Sunday, May 6, 2012


වෙසක් පුන් පොහෝ දිනය ඊයේ දිනයේදී උදා වුණා. ඒ සමග ම ඔබ සැමට ම නිවණ කරා සිත යොමු වන, දුරාචාරී සිත් ඇති නොවෙන, නිරන්තරයෙන් සිතේ සතුට පිරී තිබෙන, නිරෝගී, සුවපත් වූ ශ්‍රී සුභ නව බුද්ධ වර්ෂයක් වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා.

ඒ නිමිත්තෙන් මෙසේ පලවන ලිපිය ලිවීමට හේතු වන්නේ එක්තරා ආරවුලකට හේතු පාදක වුනු දේවල් කිහිපයක් නිසාවෙන්. ඒ බුදු දහම ආශ්‍රිතව සිදු වූ එක්තරා අනවශ්‍ය ආරවුලක්. මන්දයත් බුදු දහම යනු එක්තරා සීමාවකට යටත්ව තමන් දන්නා කරුණු පමණක් පදනම් කරගෙන බුදු දහම වැරදි ලෙසින් ග්‍රහණයට ගෙන සිටිනා අයද මේ සමාජයේ සිටිනා බැවින්. එහෙයින් මේ ලිපිය එවන් අයගේ මානසික මට්ටම් පිළිබඳව සිදු කෙරෙනා විචාරයක් ලෙසින් මෙසේ ලියැවෙන වගයි. මේ ලිපිය ලියන මා පාරිශුද්ධ බෞද්ධයෙකු නොවේ. නමුත් එවන් තත්ත්වයකට පැමිණීමට උත්සාහ කරන්නෙකු පමණි. ධර්මය ගැන දන්නා මනාව හසුරවන යම් යම් පුද්ගලයන් ඇසුරෙන් ලද දැනුම් සම්භාරයන් හේතුවෙන් සහ යම් වටිනා බෞද්ධ පොත් පත් කියවීම හේතුවෙන් ලද දැනුම මත මෙවන් ලිපියක් පල කිරීමේ අවශ්‍යතාවද මත ලියැවෙන්නකි මේ.

බුදු දහම තමන් වටහා ගන්නා, තමන්ට ඇසෙනා, තමන් දන්නා අයුරින් වැරදි කොණින් අල්ලා ගෙන අනුන්ගේ වැරදි හොයනා මිනිසුන් උන්මත්තකයන් මෙන් බොහෝ විට සමාජයේ හැසිරෙයි, බැණ වදියි. නිර්මල බුදු දහම යනු අනුන් ගැන, අනුන්ගේ වැරදි නොසොයා තමන් ගැන පමණක් සෙවීමට උපදෙස් දෙන දහමකි. ඒ මන්ද යත්, තමා කරනා දෙයෙහි පල තමාට මිස අන් අයෙකුට විඳීමට සිදු නොවෙන බැවින්. තමන් කරන්නේ යමක්ද, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නන් කෙරෙහි ද්වේශ සහගතව හැසිරෙන බොහෝ අය මානසික ලෙඩුන් නොම වේ නම්, පාරිශුද්ධ බෞද්ධයන් විය නොහැක. දිනපතා බුදුන් වන්දනා කළ ද බද්ධ වෛරයන්, අනුන්ගෙන් සිදු වූ වැරදි, අතපසු වීම්, සිතා මතා කළ වැරදි හෝ දිනෙන් දින මතකයේ තබා ගන්නේ නම්, දිනකට තෙවරක් බුදුන් වන්දනා කළ ද ඉන් තමන්ට හෝ අනුන්ට සිදු වන යහපත ඒ ආකාරයෙන්ම සිදු නොවන්නේය. මන්දයත් කෙතරම් පිංකම් කළද, ද්වේශ සහගතව ක්‍රියා කරන්නන් වෛරය පතුරනවා විනා මෛත්‍රීය නොපතුරවන හෙයිනි. යම් පිංකමක් කළ යුත්තේ තමාගේත් අනුන්ගේත් සිත් තුල අවෛරී සිතුවිලි ඇති කරවමින් මිස, තමාගේ උතුම් බව සිතා අනුන් ද ඊට අනුගතව, ඊට බයාදුව, ඊට ගරු කල යුතු යැයි සිතා හෝ අණ කිරීමකින්, බල කිරීමකින්, ඝර්ජනා කිරීම් වලින් නොවේ. එවන් බිය වැද්දීම්, අණ කිරීම් ඇත්තේ හුදෙක් අන්‍යාගම් වල පමණකි; බුදු දහම තුල නොවේ.

