Tuesday, March 15, 2011

Skype කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන පරිගණක මෘදුකාංගයක්. අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝමයක් දෙනා එකිනෙකා සමග කතා බහ කරන්නට යොදා ගන්න හොඳම මෘදුකාංගයක් විදියටත් මේ මෘදුකාංගය ගැන කියන්න පුළුවන්. මේ වගේ දෙයක් පාවිච්චි කර ගැනීමෙන් වියදමත් අඩු කර ගන්නට පුළුවන්. ඒ දෙරටක ඉන්නා දෙදෙනෙකු අතරේ හොඳ වාචික වගේම රූපමය සම්බන්ධතාවකුත් පවත්වා ගන්නට හැකියාවක් වියදමකින් තොරවම වාගේ ලැබීම. දෙරටක නොවුණත් ලඟපාත ඕනෑම දෙපිරිසක් අතරේත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්, හොඳ සන්නිවේදන ක්‍රමයක් වෙලා තියෙනවා. ඒ, තාක්ෂණයට පිං සිද්ධ වෙන්නයි.

මේ ලිපියේ අන්තරගතයට Skype මෘදුකාංගයේ ප්‍රයෝජන ගැන නම් නෙවෙයි සඳහන් වෙන්නේ. මේක එක්තරා අත්දැකීමක්. ඒ මගේ යහළුවෙකුගේ නැගණියක් සම්බන්ධවයි. මගේම අත්දැකීමක් නොවුනාට යම්තාක් දුරකට මටත් මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිද්ධ වුනු නිසාවෙන් මේ ගැන ලිපියකින් පළ කරන්නට හිතුවා. ඊට අදාල පුද්ගලයන්ගේ නම් ගම් ප්‍රකාශ කිරීම සුදුසු නෑ කියලායි මම හිතන්නේ.

අද කාලයේ Skype තියෙන බොහෝමයක් දෙනාට මුහුණු පොතකුත් තියෙනවනේ. ඉතින් ඔය මුහුණු පොත හරහා සිද්ධ වෙන දේවල් ගැනත් මින් පෙර ලිපි කිහිපයකම කියවිලත් තිබුණා. ඒත් මේ Skype මෘදුකාංගය හරහා සිද්ධ වෙන දේවල් මුහුණු පොතින් සිද්ධ වෙන්න පුළුවන් බලපෑමටත් වඩා දරුණු දේවල්. බොහෝමයක්ම සිද්ධ වෙන්නේ පෙම්වතුන් අතරේ වීමත් මේ බලපෑම වැඩි වෙන්නට තවත් හේතුවක්.

Skype මෘදුකාංගයකින් හඬ වශයෙන් ලබා ගන්නට පුළුවන් දුරකථන ඇමතුමක් හැරුනාම වීඩියෝ මාර්ගයෙන්ද ඇමතුමේ දෙකෙළවරේ සම්බන්ධ පුද්ගලයන් හා සම්බන්ධ වෙන්නටත් හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වීඩියෝ, වෙබ් කැමරාවක් ආධාර කරගෙන. Skype පාවිච්චි කරන උදවිය නම් මේ දේ ගැන හුඟක්ම දන්නවා. මෙන්න මේ වීඩියෝ ඇමතුම් ආශ්‍රිතවයි අර මුලින් සඳහන් කළ බලපෑම වැඩි දේවල් කරන්නට සමහරු පෙළඹෙන්නේ. එහෙමත් නැතිනම් කාගේ හරි පෙළඹවීමක් වෙන්නත් පුළුවනි. ඒ තමයි එකිනෙකා නිරුවතින් හරි, අඩ නිරුවතින් හරි කැමරාවක් ඉදිරියේ අනිත් පුද්ගලයා හට දැක ගැනීමට පෙනී සිටීම. මේ දේ බොහෝ විට සිද්ධ වෙන්නේ ආදරය කරන ගැහැණු සහ පිරිමි ළමුන් අතරේයි.

