මගේ කලින් ලිපියත් සමග මේ ලිපියත් සම්බන්ධයි. මොකද ඒ ලිපියට ලැබුණු පාඨක ප්‍රතිචාරත් ගොඩක් වැඩියි. ඉතින් මට හිතුනා ඒ පාඨක ප්‍රතිචාර වලට මගෙන් ලැබුණු පිළිතුරු ප්‍රතිචාර එකතු කරලා වෙනමම ලිපියක් පල කරන්න. මේ ලිපිය ආරම්භ වෙන්නේ අන්න ඒ විදියට ලැබුණු පිටිවහලකින්.
සමහරු හිතනවා ඇඟේ පතේ වෙහෙස දුරු කර ගන්න තියෙන එකම තුරුම්පුව ලිංගික තෘප්තිය ලැබීම කියලා. ඒ වගේම විවාහයට පෙර ලිංගික තෘප්තිය ලබන්න තියෙන එකම ක්‍රමය ගැහැණු ළමයෙක් එක්ක ඒ සතුට බෙදා ගන්න එක කියන දේයි. ඒ දේ කරන අයට මේ ලිපියෙන්වත්, මගෙන්වත්, කාගෙන්වත් බාධාවක් නෑ. මොකද සතුට කියන දේ සාපේක්ෂයි. ඊටත් වඩා සතුට කියන දේ තාවකාලිකයි. ඔය ලබන තාවකාලික සතුට නිසා විඳින්න වෙන සදාකාලික දුක ගැන ඔය කොයි කවුරුත් ඕවා කරද්දී නම් හිතන්නේ නැති වගත් මතක් කරන්නට ඕනේ. ඕනෑම දෙයකට බලපාන එකම සාධකය සිතුවිලි විතරමයි. ඒ සිතුවිලි එහෙමත් නැත්නම් චේතනාවන් පහළ වෙන්නේ තමන් සතුව තියෙන අත්දැකීම්, පුරුදු, ජීවත් වෙන වටපිටාව, ආශ්‍රය කරන පිරිස වගේ දේවල් බොහෝමයක උදව්වෙන්. සමහර විට තමන්ගේම බිරිඳ, දුව, සැමියා, පුතා ලිංගික සේවකයන් බව දෙමාපියන්ගේ වැටහීමක් නොතිබෙන්නට පුළුවන්. කොහොමත් ඕවා කියලා කරන දේවල් නෙවෙයි නේ.
කෙනෙක්ට කියන්න පුළුවන් පෙම්වතුන්ට එකිනෙකාගේ කැමැත්තෙන් හොඳ ලිංගික අධ්‍යාපනයක් සහිතව එකිනෙකා අතරේ එකතුවීම, බෝඩිමකට ඇවිල්ලා කිරීමේ වරදක් නැහැ කියලා. නමුත් ඔය දේට බෝඩිම් විතරක්ම අවශ්‍යත් නෑ. ඒත් කියන්න තියෙන දෙයක් තියෙනවා. විවාහයකට කලින් පෙම්වතුන් දෙපලේම අයිතිය තියෙන්නේ, භාරකාරත්වය තියෙන්නේ, ඔවුනොවුන්ගේ දෙමාපියන්ටයි. ඒ කියන්නේ විවාහයක් වෙන තාක් ඔවුනොවුන් අනුන්ට අයිති දේවල් විදියටයි සැලකෙන්නේ. එහෙම ඉන්නා ගැහැණු ළමයෙක් හෝ වේවා, පිරිමි ළමයෙක් හෝ වේවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ සිද්ධ වෙන එකතුවීම් වලින් සිද්ධ වෙන්නේ පවක් මිසක් හොඳක් නම් නෙවෙයි. කුමරි කුමර බඹසර හැසිරෙනවා කියලා දෙයක් තියෙන්නේ අන්න ඒ නිසයි. බුදු දහමට අනුව නම් විවාහ දිවියේදී අන්‍ය ස්ත්‍රී පුරුශයන් සමග අනියම් සබඳතා පැවැත්වීම වරදක් වෙනවා වගේම දෙයකුයි කුමරි කුමර බඹසර බිඳිනවා කියලා කියන්නෙත්.