තමන් ධාර්මිකව, සැදැහැ සිතින් යමක් කරන්නේ ද ඉන් තමන්ට සහ අනුන්ට අත් වෙන යහපත ගැන පමණක් සිතිය යුතුය; තමන්ට ලැබෙනා ලාභ ප්‍රයෝජන පිළිබඳ බලාපොරොත්තු නොතැබිය යුතුය. යමෙක් බුදු දහම වැරදි ලෙසින් අර්ථ දක්වයි නම්, බුදු දහමේ නාමයෙන් අනුන්ගේ සිත් රිදවයි නම්, තමන් පමණක් නිවැරැද්දක් කරයි කියා සිතා අනුන්ට දොස් පවරයි නම්, එයින් ලද හැකි පල විපාකයන් අනුන් නොව, තමන් ම තනිව අත් විඳිය යුත්තේය. කිමද යත් තමන් වැපිරූ දෙයෙහි අස්වනු තමන් විසින්ම නෙළිය යුතු බැවින්.

නිර්මාංශව යමෙක් සිටී ද එය ඔවුනොවුනගේ අන් සත්ත්වයන් කෙරෙහි ඇති අවිහිංසාවාදී ප්‍රතිපදාව, දයානුකම්පාව සහ සිතුවිල්ල නිසා විය හැකිය. එසේ නැතහොත් වෙනයම් අයෙක් වෙනුවෙන් හෝ වෙනයම් අයෙක් දෙස බලා තමන් විසින් ඇති කරගත් කැප වීමක් හෝ ප්‍රතිපත්තීන් නිසා ද විය හැකිය. එසේ ද නැතහොත් තමන් නිර්මාංශී යැයි අණ බෙර ගසා හෝ තමා ම පිරිස් අතරේ කියා ගනිමින් ගරු නම්බු නාම ලැබීමේ හෝ විශේෂ ප්‍රතිචාර ලැබේ යැයි සිතා සිදු කර ගන්නා පෞර්ෂත්ව වෙනසක් හේතුවෙන් ද විය හැකිය. නමුත් මස් මාංශ අනුභව කරන්නන් හෙලා දකිමින් ඔවුනට නිගා කිරීම බෞද්ධයෙකු සතු විය යුතු ගුණංගයක් නොවේ. හෙලා දකින්නේ නම් ආහාර වෙනුවෙන් සතුන් මරණා ස්ථාන සහ පුද්ගලයින් එවන් හෙලා දැක්වීමකට ලක් විය යුත්තේය. නමුත් සිදු වන්නේ අනෙකකි. මන්ද යත්, බුදු රජාණන් වහන්සේ විසින් මස් මාංශ අනුභව නොකළ යුතු යැයි දේශනාවේ කොතැනකදීවත් සඳහන් කොට නැති හෙයින්. ගිහියන්ට කෙසේ වෙතත්, පැවිද්දන් උදෙසාවත් එවන් දෙයක් අකැප යැයි දේශණා කර නොමැති වීම සැලකිල්ලට ගත යුතු කාරණයක්. මීට හොඳම උදාහරණය ලෙස දෙව්දත් තෙරුන් විසින් සංඝ භේද ආනන්තරීය පාප කර්මය සිදුවීමෙහිලා සම්බන්ධ, බුදුන්ගෙන් කළ ඉල්ලීම් පහ අතර, 'භික්ෂූහූ නියත වශයෙන් ම නිර්මාංශික විය යුතු' යැයි කළ ඉල්ලීමට බුදු රජාණන් වහන්සේගෙන්, 'කැමති නම් පරිභෝජනය කිරීමටත්, අකැමති නම් නොකිරීමටත් හැකි' බව දේශණා කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දැක්විය හැකිය. එහෙයින් එවන් නීතියක් පනවා නැති බැව් අමතක නොකළ යුතුය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සිතා හෝ, කැමැත්ත පරිදි ගැනීමට ඉඩකඩ ඇත. වළකින්නේ නම්, අන් සතුන්ගේ ජීවිය තමා වෙනුවෙන් කැප කරනා සතුන් පිළිබඳව සානුකම්පිතව සිතා වැළකීම වඩා යෝග්‍ය වේ.

