ඉහත ලිපියේ ප්‍රකාශයන් කර ඇති තැනැත්තා නොදන්නා එක් කරුණක් වන්නේ බුදු දහමත්, හින්දු දහමේ එන විශ්ණු සංකල්පයේත් ඇති සම්බන්ධතාවක් නොමැති බව. අද බොහෝ නක්ෂත්‍රවේදීන්, දේවාල වල දේවගැතිවරුන් තමා වෙත එන සේවා දායකයන් හට අපල උපද්‍රව වලින් බේරී වැළකී සිටීමට පවසන්නේ, අනුදැන වදාරන්නේ බුදු දහමට අනුකූලව කල යුතු දෑයි. දාන මාන, බෝධි පූජා, පරිත්‍යාගයන් වැනි දේ ඉන් ප්‍රධානයි. ලෝක විනාශය ගැනත් පලවෙන අනාවැකි මේ දිනවල බොහෝ සේ දැක ගන්නට පුළුවන්. නමුත් ඒවායෙන් අතුරු ආන්තරාවක් සිදු නොවී සිටිමටත් එකම පිහිට පින් දහම් වල යෙදීම බව මෙවැන්නන් ප්‍රකාශ කරන්නට යෙදෙනවා. කෙසේ නමුත් බුදු දහමට අනුකූලව ජීවත් වන්නා, ජීවිතය හැඩ ගසා ගන්නා තැනැත්තා කවදා ලෝක විනාශය පැමිණියද බය වෙන්නේවත්, තැති ගන්නේවත් නැති තරම්. ඕනෑම වෙලාවක, ඕනෑම දෙයක් අතහැර දමා යන්නට එවන් අයට හැකියාව තිබිය යුතුයි. දෙවියන්ගේ අවශ්‍යතාවට අනුව පුවත්පත්, ජනමාධ්‍යයනට ප්‍රකාශ කරන්නට පෙළඹීමෙන් පෙනී යන්නේ මොවුන් දෙවියන්ගේ අතකොළු ලෙසින් හැසිරෙන බවත්, දෙවියන් හට තමා පිළිබඳ ප්‍රචාරයන් ජන මාධ්‍යයන්ට හෙළි කිරීමට, හඳුන්වා දීමට ඇති ආශාවක් ගැන නොවේද?
හින්දු දහම යනු සියල්ල නිත්‍යයි, සුඛයි, ආත්මයි යනුවෙන් කියා පාන දහමක්. එවන් දහමක මූලික ම දේව සංකල්පයක සිටින විශ්ණු දෙවියන්ගේ පණිවිඩ ලෝකයට කියා පාමින් සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි යනුවෙන් උගන්වන බුදු දහමෙන් විසදුම් ලබා දීම බුද්ධ ධර්මයට කරන නිගාවක් මෙන්ම එසේ විසඳුම් ලබා දෙන්නේ කෙසේද යන්නත් විමසුමට තුඩු දෙන කරුණක්.
ඉහත සඳහන් කළ ලිපියේ සඳහන් වෙන තවත් කරුණක් තමයි දෙවියන්ගෙන් ආරක්ශාව ලබන්නට දෙවියන්ට ගෞරවයෙන් යුතුව පුද පූජා සත්කාර කළ යුතු බව. එමෙන්ම ඔවුනට වන්දනා මාන කළ යුතු ආකාරය පිළිබඳවත්. නමුත් සත්ත්‍ය කරුණ නම් දෙවියන්ගේ ආරක්ශාව ලබන්නට පුද පූජා පැවැත්විය යුතු නැති බව. මීට හේතුව වන්නේ දෙවියන් ආරක්ශා කරන්නට පෙළඹෙන්නේ සිල්වතුන් පමණක් වීම. දෙවියන්ගේ වන්දන මානනයන්ට සිල්වතුන් පත් වන්නේ නම්, අප දෙවියන්ට වන්දනා මාන කරමින්, පුද පූජා පවත්වමින්, යදිමින් නොසිට දෙවියන්ට ලඟා වන්නට සුදුසු සිල්වතුන් ලෙසින් කටයුතු කිරීම වඩාත්ම වැඩගත් නොවන්නේද? එමෙන්ම දෙවිවරුන් ඒ ඒ දිව්‍ය විමානයන්ගේ දිව්‍ය සැප සම්පත් බුක්ති විඳිමින්, අමෘතය වන් රසැති දිව්‍ය ආහාර පාන ලබමින් ජීවත් වන තවත් එක් සත්ත්ව කොට්ඨාශයක් පමණි. නමුත් එවන් දිව්‍යමය සැප සම්පත්තීන් ලබනා පිරිසක් නරයින්ගේ පලතුරු වලින් පිරුණු පූජා වට්ටි, පූජාවන් බුක්ති විඳීමට, ඒවායේ සුවඳ ආග්‍රාහණය කොට තම කුසගිනි නිවා ගැණීමට මෙලොව සැරිසරයි ද? ඒවායේ රසවත් කොටස් ලෙව කන්නට මේ මනුෂ්‍ය ලොවට වඩියි ද?