මම මේ කල්පනා කරන්නේ ඇයි මිනිස්සු මේ දුරාචාරී දේවල්ම, ජීවිතේ නාස්ති වෙන දේවල්ම සහ ලිංගිකත්වය සම්බන්ධ දේවල්ම අත් හදා බලන්නේ කියලා. ඔය අත් හදා බැලීම් හොඳ දේකට පාවිච්චි කරා නම් නරකද?
නමුත් අපි හිතමුකෝ ගැහැණු ළමයෙක් තමන්ගේ පිරිමි ළමයව කවදා හරි බඳින හැඟීමෙන් ඔය දේ සිද්ධ වුනාය කියලා. ඒත් කාටද කියන්න පුළුවන් ඒ ප්‍රේම සම්බන්ධය විවාහෙට කලින් බිඳ වැටේවිද කියලා. එතකොට මොන ආකාරයක හරි ලිංගික සම්බන්ධතාවක් පවත්වලා තියෙන කොට ගැහැණු ළමයෙක්ට ඒ මානසික තත්ත්වයෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වේවි කියලා හිතන්න පුළුවන්ද? මේ දේ පිරිමි ළමයෙකුට නම් කොහෙත්ම බලපාන්නේ නෑ. මොකද ගෙවල් වලින් පිරිමි ළමයින්ගේ නම්බුව ආරක්ශා කරන්නේ නැහැනේ. ගැහැණු ළමයින්ටත් පිරිමි අඟ පසඟම තිබුණා නම් ඉතින් ඕකේ බය වෙන්න දෙයක් නෑ. එතකොට රැකෙන්න නම්බුවකුත් නෑ නේ. අනික මේ දේවල් 21 වෙනි සියවසේ වුනත් නැතත් කවදටත් වලංගු දේවල්. හිත පාලනය කර ගන්න පුළුවන් කෙනයි නියම ජයග්‍රාහියා වෙන්නේ.
ඇත්තටම එහෙම කරන අය ගැන මගේ වෛරයක් නෑ. තරහවකුත් නෑ. ඇත්තම කියනවා නම් දුකයි. එක අතකින් කෙනෙක්ගේ නම්බුව කෙලෙසෙනවා. එහෙමත් නැතිනම් කෙනෙක්ගේ ආසාවන් හමුවේ තවත් කෙනෙක් රැවටෙනවා. මේවා මෙහෙම දකින්නේ සුචරිත කණ්නාඩියක් දමාගෙන ඉන්න නිසා කියලා හිතන්න එපා. කෙනෙක්ගේ සතුටට ඊර්ෂ්‍යා කරනවාත් නෙවෙයි. මොකද මම ඊර්ෂ්‍යාව පුරුදු කරපු කෙනෙක් නෙවෙයි. මට නොලැබෙන දෙයකට වග කියන්න ඕනේ මම මිසක වෙන කෙනෙක් නෙවෙයි. ඒ නිසා අනුන්ට තියෙන මට නැති සතුටක් නිසා මම වෙන කෙනෙක්ට වෛර කරන්නෙවත්, ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ; ඒ වැඩක් නැති නිසා. ඒත් මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්තේ මෙහෙම දේවල් ගැන හැමෝටම මතක් කරලා දෙන්නයි. ඒ වගේම මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දැකලා නැති අයට ටිකක් ඒ ගැනත් පෙන්නලා දෙන්නයි. ඇත්තෙන්ම කීවොත් මම ආස්‍රය කරන සමහරු ඉන්නවා මේ වගේ දේවල් අහලවත් නැති. ඒ මොකද තමන් වටේ ඉන්න සුචරිතවත් යාළු මිත්‍රාදීන්ගෙන් විතරක් ඒ අය ලෝකය දකින නිසා.
මේ ලිපිය කියවන සමහරු විවාහකයි. ඒ නිසා දැන් මේ කියපු ගොඩක් දේවල් ජීවිතයේ අත්විඳලා ඇති. සමහර විට තවමත් අත්විඳිනවා වෙන්නත් පුළුවන්. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ. කොහොම නමුත් මම සිල් රෙද්දක් පොරවන් කුපාඩිකම් ඔක්කොම කර කර වැදි බණ කියන්න හැදුවා නෙවෙයි. ඇත්තෙන්ම මම එහෙම කරන්නෙත් නෑ. මම මේ දේවල් ගැන සාකච්ඡාවට ගෙනාවේ මගේ සීමාවේ ඉඳලා. මම නොකරන දෙයක් ගැන, අනුන් කරන, ඒ වැරදිය කියලා මම හිතන දෙයක් ගැන අනිත් අයගේ අදහස් මොන වගේද කියලා සාකච්ඡාවට ලක් කරන්නයි මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ජීවිතේ සතුටු වෙන්න ලබන්න, කරන්න පුළුවන් බොහෝමයක් දේවල් අතරට මේ ලිපියේ තියෙන දේවලුත් අඩංගුයි. ඒත් එයින් පරිබාහිරව සතුටක් ලබන්න පුළුවන් ක්‍රම විධි බොහෝමයකුත් තියෙනවා. ඒ ගැනත් මතක් කරගන්න ඕනේ.