සමහර පුද්ගලයින් දහම් පොත් පත් කියවද්දී ඒවායේ සඳහන් කරුණු තමන්ගේ ජීවිතයට අදාල කරගෙන කුසල් වැඩීමේ වීර්ය වර්ධනය කර ගැනීමෙහිලා යොදවනවා විනා, අන් අයගේ වැරදි මේ මේ යැයි කියා මෙනෙහි කරයි. ඒ ඒ ධර්ම කරුණු තමන් හඳුනන පුද්ගලයින් විසින් බිඳ දමනා ආකාරය ගැන මෙනෙහි කරයි, ඒවා ගැන සිතින් තර්ක කරයි. ඒ ඒ ධර්ම කරුණු අදාළ පුද්ගලයින් සමග කතා බහ කිරීමේ දී, ඔවුන් සමග තර්ක කිරීමේ දී ඔවුනගේ වැරදි හුවා දැක්වීමට යොදා ගනියි. නමුත් ඒ කාලය තමන්ගේ වර්ධනයක් සිදු කර ගැනීමට නොයොදවයි, ලියැවී ඇති දෙයෙහි නිවැරදි අර්ථය වටහා ගැනීමට උත්සාහ නොකරයි. එක දහම් පුස්ථකයක් ධර්මය ගැන නොදත් අයෙක්, ධර්මය මනාව උගත් අයෙක් සහ ධර්මය උඩින් පල්ලෙන් දත් අයෙක් යන පුද්ගලයින් තුන් දෙනෙකු විසින් වටහා ගෙන ක්‍රියාවෙහි නංවනා ආකාර තුන් විදියක් වේ. මඳ වශයෙන් දත ද, ධර්මය මනා ලෙස හසුරවන්නේ නම්, ක්‍රියාවේ යොදවන්නේ නම් ඔහු නියමාකාර බෞද්ධයෙකි. නමුත් ගැටළුව නම්, තමන් පිළිබඳව තමන් නියමාකාරයෙන් ඇගයීමක් නොකිරීම සහ එසේ කිරීමට දැනුමක් ද නොතිබීමයි. එහෙයින් අද සමාජයේ බොහෝ බුදුවරු පහල වී ඇත, මග ඵල ලබා ඇති බව ප්‍රකටව පල කරන්නන් පහල වී ඇත. එවන් අය පිළිබඳව අප අනුකම්පාවෙන් බැලිය යුතුය.

සමහරෙක් පන්සල් වලට, භික්ෂූණ්ට දාන මානාදිය නිතිපතා කළ ද තම පවුල පිළිබඳව නොසිතයි, ඔවුනගේ සිත සතුටු කිරීමට උත්සාහ නොගනියි. දෙමාපියන්ට දොස් පවරයි, යහපත් චාරිත්‍ර මග හරියි, තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් පැහැර හරියි. එනමුත් දහම් පොත් පත් කියවයි, දානමානාදියට කැප වෙයි. මෙය ද ඔබ සතු විය හැකි තවත් ගුණාංගයක් විය හැක. නියමාකාර බෞද්ධයකු වන්නට මේ දෙපසේම යහපත් වූ වර්ධනයක් පැවතිය යුතුය. උගත් කම තිබුන ද, බුද්ධිමත්ව කටයුතු කළ නොහැක්කේ නම් එම පුද්ගලයා නිර්වස්ත්‍රව සමාජයේ සිටිනා පුද්ගලයෙක් වැනිය. එසේත් නැතහොත් බැළුමක් වැනිය. ඇතුලේ වාතයය, පිටත අලංකාර ආවරණයකි.