මෙහි සඳහන් වුනු තවත් දෙයක් නම් දේවාල වල ස්ත්‍රෝත්‍ර කියන්නන්, පූසාරි වරුන්, දේව ගැතිවරුන් දෙවියන් සමග ගනුදෙනු කරන්නන් පිරිසක් බව. නමුත් ඇත්ත තත්ත්වය සලකා බලන්නේ නම් ඔවුන් අමනුශ්‍යයන්ගේ බලපෑම් වලට ලක් වුනු පිරිසක්. ඒ අමනුශ්‍යයන්ට අනාගතයේදී සිද්ධ වෙන දේවල් දකින්නට හැකියාවක් තියෙනවා වගේම ඒ ඒ සේවා දායකයින්ගේ මියගිය ඥාතීන්ගේ විස්තර දැනගෙන එම ඥාතීන් ලෙසින්ම රඟපා, රවටා ඔවුනට අවශ්‍ය දේවල් ඒ අය ලවා කරවා ගන්නටත් හැකි දක්ෂතාවක් පවතිනවා. දෙවියන් විදියට පෙනී සිටින්නේත් ඒ වගේම මළගිය ප්‍රේත කොට්ඨාශයි. මෙලෙස දෙවියන් දකින්නටවත් නුසුදුසු මෙවන් අය පාපතර, මළගිය, බලවත් හෝ අප්‍රාණික හෝ ප්‍රේතයින් හෝ අමනුශ්‍යයින්, දෙවියන් ලෙසින් වරදවා වටහා ගෙන ඔවුන්ගේ දෘශ්ටියෙන් ලෝකය දකිති, අනාවැකි කියති.
අනිත් දෙය නම් භික්ෂූහූ මාංශ අනුභව කිරීමත් ඒවා දන් ලෙසින් පිළිගැන්වීමත් අධාර්මික ක්‍රියාවක් ලෙසින් දක්වා ඇති කරුණ. බුදු රජාණන්වහන්සේ වුවද භික්ෂුවක් නිර්මාංශ විය යුතු ලෙසින් නීතියක් පණවා නැත. කොටින්ම දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් පහේදිත් ඒ බව කියවෙද්දී කැමති නම් එයින් වැළකී ඉන්නටත් නො ඉන්නටත් හැකි බව දේශණා කර තිබෙනවා. එහෙයින් මස් මාංශ දන් වශයෙන් පිළිගැන්වීම හෝ වැළඳීම වරදක්, පාපතර ක්‍රියාවක්, අධර්මිශ්ඨ ක්‍රියාවක් වන්නට ඉඩක් නැත. නමුත් සතුන් ගැන අනුකම්පාවෙන් එයින් වැළකීමයි වඩාත් වැදගත් වන්නේ. ඒ හැර දානයට සතුන් රැගෙන විත් මරා සකසා පිළිගැන්වීමක් කිසිම ස්ථානයක සිදු වෙනවා යැයි සිතිය නොහැකිය. සිදු වේ නම් ඒ අල්ප වශයෙනි. විමසිය යුතු කරුණ නම්, ගිහි පූජ්‍ය පක්ෂ අධාර්මික වන්නට එකම හේතුව මෙය පමණක් නොවන බව. මෙය හුදෙක් ප්‍රකාශයක් ම පමණකි. මීට වඩා සැලකිය යුතු දරුණු පාපතර ක්‍රියා අද සමාජයේ ඕනෑ තරම් ගිහි පැවිදි දෙපිරිසම විසින් කරනු ලබයි.
අනිත් ප්‍රධානම කාරණාව එම දෙවිවරුන් පල කරනා අනාවැකියි. ඇත්තෙන්ම දෙවිවරු පහල වී සිටින්නේ රටක ජනාධිපතිවරු, විපක්ෂ නායකවරු, අගමැතිවරු, සමුළු, සිරගත වූවන් පිළිබඳව අනාවැකි පල කරන්න ද? මේ දෙවල් ප්‍රකාශ කළ සැණින් විශ්වාස කරන්නට තරම් අපේ මිනිසුන්ට අංශු මාත්‍රීය බුද්ධියක්වත් නොමැති වීම බෙහෙවින් කණගාටුවට පත් වීමට කාරණාවක්. මෙවැන්නන් ප්‍රකාශ කරන්නන්, පූසාරියන්, ගුරුකම් කරන්නන් හුදෙක් උන්මත්තකයන් බව වටහා ගෙන විසීම නුවණට හුරු වේ.