Sunday, September 4, 2011

මේ කතාව ලියන්න හිතුනේ බොහෝම කාලෙකට පස්සේ මම මගේ බ්ලොග් අඩවියට ආව වෙලාවේ. ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙනුයි මේ පැත්තේ ඉස්සර තරම් එන්න බැරි වුනේ. ඉතින් කොහොමෙන් කොහොම හරි මේ ලිපියෙන් කියන්න යන්නේ මෑතකදී අපේ ගෙදරට සිද්ධ වුන, වෙමින් පවතින දෙයක් ගැන. හැබැයි ටිකක් හිතා ගන්න අමාරු විදියේ සිද්ධියක්. මේකට හේතු භූත වන දෙයක් හොයා ගන්න මම තාමත් නොයෙක් අයගෙන් විස්තර අහනවා. ඒත් ඒ අතරෙදියි මට මගේ බ්ලොග් අඩවිය මතක් වුනේ. ඒ නිසා ඔන්න බොහෝම කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් කෙරුවාව පටන් ගන්න මම අද හිතුවා මේ ලිපිය එක්කම.

මේ කාරණාව වුනේ මෑතකදී අපේ ගෙදර මිදුලේ පොඩි අලුත් වැඩියාවක් සිද්ධ වුනු දවසේ ඉඳලා පසුවට ගත වුනු සති කිහිපය ඇතුලතදීයි. ඇත්තෙන්ම කියනවා නම් අපේ මිදුලේ බිමට සිමෙන්ති ගඩොල් ඇල්ලීමක් මීට සති කිහිපයකට උඩදී සිද්ධ වුනා. එතැන් පටන් මේ වුනු දේ මට ඇසින් දකින්නට අවස්ථාවක් නොලැබුනත් අම්මා මට මේ බව කියන්නට යෙදුනා. ඒ දවසේ පටන් අවස්ථා හතරකදී අපේ මිදුලේ ස්ථාන තුනකදී වෙනස් ආකාරයේ මල් පැල හතරක් පොලිතීන් උර වල පස් දමා සිටුවා තිබූ පරිද්දෙන්ම හමු වීමයි මේ උභතෝකෝටික වගේම විශේෂ කාරණාව.

මේ සිදුවීම් වල තියෙන සමානකමත්, තිබෙන ගුප්ත කමත් නිසාවෙන් මේ ගැන මගේ හිතේ වැඩි පැහැදීමක් නම් ඇති වුනේ නෑ. මොකද මේ වගේ දෙයක් අහන්නට ලැබුණු පළමුවෙනි අවස්ථාව මෙය වීම. ඒ වගේම අනිත් හේතුව තමයි වෙනත් තැනකින් ගැලවූ, කඩා දැමුනු පැළ හමු නොවී පොලිතීන් උර වල දමා හිටවූ පැළ ලෙසින්ම හමු වීම. ඒ වගේම මේ කාරණාවෙදි සලකලා බලන්නට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මන්තර, ගුරුකම්, හදි හූනියම් වගේම කොඩිවින පිළිබඳව තියෙන සාමාන්‍ය දැනීම.

මට මුලින්ම මේ දේ ඇහුණ විගසින්ම සිහියට ආවේ ලැබුණු පැළ ජාතීන් ගැන නම් නෙවෙයි. ඒත් ඒවා පොලිතීන් උර වල හිටවලා තිබුණු පස් ගැන නම් පොඩි සැකයක් පහල වුනා. ඒ සැකේ මොහොතකට කලින් කියපු කොඩිවින සම්බන්ධයෙන් හිතට ඇති වූවක්. මිනී අළු වතු වල සතර කොනේ ඉසීම වැනි හූනියම් ක්‍රම ගැන අසා තිබෙන කරුණු නිසා මේ ගැන සැක පහල වුනා. මන්දයත් පැළ සිටුවීමට ගත් පස් වලට මිනී අළු මිශ්‍ර කර ඒවා සිටුවා මිදුලේ කවුරුන් හෝ විසින් තබා ගියා වීමටත් ඉඩ ප්‍රස්ථාවක් තිබෙන්නට පුළුවන් නිසාවෙන්.