කලින් ලිපියේ වගේම මේ ලිපියේත් මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තම පෙම්වතා සමග ලිංගිකව එකතු වීම වරදක් කියා නොසිතනා තරමටම කාන්තාවන්ගේ මානසික තත්ත්වය පහළ වැටී තිබීම. ඒ වගේම කාන්තාවකගෙන් අනිසි ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට පිරිමින්ගේ හිත් දූෂණය වී තිබීම. සාමාන්‍යයෙන් තමන්ගේ පෙම්වතාගේ කැමැත්ත පරිදි කාන්තාවකගෙන් අනිසි ඉල්ලීමක් කරනවා නම් ඒ කාන්තාවට ඊට ප්‍රතිරෝධයක් දැක්වීමට හැකියාවක් ඇති විය යුතුයි. එවැනි ප්‍රතිරෝධයක් නොදක්වන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ ඇය ඕනෑම දෙයක් තම පෙම්වතා වෙනුවෙන් හෝ නාදුනන පුද්ගලයෙක් වෙනුවෙන් කරන්නට සූදානම් බවයි.

මේ දෙයි බරපතලකම තවත් වැඩි වන්නේ ඒ දෙය අන්තර්ජාලය හරහා Skype වැනි මෘදුකාංගයක් හරහා සිද්ධ වීමේදීයි. Skype මෘදුකාංගයෙන් සපයා තියෙන තවත් අංගයක් තමයි එවැනි වීඩියෝ ඇමතුමක යෙදී සිටිද්දී ඕනෑම මොහොතකදී ඒ ඒ පුද්ගලයාගේ තිරයේ පෙන්නුම් කරන වීඩියෝ දර්ශනයේ නිශ්චල ඡායාරූපයක් ඕනෑම අවස්ථාවක ලබා ගැනීමට හැකියාව තිබීමයි. මේ දේ හේතු කොට ගෙන ඕනෑම පුද්ගලයෙක් හට අනිත් පුද්ගලයාගේ අසභ්‍ය ඡායාරූපයක් ඕනෑම අවස්ථාවකදී ලබා ගන්නත්, ඒ රූපයේ උපකාරීත්වයෙන් ඕනෑම බිය වැද්දවීමක් හරහා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කර ගැනීමේත් හැකියාවක් තියෙනවා. එසේ නොවුනත් එහිදී මුහුණු සහිතව ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම ම තමන්ගේ පිරිසිදු චරිතය ඝාතනය විය හැකි අවදානම් තත්ත්වයක් වෙනවා.

අන්තර්ජාලය හරහා ලබා ගන්නා මේ වගේ වීඩියෝ ඇමතුමකදී අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් ඇඳුමක් ලිහන්නට පළමුව කිසි අයෙකු මේ ගැන හිතා බලා තියෙනවාද යන්නත් සැකයක්. මන්දයත්, මෑතකදී ජංගම දුරකතන මගින් පවා ලබා ගත්, පෙම්වතුන් අතරේ, ගණිකාවන් සමග සිදුවුනු ලිංගිකව එකතු වීම් සම්බඳ වීඩියෝ පටවල සිටි සැබෑ ජීවිතයේ නළු නිළියන්ගේ රූප, ජනමාධ්‍ය හරහා මුළු ලංකාවටම විවෘත වුනු නිසාවෙන්. අන්තර්ජාලය ඊටත් වඩා ප්‍රභල මාධ්‍යයක් බවත් අමතක කළ යුතු වන්නේ නෑ.