බෞද්ධයෙකු සතු එකම ඉලක්කය විය යුත්තේ හැකි තරම් මේ භවයේදීම සෝතාපත්තියට (සෝවාන් පලයට) ලඟා වීමට උත්සාහ ගැනීම පමණි. ඉන් මතු ඉදිරිය පිළිබඳව ඉන් පසුව සැකයක්, බියක් පවත්වා ගත යුතු නොවේ. අඩු තරමින් අනුන් ගැන වද නොවී තමන් පළමුව යහ මග යමින් අනුන් දෝශ දර්ශනයට ලක් නොකර ඒ මග අන් අයව ද කැටුව යාම පිළිබඳවත් අවධානය යොමු කිරීමයි වැදගත් වන්නේ. එසේ නම් මේ කියා ඇති දේවල් තමන් විසින් කෙතරම් සිදු කරන්නේ දැයි කියා වටහා ගෙන නිවැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට මේ ජීවිත කාලය තුල වීර්ය කිරීම, ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් කර ගත හැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ අනුන්ගේ වැරදි දකිමින් ඒවා තමන්ගේ ධර්මඥාණයෙන් පමණක් නිවැරදි කිරීමට උත්සාහ කොට තමන් පමණක් නිවැරදි යැයි කියා ගැනීම හෝ හුවා දැක්වීම නොව ධර්මය යථා අයුරින් ම, නිසි ආකාරයෙන් මනා ලෙස අවබෝධ කර ගැනීම හා අධ්‍යයනය කොට ක්‍රියාවේ නැංවීමයි. බුදු දහම අවිහිංසාවාදි දහමකි. එබැවින් ප්‍රකෝපකාරීව ගැටළු විසඳීම බෞද්ධයින් හට සුදුසු නොවේ. අද සමාජයේ ආගම් අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට බෞද්ධයින් විසින් ක්‍රියා කරනා ආවේගශීලී ප්‍රතිපත්තිය සහ ක්‍රමවේදය අසහනශීලී බවක් ගනී. තමන් උපේක්ශා සහගතව බලා සිට ඒවාට නුවණ හසුරවමින් අන්‍යන් කෙරෙහි අද්වේශ සහගතව කටයුතු කිරීමෙන් බොහෝ ගැටළු මුල් අවස්ථාවේදී ම නිරාකරණය කර ගැනීමට හේතු පාදක වේ. බුදු රජාණන් වහන්සේද කිසිදු ගැටළුවක දී නොසැළුනි, කලබල නොවුණි. සියළු අපවාද, ගැරහීම් සියල්ලන්ගේම සාධුකාර මැද මැකී ගියේය. එසේ නම් බෞද්ධ අප හට එයින් අංශු මාත්‍රීය ප්‍රමාණයක් හෝ ක්‍රියාවේ යොදවන්නට නොහැක්කේ මන්ද? මේ බව මසැසින් නොව මනැසින් වටහා ගැනීමට මේ තෙමගුල ඔබ සැමට නිසි මාර්ගය පෙන්වත්වා!

2 පාඨක අදහස් | Comments:

මධුරංග said...

කතාව සහතික ඇත්ත !!

pandukabaya said...

කතාවේ යම් ඇත්තක් පවතිනවා. නමුත් අද බෞද්ධයොන්ට වෙලා තියෙන තත්වයේ හැටියට ආත්මාරක්ශාව ගැන හිතන්නත් වෙලා තියෙනවා :(

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.