ඉතින් මේ උභතෝකෝටිකය විසඳීම තමයි මීළඟ ගැටළුව වෙලා තියෙන්නේ. මේ ගැන අම්මා විසින් පවුලේ හිතවතෙකුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අය නම් පවසලා තියෙන්නේ මේ පිළිබඳව කිසි අයෙකුට නොපවසන ලෙසටත්, ඒ පැළ දෙවියන් ලබා දුන් දේවල් ලෙසත්. ඉතින් ඒ කතාවෙන් මට පැහැදිලි වුනේ එය ඒ තරම් සාදාරණ ප්‍රකාශයක් නොවනා බව. මොකද දෙවියන් පැළ විකුණනා ලෑලි හෝ කඩ වලින් පැළ පොලිතීන් උර පිටින්ම සොරකම් කරගෙන විත් අපේ නිවසේ තැන්පත් කරන්නේ නැති නිසාත්, දෙවියන් සොර සතුරන් නොවන නිසාත්, සොරුන් නොවූවත් මුදල් ගෙවා පැළ ගෙනැවිත් අපේ මිදුලේ තැන්පත් කරන්නට තරම් අඩු බුද්ධියකින් යුත් ජීවී කොට්ඨාශයක් නොවන නිසාත් යන කරුණු.

ඉතින් මේ සම්බන්ධයෙන් අපේ සිංහල බ්ලොග් පාඨකයන්ගෙන් කරුණු විමසන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධියට කුමක් සම්බන්ධ වෙන්නට පුළුවන්ද? මේ හූනියමක්ද? කොඩිවිනයක්ද? නැති නම් දේවාශිර්වාදයක් වැන්නක්ද? තීරණය ඔබට භාරයි.

7 පාඨක අදහස් | Comments:

තීර්ථ යාත්‍රිකයා said...

ඒවා අල්ලලා විසිකරලා දාන්න.එතකොට ඉවරයිනේ

Asanka Udayanga said...

කවුරුහරි කුපාඩි කමට කරපු වෑඩක් වෙන්න බෑරිද මොකද මම දන්න යාලුවෙක් ඔය වගේම ආදල් එකක් දුන්න ලගපාත ගෙදරකට,අන්තිමට හෙන බලියකුත් ඇරලා තමයි එගෙඩර වෑඩේ ඉවර කරේ,හදි හුනියම් වල යම් දෙයක් තියෙන්නෙ පුලුවන් නමුත් අපි සාදාරනව හොදින් ජීවත් වෙනවා නම් අපිට හානියක් කරන්න ඕවට බෑ,ඔබට ජය,,,

Anonymous said...

අර දෙයියෝ පැල ගෙනත් දුන්නයි කියපු කෙනා ගැන ඈහැගහගෙන හිටිං....

Anonymous said...

අහල පහල ගෙවල් වල මල්පැල අතුරුදහන් වෙලාද බලන්න. නැහැදිච්ච එකෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන්. සමහරු විනෝදාංශෙට ගෙවල් වල තියෙන මල්පෝච්චි මාරු කරනවා. :D

Teshan said...

@තීර්ථ යාත්‍රිකයා
ඒවා හිටවලා නෙව :( මාත් ගලවලා විසික් කරන්නයි කියලා කිව්වා. ඒත් අපි බලමුකෝ මොකද්ද සීන් කෝන් එක කියලා. ආවාට තුති.

@අසංක
දන්න තරමින් අපිට අහල පහලක තියා දුරින්වත් හතුරන් නම් නෑ. හරිම ප්‍රශ්ණාර්ථයක්. අදහසට තුති.

@prasanna86k
හපෝ ඒ උන්නැහේ නරක කෙනෙක් නෙවෙයි. අපේ පවුලට ගොඩාක් හිතවත් අපේ පවුලේ ඥාතියෙක් හා සමාන කෙනෙක් උදව් පදව් කරන. අදහසට තුති සහෝ.

@Anonymous
හික්ස්... අහල පහල මල් පැල නැති වෙලාද කියලා නම් හොයල බැලුවෙ නෑ සහෝ. ඒත් පොලිතීන් උර වලම බස්සලා ගෙවල් වල මල් පැල තියන් ඉන්නෙත් නෑ නෙව. මේ පැත්තේ කරක් ගැහුවාට තුති

IndraJ said...

අළුත් වැඩියාවට සම්බන්ධ වුන බාහිර පාර්ශවයක් ඇත්නම් ඔවුන් ගැන තමා පළමුවැනි සැකය එල්ල වෙන්නෙ.

සිමෙන්ති ගල් ගෙනව තැනින් බැරි වෙලා පටවන් ඇවිත් අමතක වෙන්නත් පුලුවන් නැත්නම් හොරෙන් උස්සල පස්සෙ ගන්න මිදුලෙ හංගල තිබ්බ වෙන්නත් පුලුවන්.

මොනව උනත් පස් සාම්පල් පරීක්ෂා කරන්නෙ නැතිව නිගමනයකට එන්න අමාරුයි..

Anonymous said...

film banna lankawe ape thanak

www.cinelanka.net

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.