ලිංගික තෘප්තිය, අඩියක් ගහලා ලබන තෘප්තිය විතරමද සැබෑ තෘප්තිය කියන ප්‍රශ්ණාර්ථය මම ඉතුරු කරන්න කැමතියි. කරන කෙනා විතරයි ඒකේ හැබෑ රසය දන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේම කරන අය මේ ලිපිය හෙළා දකින්නත් පුළුවන්. කරන අයට මම බනින්නෙත් නෑ. නොකරන අයට කරන්න කියන්නෙත් නෑ. හැමෝටම බුද්ධියක් උපතින් ලැබිලා තියෙන්නේ මිනිසුන් හැටියට හිතලා මතලා වැඩ කරන්නයි. ඒ නිසා වින්දනය පස්සේ නොයන පිරිසක් ඇති වුනොත් මේ සමාජෙට ලොකු සම්පතක්, සැපතක් වේවි.
ලිංගික තෘප්තිය ඒ තරමින්ම අත්‍යවශ්‍යයි නම්, ස්වයං වින්දනය වගේ දෙයකින් ඔය දේ පිරිමහ ගන්නට විවාහෙ වෙනකන් බැරි ඇයි? ඔය දේ කරගන්න වාරු නැතිවද විවාහයකට කලින් ගැහැණු ළමයින් එක්ක එකතු වෙන්නේ? ඒ දේටවත් වාරු නැතිනම් විවාහයට පෙර හෝ පසු හෝ වේවා ස්ත්‍රියක් සමග එකතු වෙන්නත් වාරු තියෙන්න හැකියාවක් නැති විය යුතුයි. අර කියමනකුත් තියෙන්නේ විවාහ වුනු කොල්ලන්ට විහිළුවට කියන "අද ඉඳන් අතට නිවාඩු" කියලා.
අනිත් දේ තමයි සදාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් අතෑරියොත් ඒ දේවල් නැති තිරිසනුන් ගානට අපිත් ඇද වැටෙන එක. තිරිසන්නු වගේ ජීවත් වෙන්නද මිනිසත් බවක් ලබලා ඉපදුනේ? සතුට නිසා ඕවා කරලා අන්තිමට පරලොව ගිහින් තිරිසනුන්ම වෙන්නද කල්පනාව? මේකෙන් කිසිසේත්ම අදහස් වෙන්නේ නෑ ලිංගික තෘප්තියක් ලබන එක තිරිසන් ආත්මයක් ලබන විදියෙ පවක් කියල. ඒත් නිවැරදිව යමක් කරනවා නම් තිරිසන් ජීවිතයක් ලබන්නත අවස්ථාවකුත් ලැබෙන එකක් නැති වේවි. අනිත් දේ තමයි ශරීරයේ තියෙන ප්‍රධානතම ලිංගික අවයවය මොළය කියන එක. ඒක වෛද්‍යවරුන්ගේ මතයක්. ඒකම මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරු සපයාවි.
කාට හරි කියන්න පුළුවන්ද මේ 21 වෙනි සියවස වෙලත්, ඇයි අපි වෙසක් එකට තාම කූඩු, තොරන්, සැරසිලි හදන්නෙ, කරන්නෙ කියලා? ඒ වගේම සිංහල අලුත් අවුරුද්දට නැකැත් වලට අනුව වැඩ කරන්නේ කියලා? විවාහ වෙද්දි ස්තෝත්‍ර කියන්නෙ කියලා? සංස්කෘතියක් සදාචාරයක් අනවශ්‍යයි නම්, පරණ සදාචාරයක් අදට හරි යන්නේ නැති නම්, හණමිටි අදහස් නම්, ඕවත් මහ හණමිටි දේවල්. ඕව ඉස්සර තිබුනු නමුත් තාම කරන දේවල්.