මා පෙර කිව්වාක් මෙන්ම මේ Skype සම්බන්ධ අත්දැකීම සිද්ධ වෙලා තිබුණේ වැඩිදුර ඉගෙනීමට විදේශගතව සිටි මාගේ මිතුරියකටයි. ඇය සම්බන්ධ Skype ඇමතුමේදී ලබා ගත් ඡායාරූප ඇතුලත් විද්‍යුත් ලිපියකට මගේ ඇස් යොමු වුණේ ඇගේ ඉල්ලීම පරිදි ඇගේ විද්‍යුත් තැපැල් ගිණුමෙහි රහස් වචනය නැවත සොයා දෙන ලෙස මගෙන් කළ ඉල්ලීමකදී එය සාර්ථක වීම හේතුවෙන්. කෙනෙක්ට සිතෙන්නට පුළුවන් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කෙනෙකුගේ ගිණුමට හොරෙන් ඇතුල් වීම වරදක් බවත්, එහි තිබෙන ලිපි කියවීම වරදක් බවත්. නමුත් එහිදී කිව යුතු තවත් බරපතල දෙයක් නම් ඊට සම්බන්ධ පෙම් පලහිලව්ව මීට තෙවසරකට ආසන්න කාලෙකට ඉහතදී බිඳ වැටී තිබීමත්, ඒ පෙම්වතාගෙන් තවමත් ඇයට කරදර, හිරිහැර ජංගම දුරකතන හා Skype ඇමතුම් විදේශයට ලබා දීමෙන් සිදුවීමත් යන කරුණු නිසාවෙන්.

මේ වගේ දූෂිත හැඟීම් අවුස්සන්නට ඕනෑම අයෙකුට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඊට වෙනයම් අයෙකු යොමු කර ගන්නටත්, පොළොඹව ගන්නටත්, පෙම් බස් වලින් රවටන්නටත් ඕනෑම කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බව හොඳින් වටහාගෙන මිනිසුන් ලෙස බුද්ධියෙන් යුතුව ජීවත් වීම කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයටත් අත්‍යවශ්‍යයෙන්ම අද තිබිය යුතු දෙයක්. තාක්ෂණයේ දියුණුව යහපත් දේවල් වෙනුවෙන් පාවිච්චි නොකිරීම ම තමන්ගේ වළ තමන් විසින්ම කපා ගැනීමකට හේතුවක් වෙන බව මතක තබා ගත යුතු වැදගත් කාරණාවක්.

6 පාඨක අදහස් | Comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

"තමන්ගෙ පෙම්වතා සමඟ ලිංගිකව එකතු වීම වරදක් කියා නොසිතනා තරමට කාන්තාවගෙ මානසිකත්වය පහලට ඇද වැටීම "

ඔහොම තීරන දෙන්න යන්න එපා සහෝ. පිරිමින්ට වගේම කාන්තාවන්ටත් ලිංගික අයිතිවාසිකම් තියනව , අපෙ රටේ පිරිමි සමහර දෙනෙක් ගේ තියන ව්කෘත්ති අදහස් නිසා නොවෙයි නම් කාන්තාවන්ගෙ ලිංගික නිදහස ගැටලුවක් නෙවෙයි . ඔය දේවල් මහා ලොකු ඒව කියල හිතන්නෙත් සමහර මානසික විකෘත්තින් ඇති වෙන්නෙත් ඕනිවට වඩා සංස්කෘතිය බදා ගැනීමෙනුත් අපේ අධ්‍යාපනය ක්‍රමය තුල තියන අඩු පාඩු කම් නිසා වෙනුත්

අන්තර්ජාලය හරහා කටයුතු කරන්න යන එක නම් අන්තිම භයානකයි කිය්න එකට මාත් එකඟයි

rajith said...

ඈත්ත කතාව.ඔය වගේ සිද්දි අද කාලේ ඕනතරම් වෙනවා

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

සහතික ඇත්ත. පිහියෙන් පාන් කපන්නත් පුළුවන්, බෙල්ල කපන්නත් පුළුවන් !!!

Anonymous said...

its nothing wrong. its personal interest

Anonymous said...

ලින්ගික හැගීම් යනු ඉතාමත් දූශිත,අප විසින් නොසලකා හැරිය යුතු හැගීමක් කියලද ඔබ කියන්නෙ?

