරයට පදාර්ථය හැසිරවිය හැකි මිනිස් කොට්ඨාශ කීපයක් ගැනයි.

මේ චිත්‍රපටයේ සඳහන් වෙන ප්‍රධාන පදාර්ථයේ කොටස් හතරක් තියෙනවා. එනම්, වාතය, ජලය, භූමිය සහ ගින්දර වශයෙන්. අපි කවුරුත් මේ දේ අසා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ සහ වායු කියන නම් වලින්. ඒ වගේම ලෝකයද මේ එක් එක් පදාර්ථය හැසිරවිය හැකි ජන කොටස් අනුව ජනපද වශයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ කියන්නේ වාතය දමනය කළ හැකි පිරිස් ලෝකයේ වෙනම ප්‍රදේශයකත්, ජලය, භූමිය සහ ගින්දර යනාදී ඉතිරි පදාර්ථ හැසිරවිය හැකි, දමනය කළ හැක්කන් වෙන වෙනම ඊට අදාල ප්‍රදේශ වලත් රාජධානීන් ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් මේ කථාවේ එන ප්‍රධානතම චරිතය වෙන අවතාර් නම් පුද්ගලයන් හට මේ පදාර්ථ සතරම පාලනය කළ හැකියාවක් තිබෙනවා. නමුත් මුලින් කී රාජධානීන් වල වැසියන්ගෙන් සමහරුන්ට දමනය කළ හැකි වන්නේ තමන්ගේ ජන කොට්ඨාශයට අදාළ පදාර්ථය පමණයි.

අවතාර්වරුන් බොහෝ දෙනා ලොව පහළ වී ඇති අතර මේ කතාවද ඉන් එක් අයෙකු පිළිබඳවයි. විශේෂත්වය නම්, ඔහු ලොව අවසාන වායු දමනකයා වීමයි. මොවුන්ගේ එකම කාර්යය වන්නේ ලෝකයේ සමබරතාවය රැකගෙන නරක කාලයන්හීදී ලෝකයට සාමය උදා කර දීමයි. ගින්දර හෙවත් අග්නි රාජධාණියේ රජුන් ලොව සම්පූර්ණ අධිපතීත්වය, අනෙක් රාජධාණීන් යටත් කොට ගෙන ලබා ගැනීමට දරණ ප්‍රයත්නයක් මේ කතාවට හේතු වෙන තවත් දෙයක්. ඔවුන් ඒ නිසා අවතාර් වරයකුගේ පහළ වීමට කැමැත්තක් නොදැක්වීමත් එවන් අයෙකු ලොව සිටී නම් ඔවුන් විනාශ කර දැමීමත් යන්න ඔවුනගේ අභිප්‍රාය වී ඇත. මන්දයත් අවතාර් වරුන් කිසිවෙකුටත් හිරිහැරයක් සිදු නොකරන, ලෝකයේ යහපත උදෙසා පහළ වූවන් මෙන්ම අසීමිත පදාර්ථ නම්‍යකරණ හැකියාවක් පැවතීම හේතුවෙන් එය බාධාවක් වන හෙයින්.

කෙසේ නමුදු අවතාර්වරයෙකු පුනරුප්පත්තිය ලබන්නේද අවතාර්වරයෙකු ලෙසින්ම වීමත් විශේෂත්වයක්. ඒ වගේම එවැන්නෙකුට තමන්ගේම පෙර භවයන්ගේ අවතාර්වරුන් සමග අදහස් හුවමාරු කළ හැකි අයෙක්ද වේ. අග්නි රාජධාණීන් වායු දමනකයන් අතරේ මීලඟ අවතාර් වරයා පහළ වන බව දැන වායු දමනකයන් සියල්ලම ලෝකයෙන් තුරන් කළද මේ අවතාර්වරයා වායු දමනකයන්ගේ අවසාන පුරුක ලෙසින් වසර සියයක කාලයක් සැඟවී සිට නැවත මතු වෙනවා. ඔහු සතු එකම ගැටළුව වන්නේ තමා ඉගෙන ඇත්තේ වායු දමනය කිරීමට පමණක් වීමයි. මේ කතා මාලාවේ ඇත්තේ ඔහු ඉතිරි පදාර්ථ තුන ඉගෙන ගන්නා ආකාරය පිළිබඳවයි. පොත් තුනක් ලෙසින්ද මෙය ඇත්තේ පළමු පොත ජලය, දෙවන පොත භූමිය සහ තෙවන පොත ගින්දර යනාදී වශයෙන් ඔහු දමනය කරන්නට ඉගෙන ගැනීමට ගුරුවරුන් සොයා යන වීර වික්‍රමයි. ඉන් පළමු පොත අනුසාරයෙනුයි මෙම වසරේ නිකුත් වූ මෙම චිත්‍රපටයද ගොඩ නැගී තියෙන්නේ.