කෙනෙක් ප්‍රශ්ණයක් ඉදිරිපත් කරා එක අවස්ථාවක පටාචාරා බුදුන් දකින්න ගියා නම් අද කාලේ ගැහැණු අඩ නිරුවතින් පන්සල් යාම සාධාරණයි නේද කියලා. ඇත්තෙන්ම මම හිතන්නෙ නෑ පන්සල් එන හැමෝම පටාචාරල, කිසාගෝතමීල වගේ ජීවිතේදි තනි වෙලා, අසරණ වෙලා, පිස්සු වැටිලා ඇඳිවතවත් නැතිව පිස්සු විකාරයෙන් දුවන් එන කාන්තාවො කියලා. අනික පටාචාරලා, කිසාගෝතමීලා බුදු හාමුදුරුවො ගාවට ආවේ බුදු හාමුදුරුවන් සමග රමණයේ යෙදෙන්න හිතාගෙන නෙවෙයි. ඒත් අද කාලෙ ගැහැණු අය ගැන නම් විශ්වාසයක් නෑ. කොහොමත් එහෙම එන කෙනෙක්ව දූෂණය කරනවා වෙනුවට රෙදි කඩකින් හරි පොරවලා, කන්න බොන්න දීලා, සලකන්න මිනිහෙක් වුනාම පුළුවන් කමක් තියෙන්න ඕනේ.
අසරණ තත්වයකට පත් වෙලා ඉන්න කිසාගෝතමී, පටචාරාවනුයි අද කාලේ නාභිය, රහස් ස්ථාන පෙන්නන, කලවා පෙන්නන්න දගලන කාන්තාවන්ට සමාන කිරීමත් වරදක්. කොටින්ම අපි නමටවත් සංස්කෘතියක් කියල දෙයක් විශ්වාස කරලා ඒ දේවල් වලට පදනම් වෙලා කටයුතු කලේ නැත්නම් අපි සහ තිරිසනුන් අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක තමා, සංස්කෘතිය නීතියක්නොවීම. ඒක ඕනෙ කෙනෙක්ට කැමැත්තෙන් පිලිපදින්න පුලුවන් ආචාරධර්ම පද්ධතියක්. ඒ නිසා මේ දේ 100% ක් මේ විදියටම විය යුතුයි කියලා කියන්න බෑ. නමුත් ඒක පිලිපදින කොට අපි දැන ගන්න ඕනෙ ඒක හරි විදියට කරන්න.
උදහරණයක් විදියට සමහරු හිතන් ඉන්නවා සිංහල සංස්කෘතිය කියන්නේ කාන්තාවන්ට කලිසම් අඳින්න දෙන්නෙ නැති, කාන්තාවන්ට ඕනෙ කරන පහසු ඇඳුමක් අඳින්න දෙන්නෙ නැති දෙයක් කියලා. නමුත් සිංහල සංස්කෘතිය කියන්නේ ගැනුන්ට ඇඟ වැහෙන්න, වසා ගන්න ඕන තැන් වසාගෙන යන්න කියලා මිසක් කැමති ඇඳුමක් අඳින්න එපා කියලා කියන ආචාර ධර්ම පද්ධතියක් නෙවෙයි. කලිසමක් උනත් ඔනෑවට වඩා හිර නැතුව අඳිනවා නම් ඒකෙ ප්‍රශ්ණයක් නෑ. කාන්තාවන්ට කලිසම් අඳින්න කිසි තහනමක් නෑ. ඒත් කලිසම් අඳින කාන්තාවන් දැන ගත යුතුයි උඩුකය වැසෙන්නට දිග යමක් අඳින්නට. මොකද දිගට නොඇන්දොත් වාඩි වෙන ඕනෙම අවස්ථාවකදී ඉනෙන් ඉහල ඇඳුම එසවිලා පශ්චාත් භාගය, ඉන, නාභිය දර්ශනය වෙන්නට පුළුවන් නිසා. ඒ නිසා සංස්කෘතිය කියන්නේ ගොන් හණමිටි නීති ගොඩක් නෙවෙයි. ඒ අපි හිතල බලල තැනට සුදුසු විදියට පිලිපදින්න ඕනෙ දේවල්.