Anonymous said...

හ්ම්...හොඳ ලිපියක්.මේවාට ඇත්තටම වග කියන්න ඕනා පාර්ශව කිහිපයක්ම තියෙනවා.මම හිතනවා මූලිකවම මේකට මුහුන දෙන ගෑනු ළමයා අතේ ලොකු වගකීමක් තියෙනවා කියලා.මොකද මල් නවකතා කියවලා,මෝඩ මෙගා ටෙලි නාට්‍ය බලලා අමුතුම සිහින ලෝකවල ඉන්න ගොඩක් ගෑනු ළමයි ඇත්ත ලෝකෙ බයානකකම වත්,ඇත්ත ජීවිතේ කොයි වගේද කියලවත් අවබෝධයක් නැතිව ඉන්නේ.හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැතිකමත් මේවාට වඟ කියන්න ඕනා වක්‍ර හේතු.පුහු වික්ටෝරියානු සදාචාරයක් ඔලුවෙ තියන් තියෙන ඔක්කොම ජරා වැඩ කරන අපේ රටේ මිනිස්සු ගැන මට නම් තියන්නේ කලකිරීමක්.අනික ලංකාවෙ හරි හමන් පිරිමින්ගෙ අඩුකමත් මේකට බලපානවා.බබාල වගේ ගෙවල් ඇතුළෙ දාගෙන හදලා සමාජෙට දැම්මම තමන්ට තමන්ව පාලනය කර ගන්න බෑ.තමන් හැසිරෙන්න ඕනා කොහොමද කියලා දන්නෑ.ගැහැනුන්ට සලකන්න දන්නෑ.අද සමාජෙ ජීවත් වෙන පිරිමි බහුතරයක් බාගෙට පිරිමි.ඉතින් මේ අඩුව පුරවන්න ඊට වඩා පේ‍යර්ශයක් තියෙන ගැහැනු ඉදිරිපත් වෙනවා.ගැ‍ටුම පටන් ගන්නෙ මෙතනින්.මේ හැමෝටම අවබෝධයක් නෑ තමන්ගේ කාර්ය්‍යභාරය ගැන.
මේ පසුබිම ඇතුළෙ හැදෙන තරුන පරම්පරාව හරි අවුල්.ආදරය කරන්න දන්නෑ.මාර පීඩාවක ඉන්නෙ.මේ පීඩාව පිට වෙන්න ආදර සම්බන්ධයක් ඇති වීමත් එක්ක.තම තමන්ගෙ අධ්‍යාපන මට්ටම,දැනුම,අවබෝධය මත තීරණ ගන්න ස්වාභාවය අනුව තමයි මෙවැනි දේවල් වෙන්නෙ.අනික දැන් ආදර්ශයට ගන්න චරිත සමාජෙ නෑ.හැමෝම වැරදි කරනවා.වැරදි කරන්න පොළඹවනවා.වැ‍රැද්ද තමයි දැන් ස්ටයිල් එක කියලා ඒත්තු ගැන්වෙනවා.ඉතින් මේ කුණු වෙච්ච සමාජෙ තමන්ගෙ දරුවො මානසික ලෙඩ්ඩු නොකර නීරෝගී පුරවැසියො කරන එක මවුපියන්ට අයිති ලොකු වගකීමක්.නැතිනම් ඉස්සරහට මේ සමාජෙට ඔවුන් මුදා හරින්නේ මෙලෝ සංසාරයක් නොදන්න බබ්බු ටිකක්.මේ බබ්බුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑ.

Post a Comment

 

Copyright 2010 tee දුටු ලොව.

මෙහි පළ වී ඇති සියළුම ලිපි වල හිමිකාරීත්වය "TeeRox" වන මා සතුව පවතින අතර, දැනුම් දීමකින් තොරව හෝ අවසරයක් නොමැතිව උපුටා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව ඇති බවත් කරුණාවෙන් සලකන්න.