Tuesday, January 31, 2012
"චතුරගේ මතක අහුර" බ්ලොග් අඩවියේ රචනා වුනු "ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?" යන ලිපිය වෙනුවෙන් මා විසින් පළ කරන ලද අදහසක් මෙසේ ලිපියක් ලෙසින් ගෙනහැර දවනු ලැබේ.
සමාජය ගැන තීරණය කරන්නට තමන්ගේ පවුලට හෝ ඥාතියෙකුට අනුන්ගෙන් සිද්ධ වුනු වැරදි, අඩු ලුහුඬු කම්, අතපසු වීම්, අත් වැරදීම් ආදිය යොදා ගැනීමෙන් සිද්ධ වෙන්නේ තමන්ට මෙන්ම අනුන්ටත් සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ඇති වීම පමණයි. මක් නිසාදයත් සමාජය කියන්නේ තමන්ගේ පවුලට පමණක් සීමා නොවුනු තවත් පුළුල් පරාසයක පැතිරුණු දෙයක් නිසාවෙන්.
ඒ වගේම තමන්ගේ පවුලට හැරුණු කොට තමන්ට යමෙකුගෙන් හෝ තමන්ගේ මිතුරෙකුගෙන් හෝ සුළු හෝ වරදක් සිදු වීම නිසා වසර ගණනක මිතුරු කම කටු ගා දමන්නට හෝ මකා දමන්නට පෙළඹීම නිසාවෙන් තමන්ට යම් දිනයකදී කිසිම මිතුරෙකු හෝ මිතුරියෙකු ඉතුරු වේ යැයි කියන්නට පුළුවන් කමක් නැති තරම්. මිතුරන් නෑදෑයන් අතරේ නොයෙක් අවස්ථාවන් වලදී ප්‍රශ්ණ, ගැටළු, හැල හැප්පීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒවා දුර දිග නොගෙන ගොස් සබඳතා ඉදිරියටත් පවත්වා ගැනීමයි වඩා වැදගත් වන්නේ.
යමෙක්ට තම සහෝදර සහෝදරියන් සිටිනවා නම් මේ තාක් කාලයක් ඔවුන් සමග එකම නිවසක ජීවත් වීමේදී එකිනෙකා අතර අඩ දබර, ගැටුම්, හිත් අමනාපකම් අනන්ත වාරයක් සිදු වන්නට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නම් නෙවෙයි. ඒත් ඒ අඩ දබර ඇති වූ පමණට ඔවුනොවුන්ව මග හරිමින්, ඔවුන්ගෙන් ඈත් වී සිටි බවක් මතකයට එනවාද කියන ප්‍රශ්ණයත් ඇසිය යුත්තක්. මන්දයත් තම සොයුරු සොයුරියන් සමග ඇති වන අමනාපකම් නිසා ඔවුනොවුන් ජීවිතයෙන් ඈත් කරගෙන එකට ජීවත් වෙන්නට හැකියාවක් නැති නිසා. නමුත් සමහර උදවිය තමන්ගේ දැඩි ප්‍රතිපත්තීන් හේතුවෙන් තමන්ගේම ලේ නෑයන්, හිතවතුන් සදහටම ජීවිතයෙන් ඈත් කරගෙන සතුටින් ඉන්නට පෙළඹෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් වටිනාම දේ නම්, ගැටළු නිසා එකිනෙකා අමතක නොකිරීමයි. සමහර විට දුරම හතුරා ලඟම මිතුරාට වඩා අනාගතයේදී තමන්ට වැදගත් වෙන්නටත් හැකියාවක් තියෙන නිසා.