හොඳයි කියලා කියන්න පුලුවන් ධර්මධර, විනයධර භික්ෂූණ් වහන්සේලා අද හොයන්න නැති තරම්. ඒත් නැතුවමත් නෙවෙයි. බුද්ධ පුත්‍රයො කෙසේ වෙතත්, තමන් කැමති දෙයක් ඇඳගෙන පාරෙ යන්න ගැහැණුන්ට අද බැරි වෙලා තියෙන්නෙ පිරිමින්ගේ දූෂමාන වුනු හිත් නිසා කියලයි කියන්න තියෙන්නේ. කවද හරි අංගුලිමාල කෙනෙක් වුනොත් තමන්ගේ අම්මගේ ඇඟිලි කපා ගැනීම කෙසේ වෙතත් අද කාලෙ නම් දූෂණය කරලවත් තමයි නවතින්නෙ. පන්සලකට යා යුතු පිළිවෙළක් තියෙනවා. වෛවාරණ, විච්චූරණ ඇඳුම් ඇඳලා පන්සල් යන සිරිතක් නම් නෑ. බුදු රදුන් තරමින් කෙලෙස් ප්‍රහීන නොකළ පෘතග්ජන භික්ෂූණ් වහන්සේලායි අද බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වුණු පාරිභෝගිකමය, වන්දනාමය සිහිවටන රැකීමට පන්සල් වල වැඩ වාසය කරන්නේ. ඒ නිසා එවැනි ස්ථාන වලට යාම සංවර ඇඳුමකින් සැරසී යන්න තරමටම නීති රෙගුලාසි මගින්ම මිනිසුන් යොමු කරන්න සිද්ධ වෙලාත් තියෙනවා.
කොහොම නමුත් මගේ මේ ලිපියෙන් ගොඩක් දෙනාගෙ හිත් රිදුනොත්, ඒ හැමෝම මේ දේ සාධාරණීකරණය කරන්නේ නම් ඒකේ අර්ථය, තමනුත් එහෙම වින්දනය ලැබීම වෙන්න පුළුවනි. ජීවත් වෙලා ඉන්න කාලේ හිතේ තද කරන් දුක් විඳින්නේ නැතිව ඒවා ඇති පමණට සපුර ගන්න උත්සාහ කරන උදවියට වැඩියෙන්ම මේ ලිපිය පහරක් වේවි. මගේ කලින් ලිපියකත් මම කියල තිබුනා බොන්න එපා කිව්වම පන්සිල් පදයකුත් වෙනස් කරපු යාළුවෙක් ගැන. ඒ "සුරාමේරය මජ්ජ පමා දට්ඨානා.." සිල් පදයේ තේරුම මද පමණින් ගත්තාට වරදක් නැහැ කියන විදියටයි. ඒ නිසා වින්දනය හොයාගෙන යන ගමනක නෙවෙයි අපි ඉන්නෙ. එහෙම හොයන අයට "කාමේසු මිච්ඡාචාරය.." මද පමණින්ම ඉෂ්ට කර ගත්තාට වරදක් නෑ කියලා හිතුනොත් පුදුමයක් නෙවෙයි.
අභ්‍යන්තරිකව හරි බාහිරින් හරි ලිංගිකව එකතු වුනත් ලැබෙන්නෙ වින්දනයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ ආශාවන් වැඩි කිරීමක් නේද? ඕක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් තියෙනවද කියලත් අහන්න කැමතියි.
අපි ජීවත් වෙනවා නෙවෙයි මරණයට ලං වෙනවා කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන් කරන කියන දේ තමන්ගෙ පසුපසින් එන හැටි ගැන අමුතුවෙන් කිව යුතු නෑ. බුදුන්ගේ ධර්මය වෙනස් කරන්නත් ඕනෙම කෙනෙක්ට පුළුවන්, තමන්ගේ සතුට වෙනුවෙන් බුද්ධ චරිතයේ එන එක එක සිද්ධීන් මතු කරලා. බුදු රජාණන් වහන්සේ සතුට ලැබිය යුතු ආකාරය දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඒවායෙන් ලැබෙන ආදීනව වගේම විපාකත් පෙන්නලා දීලා තියෙනවා. වාද විවාද කරනවාට වඩා වින්දනයට ඉඩ දීල ජීවිතේ තාවකාලික සතුටක් ලබල ඉතිරිය නාස්ති කර ගන්නවාද කියලා හිතන්න ඔය හැමෝටම බාරයි.