මනෝරම්‍ය පසුබිම් සංගීතයකින්ද සමන්විත මේ චිත්‍රපටයේ බොහෝ ජවනිකා සඳහා මනා ලෙසින් ගැලපෙන දෘශ්‍ය ප්‍රයෝග සහ සංගීතය යොදා තිබීම මේ චිත්‍රපටය සිත් ඇද තබා ගන්නා තවත් කරුණක් වෙනවා. කෙනෙක්ට මේ චිත්‍රපටය බොරුව පදනම් කර ගත්තක් ලෙස හඳුන්වන්නට පුළුවන් වුවත්, මේ දේ ගැඹුරින් සිතා බැලුවොත් මෙහි අඩංගු වන සංකල්පය බොරුවක් නොවෙන බවත් සිතන්නට පුළුවනි. මන්දයත් ආධ්‍යාත්මීය ශක්තියෙන් මෙවන් දැ කළ හැකි උදවිය ලෝකයේ සිටිය හැකි නිසාවෙන්. අපට පෙනෙන ලෝකය වැලි අහුරක් හා සමාන වූවක් බව බුදු රජාණන් වහන්සේගේ දේශනයේත් අඩංගු වීම තවත් වැදගත් කරුණක් වෙනවා.

පවුලේ සැමට නැරඹිය හැකි හොඳ නිර්මාණයක් ලෙසටයි මම මේ ගැන දකින්නේ. ඒ වගේම ඔයාලටත් මේ ගැන කැමැත්තක් ඇති වෙන්නට ඒ සම්බන්ධ වීඩියෝ පට කීපයක් මේ ලිපියේ අවසානයේ පළ කරන්නටත් සිතුවා. ඒ වගේම කාටූන් මාලාව නරඹා නොමැති අයෙක් වේ නම් ඒවා නරඹන්නට අවස්ථාවක්ද මේ ලිපියෙන්ම ඉඩක් කර ගන්නවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක්


චිත්‍රපටයේ අවතාර්වරයාගේ චරිතය හසුරුවන ළමා නළුවාගේ රූගතකිරීම් අතරතුර සහ පුහුණුවීම් සම්බන්ධ වීඩියෝ පටයක්.


කාටූන් මාලාව ලබා ගැනීමට පහත සබැඳි වලට යා හැක.

කාටූන් මාලා තුනම ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
පළමු කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
දෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.
තෙවැනි කාටූන් මාලාව ලබා ගැනීමට මේ සබැඳියට පිවිසෙන්න.

2 පාඨක අදහස් | Comments:

Anonymous said...

‍චිත්‍රප‍ටයට වඩා Avatar The Last airbender:legend of aang කාටූනය දහස් ගුණයක් විශිෂ්ටයි.

Teshan said...

මෙහෙමයි චිත්‍රපටයක් කියන්නේ බොහෝමයක් සීමාවන්ට යටත්ව කරන්න වෙන නිර්මානයක්. විශේෂයෙන්ම පොතක් මගින් හරි ටෙලි වෘතාන්තයක් හරි පාදක කරගෙන නිර්මාණය කරනවා නම් පිටු 1000ක තියෙන, එහෙම නැත්නම් නාට්‍ය කොටස් 24ක පමණ අඩංගු හැම දේම චිත්‍රපටයකට අන්තර්ගත කරන්න අමාරුයි. ඒ නිසා බොහෝමයක් කොටස් චිත්‍රපටයෙන් ඉවත් වෙනවා. ඒ නිසායි ගොඩක් දෙනාට පොත කියවලා තියෙනවා නම් හරි කාටූන් එක බලලා තියෙනවා නම් හරි චිත්‍රපටය එතරම් රසවත් නොවෙන්නේ. හැරී පොටර් කියන්නෙත් මේ වගේම දෝශාරෝපණයට සමහරු අතින් ලක් වුන චිත්‍රපටයක්. ඉතින් ඒ බව හොඳ හැටි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මේ කොයි නිර්මාණයත් ඉතා ඉහලින්ම රස විඳින්න පුළුවන් වේවි කිසිම සංසන්දනයකින් තොරව.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.