ඒ නිසාදෝ මන්දා යාළුවන්ටත් ඒ මිම්මෙන්ම සමහරුන් සලකන්නේ. කෙනෙක්ගේ කළණ මිත්‍රයෝ කවුරු හරි අනිවාර්යෙන්ම කෙනෙක්ට එපා වෙන විදියට හැසිරුනහොත් අනිවාර්යෙන්ම ඒ කෙනා මිතුරන් අමතක කරන්න සූදානම් වෙන්නටත් ඉඩක් තිබෙනවා. මන්දයත් ඒ කෙනා ජීවිතේ සතුටින් ගත කරන්නට හිතමින් බැඳීම් අඩු කර ගන්නා ආකාරය ඒ තරම් සුභදායක නොවන නිසා. මිනිස්සු වැරදි කරන බව ඇත්තක්. නමුත් සමහර වැරදි අමතක කර දමනා තරමට හිතට සැහැල්ලුවක් දැනෙනවා. කෙනෙක් වරදක් කලාට අපිත් ඒ කෙනාට ඒ වරදම කරන එක හරිද? ඇයි අපි මිනිස්සුන්ට වෛර කරන්නේ?
වෙනකෙකුගෙන් තමන්ට සිද්ධ වුනු වැරැද්දක් දැඩිව, මහා පරිමාණයෙන් හිතේ තියාගෙන දවස්, සති, මාස ගණන් හිටියට තමන්ගෙන් වෙනකෙකුට මොන වගේ වැරදි සිද්ධ වෙනවාද, වූවාද කියලා නිකමටවත් හිතා බලන්නට ඔයාලට මතක් වෙනවාද? හිතන්නට පුළුවන් නම් තමන් නිසා දුක් වුනු යාළුවෝ තමන්ගේ ජීවිතේදි ඉඳලා නැතිද කියලා? ඒකට ආගම්, ජාති, ස්ත්‍රී, පුරුෂ භේධයක් නැහැ. අපිට හැමදාම අපි කැමති අයුරේ කාවවත් ආෂ්‍රය කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අපි ලඟ තිබෙන දෙවල් පරිස්සම් කර ගන්නේ නැතුව අපි ලඟ කවදාවත් නොතිබුනු දෙයක් ගැන හීන මව මව ඉන්නවා නම් ඒකේ ඇති පලය මොකද්ද?
මේ හිතන්නට ඉඩ කඩ බොහෝ සෙයින් තියෙන දෙයක්. මිනිසුන්ව ආශ්‍රය කළ යුතුයි. තමන්ගෙ ජීවිතේට තර්ජනයක් නම් හැරෙන්න අත නොහැරිය යුතුයි. මන්දයත් ලෝකය කියන්නේ ඉගෙන ගෙන නතර කරන්න පුළුවන් දෙයක් නොවීම. තනිකඩව ලෝකයේ ජීවත් වෙන්නට ගන්නා උත්සාහය වරදක්, නරකක් කියා නොකිය යුතුයි. නමුත් තනිකඩව ජීවත් වීම හිතූ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගත යුතුයි. කිසිම දවසක තමන් ගැන හිතන කිසි කෙනෙක්ගේ අතින් වැරදි වුනු පමණට ඒ අයගෙන් දුරස් වෙන්නවත්, නරක මිතුරෝ කියා හංවඩු ගහලා කොටු කරලා සලකන්නවත් පුරුදු නොවිය යුතුයි. අපි ජීවත් වෙන්නේ තවත් සුළු කාල පරිච්ඡේදයක්. ඒ කාලය ආතරතුරේදී ඔය දේවල් වලින් හිත පුරුව ගන්නවාට වඩා පුරවා ගන්නට බොහෝ දෑ ඇති බවත් ඔප්පු වී තිබෙනවා. තමන්ගේ වැරදි අඩු පාඩු හේතු කර ගනිමින් අනුන්ට දොස් පැවරීමත් නොකළ යුත්තක්. පුළුවන් හැම වෙලාවකදිම සතුරන්ටත් මෛත්‍රී කරන්න. එදාට මේක කියවන හැමෝම සමාජෙට අවශ්‍ය හොඳ මිනිසුන් වේවි. එසේ නොවුනහොත් රොබෝවන් වන් හැඟීම් දැනීම් නැති මිනිසුන් බිහි වේවි. සිතන්නට ඔබට බාරයි.
මාතෘකා | Labels:
අත්දැකීම් | Experiences,
මානව චර්යා | Human Behaviours,
මිතුරො | Friends,
සමාජීය | Social,
සිංහල | Sinhala
Subscribe to:
Post Comments (Atom)
0 පාඨක අදහස් | Comments:
Post a Comment